විශාල කළ චිත්‍ර කරත්තවල බැඳගෙන ඒ කාලෙ චිත්‍රපට ගැන ප්‍රචාරක කටයුතු කෙරුණා
‘ඒ කාලෙ නළු නිළියන්ට ප්‍රචාරය දෙන්න අද වාගෙ සිනමා පත්තර තිබුණෙ නෑ. මට මතක හැටියට සිනමා පත්තරයක් කියල තිබුණේ ‘චලන චිත්‍ර’ විතරයි. චිත්‍රපට නිෂ්පාදකවරු මුද්‍රණය කළ ප්‍රචාරක පත්‍රිකාවලින් කරත්තවල දෙපැත්තෙ බැඳගත් විශාල පුවරු (කටවුට්ස්) වලින් අපි ප්‍රචාරය ලබා ගත්තා
1982 අවුරුද්දේ ජනවාරි මාසයේදී මෙසේ පැවැසුවේ පර්ල් වාසුදේවිය.
පර්ල් වාසුදේවි පැරැණි සිනමා රසිකයන් දන්නා නමුදු නව පරපුර දන්නවා දැයි සැක සහිතය. ඇය බොහෝ විටෙක පසුකාලීනව රඟපෑවේ විකට චරිතය. කටකාර රළු ගැහැනුන්ගේ චරිතය. ‘සුසී’ චිත්‍රපටයේ මාලිනීගේ මව ලෙස රඟපෑ චරිතය බොහෝ විටෙක සිනමා රසිකයන්ගේ සිතේ රැඳී ඇතිවාට සැකයක් නැත.
ඇගේ පෙනුම පමණක් නොව රළු කටහඬද චරිත නිරූපණයේදී බෙහෙවින් ආකර්ෂණීය විය. වාණිජ යයි අප හඳුන්වන චිත්‍රපටවල මෙන්ම කලාත්මක චිත්‍රපටවලද ඇය තම දක්ෂතා ඉදිරිපත් කළාය. වසන්ත ඔබේසේකරගේ පළඟැටියෝ ඊට එක් උදාහරණයකි.
රුක්මණී දේවිය ජාඇලදී සිදුවූ මාරක අනතුරකින් මෙලොව හැර ගියේ 1978 ඔක්තෝබර් 28 වැනිදාය. එය රසිකයන් මහත් කම්පනයට පත්කළ සිදුවීමක් විය.
ඡායාරූප ශිල්පී දයා පෙරේරා හා රුක්මණී දේවි එම වෑන් අනතුරේදී මියගිය අතර එහි සිට දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූයේ ලින්ටන් විජේසිරි නම් කැමරා ශිල්පියාය. ඔහු සුළු තුවාල හෝ නොමැතිව දිවි ගලවා ගත් ආකාරය අදටත් හාස්කමක් මෙනි.
එනිසා ලින්ටන් විජේසිරිට එකල මහත් ප්‍රසිද්ධියක් ලැබුණේය. ඔහු ඊට පසුවද කැමරා ශිල්පියකු ලෙස පුවත්පත්වල සේවය කළේය.
‘තරුණයා’ පුවත්පතේ කළ මුල් අවුරුදු කීපය තුළදීද ලින්ටන් අප සමඟ කැමරා ශිල්පියකු ලෙස සේවය කළේය.
රුක්මණී දේවියගේ ඛේද ජනක මරණයෙන් වසරකට පමණ පසුව 1979 දී මම ලින්ටන් සමග පර්ල් වාසුදේවි හමුවන්නට මාලිගාවත්තේ නිවාස සංකීර්ණයට ගියෙමි. (එය මාලිගාවත්ත මහල් නිවාස නොවේ)
පර්ල් වාසුදේවි සහ ඇගේ සැමියා වූ සුප්‍රකට ගායක හා රංගන ශිල්පී එඩී ජූනියර් රුක්මණී දේවියගේ සමකාලිනයන් නිසා මුලින්ම ලින්ටන් ගැන හඳුන්වා දුනිමි.
‘එඩී කම් කම් මේ ඩේසි (රුක්මණී) එක්ක ගිහින් ඒ නිසා එස්කේප් වෙච්ච ෆොටෝ ග්‍රැෆර් ඇවිදින්...’ ඇය එවිට කෑ ගැසුවාය. එඩී ජූනියර්ද දිව ආවේ විමතියෙනි.
මා ගියේ පර්ල් හා එඩී සමඟ සම්මුඛ සාකච්ඡාවකට නමුදු එයට ඉඩක් නොදී පර්ල්-එඩී රුක්මණී දේවියගේ අනතුර ගැන අසන්නට පටන් ගත්හ. සම්මුඛ සාකච්ඡාවට ආවේ පසුවය.
‘ඒ කාලෙ නිළියක් වුණාම සින්දු කියන්නත් පුළුවන් වෙන්න ඕනැ. මට ඒ හැකියාව තිබුණා. ඒ නිසා මං ගුවන් විදුලියට සම්බන්ධ වුණා. මම ගුවන් විදුලියේ සින්දු කිව්වෙ ඩේසි (රුක්මණී) සින්දු කියන්නත් කලින්...’ රුක්මණී කතා බහෙන් පසුව ඇය සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් කීවාය.
පර්ල් වාසුදේවි ඉපදී ඇත්තේ ගාල්ලේදීය. පසුව කොළඹට පැමිණි ඇය කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබුවාය. ඇගේ මුල්නම පර්ල් පීටර්ස්ය. ඇගේ මව සිංහලය. පියා බර්ගර් ජාතිකයෙකි.
ඒ නිසා පර්ල් බොහෝ විට කතා කළේ ඉංග්‍රීසියෙනි.
පර්ල් එඩීලා කලාව වෙනුවෙන් අපමණ දුෂ්කරතාවලට ලක්වූ කලාකරුවන් යයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔවුහු කලාවෙන් උපයාගත් දෙයින් එදිනෙදා ජීවිතය ගෙන ගියා මිස එයින් විශාල මුදලක් හරි හම්බ නොකළහ.
‘දැනට මම චිත්‍රපට සියයකට වැඩිය රඟපාලා තියෙනවා. (1979 වසර වනවිට) අපි අවුරුදු 12ක් විතර චිත්‍රපටිවලින් ඈත්වෙලා හිටියා. එස්.පී.එම්. නිපදවූ සැකය චිත්‍රපටයට අපිට ආයෙමත් රඟපාන්න කතා කළේ ලැඩී රණසිංහ. මම කටකාර ගැහැනුන්ගෙ චරිත රඟපාන්න පටන් ගත්තෙ ‘සැකය’ චිත්‍රපටයෙන් පස්සෙයි.”
‘අපිට මුල් කාලෙ දැන් වගේ චිත්‍රපට ගොඩක රඟපාන්න ලැබුණෙ නෑ. ලැබුණු සල්ලිවලින් කෑවා බිව්වා. අපිට බැංකු ගිණුමක්වත් නෑ. ඒත් අපි බඩගින්නෙ ඉන්නෙ නෑ. දැන් අපි බැඳල අවුරුදු 40 කට කිට්ටුයි. අපි තාමත් සම්බෝලයි බතුයි කාගෙන එකට ඉන්නවා.’ ඇය කීවාය.
කඩවුණු පොරොන්දුව චිත්‍රපටගත කිරීමට පෙර ‘අම්මා’ නාට්‍යය චිත්‍රපටගත කරන්නට යාමට අවස්ථාව ලැබුණ බව ඇය පැවැසුවාය. ‘අපි ‘අම්මා’ චිත්‍රපටගත කරන්න රුපියල් ලක්ෂයක් ඉල්ලුවා. ඒත් ඊට වඩා අඩු මුදලක් ලැබුණු නිසා ‘කඩවුණු පොරොන්දුව’ මුලින්ම ඉන්දියාවට ගියා. ඒත් සිරිසේන විමලවීර මාස්ටර් පසුබට වුණේ නෑ. අපි මුදල් හොයාගෙන ‘අම්මා’ චිත්‍රපටගත කරන්න ඉන්දියාවට ගියා.
‘අපිට වියදම් කරන්න මුදල් තිබුණෙ නෑ. ස්ටූඩියෝ එකක් තිබුණු පොඩි ගෙයක නැවතුණා. හරියකට කෑමක් බීමක් ලැබුණෙ නෑ. ඉඳගන්න පුටුවක් තිබුණෙ නෑ.
“ඒ කාලෙ නළු නිළියන්ට ගෙවීමක් කරන්නෙ නෑ. මේ නිසා අම්මා ඉවර කරන්න විමලවීර මාස්ටර් ගියේ රුපියල් හැට තුන්දාහක් වගේ මුදලක්.”
“අම්මා ජනප්‍රිය වූ නිසා සුරංගනී චිත්‍රපටයෙන් මට රුපියල් දෙදහස් පන්සියයක් ලැබුණ. ඒක ඒ කාලෙ හැටියට ලොකු මුදලක්. අපිට මුදලක් ලැබීම කෙසේ වෙතත් චිත්‍රපටවලට අපේ මුදලුත් වියදම් කළා.’ ඇය මතක අතීතය ගැන කීවාය.
කඩවුණු පොරොන්දුව 1947 දී තිරගත වූ පසු නාට්‍යවලට ප්‍රේක්ෂකයන් ඇදී ඒම අඩුවිය.
ඒ නිසා නාට්‍යවලින් ජීවිතය ගෙවූ විමලවීර මාස්ටර් ඇතුළු නාට්‍යකරුවන්ට ආර්ථික දුෂ්කරතාවලට ලක්වන්නට සිදුවිය.
මේ නිසා විමලවීර මාස්ටර් මරදානේ ටවර් රඟහල ඉදිරිපිට කුඩා කාමරයක් කුලියට ගෙන කුඩා මුද්‍රණාලයක් පටන් ගත්තේය.
එහෙත් කලාවට ඇති ආශාව ඔහුට අතහැර ගන්නට නොහැකි විය. සිංහල නමින් චිත්‍රපට බිහිවුවද ඒවායේ තිබූ ද්‍රවිඩ මුහුණුවරට ඔහු කැමැති නොවීය. ඔහු අම්මා චිත්‍රපටයකට නිෂ්පාදනය කරන්නට සිතුවේය.
ඒ නිසා ඔහු තමා සතුව තිබූ කුඩා මෝටර් රථය සහ මුද්‍රණාලය විකුණා දැමුවේය. ඉන්පසුව තම නළු නිළි කැළ සමඟ මහ මඟට බැස රට පුරාම හන්දියෙන් හන්දියට කෑ ගසමින් තම සමාගමේ කොටස් ලබා ගන්නැයි ඉල්ලා සිටියේය.
පර්ල්, එඩී ජූනියර්, ඩී.ආර්. නානායක්කාර, ඇන්.ආර්. ඩයස්, මාර්ෂල් පෙරේරා, ඇස්ලින් රණසිංහ ආදීහු නොමිලේ රඟපෑමට කැමැති වූහ.
වැඩ මුරයකට රුපියල් හාරසිය පනහ බැගින් ගෙවමින් නොවිඳිනා දුක් විඳිමින් ‘අම්මා’ නාට්‍යය චිත්‍රපටයක් ලෙස ඉන්දියාවේදී රූප ගත කළේ ඒ අයුරිනි.
‘අම්මා’ චිත්‍රපටයේ පර්ල් ගේ පුතා ලෙස රඟපෑවේ ඇයගේ සැමියා වන එඩී ජූනියර්ය. ප්‍රධාන චරිත රඟපෑවේ පර්ල් සමඟ එඩී මාස්ටර් (එඩී ජූනියර්ගේ පියා) ය.
පර්ල්ගේ සැමියා වූ එඩී ජූනියර්ගේ නම කියපු සැණින්ම අපට සිහිපත් වනුයේ ‘ගෝවේ ගෑණු පරාදයි’ ගීතයයි. ඔහු එය එකල ටවර්හෝල් නාට්‍යයක් වූ ‘සමුද්‍රදේවි’ නාට්‍යයේදී ගායනා කරමින් රඟපෑවේය.
මා පසුකලෙක ‘සමුද්‍රදේවි’ ටවර් රඟහලේදී දකින විට ඔහු වියපත් වී සිටියේය. එහෙත් වයස නොතකා ඔහු අපූරුවට එදා වේදිකාවේදී එම ගීය ගයමින් රඟපෑවේය.
චිත්‍රපටවලට එන්නට පෙර එඩී ජූනියර් සිය පියා වූ එඩී මාස්ටර්ගේ නාට්‍යවල සංගීත අංශය භාරව සිටියේය.
‘ඔය කාලෙ අපි සිරිසේන විමලවීරගෙ ‘අම්මා’ නාට්‍යයේ රඟපෑවා. එක දවසක් එහි රඟපෑ ඩී.ආර්. නානායක්කාර පොඩි ප්‍රශ්නයක් නිසා රඟපෑම වර්ජනය කළා. එවෙලේ පර්ල් මට කීවා ඩී.ආර්. රඟපෑ චරිතය මට රඟපාන්න කියලා.
මට හරි ලැජ්ජයි. පස්සෙ පර්ල් පෙරැත්ත කළා. ගායකයෙක් වාදකයෙක් හැටියට වැඩ කළ මම රඟපෑ මුල්ම නාට්‍යය අම්මායි. එදා තමයි අපි දෙන්න අතරෙ ප්‍රේම සම්බන්ධයක් ඇති වුණේ’
එඩී කතාව හමාර කරන්නටත් පෙරම පර්ල් ඇගේ නාට්‍ය ගැන කතාව පටන් ගත්තාය.
“විමලවීර මාස්ටර්ගෙ නාට්‍ය හැම එකකමත් ටවර්හෝල් එකේ හැම නාට්‍යයකමත් මම රඟපෑවා. මම රඟපෑ නාට්‍ය ලැයිස්තුව ලියන්න ගියොත් පත්තරේ පිටුවක් වෙන් කරන්න වෙයි.”
ධර්මාශෝක, පිටිසර කෙල්ල, ඔතැලෝ, සීදේවි ආදී වශයෙන් නාට්‍ය ගණනාවක නම් ඇය කියාගෙන ගියාය.
පුංචි කාලයේදීත් පර්ල්ගේ නාට්‍ය පිස්සුව නිසා ඇය ටවර්හෝල් හි එඩ්මන්ඩ් සෙනෙවිරත්නගෙන් වේවැල් පාර නොකා බේරුණේ අනූ නමයෙනි.
‘මට එතකොට අවුරුදු 13යි. ඇනී බොතේජු රඟපෑ නාට්‍යයක් දැක්කට පස්සෙ මට නිළියක් වෙන්න ආස හිතුණා.’
“දවසක් මම ගෙදර හැමෝටම හොරෙන් ටවර්හෝල් එකට ගියා නාට්‍යයක රඟපාන්න හිතාගෙන. ඒත් අපේ පවුලේ මිත්‍රයෙක් වුණු ටවර්හෝල් එකේ එඩ්මන්ඩ් සෙනෙවිරත්න වේවැලක් අරගෙන මාව පන්නා ගත්තා.”
ඒ වුණාට අවුරුදු 15දි ඉන්දු ලංකා සංගීත සමාගමේ පරීක්ෂණයකින් සමත් වෙලා 1930 ජූලි මාසයේ ජයන්ත රාජ් හෙවත් අපරීක්ෂාකාරී නඩු තීන්දුව නාට්‍යයෙ රාජ කුමාරියක හැටියට රඟපෑවා. ඊළඟට මට රඟපාන්න ලැබුණේ ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කළ ‘වැනීසියේ වෙළෙන්දා’ නාට්‍යයෙයි.
1915 මාර්තු 30 වැනිදා උපත ලත් පර්ල් අභාවප්‍රාප්ත වූයේ 1987 ජුනි 19 වැනිදාය.
1926 මාර්තු 12 වැනිදා උපන් එඩී ජුනියර් 1982 නොවැම්බර් 3 වැනිදා අභාවප්‍රාප්ත විය.
කුමර කුමරියෝ, චණ්ඩි පුතා, කඩවුණු පොරොන්දුව (නව), එදත් සූරයා අදත් සූරයා ආදී චිත්‍රපට ගණනාවකම ඔහු රඟපා ඇත.
පර්ල් වාසුදේවි හා එඩී ජූනියර් එදා තිරයේ බෙහෙවින් ජනප්‍රිය නළු නිළි යුවළකි. එහෙත් ඔවුන් කී පරිදිම ඉතිරි කළ මුදලක් නොවීය.
අපරිමිත දුෂ්කරතා මැද වේදිකා නාට්‍ය, සිනමාව වෙනුවෙන් තම ජීවිත කැප කළ මේ සොඳුරු මිනිසුන් ජීවිතය හැර ගියේද නිහඬවමය. දැන් ඔවුන් රසික මතකයෙන්ද කෙමෙන් මැකී යමින් පවතී. එහෙත් ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සිනමාව පවතින තාක්කල් ඉතිහාසය ඔවුන්ගේ නම් රැක ගනු ඇත.
රොඩ්නි විදානපතිරණ