‘ගාන්ධර්ව අපදාන - 9’ නමින් ප්‍රකාශිත කෘතිය සිංහල සංගීත ඉතිහාසයෙහි තවත් විශේෂිත චරිතද්වයක අපදාන කථා සඳහා වෙන් ව තිබේ. ඩබ්ලිව්. බී. මකුලොලුව හා සී. ද ඇස්. කුලතිලක නම් වූ මෙම චරිත අවශේෂ සංගීතඥයන්ගෙන් වෙන් ව මතු වී පෙනෙන්නේ ඔවුන් මෙරට සංගීත ක්‍ෂේත්‍රයෙහි අභ්‍යුදය උදෙසා අභිනව පර්යාලෝකවල සිට ක්‍රියා කළ නිසා ය. කතුවරයා වාර්තා කරන පරිදි පාසල් වියේ පටන් ම නර්තනය හා සංගීතය කෙරෙහි ආසක්ත වූ මකුලොලුව රහසිගත ව ම ශාන්ති නිකේතනය බලා පළා ගියේ සංගීතය අධ්‍යයනය කරනු පිණිස ය.
ශාන්ති නිකේතනයෙහි දී ලත් ශාස්ත්‍ර ඥානය සමග ලංකාවට පැමිණි මකුලොලුව සංගීත ගුරුවරයකු ලෙස සේවය කරද්දී ශාන්ති නිකේතනයෙහි ම කථිකාචාර්ය ධුරයකට ආරාධනා ලැබීම දෛවෝපගත සංසිද්ධියකි. ඒ, ඔහුට සිය ජීවන සහකාරිය වූ ඉන්දිරා බාලියා නමැති පන්ජාබ් යුවතිය එහි දී හමුවීම නිසා ය. එම රසපූර්ණකථා ප්‍රවෘත්තිය ද මෙහි අන්තර්ගත ව තිබේ.
මකුලොලුව ‘දේශීය සංගීතය’ පිළිබඳ තමාට ම ආවේණික ස්වීය දෘෂ්ටියක් මත පිහිටා සිටි සංගීතඥයෙකි. සිංහල සංගීතය සතු අනන්‍යතාව දේශීය ජන ගීය බව ප්‍රත්‍යක්ෂ කළ ඔහුට සිය සංගීත චින්තනය සක්‍රීය ලෙස ක්‍රියාවේ යෙදවීමට මං පෙත් විවර වන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීත පරීක්ෂක හා අනතුරු ව ප්‍රධාන සංගීත පරීක්ෂක ලෙස ලබන පත්වීම් සමග ය. සිංහල ජන ගායනා ඇසුරින් නව සංගීත පාඨමාලා සකස් කිරීම, පෙරදිග සංගීතය පිළිබඳ විෂය නිර්දේශය සිංහල හා හින්දුස්තානි නමින් ද්විච්ඡේද කොට එය ක්‍රියාවට නැංවීම, පාසල් ගුරුභවතුන් සඳහා සංගීත සම්මන්ත්‍රණ හා සංස්කරණ සම්මේලන පැවැත්වීම, ජන සංගීතය අලළා ‘හෙළ ගී මග’ නම් සුප්‍රකට ප්‍රාමාණික ග්‍රන්ථය රචනා කිරීම ඇතුළු විවිධ ක්‍රමෝපාය ඔස්සේ දේශීය සංගීතය ශ්‍රී ලාංකේය සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට කෙරිණ. සංගීත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නැගුණු මකුලොලුවගේ ව්‍යාපෘතිය විග්‍රහ කරන මහාචාර්ය ආරියරත්න ඊට එරෙහි ව ලයනල් එදිරිසිංහ ප්‍රමුඛ හින්දුස්ථානී සංගීතවේදීන් විසින් නැඟුණු විරෝධය ද මෙම අපදානයෙහි ලා සවිස්තර ව දක්වා තිබේ. මහාචාර්ය ආරියරත්න පෙන්වා දෙන පරිදි මකුලොලුවගේ නාමය සිංහල සංගීත වංශය තුළ රැඳවිය හැකි තවත් සංසිද්ධියක් වන්නේ ‘ගොයම් දා මඟුල’ නම් වූ ප්‍රථම සිංහල සංගීත සංධ්වනිය නිර්මාණය කිරීම ය.
සී. ද ඇස්. කුලතිලකගේ සිත සංගීතයට ඇදී යන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍යයකු ව සිටිය දී ය. සතියකට වරක් එහි පැමිණි ආනන්ද සමරකෝන් විසින් උගන්වන ලද ගීත මාලාව මගින් ඔහු ලැබූයේ නොමඳ උත්තේජනයකි. සිතාරය, දිල්රුබාව වැනි තූර්යභාණ්ඩ වාදනය ප්‍රගුණ කළ කුලතිලක විධිමත් සංගීත අධ්‍යාපනයක් ලැබීමේ අභිප්‍රාය සඵල කරගන්නේ දිගු කලකට පසුව ය. දුෂ්කර ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ශාන්ති නිකේතනයට ගොස් සංගීතය ඉගෙනීමේ ඉඩ ප්‍රස්තාව උදා කර ගත් කුලතිලක එහි දී සිය දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කළේ ය.
පෙරළා ලංකාවට පැමිණ මීරිගම හා මහරගම යන ගුරු අභ්‍යාස විද්‍යාලයවල ආචාර්යවරයකු ලෙස සේවය කළ කුලතිලකට එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන සංගීත පරීක්ෂකවරයා වූ මකුලොලුව හමු වීම වැදගත් සංසිද්ධියකි.
සිංහල සංගීත ක්ෂේත්‍රය උදෙසා කුලතිලකගේ සම්ප්‍රදානය මෙම අපදාන කථාවෙහි ලා මහාචාර්ය ආරියරත්න සවිස්තරව සාකච්ඡා කොට තිබේ. ඔහු සඳහන් කරන පරිදි සංගීත පර් යේෂණ කාර්යයෙන් කුලතිලක, මකුලොලුව සමතික්‍රමණය කළ ශාස්ත්‍රඥයෙකි. කුලතිලක සංගීත පර් යේෂණ විෂයෙහි ප්‍රථම අභිප්‍රේරණය ලබන්නේ මකුලොලුව සමග කළ සංගීත පර්යේෂණ චාරිකාවල ප්‍රතිඵලයක් ලෙසිනි.
ලංකා ගුවන්විදුලියේ සංගීත පර් යේෂණ ඒකකයට පත්වීම් ලබා පැමිණි කුලතිලක ස්වකීය වෘත්තීය ජීවිතය මුළුමනින් ම කැප කළේ සංගීත පර් යේෂණ හා ජන ගී ඒකරාශී කොට සංරක්ෂණය කිරීම සඳහා ය. ඔහු ගුවන්විදුලියෙන් ඉදිරිපත්කළ පර් යේෂණ ගී මාලාව වෙසෙසින් ජනප්‍රිය විය. ‘ලංකාවේ සංගීත සම්භවය’ ඇතුළු විශිෂ්ට ශාස්ත්‍රීය ග්‍රන්ථ සමූහයක් කුලතිලක විසින් ලියා පළ කරන ලදී. ඔහුගේ සේවාව විග්‍රහ කරන මහාචාර්ය ආරියරත්න පවසන්නේ සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රාදුර්භූත වූ විශිෂ්ටතම සංගීත පර් යේෂකයා සී. ද ඇස්. කුලතිලක බව යි.
‘ගාන්ධර්ව අපදාන’ ග්‍රන්ථාවලියෙහි තවත් කෘතියක් අද්‍යතන සිංහල ගීත ක්ෂේත්‍රයෙහි අතිශය ජනප්‍රසාදය දිනූ ගීත රාශියක් නිර්මාණය කළ සංගීතඥයන් දෙදෙනකු සඳහා වෙන් කොට තිබේ. මෙම කෘතියට ඇතුළත් ප්‍රථම අපදාන කථාව සරත් දසනායක පිළිබඳ ව ය. දසනායක වූ කලි, හැත්තෑව දශකයේ සිට විහිදුණු දශකත්‍රයක කාලයක් මෙරට ව්‍යවහාරික සංගීත ක්ෂේත්‍රයේ අප්‍රමාණ ප්‍රතිභාවකින් නිර්මාණ කාර්යයේ යෙදුණු සංගීතඥයෙකි. ඔහු විසින් නිර්මිත ගීත අතිබහුතරය ජනප්‍රියත්වයේ අග්‍රිම ස්තරයට පිවිසිණ. චිත්‍රපට 127 කට සංගීතය අධ්‍යක්ෂණය කරමින් තත් ක්‍ෂේත්‍රයෙහි වාර්තාවක් තැබුවේ ය.
දසනායක අපදානය රචනා කරන මහාචාර්ය ආරියරත්න සිංහල චිත්‍රපට ගීත නිර්මාණයෙහි ලා ඔහු ප්‍රදර්ශනය කළ අසාමාන්‍ය ප්‍රතිභාව නිදර්ශන සහිත ව පෙන්වා දෙයි.
‘සදහට ම ඔබ මගේ’ චිත්‍රපටයට අතිශය මධුර ගීත හතරක් නිර්මාණය කරමින් චිත්‍රපට සංගීත ක්‍ෂේත්‍රයෙහි සිය ස්ථාවරත්වය ඇති කරගත් දසනායක සිංහල සිනමාවේ හින්දි, දෙමළ, ඉංග්‍රීසි අනුකාරක සංගීතයට එරෙහි ව දැවැන්තම අරගලය කළ සංගීතඥයා බව මහාචාර්ය ආරියරත්න කියයි. දසනායකගේ සුවිශේෂත්වය වූයේ අනුකාරක සංගීතය ප්‍රතික්ෂේප කිරීම නොව අනුකාරක ගීතවලට වඩා දහස් වාරයක් මධුර වූ ගී තනු නිර්මාණය කර අනුකාරකයන් චිත්‍රපට ක්‍ෂේත්‍රයෙන් පලවා හැරීම බව කතුවරයා පෙන්වා දෙයි.
හොරණ ශ්‍රීපාලි විද්‍යාලය, ශ්‍රීපාලි කලායතනය හා ශ්‍රී ලංකා ජාතික කලායතනය යන ආයතන මගින් දසනායක සංගීතය ප්‍රගුණ කළේ ය. ඔහු ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාගේ ආශ්‍රයට වැටීම ද කේමදාස විසින් දසනායක ලත් පරිචය හා දෙදෙනා අතර පැවැති මිත්‍රත්වය ද එය බිඳවැටීම ද දසනායක අපදාන කථාව තුළ අන්තර්ගත ව තිබේ.
දසනායකට පසුව මෙම ග්‍රන්ථයෙහි ලා සම්පාදිත අනෙක් අපදාන කථාව නිර්මාණශීලී ගී තනු නිර්මාණයෙහි සුවිශේෂ ප්‍රතිභාවක් ප්‍රතිබිම්භනය කළ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා වෙනුවෙනි.
පාසල් සමයෙහි දී ම බටහිර සංගීතයත් පෙරදිග සංගීතයත් උගත් ස්ටැන්ලි පීරිස් වයලීන වාදනය ප්‍රගුණ කළේ ය. අතට හසුවන සෑම තූර්ය භාණ්ඩයක් ම වාදනය කළේ ය. එහෙත් අහම්බෙන් හිමි වූ කැඩුණු සැක්සෆෝනයක් අලුත්වැඩියා කොට ගත් ඔහු එහි ශිල්පෝපක්‍රම ඉගෙන පසුකාලයේ දී විශිෂ්ට ගණයේ සැක්සෆෝන වාදකයෙක් වූයේ ය. කොළඹ පැවැති පටිගත කිරීම් සඳහා මතු ව තිබූ සැක්සෆෝන වාදකයකුගේ අවශ්‍යතාවත්, එවක ප්‍රචලිත කැසට් ව්‍යාපාරය මගින් පුළුල් ඉඩක් විවෘත ව තිබීමත් ස්ටැන්ලි පීරිස් නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කර වූ කාරණා ය. පැරණි ගීත සඳහා අලුතින් සංගීතය සංයෝජනය කිරීමේ කාර්යය ද ඔහු වෙත පැවරිණ.
ස්ටැන්ලි පීරිස් පිළිබඳ මෙම අපදාන කථාව ලියන මහාචාර්ය ආරියරත්න කැසට්පට 678 කට සංගීතය අධ්‍යක්ෂණය කරමින් ද කැසට්පට යුගය නිම වී සංගත තැටි යුගය එළඹෙන විට වාදනයෙන්, ගී තනු නිර්මාණයෙන්, සංගීත සංයෝජනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සක්‍රීය දායකත්වයක් සපයමින් ද මේ සංගීතඥයා ඉටු කළ සේවාව විග්‍රහ කොට තිබේ.
ස්ටැන්ලි පීරිස්ගේ විශිෂ්ටත්වය ඔහු අත්පත් කරගන්නේ ඔහු විසින් මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි නිරූපණය කරන ලද භූමිකා ත්‍රිත්වයක් නිසා බව අප රචකයා පෙන්වා දෙයි. මධුර ගී තනු රචකයා, පැරණි ගීතවල පැරණි රස නුසුන් කොට නව සංගීතයෙන් උද්දීප්ත කළ සංගීතඥයා හා පෙරදිග සංගීතයට අනුගත වූ මධුර සැක්සෆෝන් වාදකයා එකී භූමිකා ත්‍රිත්වය යි.
ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන්ගේ පැරණි ගීත නව තාක්ෂණයෙන් නැවත පටිගත කිරීමේ කාර්යය සංගීත ක්ෂේත්‍රයෙහි ආරම්භ වීමත් සමග එම භාරදූර කාර්යය සඳහා ස්ටැන්ලි පීරිස් තෝරාගනු ලැබීම විශේෂ සංසිද්ධියකි. සිංහල සංගීත ක්ෂේත්‍රයේ මහා පුරුෂයා වූ අමරදේවයන්ගේ පැරණි ගීත නවීකරණය කිරීම ඔහු වෙත පැවරීම ම තත්කාර්යයෙහි ලා ඔහු සනාථ කොට තිබූ දක්ෂතාවට සැපයුණු හොඳ ම සහතිකය බව අප ලේඛකයා සඳහන් කරයි.
‘ගාන්ධර්ව අපදාන’ ග්‍රන්ථාවලියෙහි ද්විතීය අදියරට අයත් අවසන් කෘතිය එනම් ‘ගාන්ධර්ව අපදාන - 11’ වෙන්කරනු ලැබ ඇත්තේ ලයනල් අල්ගම හා ඔස්ටින් මුණසිංහ යන සංගීතවේදීන් දෙදෙනා වෙනුවෙනි.
පාසල් ශිෂ්‍ය අවධියෙහිදීම සංගීතයට අත්පොත් තැබූ ලයනල් අල්ගමට සිය සංගීත ගුරුවරයාගේ මඟ පෙන්වීම අනුව එවකට ගුවන්විදුලියේ වාද්‍ය වෘන්ද ප්‍රධානයා වූ එඩ්වින් සමරදිවාකර හඳුනාගන්ට ලැබිණ. ඔහු සමරදිවාකරගෙන් සිතාරය ප්‍රගුණ කළ අතර, සමරදිවාකරගේ පෙළඹවීමෙන් ශාන්ති නිකේතනයට ගොස් එහි දීප්තිමත් ශිෂ්‍යයකු බවට ද පත් විය. ශාන්ති නිකේතනයේ දී රවීන්ද්‍ර සංගීතය ප්‍රගුණ කළ අල්ගම ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පණ්ඩිත් රවිශංකර් ඉදිරියේ සිතාර් වාදනය කොට උසස් සාමර්ථය ලැබුවේ ය.
ලයනල් අල්ගම පළමු වරට ගී තනු නිර්මාණය කරන්නේ දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑනා’ වේදිකා නාට්‍යයට ය. එම ගී තනුවල ශීඝ්‍ර ජනප්‍රියත්වයත් සමග අල්ගම චිත්‍රපට සංගීතයට ද අවතීර්ණ වූයේ ය. ඒ ‘පටාචාරා’ චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමිනි. ‘පරසතුමල්’ ඔහු සංගීතය අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටය යි.
ලයනල් අල්ගම බිහි කළ නිර්මාණ සංඛ්‍යාත්මක ව විශාල නොවී ය. ඔහු ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු වුව ද ගායනය පිළිබඳ උනන්දු වූයේ නැත. එමෙන් ම, වෙනත් ගායක ගායිකාවන්ට ගී තනු නිර්මාණය කිරීමට ද උත්සුක වූයේ නැත. මේ සියලු තතු විග්‍රහ කරන මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරන්නේ සංඛ්‍යාත්මකව ඉතා අල්ප නිර්මාණ දායකත්වයක් දක්වා සංගීත ක්‍ෂේත්‍රයෙහි නම රැන්දූ ගාන්ධර්වයන් විරල බව යි. අල්ගම එබඳු විරල ගණයේ ගාන්ධර්වයෙකි.
‘නරිබෑනා’ නමැති වේදිකා නාට්‍යයත්, ‘ඉමදිය මංකඩ’ නමැති ටෙලිනාට්‍යයත් ‘පටාචාරා’,‘පරසතු මල්’, ‘මයුරිගේ කතාව’ හා තිරගත නොවූ ‘කතරගම රූමතිය’ යන චිත්‍රපටවල ගීත මාලාවත් ‘මුළු නුවර ම නිදිගත් මේ මොහොතේ’ හා ‘සොඳුරිය ඔබගේ උවන මලක් නම්’ යන ගීත යුග්මයත් ඔහු විසින් නිර්මිත ‘ශ්‍රී වීණාව’ නමැති අභිනව තූර්ය භාණ්ඩයත් ලයනල් අල්ගම විශිෂ්ට සංගීතඥයකු ලෙස හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන බව අප ලේඛකයාගේ මතය යි.
ගාන්ධර්ව අපදාන ග්‍රන්ථාවලියෙහි අවසානයට සංගෘහිත අපදාන කථාව ඔස්ටින් මුණසිංහ සංගීතවේදියා පිළිබඳ ව ය. පාසල් අවධියෙහි ම සංගීතයට අත්පොත් තැබූ ඔස්ටින් මුණසිංහ පසු කලෙක හේවුඩ් ආයතනයෙහි පැවැති සම්මුඛ පරීක්ෂණයකින් සමත් ව එහි දී තබ්ලා මෙන් ම බෙර, උඩැක්කි ආදී තාල වාද්‍ය වාදනය ප්‍රගුණ කළේ ය. තාල තරංග වාද්‍ය ශිල්පියකු ලෙස වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමට ඒ ශිෂ්‍ය අවධිය තුළ ම ඔහුට ඉඩ සැලසිණ. හෙන්රි ජයසේනගේ ‘ජනේලය’ නාට්‍යයෙහි වාද්‍ය වෘන්දයට එක් වූ ඔස්ටින් මුණසිංහ එතැන් සිට වේදිකා නාට්‍ය සංගීතය කෙරෙහි ආසක්ත වූයේ ය.
ඔස්ටින් මුණසිංහ අපදානයෙහි ලා මහාචාර්ය ආරියරත්න ඔහු ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට වැදගත් චරිතයක් වීමට හේතු දෙකක් පෙන්වා දෙයි. ඉන් පළමුවැන්න, සිංහල නාට්‍ය සංගීතයට ඔහු කළ මාහැඟි මෙහෙවර ය. දෙවැන්න, අපූර්ව හා කන්කලු ගී තනු සමුදායක් සංගීත ක්ෂේත්‍රයට දායාද කිරීම ය.
මහාචාර්ය ආරියරත්න වාර්තා කර ඇති අන්දමට ඔස්ටින් මුණසිංහ වේදිකා නාට්‍ය තිස්පහකට සංගීතය අධ්‍යක්ෂණය කර තිබේ. ඔහු සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය ඇතිකර ගන්නේ චන්ද්‍රසේන දසනායකගේ ‘රන්කඳ’ වේදිකා නාට්‍යය සමග ය. ලූෂන් බුලත්සිංහලගේ ‘රතු හැට්ටකාරී’ ඔහුගේ සංගීතයෙන් ප්‍රභාවත් වූ නිර්මාණයකි. මහාචාර්ය ආරියරත්න සඳහන් කරන පරිදි වේදිකා නාට්‍ය සංගීත ක්ෂේත්‍රය ජය ගත් සංගීතඥයන් සංඛ්‍යාව අත්‍යල්ප ය. එකී අත්‍යල්ප වූ සංගීතඥයන් අතර ඔස්ටින් මුණසිංහට සුවිශේෂ ස්ථානයක් හිමි වෙයි. ඔහු තරම් වේදිකා නාට්‍ය ගීත සමුදායක් සඳහා සංගීතය අධ්‍යක්ෂණය කළ වෙනත් සංගීතඥයකු නැති බව අප ලේඛකයාගේ තක්සේරුව ය.
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සම්පාදිත ‘ගාන්ධර්ව අපදාන’ ග්‍රන්ථාවලිය මගින් ඔහු සිංහල සංගීතය නමැති විචිත්‍ර වර්ණෝපශෝභිත, මධුර සුගන්ධිත, කුසුමිත උද්‍යානයෙහි ද්වාර පිධාන විවෘත කරයි. ග්‍රන්ථ පරිශීලනය කරන රසිකයා එහි සැරිසරන්නේ එකී සෞන්දර්යාස්වාදය පරිපූර්ණ ලෙස අත්විඳිමිනි.
‘ගාන්ධර්ව අපදාන’ ග්‍රන්ථාවලිය සිංහල සංගීත ඉතිහාසය කෙරෙහි ඇලුම් බැඳුම් ඇති රසික ජන සංඝය වෙත ප්‍රදානය කළ අර්ථපූර්ණ වූත්, රසපූර්ණවූත් ශාස්ත්‍රීය දායාදයකි. මහාචාර්ය ආරියරත්න මෙම ග්‍රන්ථ රචනා කිරීමේ දී අදාළ දත්ත ඒකරාශී කොටගැනීම, ඒවායේ නිරවද්‍යතාව ප්‍රත්‍යක්ෂ කොට ගැනීම හා එක් එක් සංසිද්ධීන් අතර සම්බන්ධතා අන්වේෂණය කොට පැහැදිලි කොට ගැනීම ආදී වශයෙන් දරා ඇති වෙහෙස මේ ග්‍රන්ථ පරිශීලනය කරන පාඨකයාට මැනවින් අවබෝධ වෙයි. එමෙන් ම, සෑම අපදාන කථාවක ම කෙළවර ඒ හා ප්‍රතිබද්ධ දුර්ලභ ඡායාරූප සමූහයක් ඇතුළත් කිරීම ද, ඒ ඒ සංගීතඥයන් විසින් නිර්මිත හා ඇතැම්විට ගායනා කරන ලද ගීත අදාළ ස්වර ලිපි සමග සංග්‍රහ කිරීම ද වෙසෙසින් අගය කළ මනා ය.
ගාන්ධර්ව අපදාන ග්‍රන්ථකරණ ව්‍යාපෘතිය ආරම්භයේ දී ම මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේ, ‘කිත් පැසසුම් නොලබා කාලයේ වැලි තලාව තුළ සැඟ ව ගිය මේ ගාන්ධර්වයන්ට අපගේ කෘතවේදිත්වය පළ කරනු පිණිස ගාන්ධර්ව අපදාන රචනා කරන බව’ යි. ඒ සද්කාර්යය මහාචාර්ය ආරියරත්න අද සපුරා තිබේ. එම සංගීතඥයන්ගේ මාහැඟි සේවා සම්ප්‍රදානය ජාතියට හඳුන්වා දීමෙන් අප ලේඛකයා කර ඇත්තේ ද අගය ප්‍රමාණ කළ නොහෙන උදාර ශාස්ත්‍රීය මෙහෙවරකි. ඒ වෙනුවෙන් ද,සිංහල සංගීතයට ඉතිහාසයක් ගොඩනැංවීම උදෙසා ඔහු දරන දීර්ඝකාලීන හා දුෂ්කර ප්‍රයත්නය වෙනුවෙන් ද ජාතියේ කෘතවේදීත්වය ඔහුට හිමි වනු නිසැක ය. නිරනුමාන ය.
මහාචාර්ය සමන්ත හේරත්