රජුගේ නින්දට බාධා කළ දැවැන්ත මැඩියා


ගැමි රසවිත

 

අන්දරේ උඩරට රජුන් පිනවීමට කළ විහිළු කතා, විහිළු කවි බෙහෙවින් ප්‍රකටය. අන්දරේ උපන්නේ රුහුණේ ඈතය. ළමා අවදිය පසු කළ ඔහු රුහුණේ සිට උඩරට බලා ආවේ උඩරට රජවරුන්ගේ අනුග්‍රහය සොයාගෙනය. ඔහු උපතින්ම විහිළුවලට දක්ෂයෙකු විය. එමෙන්ම මුඛරි හිටිවන කවියෙකුද විය.   

එදා උඩරට රජවාසලේ රජවරුන් පිනවීමට සතුටු වීමට හිනැස්වීමට විවිධ අංග විය. නැටුම් ගැයුම් වන්නම් ගායනය හා වැයුම මල්ලව පොර කඩු සටන් අංගම් පොර ඒවායින් කීපයකි. අන්දරේ උඩරටට එන විට උඩරට රජ කළේ ශ්‍රී විජය රාජසිංහ රජුය. (ක්‍රි.ව. 1782 - 1798) ක්‍රමයෙන් රජවාසල සේවයට ආ අන්දරේ විහිළු තහළුවලින් රජුගේ සිත දිනා ගත්තේය.   


අන්දරේගේ බොහෝ විහිළු හා උපහාස කවි රාජාධි රාජසිංහ රජු හා රජුගේ රාජ සභාව ඉදිරියේ සිදු විය. රුහුණේ සිට ආ මේ විකටයා විවාහ වූයේ උඩරට කාන්තාවක් සමග බව පෙනී යයි. අන්දරේගේ බිරිය රජුගේ බිසව සමග උස් හඬින් කතාබහ කර ඇත්තේ බිසව බිහිරි බව අන්දරේ තම බිරිඳට කියා තිබූ බැවිනි.   
තවත් විටෙක රජුගේ දියණියක් උදෑසන රන් කළයෙන් දිය ගෙන එන විට ඇය කිපෙන හිටිවන කවියක් අන්දරේ කියා ඇත. මින් පෙනී යන්නේ රජු පවුලම කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට අන්දරේට හා බිරියට හැකියාව තිබූ බවයි. ඔහුගේ ඇතැම් කූට උපායන්ට බිරිඳද හවුල් වී ඇත.   


රාජාධි රාජසිංහ රජු නින්දට ගිය විට රජුගේ නින්දට බාධා කරමින් දිනපතා රෑ මැදියම වනතුරු උස් හඬින් කෑ ගසන මැඩියෙකු රජවාසල අසළ පොකුණක සිටියේය. උගේ දැවැන්ත ගොරෝසු කටහඬ රජුගේ නින්දට දැඩි බාධාවක් විය.   


දහවල් කල ඌ සැඟවී සිට අඳුර වැටෙන විට පොකුණට බැස කෑගැසීම අරඹයි. මේ අනුව ඌ නිශ්චිතව සිටින තැන සොයා ගැනීමට දක්ෂ හී කරුවෙකුට දුනුවායෙකුට පවා සොයා ගැනීම අසීරු විය.   
දිනක් රජවාසල රාජසභාවේදී රජුගේ නින්දට බාධා කරන මේ ගොරෝසු හඬ නඟන විශාල මැඩියා මරා දැමීම ගැන සාකච්ඡා විය. ඇමතිවරු ඒ ගැන රජුට විවිධ අදහස් යෝජනා කළහ. අන්තිමේ මේ මැඩියා උගේ කටහඬ රාත්‍රී කාලයේ විහිදෙන හඬ අසා ඒ හඬ ඔස්සේ ඒ විද මැරිය හැකි දක්ෂයෙකු ඇත්නම් ඔහුට තාන්න මාන්න දෙන බව අණ බෙරකරුවෙකු අණ බෙර ගසමින් උඩරට පුරා ප්‍රචාරය කර ඇත.   


දින කීපයක් අණබෙරකරු රට පුරා අණ බෙර ගසමින් ගමන් කළත් කිසිවකු අණබෙරය නවතා එයට කැමැත්ත පළ කළේ නැත. ඒ එතරම් අසීරු කාරියක් බැවිනි. අණබෙරකරු රට පුරා ගොස් හිස් අතින් රජ වාසලට නැවත එන විට අන්දරේගේ බිරිය ඔහුගේ ගමන නැවැත්වූවාය.   


අපේ අන්දරේට දැවැන්ත මැඩියා විද මැරීමේ හැකියාව ඇත. ඒ බව රජ වාසලට දන්වන්න.   
අණ බෙරකරු ඉතා සතුටට පත්ව රජුට මේ පුවත සැල කළේය.   
තම බිරිඳගෙන් මේ ප්‍රවෘත්තිය ඇසූ අන්දරේ දින කීපයක් මහත් සිත්තැවුලෙන් කල්ගත කිරීමට විය. තම බිරිය තමා උගුලක අසුකර ඇති බව අන්දරේට අවබෝධ විය. ඔහු කෑම බීම පවා නවත්වා නිකටට හිස තබාගෙන කල්පනා කරන්නට විය.   


අහස පොළොව ගැටලන්න වාගේ කල්පනා කරන්න ඕනෑ නෑ විදින හැටි කියලා දෙන්නම්. රජවාසලට යන්න ලෑස්ති වෙනවා.   


ඇය සැමියා දිරිගැන්වූවාය.   


අන්දරේ රජවාසලට ගොස් රජු ඉදිරියේ වැඳ වැටී තම බිරිඳ අණ බෙරකරුට දුන් පොරොන්දුව ඉටු කරන දිනය සඳහා දින නියම කර ගත්තේය. එදා අමාවක පෝය දිනයකි. මුළු පරිසරයම තිත්ත කළුවරය. තම බිරිඳගේ උපදෙස් අනුව කලින්ම රාත්‍රී කෑම රැගෙන දුනු ඊතල රැගෙන රජවාසල කරා ගමන් කළේය. ඔහු පිටුපස ආරක්ෂකයෝ කීපදෙනෙක් වූහ.   


අන්දරේ විනාඩි කීපයක් පොකුණේ කන් පැළෙන ගොරෝසු හඬ නඟන විශාල මැඩියා හඬ නගන ස්ථානය හොඳින් අසා සිටියේය. ඉන්පසු දුන්නට ඊතල ගෙන හොඳින් සූදානම් විය. හඬ එකතැනම උස්ව පැතිරෙයි. ඔහු රජමැදුර අසල වූ උස් ගල්කුළකට නැග තම ඉලක්කය නැවත සකස් කර ගත්තේය. බුදුන් දෙවියන් සිහිකොට ගල උඩ සිට පොකුණ මැදට දුන්න හොඳින් ඇද ඊතලය විද්දේය. එක්වරම පොකුණේ ජලය කැලඹෙන හඬක් මතු විය. ඔහු හොඳින් සවන් දුන්නේය. මැඩියාගේ හඬ නතර විය.   


වහාම ගොස් පොකුණේ ඊය වැදී ඇති තැනට ගොස් ඊය රැගෙන එන්න.   


අන්දරේ තමා සමඟ සිටි රාජ ආරක්ෂක භටයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුහු ගිනිහුළු රැගෙන පොකුණට ළඟා වූහ. පොකුණේ එක් කෙළවරක ඊයේ කොටසක් උඩට රැඳී ඇත. ඔවුහු පොකුණේ දියට අඩි කීපයක් තබා ඊය ඇද්දාහ. පුදුමයෙනුත් පුදුමයකි. ඊය කෙළවර ලෙලි ගැසූ පොල් ගෙඩියක් තරම් දැවැන්ත මැඩියෙකු ඊයට ඇමිනී සිටිනු ඔවුහු දුටුවාහ. වහාම මැඩියා ඇමනී සිටි ඊය රාත්‍රියේම ඔවුහු රජුට දක්වා සිටියහ.   
පසුදා රාජසභාව රැස්වූ විට රජු අන්දරේට බෙහෙවින් ප්‍රශංසා කොට තෑගි බෝග ගණනාවක්ම දුන්නේය.   
ඔහුගේ මේ අපූරු හපන්කම නිසා රජුගෙන් ‘සද්ද විද්ද පළඟ පතිරණ’ යන ගෞරව නාමයද ඔහුට පිරිනැමුවේය. තම බිරිඳගේ උපදෙස් අනුව මරණයෙන් බේරී අඳුරේ රජුගේ නින්දට බාධා කළ විශාල මැඩියා විද මැරූ ඔහු තම බිරිඳ සමඟ වඩාත් යහපත් ජීවිතයක් ඇරඹුවේය. ඔහුට ලැබුණු රාජ සම්මාන නාමය ඒ පරපුරේ අය පසුකල ද භාවිත කළහ. 

 

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක 
එස්.​කේ. ජයවර්ධන