රණබිම අතනොහැර මරණය වැළඳගත් කොකාවිල් වීරයෝ


ජීවිත පූජාවට වසර 31 ක් පිරීම නිමිත්තෙනි  

කොකාවිල් කුලුන

 

 

රූපවාහිනී හා ගුවන් විදුලි රසවින්දනය කොළඹට පමණක් සීමා නොවී මුළු රටටම ලබාදීමේ අරමුණින් රටපුරා ප්‍රතිවිකාශන මධ්‍යස්ථාන ආරම්භ වූයේ අසූව දශකය මුල භාගයේදීය. එලෙස උතුරු ප්‍රදේශයට විකාශන කටයුතු සඳහා ඉදිකළ රූපවාහිනී කුලුන වූයේ කොකාවිල් කුලුනයි. 1981 දී ස්ථාපිත කළ මෙම කුලුන රටේ පිහිට වූ අනෙක් කුලුනුවලට වඩා විශේෂ එකක් වූයේ උතුරත් දකුණත් යා කරන පාලමක් බවට මෙම විකාශනය පත් වූ නිසාය.  


වව්නියාවේ සිට කිලෝමීටර් 47 ක් උතුරින් පිහිටි කොකාවිල් තරමක් උස් ප්‍රදේශයකි. වනයෙන් වට වූ දුෂ්කර ප්‍රදේශයක් වූ කොකාවිල් හි සන්නිවේදන කුලුන උසින් මීටර් 174 ක් වූ අතර වැය වූ මුදල රුපියල් මිලියන 450 කි. කුලුනේ ඉහළ කොටස ආරක්ෂක අංශවල සන්නිවේදන කටයුතු සඳහාත් ඊට පහළ කොටස රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහාත් ඊටත් පහළින් දුරකථන සන්නිවේදන කටයුතු සඳහාත් වෙන්ව තිබිණි. ලංකාවේ උසම ගොඩනැගිල්ල වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උස මීටර් 152ක් වන අතර ඊටත් වඩා කොකාවිල් කුලුන මීටර් 21 ක් උසය.  


මාස දාහතරක් තිස්සේ ප්‍රේමදාස ආණ්‍ඩුව සමග පැවැති සාම කතා බිඳ දමමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය 1990 ජුනි මාසයේ දී ඔවුන්ගේ දෙවැනි ඊළාම් සටන ආරම්භ කළේය. ලැබෙන හැම අවස්ථාවකදීම හමුදාවට පහර දෙන පිළිවෙතක් අනුගමනය කළ කොටි ජූලි මාසය වන විට සුළු ප්‍රදේශයක් හැරුණු විට යාපනය අර්ධද්වීපයේ බලය ආපසු ලබා ගැනීමට සමත් වූහ.  


වව්නියාවට උතුරින් පිහිටි මාන්කුලම්, කිලිනොච්චි, අලිමංකඩ, පලාලි හා කන්කසන්තුරෙයි යන හමුදා කඳවුරුවලට ද ත්‍රස්ත ප්‍රහාර එල්ලවෙද්දී හුදෙකලා ස්ථානයක පිහිටි කොකාවිල් කුලුනටද ත්‍රස්තයන්ගේ අවධානය යොමුවිය. ඒ වන විට ලුතිනන් ජයන්ත රත්නායකගේ ප්‍රධානත්වයෙන් කොකාවිල් කුලුනට ආරක්ෂාව සැපයුනත් ත්‍රස්ත ප්‍රහාර අවදානම නිසා නුවරඑළියේ ස්ථානගත කර සිටි 3 වැනි සිංහ රෙජිමේන්තුවේ ස්වේච්ඡා බළකායේ සෙබළුන් පිරිසක් 1990 මැයි 18 දින කොකාවිල් කඳවුර වෙත අනුයුක්ත කරනු ලැබීය. ඊට අමතරව සංඥා බළකාය සේවා බළකාය වෛද්‍ය බළකායට අයත් පිරිසක් ද සිවිල් සේවකයෝ පස් දෙනෙක්ද මෙම පිරිසට අයත් වූහ. නුවරඑළියේ සිට කොකාවිල් ගිය හමුදා අනුඛණ්ඩයේ අණ දෙන නිලධාරියා වූයේ සාලිය උපුල් අලදෙණිය නමැති දෙවැනි ලුතිනන්වරයායි. එතෙක් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ජයන්ත රත්නායක මහතා නිවාඩු ලබා සිටි අතර කඳවුරට කොටින්ගේ ප්‍රහාර එල්ල වියහැකි බව රත්නායක මහතා පිරිසට දැනුම් දී තිබිණී.  


1990 ජුනි මුල වන විට කොටි ත්‍රස්තවාදීහු කොකාවිල් කඳවුර අවට ස්ථානගතව සිටියේ ප්‍රහාර සඳහා මූලික කටයුතු සඳහාය. අලුතින් කොකාවිල් කඳවුරට පැමිණි හමුදා සෙබළු බංකර් ඉදිකිරීම සඳහා ලී කොට ලබා ගැනීම සඳහා කඳවුරෙන් පිටතට ගිය අවස්ථාවක දී කැලයේ සැඟවී සිටි කොටි සෙබළුන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. කොකාවිල් කඳවුරට ආසන්නම පිහිටි හමුදා කඳවුර වූයේ මාන්කුලම්ය. මේ වන විට මාන්කුලම් කඳවුරට ද කොටින්ගේ ප්‍රහාර එල්ල වෙමින් තිබිණි. කොකාවිල් කඳවුර වනය මැද පිහිටි හුදෙකලා එකක් නිසා එය මනාව තේරුම් ගත් කොටි හමුදා සෙබළුන්ට කඳවුරෙන් එළියට වත් බැසීමට අවස්ථාව නොදුන්නේය. 

 

දියතලාවේ පැවැති හමුදා පුහුණුවෙන් පසුව මව සහ පියා සමග

 

 
මේ අතරතුර කඳවුර දෙසට ස්නයිපර් ප්‍රහාර ද එල්ල විය. කඳවුර තුළ සිටියේ සාලිය අලදෙණිය ඇතුළු 64 ක් වූ සෙබළ පිරිසකි. මේ අතර කොටි ත්‍රස්තයන් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන සිංහල භාෂාවෙන් නිවේදනය කළේ අවි බිම තබා යටත් වන ලෙසය. ලෙහෙසියෙන් පසුබැසීමට අකමැති වූ එඩිතර නිලධාරියෙක් වූ සාලිය අලදෙණිය අණදෙන නිලධාරියා තම සෙබළුන් දිරිමත් කරමින් කියා සිටියේ අවසන් මොහොත දක්වාම සතුරා හා අභීතව සටන් කළ යුතු බවයි.  


කඳවුරට ජලය සපයන ළිඳ කඳවුරෙන් පිටත පිහිටා තිබිණි. හමුදා සෙබළුන්ට ළිඳෙන් ජලය ලබා ගැනීමට නොමැකි තත්ත්වයක් උදාවූයේ කඳවුර අවට පිහිටි ඝන කැලය තුළ සැඟවී සිටි ත්‍රස්තයන් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර නිසාය.  


දින කිහිපයක් ගතවන විට කඳවුරේ ජලය මෙන්ම ආහාර පතොරම් හා ඖෂධත් අවසන් වෙමින් තිබිණි. ලුතිනන් සාලිය අලදෙණිය සංඥා මැදිරියේ සිට මාන්කුලම් කඳවුර අමතමින් ආහාර, ජලය, ඖෂධ කඳවුර වෙත එවන මෙන් ඉල්ලා සිටියේය. එම දුරකථන සංඥා අවසන් වනවාත් සමගම කඳවුරට කොටි හදිසි ප්‍රහාරයක් එල්ල කළ අතර සෙබළුද ප්‍රති ප්‍රහාර එල්ල කළහ.  


විටින් විට මෙවැනි ප්‍රහාර කොකාවිල් කඳවුර වෙත එල්ල වූ අතර ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ දී හමුදාව සතු පතොරොම් විශාල තොගයක් ද අවසන් විය.  
ලුතිනන් සාලිය අලදෙණියගේ ඉල්ලීම මත ආහාර, පතොරොම් ඖෂධ රැගත් හෙලිකොප්ටර් යානා කොකාවිල් වෙත පැමිණියත් ත්‍රස්තයන් ගුවන් යානා නාශක උණ්‍ඩ යොදා කළ වෙඩි තැබීම් නිසා හෙලිකොප්ටර් යානාවලට කඳවුර ආසන්නයට පැමිණීමට නොහැකි විය. ගුවනේ ස්ථානගතව සිටි හෙලිකොප්ටරයකින් ආහාර, ඖෂධ හා පතරොම් හෙළුූ අතර ඒවා වැටුනේ කඳවුර අවට කැලයටය. ඒවා අහුලා ගන්නට යාමට පවා සෙබළුන්ට අසීරු වූයේ කොටි ප්‍රහාර නිසාය. ජලය වෙනුවට විශාල අයිස් කුට්ටි හෙලිකොප්ටරය මගින් පතිත කළ අතර අයිස් කුට්ටු කැඩීගොස් කුඩා අයිස් කැට බවට පත්ව තිබූ අතර සෙබළුන් ඒවා අහුලා ගත්තේ තම පිපාසය සංසිඳුවා ගැනීමටය. කොකාවිල් වෙත ආධාරක හමුදා ඛණ්ඩ පැමිණීමට උත්සාහ කළත් ඒවා සියල්ල ව්‍යර්ථ වූයේ සියලු මාර්ග වසා දමා ත්‍රස්තයන් මුරකාවල් දමා තිබූ බැවිනි. ත්‍රස්තයෝ උපක්‍රමශීලීව ගොඩබිම සැපයුම් මාර්ග සියල්ලම බිම් බෝම්බ මගින් හා රැක සිට පහරදීම මගින් අවහිර කළෝය.  


කොටි තම බලය පස් ගුණයකින් පමණ වර්ධනය කරගෙන කොකාවිල් කඳවුර වටකර ප්‍රහාර එල්ල කළහ. මේ වන විට කඳවුර වට කර ගෙන සිටි ත්‍රස්තයන් ප්‍රමාණය 500 ඉක්මවීය. දින ගණනාවක් තිස්සේ කොටින් හා අභීතව සටන් වැද සිටි සෙබළුන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කඳවුර ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක් ගත්හ. මෙම සටන්වලින් තුවාල ලැබූ සෙබළුන් ගණන ද එන්න එන්නම ඉහළ ගිය අතර ඖෂධ හිඟය ඒ තත්ත්වය තවත් සංකීර්ණ කළේය.  

 

පරම වීර විභූෂණ සම්මානය අලදෙණිය මහතාගේ බිරිඳට ජනපති ඩී.බී. විජේතුංග මහතා අතින් පිරිනමමින්

 


කඳවුරේ තිබුණු ආහාර දැඩි ලෙස හිඟවීම නිසා සෙබළුන් දිනකට එක් වේලක් පමණක් ආහාරයට ගත්හ. කඳවුරෙන් එළියට පැමිණි කෝප්‍රල්වරයෙකු පැපොල් ගසකින් ගෙඩියක් කඩා ගන්නට උත්සාහ කළේ ගස්ලබු තම්බා හෝ කන්නටය. එහෙත් කොටි ස්නයිපර් ප්‍රහාරයකින් කෝප්‍රල්වරයා එතැනම මිය ගියේය. තැම්බූ කොළ වර්ග හා ලුණු කැඳ පවා ආහාරයට ගෙන සෙබළුන් කොටින්ට අභීතව ප්‍රති ප්‍රහාර එල්ල කළ අතර ක්‍රමයෙන් ත්‍රස්තයන් කඳවුර ආසන්නයටම පැමිණ ඇති බව ලුතිනන් අලදෙණියට අවබෝධ විය.  
මේ වන විට සෙබළුන් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා තවත් කිහිප දෙනෙක් මියගොස් සිටියහ. තුවාල නොවූ සොල්දාදුවන් ගණන 15 ක් විය. ලුතිනන් අලදෙණිය මේ පිරිසට කියා සිටියේ ’‘මැරුනත් මම නොයමි. ​ඔබලාට ඔබලාගේ ජීවිතය රැක ගන්න මෙතනින් පලා යා හැකිය’’ යනුවෙනි. ලුතිනන්වරයා හා සමීපව සිටි සාජන්වරයෙකුගේ බිරිඳ තම පළමු දරුවා ප්‍රසුත කිරීමට නියමිතව තිබුණේ ද එදිනය. ලුතිනන් අලදෙණිය සාජන්වරයා දෙසට හැරී උඹවත් මෙතනින් බේරිලා පලයන් කීවේය. සාජන්වරයා අභීතව පෙරළා කියා සිටියේ මම මැරුණත් සර්ව දාලා යන්නේ නෑ කියාය.  


කොකාවිල් කඳවුරේ අරක්කැමියා ලෙස කටයුතු කළේ දයානන්දය. කපිතාන් අලදෙණිය ඔහුට ද කීවේ මෙතනින් පැනගන්නා ලෙසය. සර්ලා එක්කම මැරෙනවා මිසක් මම යන්නේ නෑ. යනුවෙන් දයානන්ද කී විට ලුතිනන් අලදෙණිය දයානන්දගේ කම්මුලට වැරෙන් පහරක් ගැසුවේය. ‘‘යකෝ උඹ සිවිල් මිනිහෙක්. උඹ මොකට ද මැරෙන්නේ.’’ යනුවෙන් ලුතිනන් වරයා කෑගැසීය.  


ජුලි 10 වැනිදා වන විට සෙබළුන් ගණන 15 දක්වා අඩුවී වෙඩි බලය ද තුන් සියය දක්වා අඩුවී තිබිණි. තුවාලකරුවන් හා මියගිය සමහර සෙබළුන්ගේ සිරුරද කඳවුර තුළ විය. මේ වන විට ත්‍රස්තයන් කඳවුර ආසන්නයටම පැමිණ තිබිණි. මේ අවස්ථාවේ දී ත්‍රස්තයන් කඳවුරට දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර ඉතා සුළු සෙබළ සංඛ්‍යාවක් කඳවුරේ සිට ඊට ප්‍රති ප්‍රහාර එල්ල කළේය. ලුතිනන් අලදෙණිය මේ සෙබළුන්ට අභීතව අණ දෙමින් සටන් කරමින් සිටියේය.  


කොකාවිල් කඳවුර හා භටයන් පත්ව ඇති අසීරුතාව ඉදිරියේ හතරවන බල​සේනා මූලස්ථානය උපදෙස් දුන්නේ සටන ඉදිරියට ගෙනයාම අපහසු නිසා කඳවුර අතහැර උපක්‍රමශීලීව පසුබසින ලෙසය. එහෙත් තුවාල ලබා සිටි තම සහෝදර සෙබළ පිරිසත් තවත් පිරිසකගේ මෘත දේහත් අතහැර දමා කඳවුර අතහැර යාම ප්‍රතික්ෂේප කළ ලුතිනන් අලදෙණිය ඉල්ලා සිටියේ ගුවන් හමුදාව මගින් බෝම්බ දමා කඳවුර විනාශ කර දමන ලෙසය. කොකාවිල් විනාශ කර දමන ලෙසය. කොකාවිල් සම්ප්‍රේෂණ කුලුන හා එහි තිබූ නවීනතම උපකරණ පවා කොටින්ට අත්පත් කර ගැනීමට නොහැකි වන අයුරින් තම පිරිසත් එම උපකරණත් විනාශ වන පරිදි ගුවනින් බෝම්බ හෙළන ලෙස ඔහු ඉල්ලා සිටියත් එය නීති විරෝධී කටයුත්තක් බැවින් ගුවන් හමුදාව එය ප්‍රතික්ෂේප කළේය.  


ජුලි 12 වැනි දින අලුයම වන විට කොකාවිල් කඳවුර ත්‍රස්තයන් අතට පත්විය. ඒ වන විට ලුතිනන් අලදෙණිය සිටියේ රූපවාහිනී මධ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළය. කඳවුර සතුරා අතට පත්වුව ද සතුරා මරාගෙන මැරෙන්නෙමියි සිතා සුදානම්ව සිටි ලුතිනන් අලදෙණිය අවසන් තප්පරයේදිත් අභීතව සිටියේය. එක්වරම කොටින්ගේ වෙඩි ප්‍රහාරයක් කඳවුරේ ඉන්ධන ටැංකියට වැදීමෙන් කඳවුරම එකම ගිනි ජාලාවක් බවට පත් විය. ලුතිනන්වරයා ඇතුළු වීරෝධාර සෙබළු පිරිස කඳවුරත් සමගම දැවී අළුවී ගියහ.  
රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවි පිදූ මේ අසහාය අභීත උපුල් සාලිය අලදෙණිය රණවිරුවාගේ උදාර ජීවිත පරිත්‍යාගය අගය කරමින් 1991 ඔක්තෝබර් 10 වැනි දින එවකට ජනාධිති ඩී.බී. විජේතුංග මහතා අතින් ඔහු කපිතාන් නිලයට උසස් කරන ලද අතර ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයකු වෙත පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය වන පරම වීර විභූෂණ පදක්කම ද ඔහුගේ නමින් පිරිනැමිණි. පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලත් ප්‍රථම රණවිරුවා වන්නේද සාලිය අලදෙණිය රණවිරුවායි.  


උපුල් සාලිය අලදෙණිය මහතා 1963 මැයි 01 වැනි දින උපත ලැබූ අතර මහනුවර ලේවැල්ල ගමේ උපන් ඔහුගේ පියා එස්.එම්. කුඩා බණ්‍ඩාය. මව ඉන්ද්‍රාවතී විජේසිංහ අලදෙණියයි. පවුලේ දෙවැනියා වූ සාලියට අක්කා කෙනෙක්ද මල්ලි කෙනෙක්ද සිටිති. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ විභාගයෙන් පසුව 1989 අප්‍රේල් 21 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ කෙඩෙට් නිලධාරියකු ලෙස සම්බන්ධ වී මූලික පුහුණුව දියතලාව හමුදා පීඨයෙන් ලැබුවේය. මේ සාලිය අලදෙණිය රණවිරුවාගේ මව වන ඉන්ද්‍රාවතී අලදෙණිය මහත්මිය තම පුත්‍රයා පිළිබඳව කි කථාවයි. පුතා පොඩි කාලේ ඉඳලම ආමි එකේ අයට ආසයි. ආමි එකට යන්නමයි ආසාව. අවුරුදු තුනහර කාලෙත් ආමි එකේ වගේ සූට් එකක් මහලා දුන්නා. එයාගේ අප්පච්චිත් ආමි එකේ තමයි වැඩ කළේ. කුඩා කාලේ ඉඳන්ම ඒ අැඳුම ඇඳගෙන අතේ සෙල්ලම් තුවක්කුවක් තියාගෙන තමයි සෙල්ලම් කළේ.  


එයා ඉස්කෝලේ ගිය කාලෙත් ආමි එකට යන්න තමයි ආසාවෙන් හිටියේ. උසස් පෙළ අවසන් වෙලා හමුදාවට බැඳෙන්න තමයි ඔහුගේ ආශාව තිබ්බේ. පස්සෙ එයා හමුදාවට බැඳුනා. නුවරඑළියෙ තමයි මූලස්ථානය තිබුණේ. පස්සේ කෙළින්ම ​කොකාවිල්වලට ගියා. යුද්ධය දරුණු නිසා ඒ දවස්වල අපි කිව්වා එහේ යන්න එපා කියලා. එයා කැමැති වුණේ නෑ. උතුරට යන්නමයි එයාගේ ආශාව තිබුණේ.  


පුතා අවසන් වතාවට ගෙදර ආවෙ 1990 ජුනි විතර. ඒ ඇවිත් සුමානයක් විතර ගෙදර හිටියා. ආයෙත් ජුනි 06 වැනිදා කොකාවිල්වලට එයා ගියා. අපිමයි පාන්දර ගිහින් කෝච්චියට ඇරලුවේ ප්‍රවෘත්තිවලින් තමයි පුතා ගැන ආරංචිය දැන ගත්තේ. අපි හුඟ කාලයක් විශ්වාස කළේ නෑ, පුතා මැරුණයි කියලා. මගේ පුතා ගැන මම ආඩම්බර වෙනවා. එයා ජාතික වීරයෙක්.  


සාලිය අලදෙණිය මහතා රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන විට 27 හැවිරිදි එක්දරු පියෙකි. ඔහුගේ අාදරණීය බිරිඳ අයන්තා අලදෙණියයි. පසුගිය ජුලි 12 වැනි දිනට ඔහු ඇතුළු රණවිරුවන් දිවි පුදා වසර 31 ක් සම්පූර්ණ විය. මෙරට පමණක් නොව ලෝකයේම යුද ඉතිහාසයේ කොකාවිල් සටන වැනි සිද්ධියක් අසන්නට නොමැති තරම්ය. හමුදා මූලස්ථානය කඳවුර අතහැර පසු බහින්නැයි කියද්දිත් තුවාල වූ සහෝදර සෙබළුන් අතහැර නොගොස් තමා ද ඔවුන් වෙනුවෙන් දිවි පූජා කිරීම එහි ඇති සුවිශේෂී තත්ත්වයයි.  
අනෙක් අතට තමන් ඇතුළු කණ්ඩායම සතුරාට හසු නොවී විනාශ කර දමන්නට යැයි තමන්ගේම හමුදාවෙන් ඉල්ලා සිටීම ද ඉතාමත් සංවේදී අවස්ථාවකි. හමුදා සෙබළුන් 64 දෙනෙකු එක්වී සාමුහික වීරත්වය පෙන්වන ලද අතිවිශේෂ අවස්ථාවක් වන කොකාවිල් සටන වැනි සිදුවීමක් යුද ඉතිහාසයේ ඉතාමත් විරල අවස්ථාවක් බව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසයි.  

 


1990 ජුලි 12 වැනිදා කොකාවිල් කඳවුර කොටින් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව වසර 18 ක් කොටි හඬ ගුවන් විදුලිය එහි පවත්වාගෙන ගියේය. හතරවැනි ඊළාම් යුද්ධයේ දී අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තයන් පලවා හැර 2008 දෙසැම්බර් 01 දින යළිත් කොකාවිල් කුලුන අත්පත් කරගත්තේ කොටින්ට නැවත හිස ඔසවා ලීමට නොහැකි පරිදි දැවැන්ත ප්‍රහාරයකින් ඔවුන් පරාජයට පත් කරමිනි.  


උතුරේ පණිවිඩය දකුණටත් දකුණේ පණිවිඩය උතුරටත් මනාව සන්නිවේදනය කිරීමට දායක වූ කොකාවිල් සන්නිවේදන කුලුන කුරිරු ත්‍රස්තයන් විසින් අත්පත් කරගැනීම නිසා සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සන්නිවේදන කටයුතු අහිමි කළේය. කොටින් එදා පහර දුන්නේ මෙම අහිංසක ජනතාවගේ හඬටය.  


මූලස්ථානය අණකර තිබියදීත් තමාගේ ජීවිතය බේරා ගත හැකිව තිබිය දී තම සහෝදර තුවාල ලත් සගයන් අතහැර නොගිය සාලිය අලදෙණිය වැනි ශ්‍රේෂ්‍ඨයන් සාමුහිකත්වය පිළිබඳව අපට කියා දෙන්නේ වැදගත් පාඩමකි.  


ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳව ආඩම්බරයෙන් සිටීදැයි කෙදිනක හෝ යමෙක් ඔබෙන් ප්‍රශ්න කළහොත් කපිතාන් සාලිය අලදෙණිය පිළිබඳව සිහිපත් කිරීම පමණක් ප්‍රමාණවත්ය. මෙම ශ්‍රේෂ්‍ඨ පුත්‍රයා පිළිබඳව සිහිපත් කිරීම පමණක් මුළු මහත් රටක් ජාතියක් ජාත්‍යාලයෙන් අවදි කිරීමට සමත් වන බව ලියා තැබිය යුතුය.  

 

 

සටහන සහ ඡායාරුප
දොම්පේ අජිත් මදුරප්පෙරුම