නැගෙනහිරින් රුසියාව, උතුරින් බෙලරූස් රාජ්‍යය, බටහිරින් පෝලන්තය, ස්ලෝවැකියාව, හංගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝව හා දකුණින් කළු මුහුද හා අසෝ මුහුදට මායිම් වන යුක්‍රේනය පොදුවේ නැගෙනහිර යුරෝපා රාජ්‍යයක් වශයෙන් පිළිගැනේ. වත්මන් අගනුවර “කිවේයි” වන අතර ඒකාබද්ධ රාජ්‍යයක් ලෙස ප්‍රාන්ත 24කින් යුතුව අර්ධ ජනපති ක්‍රමයක් සහිත සමූහාණ්ඩුවක් ඔස්සේ වත්මන් යුක්‍රේනය පාලනය වේ. වර්ග කි.මී. 603,628 කින් සමන්විත මෙම රාජ්‍යය තුළ ජනගහනය මිලියන 44.7ක් පමණ සිටිති. අතීතයේ යුක්‍රේනයට අයත් වූ භූමි ප්‍රදේශයේ ජීවත් වූ, එමෙන්ම 20 වැනි සියවස වන විටත් එම ප්‍රදේශයේ ජීවත් වන ජනයා “යුක්‍රේන” නම් ජාතිකත්වය තුළට ගොණුකොට “යුක්‍රේන වාර්ගිකත්වයක්” නිර්මාණය කිරීමට එරට දේශපාලනය එවකට සමත් විය.
ඒ අනුව, යුක්‍රේන වාර්ගිකත්වය = 77.5%, රුසියානු වාර්ගිකත්වය = 17.2%, රුමේනියානු = 0.8%, බෙලරුසියානු = 0.6%, ක්‍රිමියානු ටාටර්වරු = 0.5%, බල්ගේරියානු = 0.4%, හංගේරියානු = 0.3%, පෝලන්ත = 0.3%, යුදෙව් = 0.2%, ආමේනියානු = 0.2% යනා දී වශයෙන් වාර්ගික කණ්ඩායම් ප්‍රතිශතයක් වත්මන් යුක්‍රේනයේ ජීවත් වේ.
“යුක්‍රේන බස” මෙහි රාජ්‍ය භාෂාව වන අතර එය අතීතයේ සිට මෙම රට අයත් කලාපයේ වාසය කළ කොෂැක්, ස්ලාවික, නෝඩික් ආදී වශයෙන් වූ සංක්‍රමණික ප්‍රජාවන්ගේ භාෂාවන්හි සම්මිශ්‍රණයකි. රුසියානු බසෙහි මෙන්ම සිරිලික් ස්ලැවික සම්භවයක් මෙහි පවතින අතර බස හැසිරවීම හා ව්‍යාකරණ නීති ආදිය බහුතරයක් යුරෝපා හා ආසියානු එනම් “යුරේසියානු” භාෂාවන්ට සමානකම් දක්වයි.
යුක්‍රේන ඉතිහාසය ලොව අනෙකුත් රාජ්‍යයන් හා සාපේක්ෂව වසර දහසකට වැඩි ඈතකට දිවෙයි. නූතන යුක්‍රේනියානුවන්ගේ ආදි කාලීනයන් ලෙස ස්ටෙප්ස් තෘණ භූමි හරහා පැමිණි සංක්‍රමණිකයන්, කළු මුහුද ඔස්සේ පැමිණි වෙළෙඳුන්, වයිකිංවරුන්, නිපර් නදිය ආශ්‍රිතව සංක්‍රමණය වූ පිරිස් ආදීන් සලකනු ලැබේ. රෝම අධිරාජ්‍යය ආක්‍රමණයට කටයුතු කරනු ලැබූ විවිධ ගෝත්‍රයන්ගේ ආභාෂය ලත් ස්ලැවික වැසියන් යුක්‍රේනය ආශ්‍රිත භූමි කලාපයේ ජනපද පිහිටුවාගෙන ඇති අතර පසුව වයිකිංවරුන්ගේ ආක්‍රමණයන් හේතුවෙන් ස්ලාවික හා වයිකිං හවුල් පාලනයක් මෙම කලාපයේ නිර්මාණය වී ඇත. මෙම පාලන ක්‍රමය වයිකිං ප්‍රභූන් යටතේ සිදු වූ අතර 'Kievan Rus' යනුවෙන් එම රාජ්‍යය හඳුන්වා ඇත.
යුක්‍රේන කලාපය වෙත නැගෙනහිර ඕතොඩොක්සවාදී ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත වන්නේ ද මේ යුගයේය. නැගෙනහිර රෝම අධිරාජ්‍යයෙන් පැමිණි සංක්‍රමණිකයන් ඔස්සේ මෙම භූමි කාලාපයේ නැගෙනහිර ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත වී ඇත. එබැවින් නූතන යුක්‍රේනයේ ජනගනහයෙන් 72%ක ප්‍රමාණයක් මෙම ආගම අදහනු ලබන අතර 8.8%ක් පමණ කතෝලික ආගම අදහනු ලබයි.
13 වැනි සියවසේ නැගෙනහිර ආසියාවේ මොංගෝල අධිරාජ්‍ය වර්ධනය වීමත් සමඟ එය නැගෙනහිර යුරෝපය දක්වා ව්‍යාප්ත වී ඇත. ඒ අනුව ක්‍රි.ව 1237-1240 කාලයේ මොංගෝලයන්වරු Kievan Rus භූමිය ආක්‍රමණය කොට ඇති නමුත් ක්‍රි.ව 1285-1300 කාලයේ මොංගෝල බලය බිඳ වැටීමත් සමඟ ඔවුන් යුරේසියාව අත්හැර ගොස් ඇත. හිස් වූ යුරේසියානු බල යාන්ත්‍රණය පිරවීම සඳහා ලිතුවේනියානු රාජාණ්ඩුවක් කටයුතු කොට ඇති අතර එය ලිතුවේනියාව හා Kievan Rus භූමිය එක් කොට ”රූතිනියාව” නමින් බිහි විය.
1569 වසරේ දී පෝලන්-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටුවා ගැනීමෙන් යුක්‍රේනය පෝලන්ත පාලනයට නතු කර ගෙන ඇත. මේ අතරතුර කාලයේ යුක්‍රේනයට නැගෙනහිරින් පිහිටි රාජ්‍යයක් ලෙස රුසියාව වර්ධනය වීමත් බටහිර කලාපය තුළ යුරෝපා බලවතුන්ගේ නැගීමත් සිදු වී ඇත. ඉන් පසුව ක්‍රි.ව 1600දී පමණ පෝලන්ත-ලිතුවේනියාව තුළ යුක්‍රේනයට පක්ෂ රණකාමී කණ්ඩායමක් ලෙස කොෂැක්වරු ඉස්මතු වී ඇති අතර ඔවුන් පෝලන්ත-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවරත්වය තරමක් අඩපණ කිරීමට සමත් වූ කණ්ඩායමක් ද වේ.
එනමුත් 18 වැනි සියවසේ යුක්‍රේනයේ නැගෙනහිර කලාපය රුසියානු අධිකාරයට නතු වී ඇති අතර එහි බටහිර අර්ධය යුරෝපා සන්ධානයේ රාජ්‍යයන්ට නතු වෙමින් පැවතිණි. විශේෂයෙන්ම යුක්‍රේනය අද මුහුණ දෙනු ලබන රුසියාව හා යුරෝපය අතර ඝට්ටනයට ඉතිහාසය පුරාම ඔවුන් මුහුණ දී ඇති අතර එම ඝට්ටනය කෙරෙන් සිය දේශයේ ස්වාධීනත්වය අහිමි කර ගැනීමට යුක්‍රේනියානුවන්ට එදත් අදත් සිදු වී ඇත.
1856-1859 කාලය තුළ යුක්‍රේනයට දකුණින් පිහිටි ක්‍රිමියානු අර්ධද්වීපයේ දී බටහිර බලවතුන් රුසියාවට එරෙහිව සිදු කළ ක්‍රිමියානු යුද්ධයෙන් රුසියාව පරාජයට පත් විය. 1917 වන විට රුසියන්-ජපන් ගැටුමත්, පළමු ලෝක සංග්‍රාමයත් හේතුවෙන් රුසියානු බලය තවදුරටත් පවත්වා ගැනීම තීරණාත්මක වූ අතර අභ්‍යන්තරයේ සිදු වූ බොල්ෂෙවික්වරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රුසියානු අධිරාජ්‍යය ක්‍රමයෙන් අඩපණ වෙමින් පැවතිණි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ලැබූ යුක්‍රේන වාමවාදී ව්‍යාපාර කිහිපයක් එක්ව ”සෙන්ට්‍රල් රාඩා කවුන්සිල්” නමින් කම්කරු ජනයාගේ පක්ෂ රැසක එකමුතුවෙන් සංවිධානයක් පිහිටුවා අගනුවර වූ ‘කිවේයි’ නගරයේ බලය අල්ලා ගන්නා ලදී. ඊට පිළිතුරු ලෙස නැගෙනහිර යුක්‍රේනයේ දේශපාලන හා සන්නද්ධ සංවිධානයන්ට රුසියාව සහාය ලබා දුන් අතර යුක්‍රේනයේ “කාර්කිෆ්” නගරය මුල්කොට ගෙන රුසියාවට එක්වීමට කැමති ජනයා විකල්ප ජනරජයක් ලෙස සංවිධානය කළේය. එසේ වුවත් 1918 ජනවාරි මස 16 දින යුක්‍රේනය සිය නිදහස පළමු වරට ප්‍රකාශ කළ අතර පසුව එය ක්ෂණික සිවිල් අරගලයකට හේතු විය.
ඒ අනුව රතු හමුදාව සමඟ එක් වූ සෝවියට්වරුන් යුක්‍රේනයේ තුනෙන් දෙකක බලය අත්පත් කර ගනු ලැබීය ඉතිරි කොටස පෝලන්තය හිමි කර ගැනීමත් සමඟ යුක්‍රේනයට ස්වකීය නිදහස පූර්ණ වශයෙන්ම අහිමි විය. 1922 දෙසැම්බර් මස 30 යුක්‍රේනයේ සෝවියට් පාලනයට නතු වූ කොටස සෝවියට් ඒකකයක් බවට පත් කළේය. 1932-1933 මහා සාගතය නොහොත් “හොලදමෝර්” සාගතය (Holodomor Famine) ඇති වීමත් සමඟ මිලියන 5ක පමණ මිනිස් ජීවිත අහිමි වීම ඔස්සේ යුක්‍රේනය සිය ඉතිහාසයේ දුෂ්කරතම කාල පරිච්ඡේදයකට මුහුණ පෑවේය.
දෙවැනි ලෝක සංග්‍රාමයට පෙර රුසියාව හා ජර්මනිය අතර වූ සම්මුතිය හේතුවෙන් යුක්‍රේනයේ බටහිර කොටස නාසි ආක්‍රමණයට නතු විය. යුක්‍රේන ජාතික සංවිධාන නිදහස උදෙසා සටන් කරනු ලැබුවත් ලෝක යුද්ධය අවසන් වන විට සිවිල් යුද්ධ, ස්ටාලින්, නාසි හා සෝවියට් බලාධිකාරයන් නිසාවෙන් යුක්‍රේනියානුවන් මිලියන 9ක් පමණ සිය දිවියෙන් වන්දි ගෙවා තිබිණි.
කෙසේ නමුත් 20 වැනි සියවස අගභාගයේ අඩපණ වූ සෝවියට් සංගමය හා හමුදා කුමන්ත්‍රණ මැද දුර්වල වූ රුසියාවෙන් වෙන් වූ යුක්‍රේනය 1991 අගෝස්තු 24 දින දෙවැනි වරට ද සිය ස්වෛරීත්වය ප්‍රකාශ කළේය. ඒ වන විට යුක්‍රේනය තවදුරටත් රඳවා ගැනීමට රුසියාවට හැකියාවක් නොතිබුණු අතර නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් ලෙස එවක් පටන් යුක්‍රේනය නැගෙනහිර යුරෝපයට හා රුසියානු ප්‍රදේශයට මැදිව සිය දේශපාලන බලය ව්‍යාප්ත කරනු ලැබීය.
යුක්‍රේනය යනු ස්වභාවික සම්පත් බහුලව පවතින රාජ්‍යයකි. ඒ හේතුවෙන්ම 19 වැනි සියවසේ සිට ආක්‍රමණිකයන්ගේ හස්තය නිරතුරුව යුක්‍රේනය වෙත දිගු විය. ගල් අඟුරු, ස්වභාවික ගෑස්, මැංගනීස්, ටයිටේනියම්, නිකල්, රසදිය, සල්ෆර්, යකඩ වැනි සම්පත් යුක්‍රේනයේ විසිරී පැවතීම ස්ටාලින්ගේ පස් අවුරුදු සැලසුම් සඳහා මෙන්ම වත්මන් කාර්මික, ලෝහ, විදුලි හා අවි ආයුධ නිෂ්පාදන සඳහා ද සෝවියට් සමූහාණ්ඩුවට විශාල දායකත්වයක් සපයනු ලැබේ. මේ වන විට හිස ඔසවා ඇති රුසියානු-යුක්‍රේන ගැටුම් කෙරෙහි මෙම තත්ත්වය ඍජුවම බලපාන අතර ඊට අමතරව යුක්‍රේන භූමියේ පවතින දේශපාලනික හා සංග්‍රාමික උපක්‍රමික ස්වභාවය ද බටහිර ජාතීන් හා රුසියානුවන් අතර යුක්‍රේනය අරභයා නිරන්තරව ඉස්මතු වන යුද ගැටුම් සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වේ. එබැවින් යුක්‍රේනයේ අද පවතින පසුබිම වර්තමානයට පමණක් සීමා වූවක් නොව අතීතයේ පටන් යුක්‍රේන ඉතිහාසය පුරාම නැවත නැවත සිදු වන ක්‍රියාදාමයක් බවත්, වර්තමාන තත්ත්වය එහි තවත් එක් ජවනිකාවක් පමණක් බවත් කිව හැකි වේ.
අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරිණි.
කේ. ටී. කේ. කාරියවසම්