රැකියාව නැති කරගෙන වීරයකු වූ රොන්


රොබින් සිය බිඳ, දරුවන් හා මුණුබුරු මිණිපිරියන් සමග

 

“හය හතර තේරෙන වියේ සිටම සිනමාව කෙරේ මා තුළ තිබුණේ විශාල ලැදියාවක්. එය වැඩි වුණේ මම කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීයි.   


මම ඒ කාලේ ඉඳලම ක්‍රීඩා හා විවිධ සටන් ක්‍රම හදාරන්න ලොකු ආශාවක් දැක්වූවා. සටනකින් හරි ක්‍රීඩාවකින් හරි ජයගෙන තෑග්ගක්, කුසලානයක් හෝ සහතිකයක් ලැබුණාම මගේ හිතේ මැවුණේ බටහිර තිරයේ දස්කම් පෑ නළුවෙක්. ඒකට බෙහෙවින්ම හේතු වුණේ එදා ඉඳලම ඉංග්‍රීසි චිත්‍රපට බලන්න පුරුදු වූ නිසයි.”   
සිනමා සටනට ජවය හඳුන්වා දුන් රොබින් ප්‍රනාන්දු මා සමඟ මෙසේ පැවසුවේ අද ඊයේ නොවේ. 1978 වසරේ ජනවාරි මාසයේදීය.   


ඒ වනවිට ද රොබින් ජනප්‍රිය නළුවෙකි. ඔහු මා සමඟ කීවේ කවදාක හෝ සිනමාවට සම්බන්ධ වී අලුත් යමක් කිරීමට පාසල් කාලයේදීම ඔහු කැමැත්තෙන් සිටි බවයි.   


කෙසේ හෝ පාසල් කාලයෙන් පසුව රොබින් මැක්වුඩ් ආයතනයේ රැකියාවක් තෝරා ගත්තේය.   
වාසනාව සොයා ආවේ මේ කාලයේදීය.   


එකල ‘කලා’ සඟරාවේ සංස්කාරක මෙන්ම චිත්‍රපට දෙබස් රචකයකු වූ ආරියරත්න කහවිටගේ උදව්වෙන් රොබින්ට ‘චණ්ඩියා’ චිත්‍රපටයේ සටන් ජවනිකා කීපයකට සම්බන්ධ වීමට හැකි විය. ඒ 1965 දීය.   
කොටහේනේ පදිංචිව සිටි රොබින් තම ප්‍රථම රඟපෑම තිරයෙන් ඉදිරිපත් කරන්නට මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ කොටහේනේදීමය.   


ටයිටස් තොටවත්ත නමැති ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රථම සිනමා අධ්‍යක්‍ෂණය වූ ‘චණ්ඩියා’ හි ඒ අපූරු සටන රූපගත වූයේ කොටහේනේ නගර සභා පිහිනුම් තටාකයේදීය. එම අපූරු සටනේදී චණ්ඩියා ලෙස රඟපෑ ගාමිණී ෆොන්සේකාගේ පහරකින් රොබින් අඩි 40 ක් තරම් පහළ වූ තටාකයට ඇද වැටුණේය. එය එතෙක් සිනමා තිරයට ආ ත්‍රාසජනකම සටනක් විය.   


එතැන් පටන් රොබින්ට තවත් චිත්‍රපට කිහිපයටම සටන් ජවනිකා සඳහා රඟපාන්නට අවස්ථාව ලැබිණි. ඒ ඔහුගේ සටන් කිරීමේ දක්ෂතාව නිසාමය.   


චිත්‍රපට රඟපෑම පටන් ගත්තද ඔහු මැක්වුඩ් ආයතනයේ රැකියාවෙන් ඉවත්වීමට අදහසක් නොවීය. රැකියාවත් රඟපෑමත් දෙකම එකට කරගෙන යෑම ඔහුගේ අභිලාෂය විය.   
එහෙත් දෛවය රොබින්ට ඊට ඉඩ නොදුන්නේය. සටනට ක්‍රීඩාවට දක්ෂ වූවා සේම ඔහු ඉතා කඩවසම්ය. ඉතා පැහැපත්ය. උස අඩි 5 අඟල් දහයකි. පුළුල් දෙවුර ඔහුගේ සිරුරේ හැඩයට මනා තේජසක් එක් කරයි. වම් කම්මුලේ පිහිටි උපන් ලපය ද ඔහුගේ මුහුණට ගෙන ආවේ විශේෂත්වයකි. මේ සියල්ල තිරයේ වීරයකුට අවශ්‍ය අංග ලක්‍ෂණය.   


මේ නිසා රොබින්ට ‘දැවෙන පිපාස’ චිත්‍රපටයේ රහස් පරීක්ෂකයකු ලෙස වීරයාගේ චරිතය රඟපාන්නට ලැබුණේය. එය රොබින් රඟපෑ ප්‍රථම ප්‍රධාන චරිතය මෙන්ම තිමති වීරරත්න නම් ප්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂවරයා නිර්මාණය කළ ප්‍රථම සිනමා පටය ද විය.   
රොබින් ‘දැවෙන පිපාස’ චිත්‍රපටයේ රඟපෑවේ නිලන්ති විජේසිංහ සමඟය. එහි ඇතැම් ජවනිකා රූගත කළේ පානදුරේ ප්‍රදේශයේය. තිමති පදිංචිව සිටියේද පානදුරේ නිසා එහි බොහෝ ජවනිකා එම ප්‍ර​දේශයේ කැමරාගත කිරීම තිමතිට පහසුවක් විය.   


එවකට පාසල් යන ​කොළු ගැටයකු වූ මා මුල්වරට සිනමා නළු නිළියන් හැබහින් දැක්කේ ‘දැවෙන පිපාස’ රූගත කිරීමේදීය. ඒ නිලන්ති විජේසිංහ සහ රොබින් ප්‍රනාන්දුය.   
එකල පානදුරේ මාලමුල්ල පාසලට උඩහින් විශාල කැලයක් තිබුණේය. එම කැලයට විශාල කුරුඳු ඉඩමක්ද සම්බන්ධ වී තිබිණී. කිරිබේරිය පැත්තෙන් දිවෙන ගුරුපාර දක්වාම මේ කැලය විහිදුණේය.   
‘දැවෙන පිපාස’ චිත්‍රපටයේ කැමරාගත කිරීම් සඳහා ඒ කැලෑවේ බොරු වළක් කපා එයට උඩින් වියළි කොළ දමා වසා තිබිණි. චිත්‍රපටයේ හැටියට රොබින් හෝ නිලන්ති මේ වළට ඇද වැටිය යුතු බව මට මතකය.  
රූගත කිරීමට කලින් දිනයේ තිමති, රොබින්, නිලන්ති සමඟ තවත් කීප දෙනෙක්ම පා ගමනින් ඒ කැලයට පැමිණියේ දර්ශන තලය දැක ගන්නටය. පාරේ සිට තරමක් දුර කැලයට ඇවිද යා යුතුය. රොබින් කළු අත් කොට කමිසයක් හා කළු කලිසමක් ඇඳ සිටි බව මට මතකය. නිලන්ති එකල සුප්‍රකට මෝස්තරයක් වූ ඇඟටම ඇළුණු වර්ගයේ සායකින් හා බ්ලවුසයකින් සැරසී සිටියාය.   


අපි පාසල් නිම වී රූගත කිරීම් බලන්නට දිව ගියෙමු.   


රොබින් අත නිතරම කුඩා උල් පිහියක් විය. ඔහු හැම විටෙකම වාගේ ඉලක්කය බලා අසල ගසකට ඒ පිහිය එල්ල කළේය. හරියටම ඉලක්කය කරා ගොස් පිහිය හැම විටෙකම ගසේ රැඳිණි. එය ඔහුට ක්‍රීඩාවක් විය. ඔහු එය යළි ඇහිද එම ක්‍රීඩාව නිතරම කළේය. වරෙක රොබින් කැලයේ කපා තිබූ බොරු වළට ඇද වැටුණේය. නිලන්තිට බොරු වළට ඇද වැටෙන හැටි කීවේය. යළි අත දිගු කර නිලන්ති උඩට ඇද ගත්තේය. දින දෙක තුනක්ම මේ කැලෑවේ ‘දැවෙන පිපාස’ රූගත විය. එකලද සිනමා පිස්සුවෙන් පෙළී සිටි මට මේ දර්ශන ගත කිරීම් සිතට ගෙන ආවේ අපූරු චමත්කාරයකි.   


එක් සැඳෑවක හිරු බැස යමින් තිබිණ. එවෙලේ දර්න රූගත කරමින් තිබියදී රොබින් පිස්තෝලයක් පඳුරු අතරට එල්ල කරමින් නිලන්තිගේ අතින් අල්ලාගෙන ගස් අතරින් ඇවිද යන්නට විය. ඇතැම් විරාමයකදී ඔහු උණ්ඩ නැති පිස්තෝලය ඈතට එල්ල කළේය. ආයුධ පරිහරණය ඔහුට සෙල්ලමකි.   


දර්ශනය අතරතුර කැමරාවේ කාචය මාරු කළ තිමති රොබින්ට කීවේ සැඳෑ හිරු එළියෙන් නැහැවුණ කැලෑව කැමරාවෙන් බලන ලෙසය. එසැණින් මම ද කැමරාවට එබුණෙමි. රන්වන් හිරු එළියෙන් නැහැවෙන කැලෑව කාචයෙන් බලන විට අපූරු දර්ශනයක් මවා පෑවේය. එය මගේ සිනමා පිස්සුව තවත් වැඩි කරන්නක් විය.   
ප්‍රථම වරට හැබැහින් මා දුටු සිනමා නළුවා වූ රොබින් ප්‍රනාන්දු ඉන්පසු හැත්තෑව හා අසූව දශකයේ මට වඩත්ම හමුවූ රංගන ශිල්පියා විය. රොබින් හැරුණු විට මට  නිතර හමුවූ තවත් නළුවකු වී නම් ඒ විජය කුමාරතුංග ය.   


විජය මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය ද රොබින් ඉගෙනගත් කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශිෂ්‍යයෝ වූහ. එහි ඉගෙන ගත් තවත් කලාකරුවන් රැසකි. ලෙනින් මොරායස්, ප්‍රේමනාත් මොරායස් මෙන්ම රෝයි හඳපාන්ගොඩ, සුදේශ් ගුණරත්න යන නළුවන් ද, මෙල්රෝයි ධර්මරත්න ද එම ලැයිස්තුවේ මුලම සිටිති.   
අප බොහෝ විටෙක අසා ඇත්තේ විජය කුමාරතුංග නම් සිනමාවේ සිහින කුමරු මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ ‘හන්තානේ කතාවෙන්’ බවය. එහෙත් රොබින්ගේ මිත්‍රත්වය මත විජය ඊට කිලින් චිත්‍රපටයක දෙකක සුළු චරිත නිරූපණයක යෙදුණේය. එහෙත් හන්තානේ කතාව ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය රැගත් චිත්‍රපටයයි.   
‘දැවෙන පිපාස’ චිත්‍රපටය රොබින්ගේ ප්‍රථම ප්‍රධාන චරිතය වූවා සේම ඔහුගේ රැකියාව අහිමි කළ චිත්‍රපටයද විය.   


“චිත්‍රපටයේ ඔක්කොම කැමරා ගත කරද්දී නිලන්ති විජේසිංහ රූප සුන්දරී තරගයකට පිටරට ගියා. එහි රඟපෑ ෂේන් ගුණරත්න අසනීප වුණා. අන්තිමට ඒ සියලු බාධා මැද චිත්‍රපටයේ වැඩ ඉවර කර ගන්න අහුවුණේ මායි. මමත් දිගින් දිගටම නිවාඩු දමමින් වැඩ කළා. අන්තිමට නිවාඩු ඉවර වුණා.   
මම ගිවිසුම් අත්සන් කරල තිබුණෙත් චිත්‍රපටය පෙන්නුවට පස්සේ මුදල් ලැබෙන විදියටයි. ඕන එකක් වෙද්දෙන් කියල හිතාගෙන මම තවත් නිවාඩු දමමින් චිත්‍රපටය ඉවර කළා. අන්තිමට ආයතනයෙන් අස් කිරීමේ ලියුම දවසක ගෙදරටම ඇවිත් තිබුණා.   


මුදල් ප්‍රශ්න තිබුණත් මම අාත්ම ශක්තියෙන් අනාගතයට මුහුණ දුන්නා. එහෙම නොවුණා නම් තවමත් මම නළුවෙක් නෙමෙයි. නිකම්ම නිකම් සටන් නළුවෙක් පමණයි. මට ජනප්‍රියත්වයත්, ගෞරවයත් මුදල් හදලුත් යහමින් ලැබුණේ මගේ රැකියාව නැතිවුණ නිසා.”   
රොබින් 1978 දී එසේ මට පැවසුවේ ඔහුගේ ජීවිතේ අමතක නොවන සිදුවීම එය බව මතක් කරමිනි.  
1937 ජුනි මස 15 වැනිදා උපන් රොබින් පසුගියදා තම 84 වැනි උපන් දිනය පසු කෙළේය. ඔහු මේ දිනවල රෝගාතුරව නිවසේ පසු වෙයි. එහෙත් මා දුරකථනයෙන් ඔහු ඇමතූ කල ඊට පිළිතුරු දෙන්නට ඔහු අමතක කළේ නැත.  


ඔහු රඟපෑ බොහෝ දර්ශන තලවලදී මා දුටුවේ උදෙන්ම නැගිට ක්‍රීඩා ඇඳුමකින් සැරසී ඔහු ශාරීරික ව්‍යායාමවල නිතරවන ආකාරයයි.  
සුනිල් ආරියරත්න ‘කිඳුරු කුමාරි’ චිත්‍රපටය රූගත කළේ ත්‍රිකුණාමලයේය. රූගත කිරීමේ කණ්ඩායම නැවතී සිටියේ නිලාවැලි කිට්ටුව කුඩා තානායමකය. ඒ විජය විවාහ වූ අලුතමය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වූයේ විජය, රොබින් හා ජෙනිටා සමරවීරය. චිත්‍රපටය රූගත කළේ නිලාවැලි කිට්ටුව පිහිටි තුන් පැත්තකින් මුහුදෙන් වට වූ ගල්පරවලින් ගහණ වූ දූපතකය. අප උදේ කෑමට සූදානම් වන විට රොබින් මුහුදු වෙරළ දිගේ දුවයි. ඔහු උදේ ආහාරයට එන්නේ ඉන් පසුවය.  


ඩැනී ඩබ්ලිව්. පතිරණගේ ‘අහිමි දඩමං’ රූගත කළේ අනුරාධපුරයේ රඹෑව ප්‍රදේශයේය.   
රොබින් හා රෙක්ස් කොඩිප්පිලි සමඟ මාලනි ෆොන්සේකා මෙහි ප්‍රධාන චරිත රඟපෑහ.   
1979 දී පැවැත්වූ ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේදී මාලනී ජනාධිපති සම්මාන ලැබූ ප්‍රථම නිළිය වූවාය. ඇය ඒ දිනවල සිටියේ ‘අහිමි දඩමං’ දර්ශන තලයේය. රොබින් ‘අහිමි දඩමං’ චිත්‍රපටයේ රඟපෑවේ මාලනීගේ පෙම්වතා ලෙසය. එය අලියකුද රඟපෑමට එක්වූ චිත්‍රපට කතාවකි. ඒ නිසා රොබින්ට අලියා සමඟද රඟපාන්නට සිදුවීම තරමක දුෂ්කර කාර්යයකි. එහෙත් ක්‍රීඩාවෙන් පුහුණු කරගත් නිර්භීතකම නිසා ඔහු ඒ රඟපෑම් සාර්ථකව ඉදිරිපත් කෙළේය.  


1979 දී රොබින් මෙන්ම රෙක්ස් ද ඉතාම ජවසම්පන්න වූහ. සාමාන්‍යයෙන් අප ගිය දිනවල පැහැදිලි හිරු එළිය උදේ පාන්දරින්ම අනුරාධපුර නගරය සිප ගනියි. එකල රෙක්ස් හා රොබින් නැවතී සිටියේ අනුරාධපුරයේ අශෝක් හෝටලයේය. හෝටල් අංගනයද විශාලය.  
නිෂ්පාදක අංශයට සම්බන්ධ මෝටර් බයිසිකල් දෙකක් ඉල්ලා ගන්නා රෙක්ස් හා රොබින් උදෙන්ම හෝටල් අංගනයේ පවත්වන ජිම්නාස්ටික් සංදර්ශනය ඇත්තෙන්ම විස්මිතය.   
හමුදා පුහුණුව ලත් රෙක්ස් මෙන්ම ක්‍රීඩාශීලී රොබින්ද මෝටර් සයිකල් ක්‍රීඩාවලට අපූරු දස්කම් දක්වති. රොබින් විටෙක මෝටර් සයිකලය මත හිටගෙන ධාවනය කරවයි. තවත් විටෙක සිය පාද ඉහළට රැගෙන ධාවනය කරවයි. රෙක්ස් ද ඊට දෙවැනි නැත. දෙදෙනාගේම මේ ශූර වීරකම් සංදර්ශනයක් මෙන් පිරිස පුදුමයෙන් බලා සිටිති.   


සිංහල සිනමාවේ අප දුටු දියාරු සටන්වලට නව ජවයක් එක් කළේ රොබින්ය. එකල රොබින් හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු එක්වූ විට එය ඇත්තෙන්ම ත්‍රාසජනක සටනක් විය.  
රොබින් සටන් නළුවකු ලෙස සිනමා තිරය ජය ගත්තා සේම ඔහු චරිතාංග නළුවකු ලෙසද කැපී පෙනුණි.   
ඔහුගේ හොඳම රඟපෑම් මා දැක ඇත්තේ 1977 තිරගත වූ අමරනාත් ජයතිලකගේ ‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේය. එය උප ප්‍රධාන චරිතයක් වුවද රොබින් ලයනල් ගේ චරිතය තිරයේ මැවුවේ ප්‍රේක්‍ෂක සිත් සතන් ආකර්ෂණය කර ගනිමිනි. ඔහු සැබෑ මිනිසකු ලෙස ලයනල්ගේ චරිතයෙන් ඉස්මතු විය.  
මාලනීද රන් මැණිකා ලෙස විශිෂ්ට රංගනයක යෙදුනාය. රොබින් දර්ශන තලයේ පමණක් නොව ගෙදර සිටියද දිනකට පැයක්වත් ව්‍යායාමයේ යෙදෙයි. සතියකට දින තුන හතරක්වත් පිහිනීමට යයි. ඔහු ව්‍යායාම සඳහා නවීන පන්නයේ උපකරණ භාවිත කරයි. ඇතැම් ව්‍යායාම කරන උපකරණවල අප නම දැන ගත්තේද ඔහුගෙනි. ඔහු එතරම්ම ක්‍රීඩා උපකරණවලට ආශා කෙළේය.   


1982 දී ඔහු පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ කෑම බීමෙන් බෙහෙවින් පරිස්සම්වන බවයි. පිටි කෑම අඩු කර පලතුරු වැඩියෙන් අනුභවයට ගන්නා බව ද ඔහු කියා සිටියේය. ඒ වනවිට ඔහු​​ගේ වයස අවුරුදු 46ක් බව ඔහු කීවේය. ඒ නිසාම ඔහු අවුරුදු 80 ගණන් පනින තුරු ශරීරය නිසි ලෙස හැඩයකින් යුතුව තබා ගත්තේය. ඔහුට තිබුණේ අපූරු විනෝදාංශය. ඔහු එකතු කළේ විවිධ ආයුධ වර්ගය. ක්‍රීඩා භාණ්ඩය. ඔහු විවිධ ඇඳුම් පැලඳුම්වලට ආශා කළද බොහෝ විට ඇන්දේ ‘සෆාරි’ ඇඳුම්ය.  
“සෆාරි සූට් එක ඕනෑම තැනකට ගැලපෙනවා. ඒ නිසා සෆාරි සූට්වලට මම කැමැතියි.” රොබින් එදා කීවේය.   
ඔහු බොහෝ කාලයක් පදිංචිව සිටියේ නාරාහේන්පිට ඇන්ඩර්සන් තට්ටු නිවාසවලය. එහි ගිය දිනෙක ඔහු මට පෙන්නුවේ අලුත්ම තාලෙ ‘කෝට්’ එකකි. එය ලෙදර්වලින් නිමා වූවකි.   


“මේකෙ ගාණ දන්නවද?” ඔහු ආඩම්බරයෙන් කීවේය.   


මම “නෑ” කීවෙමි. ඔහු මට සිතා ගන්නට බැරි තරමේ ගණනක් කීවේය. එවන් විශාල මුදලක් වැයකර කෝට් එකක් ඇන්දේ කලාතුරකිනි. ඔහු ඒ කබායට කොතරම් ආශා කළාද යත් චිත්‍රපට ගණනාවකම ඔහු ඒ ඇඳුම ඇන්දේය.  
ඒ හැරුණු විට ඔහු විවිධ තොප්පි එකතු කළා පමණක් නොව ඒවා චිත්‍රපට රඟපෑමේදී පැලඳීමට ද අමතක නොකළේය.  


ටයිටස් තොටවත්තගේ ‘චණ්ඩියා’ චිත්‍රපටයෙන් පටන් ගෙන ටයිටස්ගේම ‘සිහසුන’, ‘හාර ලක්ෂෙ’, ‘කවුද හරි’ ආදී චිත්‍රපට කීපයකම ඔහු රඟපෑවේය.  


1984 දී ඔහු ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටය සඳහා කුසලතා සම්මානයක් දිනා ගත්තේය. 1986 දී ‘සුරදූතියෝ’ සඳහා සම්මාන දෙකක්ම ඔහු ලැබුවේය. ඒ ජනාධිපති හා සරසවි සම්මාන උළෙලවලදීය. 1991 දී ‘තණ්හා ආශා’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඕ.සී.අයි.සී. සම්මානයද, 2018 දී සරසවි රණතිසර සම්මානයද ඔහුට පිරිනැමිණ. 

 
අද රෝගාතුරව සිනමාවෙන් ඈත්ව සිටියද රොබින් තිරයට එක් කළ ජවය සදා අමතක නොවනු ඇත. සිනමා තාරකා අතර ‘ග්ලැමර්’ (විචිත්‍රත්වය) දැකගත හැකිවූ රංගන ශිල්පීන් අතර රොබින් ද මුල් පෙළේ සිටියි.  
ඔහු සිනමා රංගනය මෙන්ම ටෙලිනාට්‍ය කීපයකද රඟපෑවේය. ඒ ‘ඉරබටු තරුව’, ‘පුෂ්පරාගය’ ඇතුළු ටෙලිනාට්‍ය කීපයකය.   
බුද්ධ ධර්මය කෙරේ නැඹුරු වූ සිතක් ඇති රොබින් තම වියදමෙන් නාරාහේන්පිට විහාරයක බුදු පිළිමයක් නිර්මාණය කරවීය. එය එකල පුවත්පත්වල පළ විය. හේමන්ති දියණියගේ හා චන්න පුතකුගේ පියා වූ රොබින්ගේ බිරිඳ වයලට්ය.   


පසුකල රොබින් මුහුණ පුරා රැවුල වවා සිටි අතර එය සුදු පැහැ ගැන්වී තිබිණ. එය බොහෝ විටෙක අපට සිහිපත් කළේ අමිතාබ් භච්චන්ගේ විලාසයයි.  


ඔහු බටහිර චිත්‍රපටවලට කොතරම් නැඹුරුවීද යත් ඔහුගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වූයේ ”චාලිස් ඒන්ජල්ස්” ඇසුරෙන් තැනූ ‘සුරදූතියෝ’ ය. ඊළඟට ‘නින්ජා ශ්‍රී ලංකා’ ඔහු අධ්‍යක්‍ෂණය කළේය.  
සටන් කලාවෙන් පමණක් නොව සිංහල සිනමාවට වෙනසක් කරන්නට ඔහු හැමවිටකම උත්සාහ කළේය. බටහිර නළුවකු මෙන් හැසිරුණු ඔහු චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවයි.   


රඟපෑමේදී පමණක් නොව දර්ශන තලයකදී විවේකීව සිටින විටදී උත්සව අවස්ථාවකදී ද ඔහු කැපී පෙනෙයි. ඔහු තුළ නොනැසෙන තාරුණ්‍යය මෙන්ම ජවසම්පන්න බව ද එක්වී තිබේ.  
රොබින් තරුවක් ලෙස රසික හදවත් තුළ ශ්‍රී ලංකා සිනමාව තිබෙන තුරු විරාජමාන වනු ඇත.

 

 

රොඩ්නි විද‌ානපතිරණ
ඡායාරූප : දයාන් විතාරණ