මේ මොහොත වනවිට යුරෝපා රටවල් රැසක්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලට මුහුණ දී සිටී. වයිරස ආසාදිතයන් බුරුතු පිටින් වාර්තා වෙද්දී, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය දෙවැනි වරටත් ‘ලොක්ඩවුන්’ කෙරුණි. මධ්‍යම යුරෝපා රටක් වන, ජර්මනියට, චෙක් ජනරජයට, ඉතාලියට, හංගේරියාවට සහ ස්විට්සර්ලන්තයට මැදිවුණු, මිලියන 9 කට ආසන්න ජනගහනයක් වෙසෙන ඔස්ට්‍රියාවේ තත්ත්වය ද සතුටු දායක නොවිණි. වියානා අගනුවර කරගත් ඔස්ට්‍රියාව, අපරාධවලින් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව, නිදහසේ ආරක්ෂිතව වාසයට සුදුසු සාමකාමී යුරෝපා රටක් ලෙස ප්‍රකටය. සෙසු යුරෝපා රටවල් මෙන්ම ඔස්ට්‍රියාව, කොරෝනා දෙවැනි රැල්ලට මුහුණ දුන්නේ පසුගිය සැප්තැම්බර් 10 වැනිදාය. පසුගිය නොවැම්බර් පළමු වැනිදා වනවිට ඔස්ට්‍රියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 1,14,016 ක් ලෙස වාර්තා වූ අතර මරණ 1,500 සීමාව පසු කළේය. සෞඛ්‍ය උපදෙස් අනුව, තහංචි පනවමින් රට ලොක්ඩවුන් කිරීමට ඔස්ට්‍රියානු රජය තීරණය කළේය. ඒ අනුව, පසුගිය දෙවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රට ලොක්ඩවුන් කෙරෙන බව ඔස්ට්‍රියා චාන්සල්වරයා වන සෙබෙස්තියන් කුර්ස් නිවේදනය කළේය. එහෙත් කොරෝනා තරමට බිහිසුණු තවත් ‘වසංගතයක්’, වියානා අගනුවර කලඹාවි යැයි වියානා රජය හෝ ආරක්ෂක අංශ හෝ කල්තියා දැන සිටියේ නැත.
පසුගිය දෙවැනි දා රාත්‍රී 8 ට පමණ, වියානා අගනුවර අවන්හල්, වෙළෙඳසල් එකිනෙක වසා දැමීම සෙමින් ඇරැඹිණි. ලොක්ඩවුන් සඳහා සූදානම් වූ වියානා වැසියෝ බොහෝ දෙනකු අවසන් මොහොතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයේ සුපිරි වෙළෙඳසල් සහ ඔසුසැල් අවට ගැවසෙනු දකින්න ලැබුණි. වියානා අගනුවර ස්ටෙටන්ගෙස් පළාතේ යුදෙව් ආගමික මධ්‍යස්ථානය අසල අවන්හල් විවෘතව තැබුණි. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින්, ඒවා විවෘත කෙරුණේ සීමිත පිරිසක් වෙනුවෙන් පමණි.
ස්ටෙටන්ගෙස් පළාතේ යුදෙව් දේවස්ථානය අසලට පැමිණි තරුණයකු සිය කබායේ සඟවා ගෙනා ස්වයංක්‍රීය ගිනි අවිය අතට ගෙන දකින දකින අයට වෙඩි තබන්න පටන් ගත්තේ මෙම අවස්ථාවේදීය. සිදුවුණේ කුමක්දැයි කියා නොදැන, අවට සිටි පිරිස් සහ අවන්හල්වල සිටි පිරිස් වෙඩි උණ්ඩවලට ගොදුරු වූහ. වෙඩි හඩ ඇසෙද්දී, ඒ අසලද සිටි පොලිස් නිලධාරීන් කීප දෙනෙක් යුදෙව් දේවස්ථානය වෙත දිව ගියහ. ඔවුන්ට දකින්න ලැබුණේ පිස්තෝලයක් ඉනේ ගසාගෙන, බෝම්බ කබායකින් සැරසුණු තරුණයකු ඉවක් බවක් නොමැතිව ඇවිද යමින් දකින දකින අයට වෙඩි තබන අයුරුය.
මොහොතක් හෝ ප්‍රමාද නොවී, තුවක්කුකරු පුදුම කරමින්, පෙරළා ඔහුට වෙඩි තැබීමට එක් පොලිස් නිලධාරියෙක් සමත් විය. පොලිස් නිලධාරියාගේ වෙඩි පහර කෑ තුවක්කුකරු බිම වැටුණි. බිම ඇද වැටෙද්දී ඔහු මියගොස් සිටියේය. එවිට වෙලාව රාත්‍රී 8.09 ලෙස සටහන් විය. නගරයේ තවත් ස්ථාන කීපයකින් වෙඩි හඩ ඇසෙන්න විය. තවත් තුවක්කුකරුවකු වෙඩි තැබීම් ආරම්භ කර තිබුණි. පොලිස් නිලධාරීන් සහ ආයුධ සන්නද්ධ ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් වහා ක්‍රියාත්මකව ඔහු සොයා මෙහෙයුම් ඇරඹීය. ඔස්ට්‍රියා මාධ්‍ය වාර්තා කළ අන්දමට, නගරයේ ස්ථාන හයකින් වෙඩි හඩ ඇසුණි. තුවක්කුකරුවන් කිහිප දෙනකු පැමිණ ඇතැයි සැක කෙරුණි.
ඔවුන් සොයමින් ආරක්ෂක අංශ වියානා නගරය පීරන්න පටන් ගත්තේය. නිවෙස්වලට වී සිටින ලෙසත් කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැර නොයන ලෙසත් නගර බලධාරීහු නගර වැසියන්ට උපදෙස් දුන්හ. පොලිස් නිලධාරීන්ගේ සහායට හමුදාව ද යෙදවිණි. සැකකටයුතු මුස්ලිම් සම්භවයක් ඇති තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීම සිදුවිය. පොදුවේ, වියානා අගනුවර සියලු මුස්ලිම්වරුන් දැඩි මර්දනයට ලක් විය. පසුගිය 3 වැනිදා දිනය පුරාවට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය. පසුව පොලිසිය පැවැසුවේ, ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ මරා දැමුණු තුවක්කුකරු සහ තවත් එක් තුවක්කුකරුවකු පමණක් කියාය. පලාගිය දෙවැනි තුවක්කුකරු කවුරුන්දැයි යන්න අනාවරණය නොවිණි.
මරා දැමුණු තරුණයා ඉස්ලාමීය සම්භවයක් ඇති අයකු බවට බැලූ බැල්මට පෙනී ගියේය. ඔහු පැලඳ සිටියේ ව්‍යාජ බෝම්බ කබායක් බව, ඔහු පරීක්ෂා කළ ත්‍රස්ත මර්දන ඒකකයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයෝ පසුව පැවැසූහ. ස්වංක්‍රීය ගිනි අවිය සහ පිස්තෝලයට අමතරව ඔහු සතුව මන්නාපිහියක් තිබුණි. ඔස්ට්‍රියා ත්‍රස්ත මර්දන ඒකකය, පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණු තරුණයාගේ ඡායාරූප ඔස්ට්‍රියා බුද්ධි අංශ වෙත යොමු කළ අතර, බුද්ධි අංශ නිලධාරීන් තරුණයා හඳුනා ගැනිණ. 20 හැවිරිදි ඔහුගේ නම කුර්ටින් එස්. යැයි පැවැසෙයි. සිරියාවට යෑමට තැත් කළ ඉස්ලාමීය අන්තවාදීන් 90 දෙනකු ඔස්ට්‍රියා ආරක්ෂක සහ බුද්ධි අංශ හරස් වී තිබේ. බුද්ධි අංශ කුර්ටින් ගැන දන්නේ, එම 90 දෙනා අතර කුර්ටින් සිටින බැවිනි. කුර්ටින් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධානයේ අනුගාමිකයෙකු බව මෙම ප්‍රහාරයෙන් තහවුරු විය. කුර්ටින්ට ඇල්බේනියානු සම්භවයක් ඇති නමුත්, ඔහු උපත ලබා ඇත්තේත් හැදී වැඩී ඇත්තේත් වියානා අගනුවරය. කුර්ටින්ගේ මව සහ පියා සංක්‍රමණිකයන් ලෙස උතුරු මැසඩෝනියාවේ සිට ඔස්ට්‍රියාවට පැමිණ ඔස්ට්‍රියාවේ පුරවැසිභාවය ලබා ගත් යුවලකි.
ප්‍රහාරයේ මහ මොළකරු හෝ ප්‍රහාරය සැලසුම් කළ තැනැත්තා කුර්ටින් නොවන බව පොලිසියේ අදහසය. එසේ නම්, මහ මොළකරු තවමත් නිදැල්ලේය. ඇතැම්විට පලා ගිය දෙවැනි තුවක්කුකරු ඔහු විය හැකිය. ඔහුගේ උදව්වට තවත් අන්තවාදීන් සිටිය හැකිය. සහාසිකයන් සොයා කළ මෙහෙයුමට එක් වුණු වියානා පොලිස් නිලධාරීන් ගණන දහසකි. පලා ගිය තුවක්කුකරු හෝ ඔහුගේ සහයකයන් හෝ දේශසීමා හරහා පැමිණෙන්න ඇති බවටත් ඔවුන් ආපසු දේශසීමා හරහා පලා යනු ඇති බවටත් බියක් පවතින හෙයින් දේශසීමා ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරුණි.
වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තරුණියන් දෙදෙනකු සහ පිරිමියකු මියගිය බව පසුගිය 3 වැනිදා වනවිට වාර්තා විය. තුවාල ලැබූ ගණන 17 කි. ඔවුන්ගෙන් 7 දෙනකුගේ තත්ත්වය බරපතල විය. වෙඩි ප්‍රහාරයෙන් මියගිය එක් තරුණියක අවන්හල් සේවිකාවකි. වෙඩි ප්‍රහාරයට ලක් වුණු ඇය මියගියේ රෝහලට ගෙන යද්දීය. අනෙක් තරුණිය 40 හැවිරිදි තැනැත්තියකි. වෙඩි ප්‍රහාරයට ලක්වුණු ඇය එම ස්ථානයේදීම මියගියාය. මියගිය පිරිමි පුද්ගලයා මස් මිලදී ගැනීමට මස් වෙළෙඳසැලකට පැමිණ සිටි අයෙකි. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබූ හත් දෙනා අතර පොලිස් නිලධාරියෙක් ද විය. වියනා නගරයට පමණක් නොව, තුවාලකරුවන් ඇතුළත් කළ රෝහල්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවිණි.
වියානා ස්වදේශ කටයුතු අමාත්‍ය කාර්ල් නෙහැමර් මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරකයන් සොයා ගැනීමට සහාය දක්වන ලෙසය. සිද්ධිය හෙළා දකිමින් ඔස්ට්‍රියා චාන්සල්වරයා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළේය. ‘සැකයක් නැහැ, මේක ත්‍රස්ත ප්‍රහාරයක්. ඔස්ට්‍රියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදයට කිසිම ඉඩක් නැහැ. අන්තවාදීන් හිතනවා නම් මෙවැනි බියගුලු ප්‍රහරවලින් ඔස්ට්‍රියානුවන් බය කරන්න, එය එසේ වන්නේ නැහැ. අප ත්‍රස්තවාදය ඉදිරියේ දණ නමන්නේ නැහැ’ යැයි චාන්සල්වරයා අවධාරණය කළේය.
වියානා අගනුවරට එල්ල වුණු ප්‍රහාරය මුළු ලොවම කම්පා කළේය. වියානා අගනුවර ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පළමුවෙන් හඩ අවදි කළේ ප්‍රංශ ජනාධිපති ඉමනුවෙල් මැක්රොන්ය. සිද්ධිය සැලවීමෙන් තමන් කම්පනයට පත්වුණු බව ප්‍රංශ ජනාධිපතිවරයා පැවැසුවේය. ප්‍රංශය මෙන්ම, නිදහස් සාමකාමී රටක් වන ඔස්ට්‍රියාව ද ඉස්ලාමීය අන්තවාදීන්ගේ ගොදුරක් වී ඇති බව ජනාධිපති මැක්රොන් පෙන්වා දුන්නේය. කිසිම යුරෝපා රටක් ඉස්ලාමීය අන්තවාදීන්ගේ කුරිරුකම් හමුවේ දණ නොනමන බව ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් වැඩිදුරටත් පැවැසුවේය.
වියානා නුවරට එල්ල වුණු මෙම ත්‍රස්ත ප්‍රහාරය ප්‍රංශයට එල්ල වුණු අතුල් පහරක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ වනවිට ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ඉස්ලාමීය අන්තවාදය පිටුදැකීමේ අරමුණින්, ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් නව නීති ඇතුළත් පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සැරසෙයි. ඒ, මුස්ලිම් අන්තවාදය, සමස්ත මුස්ලිම් ප්‍රජාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි.
ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් මෙසේ නව නීති සකස් කිරීම හේතුවී ඇත්තේ පසුගි දින කීපයේ ඉස්ලාමීය අන්තවාදී තරුණයන් කිහිප දෙනකු අවස්ථා කීපයකදී කළ ප්‍රහාරවලින් ප්‍රංශ වැසියන් ජීවිතක්ෂයට පත්වීමය. සම්මත කර ගැනීමට නියමිත මෙම නව නීති අනුව, විරුද්ධ ලිංගික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන අයකු වසර පහක සිර දඬුවමකට හා යුරෝ 75,000 ක දඩයකට යටත් වෙයි.මුස්ලිම් පල්ලිවලට මුදල් ලැබෙන ආකාරය සහ එම මුදල් වියදම් වන ආකාරය සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමක් සිදුවෙයි. ආගමික සංගම්, පාසල් ඉස්ලාමීය කමිටු සම්බන්ධයෙන් සොයා බැලෙන අතර, ඒවායින් සිදුවන කාර්යයන් සහ ඒවායේ සාමාජිකයන් කවුරුන් ද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කෙරේ.යුරෝපයේ විශාලතම මුස්ලිම් ජනගහණය වාසය කරන්නේ ප්‍රංශයේය.
අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්, යුරෝපා රටවල් ඉලක්ක කර ගැනීම ආරම්භ වූයේ 2015 වසරේ සිටය.එසේ වූයේ, සිරියානු සිවිල් යුද්ධය මුල්කොට ගනිමිනි. සිරියානු ජනාධිපති අසාද්, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් මර්දනයට හමුදාව යෙදවූ අවස්ථාවේදී, ඉරාකයෙන් ආ අයි.එස්. ත්‍රස්තවාදීහු, සිරියානු විපක්ෂය සමඟ එක් වී, සිරියානු රජය පෙරළා දැමීමට සටන් කරන්න වූහ. ඒ වනවිට අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් යනු කුඩා ත්‍රස්ත කල්ලියක් පමණි. රුසියාව, ඉරානය වැනි රටවල් සිරියානු රජයට සහාය දක්වද්දී, ඇමෙරිකාව, ප්‍රංශය ආදී බටහිර රටවල් සහාය දුන්නේ සිරියානු විපක්ෂ කණ්ඩායම්වලටය. ප්‍රංශය සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට අවි ආයුධ ලබා දුන් බව ප්‍රකට රහසකි. ඒ, සිරියානු ජනපතිට එරෙහි සටන් කිරීමටය. එසේ ලබා දුන් අවිවලින් ශක්තිමත් වූයේ අයි.එස්. ත්‍රස්ත කල්ලිය ලොව අංක එකේ ත්‍රස්ත සංවිධානය බවට පත් වූයේ අල් කයිඩාව පරයමිනි. අයි.එස්. සංවිධානය ශක්තිමත් වූයේ අබු බකර් අල් බැග්ඩෑඩිගේ නායකත්වය යටතේය. අවසානයේ සිරියානු අර්බුදයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේත් මුළු ලෝකයාගේත් පොදු සතුරා බවට අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පත් විය.යුරෝපා රටවල මුස්ලිම් තරුණ තරුණියක් ආකර්ෂණය කර ගැනීමට අල් බැග්ඩෑඩි සමත් වුණු අතර, යුරෝපා රටවල මුස්ලිම් තරුණ තරුණියන් පමණක් නොව ආසියානු රටවල මුස්ලිම් තරුණ තරුණියෝ පවා සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය සමඟ එක් වූහ. ඊට අමතරව යුරෝපා රටවල අයි.එස්. අනුගාමික ඉස්ලාමීය අන්තවාදීන්, තම තමන්ගේ රටවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්න වූයේ අයි.එස්. සංවිධානයේ ආශිර්වාදය යටතේය.
අයි.එස්. හිතවාදී මුස්ලිම් තරුණයන් 2015 නොවැම්බර් 13 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල කළ බිහිසුණු ප්‍රහාරයෙන් 130 ක් මියගියහ. තුවාල ලැබූ ගණන 368 ක් විය. ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයන් 10 දෙනාගෙන් දෙදෙනෙක් බෙල්ජියම් ජාතික මුස්ලිම් තරුණයෝ වූහ. සෙසු පිරිස ප්‍රංශ ජාතිකයන්ය. යුරෝපා රටකට එල්ල වුණු පළමු අයි.එස්. ප්‍රහාරය එය විය. 2015 වසරේ සිට මේ දක්වා යුරෝපා රටවල මුස්ලිම් අන්තවාදී ප්‍රහාර සිදු කර ඇත. අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඇමෙරිකන් හමුදා අතින් ඝාතනය වී ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්. සංවිධානය අඩපණ වුවත්, අයි.එස්. සංවිධානයෙන් පන්නරය ලබා, යුරෝපා රටවල මුල් බැසගත් ඉස්ලාමීය අන්තවාදයට තිත තැබුණේ නැත. වියානා ත්‍රස්ත ප්‍රහාරය ඊට හොඳ නිදසුනකි.
පසුගිය ඔක්තෝබර් 16 වැනිදා සැමුවෙල් පැටී නමැති පැරිස් නුවර ගුරුවරයකු ගෙල කපා ඝාතනය කෙරුණි. 47 හැවිරිදි, පැටී ඔහුගේ පංතියේ අවුරුදු 14 ත් 15 ත් වයස් කාණ්ඩයේ පසුවුණු දරුවන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ගැන පාඩමක් උගන්වා ඇත්තේ ‘චාලි හෙබ්දෝ’ නමැති ප්‍රංශ විකට කාටූන් සඟරාව උදාහරණ කොට දක්වමිනි. පැටීගේ පංතියේ මුස්ලිම් සම්භවයක් ඇති දරුවෝ බොහෝ දෙනෙකි.
‘චාලි හෙබ්දෝ’ සඟරාවේ නබිනායකතුමාට අපහාස වන අයුරින් විකට කටූන් පළ වීම හේතුවෙන්, එය ලොව මුස්ලිම් ප්‍රජාව කෝපයට පත්ව ඇත්තේ වසර ගණනාවක සිටය. මීට වසර කීපයකට පෙර අන්තවාදී අයියා මලෝ දෙදෙනකු ‘චාලි හෙබ්දෝ’ සඟරාවේ කාර්යාලයට කඩා වැදී කතුවරයා ඇතුළු කාටූන් ශිල්පීන් මරා දැමීය. පැටී ගුරුතුමා ‘චාලි හෙබ්දෝ’ සඟරාව උදාහරණ කොට ගැනීම මුස්ලිම් ප්‍රජාවගේ අප්‍රසාදයට හේතුවක් විය. නබිනායකතුමාට අපහාස කිරීම සමස්ත මුස්ලිම් ප්‍රජාවට කරන අපහාසයක් බව පෙන්වා දෙමින් විරෝධයක් එල්ල විය. පාසලේ සෙසු මුස්ලිම් දරුවන්ගේ ද සහාය ලබා ගනිමින්, රුසියාවේ සිට ප්‍රංශයට සංක්‍රමණය වී, ප්‍රංශයේ පුරවැසිභාවය ලබා සිටි මුස්ලිම් තරුණයකු පැටී මරා දැම්මේ පාසල ඉදිරිපිට මාර්ගයේය. පොලිසිය කළ වෙඩි තැබීමකින් එම තරුණයා පසුව ජීවිතක්ෂයට පත්විය. අවසානයේ මෙම සිදුවීම ප්‍රංශ ජනාධිපති මැක්රොන් කුපිත කිරීමට සමත් විය.
මැක්රොන්ගේ උපදෙස් අනුව, ප්‍රංශයේ මුස්ලිම්වරුන් දැඩි ලෙස මර්දනයට ලක් විය.එය ලොව පුරා මුස්ලිම්වරුන්ගේ දැඩි විරෝධයට හේතුවක් වුණු අතර, රටවල් රැසක ප්‍රංශ භාණ්ඩ වර්ජනයක් ද සිදුවිය. නබිනායකතුමාට අපහාස කිරීම සම්බන්ධයෙන් ‘චාලි හෙබ්දෝ’ සඟරාවට නඩු පවරන බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අනතුරු ඇඟවීමක් කළේය. ප්‍රංශ මුස්ලිම්වරුන් දිගින් දිගටම මර්දනයට ලක් වෙද්දී, ප්‍රංශ ජාතික කාන්තාවක ගෙල කපා ඝාතනය කෙරුණු අතර, තවත් දෙදෙනකට ද පිහි ප්‍රහාර එල්ල කෙරුණි. ඒ, නීස් නගරයේ කතෝලික පල්ලියක් ඉදිරිපිටදීය. ඊට අමතරව, පසුගිදා ලියොන් නුවර 52 හැවිරිදි ග්‍රීක කතෝලික පූජකයකු මරා දැමුණි. ඒ, ඔහුගේ හිසට වෙඩි තැබීමෙනි.ඒ සියලු ඝාතන සිදු කළේ මුස්ලිම් අන්තවාදීන්ය. ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් නව නීති හඳුන්වා දීමට ජනපති මැක්රොන් ගත් තීරණය ඔවුන් කුපිත කර තිබුණි. එහි අවාසනාවන්ත ඉලක්කය වූයේ වියානා නුවර වැසියන්ය.
වියානා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙන්ම ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් ද විශේෂ ප්‍රකාශ කරමින් කියා සිටියේ, ඔස්ට්‍රියානු වැසියන්ගේ සහායට තමන් සිටින බවත් ප්‍රහාරය තරයේ හෙළා දකින බවත්ය. යුරෝපා කවුන්සලයේ සභාපති චාල්ස් මිචෙල්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වියානා අගනුවර සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීමට පියවර ගත්තේය.ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් වියානා වැසියන් වෙනුවෙන් කනගාටුව පළ කළේ ට්විටර් පණිවුඩ මගිනි. අයර්ලන්ත සහ තුර්කි විදේශ කටයුතු අමත්‍යාංශ ද සොව පළ කරමින් සහ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබුණි. ජනාධිපතිවරණය වෙනුවෙන් අවසන් ජන රැලිවලට සහභාගී වෙමින් සිටි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා, ලැබුණු සුළු විරාමයකදී ඔස්ට්‍රියාව වෙනුවෙන් සොව පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමට අමතක නොකළේය.
යුරෝපා රටවල් අතරින්, ගිනි අවි මිලදී ගැනීම, ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ලිහිල් නීති පවතින එකම රට ඔස්ට්‍රියාවය. ආත්මාරක්ෂාව වෙනුවෙන් හෝ විනෝදාංශයක් ලෙස හෝ ගිනි අවි මිලදී ගැනීමටත් ළඟ තබා ගැනීමටත් අවසර ලැබෙන අතර කැමැති ඕනෑම ගිනි අවියක් මිලදී ගැනීම පහසු යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් පසුගිය 2 වැනිදා වියානා අගනුවරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, රටේ ගිනි අවි නීති තර කිරීම කෙරෙහි ඔස්ට්‍රියා රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි