යුද සමයේ සැඟවුණු කතා
යුද සමයේ සැඟවුණු කතාතිස් අවුරුදු යුද්ධයේ බිහිසුණුකම බොහෝ අයගේ මතකයෙන් ගිලිහෙමින් පවතී. මතකය වැළළෙමින් පැවතියද ඒ සිදුවීම් හැමදාටම බියකරුය. හැමදාටම මිලේච්ඡය. ලේ වගුරුවමින්, මළමිනී මතින්, ගන කැලේ දිවි ගෙවීමෙන් ලැබූ නිදහස කොයිතරම් වටිනවද? ඒ වටිනාකම වඩා හොඳින් දැනෙන්නේ එකී කටුකත්වයෙන් වැඩියෙන් බැට කෑ අයට ය. ඒ කෘරත්වයට මුහුණ දුන් අයටය. උතුර වගේම නැගෙනහිර ද සමහර ප්‍රදේශ කොටි ත්‍රස්තවාදීන්ගේ කේන්ද්‍රස්ථාන විය. මේ කේන්ද්‍රස්ථාන තමන්ගේ යටතේ ම පවත්වා ගැනීමට ත්‍රස්තවාදීහු නොගත් උත්සාහයක් නැත.
“නැගෙනහිර හිටපු ත්‍රස්තවාදීන් මුලින්ම බැලුවේ මිනිස්සු මරන්න නෙවෙයි. ඔවුන් උත්සාහ කළේ අම්පාර දිස්ත්‍රික්කය අනාරක්ෂිත කරලා සිංහල මිනිස්සු සේරම එළවලා දාන්න. අම්පාර තමන්ගේ යටතට ගන්න. ඒක මූලික කරගෙන ඔවුන් අම්පාර - මහනුවර මාර්ගයේ මහඔය දක්වා පුදුම භීතියක් ඇති කළා. අම්පාරට බඩු ගේන වාහන කොල්ල කාලා භාණ්ඩ එන එක නතර කරන්න බැලුවා. මේකයි මුලින්ම සිද්ධ වුණේ”. මේ හඬ අම්පාරේ මඟ සලකුණ පියංගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුව සුභූති නාහිමියන් ගේ ය.
උන්වහන්සේ නැගෙනහිර බිහිසුණු ත්‍රස්තවාදය ගැන සෑහෙන යමක් දන්නා තෙරනමකි. උන්වහන්සේ පියංගල, මහඔය, රජගල. පුළුකුණාව, නුගේලන්ද, බක්කිඇල්ල, මහඔය දක්වා සියලු ත්‍රස්ත සිදුවීම් ඉදිරියේ සිංහල ගම්මාන වෙනුවෙන් පෙනී උන්හ. හාමුදුරුවෝ යුද්ධයේ දුෂ්කර බව ගැන අපමණ දනී. ඒ ගොනුකළ කරුණු යමක් ඔබ හමුවේ තබන්නට ඉරිදා ලංකාදීපය අදහස් කරමු.
තල්ගමුවේ සුභූති නාහිමියන් පැවිදි වූයේ 1971 ඔක්තෝබර් 23 දා කෑගල්ල මැල්ලගල ආරණ්‍ය සේනාසනයේදී ය. සුභූති නාහිමියන් අම්පාර ඓතිහාසික පියංගල ආරණ්‍යද සේනාසනයට වැඩම කර ඇත්තේ 1977 ජූලි මස 29 ඇසළ පොහෝ දිනකය. අද දක්වා ම උන්වහන්සේ අම්පාරේ සිදු වූ සියලු වෙනස්කම්, විපර්යාසයන්, ත්‍රස්තවාදයන් ආදී සියල්ල හොඳින් දනී.
අපේ කතා බහේ ආරම්භය මෙහෙම ගනිමු. පියංගල ආරණ්‍යය පිහිටියේ අම්පාර අරන්තලාව හරහා මහඔය ප්‍රධාන මාර්ගයේය. දිනය 1983 දෙසැම්බර් මාසයේ 25 වැනිදාය. එදා පියංගල ආරණ්‍යයේ හාමුදුරුවරු හත් නමක් සහ ගිහියන් හය දෙනෙක් නේවාසිකව සිටියහ. ත්‍රස්තවාදය ක්‍රමයෙන් හිස ඔසවමින් පැවැති කාලසීමාවයි. වෙනදා වගේ රාත්‍රී අඳුර ගලා ආහ. බියකරු සතුන්ගේ හඬ දසතින් ඇසෙන කළුවර රාත්රිලයකි. රෑ බෝවීගෙන එද්දී සියලු හිමිවරු කුටිවලට වන්හ. මැදියම් රැයට කිට්ටු වී තිබිණි. දෙමළෙන් කතා කරන හඬක් ළඟ ළඟ ම ඇසේ. සුභූති හිමියන් වැඩ සිටියේ හුදෙකලා කැලේ මැද හුදෙකලා ගල් කුටියකය. වැඩි වෙලා ගියේ නැත. කුටියේ දොරට තට්ටු කරමින් දෙමළෙන් හඬ නගයි. කුටියේ දොර විවෘත කරන ලෙස අණ කරයි. නාහිමියෝ හිමින් සීරුවේ පැමිණ කුටියේ දොර අගුලු විවෘත කළහ. අඳුර අතරින් තුවක්කු ගත් හතරදෙනෙක් නාහිමියන් ඉදිරියේ පෙනී සිටී.
“සාමි, හෙටින් පස්සේ මෙහෙ කාටවත් ඉන්ඩ බෑ. හෙට උදේ වෙද්දි සේරම මෙහෙන් යන්ඩ ඕනෙ. එහෙම යන්ඩ බැරි උනොත් (තුවක්කු ලෙලදවමින්) වෙඩි තියනවා.” බාගෙට සිංහල කලවම් කරමින් කීවේ එපමණකි. උන් යන්ට ගියහ.
මේ සිද්ධිය දෙගොඩ හරියේ කියන්නටද කෙනෙක් නැත. දුරකථන මාර්ග ද නැත. උහනට හෝ අම්පාරට යාම මරණය තවත් ළං කර ගැනීමකි. එළිවනතුරු කළ යුත්තේ කුමක් දැයි උන්වහන්සේ කල්පනා කළහ. පසුවදා උදේ පියංගල නාහිමියෝ අම්පාර කොණ්ඩුවටුවන කඳවුර ට වැඩමකර පෙර දින රාත්‍රියේ වූ සිදුවීම කියා හුන්හ.
“හාමුදුරුවෝ ආරණ්‍යය දාලා යන්ට එපා. අපි අද ඉඳන් ආරණ්‍යයට ආරක්ෂාව දෙනවා.”
එදා සිට හමුදාවේ කීපදෙනෙක් පියන්ගල සෙනසුනට යෙදවූහ. මාස කීපයක් ගියේ නැත.
“1984 පෙබරවාරි 5 වැනිදා රෑ 7.30 ට වගේ කැලේ හැංගිල හිටපු කොටි ආරණ්‍ය ය ඇතුළේ වෙඩි කීපයක් ළඟ ළඟ තිබ්බා. හමුදාවත් ඉද්දි තමයි ඔවුන් මේක කළේ. ජීවිත හානි නොවෙන විදිහටයි මේකත් කළේ. එදා හාමුදුරුනමක් කැලේ ගහක වැදිලා අනතුරට පත් වුණා. එපමණයි. මෙවැනි සිදුවීම් නිසා හාමුදුරුවරු සේනාසනය දාලා වෙනත් ප්‍රදේශ වලට වැඩියා. අවසානයේ මං විතරයි ඉතුරු වුණේ.
“ගමේ මිනිස්සු කුඹුරට ගියාම ගහලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, අම්පාර නගරයට මහනුවර පැත්තෙ ඉඳන් බඩු භාණ්ඩ ගෙනාපු ප්‍රධාන මාර්ගය මහඔය ,අරන්තලාව, රජගල, පියංගල මේ සේරම හුදෙකලා ප්‍රදේශ විදිහට තිබුනේ. මඩකලපුව පැත්තේ ඉදන්, අම්පාර - නුවර ප්‍රධාන මාර්ගයට වැටෙන පාරක් පියංගලයි පුලුකුණාව අතර තිබුණා. මඩකලපුව ඉඳන් කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන සන්නද්ධ කඳවුරක් වුණු කොක්අඩිචෝලේ කඳවුරේ ඉදන් ඔවුන් වැඩිපුරම අම්පාරට ආවේ මේ පාරෙන්. කොටි මේ පාරේ ඇවිත් මග රකිනවා, මග රැකලා අම්පාරට යන රෙදි ලොරි, තෙල්, ආහාර ද්‍රව්‍ය ලොරි කැලේට හරවා ගෙන ගිහින් ඒවා කොල්ල කන්න පුරුදු වෙලා හිටිය. මිනිස්සු මැරුවට වඩා මුලින් මුලින් කළේ බය කිරීම සහ මංකොල්ලකෑමයි. ඇත්තටම කොටි ත්රුස්තවාදීන්ට අසූව දශකයේ මුල් කාලයේ වුවමනා වුණේ අම්පාර ම බය කරල, අනාරක්ෂිත කරලා, මිනිස්සු පන්නල ඔවුන් යටතට ගැනීම. එය බැරිවුණ තැන තමයි ගහන්න, මරන්න ගත්තේ.” නාහිමියෝ මතකය දිග හරිති.
ඒ කාලේ රජගල, පියංගල, පුළුකුණාව අපට තිබුණ ළඟම පොලිස් ස්ථානය වුණේ උහන පොලිසිය. ඒකත් කිලෝමීටර් ගාණක් අනාරක්ෂිත පාරෙ යන්න ඕන. ඊට පස්සේ මම ජේ. ආර් ජයවර්ධන ජනාධිපති තුමාට පුද්ගලිකව කතා කරලා මේ අනාරක්ෂිත බව කිව්වා. එයට ප්‍රතිචාර වශයෙන් තමයි බක්කිඇල්ල පොලිසිය 1985 දී පටන් ගත්තේ. මේ බක්කි ඇල්ල පොලිසිය යුද්දෙ ඉවර වෙනකල්ම නිදහසක් තිබුන පොලිසියක් නෙවෙයි. ඒ තරම් කොටි ගැහුවා. මේ පොලිසියේ හිටපු ස්ථානාධිපති රංජිත් රූපසිරි මහත්තයාව එල්ටීටීඊයෙන් මැරුවා. ගම්මාන රකින්න, මාර්ග සෝදිසියට ගිය බක්කිඇල්ල පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් ඔවුන් මරලා දැම්මා. ඔන්න ඔහොමයි වුනේ.
කොටි ප්‍රහාර එන්න එන්නම වැඩි වෙද්දී ඒ කාලයේ අම්පාර හිටපු පී. දයාරත්න ඇමතිතුමාව මම ගිහින් හමුවුණා.
“ඇමතිතුමා දිගටම කොටි ගහනවා. රජගල, පුළුකුණාව දිගටම එහෙමයි. මිනිස්සු ගෙවල් දාලා යනවා. මේක නතර කරන්න ඕනේ.” නාහිමියන් දයාරත්න ඇමතිතුමාට ගැඹුරින් කියාගෙන ගියහ.
“එහෙමයි හාමුදුරුවනේ, මොකද වෙන්න ඕනේ”
“අන්න පුළුකුණාව දිවුලාන ඉස්කෝලෙ වැහිලා තියෙනවා. මිනිස්සු ගමේ නෑ. ඉස්කෝලෙ එක ගොඩනැගිල්ලක් තියෙනවා. ජනාධිපතිතුමාව දැනුවත් කරලා එකක් මේකෙ හමුදා කඳවුරක් දාන්න. නැත්නම් මේ පළාතම ඉවරයි.”
වැඩි දවසක් ගියේ නැත. සෙබළුන් තිස් දෙනෙකුගෙන් සමන්විත කඳවුරක් පුළුකුණාවේ වැටිණි. මේ කදවුර තුළ ඉතිහාසයේ වරින් වර පොලීසිය, විශේෂ කාර්ය බළකාය (STF), ගුවන් හමුදාව, යුධ හමුදා විවිධ රෙජිමේන්තු අනුඛණ්ඩ ආරක්ෂාව සැලසූහ.
පුළුකුණාව කඳවුරට ක්‍රමයෙන් යුද ටැංකි (ආමඩ් කාර්) තුනක් ලැබිණි. විශේෂ කාර්ය බළකා යටතේ සන්නද්ධ රථ කීපයක් ලැබිණි. මෙය කාලතුවක්කුවක් ලබාගන්නා තත්ත්වය දක්වා කඳවුර අත්‍යාවශ්‍ය තැනට ක්‍රමිකව පත් විය. එදා පියංගල සිට මහඔය දක්වා පාර සම්පූර්ණයෙන්ම සෝදිසි මෙහෙයුම් කරමින් මාර්ග නිරීක්ෂණය කළේ පුළුකුණාව කඳවුරෙණි.
“මහත්තයෝ, කාලයක් ගුවන් හමුදාව මේ කඳවුරේ හිටියා. සාමාන්‍යයෙන් පාර සෝදිසි කිරීම දිනපතා උදේ කාලයේ පාගමනින් ගිහින් කරනවා. එහෙම ගිය ගුවන් හමුදා භටපිරිස් විසි තුන් දෙනෙකුට ත්‍රස්තවාදීන් දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරය උනේ අරන්තලාව ට එහා බොරපොල කියන හරියෙදි. එදායින් පසු ගුවන් හමුදාව පාර සෝදිසි කිරීමේ දී හෙලිකොප්ටරයක් නිරීක්ෂණ කටයුතු වලට ගමන් කළා.
තවත් අමතක නොවන සිද්ධියක් නාහිමියෝ සිහි නඟති.
ඒ දවස 1998 ජුලි මාසයේ 8 වැනි දා ය. පියංගල සිට මහඔය දක්වා මාර්ග නිරීක්ෂණයට විශේෂ කාර්ය බළකාය, පොලීසිය හා සිවිල් ආරක්ෂක නිලධාරීන් 60 දෙනෙක් පමණ ඒකරාශී වූහ. ඒ අය කොටස් වශයෙන් බෙදී යාම සිරිත විය. උදේ කාලයේ මේ පිරිස පියංගල ගමේ කෙළවරට යන්නට ඇත. එක දිගට වෙඩි වරුසාවක් ඇසෙන්නට විය. නා හිමියෝද රියැදුරා සමඟ වෑන් රථයක නැගී ඒ ආසන්නයට වැඩම කළහ. උන්වහන්සේ වැඩියේ තුවාලකරුවකු හෝ ගලවා ගෙන රෝහල් ගත කිරීම අරමුණු කොටගෙනය.
ත්‍රස්තවාදීන් 400ක් පමණ කඳවුර බලාපොරොත්තුවෙන් පැමිණ ඇති සෙයකි. දරුණු සටනක් විශේෂ කාර්ය බළකාය සමඟ ඇවිලී ඇති බව පෙනෙයි. ඔවුන් අතරින් හඬක් නැගෙයි.
“ගහන්න ආයුධ නෑ, ඉවර වෙන්න ලඟයි”
හාමුදුරුවන්ගේ වාහනය ළඟම තිබුණු නුගේලන්ද එස්.ටී.එෆ් කඳවුර වෙත පියඹා මෙන් ඇදී ගියේය. එහි යනවිට නුගේලන්ද කඳවුරට ද කොටි දරුණු ප්‍රහාරයක් දියත් කර ඇත. කඳවුරේ නිලධාරීන්,
“මේ ටික ඉක්මනට පියංගල අපේ කට්ටියට දෙන්න. එතන ආයුධ ඉවර වේගෙන යන්නේ. තව ටිකකින් අපේ සේරම එතන මැරෙයි.” නැවත පියංගල STF සෙබළු සමීපයට වාහනය පැමිනිණි. සෙබළුන් වහාම තමන්ට අලුතෙන් ලැබුණු මෝටාර් සීය සහ ටී 56 උණ්ඩ පෙට්ටි 8 බා ගත්හ. සෙබළුන් නොසිතූ ආකාරයෙන් ප්‍රහාරයක් ත්‍රස්තවාදීන් පසු බසින තුරුම එල්ල කළහ. එසේ නොවන්නට එදා මේ සියලු සෙබළුන් එතැනම මරාදමන්නට ඉඩ තිබිණි. මේ ප්‍රහාරයෙන් විශේෂ කාර්ය බළකායේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 13 දෙනෙකු මිය ගියහ. තවත් තිස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙහිදී හාමුදුරුවන්ගේ රියැදුරා වූ සිවිල් ආරක්ෂක නිලධාරියාගේ පිට කොන්දට වෙඩි වැදී තිබිණි.
“පුළුකුණාව ගම අදටත් අයිති මඩකළපු දිස්ත්‍රික්කයට. එතැනින් එහා තියෙන්නෙ සේරම දෙමළ ගම්මාන. කොක්අඩිචෝලෙ කියන්නෙ එල්ටීටීඊයේ සන්නද්ධ ප්‍රධාන කඳවුරක්. මේ දෙමළ ගම්වල ඉඳන් ත්‍රස්තවාදීන් ඔත්තු බලන පසුබිමක් ඇතැම්හු හඳුනාගෙන හිටියා.
අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි සිංහල මිනිස්සු ටිකක් කොහොමද පුළුකුණාව මේ අවට පදිංචි කර ගන්නේ කියන එක. එහෙම වුනොත් ටිකක් හරි ආරක්ෂාව තහවුරු වන බව අපි තදින් විශ්වාස කළා. ඉඩම් දෙනවානම්, ඒ ප්‍රදේශ ආරක්ෂා කරගෙන පදිංචි වෙන්න තරුණයන් විශාල පිරිසක් කැමති වුණා.
“මම මේ ආරංචිය අරන් එදා ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහත්තයා හමුවෙන්න කොළඹ ආවා. මම ලලිත් ඇතුලත්මුදලි මහත්තයාට කිව්වා,
“මහත්තයෝ පියන්ගල ඉඳන් මහඔය දක්වා එල්ටීටීඊය දරුණු විදිහට ගහනවා. මිනිස්සු මරනවා. හමුදාව මරනවා. පොලිසිය මරනවා. මේ දිගටම ආරක්ෂිත ගම්මාන හදමු. පදිංචි වෙන්න තරුණ පිරිස් ඉන්නවා කියලා. අහපු ගමන් එතුමා බොහොම සතුටු වුණා. එතුමා ගෙවල් සීයක් මුලින් ම අනුමත කළා.
වැඩේ සිද්ධ වුනේ එදා අම්පාර කච්චේරිය හරහා. ගෙවල් සීයට 50යි හැදුනේ. තරුණයන් පනස් දෙනෙක් පුළුකුණාව රණවිරු ගම්මානය හදලා මුලින් පදිංචි කළා. අදටත් ඒ රණවිරුගම එහෙමම තියනවා. එදා මේ ප්‍රදේශය තනිකරම මුඩුබිමක්. ඒ භූමිය පෙන්වන්න, ගෙවල් හදන්න සේරම වැඩ කළේ මගේ අධීක්ෂණය යටතේ. එක ගෙදරක් හදන්න රුපියල් දහ දහස් පන්සියයක් රජයෙන් පාස් වුණා. ඒ ගාණට ගේ හදලා වහලෙත් ගහගන්න ඕනේ. මේ වැඩසටහන සම්බන්ධීකරණය කළේ එදා අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී හපුදෙනිය මහත්තයා. ගේ හදන එක තරුණයන්ට බාර දීලා ඒ අයට ගෙවල් හදලා පදිංචි කළා. මේක හමුදාව පැත්තෙන් අධීක්ෂණය කළේ මේජර් ජෙනරල් නීල් ඩයස් මහත්තයා.
මේ තරුණයන් පනස් දෙනාම ජාතික සහායක හමුදාවට බඳවාගෙන, නිවස හා ඉඩමත් දුන්නා. කොහොමහරි මේ ගම් රැකගන්න අපේ මිනිස්සු අපමණ දුකක් වින්දා. ඒ අය තනි කරල යන්න මම කොහෙත්ම කැමැති වුණේ නෑ. ආරණ්‍ය යේ අවසානයේ ඉතුරු වුණේ මම විතරයි. රෑට අම්පාර කොණ්ඩුවටුවන කඳවුරට යනවා. දවල් සෙනසුනේ ගතකරනවා. නුගේලන්ද, රජගලතැන්න, පුළුකුණාව, පියංගල මිනිස්සු එක්ක මම හිටියා.
මේ ගම් වල මිනිස්සු අපමණ පීඩා වින්දා. දවසක් නුගේලන්ද ගමේ මිනිසුන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල උනා. ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා ඇවිත් එදා ආරණ්යනයේ සාකච්ඡාවක හිටියේ. එතුමා එවලේම නුගේලන්ද බදුලු හන්දියට ගියා. එතැනින් පසු ගම්වාසීන්ට වන පීඩා හමුවේ බක්කි ඇල්ලෙන් එහාට ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රබල යුද මෙහෙයුමක් දියත් කළා. ඒ ප්‍රහාරය දියත් කළේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. 1990 මේ සටන් අම්පාර අවට කොටි බලය සම්පූර්ණයෙන් බිඳී ගියා. නමුත් පසුකාලීනව වෙද්දි ආයෙත් එල්.ටී.ටී.ඊය නැගිට්ටා.
වරක් මේ ආරණ්‍ය බිමට මෝටාර් වරුසාවක් එල්ල වුණා. පොලිසියේ, හමුදාවේ දහනම දෙනෙක් ඉහළ නිලධාරීන් ඇතුළුව මේ ආරණ්‍ය බිමේ එකතැන මිය ගියා. ඊට පෙරත් අවස්ථා ගණනාවක් ආරණ්‍යය ඇතුළට ත්‍රස්තවාදීන් ඇවිත් හමුදාවේ, පොලිසියේ තුන් හතර දෙනා මරල ගිය අවස්ථා එමටයි.
මට මතකයි, පුළුකුණාව කඳවුරට එල්.ටී.ටී.ඊ ය ගහපු සිද්ධිය. ඒක හරිම භයංකාරයි. නැගෙනහිර ත්‍රස්තවාදීන්ගේ සන්නද්ධ ශක්තිය පෙන්නපු ප්‍රහාරයක්.
ඉතිරිය ලබන සතියට..
ස්තුතිය-පියංගල ආරණ්ය්ය සේනාසනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නැගෙනහිර පළාතේ මහෝපාධ්‍යාය, කර්මස්ථානාචාර්ය තල්ගමුවේ සුභූති නාහිමියන්ට, සේනාසන වාසී පියංගල පියසුමන හිමිට.
සටහන
අසංක ආටිගල