ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්‍රමය හා සමාජ සංවිධානය සකස් වූයේ උත්තර භාරතයේ මෞර්ය පාලනයේ ආකෘතියට අනුවයි. එම ක්‍රමය අපට දායාද කළේ ධර්මාශෝක රජතුමා සහ ඔහු විසින් බෝධිය සමග එවන ලද පිරිස් ය. මෞර්ය පාලන ක්‍රමය ලක්දිව බුදු සමය මගින් පෝෂණය විය. දහවැනි ශත වර්ෂය දක්වා පැවති මෙම සිංහල පාලන ක්‍රමය පොළොන්නරු යුගයේ ජයබාහු මානාභරණ මෙවත් පාණ්ඩ්‍යනාර් වීරපෙරුමාල් සහ ඔහුගේ පුත් මහා පාරාක්‍රමබාහු යුගයේදීත් ඉන්පසු හයවැනි බුවනෙකබාහු හෙවත් සෙබ්බගබ්බ පෙරුමාල් සහ වීර පරාක්‍රමබාහුලාගේ යුගයේ දී එය අභියෝගයට ලක්විය. ඉන්පසු රජ පැමිණි සිංහල රජවරුන් විසින් විටින් විට එම ක්‍රමය යථා තත්ත්වයට පත් කිරීමට උත්සහ කළ ද සීතාවක රාජසිංහ යුගයේදී ද මහනුවර යුගයේදී ද මහනුවර යුගයේ කොනප්පු බණ්ඩාරලා සෙනරත්ලා සහ ඉන්පසු වඩුග රජවරුන්ගේ යුගයේ දී එය ඒකාධිපති වැඩවසම් ක්‍රමයක් බවට පත්විය.
ඇතැමුන් ලිච්ඡවි පාලන ක්‍රමයක් ලෙස අර්ථකතනය කෙරෙන මෙම මෞර්ය පාලන ක්‍රමය මෙරටට දායාද කළ ආකාරය ආනන්ද පී. ගුරුගේ මහතා සඳහන් කරන්නේ මෙසේය.
ක්‍රි.පූ. තුන්වැනි සියවසෙහි ධර්මාශෝක අධිරාජයාණන් හා පැවති ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධයෙහි එක අංගයක් වූ බෝධි ශාඛාව වැඩමවීම මුල්කොට ගෙන මෙරට රාජ්‍ය බලය කෙරෙහි ශත වර්ෂ විසි එකක් තුළ බලපෑමට තරම් ශක්තිමත් වූ සම්ප්‍රදායක් පැවතීම දෙරට අතර වූ සංස්කෘතික සමීපත්වයට දෙස් දෙන්නකි. ධර්මාශෝක අධිරාජයාණන් ලම්භකර්ණ හෙවත් ළමැණි කුලයට ලක්දිවට එවූයේ සිතාමතාම පාලන බලය තහවුරු කිරීමට ගත් පියවරක් ලෙස නම් එය සාර්ථක වූ බව පිළිගත යුතුව ඇත. සුභ, වසභ, සිරිසඟබෝ, ගෝඨාභය, මහසෙන්, බුද්ධදාස, කුමාරදාස, ධාතුසේන, පළවෙනි - තුන්වෙනි - පස්වෙනි විජයබාහු, පස්වැනි හා හයවැනි පරාක්‍රමබාහු යන ශ්‍රේෂ්ඨ රජවරුන් සියලු දෙනාම ධර්මශෝක අධිරාජයාණන්ගේ ඥාති පරම්පරාවෙන් පැවත එන්නන් වූ බැවිනි.
(ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ අපේ සංස්කෘතික උරුමය ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධය - 1995 පි - 53)
ලංකාව වෙත හඳුන්වා දෙන ලද මෙම මෞර්ය පාලන ක්‍රමය දැඩි ප්‍රජාතන්ත්‍රවාදී එකක් වූ අතර එය ජන සම්මතවාදී ක්‍රමයක් ද විය. ගමක් පාලනය වූයේ ගම් සභාවක් මගිනි සෑම ගම්වැසියෙකුම එහි සාමාජිකයින් වූ අතර ඔවුන් විසින් තෝරාගත් පාලකයා ගම්ලද්දා හෙවත් ගමරාළ විය. මෙවැනි ගම් දහයක නායකයින් අතුරින් තෝරාත් නායකයා. දසගම් ඇත්තන් විය. බදුලු ටැම් ලිපියේ ගම්ලද්දන් පිළිබඳව ද වේවැල්කැටිය සෙල්ලිපියේ දසගම් ඇත්තන් අතුරින් රට ලද්දන් තෝරා ගනු ලැබූ බව ද සඳහන් වෙයි. ගම්දරුවන් යනු රාජ්‍ය නියමයෙන් ගම් දනව්වල නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විය.
පොදු ජනයාගේ සේවය අවශ්‍ය වන විශාල ඉදිකිරීම්වල දී ශ්‍රමිකයන් සඳහා වැටුප් ගෙවන ලදී. එසේම ආහාරපාන මෙන්ම වස්ත්‍රාභරණ ද දෙන ලදී. රුවන්වැලි මහ සෑය ඉදිකිරීම් සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් 500ක් අතුරින් තෝරාගත් ශිල්පියාට කහවණු 12,000ක් ද කහවණු දහසක් වටිනා පිළි සඟලක් සහ එතරම්ම වටිනා මිරිවැඩි සඟලක් ද රජතුමා විසින් දෙන ලදී. රාජකීය උත්සව හෝ පිංකම් සඳහා අනුරාධපුරයට පැමිණෙන පොදු ජනයා වෙනුවෙන් දැලි රැවුල් කැපීම හා සුදු රෙදි ලබාදීම රාජ්‍ය භාණ්ඩාගාරයේ වියදමින් සිදුවිය. ඔවුන් සඳහා ආහාර පාන ලබාදීමට ප්‍රවිෂ්ඨ මාර්ග හතර අසළ දන්සැල් හතරක් විවෘතව තැබීම ද සිරිතක් විය.
රාෂ්ට්‍ර පාලනය රජවරු සේනාධිපතිවරු විවිධ ශිල්පීන් සහ පොදු ජනයා එක්ව කරගෙන ගිය සාමූහික පාලන ක්‍රමයක් විය. විහාර හා ආරාම පාලනය ගිහියන් විසින් සිදු කරන ලද අතර මුදල් පරිහරණය හෝ දේපොල අයිතියක් භික්ෂූන් හට හිමි නොවීය. විහාර හා ආරාම “අගත අනගත චතුදිස” එනම් අතීතයේ පැමිණියා වූ ද අනාගතයේ දී පැමිණිය හැකි වූ ද සතර දිග් භාගයේ භික්ෂූන් සඳහා විවෘත විය. කුලය පදනම් කරගත් නිකාය භේදයක් භික්ෂූන් අතර නොවීය.
චන්ද්‍රමුඛසිව රජුගේ කාලයේ දී කුණාටුවකට හසූවූ රෝම නැවක පිරිස් මෙරට රජුගේ ඇප උපකාර ලබමින් මාස හයක් අනුරාධපුරයේ (අග නගරයේ) ගත කොට ආපසු සිය රටට ගොස් කරන ලද විස්තර අනුව ප්ලීනි නම් වූ රෝම ගත්කරුවා අප රට පිළිබඳව කර ඇති විස්තරයක් මෙසේය.
“වාල්ලු කියා කොටසක්වත් වහල් වෙළෙඳාමක්වත් මෙහි නොමැතිය. වැසියන් අතරින් තෝරා ගන්නා තිස් දෙනෙකුගෙන් යුත් මන්ත්‍රණ සභාවක් රජුට තිබේ. රජු ස්වකීය රාජ බලය ඉක්මවා නොපනත්කම් කළහොත් මුළු රටවැසියා ඔහු පිළිකුල් කිරීමෙන් ඔහු ඊට දඬුවම් ලබන්නේය.”
අප රටේ භූමිය එහි සරුසාර බව මෙන්ම ආණ්ඩු ක්‍රමය පිළිබඳව ඔහු මෙසේ සඳහන් කරයි.
“...එහි භූමිය අතිශයින් සාරවත් ය. මිදි ඵල හැර අනෙකුත් සියලුම පළතුරු වර්ග බහුලව තිබේ. ඒ රටේ ආණ්ඩු ක්‍රමය ඉතා ධාර්මිෂ්ඨ ය. එහි මනුෂ්‍යයෝ සුඛිතව කල් යවත්. ඔවුහු යූරෝපීයන්ට වඩා දීර්ඝායුෂ වළඳත්. ඔවුන්ගේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් කොයිම විටකවත් අධික නොවන්නාහ. ඔවුහු ඔවුන්ගේ උත්සවයන් හිදී දඩයම් කිරීමෙහි යෙදෙත්...”
ධර්මාශෝකයන් විසින් හඳුන්වා දෙන ලද පාලන ක්‍රමයේ තවත් අංගයක් වූයේ මෞර්ය නීතියයි. ලෝක ශිෂ්ටාචාර අතර ඉතා දියුණුම නීති පද්ධතියක් තිබුණේ මෞර්ය අධිරාජ්‍යය තුළ ය. එහි උපත පර්සියාවේ විය. එහිදී ශක්‍ර නීතිය (ක්ෂත්‍රීය නීතිය) ලෙස හැඳින්වූ එම නීති පද්ධතියට පදනම් වූයේ උරාට්‍ර දේශයේ පාලන ක්‍රමය සහ මනු දේශයේ මනු නීතියයි. (හින්දූන්ගේ මනු නොවේ) එය චන්ද්‍රගුප්ත මෞර්ය යුගයේ දී මෞර්ය නීතිය ලෙස හැඳින්විණි.
පාර්සියන් අධිරාජ්‍ය බිඳ වැටීමෙන් පසු එහි සිට ඉන්දීය බලඇණිය මෙහෙය වූ උත්තර භාරතයේ චන්ද්‍රගුප්ත සිය රටට පැමිණ පිහිටුවා ගත් මෞර්ය අධිරාජ්‍යයේ ක්‍රියාත්මක කළ පාලන ක්‍රමය මෞර්ය පාලන ක්‍රමය ලෙස හැඳින්වේ. මෞර්ය පාලන ක්‍රමයේ දී කුල භේදය හෝ රදළ වැඩවසම් ක්‍රමය ඇති වීමට ඉඩ නොදෙන ලදී. වැටුප් මත පදනම් වූ සේවක පිරිසක් නඩත්තු කිරීමෙන් පහත් යැයි සම්මත ගෝත්‍රික ජනයා හට ඉඩම් අයිතිය ලබා දෙමින් ඔවුන් නිෂ්පාදන කාර්යයට සම්බන්ධ කරගැනීමත් බ්‍රාහ්මණ බලය නැගී සිටීමට ඉඩ නොදීමත් බදු මුදල් අය කිරීම සඳහා අතරමැදි රදළයින් පත් නොකිරීමත් නිසා සමාජය තුළ තිබූ බෙදීම් කුලභේදයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොතැබීය.
ඉන්දියාවේ විශාලතම මධ්‍යගත රාජ්‍යය වූයේ චන්ද්‍රගුප්තගේ මෞර්ය අධිරාජ්‍යයයි. නාගරික සහ ග්‍රාමීය මට්ටමේ දී ප්‍රජාතන්ත්‍රවාදී වූ ද ඉහළම මට්ටමේ දී හික්මුණු තනි පාලකයෙකුගෙන් ද සමන්විත වෙන ලෙස එය ඉතා හොඳින් සංවිධානය වූ පාලන තන්ත්‍රයක් විය. සිය ජයග්‍රහණයන් අධිරාජ්‍යයේ පාලන රටාවන් නිසා චන්ද්‍රගුප්තගේ කීර්තිය පුළුල්ව හා දුරස්ථව පැතිරීමත් බාහිර රටවල් විසින් ඔහුගේ අධිරාජ්‍ය ශ්‍රේෂ්ඨ බලයකින් යුත් එකක් ලෙස පිළිගැනීමක් ද ඇති විය. ඊජිප්තුවේ සහ සිරියාවේ රජවරුන් විසින් මෞර්ය රාජ සභාවට තානාපතිවරුන් පත්කර එවන ලදී.
චන්ද්‍රගුප්තගේ රාජ සභාවෙහි සිටි ග්‍රීක තානාධිපති මෙගස්තීනිස් අධිරාජ්‍යයේ කාර්යක්ෂම පාලනය උසස් ඇගැයීමකට ලක්කර ඇත. ග්‍රීක සහ රෝම සංචාරකයින්ගේ අදහස් පළ කිරීම්වල එකතුවක් වූ ඉන්ඩිකා (Indica) ග්‍රන්ථයෙහි මෙගස්තීනිස් මෙසේ සඳහන් කරයි.
“...කෘෂිකර්මය සමෘධිමත් ය. ජලය බහුල ය. වාණිජ සම්පත් සුලභ ය. ඉන්දියානුවන් වර්ණවත් සහ දීප්තිමත් ඇඳුම් ඇන්දෝය. ස්වර්ණාභරණ සහ මැණික් සිතූ ලෙස පැළඳුවෝය...” රැකියාව අනුව සමාජ බෙදීම් වූ බවත් ආගමික නිකායන් සමූහයක් තිබූ බවත් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අධිරාජ්‍යය තුළ විසූ බව ද ඔහු සඳහන් කරයි.
මෞර්ය අධිරාජ්‍යයට වැටුප් මත පදනම් වූ විශාල හමුදාවක් නඩත්තු කිරීමට සිදුවිය. අනෙක් අතට ඔවුන් සහ විශාල ජනතාවකට ඔවුන්ගේ ආහාර ප්‍රශ්නය විසඳීමට ද සිදුවිය. මේ සඳහා කෘෂිකර්මයේ දැවැන්ත වර්ධනයක් ඇති කිරීමට අධිරාජ්‍යයට සිදුවිය. මේ සඳහා රටේ පැවති සාම්ප්‍රදායික කෘෂික්‍රම තවදුරටත් පවත්වාගෙන යාමටත් නව ක්‍රම හඳුන්වා දීමටත් අවශ්‍ය විය. ඒ අනුව මෞර්ය අධිරාජ්‍යයේ කෘෂිකර්මය දේපොළ හිමිකමේ ස්වරූපය මත පදනම් වූ ක්‍රම දෙකකින් සමන්විත විය. එයින් පළමුවැන්න වූයේ මෞර්ය පාලන සමයටත් පෙර සිට පැවත ආ පාරම්පරික ඉඩම් හා දේපොළ හිමියන් සතු කෘෂිකර්මයයි. රාජ්‍ය බලපෑමෙන් තොරව නිදහස්ව කටයුතු කළ මෙම දේපොළ හිමියන් විසින් නිපදවන ලද නිෂ්පාදනයන්ගෙන් රජයට ගෙවිය යුතු බදු මුදල රාෂ්ට්‍ර භාගය (Rashtra Tax) විය. සිය අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ දී සහ පරිපාලනයේ දී රාජ්‍ය පරිපාලනයෙන් බොහෝදුරට නිදහස් වූ මෙම නිදහස් දේපොළ හිමියන්ගේ එකම වගකීම වූයේ රජයට නිතිපතා බදු ගෙවීමය.
චන්ද්‍රගුප්ත විසින් ග්‍රීක ආක්‍රමණිකයාට විරුද්ධව සටන් කිරීමේ දී ඉන්දියානු ගෝත්‍රික ජනයා ද සන්නද්ද කොට සහාය ලබාගති. යුද්ධයෙන් පසු මෙම ගෝත්‍රික ජනයාගේ සම්ප්‍රදායික ජීවන ක්‍රමය ක්‍රමානුකූලව මුලිනුපුටා දමන ලදී. ඒ අනුව මෙම ජනයා කැලෑ ඉඩම් එළිපෙහෙළි කිරීමට යොදවා එම ඉඩම්වල අයිතිය ඔවුන් වෙත පවරා දෙමින් කෘෂිකාර්මික නිෂ්පාදනයේ විප්ලවීය දියුණුවක් ඇති කරන ලදී. මෙම ඉඩම් හිමිකම හඳුන්වනු ලද්දේ සීතා හිමිකම යනුවෙනි. සීතා යනු පොළොවට නමකි. සීතාඑළිය යනු කැලෑ ඉඩම් එළිපෙහෙළි කළ විට ඒවාට යෙදෙන නමකි. මේ අනුව සීතා හිමිකම් ක්‍රමය මෞර්ය අධිරාජ්‍යයේ දෙවැනි ප්‍රධාන ඉඩම් හිමිකම් ක්‍රමය බවට පත්විය.
මෙම කැලෑ ඉඩම් වගාවන්ට විවෘත වීමත් සමග රාජකීය ආදායම ද පුළුල් විය. මෙවැනි ඉඩම්වලින් ලබාගත් බද්ද සීතා (Sita Tax) ලෙස ව්‍යවහාරයට පත්විය. පසුකාලීනව හින්දූන් විසින් ගොඩනගන ලද “රාම-සීතා” පුරාවෘතය මෙම රාෂ්ට්‍ර බද්ද රාමා ලෙසටත් සීතා බද්ද සීතා චරිතය ලෙසටත් ගෙන සකස්කරන ලද කල්පිත රචනාවක්ය යන්න භාරතීය ඉතිහාසඥයින්ගේ මතයයි. මෙම කැලෑ ඉඩම්වල අයිතිය වගාකරුවන්ගේ දේපොළ බවට පත් කරන ලද නමුත් එම ඉඩම් පිළිබඳව ආයතන පාලනය රජය විසින් දැඩි ලෙස පවත්වාගෙන යන ලදී. වගා බිම් එකිනෙකට දුරස්ව තිබූ නමුත් ගෝත්‍රිකයින් අතර සබඳතාවය කැලෑ බිම් එළිකිරීම වගා කටයුතු ආදියට පමණක් විවෘත කරන ලදී. අභ්‍යන්තර එක්සත්කම බිඳහෙළන ක්‍රියාවලීන්ට හෝ රජයට විරුද්ධකම් දැක්වීමේ ක්‍රියාවලීන්ට හිස එසවීමට නොහැකි වන ලෙස මෞර්ය පාලනය ප්‍රවේශම්කාරී විය.
මතු සම්බන්ධයි...
එම්.කේ. ජයසේන
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)