රාජකාරිය අකුරට කළ මුරකරුට රාජසිංහ රජුගෙන් ගමක් තෑගි


දෙවැනි රාජසිංහ හෙවත් රාසිං දෙයියන් ගේ කාලයේ මානකොල කඩවතෙහි මුරකරු ලෙස සේවය කළේ හවඩියා නම් ගම්වැසියෙකි. ඔහු රජතුමාට පක්ෂපාතී එඩිතර තරුණයෙකි.  

මහනුවර ප්‍රතිකාලුන් අල්ලාගෙන සිටි කාලයේ ඔත්තුකරුවන් උඩරට පුරා රජු සොයා ඇවිදින බව රාජසිංහ රජු දැන සිටියේය. මේ නිසා මේ ඔත්තුකරුවන් ගැන මුරකරු හරිහැටි ක්‍රියා කරන්නේ දැයි සෙවීමට රජතුමා උපායක් යෙදීය. දිනක් රජතුමා ගම්වැසියෙකු ලෙස සැරසී මානකොළ කඩවත පරීක්ෂා කිරීම සඳහා පැමිණියේය.  


රජතුමා මුරකරුට කතාකොට කඩවතින් එහාට තමන්ට ගමන් කිරීමට අවශ්‍ය බැවින් ඊට ඉඩ දෙන ලෙස ඉල්ලීය. මා මෙතැන සිටින්නේ නොහඳුනන අය ගේ ගමන නතර කිරීමටය. ඔබ කවුද කුමකට කොහි යන්නේ දැයි මම නොදනිමි. එනිසා මෙයින් ඔබ්බට ගමන් කිරීමට ඔබට ඉඩ දිය නොහැක. එසේ කිරීමට ඉඩ දීම මගේ රාජකාරිය පැහැර හැරීමකි. වහාම ආපසු යන්න කියා ඉතා කාරුණිකව ඉල්ලීය. ඉන්පසු වෙස්ගත් රජතුමා කියන්නේ මම මහනුවර අසල ගම්වැසියෙකි. ම​ගේ බිරිඳ හා දරුවන් මන්දාරම් නුවර වෙසෙති. ඔවුන් බැලීමට මට අවශ්‍ය බැවින් එහි යමි. ඒ සඳහා මට ඉඩ ලබා දෙන්නැයි ඉල්ලීය. 

 
එසේ නම් ඔබ ගමේ ආරච්චිගෙන් හෝ කෝරලේ නිලමේ ගෙන් අවසර පත්‍රයක් ගෙනාවෙහි දැයි විමසීය. එවිට රජු මම ඒ දොපොළම හොයන්ඩ ගියෙමි. ඔවුන් කිසිවෙකු සම්බ නොවීය. දරුවකුට අසනීප නිසා මට යන්න අවසර දෙන්නැයි ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය.  


ඔබ කුමක් කීවද ඔබට මෙයින් ඔබ්බට යෑමට අවසර නොදෙමි. මගේ සේවය මම හරියට ඉටු කරමි. ඒ නිසා මෙහි නොසිට ආපසු යනු මැනවැයි ඉල්ලා සිටියේය. එවිට මගී වෙසින් සිටි රජතුමා තම ඔලොගුවට අත දමා රන් කාසියක් ගෙන මෙය රැගෙන මට යන්ඩ ඉඩ දෙන්නැයි ඉල්ලා සිටියේය.  


මුරකරුට කේන්ති ගියේය. මම තොපගේ අල්ලසට යට වෙන නිවටයෙක් නොවෙමි. තොප නම් රාජද්‍රෝහි ඔත්තුකරුවෙකැයි මට සිතේ. ඒ නිසා මෙයින් ඔබ්බට අඩියක්වත් නොතබව. එසේ කළහොත් රාසිං දෙයියන්ගේ අණින් තොපගේ දිවි තොර කරමි. ඉන්පසු මගියා ආපසු හැරී යන්න ගියේය.  


පසුදා හඟුරන්කෙත මහ වාසලට පැමිණෙන්නැයි හවඩියාට රාජ ආඥාවක් ලැබිණ. තම අතවැසියාට වැඩ පවරා හවඩියා රජතුමා බැහැ දැකීමට යන්නේ මේ රාජාඥාව කුමක්දැයි සිතමිනි. මෙයින් තමාට යහපතක් වේද අයහපතක් වේදැයි නිශ්චය කර ගැනීමට නොහැක.  


නියමිත වේලාවට සිංහාසනාරූඪවූ රජතුමා ‘මානකොල කඩවත මුරකරු මෙහි කැඳවව්’ යයි අණ කළේය.  


හවඩියා රජු ඉදිරියේ පෙනී සිටියේය. ‘ඔබ මානකොළ කඩවතේ මුරකරුදැ’ යි රජතුමා විමසීය. ‘එසේය දේවයන් වහන්ස මම එහි මුරකරු වෙමි’. ‘ඊයේ කිසිවකු හෝ ඔය මුරපොළෙන් ඔබ්බට යාමට පැමිණියේ දැ’ යි රජතුමා විමසූ කල ‘එසේය දේවයන් වහන්ස මා නොහඳුන පුද්ගලයෙක් පැමිණ මගෙන් අවසර ඉල්ලූ නමුත් ඔහු ගැන සැක හිතුන මම ඔහුට අවසර නොදුන්නේමැ’ යි කීය.  


ඉන්පසු රජතුමා හවඩියා අමතා ‘එ් වෙන කවුරුත් නොව මම ය. මම එසේ කළේ ඔබගේ රාජකාරිය පිරික්සීමට බවත්’ කියා තොප වැනි රාජ සේවකයන් ඇති මම ආඩම්බර වෙමි. තොපගේ සේවය රජ වාසලට පක්ෂපාතව ඉතා හොඳින් කළෙහිය කියා රජු ඉණ පැළඳි රං හවඩිය ගලවා හවඩියාගේ ඉනේ බැඳ ‘රන් හවඩි ධුර’ යන නමද පටබැඳ ගම්වරයක්ද ප්‍රදානය කළේය.

 

මප/මා/හ/සිල්වත්ගල මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති 
ඩබ්ලිව්.එම්. විජේරත්න