වයන තාලයට, නැගෙන ශබ්දයට, ගයන රිද්මයට කවුද අකමැති? එළිමහන් හෝ ගෘහස්ථ සංගීත සංදර්ශනයක් නැරඹීමට බොහෝ දෙනා කැමත්තක් දක්වන්නේ එනිසාමය. සංගීතයෙහි රසය උපරිමයෙන් විඳගැනීමට එහිදී ලැබෙන අවකාශයට බොහෝ දෙනා කැමතිය. සංගීත භාණ්‍ඩවලින් නැගෙන ශබ්දය මෙන්ම ඒ සංගීත රසය මුළු ගතටම දැනෙන නිසා නටමින් ගයමින් ඒ අවස්ථාව විඳ ගැනීමට විශේෂයෙන්ම තාරුණ්‍යය බෙහෙවින් මනාපයි. මෙවැනි ප්‍රසංග වලදී නැගෙන්නේ මහා ලොකු ශබ්දයක්. ඒ ශබ්දය ප්‍රමාණයකට සීමා කොට ඇසිය යුතු යැයි ඔබ දන්නවා ද?. ශබ්දය ඕනෑවට වඩා ඇසුණොත් සිදුවන්නේ, ශ්‍රව්‍ය පරාසයට හානි වීමයි. එනිසාම ජාත්‍යන්තර තලයේ ප්‍රසංගවලදී ශබ්ද යන්ත්‍ර හෙවත්, ඔබ දන්නා විදිහට ස්‍පීකර්ස් යොදා ගන්නේ ප්‍රමිතියක් ඇතිවයි. අපේ රටේදී ඒ ප්‍රමිතියක් ඇතිව ශබ්ද යන්ත්‍ර යොදා ගැනීම සිදු වෙනවා ද? මෙවැනි ප්‍රසංග සඳහා යොදාගන්නා ශබ්ද යන්ත්‍ර පද්ධතිය කොපමණ මිලක් වෙනවා ද? අද අපේ සූදානම ඒ ගැන විස්තර කිරීමටයි. හැබැයි අපි නෙවෙයි ඒ ගැන විස්තර කරන්නෙ, ශබ්ද ඉංජිනේරු අංශයේ එතෙර මෙතෙර ප්‍රකට චරිතයක් වන මලින්ද ලෝ යි.
මලින්ද ලෝ යනු අපේ රටේ සිටින ශබ්දය ගැන තාක්ෂණිකව සහ න්‍යායාත්මකව බොහෝ දැනුමක් ඇති ජාත්‍යන්තරයේ පවා ප්‍රකට ශබ්ද පරිපාලක අංශයේ ඉංජිනේරුවරයෙක්. ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු සවුන්ඩ්ස් පද්ධතියක හිමිකාරත්වය ඇති යුනිවර්සල් සවුන්ඩ්ස් හි හිමිකාරත්වය දරන්නේද ඔහුයි. ඔඩියෝ ඉංජිනේරු අංශයේ ප්‍රධාන චරිතයක් වන මලින්ද මෙරටදී පැවැත් වූ ලෝ ප්‍රකට ගී තරු වන ලයනල් රිචී, ඔලිවියා නිව්ටන් ජෝන්, බිලි ඕෂන්, ජෝන් සෙකාඩා, සහ රිචඩ් ක්ලේඩර්මාන්, මෙන්ම මෙරට BNS ලා ඇතුළු ප්‍රකට ශිල්පීන්ගේ සහ ඔවුන්ගේ ප්‍රසංගවලදී ඕඩියෝ මික්සින් ඇන්ඩ් සවුන්ඩ් ඉංජිනේරු කටයුතු කරන්නේ මෙම මලින්ද ලෝයි.
- එළිමහන් හෝ ගෘහස්ථ ප්‍රසංගයකදී පාවිච්චි කරන ශබ්ද පද්ධතියෙහි ප්‍රමාණය -ශබ්ද ධාරිතාව මොන වගේ ද?
සවුන්ඩ්ස් ගැන කතා කරද්දී අපේ රටේ සමහර අය කතා කරන්න පටන් ගෙන තිබුණෙ වොට් ප්‍රමාණයෙන්. වොට් 35,000යි, 40,000 යි, ලක්ෂයයි විදිහටයි. හැබැයි ෂෝ එකකදී වොට්ස් ප්‍රමාණය අදාළ වෙන්නෙ නැහැ. එම ෂෝ එක වෙනුවෙන් යොදාගන්නා ස්පීකර්ස් ප්‍රමාණය අනුව එය වෙනස් වෙනවා. අපි සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේ පවත්වන ෂෝ එකක් ගැන කතා කළොත්, ප්‍රේක්ෂකයින් 5005 ක් විතර එහි ඇතුළත් කරන්න පුළුවනි. ඒ 5005ටම ශබ්දය එක හා සමානව ඇහෙන්නට සැලැස්වීම තමයි අපේ ප්‍රධාන අභියෝගය. SPL හෙවත්, මොන වගේ වොලියුම් ප්‍රමාණයකින්ද sound pressure level." ඇසීමට සලස්වන්නෙ කියන දේ ගැන තමයි අපි අවධානය යොමු කරන්නෙ. බෑන්ඩ් එකක සංගීතයට ගයන කෙනාගෙ ශෛලිය අනුව ඒ වොලියුම් එක වෙනස් කරන්න වෙනවා. සංගීත රිද්මය ක්ලැසිකල්, ජෑස් හෝ පොප් හෝ ඒ-ඒ ශෛලීන්ට අදාළව ආවේනික වෙච්ච ජාත්‍යන්තරය පිළිගත්ත SPL ප්‍රමාණයක් තියෙනවා. අපි ප්‍රසංගවලදී වඩා උනන්දු වෙන්නෙ ඒ ගැනයි. යොදාගන්නා ස්පීකර්ස් සහ ඒවා රඳවන තැන් අනුව අපි ඒ සියල්ල කරන්නෙ සැලසුමක් ඇතිවයි. ගෘහස්ථ ප්‍රසංගයක මෙම කටයුත්ත කිරීමේදී වේදිකාව මත සිටින සංගීත කණ්ඩායම සහ ගී ගයන ශිල්පීන්ගේ හඬ පාලනය කිරීම එක් අංශයකුත්, අසන්නන් හට ඇහෙන හඬ නියමිත ප්‍රමාණයෙන් ඇසීම සඳහා තවත් අංශයකුත් ශබ්ද පරිපාලන ඉංජිනේරුවරුන් ලෙස කටයුතු කරනවා. මේක ඇත්තටම සංකීර්ණ ක්‍රියාවලියක්. මේක ඉතා සැලසුම් සහගතව කළ යුතු දෙයක්. එළිමහන් ප්‍රසංගයකදී ඊට අදාළවත්, ගෘහස්ථ ප්‍රසංගයකදී ඒ අනුවත් sound pressure level සහ ශබ්ද යන්ත්‍ර පද්ධතිය යොදාගන්නවා.
- රඟහලකදී සහ එළිමහන් ස්ථානයක පැවැත්වෙන ප්‍රසංගයකදී කොපමණ ශබ්ද පරාසයක් තිබිය යුතුද?
උදාහරණයකට අපේ රටේ පැවැත් වූ අංශක 360 ක දෘශ්‍ය නැරඹුම් පරාසයක පැවැත් වූ ශ්‍රියා ගෝසාල් ගේ ප්‍රසංගය ගැන කියන්නම්. එවැනි ගණයේ එයා කළ පළමු ප්‍රසංගය වන ඒ ප්‍රසංගයේ සිස්ටම් එක හදලා ඕඩියෝ ඉංජිනියරින් සහ මික්සින් කළේ අපි. ඇය වේදිකාව මැද සිටියදී වටේටම ප්‍රේක්ෂකාගාරය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත් වූ එම ප්‍රසංගයේ SPL එක ඊට අදාලව යොදා ගත්තා. ඩෙසිබල් 95-සිට 101 ප්‍රමාණය ගත්තොත්, ඒක සෑහෙන ලොකු පරාසයක ලෙවල් එකක්. රඟහලක පැවැත්වෙන ඒ ඒ ප්‍රසංග අනුව ලයිව් සවුන්ඩ් සිස්ටම් යොදා ගන්නවා. එළිමහන් ප්‍රසංගයකදී යොදාගන්නා විදිහ වෙනස්. දැන් නවීන තාක්ෂනය අනුව ස්පීකර්ස් නිෂ්පාදනය කරලා තියෙන්නෙ ඉස්සර වගේ හරස් අතට නෙවෙයි. දිගට තියෙන්නෙ . ඒ නිසා ඉස්සර වගේ තාප්පයක් විදිහට නෙවෙයි ඒවා යොදාගන්නෙ. line array speaker system කියලා තමයි දැන් එය හඳුන්වන්නෙ. ඒ ඒ ප්‍රසංග අනුව ස්පීකර්ස් අටක්- දහසයක්-විසි හතරක්-හතළිහක් වගේ යොදා ගන්නා අවස්ථා තියෙනවා. පැමිණෙන සෙනග සහ ස්ථානයේ ප්‍රමාණය අනුව යොදා ගන්නවා.
- මේ විදිහට යොදා ගැනෙන සවුන්ඩ්ස්වල මිල කොපමණ විතර වේවිද?
ඇත්තම කිව්වොත් සවුන්ඩ්ස්වල මිලෙහි හැටියට ඒ වෙනුවෙන් ෂෝ එකකදී ලැබෙන ගාස්තුව හරි අඩුයි. පිටරටවලදී වටිනාකම වැඩියි. අපි වගේ අලුත් විදිහට – අලුත් තාක්ෂනය ඇති සවුන්ඩ් සිස්ටම් එකක් තරු හෝටලයක ප්‍රසංගයකදී යොදාගැනීම වෙනුවෙන් ලක්ෂ හත අටක මිලක් ලැබුණත්, පිටරටකදී ෂෝ එකක් අපට අවශ්‍ය භාණ්ඩ යොදාගෙන අපේ විදිහට කළොත් අඩුම තරමින් ලක්ෂ හතළිහක්වත් ගෙවන්න වෙනවා. . මාකට් වැලියු එක තීරණය වෙන්නෙ සවුන්ඩ්ස්වල වටිනාකම අනුව නෙවෙයි. අපි අටවලා කරන්නෙ නැහැ. නියම ප්‍රමිතියට කරන්නෙ. හැබැයි ලංකාවේ මේ මාකට් එක ප්‍රමිතිය සහ සවුන්ඩ්ස්වල හැටියට පුළුවන් තරම් පල්ලෙහාට වැටිලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් සවුන්ඩ්ස්වල මිල සහ බ්‍රෑන්ඩ් අනුව ලක්ෂ 100 සිට ලක්ෂ 2000 සහ ඕනෑ නම් ලක්ෂ 3000 දක්වා වු වටිනාකමක් ඇති ඒවා යොදා ගන්න පුළුවනි. කෙනෙක් හෝ ආයතනයක් සවුන්ඩ්ස් ප්‍රමාණය වැඩි කර ගන්නෙ එක දවසකින් නෙවෙයි. ටිකෙන් ටික එයාලට ලැබෙන මුදල් මතයි.
- සාමාන්‍යයෙන් එළිමහන් ප්‍රසංගයකදී දැන් තියෙන සවුන්ඩ්ස්වලින් ඉතා විශාල හඬක් තමයි පිට වෙන්නෙ.. පපුව දෙදරන මට්ටමේ ශබ්දයක්? එය ශ්‍රවනයට හිතකරද?
ඒක කිසිසේත්ම හිතකර නැහැ. ලංකාවේ සවුන්ඩ්ස් කරන බොහෝ දෙනා හිතන්නෙ වැඩිපුර බේස් එක්ක සද්දය දීම තමයි හොඳ කියලා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඒ වගේම වැරදි ක්‍රමයක්. සද්දය නෙවෙයි - සවුන්ඩ් එක කියන්නෙ. අවශ්‍ය ප්‍රේක්ෂකයින්ගෙ ප්‍රමාණය අනුව තමයි සවුන්ඩ්ස් යොදාගැනීම වගේම මුදා හැරිම කරන්න ඕනෑ. ලංකාවේ තමයි ශ්‍රව්‍ය පථයේ ඩැමේජ් වැඩියෙන්ම වෙන්නෙ. ඒකට හේතුව ඩෙසිබල් 95ට වඩා යොදාගැනීම නිසා තමයි එහෙම වෙන්නෙ. ඒ ප්‍රමාණය අපේ ශ්‍රව්‍යයට සුදුසු නැහැ. කණට හොඳ නැහැ. විශේෂයෙන්ම පොඩි ළමුන්ට අහිතකරයි. පිටරට ෂෝවලදී sound pressure level එක ගැන සඳහන් කරනවා. එය නීතියට අනුව මිසක් නුසුදුසුයි කියන ප්‍රමාණය යොදාගන්නෙ නැහැ. ලෝකයේ ශබ්දය වැඩිම රොක් සංගීතයේදීයි. එය ඝෝෂාකාරී සංගීතය කියලා කියන්න පුළුවනි. සාමාන්‍යයෙන් sound pressure level එක 115 ඩෙසිබල් වගේ වෙනවා. හැබැයි එවැනි ඉහළ මට්ටමකට යොදා ගත්තත්, අසන්නන් හට හානිකර නොවන විදිහට එය මුදාහැරීම කරනවා. සංගීතය අහන් ඉන්න පුළුවන් විදිහට. නමුත් ලංකාවේ බේස්-බේස් කියලා පුරවා ගෙන සද්දෙ තමයි හොයන්නෙ. ඒක අහිතකරයි. ශබ්දය කියන දේ යොදා ගන්න ඕනෑ ඒ නියම තාක්ෂණය දැනගෙන ඒ අනුවයි. අවාසනාවකට ලංකාවේ සෑම දෙයක්ම වගේ වැරදි ට්‍රෙන්ඩ් එකකට යන්නෙ.
සඳුන් ගමගේ