යාපනේ පාසලක ඉගැන්වූ බර්නාඩ් ෂෝගේ පෙම්වතිය


 

‘එහි වෙසෙන සෑම කෙනෙකුම නව්‍යමය සේ පෙනෙන බැවින් ලංකාව මිනිස් වර්ගයාගේ තොටිල්ලයි.’   
ජොර්ජ් බර්නාඩ් ෂෝ   
Ceylon is the Cradle of Humau race Because Every One there Looks an Original   
Gewge Bernard Chaw 

 
අයර්ලන්තයේ ඉපිද සිය ජීවිතයෙන් වැඩි කාලයක් එංගලන්තයේ ජීවත් වූ මහා නාට්‍ය රචක ජෝර්ජ් බර්නාඩ් ෂෝ ලංකාවට මේ උපහාරය පිදුවේ කිහිප වරක් ලෝක සංචාරයේ යෙදීමෙන් ලත් අත්දැකීම් අනුව විය යුතුයි. එහෙත් එක්දහස් අටසිය ගණන්වල මුලදී අප ‘ශිෂ්ට කිරීමට’ මෙහි පැමිණි මිෂනාරියෙකු වූ හීබර් නමැති බිෂොප්වරයා පළකර තිබුණේ මීට හාත්පසින් වෙනස් අදහසකි.   


‘එහි හැම දෙයක්ම සිත පිනවයි   
එහෙත් මිනිසුන් පමණක් වනචරය’   
'Every Prospect Pleases   
And Only Man is Vile'   


උගත් බිෂොප්වරයෙකුගේ මේ වචන වලින් විදේශිකයෙකුට මැවී පෙනෙනු ඇත්තේ අප්‍රිකාවේ මිනී කන කාපිරින් වැනි මිනිසුන් ලංකාවේ ද සිටින බවයි. එවැනි දේශයකට පය තැබීමට කැමැති විදේශිකයා කවුද? එහෙත් සුරූපී ඉංග්‍රීසි නිළියක් වූ ෆ්ලොරන්ස් ෆාර් (Florence Farr) සිය හිතවතුන්ගේ උපදෙස් නොතකා මේ පියවර ගත්තේය. මේ ඇයගේ කතාවයි.   


මිත්‍රත්වයක ආරම්භය 


සිනමාව බිහි වී නොතිබුණු එක්දහස් අටසිය ගණන්වල අග භාගයේ එංගලන්තයේ බොහෝ රසකාමීන් රසවින්දනය සඳහා ඇදී ගියේ නාට්‍ය ශාලාවලටය. මේ නිසා විශාල නාට්‍ය ශාලා කිහිපයක් ලන්ඩනයේ කොවන්ට් ගාඩ්න් ප්‍රදේශයේ බිහිවී තිබුණි. බ්‍රිතාන්‍ය රජ පවුලේ උදවිය පවා එදා රස විඳීම සඳහා මේ නාට්‍ය ශාලාවලට පැමිණියහ. එක්දහස් පන්සිය ගණන්වල දී විලියම් ශේක්ෂ්පියර් (1564 - 1616) විසින් ජනප්‍රිය කර වූ බ්‍රිතානය නාට්‍ය කලාව, එක්දහස් අටසිය ගණන්වල අගභාගයේ දී යළි උද්දීපනයට පත්කරනු ලැබුවේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ (1856 - 1950) විසිනි. ඔහු ලියූ නාට්‍ය රාශිය අතුරින් එක් වූ පිග්මැලියොන් (Pygmalion) මයි ෆෙයා ලේඩි නමින් පසු කාලයේ දී තිරගත වී ලොව පුරා ජනප්‍රිය විය. හාස්‍ය උත්පාදනයේලා ඔහු කෙතරම් දක්ෂයෙකු වීදැයි මේ චිත්‍රපටය නරඹන විට පැහැදිලි වේ. ඔහු නාට්‍ය රචකයෙකු පමණක් නොව නළු නිළියන් පුහුණු කරවන්නෙකු හා නාට්‍ය විචාරකයෙකු ලෙස ද දක්ෂ විය. මේ නිසා බොහෝ නළු නිළියේ ඔහුගේ සමීප ඇසුර ලැබීමට උත්සාහ කළහ. මෙවැනි නිළියන්ගෙන් සමහරු ෂෝගේ පෙම්වතියන් බවට පත්වීම මෙහි ප්‍රතිඵලයකි.   
 සුරූපී තරුණියක් වූ ෆ්ලොරන්ස් ෆාර්, බර්නාඩ් ෂෝ හඳුනා ගන්නේ මෙවැනි වාතාවරණයකදීය. ලන්ඩනයේ සම්භාවනීයය වෛද්‍යවරයෙකුගේ දියණියක් වූ ඇය බුද්ධිමත් කාන්තාවක් වූවාය. කියවීමට මහත් ඇල්මක් දැක්වූ ඇය එයින් සිය දැනුම පෝෂණය කරගත්තාය. නාට්‍යය සහ සංගීතය ද ඇගේ ප්‍රියතම විෂයයන් විය. පියාගෙන් තමාට උරුම වූ ධනය නිසා නිදහස් ජීවිතයක් ගතකිරීමට ඇයට හැකි විය. රඟපෑමට ප්‍රිය කළ ද තෝරාගත් චරිතවල පමණක් රඟපෑමට ඇයට හැකිවූයේ ආර්ථික වශයෙන් තිබුණු ශක්තිය නිසාය.   
 විලියම් මොරිස්. මේ අවධියේ ලන්ඩනයේ සිටි ප්‍රමුඛ පෙළේ ධනවතෙකි. ඔහු කවියෙකු, නිර්මාණකරුවෙකු, කලා පුනර්ජීවනයෙහි උනන්දු වූවෙකු හා සමාජවාදියෙකු ලෙස ද ප්‍රකටව සිටියේය. ඔහුගේ රූමත් දියණිය, මේ මොරිස් (May Morris) ගෙන් එම්බ්‍රොයිඩර් ශිල්පය ඉගෙනීම සඳහා එම නිවසට යන පුරුද්දක් ෆ්ලොරන්ස්ට තිබුණි. මේ මොරිස් යුවතිය හා ආලයෙන් බැඳී සිටි බර්නාඩ් ෂෝ ද මේ නිවසට ආගිය අයගෙන් කෙනෙකු විය. එහෙත් ඇයගේ ධනවත්කමත්, තමාගේ දුප්පත් කමත් අනුව තමාට ඇය හා විවාහවීමට අවස්ථාවක් ඇති නොවන බව ද අවබෝධකර සිටියේය. මේ යථාර්ථය හමුවේ රූමත් සුවිනීත ෆ්ලොරන්ස් කෙරෙහි ෂෝගේ අවධානය යොමුවීම පුදුමයක් නොවේ. කාන්තාවකගෙන් තමා අපේක්ෂා කරන සියල්ල ඇය තුළ පිහිටා තිබුණු බව ද ඔහු දුටුවේය. ඇය රූමතියක් වූවාය. පිරිමින් කෙරෙහි නම්‍යශීලි වූවාය. දයාන්විත ද වූවාය. කාන්තා ලාලිත්‍යයෙන් පොහොසත් වූ ඇය සමාජවාදී දර්ශනය පිළිබඳව ද උනන්දු වූවාය. සිතුම් පැතුම් අතින් තමන් ජීවත් වූ යුගයට ඉදිරියෙන් සිටියෙකු ලෙස ඇය ‘අලුත් ගැහැණිය’ (New Woman) යන නාමය ලැබීමට ද සුදුසු වූවාය. ෆ්ලොරන්ස් හමුවීමෙන් ෂෝ තුළ ඇති වූයේ මහත් අනුවේදනයකි.   


එහෙත් මේ වන විට ජෙනී පැටර්සන් නැමැති වයසින් වැඩි වැන්දඹුවක සමග ඔහු ආදර සම්බන්ධයක් පවත්වමින් සිටියේය. එම සම්බන්ධය තිබියදීම, ඔහු ෆ්ලොරන්ස් සමග ද ආදර සම්බන්ධයක් ගොඩ නගා ගත්තේය.   


 මේ අවදියේ දී ෆ්ලොරන්ස් කෙරෙහි ඔහු තුළ වූයේ දැඩි ආදරයකි. වරක් අතීතය ආවර්ජනය කරමින් ඔහු කියා සිටියේ තමා ආදරයෙන් මුලා වී ඇත්තේ අවස්ථා දෙකක දී පමණක් බවත් ඉන් එකක් තරුණයෙකු වශයෙන් ද අනික මැදි වයසේදී ද සිදු වූ බවයි. තරුණයෙකු ලෙස ඔහුගේ ආදරය දියුණු තියුණු කළේ ෆ්ලෝරන්ස් ෆාර් විසිනි.    


බර්නාඩ් ෂෝගේ පළමු නාට්‍ය හතරෙහි ෆ්ලොරන්ස් රඟපෑවාය. පළමුවෙන්ම, ෂෝ ඉදිරිපත් කළ ඉබ්සන්ගේ නාට්‍යයකත්, ඉන්පසු ‘වැන්දඹු පුරුෂයන්ගේ නිවෙස්’, ‘ව්‍යාජ පෙම්වතා’ සහ ‘මිනිසා සහ අවි’ යන ඔහුගේම නාට්‍යවලත් ඇය මෙසේ රඟපෑවාය. ඇය, ලොව ඉහළම නිළියක් වනු දැකීම අපේක්ෂා කළ ෂෝ, මහත් වෙහෙසක් ගෙන ඇය පුහුණු කළේය. ෂෝ කෙරෙහි වූ ආදරයත් ගෞරවයත් නිසා ඇය ද මහත් වෙහෙස දරා පුහුණු වූවාය. ඇයගේ රංගනය විශිෂ්ට විය. මින් එක් නාට්‍යයක් ෂෝගේ පෙම්වතියක වූ ජෙනී වටා ගෙතී තිබුණු අතර මෙයින් කේපාවිෂ්ට වූ ඇය, ෂෝ හා ෆ්ලොරන්ස් එක්ව සිටි අවස්ථාවක එතනට කඩා පැන මහා කලහයක් සිදු කළාය. මේ අප්‍රසන්න සිදුවීමෙන් සුකුමාල තරුණියක වූ ෆ්ලොරන්ස් මහත් සේ කම්පනයට පත් වූවාය. සුවපහසු ජීවිතයකට පුරුදුව සිටි ඇයට ෂෝගේ අපේක්ෂාවන් සහ පුහුණු කිරීම් මහත්සේ වෙහෙසකර විය. මේ නිසා ඇය ෂෝගෙන් බැහැර වීමට තීරණය කළාය. ෂෝ මේ ගැන සඳහන් කළේ මුල දී සුවපහසු ජීවිතයකට පුරුදු වූ සහ නිදහසේ වෙනත් පුරුෂයන් ආශ්‍රය කිරීමට කැමැති වූ තරුණියකගේ නොහික්මුණු ක්‍රියාවක් ලෙසය.   


 ඔහු පිග්මැලියො නමැති නාට්‍යය රචනා කළේ ෆ්ලොරන්ස්ගේ චරිතය ආශ්‍රයෙන් බව පෙනේ. ලන්ඩනයේ පහත් සමාජයට අයත් වූ නූගත් තරුණියකට භාෂා ඥ‌ානය ලබාදී ඇය සමාජයේ ඉහළ තැනකට ගෙන ඒමට උත්සාහ කරන මහාචාර්යවරයෙකුත්, ඔහුගේ අපේක්ෂා හා පුහුණුකිරීම් වලින් ද කලකිරීමට පත්ව ඇය ඔහු හැරයාමත් දක්වන මේ නාට්‍යය අනුසාරයෙන් නිපදවනු ලැබූ ‘මයි ෆෙයා ලේඩි’ චිත්‍රපටය ලංකාවේද ඉතා ජනප්‍රිය විය.   


වයස පනහ වෙද්දී ෆ්ලොරන්ස්ගේ රූමත් බව නොඅඩුව පැවැති බව සඳහන් වේ.   


ලංකා ගමනය   


 ෆ්ලොරන්ස් ෆාර්, ස්ථීර වාසය සඳහා ලංකාවට පිටත්ව ගිය බව හදිසියේ මහජනයා දැන ගත්තේ පුවත්පත් මගිනි. තවමත් රූමත්කමින් බැබළුණු සහ ඉහළ සමාජය ප්‍රිය කළ ඇය මෙසේ හදිසියේ එංගලන්තය අත්හැර යාම ගැන විවිධ මත පළවිය. අප ආරම්භයේ දී සඳහන් කළ පරිදි බිෂොප් හීබර් නැමැත්තා වනචාරී මිනිසුන් සිටින රටක් ලෙස නම් කොට තිබුණු ලංකාවට ඇය ස්ථීර වාසයට යාම ඇගේ මිතුරියන්ට අදහාගත නොහැකි විය. සත්‍යය හෙළිවීමට කලක් ගතවිය. 

 
 බුද්ධිමත් දමිළ ජනනායකයෙකු වූ සර් පොන්නම්බලම් රාමනාදන්ගේ ඇසුර ඇය ලන්ඩනයේදී ලබා තිබුණි. ගුඩ් වාදයට නැඹුරුව සිටි ඇයට සර් පොන්නම්බලම්ගෙන් පෙරදිග දර්ශනය ගැන බොහෝ කරුණු දැනගත හැකි විය. ඒ 1902 දීය. එතුමාගේ බෑණනුවකු ලන්ඩනයේ නීති ශිෂ්‍යයෙකුව සිටිය දී 1907 දී පමණ ඔහුගේ ඇසුරට ද පත්වූ ඇය වේද වේදාන්ත ගැන ඉගෙන ගත්තාය.


 පසුකාලයේ දී ලංකාවේ අයෝමය දේශපාලන නායකයෙකු බවට පත්වූ සර් පොන්නම්බලම් යාපනේ දමිළ දූවරුන් සඳහා විශාල විද්‍යාතනයක් පිහිටුවීමට ක්‍රියා කරමින් සිටියේය. මෙහි විදුහල්පතිධුරයට ෆ්ලොරන්ස් ෆාර් පත්කර ගැනීමට අදහස් කළ සර් පොන්නම්බලම් ඇයට ඒ සඳහා ආරාධනා කළේය. පෙරදිග දර්ශනයට වශී වී සිටි ඇයට මෙය මහඟු අවස්ථාවක් විය. මේ සඳහා ඇය 1912 සැප්තැම්බරයේ ලංකාව බලා පිටත් වූවාය. ලංකාවට ඒමට පෙර බ්‍රිතානය කාන්තා විද්‍යාලයකට ගිය ඇය අධ්‍යාපනයේ නව අදහස් සහ මොන්ටිසූරි ක්‍රමය ගැන ද විමසා ඇත.   


 1912 ඔක්තෝබරයේ දිනක ඇය ලංකාවට පා තැබුවාය. සර් පොන්නම්බලම්ගේ සුඛස්ථාන් මන්දිරයේ ඇයට නැවතීමට ලැබුණි. එහි සිටි කාලයේ දී ඇය දෙමළ භාෂාව ද උගත්තාය. එවකට ලංකාවේ අධ්‍යාපනය භාරව සිටි නිලධාරියා හමු වී සාකච්ඡාවක් ද කර තිබේ. පසුව ඇය යාපනය බලා පිටත් වූවාය.   


 රාමනාදන් විද්‍යාලය පිහිටා තිබුණේ යාපනේ ඉන්දුවිල්හි අක්කර 25 ක භූමි භාගයකය. අධ්‍යාපනය දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් විය. විදුහල්පතිනිය ලෙස ඇය හැඳින්වූයේ ෆ්ලොරන්ස් එම්රි යනුවෙනි. යාපනේ ජීවත් වීමට පැමිණි ඇයට මුහුණ දීමට සිදුවූයේ සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියකටය. දරුවන්ගේ හැසිරීම. කෑම බීම ආදිය සම්පූර්ණයෙන් වෙනස් විය. ඇය ද මස් මාංශයෙන් තොර ආහාරයකටත්, මත්පැනින් සහ දුම්බීමෙන් ඉවත්වීමටත් පුරුදු වූවාය. ඇය තමාගේ අලුත් ජීවිතය ගැන පැරණි මිතුරා වූ යේට්ස්ට ද වරින්වර ලීවාය. විදුහල්පතිනිය ලෙස ඇයට ගුරුවරුන්, සේවකයන්, රෝගී ශිෂ්‍යාවන් ගැන සොයා බැලීමටත් විද්‍යාල භූමිය අධීක්ෂණය කිරීමටත්, මුදල් පාලනය කිරීමටත් සිදුවිය. ඇය යේට්ස්ට් ලියා යැවුයේ තමා කුඩා රාජ්‍යයක් පාලනය කරන බවයි.   


 එංගලන්තයෙන් පිටත්ව අවුත් වසරක් ගතවන විට ඇය යාපනේ ගතකළේ ඉතා ප්‍රීතිමත් ජීවිතයකි. ඇය යාපනය හැඳින්වූයේ ‘වීණා වාදකයින්ගේ රට’ ලෙසය. දමිළ මිනිසුන් ඇසුර ඇයට මහත් සතුටක් වූ අතර ඇය ඔවුන් හැඳින්වූයේ ඉන්දියානු අයිරිෂ් ජාතිකයන් ලෙසය.   


 1915 මාර්තුවේ දී පැවැති විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එවකට ලංකාණ්ඩුකාරවූ සර් රොබට් චාමස් සහභාගි විය. ඇය කියවූ පාසල් වාර්තාවලින් ප්‍රමෝදයට පත් ආණ්ඩුකාරයා ඇගේ වගතුග විමසූ නමුත් රහසිගතව සිටීමට කැමැති වූ ඇය පවසා ඇත්තේ තමා කලක් කවි පිළිබඳ දේශන පවත්වා ඇති බවය. එදින ආණ්ඩුකාරයා වෙනුවෙන් පැවැති ගිනිකෙළි සංදර්ශනයට ද ඇය රාමනාදන් මැතිනිය සමග සහභාගි වූවාය.   
වසර 2 1/2 ක් එක දිගට විදුහල්පති ලෙස කටයුතු කළ ඇය කෙටි නිවාඩුවක් සඳහා මහනුවරට ගියාය. ප්‍රීතිමත් විවේකයකින් පසුව යළිත් විද්‍යාලයට පැමිණි ඇයට අසහනකාරී බවක් දැනෙන්නට විය. තවදුරටත් තම තනතුරේ වගකීම් ඉටුකිරීමට ඇයට උනන්දුවක් නොවීය. විදුහල්පතිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ ඇය ඒ බව සර් පොන්නම්බලම්ට පැවසුවාය. මාස කිහිපයකින් පසුව ඇය තම තනතුරින් සමුගත්තාය. ඇයට සමුදීම සඳහා විශාල උත්සවයක් ද පැවැත්විණි. ඇයට ඉන්දියාවට හා චීනයට ද ඇමරිකාවට ද යාමට ආශාව තිබුණත් එවකට පැවැති ලෝක යුද්ධය නිසා සමුදුර ගමන් අනතුරුද‌ායක විය. ඇය තවදුරටත් විදුහලේ කෙළවරක කාමරයක නැවතී සිටියාය. ලංකාවෙන් පිටව යාමේ අදහස ද වෙනස් කළාය.   


 1916 නොවැම්බරයේදී ඇයට තම වම් පියයුරේ අසාමාන්‍ය වේදනාවක් දැනුනි. එය පිළිකාවක ආරම්භය බව එම පළාතේ ඩිස්පෙන්සරිය භාර වෛද්‍යවරයා පළ කළේය. සර් පොන්නම්බලම් ඇය කොළඹට ගෙන ආවේය. එවකට සිටි ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වූ දොස්තර එස්.සී. පෝල් ඇය පරීක්ෂා කොට එය පිළිකාවක් බවට ස්ථීර කළේය. කිසි දිනක අසනීපයක් නොවැළදී තිබුණු ඇයට මෙය දරුණු අත්දැකීමක් විය. දෙසැම්බර් 8 වැනි ද‌ා දොස්තර පෝල් ශල්‍යකර්මයකින් ඇගේ වම් පියයුර ඉවත් කළේය. ඇයට සතියක් වාට්ටුවේ සිටීමට සිදුවිය. පසුව යළිත් ඇය යාපනයට පැමිණියාය. ඇය තම තොරතුරු දන්වා යේට්ස්ට ද ලීවාය. බර්නාඩ් ෂෝ කේබල් පණිවුඩයකින් ඇය ගැන විමසා සිටියේය.   


1917 මාර්තුවේ දී සුළු කැස්සක් සහ හතියක් ද ඇතිව ෆ්ලොරන්ස් ඉන්දුවිල් රෝහලේ වෛද්‍යවරයා හමුවූවාය. වහාම දොස්තර පෝල් හමුවීමට ඇයට කියන ලදී. සර් පොන්නම්බලම් යළිත් ඇය කැටුව දොස්තර පෝල් වෙත ගියේය. ඇයගේ තත්ත්වය දරුණු අතට හැරී ඇති බවත් යළිත් ශල්‍යකර්මයකට ඇය නුසුදුසු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. පසුව ඇය එවකට සිටි විශිෂ්ටම වෛද්‍යවරයෙකු වූ දොස්තර ලුෂියන් ද සිල්වා (Lucien de Zilva) බාරයේ රෝහලේ නතර කෙරුණි. විනිසුඩ් එම්රි යන ව්‍යාජ නාමයකින් ඇය පෙනී සිටිය ද ලන්ඩන් නාට්‍ය ශාලාවල දැක පුරුදු ෆ්ලොරන්ස් ෆාර් බව දොස්තර ලුෂියන් ද සිල්වාට තේරුණි. මේ බව ඔහු ඇයට කී ඇතර එය සැබෑ බව ඇය පිළිගත්තාය. සර් පොන්නම්බලම් දිනපතාම ඇය බැලීමට පැමිණියේය.   
 1917 අප්‍රේල් 29 ද‌ා ෆ්ලොරන්ස් ෆාර් කළුරිය කළාය. ඇයගේ දේහය සර් පොන්නම්බලම්ගේ නිවසට ගෙන යන ලදුව පසුව හින්දු චාරිත්‍රානුකූලව කනත්තේ දී ආද‌ාහනය කෙරුණි. අධ්‍යාත්මික විමුක්තිය පතා සිය උපන් බිමින් සැතපුම් 5000 ක් ඈත ලංකාවට ආ ඇයගේ අවසානය එසේ සිදුවිය.

 

 

විශේෂඥ වෛද්‍ය 
බී.ජී.ඒ. විද්‍යාතිලක