මෝරු මලට පැන් ඉස්සේ කවුද දුවේ


දිගාමඩුල්ලේ වන කතා 

 

 

බොහොම ඉස්සර කාලේ දිගාමඩුල්ලේ ඈතගමක් තිබුණලු. මේ ගමේ හිටිය ඇත්තන් පරම් පරාවෙන් පරම් පරාවට පැවත ආපි. ඇවතුම් පැවතුම් රකින හොඳ ගුණ යහපත් අය. ඒ කාලේ පැවතුන කුල ගොත් අනුව තමයි හැම දෙයක්ම කේන්නේ.   


කුලවත් අය නපිරි දෙවල් කේන්නේ නැතුවා, විතරක් නෙවෙයි, රටට වැඩ දායක එලොව මෙලොව දෙකටම වැඩ දායක දේවල් තමයි කේන්නේ. මේ අැත්තන් කුල ගව්රවේ අගය කරපු ඈයෝ. ඒ කාලේ ඔයි පහත් කුල කියලා වෙන් කෙරුවා කියන්නේ නරක වැඩ, පහත් කිරියාවල් කේපු එවුන්, පහත් කුල වලට දැම්මා කියලා තමයි කියන්නේ.   
හොඳ කුල වල ඉපදෙන්නේ පින් අතේ වැඩ කරපු ඇත්තන්ලු. ඒනිසාවෙන් ඔය පහත් කුල වල ඇත්තන් එක්ක හිර ගනුදෙණු එහෙම කොහොමටවත් කේන්නේ නෑ. ගෙරි මස් කන පහත් කුලේ එවුන්ට දිය තත්තෙ නිවා ගන්ට පැන්උල කින් පැන් පොදක් වත් ගන්ට තහනම් කෙරලා තිබුනලු. පස්සෙන් පහු කාලෙදි ඔයි කීන තද නීති එහෙන් මෙහෙන් අඩු වෙලා ගොහුන් තියෙනවා.   


ඒ.. ත් ඉතින් පවුල් පන්සල් වෙනකුට නම් ඔයි පැරණි කාලෙ තිබිච්චි නීති රීති අකුරටම පිළිපැද්දා. තමන්ගේ වරිගෙට හරියන වරිගෙකින් තමයි සහේට කෙලි පොඩිස්සියක් කැන්දන් එන්නේ. එහෙම උනාම නෑහේත්තුවේ යන ගමන් වලදී සිටන්ම දෙගොල්ලන් අතර නෑ සබඳතා හයි වෙනවා නේ.   


ඉතින් ඔන්න මේ කියාපි ගමේ ගමරාළ උන්දැත් ගම හාමිනේත් බොහොම දහිරිය සම්පන්නව වැඩ පළ කේගෙන ගොවි තැන් කේගෙන ජීවත් වුණා කියමුකෝ. එයි දෙන්නට පුතණ්ඩියෙකුයි, දෝණියන්දැ කෙනෙකුයි හිටියාලු. ඉතින් ගමේ ඉන්න ප්‍රධානියා වෙච්ච කොට මුන්දැට ගමේ උන් සලකන්නේ මහ ඉහළින්මයි. මුන්දැ තමන්ගේ ගවුරවෙත් රැකගෙන ගමේ ඇත්තන් එක්ක ඇඟෑළුම් කම් තියා ගෙන උන්නා.   


හේන් අල්ලන්ට ගමේ වුන් දැනමිති කම් ගන්නෙත්, මී බඹර කපන්ට පැණි පාරේ යන්නෙත්, බැදි අඹන්ට යන්නෙත් මුන්දැගෙන් ගුරු හරුකම් ඇරගෙනයි. ගමේ වුන් හැමෝම ගමරාළ උන්දැට සලකන්නේ ගමේ ඉන්න රජ්ජුරුවන් ගානටයි. ගොවි තැන් බත් කෙළාම අලුත් සහල් ගෙනත් දීලා යුතුකම් ඉටු කේන ගමේ ඇත්තන් වගේම ඔයි දඩයමේ යන වෙඩික්කාර ඇත්තනුත් ගමරාළ උන්දැගෙ කොහොට ගෙනත් දෙන එක අනිවාර්යෙන්ම කේන සිරිතක්.   


ඉතින් මේ ආකාරයට ගරු ගාම්භීරෙන් හිටපි මුන්දලාගේ පවුලේ හිටිය කෙළි පොඩිස්සි කිඩහැල්ලකගෙ කාලෙ හිටන්ම ඇහැට කනට පේන එකියක්. ඔයි දැරවිගෙ රූප සෝබාවටම ගැලපෙන ආකාරයට නම තියලා තිබ්බෙත් ‘‘බිගු මලී’’ කියලයි.   


දවසින් දවස ටිකෙන් ටික මේ දැරිවි ලොකු මහත් වීලා කිඩහැල්ලක් වේගෙන එනකොට නමට ගැලපෙන ආකාරෙටම ලස්සන වුණා. හරියට පිපෙන්ට ඔන්න මෙන්න තියා තියෙන මල් මෝරුවක් වගේ. ඒ කියන්නේ කුකුළු මලක් වගේ ලස්සන වේගෙන ආවා.   


ඔයි සන්දියේදී මේ දැරිවිගේ ලස්සන ඇහැ ගැහිච්ච වෙල්ලස්සේ බණ්ඩාර උන්දැ ‘අඩෙයි මේ කිඩහැල්ලගෙ තියෙන හැඩ වැඩ’ මේකි තව පිළිහොඳ විළත් නැහෙමයි...? මල් මෝරුවක් වගෙ ලස්සෙන ළමයි කෙලි කැටික්කි මයෙ කොල්ලට සහේ ගන්ට අපූරුයි! කියලා හිතලා ගෙදර උන්දැත් එක්කත් කතා බස් කේගෙන දවසක් දා කැවිලි පෙට්ටියක්, රඹ කැන් කදක් එහෙම ඇන්න ගමරාළ උන්දෑ මුලිච්චි වෙන්ට ඇවුදින් කබා බහ කේගෙන ’ඔන්න ගමරාළ මලේ එහෙනම් උඹේ දූ සිඟිත්ත මයෙ කොල්ලට හෙමයි නේ.’ යි කියා බුලත් අතක් පිළිගැන්නුවේ සිරිත් ප්‍රරකාර අන්දම ට ය.   


‘අපේ ආයි වචන දෙකක් නැතුවා... බණ්ඩාර අයියණ්ඩි...! මයෙ දූ සිඟිත්ත උඹලගෙ පුතණ්ඩියාට තමයි, දැරිවිය පිළි හොඳ විලා මාස හත අටක් ගියාම නැකත් බලලා හොඳ දවසක මංගල්ලේ කේමු.’ යැයි කියමින් බුලත් අත පිළිගත් ගමරාල උන්දෑ සිනහ පොද කින් මුව සරසා ගත්තේ ය.   


මේ ආකාරෙට නම නියෙම කේගත්තට පස්සේ දෙපෝය හමාරකින් විතර ‘බිඟු මලි‘ කිඩහැල්ල පිළිහොඳ විලා කිඩහැල්ලක් බවට පත්වුණා. කිඩහැල්ලක් පිළිහොඳ විලා පොඩොස්සියක් වුණාම කෙරෙණ චාරිත්‍ර වාරිත්‍ර අනුව ඔන්න ඔයි ගමරාළ ඇත්තන්ග ගෙදරත් කොටහළු මංගල්ලේ කෑවා. මේ බැද්දේ සහේ ගේන මඟුල් තුළා වලට වඩා මහ ඉහළින් කොටහළු මඟුල් කෑම සිරිතක්නේ.   


කොටහළු මඟුල කාල හෙම ඉවර වෙලා සහේට ගෙණියන මඟුල කියන්ට ඔන්න මෙන්න කියලා තියෙද්දී වෙල්ලස්සේ බණ්ඩාරගේ පුතණ්ඩියාට බිං ගොඩ කැළේදී වලහෙක් කඩා පැනලා වෙච්ච අලකලංචිට හින්දා වෙන් මඟුළ කල් ගියා. ඔයි විගන්තරාව සිද්ධවෙලා මාස කීපයක් ගෙවිලා පළච්චි. දැන් කෙලි පොඩිස්සිටත් මේක අමතක වේගන එනවා. අනෙක ගමරාළ උන්දැත් දැන් මේ කටයුත්තට වැඩි මනක් උනන්දුවක් දැක්කුවේ නෑ. ඔයි සුදු බණ්ඩ බෑනගෙ මූණ සහ පිටෙන්ම විරූපී වෙලා හෙමයි, ඇහැක් දොගරෙ පැනලා! අඩෙයි....! වෙච්ච වින්නැහියක්...! මයෙ ඇත්ති උඹ මුනා කීන්නේ...? ඔයි කොල්ලට කොහොම අපේ කෙල්ල සහේ දෙන්නේ...? යි නම නියෙම කේගත්ත මං ගල්ලෙ ගැන තමන් තුළ ඇති අකමැත්ත ගමරාළ සිය බිරිඳ හමුවේ කළාය. 

 
‘මාත් මේ කුකුසෙන් උන්නේ?.... බණ්ඩාර අයියලත්, දැන් ඔයි ගැන උනන්දුවක් නැති ගානයි. තැනකදි අපේ එකීගේ අපලෙකට මේ වින්නැහිය වුණා කියලා කතාවුණාලු. මං ඔයි කතා මේ ඇත්තගෙ කනේ තිබ්බේ නෑ...! ඔන්න ඔහේ කල් පහු වෙච්චදෙන්.’ යැයි කියමින් බිරිඳද සිය අකමැත් ප්‍රකාශ කළාය.   
කාලය ටිකෙන් ටික ගෙවිලා යද්දිත් ඔන්න මේ ගම්මානෙට සමීපව ගලා යන පනස්දාස් ඔයට එගොඩහ ගොඩේ කොහෙන්දෝ පාත් විච්ච එවුන් වගයක් හේන් වගා කේන්ට ගත්තා. ආතක් පාතක් නැතුව ආපි ඔයෙන් එගොඩ හෙන්යායේ උන් එක්ක ගමේ ඇත්තන් කිසිම පයිරු පාසනයක් පැවැත්තුවේ නෑ. හැබැයි උන්ට කරදර කේන්ට ගියේ නෑ. හේන් කොටා ගෙන උන්නු එවුන් ඔයේ එහා තොටින් වතුර නාගන්නවා. ගමේ ඇත්තන් පුරුදු ආකාරෙට මෙගොඩ තොටට ඇවුදින් වතුරේ එබෙනවා.   
ඔයේ මෙගොඩ ගොඩේ වතුරු නාන බිඟුමලීව දැකපු එගොඩ ගොඩේ හේන් යායෙ එකෙක් කොහොමින් කොහොමින් හරි මේකිව තනි පංගලමේ හදි ගැහිලා බාන් හාද කමක් ඇති කේගත්තා.   


ඔයි ගැන අබ පිල්ලක් තරම් දෙයක් කාගෙවත් කනකට ගියේ නෑ. මොකද.....? මේ ඉළන්දාරියා සිදාදියෙන් පාත් විච්ච එකෙක් හින්දා බිඟුමලීත් එක්ක ඇයි හොඳයි කම් පැවැත්වුවේ ගමේ එකාලඟ ඇස් වහලයි. මේ ගොබිලා මහ නහරන් කාරයෙක්. ඒ නිසාවෙන් එගොඩ ගොඩේ හේන් කොටා ගෙන හිටිය එවුන් කොයි කවුරුත් මූත් එක්ක හරිම එකතුයි. මුගෙ වයසෙ ගොබිලො දෙතුන් දෙනෙකුත් මේ දෙන්නග බාන් හාදෙට උදව් පදව් කෙලාලු.   


බිඟුමලී කෙල්ලත් මේකත් එක්ක කුට්ටාලි වුණාට පස්සෙන් පහු ඌ කියන අන්දමට හොර ගල් අහුලමින් ඇවිත් ඔය බොඩදින් මේකව මුලිච්චි වෙනවා. ටික දවසක් යනකොට දෙන්න අතරේ ඇති වෙච්ච ආදර ලෙන්ගතුව දිග් ගැහිලා ගිහින් දෙන්නගෙ ආසාවන් මෝදු වෙලා පිපිරී හැළෙන ගානට ආවා.   


බැදි ගම්මාන වල නෑනලා මසිනාලා අතරෙ බාන් හාද කම් ඇති වුණාම බැද්දේ දින්, හරි පැන් උල ගාවදි හරි එහෙමත් නැතත් කනත්තෙදි හරි කූට්ටාලි වෙනවා තමයි. ඒත් එහෙම කේන්නේ දෙන්නම බහ දීලා නම නියමෙ කේගෙන ඉන්න නිසාවෙන්.   


ඉඳලා හිටලා එහේ නුතුන් බාන් හාදකමක් ඇති වුණත් දෙන්නම තම තමන්ගේ නෑදැකම් ගැලපෙනවද? කුල ගොත් හරියනවාද? ගේ දොර වතු පිටි හරකා බාන අතින් ඒ කියන්නේ වත්කම් අතින් දෙගොල්ලට දෙගොල්ල ගැලපෙනවාද? කියලා හොඳට බලලයි යම් තීරණයක් ගන්නේ. ඔයි හැම දෙයක්ම ගැලපුනාට විතරක් මදියි. කෙළි පොඩිස්සි තේ උඩිච්චියක් ද නැද්ද? කියලා කොල්ලා හිතලා බලලා තමයි දෙන්නා එක්වෙන්නේ.   


කෙලිපොඩියන් ගැටයෙක් එක්ක පැටලෙන්ට ඉස්සට අර කියපු දේවල් වගේම මේකා සෝමාරියෙක්ද? ගොවි තැනක් බතක් කේන්ට තරම් හයිය හක්තිය තියෙන එකෙක්ද? කියලා හිතලා බලනවා.   


එව්වා එහෙම වෙතත් සමහර නොසන්ඩාලයන් හොර රහසේ එක එකීලාත් එක්ක රහසේ බාන් හාද කම් පවත් වනවා. එහෙම අවකල් කිරියාවල යෙදෙන එකීලාට ගමේ වුන් කියන්නේ තේ උඩිච්චියන් කියලයි.   


කොහොම වෙතත් ‘බිගුමලී’ තමාට නම නියම වෙච්ච මස්සිනාට වලහා කඩා පැනපි බව දැන ගත්දා ඉඳළම ඌ ගැන තිබුණ බලාපොරොත්තුව අතහැරලා සිටි හින්දා එගොඩහ ගොඩේ ඉඳන් අත වනපු මිනිහත් එක්ක බාන් හාදවුණේ එක පයින්මයි.   


දවසක් ඉරගල වැටෙන වෙලාවේ බිඟුමලී හේන් යාය පහු කොරන් පනස්තොට ඔය පැත්තට ගියා.   


මෙතනට හැරිසොන් කියන එකත් කල්තබාම ඇවිල්ලයි හිටියේ. මුල් දෙන්නා මෙහෙම මෙතෙන්දී මුලව්චි විලා උකුළු, මුකුළු කේමින් ඉන්න කොට ඔන්න අර එගොඩ ගොඩේ කට්ටියක් ආවලු. හැරිසන් ඉතින් උන්ට කිව්වලු ‘අනේ උඹලා මේ වගක් කාටවත් කියන්න එපා.’ කියලා, උනුත් අපිට මොකෝ...? උඹේ මනාපයක් කියලා යන්ට ගියාලු. ඊට පස්සෙන් පහු මුන් දෙන්නා එතනින් පහළට බැහැලා ඔය වැලැනේ රුක් ගොමුවක් යට වැලි තලාවේ වැතිර ගෙන එකිනෙකා වැළඳගෙන රස බලන්ට ගන්න කොටම මෙන්න තවත් උන් වගයක් එහා කොනේ ඉඳන් එබිකම් කේනවාලු. පස්සේ මේකා ගොහුන් උන්ට පින්සෙණ්ඩුවිලා උන් පිටත්කර හැරියලු.   
දැන් දෙන්නත් එක්ක ඔයබඩ වැල්ලේ පෙම් ඕවිල්ලක නැළවෙනවා.   


ඔව්හු ගඟ වැල්ලේ මෙසේ සැප විඳිති. එහෙත් ඇගේ මව මෙය දැන ගත් පසු මහත් දුකටත්, වේදනාවටත් පත්වේ. තම වරිගයේ කුළ සිරිත් කඩකර නොපණත් කම් කිරීමෙන් චරිතය කෙළෙසා ගත් ඇය කෙරෙහි මව තුළ ඇති වන්නේ වේදනාව තරහ එකට එක්වූ ඉවසා ගත නොහැකි තත්ත්වයකි.  


මේ සිද්ධිය දෙස තම කවි ඇස දැල්වූ ජන කවියා ඇය ඔහුගෙන් වෙන්වී ගෙදර ආ විලාශයත්, ඇගේ හැටි දැක මව තුළ සැකයක් ඇති වූ අන්දමත් පවසන්නේ.....  


ඉන රැලි රැලි, ඉන රැලි රැලි මොකද දුවේ?  
බඳ දූවිලි බඳ දූවිලි මොකද දුවේ?  
ඉස පුපුරැටි ඉස පුපුරැටි මොකද දුවේ?  
මෝරු වලට පැන් ඉස්සේ කවුද දුවේ? යනුවෙනි.  
තම දියණිය වැඩ වරද්දා ගෙන ඇති බව ඇගේ රුවින්ම මව දැන ගත්තාය.  
ඇගේ ප්‍රශ්න කිරීමෙන් පසුව සිද්ධිය එකින් එක විස්තර කරන ජන කවියා,  
ඉස්සට යන්නන්ඩ නොකියන්ඩ වැන්දෙන්  
පස්සෙට යන්නන්ඩ නොබලන්ඩ වැන්දෙන්  
උන්ගේ වරිගේට කුල වැදුන සින්දෙන්  
පණස් තොට ඔයේ බිඟුමලී සැප වින්දෙන්  


චරිතය කෙළෙසා ගෙන නොපණත් කම්හි යෙදි ගෙදර පැමිණි දියණිය කෙරෙහි තරහෙන්, වේදනාවෙන් දෙස් දෙවොල් තැබූ මව තම සැමියාගෙන් නොපණත් කළ දියණියට දඬුවම් කරන ලෙස මෙසේ ඉල්ලා සිටියාය.  


දෙපා ඉරා පා වෙන්කර දමා පෝ  
ළැමැද පළා ළැම වෙන්කර දමා පෝ  
සීන් පතුල් දෙක වෙන් කර දමා පෝ  
බිඟු මලිගෙ පණ නැති කර දමා පෝ  
වදන් වැල  
අල කලංචිය :- හදිසි කරදරය  


අලුත් සහල් :- හේන් කුඹුරු ආදියෙන් ගන්නා පළමු අස්වැන්න  
අනිවාරතෙන්ම :- අනිවාර්යෙන්ම  
ආතක් පාතක් නැතුන් :- කාත් කවුරුත් නැති, කොහෙන් ආවාදැයි නොදන්නා  
ඇවුදින් :- ඇවිත්  
ඉස්සට යන්නන්ඩ :- ඉස්සර වෙලා යන අයට  
ඉස පුපුරැටි :- ඉසකෙස් අවුල් වෙලා  
ඉන රැලි :- ඇඳි වත පොඩිවී, රෙද්දේ ඉන වටේ රැලි පොඩි වීම  
එබෙනවා :- වතුරට බැස එබෙමින් දිය නෑම  
ඔය බොඩ :- ඔය අයිනේ  
ඔයි කීන :- ඔය කියන  
කනත්ත :- එක් වරක් වගා කරන ලද හේන  
කිඩහැල්ල :- මල්වර වෙන්නට ආසන්න සමයේ දැරිවිය  
කියාපි :- කිව්වා.  
කෙලි පොඩිස්සි :- තරුණිය, ගැටවරිය  
කේගෙන :- කරගෙන  
කොහොට :- කොටස  
ගෙරිමස් :- හරක් මස්  
ගොබිලා :- තරුණයා  
පස්සට :- පස්සේ, පසුව
පස්සෙන් පහු :- ඊට පස්සේ, පසු කාලෙක  
පයිරු පාසාන :- ඇයි හොඳයි කම් පැවැත් වීම, හිතවත් කම් පැවැත්වීම  
පැන් උල :- උල්පත, උල් පත් සහිත ළිඳ (ඌල :- උල්පත)  
පැණිපාරේ :- මී බමර පැණි සොයා කැලේට යාම  
පිළි හොඳ වෙනවා :- පළමු ඔසප් ලකුණු පහළවීම, මල්වර වීම (මල්වර විමෙන් පසු අලුත් රෙදි කඩක් ඇන්ද වීමේ අරුතෙන්)  
බාන් හාද :- ගැහැණු පිරිමි දෙදෙනෙක් අතර ඇති වෙන ප්‍රේම සම්බන්ධ තාව  
බැඳි අඹන්ට යෑම :- පිරිසක් එක්වී දඩ බල්ලන්ද පෙරටු කොට ගෙන සතුන් පන්නමින් කෙරෙන දඩයම  
මුලිච්චි වුණා :- හමුවුණා  
මුනා කෙන්නේ :- මොනවද කරන්නේ?  
මුනා කීන්නේ? :- මොනවද කියන්නේ?  
විගන්තරුව :- හදිසියේ ඇති වෙන කරදරය   

 

 

සඳරුවන් ලොකුහේවා