පැබ්ලෝ නෙරූඩා යන ආරූඪ නාමයෙන් ලොව සුපතළ, ඔහුගේ සැබෑ නම, නෙෆ්ටාලි රිචාර්ඩෝ රෙයිස් බාසෝල්ටෝ ය. ජනතාවගේ, පීඩිතයන්ගේ සහ අමතක වූවන්ගේ කවියා යන අන්වර්ථ නාමයෙන් ඔහු විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තැබූ ලේඛකයෙකි.
1927 සහ 1935 අතර කාල වකවානුවේ ඔහුට බුරුමය, ශ්‍රී ලංකාව, ජාවා, සිංගප්පූරුව, බුවනෝස් අයර්ස්, බාසිලෝනා සහ මැඩ්රිඩ් යන රටවල රාජ්‍යතාන්ත්‍රික කොන්සල් ජනරාල්වරයෙක් ලෙසින් රාජකාරියේ නිරත වන්නට අවස්ථාව උදාවේ.
බුරුමයේ රැන්ගුන් හි චිලී කොන්සල්වරයා ලෙස රාජතාන්ත්‍රික සේවයට පත්වන විට හේ 24 වන වියේ පසුවිය. බුරුමයේදී ඇතිකර ගන්නා ලද ප්‍රේම සබඳතාවක් අවසානයේදී ඔහුගේ ජීවිතයට පවා දැඩි තර්ජනයක් එල්ලවූ බව පැවසේ. 1973 දී ඔහුගේ මරණයට ආසන්න සමයේ නිම කරන ලද ඔහුගේ මතක සටහන් පොතේ නෙරූඩා මෙසේ ලිවීය.
‘‘රාත්‍රියේ මා මුහුණට එල්ලවූ දැඩි ආලෝකයෙන් මා දෑස නිලංකාර වුණා. මා නිදා සිටි යහන අසළට අවතාරයක් පියමන් කරන අයුරු දුටුවා. රාත්‍රී කිමෝනාවකින් සැරසුණු, තියුණු පිහියක් දෑතින් දිගු කරමින් බුරුම භාෂාවෙන් ඇය කෝපයෙන් මිමිණුවා.
එදින රාත්‍රියේ, කෝපයෙන් පිහියක් අතැතිව, නිදන කාමරයට කඩා වැදුණේ මා සමීප මිත්‍ර සබඳතාවක් පැවැත්වූ ජොසී බ්ලිස්ය. බුරුම කාන්තාවක් වූ ඇය මගේ යතුරු ලියන්නිය ලෙස සේවය කළාය. ඇය මා සමඟ කලක් එක වහලක් යට ජීවත් වෙමින් මගේ පාළුව, තනිකම මකාලන්නට ගත් උත්සාහය මගේ මතකයේ රැඳී පවතී. මෙම සිදුවීමත් සමගම නෙරූඩා, ස්ථාන මාරුවක් ලබාගෙන ලංකාවේ කොන්සල් ජනරාල් ධූරයට පත්වේ.
බ්ලිස් ගේ කෝපයෙන් මිදීම පිණිස ඔහු රැන්ගුන් නුවරින් පලා ගියේ එක්තරා මැදියම් රැයකදීය. ඔහු ඇය සිහිපත් කරමින් The Widower's Tango (වැන්දඹුවගේ රංගනය) මැයෙන් පද්‍ය පෙළක් නිර්මාණය කළේය. කලක් තමන් තීව්‍ර ලෙසින් ඇළුම් කළ, පසුව තමන්ට හිසරදයක්වූ ඇය හැර දමා පලා යාමේදී සිය සන්තානයෙහි ජනිත සියුම් රිදුම මෙම පද්‍ය සමුච්චයෙන් ඔහු සිතුවම් කළේ අපූර්ව ප්‍රතිභා ශක්තියක් මොනවට පළ කරවමිනි.
පෙර දවස මසිත් විකසිත කළ සොඳුර
මතු දිනේ මසිත ඔබ වෙතින් විකසිත නොවන සඳ
ඔබ පිලුණුවූ උණුසුම මතු මතුත් පතන්නේ කුමට
මම තවදුරටත් ඔබට ඇලුම් නොකරමි
ආදරය කෙටිය, අමතක වීම දිගුය
අපට ආදරය කළ නොහැකි අය නිර්ලෝභීව අමතක කරමු
පසු කලෙක ඔහු ප්‍රකාශයට පත්කළ Residence on Earth (මිහිමත නිවහන) කෘතියට එම පද්‍ය පෙළ ඇතුළත් කළේය. එම කෘතියේ පැණෙන පද්‍යාවලින් අතරෙන් මෙම කාව්‍ය සන්නීතය සාහිත්‍ය ලෝලීන්ගේ රසඥතාව තීව්‍ර කෙරෙන නිර්මාණයක් ලෙසින් ඇගයීමට බඳුන් වේ.
නව සබඳතාවක් වෙනුවෙන් දැඩිව පවත්වාගෙන ආ සබඳතාව මද කලකින් පිටුදැකීමේ මානසික තත්ත්වයක් නෙරූඩා චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් බැව් ඔහුගේ සමීප මිතුරෝ සඳහන් කරති. පබ්ලෝ නෙරූඩා කවියාගේ ජීවිතය තුළින් උද්වහනය වන්නේ, නිර්මල, තීව්‍ර ප්‍රේම සම්බන්ධයකට වෙනස්වූ, අවස්ථානුකූලව හැඟීම්වලට අනුගතව හැසිරෙන්නාවූ චිත්තවේගීය ව්‍යාකූලත්වයෙන් යුක්ත චරිත ස්වභාවයකි.
ඔහු මෙරට රාජකාරී කළ කාල වකවානුවේ පදිංචිව සිටියේ වැල්ලවත්තේ වෙරළ ආසන්නයේ 44 වැනි පටුමග බංගලාවකය. මුහුදු ආශ්‍රිත පරිසරයෙන් හේ ඉමහත් මානසික තෘප්තියක් ලැබීය. ඔහු පාන්දරින් අවදිව මුහුදේ දැල් විහිදුවමින් සිටි ධීවර ප්‍රජාව සමග කුලුපගතාවයක් ඇතිකර ගති.
ඔහු සංගීතඥයෙක් සහ ඡායාරූප ශිල්පියෙක් වූ ලයනල් වෙන්ඩ්ට් සහ ජෝර්ජ් කීට් නම් චිත්‍ර ශිල්පියා විසින් නායකත්වය දුන් යුරේසියානු නූතනවාදීන්ගේ කලම්බු 43 කවයෙහි සාමාජිකත්වය ලැබීය. වෙන්ඩ්ට් විසින් චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කළ අවස්ථාවක, නෙරූඩා කොළඹ පුවත්පතකට විචාරයක් ලිවීය.
වෙන්ඩ්ට් විශාල පුස්තකාලයක් පවත්වාගෙන ගියේය. සෑම සතිඅන්තයකම වෙන්ඩ්ට්, නෙරූඩා ගේ බංගලාවට පොත් ගෝනියක් රැගත් බයිසිකල්කරුවෙක් යැවීමේ සිරිතක් පැවතිණි. මෙය නූතනවාදී සාහිත්‍යය කෙරෙහි නෙරූඩාගේ අවධානය යොමුවීමට ඉවහල්වූවා සේ සැළකේ. විශේෂයෙන් කොන්රාඩ්, ජොයිස්, එලියට් සහ ඩී.එච්. ලෝරන්ස් ගේ පොත් කියවීම කෙරෙහි ඔහු වැඩි සැළකිල්ලක් දැක්වීය.
කොළඹදී, නෙරූඩා ඔහුගේ තනිකම පිළිබඳව තම මිතුරු හෙක්ටර් එන්ඩිට දිගින් දිගටම ලිපි ලියන ලද්දේ කිසියම් මානසික අස්වැසිල්ලක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. නෙරූඩාගේ මතක සටහන්වලින් හෙළි වන්නේ, තම බුද්ධිමය උත්තේජනය, නිර්මාණකරණය සහ ලිංගික උද්දීපනය සඳහා, කොළඹ ජීවිතය අතිශයින්ම වැදගත්වූ බවය. පැට්සි නම් කාන්තාවක් ඇගේ යෙහෙළියන් සමඟ නිතර ඔහු හමුවීමට පැමිණෙමින් සමීප ඇසුරක් පැවැත්වූ බවද ඔහු සඳහන් කරයි. ‘සිනහව ආත්මයේ භාෂාව’ බව නෙරූඩා නිතර සඳහන් කළ වදනක් සේ ප්‍රකටය.
එක් උදෑසනක, අනපේක්ෂිත මොහොතක කිසිවෙක් තම නිවසේ දොරට තට්ටු කරන හඬ ඔහු සවන් වැකිණි. නෙරූඩා දොර විවර කළේ, තමන් ඇසුරු කරන ලාංකික කාන්තාවක් දැකගැනීමේ කුතුහලයෙනි. බුරුමයේ රැන්ගුන් නුවර තමන් ඇසුරු කළ තමන්ට මරණ තර්ජන එල්ල කළ, ජෝසි බ්ලිස් අඩවන්ව විවරවූ දොර තදින් තල්ලු කරගෙන නිවසට ඇතුල්වීමේ උත්සාහයක යෙදුනාය. ඇගේ මෙම අනපේක්ෂිත පැමිණීම නෙරූඩාට අදහාගත නොහැකි විය. කෙසේ හෝ ඇය කොළඹට පැමිණ, මුහුද අසල ඔහුගේ බංගලාව සොයාගෙන පැමිණ ඇත. එය මහත් ව්‍යසනයක පෙර නිමිත්තක් බැව් ඔහුට හැඟිණි. නෙරූඩා ඇයට ඔහුගේ නිවසට පිවිසීමට ඉඩ නොදුන් විට, ඇය බංගලාව ගිනි තබා පුළුස්සා දමන බවට තර්ජනය කරමින් වීදියේ කඳවුරු බැඳගත්තාය. නෙරුඩාගේ අසල්වැසියා වූ ප්‍රනාන්දු නමැත්තෙක්, ඇයට කරුණු පැහැදිලි කරදී, පොලිසියේ ද සහයෙන් ඇයව කොළඹ නැව් තොටින් රැන්ගුන් බලා පිටත් කර යැවූ බව නෙරූඩා ගේ මතක සටහන්වලින් අනාවරණය වේ. මෙම සිදුවීමෙන් පසුව වුවද, නෙරූඩා සන්තාන ගතව පැවතී ස්ත්‍රී ලෝලීත්වය බැහැර නොවූ සෙයක් දිස්වේ.
ඔහුගේ කීර්ති නාමයට කැළලක් වූ වැල්ලවත්තේ සිය බංගලාවේදී සිදුවූ එක් සරාගී හමුවීමක් ඔහු සිය අත්අකුරින් දින පොතක සනිටුහන් කර ඇත්තේ මෙපරිද්දෙනි.
‘‘ලංකාවේ මා දුටු ලස්සනම ගැහැනිය ඇයයි. මා පදිංචි වීදියේ ඇති බාල්දි වැසිකිළි අපද්‍රව්‍ය ඉවත් කරන මෙම සුරූපිනිය දෙමළ යුවතියක්. ඇගේ නම තංගම්මා. ඇය සිත් ගැනීම පිණිස, ඇපල් වන් පලතුරු, සුගන්ධවත් නන්වන් මල් පොකුරු, ඇය වැසිකිළිය වෙත පිය නගන දොර අසල ගෙනවිත් තැබීමට මා ප්‍රයෝගශීලී වුණා. අවාසනාවක මහත! ඇය ඒ කිසිවක් නුදුටුවා සේ වැසිකිළියට පිවිස, තම කාර්ය නිමවා නිවසින් පිටව ගියේ, ඇය කෙරෙහි ලොල්වූ මසිත පාරවමිනි. දිනක් මා ඇගේ සුසිනිදු මැණික් කටුවෙන් අල්ලාගෙන ඇගේ දෑස් වෙත මා දෑස රැඳවීමි. ඇය දෑසේ රැඳී තිබුණේ සංවේදීතාවයෙන් තොර හිස් බැල්මකි. කිසිදු හැඟීමකින්, සංවේදීතාවයකින් විනිර්මුක්තවූ රූමතිය, මා මගේ යහන් ගැබ වෙත ඇදගෙන ගියෙමි.
මගේ ඇඳ මත ඇය නිරුවත් කළෙමි. ඇගේ සිහින් ඉඟ, මන බඳින පුළුල් උකුල් තලය, සුපුන් පියයුරු යුගළ මට සිහිපත් කළේ දකුණු ඉන්දියාවේ වසර දහස් ගණනක් පැරණි මූර්තියක ආකර්ෂනීය ප්‍රතිබිම්බයයි. මවිසින් ඇය සිප වැළඳගත්ත ද ඇය වෙතින් හැඟුම් බර කිසිදු ප්‍රතිචාරයක් පළ නොවිණි. ස්ත්‍රියක කෙරෙන් අප නිබඳවම පතන, මිනිස් අධ්‍යාත්මය පුබුදුවන්නාවූ සංවේදීතාව, හැඟුම් බර හැසිරීම් විලාශයන් කිසිවක් ඇය වෙතින් මම නොදුටිමි’’.
මෙම සිදුවීම කටින් කට පැතිර යාම නිසාත්, රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොගැලපෙන පරිදි, පොදු ස්ථානයන්හි නිතර ගැවසීම පුරුද්දක් කර ගැනීමත් නිසාත්, නෙරූඩා යළි සිය රට වෙත කැඳවනු ලැබිණි. ඒ අනුව නෙරූඩාට ලංකාවෙන් සමුගෙන, ජාවාහි කොන්සල් ජනරාල් තනතුරේ රාජකාරි භාරගැනීම සඳහා නික්ම යාමට සිදුවිය.
නෙරූඩා උපත ලබන්නේ 1904 ජූලි 12 වන දින චිලියේ පැරල් නගරාශ්‍රිත ග්‍රාමයකය. ඔහුගේ පියා දුම්රිය සේවකයෙකි. ඔහුගේ මව ගුරුවරියක් වූ අතර, ඇය නෙරූඩා ළදරු වියේදීම ඔවුන් අතැර, ලොවින් සමුගත්තාය. කවියා ඔහු තම ළමා කාලය හා තරුණ කාලය ගත කළේ ටෙමූකෝ නගරයේ සිය පියා සහ කුඩම්මා සමගිනි. එහිදී ඔහු බාලිකා පාසලක ගෙබ්රියෙලා මිස්ට්‍රාල් නම් ගුරුවරියක හා සමීප සබඳතාවයක් ඇති කරගත් බව සඳහන් වේ. ඇය නෙරූඩාට පෙර සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් තැනැත්තියකි. ඇය තරුණ පැබ්ලෝගේ සාහිත්‍ය කුසලතා හඳුනාගෙන ඔහුට අවශ්‍ය පොත් ලබාදී ඔහු දිරිමත් කළාය. වයස අවුරුදු දහතුනේ පටන් ඔහු දිනපතා පුවත්පත් වෙත ලිපි ලිවීමට යොමුවේ. 1920 දී හෙතෙම චෙකොස්ලෝවැකියානු ඉපැරණි කිවිඳෙක්වූ ජන් නෙරූඩා (1834 - 1891) සමරනු වස්, ඔහු පැබ්ලෝ නෙරූඩා යන අන්වර්ථ නාමයෙන් සාහිත්‍යකරණයෙහි නියැලෙන්නට තීරණය කළ බව පැවසේ.
ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය Crepusculario 1923 දී ප්‍රකාශයට පත්වේ. 1924 වසරේ ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ කෘතිය, Veinte poetas de amor y una cancion desesperada ප්‍රකාශයට පත්විය. තම සාහිත්‍ය පිළිබඳව දැනුම පුළුල් කරගැනීමේ අපේක්ෂාවෙන් නෙරූඩා, සන්තියාගෝ හි චිලී විශ්වවිද්‍යාලයේ ප්‍රංශ භාෂා අධ්‍යයනය සඳහා යොමුවේ.
පැබ්ලෝ නෙරූඩා 1973 සැප්තැම්බර් 23 දින මියගියේය. චිලියේ පිහිටි ඔහුගේ ඉස්ලා නෙග්‍රා නිවස ඉදිරිපිට උද්‍යානයෙහි ඔහු සිරුර මිහිදන් කෙරිණි. නෙරූඩා පදිංචිව සිටි නිවස, ඔහු පිළිබඳව තොරතුරු ප්‍රදර්ශිත කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබයි.
නෙරූඩා මියයාමට ආසන්න කාලවකවානුවේ, ගිලන් යහනේ වැතිර සිටියදී තබන ලද සටහනකින් මෙම ලිපිය නිමා කිරීම යෙහෙකැයි හැඟිණි.
‘‘දැල්වෙමින් පැවති ඉටිපන්දම් දැල්ලක ආලෝකය මා සිටි කුටියට ගලා ආයේ අඳුරු සෙවනැලි ද පෙරටු කරගෙනය. සොම්නසින් ඉපිළි කඩවසම් අහංකාර යෞවනය පුරා විසිරුණු විසිතුරු මසිත හමුවේ සිත්තම් වේ. නිමේෂයකින්, එම දසුන යටපත් කරගෙන විඩාපත් මහලු වියට උරුමවූ, වේදනාවෙන් හා කනස්සල්ලෙන් මසිත හා වත දැඩි සේ පෙලන්නට වන. මම හුදකලාව කල්පනාවේ නිමග්නව සිටිමි’’- පැබ්ලෝ නෙරූඩා.
ආචාර්ය ගාමිණී කාරියවසම්