මුස්ලිම් සමාජයෙන් ජවිපෙට ආ මන්ත්‍රීවරිය


සමාජයේ හරස් කඩක්

සමාජවාදයට කැපවුණු ජවිපෙ කාන්තාවෝ

 

 

තිස්ස මහාරාමය ප්‍රාදේශීය සභාව ගොඩනැගිමට සහෝදරවරු සමග එකට වැඩ කරන සහෝදරියෝ   

 

 

කොළඹ මහනගර සභාව නියෝජනය කරන්න ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක් කාන්තාවක් සිටී. ඇය ද මුස්ලිම් ජාතික කාන්තාවකි. නමින් නබීලා හම්සාය.   


මුස්ලිම් සමාජයේ සංස්කෘතිය අනුව, ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව කාන්තාවක් දේශපාලන කටයුතුවල නිරතවීම, විශේෂයෙන් දිවා රෑ නොබලා පිරිමි ගොඩක් එක්ක කරන්න සිදුවෙන කටයුතුවල නිරතවීම විවේචනයට බඳුන්වීමට හේතු සාධක වේ. එවැනි තත්ත්වයන්ට මුහුණදෙමින් නබීලා කෙසේද ජවිපෙ සමඟ ගමනක් ආවේ යන්න ඇගේ වචනවලින්ම මෙසේය.

   
“මම දේශපාලනය කෙරෙහි යොමුවෙන්නේ මගේ තාත්තා නිසා. ඔහු ජවිපෙ අර්ධ කාලීනයෙක්. අර්ධ කාලීන කිව්වාට වෙන රස්සාවක් කළේ නැහැ. මුළු කාලයම කැප කරන්නේ පක්ෂය වෙනුවෙන්. ඒත් එයාට සම්පූර්ණයෙන්ම ගෙදරින් බැහැරව ගිහින් වගකීමක් දරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි එයා අර්ධකාලීන කියන්නේ.   


මම තාත්තා එක්ක පක්ෂයේ රැස්වීම්වලට, මැයි පෙළපාළිවලට ගියේ අවුරුදු දහයෙදි දොළහෙදී වගේ ඉඳන්. මැයි දිනය තමයි මගේ හිත වඩාත් ආකර්ෂණය කරගත්තේ. ඒ කාලේ මැයි දිනේට යන්න කිව්වාම අපි ලෑස්ති වෙන්නේ වන්දනා ගමනක් යන්න වගේ. අනෙක් අයටත් එක්ක කෑම බීම හදාගෙන තමයි යන්නේ. ඒ විතරක් ද රතුපාට ඇඳුමක් හදාගෙන ලෑස්ති වෙන්නේ මාසෙකට විතර කලින් ඉඳලා. මැයි දිනයට ගියාම නෑදෑයෝ ගොඩක් හම්බ වෙනවා වගේ දැනෙන්නේ.   


මම ඉගෙන ගත්තේ බම්බලපිටිය මුස්ලිම් බාලිකා විදුහලේ. ඉස්කෝලේ ගිහින් හැන්දෑවට කෙලින්ම ගියේ පක්ෂ කාර්යාලයට. තාත්තා හවසට එනකොට තමයි මම ගෙදර එන්නේ. මගේ ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න උදව් කළේ පක්ෂ කාර්යාලයේ හිටපු මාමලා. එහෙම හිටපු මට මුලින්ම පක්ෂ අධ්‍යාපන පංති පහ ඉගෙන ගන්න ලැබුණේ අවුරුදු දාසයේදී. එතනින් පස්සේ මම සමාජවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වුණා. ඒ ආපු ගමන තමයි අද මන්ත්‍රීවරියක් දක්වා ඇවිත් තියෙන්නේ.   


 ඒ ගමනත් ලේසි පහසු එකක් වුණේ නැහැ. තාත්තා පක්ෂයේ වැඩ කළ නිසා අම්මා තමයි ගෙදර ආර්ථිකය වෙනුවෙන් කැප වුණේ. එයා මැහුම් පංති, කේක් පංති, සැලුන් පාඨමාලා වගේ දේවල් කරලා තමයි හම්බ කළේ. අම්මා තාත්තාගේ වැඩවලට ලොකු හයියක් වුණා. එහෙම නොවුණා නම් අපිට උගන්වන එක තාත්තාට ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා. පක්ෂෙ හිතවතුන් උදව් කරාවි. ඒත් අපිට ඕන හැටියට හැමදේම කරන්න කාටවත් කරදර කරන්න බැහැනේ. ආර්ථික ප්‍රශ්න නිසා අපේ ගෙදර ප්‍රශ්න ඇති නොවුණාම නෙවෙයි. ඒත් තාත්තා අම්මා එක්ක සුහදව අවබෝධයෙන් කතා කරලා ඒවා විසඳගත්තා.   


මම මුස්ලිම් තරුණියක් වුණත් සාම්ප්‍රදායික මුස්ලිම් සිරිත් විරිත් එක්ක ජීවත් වුණේ නැහැ. මම පර්දාව දැම්මේ නැහැ. කොටින්ම මුස්ලිම් තරුණියකගේ ඇඳුම් කට්ටලය මම භාවිත කළේ නැහැ. ඒවාට මට ගෙරදින් බල කළෙත් නැහැ. ඒ නිසා තාත්තාට තමයි ඥාතීන්ගෙන් ප්‍රශ්න ඇති වුණේ. මම උසස් පෙළ විභාගයට පෙනී සිටියාට පස්සේ පූර්ණ කාලීනව දේශපාලනය කරන්න ගත්තා. ඒ වෙලාවේ අපේ නෑදෑයෝ තාත්තාට හොඳටම දොස් කියලා තිබුණා, පිරිමි ගොඩක් එක්ක දවල් රෑ නැතුව ගෑනු ළමයෙක් එහෙ මෙහේ යවන එක සුදුසු නැහැ නේද? ඒ ළමයව පිළිවෙළකට හදන්න. නැත්නම් කසාදයක් බන්ඳලා දෙන්නේ කොහොමද කියලා.   


තාත්තා ඒවායින් කලබල වුණේ නැහැ. ඇත්තටම තාත්තාගෙන් පක්ෂය දැන ඉගෙන ගත්තාට මට මේකේ පූර්ණ කාලීන වැඩකරන්න තරම් හිතදුන්නේ මෙහි සහෝදර සහෝදරියන්ගේ විනය දැකලයි. එ්ක හරිම ළෙන්ගතු බැඳීමක්. අපි කවුරුත් එකම පවුලක් වගෙයි. ඒ සහෝදරත්වය මම සමහර පවුල් ඇතුළෙවත් දකින්නේ නැහැ. 

 මම මන්ත්‍රීවරියක් වුණේ පහුගිය පළාත් පාලන මැතිවරණයෙන්. ඒ වෙලාවේ මැතිවරණ වේදිකාවලදීවත් මම පර්දාව භාවිත කළේ නැහැ. මම ඇන්ඳේ සාරිය. ඉතිං මට පහර දීලා අපේ මෙහේ මුස්ලිම් සමාජයෙන් විතරක් නෙවෙයි ඩුබායි, බහරේන් වගේ රටවල ජීවත්වෙන අපේ අයත් එෆ්බී එකේ වීඩියෝ දාලා විවේචන කළා. මුස්ලිම් පිරිමි අය කොහොමත් මුස්ලිම් කාන්තාවක් ඉදිරියට එනවට අකමැතියි. හැමෝම නෙවෙයි. බහුතරයක් දෙනා. ඒ නිසාත් ඒ අය මාව මැතිවරණ වෙලාවේ ලොකු ඉලක්කයක් කරගෙන විවේචනය කළා. මම ඉදිරිපත් වුණේ වෙනත් පක්ෂයකින් නම් මේ තත්ත්වය මේ තරම් දුරට ඇති නොවෙන්න තිබුණා. ජවිපෙ තෝරාගැනීම මේ පහරදීමට විශේෂ හේතුවක් වෙන්න ඇති”.   
ඒ නබීලාගේ කතාවෙන් කොටසකි. ඈන් චන්ද්‍රමාලි අපිත් එක්ක කියපු කතාවලින් තවත් කොටසක් අපි මෙවර කතාකරන බව පසුගිය සතියේ ලිපියෙන් පැවසීමු.   
මේ ඇය ලැබූ තවත් අත්දැකීම් අතරින් කොටසකි.   

 

 

 


“මමත් දැන් ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක්. ඒත් ඇත්තටම මම තෘප්තිමත් වෙන්නේ තවමත් මම ඉස්සර කරපු දේවල් දිහා බලලයි. මන්ත්‍රීවරියන් විදිහට අපිට පළාත් පාලන ආයතනයකට ගිහින් කරන්න වෙන්නේ මේ තිබෙන ප්‍රශ්නවලට උඩින් පැලැස්තර ඇලවීමයි. ඒක අපේ හඬට වේදිකාවකුත් වෙනවා. ඒ වගේම සමාජය දිනාගන්න අවස්ථාවක් කරගන්නත් පුළුවන්. ඒත් පිටත පෙනුමට මන්ත්‍රීවරියක් හැටියට හැසිරෙන එක තමයි අපිට දිරවන්නේ නැත්තේ. ඒත් සමාජය මන්ත්‍රීවරියක් කිව්වාම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පක්ෂ සහෝදරියකගෙන් බලාපොරොත්තු වෙන හැසිරීම් නෙවෙයිනේ. වාහනවලින් යන එන, ඔපේට හිනාවෙන, සැලියුට් කරන, උත්සවලට පෙනී සිටින, මළගෙවල් මඟුල් ගෙවල්වලට යන එන කෙනෙක්, අනෙක් අයගේ ගරු සත්කාරවලට ලක්වෙන කෙනෙක්.   


 ඒ ජීවිතයයි පක්ෂයේ පූර්ණ කාලීන සංවිධායකයෙකුගේ ජීවිතයයි අතර මතුපිට තලයේ වෙනසක් තිබෙනවා. ඒකට අනුගත වීම ලේසි නැහැ. ඉතිං මම ලබපු තවත් අත්දැකීම් කීපයක් මේ විදිහට කතාකරන්න හිතුවා.   


 රාජ්‍ය නොවන කාන්තා සංවිධාන පිරිමින්ගෙන් ලබාගන්නා ස්ත්‍රී විමුක්තියක් ගැන කතා කරද්දී, අපි සමස්ත සමාජයේ විමුක්තිය තුළින් කාන්තාවන්ගේ විමුක්තිය නැත්නම් නිදහස දිනාගන්නා ආකාරය ගැනයි කතා කළේ. අපි කාන්තාව සංවිධානය කළේ සමස්ත සමාජයේ විමුක්තිය වෙනුවෙන් කාන්තාව සතු කාර්යභාරය ඉටු කිරීමටයි. ඒක පහසු කටයුත්තක් නොවන බව මීට පෙර කතා කළ සහෝදරියෝ හැමෝගේම කතාවලින් පැහැදිලි වෙන්න ඇති.   


 අපි මේ ආකාරයට කාන්තාවන් සංවිධානය කරන අතරතුර තමයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණට හිමිවෙන්නේ. තිස්සමහාරාමය දිනාගත්තට පස්සේ අපිට සිදුවුණා කාලයක් තිස්සේ අපවිත්‍ර කරන ලද ඒ බිම පවිත්‍ර කරන්න. එතැන් සිට මිනිස්සුන්ට පිරිසිදුව ඉන්න හැටි උගන්වන්න, සභාවේ සියලු කටයුතු පිළිවෙළක් කරන්න. ඉතිං ඒක කරන්න අපි හැමෝම සාමාන්‍ය වැසියන් සමඟ දැවැන්ත සටනකට යා යුතු වෙනවා. ඉතිං මාසයක් ඇතුළත සියල්ල පිළිවෙළක් කිරීමේ අරමුණ ඇතිව රටෙන්ම අපේ පූර්ණ කාලීන, අර්ධ කාලීන ක්‍රියාකාරීන් වගේම පක්ෂයේ කිට්ටුවන්තමයින් පිරිසක් දින හතරෙන් හතරට මාරුවෙමින් තිස්සමහාරාමයට ගියා.   


 මාත් එක අවස්ථාවක එහි ගියා. එදා සභාපති ලෙස කටයුතු කළේ ජයසිරි ස​ෙහා්දරයා. ඔවුන්ගේ සැලසුම සාර්ථක කරගන්න ජයසිරි සහෝදරයා පක්ෂයේ නායක සහෝදරවරුන්ගේත් උපදෙස් මත ලස්සන සැලැස්මක් හදලා තිබුණා. ‘අධිෂ්ඨානයේ පුරවරය ගොඩනගමු’ කියලා ඒකට තේමාවක් යොදාලා තිබුණා. අපි තිස්සට ගියේ ඒ සැලැස්ම අනුවයි. මුලින්ම අපි දින දහයක් වැනි කාලයකදී සභා බල ප්‍රදේශයේ සභාවට අයත් හැම පාරක්ම කසළ ඇදලා වල් ගලවලා පිරිසිදු කළා. ඇල මාර්ග පිරිසිදු කළා. ඒ දේවල් කරද්දී අපි කෑවේ බිව්වේ, නැවතුනේ සමහර අවස්ථාවල පක්ෂයේ සාමාජිකයන්ගේ ගෙවල්වල. එ්ත් වැඩිපුරම අපි ඒකට යොදාගත්තේ තිස්ස ජයගත්තට පස්සේ අපිත් ඒක හිතවත් වුණ අයගේ ගෙවල්. අපි මොනවද කරන්නේ කියලා කියා දෙන්න පුළුවන් එහෙම ගිය වෙලාවක තමයි. ඉතිං අපි තිස්ස පිරිසිදු කරලා දීලා ආවා. ජයසිරි සහෝදරයා ඊට පස්සේ ඒ පාරවල්වල අවශ්‍ය තැන්වල කසල බක්කි දැම්මා, නැවත කසළ පාරේ දමන්න එපා කියලා දැන්වීම් ප්‍රදර්ශනය කළා. ඒ අපි ගිය වෙලාවේ කරපු දේවල්.   


අපි නැවතවතාවක් තිස්සේ ගියා. ඒ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පවත්වාගෙන ආ පෙරපාසල්වල දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, කාන්තාවන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරු, නීති උපදෙස් ලබාදීම වැනි විවිධ වැඩසටහන් අපි තිස්ස කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කළා”.   

 

 



සටහන හා ඡායාරූප
මුදිතා දයානන්ද