කැළෑහඳ චිත්‍රපටයේ ස්ටැන්ලි පෙරේරා සහ රුක්මනී දේවී
දිගටම මිනර්වා නාට්‍ය කණ්ඩායමේ තමන්ගේම නාට්‍ය චිත්‍රපට ගත කරමින් සිටි බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන් එකල (1950 ගණන් වල) පසුවූයේ අලුත් කතාවක් චිත්‍රපටයට නැගීමේ අදහසිනි.
මේ කාලයේ ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් තරුණ පරපුර අතරේ අතිශයින් ජනප්‍රිය නවකතාකරුවා වූ අතර “කැලෑහඳ” පාසල් පොතක් ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අනුමත කර තිබිණ.
එඩී ජයමාන්නයන්ගේ තොරතුරු අනුව ඇලෝ අයියා (බී.ඒ.ඩබ්ලිව්) කැලෑ හඳ නවකතාව ගැන අසා එය ගෙන්වාගෙන එක රැයින්ම කියවා අවසන් කළ බව සඳහන් වෙයි.
ඔහු පසුදා මේ කතාව ගැන පැහැදී අපුරු විස්තරයක් ඉදිරිපත් කර ඇත.
එය ආතර් යූ. අමරසේන ලියන ලද “සිංහල සිනමා වංශය” කෘතියේ මෙසේ සඳහන් වෙයි. මෙය එඩී ජයමාන්නයන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් ලියැවිණි. එනිසා එය ලියැවී ඇත්තේ එඩී එය පවසන ආකාරයෙනි.
‘‘කීයක් ගියත් කමක් නෑ, පොත අරගෙන චිත්‍රපට ගත කරමු” මම (එඩී) එක්වරම කීවෙමි.
“නැතිව කැලෑහඳට උඹේ හොඳම චරිතයත් තියෙන්නේ ඒ පොතේනේ” ළඟ සිටි ඩේසි (රුක්මනී) දෙස බලමින් ඇලෝ අයියා හින්ට් එකක් ගැසුවේය. පසුදිනම අපි ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන් මුන ගැසෙන්නට ඔහු නතර වී සිටි බණ්ඩාරවෙල නිවස කරා ගියෙමු.
එහිදී ඩබ්ලිව්.ඒ. සිල්වා කියා ඇත්තේ “මගේ පොතක් චිත්‍රපටගත කරනවා දකින්න මාත් ආසයි. හැබැයි පොතේ ඇතුළත් කතාව වෙනස් නොකර කරන්න ඕනා” යනුවෙනි.
සිංහල චිත්‍රපටයකට නැගුණ මුල්ම නවකතාව වන්නේ කැලෑ හඳය. කැලැ හඳ මුල් මුද්‍රණය නිකුත් වී ඇත්තේ 1933 දීය. 1951 දී එය සිංහල හා ඉංග්‍රිසි ජ්‍යෙෂ්ඨ විභාගයේ සාහිත්‍ය විෂයට නියමිතව තිබීම නිසා එය වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබිණ.
කැලෑ හඳ චිත්‍රපටයට නැගීම පිළිබඳව 1952-12-14 “ඉරිදා ලංකාදීප” මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළවු බව සඳහන්ය. ඒ ප්‍රථම වරට ‘සිංහල නවකතාවක් චිත්‍රපටයක් වේ’ යනුවෙනි. එම පුවත්පතේම කරුණාසේන ජයලත් විසින් ලියන ලද ලිපියක් ‘සිංහල චිත්‍රපටයක් නිපදවීමට කදිම අවස්ථාවක්’ යනුවෙන් පළවී ඇත.
එකල අතිශය ජනප්‍රිය නිළිය වූ රුක්මනී දේවිය මාලනීගේ චරිතයට සුදුසු එකම නිළිය බව ඩබ්ලිව්.ඒ. සිල්වා අවධාරණයෙන්ම කියා ඇත. එහෙත් ජෝන් ජයපාලගේ චරිතය සඳහා ළාබාල පෙනුමක් ඇති කඩවසම් තරුණයකු යොදා ගත යුතු බව බී.ඒ.ඩබ්ලිව් ගේ අදහස විය. නවක නළුවකු ඒ සඳහා යොදා ගන්නවාට කතුවරයාගේද අකැමැත්තක් නොවීය.
ස්ටැන්ලි පෙරේරා නම් නවක නළුවා මේ කතාවට එක්වන්නේ ඒ අනුවය.
ස්ටැන්ලි ඒ වනවිට ජ්‍යෙෂ්ඨ විභාගයට සූදානම් වෙමින් සිටි කාලයයි. එවකටද එඩී රුක්මනීගේ රඟපෑමෙන් වසඟවී සිටි ස්ටැන්ලි පසු කාලයක ඒ ගැන පැවසූයේ එඩී. - රුක්මණී ගැන දැඩි ආදරයෙන් මතක් කරමිනි.
ස්ටැන්ලි සිය මව සමග “කඩවුණු පොරොන්දුව” බැලීමට යන විට ඔහු ඉගෙනුම ලබමින් සිට ඇත්තේ 6 වැනි පත්තියේය. එයින් පසුව ස්ටැන්ලි එඩී, රැක්මණී රඟ පෑ සෑම චිත්‍රපටයක්ම නරඹා ඇත.
වරක් “පෙරළෙන ඉරණම” නරඹන්න ස්ටැන්ලි වෙන්නප්පුවේ සිට කොළඹ බලා ආවේය. ඒ උදේ 10.00 දර්ශනයටය. එහෙත් ඒ සඳහා ඔහුට ප්‍රවේශ පත්‍ර ලබාගත නොහැකි විය.
නොකා නොබී පෝලිමේ සිටි ස්ටැන්ලිට ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි වුයේ සවස 6.00 දර්ශනයටය.
ඒ ද එකල ඉහළම ගාස්තු අය කල බැල්කනි ප්‍රවේශ පත්‍රයකි. එහෙත් ඔහුට චිත්‍රපටය නරඹන්නට හැකි වී ඇත්තේ හිටගෙනය.
මාරවිල ශාන්ත සේවියර් විදුහලේ සැණකෙළිය විවෘත කිරීමට එඩී - රුක්මණී එනබව අසා ඔහු හැන්දෑවේ සිට සැණකෙළි පොලේ දොරකඩට වී බලා සිටියේය. එවකට ඔහු ගේ වයස අවුරුදු 16කි. එදින ඔහුට එඩී - රුක්මණී සමග වචන කිපයක් කතා කරන්නට අවස්ථාව ලැබිණ. එය ඔහුගේ ජීවිතයේ අමතක නොවන සැමරුමක් බව ස්ටැන්ලි එදා කීවේය.
එවකට චිත්‍රපටයත්, එඩී - රුක්මණීටත් ජනතාව කොතරම් ආකර්ෂණය වුවාදැයි මේ කරුණුවලින් පැහැදිලි වෙයි.
“කැලෑ හඳ” තිරනාටකය බී.ඒ.ඩබ්ලිව් ලියන අතර එහි දෙබස් සඳහා පොතේ එන සංවාදම ඇතුළත් කිරීමට කතුවර සිල්වා එකඟකර ගැනින.
එහෙත් ප්‍රශ්නයකට තිබුණේ එඩී ජයමාන්නට රඟපෑම සඳහා එහි විකට චරිතයක් නොවීමය. සාමාන්‍යයෙන් බී.ඒ.ඩබ්ලිව්ගේ චිත්‍රපටවල හාස්‍ය රසය ඇති කිරීම සඳහා එකල වෙනමම ජෝඩුවක් විය. එහෙත් කැලෑ හඳේ එවැනි චරිත නොවිය. බී.ඒ.ඩබ්ලිව්. විකට ජෝඩුවක් නැති වීමෙන් චිත්‍රපටය ජනප්‍රිය නොවේ යයි සිතා ඇත. ඒ නිසා ඔහු මේ ගැන ඩබ්ලිව්.ඒ. සිල්වාට සැලකර සිටියේය. සිල්වා ඊට තදින්ම අකමැති විය. එයින් කතාවට විශාල හානියක් වන බව කතුවරයාගේ අදහස විය. කැලෑ හදේ එන අන්දාගේ චරිතය විකට චරිතයක් ලෙස වෙනස් කර ඔහු සමග තවත් කාන්තා චරිතයක් යොදා ගැනීමට බී.ඒ.ඩබ්ලිව්. යෝජනා කළද කතුවරයා එයටද කැමැත්තක් පළ නොකළේය.
සිල්වා සූරීන් කීවේ ඒ අදහසට ඔහු තදින්ම විරුද්ධ වන අතර එසේ නම් කැලෑ හඳ චිත්‍රපටයට නැගීමේ අදහස අතහැර දැමීම වඩා සුදුසු බවය.
එහෙත් බී.ඒ.ඩබ්ලිව්. වැඩේ අත හැරියේ නැත. බී.ඒ.ඩබ්ලිව්ගේ ඇවිටිලි අනුව අන්දා සමග මිසී නැමැති චරිතය සිල්වා කැලෑ හඳ චිත්‍රපටයට අලුතින් එක් කෙළේය. එඩී සමග මිසීගේ චරිතය රඟපෑවේ මේබල් බ්ලයිත් විසිනි.
ස්ටැන්ලි කීවේ බී.ඒ.ඩබ්ලිව් අලුත් චිත්‍රපටයකට නළුවන් සොයන බව ආරංචි වී බෙහෙවින් සතුටට පත් වූ බවය. ඒ වන විටත් කැලෑ හඳ ගැන හොඳින් දැන සිටි ස්ටැන්ලි ජෝන් ජයපාල චරිතයට නළුවකු සොයන බව අරංචි වීමෙන් වඩාත් සතුටට පත් විය.
ස්ටැන්ලි පැවසුවේ බී.ඒ.ඩබ්ලිව් හමුවීමට ඔහු පෙරියමුල්ලේ නිවසට ගිය බවය. නවකතාවේ හැටියට ජොන් ජයපාලට ගත යුතුව තිබුණේ ඉතා ළාබාල තරුණයකු නමුදු එවකට එවැනි වයසක නළුවකු සිනමාවේ නොවීය. ස්ටැන්ලිට වාසනාව පෑදුනේ ඒ අනුවය.
ඇත්තෙන්ම ස්ටැන්ලිගේ පෙනුමට බී.ඒ.ඩබ්ලිව් පැහැදුණේය.
එඩී ජයමාන්නයන් ප්‍රකාශකර තිබුණේ එඩීගේ මිත්‍රයකු වූ පෝල් පෙරේරා ඔහුගේ බෑණා කෙනෙක් වූ ස්ටැන්ලි, බී.ඒ.ඩබ්ලිව්.ට හා එඩීට හඳුන්වා දුන් බවයි. එහිදී ස්ටැන්ලිට දෙබස් කීපයක් දුන් අතර ඔහුගේ දෙබස උච්චාරණය පිළිබඳවද බී.ඒ. ඩබ්ලිව් පැහැදුණු බව එඩී කියා සිටියේය.
ස්ටැන්ලිගේ මතකය බී.ඒ.ඩබ්ලිව් විසින් එකල එඩී - රුක්මණී පදිංචිව සිටි ජයරුක් නිවසට කැඳවාගෙන ගිය බවය.
එහෙත් එහිදී ගැටලුවක් තිබිණ. ස්ටැන්ලි කොතරම් සුදුසු වුවද ඔහු රුක්මණීට වඩා උසින් අඩුනම් මේ චරිතයට තෝරාගත නොහැකි බව බී.ඒ.ඩබ්ලිව්. කලින්ම කියා සිටියේය.
එකල රැජිනක් ලෙස කීර්තියට පත් රුක්මණී දේවිය ඉදිරියට ස්ටැන්ලි වැනි නවකයකු යෑමේදී ඔහු බියෙන් හා චකිතයෙන් වෙව්ලන්නට වූ බව පසු කල පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසීය.
ස්ටැන්ලි සමග ගිය ඔහුගේ ඥාතියා එඩී සමග කතාකරන අතර බී.ඒ. ඩබ්ලිව් කීවේ රුක්මණී අසල හිටගන්නා ලෙසය.
රුක්මණී ඉතා අහිංසකව සිනාසෙමින් ස්ටැන්ලි ළඟට ආවාය. ස්ටැන්ලි චකිතයෙන් බලා හිටියේය. ස්ටැන්ලි රුක්මණීට වඩා අඟල් බාගයක් උස බව බී.ඒ. ඩබ්ලිව් තීරණය කළේය.
ස්ටැන්ලිට අඟල් බාගයේ උස වාසනාව ගෙන ආවේ එසේය.
කැලෑ හඳ කැමරාකරණය කිරීම් ඇරඹුණේ මදුරාසියේ සිටඩෙල් චිත්‍රාගාරයේදීය. එහි ඇතුළත දර්ශන සියල්ල රූප ගත කෙරුවේ ඉන්දියාවේදීය. මේ රූප ගත කිරීම් සඳහා ඩබ්ලිව්.ඒ. සිල්වා ද ඉන්දියාවට ගිය අතර කණ්ඩායම යළි එළිමහන් දර්ශන කැමරාගත කිරීම් සඳහා ලංකාවට එද්දී කතුවරයාද ආපසු ආවේය.
ජයපාල මැතිනිය නිතරම පරිහරණය කරන කළුවර ලීයෙන් තැනූ නාග පුටුව චිත්‍රපටයට අත්‍යවශ්‍ය බව පැවසූ ඩබ්ලිව්.ඒ. සිල්වා ඒ සඳහා කලා අධ්‍යක්ෂට උපදෙස් දීමට හැකි බවද මුල් සාකච්ඡා වටයේදී කී බව එඩීගේ සාකච්ඡාවේදී සඳහන්ව තිබිණි.
ජෝන් ජයපාල පමණක් නොව ඩේසි අත්තනායක හා ජයපාල මැතිනිය සඳහාද නවක නළියන් දෙදෙනකු හඳුන්වා දෙනු ලැබිණ. ඒ මිලී කහඳවල හා රීටා රත්නායකය.
ගෙවල් ඇතුළත දර්ශන ඉන්දියාවේ චිත්‍රාගාරයක රූගත කළත්, එළිමහන් දර්ශන සියල්ල කැමරා ගත කෙරුවේ ශ්‍රී ලංකාවේදීය කැලෑ හඳ කතාවේ එන පරිදි ඒ සියල්ල නියමිත ස්ථානවල කැමරාගත කිරීම ඩබ්ලිව්.ඒ. සිල්වාගේ සොම්නසට හේතු විය.
මාසයක කාලයක් පුරා චිත්‍රපට කණ්ඩායම් සමග ඉන්දියාවේ නැවතී සිටි ඩබ්ලිව්.ඒ. සිල්වා එළිමහන් දර්ශන කැමරා කිරීමේදී ද අරනායක ප්‍රදේශයේ මහඔයබඩ, නිකිනියාන සංගිලිපාලම ආදී ප්‍රදේශවලට ගියේය. හැමවිටම කැමරාගත කිරීම්වලදී කතුවරයාගේ උපදෙස් ලැබිණි.
මදුරාසියේ දර්ශන ගැනීම්වලදී ඒ සඳහා දීර්ඝ වේලාවක් ගත කිරීම නිසා කතුවරයා මහත් දොම්නසට පත්වූ බව කියැවෙයි. ඔහු සිතා ඇත්තේ කැමරාගත කරන සෑම රූපයක්ම චිත්‍රපටයට යොදවන බවය. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් ඔහුට පැහැදිලි කරන්නට සිදුවිය.
කැලෑ හඳ චිත්‍රපටය ගීත හා විහිළු හැරුණ විට සෙසු සියල්ල ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතාව පරිදිම කැමරා ගත කිරීම නිසා චිත්‍රපටයේ ආරම්භයෙදීම ඩබ්ලිව්.ඒ. සිල්වා සූරීන්ගේ රූපයත්, කටහඬත් එක්කර තිබිණ.
ස්ටැන්ලි පෙරේරා, රීටා රත්නායක, මිලී කහඳවල, උදුලා දාබරේ සිනමාවට එක්කළ කැලෑ හඳ වර්ණ ජවනිකා ඇතුළත්වූ ප්‍රථම සිනමා පටයද වෙයි.
එමෙන්ම එකල චිත්‍රපටයක් තිරගත කිරීමේදී ප්‍රථම වරට චිත්‍රපටයක් වෙනුවෙන් අතිරේකයන් පල වූයේද ‘කැලෑ හඳ’’ටය. 1953 මැයි 27 දා ‘ලංකාදීප’ පුවත්පතේ පළවු එම අතිරේකය ප්‍රථම විශේෂාංග අතිරේකය බව පැවසේ.
ගාමිණී ගුණතිලක හා සිරී අබේසේකර විසින් ලියන ලද සිංහල සිනමා වංශ කතාවේ තොරතුරු අනුව එම අතිරේකයේ සඳහන් චිත්‍රපටයේ උපත නම් ලිපියේ ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ උපදෙස් හා ගුරුහරුකම් ලැබූ බව විශේෂයෙන් සඳහන්ව තිබූ බව වාර්තාවෙයි. ජෝන් ජයපාල වූ ස්ටැන්ලි පෙරේරාත්, රුක්මණී දේවියත් මුලින්ම රඟපෑ ජවනිකාව රූගත වූයේ ඉන්දියාවේදීය. ඒ 1952 වර්ෂයේදීය.
ජයපාල මැතිනිය හමුවී විවාහය අවලංගු නොකරන ලෙස ඉල්ලා කන්නලව් කළ මාලනී ගෙදරට එයි. එහිදී නිදාගෙන සිටින ජොන් දෙස බලන මාලනී ඔහුගේ පාවහන් ඉවත්කරයි. එහිදී ස්ටැන්ලි බෙහෙවින් ලැජ්ජාවට පත්ව ඇත. එහිදී ඇය ස්ටැන්ලිට කියා ඇත්තේ ‘‘ඔයා ජෝන් ජයපාල මම මාලණී. මම රුක්මණී කියලා හිතන්න එපා’’ කියාය. එමෙන්ම අපි දෙන්නම එක සමානයි. වෙනස මම ජනප්‍රිය නිළියක් විතරයි. ඔයත් දවසක ජනප්‍රිය නළුවෙක් වෙයි කියා රුක්මණී කියා ඇත. කීවා සේම පසු කාලෙක චිත්‍රපට ගණනාවක රඟපා ජනප්‍රියත්වයට පත් ස්ටැන්ලි පෙරේරා ඇත්තෙන්ම නිහතමානී රංග ශිල්පියකු විය. ඔහු අවශ්‍ය වු හැම විටෙකම මාධ්‍යවේදීන් හමුවන්නට මැලි නොවීය. බොහෝ විටෙක ඔහු මාධ්‍යවේදීන් හා කුළුපග විය.
තම දියණිය සබීතා තිරයට පැමිණ රූපගත කිරීම්වලට සහභාගිවෙද්දි ඇයගේ තනියට ගියේ ඇයගේ මව වූ ගර්ලි ගුණවර්ධනය. එම නිසා ස්ටැන්ලි හමුවීමට අපට බොහෝ විටෙක සිදුවූයේ නිවසේදීය.
පසු කාලෙක ඔහු “සඳා” නමින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙළේය. ඒ ගැන තොරතුරු කියන්නට ඔහු එකල නිතරම අප හමුවිය. කැලෑහඳ නවකතාව සිහිපත් වනවිට ජොන් ජයපාල හා මාලනී අමතක කළ නොහැකිවාක් මෙන්ම, චිත්‍රපටයේ එම චරිත රඟපැ ස්ටැන්ලි පෙරේරා හා රුක්මණී දේවියද අමතක කල නොහැකිය.
පසුගියදා කැලෑ හඳ නවකතාව ටෙලි නාට්‍යයක් ලෙස ජාතික රූපවාහිනියේ විකාශය විය.
එදා රුක්මණී දේවියට වඩා අඟල් බාගයක් උස වීම නිසා ජොන් ජයපාල වූ ස්ටැන්ලි පෙරේරාගේ චරිතය ටෙලිනාට්‍යයේ රඟපෑවේ නව පරපුරේ නළුවකු වූ අරවින්ද දොඹගහවත්තය. අලුත් ජෝන් ජයපාල අප දුටුවේ කැලැ හඳ චිත්‍රපටය තිරගතවී වසර 70 කට ආසන්න කාලයකට පසුවය.
රොඩ්නි විදානපතිරණ