සුද්දගේ ආණ්ඩුවට ගෙවූ ශත පනහේ ඇඟ බද්ද
මෙරට යටත් විජිතයක් බවට පත් කරගත් පෘතුගීසින් වසර 135කට ආසන්න පාලන කාලය තුළ වරාය බදු, තොටුපළ බදු, වී බදු, රේන්ද බදු, අස්වැන්න බදු, වෙළෙඳ බදු ආදියෙන් ආදායම ලබා ගත්හ. පෘතුගීසින්ගෙන් පසු 1640 දී මෙරට යටත් විජිතයක් බවට පත් කරගත් ඕලන්දයින් ද වරාය බදු, තොටුපළ බදු, රේන්ද බදු, වෙළෙඳ බදු ආදියෙන් වැඩිපුර ආදායම් ලබාගත්හ. වී, පුවක්, ගම්මිරිස්, කරදමුංගු ආදියෙන්ද අස්වැන්නෙන් ප්‍රමාණවත් කොටසක් ඔවුන් බදු වශයෙන් අය කරගෙන තිබුණි.
ඕලන්ද යටත් විජිත යුගයේ මුහුදුබඩ පළාතේ දිශාවන් වලට අය බදු පාලනය සඳහා ප්‍රධාන නිලධාරීන් ලෙස රෙයිඩන්ට්ස්වරු පත් කර තිබුණි. ඒ ඒ දිසාවන් කෝරල වලටත්, කෝරල පත්තු වලටත් බෙදා එක් එක් කෝරලයට අය බදු එකතු කිරීම සඳහා මුලාදෑනිවරු පත් කර සිටියහ. එම මුලාදෑනිවරුන්ගේ සහායට සහකාර මුලාදෑනිවරුන්ද පත් කෙරිණ. ගම්වල බදු අය කිරීම එම සහකාර මුලාදෑනිවරුන්ට පැවරී තිබුණි.
1796 දී බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ත්‍රිකුණාමලයේ සිට මාතර දක්වා ප්‍රධාම ආදායම් පාලක නිලධාරි ලෙස මදුරාසියේ සිවිල් නිලධාරියකු ලෙස කටයුතු කළ රොබර්ට් ඇන්ඩෲස් මහතා පත් කරනු ලැබූහ. 1796-09-25 වැනි දින ඔහු විසින් පනවන ලද නියමයන්ට අනුව එක් පොල් ගසකට වසරකට රිදී පනම බැගින් ජනතාවට බදු ගෙවීමට සිදු විය. පලඳින ආභරණ වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම බද්දක් ගෙවීමට ද නියම කෙරිණි. මාළු බද්ද, ලුණු බද්ද, අරක්කු බද්ද, රා බද්ද, තොටුපළ බද්ද, අස්වැන්න බද්ද ආදිය ඕලන්දයින් අය කළ ප්‍රමාණවලටත් වඩා අධිකව අය කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිදු විය.
බදු අය කර ගැනීමට ඒ වන විට පත් කර සිටි ස්වදේශික දිසාපතිවරු, පත්තුවල මුදලිවරු, මුහන්දිරම්වරු, කෝරලේ මහත්වරු, විදානආරච්චිවරු, කොට්ඨාස මුලාදෑනිවරු ආදීන් ඉවත් කර ඒ සඳහා ගෙන්වන ලද මදුරාසි ඔම්ල්දාර්වරුන් දහස් ගණනක් බදු අය කරන්නන් ලෙස පත්කිරීම මෙකල සිදු විය.
මෙම තත්ත්වය හමුවේ මෙරට හටගත් නොසන්සුන්තාවය හා කැරලි කෝලාහල පිළිබඳව සොයා බැලීම සඳහා මදුරාසියේ ආණ්ඩුකාර හොබාර්ට් සාමිවරයා මෙරටට පැමිණියහ.
ඔහු සහ වාර්තාව ඉදිරිපත් කරමින් පොල් ගස් බදු අය නොකළ යුතු බවටත්, පෞද්ගලික සේවයන් සඳහා වූ ඉඩම් ආපසු නැවත දිය යුතු බවටත්, මලබාර් මුදුකාර ජනයා පිටුවහල් කළ යුතු බවටත් නිර්දේශ කර තිබුණි. 1797-10-01 දින සිට ගාලු වරායෙන් පිටරට යවන අරක්කු ලේගරයකට පතාග 8ක තීරු ගාස්තුවක්ද, ගෙඩි 24000 පුවක් අමුණකට පතාග 10ක තීරු ගාස්තුවක්ද අය කළ යුතු බවට නියම කර තිබුණි.
බ්‍රිතාන්‍යයන් සතුව පැවති ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ආදායම වැඩි කර ගැනීමට 1807 දී අග්‍ර විනිශ්චකාර ධූරය හෙබවූ සර් ඇලෙක්සැන්ඩර් රොන්ස්ටන් මහතා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ගාල්ලේ අරක්කු රේන්දය, කොළඹ අරක්කු රේන්දය විකුණන මිලටම විකුණන ලෙස නියම කෙරිණි. හතරැස් අඩියක බිම සඳහා වසරකට පයිසාව ගණනේ ජනතාවගෙන් බද්දක් අය කිරීමට ද නියම කෙරිණි.
මෙරට තුළ පළමුවරට ඇඟ බද්ද පනවන ලද්දේ ඕලන්දයින් විසිනි. ප්‍රථමයෙන්ම මෙරට විසූ ද්‍රවිඩ ජනතාවගෙන් මෙම බද්ද අය කරගෙන ඇත. ඇඟ බද්ද නොගෙවූ ගාල්ලේ විසූ ද්‍රවිඩ ජනතාවට ගාල්ල ඕලන්ද කොටුව ඉදිරිපස එවකට තිබූ දිය අගල වසරකට දින හයක් සුද්ධ පවිත්‍ර කළ යුතු විය. ඉංග්‍රීසීන් විසින් 1848 සිට ස්වදේශිකයින්ගෙන් ද මෙම ඇඟ බද්ද අය කර ඇත. වාර්ෂිකව එම බද්ද ගෙවිය යුතු වූ අතර බද්ද නොගෙවන්නේ නම් වසරකට දින හයක කාලයක් මංමාවත්වල නඩත්තු කටයුතුවල නිරත වන්නට සිදු විය.
1903 වන විට ඇඟ බද්ද ලෙස මෙරට පුද්ගලයෙකුට වසරකට ශත 50 ක මුදලක් ගෙවීමට නියම කර තිබුණි. එම මුදල නොගෙවන්නේ නම් දින දෙකක් රජයට වැඩ කළ යුතු විය. 1903 පෙබරවාරි මස 22 වන දින දොඩන්දූව පටුවත විසූ ජී. එලියස් ද සිල්වා මහතා ඇඟ බද්ද ලෙස ශත 50 ක මුදලක් ගෙවන ලද ලදු පතක් ඔහුගේ මුනුපුරෙකු වන දොඩන්දූව, ගාලු පාරේ පදිංචි පී.ඩබ්ලිව්. ගාමිණී ජයරත්න මහතා සන්තකයේ අදටත් පවතී. එම ලදු පතෙහි විලේජ් ලේබර් (village labour) ඉලක්කම 20, මිනිහගේ නොම්බරය 54, ගම්සභා කොමිටිවල නියමය පරිදි දවස් දෙකක් වැඩ කරනවා වෙනුවට මුදලෙන් ශත 50ක් ගෙවා නිදහස් වුණා ඇත යනුවෙන් එහි සඳහන්ව ඇත.
ගාමිණී ජයරත්න මහතාගේ සන්තකයේ ජී. එලියස් ද සිල්වා මහතාට අයත් ඓතිහාසික වැදගත් කමකින් යුතු තවත් ලිපි ලේඛන සිය ගණනක් අදටත් සුරැකිව පවතී. එම ලිපි ලේඛන අතර වසර 130 ක් තරම් පැරණි ජපන් රටේ සාදන ලද වෙසක් සුබපැතුම්පත් කීපයක් ද වෙති.
ජී. එලියස් ද සිල්වා මහතා 1903 නොවැම්බර් මස 02 වැනි දින යුග දිවියට පත්ව ඇත. ඒ සඳහා 1903 ඔක්තෝම්බර් මස 15 වැනි දින මුද්‍රණය කර ඇති මංගල්‍යය ආරාධනා පත්‍රයේ මෙලෙස සඳහන් වේ.
‘සුභ මංගල්‍යස්තු ගෞරවාදරයෙන් දැනුම් දී එවන සුභ මංගල්‍යාරාධනාවයි!
මෙහි පහත අත්සන් කරන දොඩන්දූව, මෝදර, පටුවත පදිංචි ගාල්ලගේ උදාරිස් ද සිල්වා වන මාගේ, ප්‍රිය පුත්‍ර වූ ජී. එලියස් ද සිල්වා තිරාණගම පදිංචි කේ. බබන් ප්‍රේරා මහත්මයාගේ ප්‍රිය හිතෘවූ බබා නෝනා ප්‍රේරා මහත්මී හා සමග ලබන නොවැම්බර් 02 සඳුදින සිරිත් ප්‍රකාර විවාහ මංගල්‍යයට ඇතුළත් වන බැවින් ඒ සඳහා අප විසින් පිළියෙළ කරන ලද ආදර සංග්‍රහයන් පිළිගනිමින් අප හා සමග ප්‍රිය සතුටු වීම පිණිස ලබන මස 01 දින අප නිවසට ළඟා වන මෙන් ඉල්ලමි’ යනුවෙනි.
වසර 116 ක් තරම් පැරණි ලියුම් පත්‍ර හෙවත් ලෙටර් කාඩ්පත් (Letter Card) ගොන්නක් ද මෙම ලිපි ලේඛන අතර වෙති. එම ලියුම් පත්‍රයන්හි මුද්දර ගාස්තුව සත පහකි. ඉන් එක් ලියුං පත්‍රයක 1904 ජූලි මස 5 වැනි දින දොඩන්දුව තැපැල් කාර්යාලයේ නිල මුද්‍රාව තබා ඇත. එලියස් ද සිල්වා මහතාගේ පියා වූ උදාරිස් ද සිල්වා මහතා 1946 නොවැම්බර් මස 16 වන දින මියගොස් තිබුණි. ඒ පිළිබඳව දන්වමින් කල්මුණේ සිටි උදාරිස් ද සිල්වා මහතාට දොඩන්දූව තැපැල් කාර්යාලයෙන් 16 වන දින කල්මුණේ තැපැල් කාර්යාලය වෙත යවන ලද ටෙලිග්‍රෑමය එදිනම ඔහු අතට පත්ව තිබුණි. අදටත් වඩා හොඳින් එකල මෙරට තැපැල් සේවාව කාර්යක්ෂමව පැවති බවට එය කදිම නිදසුනකි.
වසර 130 කට පමණ පෙර එනම් 1890 පමණ වන විට මෙරටට අවශ්‍ය කරන අභ්‍යාස පොත් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ඇත. ලිවීම සඳහා උපයෝගී කරගත් කටුපෑන් සහ තීන්ත එංගලන්තයෙන් ආනයනය කර ඇත. අභ්‍යාස පොත්වල කටු පෑනෙන් ලියන ලද සටහන් වසර 130 තරම් කාලයක් ගත වුවද තවමත් ඉතා හොඳින් සුරැකිව පවතින අයුරු එලියස් ද සිල්වා මහතාගේ ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී අපට දැකගත හැකි විය.
1959 පමණ වන විට දරුවන්ගේ ඉඳුල් කටගෑම පවා උත්සවයක් ලෙස මෙරට තුළ පවත්වා තිබුණි. 1959 මාර්තු මස 23 වන දිනය සඳහන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ඇති ඒ සඳහා වන ආරාධනා පත්‍රයක මංගල මුඛ පත් කිරීමේ ප්‍රීතිය උදෙසා පැවැත්වෙන උත්සවයට සවස 02 දෙකේ සිට රාත්‍රි 10 දක්වා පවත්වන ප්‍රිය උළෙලට පැමිණීම ගෞරවයෙන් ආපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.
වසර 120ක් තරම් පැරණි කොළඹ ඩබ්ලිව්. ජෝන් පෙරේරා සමාගම මගින් මුද්‍රණය කරන ලද දින පොත් රැසක් ද එම ලිපි ලේඛන අතර වෙති. 1902 නිකුත් කර ඇති දින පොතෙහි කවරයේ ඇතුළු පැත්තේ කොළඹ පිටකොටුවේ දියමන්ති ජුබිලි පෙරදිග වස්ත්‍රාභරණ වෙළෙඳ ශාලාවේ ඇඳුම් පැලඳුම් පිළිබඳව දැන්වීමක් පළකර තිබේ. පිටපළාත් වල අයට වුවමණා බඩු තැපෑලෙන් හෝ රේල්ලුවෙන් එවන්නට සූදානම්ව සිටින බවද එහි සඳහන් වේ.
අශ්ව කරත්ත, තනි ගොන් කරත්ත සහ අදින කරත්තවලට ගෙවිය යුතු කුලිය ද එම දින පොතෙහි සටහන් ව ඇත. කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවලට වෙන් වෙන් වශයෙන් ගාස්තු සඳහන්ව ඇත.
කොළඹ නගරයේ තනි අශ්වයකුගෙන් අදින පලවන පන්තියේ අශ්ව කරත්තයකට උදේ 6 සිට සවස 7.30 වනතුරු කුලිය රුපියල් 04කි. ඒ අතර තුරේ පැය හයකට රුපියල් 02කි. පැය බාගයකට ශත 50කි. ඊට පසු පැයකට හෝ ඉන් කොටසකට සත 25 කි. තනි අශ්වයෙකුගෙන් අදින දෙවන පන්තියේ අශ්ව කරත්තයකට උදේ 6 සිට සවස 7.30 වනතුරු රුපියල් 3 කි. ඒ අතරතුර පැය හයකට රුපියල් 1.50කි. පැය බාගයකට සත 40කි. පැයකට සත 75කි. ඊට පසු පැයකට හෝ කොටසකට සත 20කි.
අශ්වයෝ දෙන්නෙක් අදින පළවන හෝ දෙවන පන්තියේ අශ්ව කරත්තයට ඉහත සඳහන් ගණන් වලට සමාන තවත් කොටසක් එකතු කළ යුතුය. ගොං කරත්ත පළ වන පන්තියේ වැගනට් නොහොත් බක්කි කරත්තයකට උදේ 6 සිට සවස 7.30 වනතුරු රුපියල් 02කි.
දෙවන පන්තියේ තනි ගොන් කරත්තයකට උදේ 6 සිට සවස 7.30 වනතුරු රුපියල් 1.50 කි. ජින් රික්ෂෝ නොහොත් අදින කරත්තයකට පැය භාගයකට හෝ ඉන් කොටසකට ශත 25 කි. යම් තැනක නවතා සිටින සිටින ලද පැයකට සත 10කි. කොළඹ කොටුව තුළ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සත 10කි.
මඩකලපුව පුලියම්කිව් ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු ව සිටි ජී. ජානිස් සිල්වා මහතා 1905 ජුනි මස 5 වන දින වැඩිමහල් සොහොයුරා වූ එළියස් ද සිල්වා මහතාට එවා ඇති ලිපියක මෙලෙස සඳහන් වේ.
පුලියම්දූවේ කඩේ දීය.
කරුණාවන්ත වූ අයියා වෙත ලියා දන්වන වග නම් 31 දින, පළමුවෙනි දින එවන ලද ලියුමන් දෙක ලැබී භාර ගත්තාය. තවද තිස් වැනි දින ගාල්ලෙන් පිටත්ව ආ නැවේ එව් පුවක් ගෝනි 15 භාර ගත්තාය. තවද එම පුවක් හීන් නිසා විකුණා ගන්ට අමාරුය. පුවක් එවනකොට ලොකු හොඳ පුවක් වලින් එවන්ට ඕනෑය. දැනට මේ පළාතේ පුවක් අමුණක මිල 24/25 ක් වේ. අපට එව් පුවක් බාල නිසා විකුණා ගන්ට අමාරු උනාය. පුවක් ගෝනි පහළහ විකුණා ගත්තාම පුවක් ගෝනි දහයක් පහළොවක් එවන්න යැයි දෙවනුවට ලියා එවන්නම්. එහෙම උඹ සතුටු නම් එහෙම ලියා එව්වහම එවාපන්.
31 වන දින පිටත්ව ආ නැවෙන් චාර්ලිස් සහ සිදෙරික් අප්පුත් ආවාය. එම දින මම ටැලිගෑම් එකකුත් එවා ඇත. තවද චාර්ලිස් ලා යද්දි රෙදි මිටියකුත් ගෙනාවාය. එකත් බාර ගත්තාය. වැඩි දේවල් දෙවනුව ලියා එවමි. තවද මෙහි වසන අප ද තරමක් සනීපයෙන් පසුවෙනවාය.
සටහන හා ඡායාරුප
රත්ගම ගාමිණී මහදුර