රූපනයෙන් නිරූපණයට පිවිසෙන - අශාන් ෆොන්සේකා



ලංකා බැංකු පරිශ්‍රයකට පිවිසෙන විට එක්වරම නෙත් යොමු වෙන්නෙ එහි විවිධ ඉරියව්වලින් ගනුදෙනු කටයුතුවල නියැළෙන තරුණයකුගේ සේයාරුව. නිරූපණ හැඩරුවට අමතරව නළු රුවකුත් ඔහු තුළින් පෙනෙන නිසා දෙවරක් හැරී බලන්නට හිතුණොත් පුදුමයක් නැහැ.

ඒ කතාව ඇත්ත. අශාන් ෆොන්සේකා කියන්නෙ අපි නිළි රැජින මාලනිගේ බාල මලණුවන් වන නිමල් ෆොන්සේකාගේ දෙටු පුත්‍ර රත්නයය. කලාවත් රංගනයත් උරුම කරගෙන උපන්නත් ඔහු අද නතරව සිටින්නේ නිරූපණ ක්ෂේත්‍රයේය. ඔහු සමග කළ කතාබහයි මේ.

  • අශාන් කොහොමද කලාව හඳුනා ගත්තෙ?

කැලණිය කියන්නෙ කලා පුරයක්. මාලනී නැන්දා ඇතුළු අපේ කලා පවුල රංගනයෙන් හා සිනමා අධ්‍යක්ෂණයෙන් රටට ගෙනා කීර්තිය මිල කරන්න බෑ. ඒ පවුලේ තුන්වෙනි පරපුරේ සාමාජිකයකු වීමත් මා ලැබූ භාග්‍යයක්.

මගේ පියා වන නිමල් ෆොන්සේකා නාට්‍යකරුවෙක් සහ වෘත්තිය ඡායාරූප ශිල්පියෙක්. මගේ මව රෝහිණි වික්‍රමාරච්චි ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මම ගියේ කලාකරුවන්ගේ නිජබිමක් ලෙස ප්‍රසිද්ධ කැලණිය ධර්මාලෝක විද්‍යාලයට. එහිදී කලාවේ අත්පොත් කියලා දුන්නේ ප්‍රවීණ නාට්‍ය රචක ජේ.ඒ.ඩී. පෙරේරා ආචාර්යතුමා. නැන්දාගේ මෙහෙයවීමෙන් සැබෑ කලාවත් කලාකරුවනුත් හඳුනාගන්න මට වාසනාව ලැබුණා.

ඒත් මගෙම කල්පනා ශක්තිය යොදවල විවිධ නිර්මාණ, අත්හදා බැලීම් තුළින් කලාවේ නොයෙක් ඉසව්වලට යොමු වුණා.

  • වැඩියෙන් හිත ගියේ රංගනයට ද?

එහෙම කියන්න බෑ. රසවිඳින හැටි තමයි ඉස්සෙල්ලම හිතට ගත්තේ. තමන් තුළ විනයක් හෝ රසඥතාවක් නැතුව කලාව රසවිඳින්නවත් කලා නිර්මාණයක් කරන්නවත් බෑ කියල තමයි නැන්දා සහ ගුරුතුමා කියලා දුන්නෙ.

හැබැයි මගේ ජානවල රංගනය පිළිබඳ බලය තියෙන්න ඇති. මොකද මගේ තාත්තගෙ සීයා වූ ඇල්වලගේ ඒබරන් සිල්වා කියන්නේ නාඩගම් වේශ නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේම මගේ අම්මාගේ පියා වූ පෑලියගොඩ පීටර් පෙරේරා කියන්නෙ නාඩගම් පසුතල නිර්මාණ ශිල්පියකු වගේම සර්පිනා වාදකයෙක්.

ඉතින් 1980 ඉඳන් පාසල් වේදිකාවෙ දී මගේ හැකියාවන් එළි දැක්වුණා විතරක් නොවෙයි සම්මානයෙන් ද පිදුම් ලැබුවා. 

  • ඔබේ නිවසේම නිළියක් ඉන්න එකත් ශක්තියක් වුණා නේද?

අපොයි ඔව්. අම්මා තමයි සැඟවී උන්න මාව ක්ෂේත්‍රයට යොමු කළේ. අම්මාත් එයාගෙ සහෝදරයාත් 1980 සිට වේදිකා නාට්‍යවල රඟපෑවා. ඇය වඩාත් ප්‍රසිද්ධ වුණේ විමලරත්න අධිකාරි මාමා අධ්‍යක්ෂණය කර රාජ්‍ය රණ මයුර සම්මාන දිනූ ‘පරාස්ස’ නාට්‍යයෙන්. ජයසේකර අපොන්සුගේ ‘තටු’, වැවගාව ගෙදර බණ්ඩාගේ ‘ළඳක් ඉකිබිඳී’, සුනිල් හේමසිරිගේ ‘ලත නොමවන්’, බී. සිරිතුංග පෙරේරාගේ ‘සිටුතුමා’ වැනි නාට්‍යවල රඟපෑවා වගේම ළඳක් ඉකිබිඳී සඳහා හොඳම සහය නිළිය ලෙස රාජ්‍ය සම්මාන ලැබුවා.

මාලනී නැන්දා මාව හයවෙනි වසරේ දී ජාතික රූපවාහිනියේ විකාශය වූ දියවර ප්‍රසංගයේ ප්‍රධාන චරිතයකට යොමු කළා. මගේ චූටි නැන්දා දමයන්ති ෆොන්සේකා ‘පොපියන උයන’ තුළින් වේදිකා රංගනයට යොමු කළා. ජේ.ඒ.ඩී. සර්ගේ ‘සාම ජාතකයේ’ බෝධි සත්ව චරිතයට මට ලැබුණු ගුරු උපදෙස් බොහෝම වැදගත් වුණා. පොපියන උයන නාට්‍ය නැරඹීමට පැමිණි ප්‍රදීප් මහේෂ් ලියනගේ සිරස ළමා වැඩසටහන්වල නිවේදන කටයුතු සඳහා මා යෙදෙව්වා. මා සමඟ එක් වූ නිවේදිකාව වූයේ යොවුන් නිළි නතාෂා පෙරේරා.

ඔය අතර අම්මා මා ජෙරම් ඩී. සිල්වාගේ ‘ආයෙත් එන්නෙ නෑ’ නමැති 2008 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළ නාට්‍යයට යොමු කළා. එය එම වසරේ හොඳම නාට්‍යය ලෙස තේරුණා. මා රඟපෑවේ ඇලෙක්සිස් නම් ළමා චරිතයයි. ඊට අමතරව අම්මාත් සමග මම ජල සම්පත් මණ්ඩලය 2015 දී කළ ලෝක ජල දින නාට්‍ය තරගාවලියේ ‘දියකෙළි’ නාට්‍යයේ රඟපෑවා.

අශාන් නැන්දා මාලනී සමඟින්


  • ඇයි ඉතින් මෙච්චර පැහැදිලි මාවතක නොගිහින් නිරූපණ කලාවට ගියේ ? කලකිරීමක් වුණාද?

එහෙමයි කියන්න බැහැ. තවමත් හොඳ නාට්‍යයක් ආවොත් රඟපානවා. කොටින්ම මගේ ඇස් ඇදී ගියා මොඩ්ලින්වලට. විදෙස් පොත්පත් රූප රාමු දකින විට, තොරතුරු ඇහෙන විට මට හැඟීමක් ඇතිවුණා. ඒ ක්ෂේත්‍රය ගැන. මොඩ්ලින් කියන්නෙ නිරූපණ කලාවක් වුණාට එයින් පෞරුෂ සංවර්ධනය, ජීවිතයේ විනය ගරුක බව, අවධාරණ ශක්තිය, ස්වර්ණ ශක්තිය ඇති කරන බව ඉගෙන ගන්නේ වාසනා දන්තනාරායන මහත්මියගේ ගුරු කුළය ඇසුරෙන්.

බොරැල්ලේ පිහිටි ‘වී ඇකඩමි’ යේදී නිරූපණ කලාවේ පිටත මෙන්ම ඇතුළත සිරි විභූතිය විඳගන්නට ඉඩ සර ලැබුණා. කොටින්ම ජීවිතය පිළිබඳව අලුත්ම පොතක් කියවීමට මට ලැබුණා. එතුමියත් මගේ කුසලතා හඳුනාගෙන විවිධ පැතිකඩ ඔස්සේ වැඩසටහන්වලට යොමු කළා.

2016 දී රුසියාවේ ජොර්ජියාහි දින 10ක් පුරා පැවති ‘‘Mr ප්ලැනට්’’ ජාත්‍යන්තර නිරූපණ තරගාවලියට සහභාගි වුණා. රටවල් 30කින් පමණ නිරූපණ කණ්ඩායම් නියෝජනය කළා. එය තමා මගේ ජීවිතයේ සුන්දරම මෙන්ම තීරණාත්මක දවස. ජාත්‍යන්තර මට්ටමේ තරගයක ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ ගුරුවරයකු වන විශ්ව පෙරේරා යටතේ නවකයකු වූ මට තරග වදින්නට වීමම තිගැස්මක්.

මගේ නිරූපණ ඇඳුම් කට්ටලයේ වෙස් නිර්මාණ ශිල්පියා වූයේ නුවන් කහපොළ ආරච්චියි. එය නම් අපූරු ඇඳුම් නිර්මාණයක් බව ප්‍රේක්ෂකයෝ සහ විචාරකයෝ පැවසූවා. ඒ සඳහා ලොව හොඳම ජාතික නිර්මාණාත්මක ඇඳුමට හිමි සම්මානය ලැබුණා.

  • ඉන් පස්සේ නිරූපණ කලාවම ජීවිතය කර ගත්තා ?

මගේ තරුණ කාලයම ඒ සඳහා කැප කරන්න තිබුණ නම් හොඳයි. එහි දී මා අද ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ නිරූපණ ශිල්පීන් මෙන්ම රංගවේදීන් රැසක් සමග නිරූපණ කටයුතු කළා. අර්ජුන් සේනානායක, රොෂාන් ඩයස්, නිලු සේනානායක වගේ.

විවිධ ප්‍රදර්ශන පුවරු, පොටෝ ෂූට්, බෙල් බෝඩ්වලත්, ප්‍රාසාංග, උළෙලවල නිරූපණ කටයුතු කළා. කාර්ය බහුලතාව නිසාම මට හිතුණා මනසට විවේකයක් ලැබුණොත් හොඳයි කියලා. මගේ හිත ග්‍රැෆික් කලාවට තදින් යොමුවෙලයි තිබුණෙ. රූපණ කටයුතු නිසා ඊට තිබුණ කාලය මදි වුණා.

ඒ නිසා රූපණ ජීවිතයෙන් මිදිලා මගේම ආයතනයක් තුලින් ලේ අවුට් (Layout) විෂයය ඉදිරියට ගෙන යාමට තීරණය කළා. කැලණියේ මා එය ඇරඹුවා. දැනට බටහිර හා ආසියානු රටවල් රැසක් සමග ගනුදෙනු කරනවා. ලාංකික ඡායාරූප ශිල්පීන් රැසක් සමග වැඩවල නියැලෙනවා.

කුඩාකල පවුලේ අය සමඟ


  • සිනමාව ගැන උනන්දුවක් නැද්ද?

නැහැ. මම සිනමාව පසුපස හඹා යන්නේ නෑ. හැබැයි සිනමා, ටෙලි හෝ වේදිකා රංගන අවස්ථාවන් ලදොත් සලකා බලනවා. ප්‍රින්සිපල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ක්‍රිෂ් ඇන්ටනිගේ පළමු නිර්මාණයක් වූ ‘බාඳුරා’ නමින් ලොව කෙටිම කලකින් රූගත කළ චිත්‍රපටය ලෙස ගිනස් පොතට ගිය චිත්‍රපටයේ දර්ශන ධර්මරාජ් වැනි ප්‍රවීණයන් පිරිසක් සමග මා ප්‍රතිවීර චරිතයක් රඟපෑවා. එය රටවල් රැසක ප්‍රදර්ශනය වුණා. මගේ චූටි නැන්දා දමයන්තිගේ සැමියා වන සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මාමා සිනමාව රස විඳින අයුරු ගුරුවරයකු සේ මට කියා දුන්නා. මාමාගේ අලුත් චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් ඉන්නවා.


පුෂ්පනාත්  ජයසිරි මල්ලිකාරච්චි