මුස්ලිම් පල්ලියේ බළල් සුරතලිය


ලෝකෙන් ටිකක්  

 

පූස් සුරතලිය ගැන කීමට පෙර, තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ‘හගියා සොෆියා’ ගැන හැඳින්වීමක් කළ යුතුය. හගියා සොෆියා පුරාණයේ, රෝමානු කතෝලික දේවස්ථානයකි. ඔටෝමාන් අධිරාජ්‍ය සමයේ එය මුස්ලිම් පල්ලියක් බවට පත් කෙරුණි. තුර්කි ජනරජය බිහිවීමෙන් පසු එය කෞතුකාගාරයක් ලෙස නම් කෙරුණි. ඒ අනුව, වසර 1,500 ක් පැරණි, හගියා සොෆියා යුනෙස්කෝ ලෝක උරුමයක් විය. කෙසේ නමුත් පසුගිය 12 වැනිදා ‘හගියා සොෆියා’ යළි මුස්ලිම් පල්ලියක් ලෙස නම් කරන්නැයි තුර්කි අධිකරණයක් තීන්දු කළේය. ඒ අනුව, පසුගිය 24 වැනිදා, සිකුරාදා දේව මෙහෙය හගියා සොෆියා පල්ලියේ පැවැත්විණි. ඒ, එය තුළ ඇති ජේසු තුමන්ගේ සහ මරියා මවුතුමියගේ ප්‍රතිමා ආවරණය කිරීමෙන් පසුවය.   


හගියා සොෆියා කෞතුකාගාරය මුස්ලිම් දේවස්ථානයක් ලෙස නම් කිරීමට තුර්කි රජය පියවර ගැනීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු වී ඇත. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවා ඒ ගැන කනස්සල්ල පළ කළේය. වර්ෂ 330ත් 395ත් අතර කාලයේ, රෝම අධිරාජ්‍යයේ අගනුවර වූයේ කොන්ස්තන්තිනෝපලයයි. රෝම අධිරාජ්‍ය පැවැති සමයේ 1923 දී තුර්කි ජනරජය ස්ථාපිත කරද්දී, තුර්කියේ අගනුවර ලෙස තෝරා ගැණුනේ අන්කාරා නුවරය. 1930 දී, කොන්ස්තන්තිනෝපලය වෙනස් විය. ඒ, ඉස්තාන්බුල් ලෙසිනි. කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් ලෙස වෙනස් තුර්කි ජනරජය පිහිටුවීමෙහිලා පුරෝගාමියා පමණක් නොව තුර්කියේ ප්‍රථම ජනාධිපතිවරයා ද වූ මුස්තාෆා කමාල් අටාටුක්ගේ මූලිකත්වයෙනි. කිතුනුවන්ට පමණක් නොව ඉස්ලාම් බැතිමතුන්ට ද වැදගත් ස්ථානයක් බව වටහා ගනිමින්, ‘හගියා සොෆියා’ කෞතුකාගාරය කෞතුකාගාරයක් කළේත්, එය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කළේත් අටාටුක් ය. ඒ අනුව, 1934 දීය. හගියා සොෆියා කෞතුකාගාරයක් ලෙස නම් කෙරුණි.   


හගියා සොෆියා කෞතුකාගාරය නිවහන කර ගනිමින් ජීවත්වන ‘ග්ලී’, කොළ පැහැති දීප්තිමත් ඇස් ඇති අළු දුඹුරු පූසියකි. හගියා සොෆියා නැරැඹීමට පැමිණෙන බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ග්ලී අත ගා සුරතල් කිරීමට අමතක කරන්නේ නැත. හගියා සොෆියා මෙන්ම ග්ලී ද ජනප්‍රිය චරිතයකි. ග්ලී වෙනුවෙන් වෙනම ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමක් ද ඇත. ග්ලී වෙනුවෙන් ගිණුම පවත්වාගෙන යන්නේ උමුත් බාසීසි නමැති තරුණියයි. උමුත් බාසීසි සංචාරක මඟ පෙන්වන්නියකි. අද වනවිට ග්ලීට ආදරේ කරන 48,000ක් එම ගිණුම සමඟ සම්බන්ධ වී සිටිති. 2009 දී, ඇමෙරිකා ජනාධිපති ලෙස බැරැක් ඔබාමා, තුර්කියට පැමිණියේය. ඔබාමා, හගියා සොෆියා නැරඹීමට ද ගියේය. එහිදී ඔබාමාට, ග්ලී දැක ගැනීමට හැකිවුණු අතර, ග්ලීගේ සමාජ මාධ්‍ය ගිණුමට සම්බන්ධ වී, එහි පළවන ග්ලීගේ ඡායාරූපවලට ‘ලයික්’ දමන්නන් අතරේ ඔබාමා ද සිටී. උමුත් බාසීසි, ග්ලීගේ සමාජ මාධ්‍ය ගිණුම නිර්මාණය කළේ මීට සිවු වසරකට පෙරය. ‘මා හගියා සොෆියා යන හැමවිටම, ග්ලී දකින්න ලැබුණා. ඇය මා ගන්නා ඡායාරූපවලට පෙනී සිටියේ පළපුරුදු නිරූපිකාවක් ලෙසින්. මට ඇය ගැන ආදරයක් ඇති වුණේ එහෙමයි. අද ඇයට ආදරේ කරන බොහෝ දෙනකු ඉන්නවා’ යැයි උමුත් බාසීසි පවසා ඇත.   


හගියා සොෆියා මුස්ලිම් පල්ලියක් ලෙස නම් කිරීමට තීරණය කළ අවස්ථාවේදී, බොහෝ දෙනාට ගැටලුවක් තිබුණි. ‘දැන් ග්ලී ට මොකද වෙන්නේ? එයාට එතැනින් යන්න වේවිද?’ සමාජ මාධ්‍ය ඔස්සේ තුර්කි වැසියන් අතරේ, කසුකුසුවක් නිර්මාණය විය. ග්ලීට කුමක්වේවිද යන්න ඉතාලි පුවත් නාළිකා ඔස්සේ දිනපතාම වාගේ විමසුමට භාජන වූ ‘දැවෙන ප්‍රශ්නයක්’ විය. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවා ඒ ගැන උනන්දුවක් දැක්වීය. අවසානයේ දී, හගියා සොෆියා භාරකාර මණ්ඩලය ග්ලී සම්බන්ධයෙන් තීරණයක් ගත්තේය. ජනාධිපතිවරයාට ඒ ගැන දැනුම් දුන්නේය. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ඊබ්‍රහීම් කාලින් මාධ්‍ය හමුවක් කැඳවීය. ‘ග්ලී ට සදාකල් හගියා සොෆියා නිවහන වේවි. ඇය ජනප්‍රියයි. හගියා සොෆියා බලධාරීන් දිගටම ඇය රැකබලා ගනීවි. ග්ලී පමණක් නොවෙයි, තවත් බළලුන් හගියා සොෆියා ඉන්නවා. එයාලා නම් එතරම් ජනප්‍රිය නැහැ. එයාලටත් දිගටම හගියා සොෆියා පල්ලියේ ඉන්න අවසර ලැබෙනවා’ යැයි ඊබ්‍රහීම් කාලින් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. මෙම ප්‍රකාශය ඇසීමෙන් වැඩියෙන්ම සතුටට පත් වූයේ උමුත් බාසීසි ය.

 

ලුසිත ජයමාන්න   
තුර්කි පුවත් ඇසුරිනි