ලාංකිකයන් වෙනුවෙන් සුද්දට එරෙහිව සටන් කළ සුද්දා


 

 

ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කරගෙන සිටි කාලයේ (1937 වන විට) 8000 ක් පමණ ඉංග්‍රීසිකාරයෝ මෙරටට පදිංචිවී සිටියෝය. ඔවුන් සිතා සිටියේ ලංකාව ඔවුන්ගේ තේ වත්තක් කියාය. නැතහොත් පොල්වත්තක් හෝ රබර් වත්තක් කියාය.   


ලංකාවේ මහජනයාගේ පැත්තෙන් ඔවුන්ට සුද්දන්ගෙන් සිදුවෙන අසාධාරණයට එරෙහිව නැගී සිටි එකම ඉංග්‍රීසිකාරයා මාර්ක් ඇන්තනි ලිස්ටර් බ්‍රෙස්ගර්ඩ්ල්ය. ලංකා ඉතිහාසයේ සුද්දන්ගේ පාලනයට සුද්දෙක් එරෙහිවූ මුල්වතාව මෙයයි.   


ඉංග්‍රීසිකාරයෝ ලංකාවේ ආධිපත්‍ය ලබන්නට පෙර මෙරට ඉඩකඩම් පොදුවේ ගැමි ජනතාව භුක්ති වින්දෝය. ඒවා පරම්පරාගත උරුමයක්ව පැවතිණි. බ්‍රිතාන්‍යයන් බලයට පත්වූ පසු සුද්දන්ගේ ඉඩම් කොල්ලය ඇරඹුණි. 1852 දී ඉඩම්වලට බලපාන නීතියක් සම්මත කරගත් පසු තාන්න මාන්න දුන් මුදලි මුහන්දිරම්ලාගේ මාර්ගයෙන් ඉඩම් කොල්ලය පටන්ගත්තේය. සුළු මුදලක් ගෙවා හෝ කිසිදු මුදලක් නොගෙවා හෝ සුද්දා ඉඩම් අත්පත් කරගැනීම දිගටම කරගෙන ගියේය. නූගත්කම, නීතිරීති නොදන්නාකම භය හා අසරණකම ඉදිරියේ ගැමියන්ට සුද්දන්ට ඉහළින් යාමට බැරිවිය.   


මෙසේ ගැමියන්ගෙන් කොල්ලකා ගත් ඉඩම්වල සුද්දෝ කෝපි, තේ හා රබර් වැවීම ආරම්භ කළෝය. සුද්දන්ගේ වතුවල කුලී වැඩට යන්න ගැමියෝ අදිමදි කරන විට ඇඟබදු අයබදු ආදී බදු රාශියක් ආණ්ඩුව විසින් පනවන ලදී. පසුව ඉන්දියාවෙන්ද වතුවල වැඩට කම්කරුවන් ගෙන්වා ගැනීම ආරම්භ කළෝය. මෙසේ ගෙන්වාගත් ස්ත්‍රී, පුරුෂ ළමා කම්කරුවන්ට ගෙවන ලද්දේ ඉතාම අඩු වැටුපකි. 1910 දී පිරිමි කම්කරුවකුගේ දිනක වැටුප ශත 30 කි. ගැහැනු කම්කරුවෙකුට ශත 25 කි. මේ දෛනික පඩියෙන්ද වත්තේ කංකානිටත් ගතමනාවක් දීමට සිදුවිය.   


සුද්දෝ ඔවුන් පදිංචි කරවූයේ ලැයින් කාමර නමින් හැඳින්වූ අඳුරු අපිරිසුදු පේලි ගෙවල්වලයි. බඩුගත යුත්තේ කංකානියාගේ කඩයෙනි. වතුකම්කරුවන්ට සහල් සලාක නිකුත් කිරීම, වත්තේ ආරාවුල් බේරීම, දඩගැසීම මෙන්ම පඩිනඩි ගෙවීමද සිදුකෙරුණේ කංකානියාගේ මාර්ගයෙනි. වතු හිමියාත් කම්කරුවාත් අතරමැදි පාලකයා කංකානිමය. කම්කරුවන් සූරාකෑවේ කංකානියායි. කංකානියාගේ නොමනා හැසිරීම වත්ත පුරාම තිබුණි. 

 
1815 සිට 1915 වනතුරු ලංකාව සුදු වතු හිමියන්ගේ රාජ්‍යයක් බවට පත්වීය. වතු පාලකයන් විසින් පොලීසිය පාලනය කරන තැනට පත්වීය.   


මේ කාලයේ එතෙර අධ්‍යාපනය ලැබූ ලංකාවට පැමිණි තරුණ පිරිසක් වූහ. දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, අධිනීතිඥ ලෙස්ලි ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ඩොරින් වික්‍රමසිංහ, බී.ජේ. ප්‍රනාන්දු, සෙලිනා පෙරේරා ඇමෙරිකන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය (PHD) ලබා ආ පිලිප් ගුණවර්ධන මහතා ආදීහු මෙහි කැපී පෙනුණු අයයි.   


1935 දෙසැම්බර් මස 18 දා ලංකා සමසමාජ පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට ඔවුහු පුරෝගාමී වූහ. එය ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂයයි. අධිරාජ්‍ය විරෝධී සූරියමල් ව්‍යාපාරය තුළින් සමසමාජ පක්ෂය බිහිවූවා යැයි පැවසිය හැකිය. 

 
ලංකා සමසමාජ පක්ෂය බිහිකිරීමට පුරෝගාමී වූවෝ මැලේරියා වසංගත සමයේ බේත් හේත් සහ ආහාර ද්‍රව්‍ය රැගෙන මැලේරියාවෙන් පීඩනයට පත්වූවෝ සොයා ගියේය. ව්‍යසනයට ලක්වූ ජනී ජනයාට ඇප උපකාර කළෝය.   


අධිරාජ්‍යවාදයෙන් මිදී ලංකාවට පූර්ණ නිදහස ලබාගැනීම ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීමේ හා හුවමාරුවේ අයිතිය මහජන සන්තක කිරීම සමසමාජ ක්‍රමය බව ඔව්හු ජනතාවට කීවෝය. ලංකාවේ සමසමාජ ක්‍රමය පිහිටුවීමෙන් අසාධාරණ ආර්ථික ක්‍රමයන්ගෙන්ද ආගම් භේද පන්ති කුල භේද ආදිය අහෝසි කිරීම සමසමාජ පක්ෂයේ මූලික අරමුණු විය. ගැමි ජනතාව අතර ඇතිකරගත් සුහද සබඳතා මගින් සමසමාජ ව්‍යාපාරය ගම්බද පෙදෙස් කරා ගෙන යන්නට උපකාරී විය. එහි ප්‍රතිඵලය වූයේ 1936 මාර්තුවල පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් රුවන්වැල්ලට තරග කළ ඇන්.ඇම්. පෙරේරා, අවිස්සාවේල්ලට තරග කළ පිලිප් ගුණවර්ධන යන මහතුන්ට රාජ්‍ය මන්ත්‍රණ සභා ආසන ජයගත හැකිවීමයි.   


මේ කාලයේදී වැවිලි කර්මාන්තය ගැන පුහුණුවක් ලබනු පිණිස මාක් ඇන්තනි ලිස්ටර් බ්‍රෙස්ගර්ඩල් නමැති සුද්දෙක් (MARK ANTHONY LYSTER BRACEGEDLE) ලංකාවට ආවේය. ඔහු ආවේ 1936 මාර්තු 11 දා බෙන්ඩිගෝ (BENDIGO) නමැති නෞකාවෙනි.   


ඔහු ලංකාවට ආවේ ලංකාවේ තේවත්තක වතු පාලකයාගේ බිරිඳගේ දැනහැඳුනුම්කම් මතය. ඇය බ්‍රෙස් ගර්ඩල්ගේ මවගේ හිතවතියකි. වැවිලි කර්මාන්තය ගැන ලංකාවේ පුහුණුවක් ලබාගැනීමට ආ මෙම සුදු ජාතිකයා ප්‍රථමයෙන් මාවතගම මඩුල්කැලේ රෙලුගස් (RELUGAS) වතුයායට ගියේය. ඔහු වැවිලි කර්මාන්තය පිළිබඳ කලින් දැනීමක් ලබා තිබූ අයෙකි.   


වතුපාලක එච්.ඩී. තෝමස් යටතේ පුහුණුව ලැබුවේය. එහෙත් ටික කලකදී වතු සේවය ඔහුට එපාවිය. එයට හේතුව වතු කම්කරුවන්ට කරන අඩන්තේට්ටම්ය. අකාරුණික සැලකීම්ය.   


වතුපාලකයා වත්තේ ලැයිම් කාමරවලට ගොස් වැඩට එන්නට යැයි කම්කරුවන්ට බලකළේය. තරවටු කළේය. එහෙත් ඔවුන් මැලේරියාවෙන් දරුණු ලෙස රෝගාතුර වී සිටියෝය. ඔවුන්ට ආහාරපාන බෙහෙත් හේත් පවා තිබුණේ නැත. මැලේරියාව උත්සන්න වීම නිසා ඔවුන්ට ඇවිදගැනීමටවත් නොහැකිව තිබුණි. එහෙත් පාලකයා ඒගැන තැකුවේ නැත. වතු පාසල්වල ළමයින්ටත් ඔහු බලකළේය. ලිවීම, කියවීමට වඩා තේදළු කැඩීම හොඳ බව ඔහු කීවේය. ඔහු ක්‍රියා කළේ ඉතාම අමානුෂික ලෙසටය.   


මේ සිද්ධියෙන් පසු බ්‍රෙස්ගර්ඩල් වතු කම්කරුවන්ට කාරුණික වූ අතර ඔවුන් විඳින දුක්ගැහැට ගැන අනුකම්පාවට පත්විය. මේ අනුකම්පාව රෙලුගස් වතුයායේ වතු පාලකයාට රිස්සුවේ නැත. බ්‍රෙස්ගර්ඩ්ල් වත්තේ කම්කරුවන්ගෙන් වැඩ ගැනීමට දන්නේ නැතැයි කීවේය. දෙදෙනා අතර ගැටීම් ඇතිවිය. වතු පාලකයාට වඩා මේ ක්ෂේත්‍රයේ දැනීමක් හා අධ්‍යයනයක් බ්‍රෙස්ගර්ඩ්ල්ට තිබුණි. ඔහු ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්ම පශුසම්පත් හා වැවිලි කර්මාන්තය පිළිබඳ වසර අටක පුහුණුවක් ලැබූවෙකි.

   
බ්‍රෙස්ගර්ඩ්ල් උපන්නේ එංගලන්තයේ ලන්ඩන්වල (CHELSEA) නමැති ප්‍රදේශයේය. ඔහුගේ පියා ජෙනීස් සෙයිමොර් බ්‍රෙස්ගර්ඩ්ල්ය. (JANES SEYMOUR BRACE GIRDLE) නම් විය. මව ඉනාමාපෝරි ලීස්ටර් (INAMARJORIE LYSTER) ය. 

 
රෙලුගස් වතුයායේ වතු පාලක තෝමස් වතුඅයිතිකාරයාට බ්‍රෙස්ගර්ඩ්ල් ගැන පැමිණිලි කළේය. ඔහු වත්තෙන් පමණක් නොව රටින්ද පන්නා දැමීමට ඉල්ලා සිටියේය. වතු අයිතිකාරයන්ගේ ඒජන්ත ජේ.එච්. ග්ලාස් එය අනුමත කළේය. එහි ප්‍රතිඵලය වූයේ වතු කම්කරුවන් 50 දෙනෙකු සේවයෙන් පහකිරීමය. බ්‍රෙස්ගර්ඩ්ල්ට වූ චෝදනාව වතුකම්කරුවන් සමග සහයෝගයෙන් වැඩකිරීමයි. බ්‍රෙස්ගර්ඩ්ල් රටින් පිටකිරීමට වතු අයිතිකාරයෝ තීරණය කළත් බ්‍රෙස්ගර්ඩ්ල් තීරණය කළේ ලංකාවේ රැඳී සිට වතුකම්කරුවන් වෙනුවෙන් යම් මෙහෙයක් කිරීමයි. ඒ මෙහෙය අධිරාජ්‍යවාදීන් යටත් විජිත රටවල් සූරාකෑමට එරෙහිවීම දක්වා දුරදිග ගියේය. එසේ එරෙහි වූ එකම බ්‍රිතාන්‍ය ජාතිකයා ලෙස ඉතිහාසය ගතවූයේද ඔහුය. බ්‍රෙස්ගර්ඩ්ල් 1936 වත්තෙන් ඉවත් වූයේය.   


බ්‍රෙස්ගර්ඩ්ල් ඉවත්වුණ ආරංචිය වතුකරයේ කම්කරු නායක නතේසඅයියර්ට දැනගන්නට ලැබුණි. අයියර් ඒ වෙනවිට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හැටන් මන්ත්‍රීවරයා විය. එයට පෙර පුවත්පත් කතුවරයෙකු ලෙස කටයුතු කර තිබුණි. ඔහු බ්‍රෙස්ගර්ඩ්ල්ට නාවලපිටියේ හා හැටන් වතුකම්කරු සම්මේලනයේ වැඩ කටයුතු පැවරුවේය. එහෙත් ඔහුට නැවතීමට නාවලපිටියෙන් නි​ෙවසක් ලබාගැනීමට නොහැකි විය. බැරිතැන හැටන් නගරයෙන්වත් ඔහුට නිවෙසක් ලබාදීමට උත්සාහ කළහ. එයටද සුද්දෝ හරස් කැපුවෝය.   


හැටන් රාජ්‍ය සභා මන්ත්‍රී නතේස අයියර් (1931) සමග එක්ව වැඩකිරීමට අවස්ථාව නොලැබූ පසු බ්‍රෙස්ගර්ඩ්ල් ලංකා සමසමාජ පක්ෂයට එක්වූයේ වර්නන් ගුණසේකර මහතාගේ මාර්ගයෙනි.   


මේ ආරංචිය දැනගත් වතු පාලකයෝත් බ්‍රිතාන්‍ය රජයත් තැතිගත්හ. ඔහු රටින් නෙරපා දමන්නට පොලීසියේ සියලු උසස් නිලධාරීන්ට බලතල පැවරුවෝය. එවකට උප පොලිස්පතිව සිටියේ ඩී.එච්. පර්ගියුසන්ය. පොලිස්පති පී.එස්. බෑන්ක්ය. 1936 නොවැම්බර් 24 දා බ්‍රෙස්ගර්ඩ්ල් කොළඹ බ්‍රිස්ටල් හෝටලයේ සිටියදී උපපොලිස් පරීක්ෂක ස්ටෝපර් උපක්‍රමශීලීව ඔහු හමුවිය. බ්‍රෙස්ගර්ඩ්ල්ව උපපොලිස්පතිවරයා සුහදශීලීව උපපොලිස්පති වෙත කැඳවා ගියේය. 

 
ඇන්.ඇම්. පෙරේරා මහතා හඳුනන්නේදැ යි උපපොලිස්පති බ්‍රෙස්ගර්ඩ්ල්ගෙන් ඇසුවේය. ඔහු ගැන නොදන්නා නමුත් එක් අවස්ථාවක හඳුනාගත්තේ යැයි පැවසීය.   


ලංකාවේ හඳුනන අය සිටීදැයි උපපොලිස්පති ඇසුවේය. බ්‍රෙස්ගර්ඩ්ල් ඔව් කී නමුත් ඔවුන් කවුද කියා කීවේ නැත. ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ දේශපාලන කටයුතුවලට හවුල් නොවන ලෙස අවවාද කළ ඔහු උපපොලිස්පති කාර්යාලයෙන් එදා පිටව ගියදා පටන් ඔහු පසුපස පොලිස් නිලධාරියෙකු යවා තොරතුරු සෙවීය.   


බ්‍රෙස්ගර්ඩ්ල් ලංකාවේ කොමියුනිස්ට්වාදීව කටයුතු කරන බවත්, සමසමාජ පක්ෂයේ ලේකම් වර්නන් ගුණසේකර මහතාගේ නි​ෙවසට යන බවත් වැල්ලවත්තේ 42 වන පටුමගේ ලිපිනයේ පදිංචිව සිටින බවත් පොලිස්පතිට වාර්තා විය. ඔහු ජාතික ඇඳුමටද හුරුපුරුදු වන බව පොලීසියට දැනගන්නට ලැබුණ බව පොලිස්පති පී.එන්. බෑන්ක්ස් මඩුල්කැලේ වතුපාලක එච්.ඇම්. තෝමස්ටද දන්වා යැවීය.   


බ්‍රෙස්ගර්ඩ්ල් පසුපස පොලිසිය ලුහුබඳිද්දී ඔහු ප්‍රසිද්ධියේම දේශපාලන කටයුතුවල නිරත විය. සමසමාජ පක්ෂයේ සියලුම රැස්වීම්වල ප්‍රධාන කථිකයෙකු විය. බ්‍රිතාන්‍ය පාලනයටත්, පොලීසියටත් පහර ගැසුවේය. අමානුෂික යටත්විජිත පාලනය හෙළාදුටුවේය. බ්‍රිතාන්‍යයන් ලංකාවත්, ලාංකික ජනතාවත් යටත් විජිත යකඩ සපත්තුවෙන් පාගාගෙන ජාතික ධනය සූරා කන්නේ යැයි හඬනගා කීවේය. රහස් පොලීසිය ඔහුගේ සියලුම කතා පොලිස්පතිට වාර්තා කළේය. පොලිස්පති ඒවා වතුපාලක තෝමස්ට දන්වා යැවුවේය.   


ඉන්දියාවේ ජාතික විමුක්ති ව්‍යාපාරයේ විශිෂ්ට චරිතයක් වූ කමලාදේවි 1937 දී සමසමාජ පක්ෂය සංවිධානය කළ රැස්වීම් රැසකට සහභාගිවීම පිණිස ලංකාවට පැමිණියාය. ඇය රැස්වීම් රැසක දේශන පැවැත්වූ අතර බ්‍රෙස්ගර්ඩ්ල් කතා කළ රැස්වීම විශේෂ ඒවා විය. බ්‍රෙස්ගර්ඩ්ල් ඉංග්‍රීසියෙන් කළ අතර විලී ජයතිලක සිංහලටත්, විලියම් සිං​​ඤා් දෙමළටත් පරිවර්තනය කළේය.   


කමලාදේවි සහභාගිවූ නුවරඑළිය වතු කම්කරු රැස්වීමකට වතු කම්කරුවෝ පන්දහසක් පමණ සහභාගි වූහ. මෙම රැස්වීමේ කතා කළ රාජ්‍ය සභා මන්ත්‍රී ඇන්.ඇම්. පෙරේරා මහතා මෙසේ කීය.   


සහෝදරවරුනි මා මෙම රැස්වීමේදී ඔබට සුදු සහෝදරයෙක් හඳුන්වා දෙනවා කියනවිට එක දිගටම විනාඩි ගණනක් අත්පොලසන් හඬනැගුණ බව කියැවේ. බ්‍රෙස්ගර්ඩ්ල් වේදිකාවට නැගෙන විට හැම පැත්තෙන්ම සාමි... සාමි කියා කෑගසන හඬත් ජයඝෝෂාවත් ඇසෙන්නට විය. 

 
සුදු ජාතිකයන් කුමාර සැපසම්පත් විඳිනවා.. ඔවුන් ඔබේ ලේ උරාබොනවා.. වැවිලි කරුවන්ගේ රහස් මම දන්නවා.. මමත් වත්තක වැඩකළා.   


ඔව් ඔබ පන්නා ගත්තා... බ්‍රෙස්ගර්ඩ්ල් මහත්තයෝ කියා දෙමළෙන් හඬක් නැගිණි. එවිට කතාව මදක් නතර කළ බ්‍රෙස්ගර්ඩ්ල් එය කවද්දැයි අසා දැනගත්තේය. බ්‍රෙස්ගර්ඩ්ල් යළිත් කතා කළේය.   


මෙය සම්පත්වලින් පිරුණ රටක් බව දැනගෙන මම ආවා. ඒත් මේ රටේ සම්පත් යන්නේ මම ඉපදුන රටේ (එංගලන්තයේ) මිනිසුන්ගේ සාක්කුවලටයි.   


‘ඔබ වතුපාලකයන්ට බයවෙන්න එපා. සුදු මිනිසුන්ට බයවෙන්න එපා. අපට කියන්න. අපි ඔබට උදව් කරනවා. අපේ පක්ෂයේ නීතිඥවරු ඉන්නවා. ඔබට නොමිලේ පෙනී සිටිනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අපට මන්ත්‍රීවරු ඉන්නවා. ඔබ ගැන කතා කරාවි. අපි ඔබට උදව් කරනවා. ජීවිතය වුණත් ඔබලා වෙනුවෙන් දෙනවා’ යැයි බ්‍රෙස්ගර්ඩ්ල් කියන විට වතුකම්කරුවෝ එක හඬින් ‘සාමි සාමි’ හඬ සමග ජයඝෝෂා නැගුවෝය.   
1937 අප්‍රේල් මාසයේ 07 දා පොලිස්පතිවරයා වෙත වැඩබලන පොලිස්පති ජී.එච්. ෆර්ගියුසන් රහසිගත ලිපියක් යවමින් මෙසේ කීවේය.   


මාක් ඇන්තනි ලිස්ටර් බ්‍රෙස්ගර්ඩ්ල් ලංකාවෙන් පිටුවහල් කිරීම සඳහා කවුන්සලයේ නියමිත ආඥාවේ එන 3 කොටසේ iii දරන වගන්තිය අනුව ආණ්ඩුකාරතුමාගෙන් නියෝගයක් ලබාගන්නා ලෙස ආයාචනා කරමි.   
ඒ අනුව පොලිස්පති බෑන්ක්ස් අවශ්‍ය ලියවිලි සකස්කොට එවකට ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ සර් ඩී.බී. ජයතිලක මහතා වෙත ඉදිරිපත් කළේය. එහෙත් එම ලියවිලි ස්වදේශ කටයුතු ඇමැතිවරයා අනුමත කළේ නැත. බාරගත්තේ නැත.   


එංගලන්ත යටත්විජිත ආණ්ඩුව හා ලාංකික ඇමැතිවරු අතර සුහදතාවක් තිබුණේ නැත. ලංකාවේ මැති ඇමැතිවරු බලාපොරොත්තුව සිටියේ රටට පූර්ණ නිදහස ලබාගෙන නිදහස් රාජ්‍යයක් උදාකර ගැනීමටයි. ඇමැතිවරුන් හා ආණ්ඩුකාරයා සමගත් බ්‍රිතාන්‍ය උසස් නිලධාරීන් සමගත් අවස්ථා ගනණාවකදී අවුල් සහගත ගැටීම් ඇතිවිය. ඒ සෑම අවස්ථාවකම ඇමැතිවරු ගත්තේ ලංකාවේ ජනතාවගේ පැත්තය. බ්‍රෙස්ගර්ඩ්ල් රටින් පිටමං කිරීමේ සිද්ධියද එවැන්නකි. ඔහු පිටමං කිරීමට සභානායකට, ස්වදේශ කටයුතු ඇමැති සර් ඩී.බී. ජයතිලක මහතාට කිසිදු ඕනෑකමක් තිබුණේ නැත.   


බ්‍රෙස්ගර්ඩ්ල් සිටියේ ලාංකික ජනතාවගේ පැත්තේය. අධිරාජ්‍යවාදීන්ගේ සූරාකෑමට ඔහු විරුද්ධ වූ අයෙකි. ඔහු හැමවිටම කියාසිටියේ ලංකාවට ඔවුන්ගේ පූර්ණ නිදහස ලබාදිය යුතු බවයි.   


පොලිස්පති පී.එන්. බෑන්ක්ස් මඩුල්කැලේ වතුපාලක එච්.ඇම්. තෝමස්ගේ ගජ මිත්‍රයෙකි. ඔහුට බ්‍රෙස්ගර්ඩ්ල් ලංකාවෙන් පන්නා දැමීමට අවශ්‍ය වූයේ තම මිත්‍රයා තෝමස්ගේ ඉල්ලීම ඉටුකිරීමටයි. ඔහුට උපපොලිස්පති පර්ගියුසන්ද සහාය විය.   


පොලිස්පතිවරයා බ්‍රෙස්ගර්ඩ්ල් රටින් පිටමං කිරීමට තවත් කුමන්ත්‍රණයක් කළේය.   


එනම් ස්වදේශ කටයුතු ඇමැතිවරයාවූ සර් ඩී.බී. ජයතිලක මහතා මෙරටින් පිටමං කිරීමට වාචිකව තමා හා එකඟවූ බවට බොරුවක් කියා රජයට දැනුම්දීමයි. ජයතිලක මහතා මේ කරුණ ගැන තමා නොදන්නා බව ප්‍රකාශ කළේය. ඒ සමගම ඔහු එය ප්‍රතික්ෂේප කළේය. මේ සිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස කෝපයට පත් ඇමැති මණ්ඩලය පොලිස්පතිවරයා සේවයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ආණ්ඩුකාරයා කොමිසමක් පත්කළේ පිටුවහල් කිරීමේ නියෝගය යුක්ති සහගතදැයි විමසා වාර්තා කිරීමටයි. මේ අතර පොලිස්පතිවරයාගේ හැසිරීම සොයා බැලීමටද පරීක්ෂණ පැවැත්වුණි.   


ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් ස්ටබ්ස් (1933 - 1937) විසින් 1937 අප්‍රේල් 20 දා බ්‍රෙස්ගර්ඩ්ල් ලංකාවෙන් පිටමං කිරීමට නියෝගය ලබාදුන්නේය. මේ තීන්දුවට විරුද්ධව සමසමාජ පක්ෂය විසින් ආණ්ඩුකාරයාට හා පොලිස්පතිට එරෙහිව හබයාස් කෝපුස් (HABEAS CORPUS) නඩුවක් පවරන ලදී.   


මේ නඩුව ඇසුවේ ඒබ්‍රහම් අග්‍ර විනිශ්චයකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කරගත් මාටෙන්ස් (MAARTENZ) හා සූස් (SOERTSZ) යන විනිසුරු මඩුල්ලක් විසිනි. මෙම රිට් (WRIT) ආඥාවේ පැමිණිලිකරුවා වූයේ අධිනීතිඥ වර්නන් ගුණසේකර මහතාය. රජය වෙනුවෙන් රාජනීතිඥ ජේ.ඩබ්.ආර්. ඉලංගකෝන්, ඊ.ඒ.එල්. විජේසිංහ, එම්.එස්.එස්. පුල්ලෙ යන අය පෙනී සිටි අතර බ්‍රෙස්ගර්ඩ්ල් වෙනුවෙන් රාජනීතිඥ ප්‍රැන්සිස් ද සොයිසා, රාජනීතිඥ එච්.වී. පෙ​රේරා, නීතිඥ එම්.ටී. ද එස්. අමරසේකර, නීතිඥ ජේ.ආර්. ජයවර්ධන, එන්. ද සිල්වා (විත්තිය වෙනුවෙන්) පෙනී සිටියහ.   


1937 මැයි 18 දා අග්‍රවිනිශ්චයකාර ඒබ්‍රහැම් තීන්දුව ප්‍රකාශයට පත්කළේය. හදිසි තත්ත්වයක් නැති අවස්ථාවක බ්‍රෙස්ගර්ඩ්ල් රටින් පිටමං කිරීමට තීන්දුවක් දීමත්, ඔහු අත්අඩංගුවට ගැනීමත් නීතිවිරෝධී බව පවසමින් බ්‍රෙස්ගර්ඩ්ල් නිදොස් කොට නිදහස් කළේය. අනෙක් විනිසුරුවරුන්ද මේ තීන්දුවට එකඟ විය. බ්‍රෙස්ගර්ඩ්ල් නිදහස් විය.   


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ලංකාවේ බ්‍රිතාන්‍ය නිලධාරීහු මහත් කැළඹිල්ලකට පත්වූහ. තමාට සිදුවූ අසාධාරණය ගැන බ්‍රෙස්ගර්ඩ්ල් අධිකරණයට ගොස් වන්දි ඉල්ලනු ඇතැයි ඔව්හු බියවූහ.   
බ්‍රෙස්ගර්ඩ්ල් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් කිසිදු ලියැවිල්ලක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නොතිබීමත්, වැඩබලන ස්වදේශ කටයුතු ඇමැති බටුවන්තුඩාව මහතා ඒ පිළිබඳව නොදන්නා බවත් ප්‍රකාශ කිරීමෙන් ආණ්ඩු පාලකයන් අතර කැළැඹිල්ලක් හටගති.   


මේ වෙනවිට ස්වදේශ කටයුතු ඇමැති සර්. ඩී.බී. ජයතිලක මහතා සිටියේ එංගලන්තයේය. මේ සිද්ධිය ගැන තමා කිසිවක් නොදන්නා බවත් තමා එම පිටමං කිරීමට මෙන්ම කිසිම අයුරකින්වත් තමා ඊට සම්බන්ධ නැති බවත් එංගලන්තයේ පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණි.   


1937 මැයි 19 දා සර් ඩී.බී. ජයතිලක මහතා විසින් තම ලේලියක වන සිරිමාන්න මහත්මිය වෙත ලන්ඩනයේ සිට එවන ලද ලියුමකින් මේ පිටුවහල් කිරීමේ නියෝගය ගැන පුදුමය පළකර තිබිණ.   


මා කිසිදු නියෝගයක් දුන්නේ නැත. උපදෙසක් දුන්නේද නැත. ඔහු පිටුවහල් කිරීමට නියෝග කිරීම නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි මෙහි (ලන්ඩන්) පත්‍රවල පළව තිබෙනවා මම දුටිමි. පිටුවහල් කිරීම සඳහා නියෝග පැනවූයේ කෙසේදැයි මම පුදුම වෙමි. එම ලියුමේ සඳහන් විය.   
1937 නොවැම්බර් 22 දා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතා බ්‍රෙස්ගර්ඩ්ල් කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරන බවට යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙය රුවන්වැල්ල රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා ස්ථිර කළේය.   


ගරු සභානායක, විදේශ කටයුතු ඇමැති ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාට පූර්ණ විශ්වාසය පළකෙරෙන යෝජනාවක් බහුතර ඡන්දයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සම්මත විය. 

 

 

පී.ඇම්. සේනාරත්න