සරත් ද අල්විස් නමැති සුප්‍රකට සංගීතඥයා මුලින්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින්නේ 1985 දී තිරගත වූ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයෙනි.
ඔබට දිවුරා කියන්නම් පසු කලෙක ආදායම් වාර්තා බිඳ හෙලූ අධ්‍යක්ෂවරයකු වන සුනිල් සෝම පීරිස්ගේ ප්‍රථම චිත්‍රපටයයි. සිංහල චිත්‍රපට රාශියක රඟපාමින් ජනප්‍රිය වූ ශෂී විජේන්ද්‍රගේ ද මුල්ම චිත්‍රපටයයි. එහි රඟපෑ අනෝජා වීරසිංහ වුවද කලාත්මක චිත්‍රපට රාමුවෙන් පිට පැන රඟපෑ චරිතයක් එහි විය.
ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත හයක් ඇතුළත් විය. ජෝති ඉන් එක් ගීතයක් ගායනා කළේ මායා දමයන්ති සමගය.
ඔබට දිවුරා කියන්නම් නිෂ්පාදනය වන 1980 ගණන් වලදී ජෝති ගායකයකු ලෙස ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ වැජඹුණේය. ඔහුට සන්දර්ශනවලින්, චිත්‍රපටවලින් අඩුවක් නොවීය. කෙතරම් ජනප්‍රියත්වයේ සිටියද ජෝතිට විචාරක ප්‍රශංසාව නම් නොලැබුණේය. එය ජෝති දැන සිටියේය.
ඔහුට තම ගායන ජීවිතයේදී ජනප්‍රිය සම්මාන කීපවරක්ම ලැබුණද හොඳම ගායකයා ලෙස සරසවි සම්මාන ලද්දේ දෙවරකි.
ජෝතිට සම්මාන ලැබුණද නොලැබුණද ඔහු තම ගමන ගියේය.
කුඩා කල සිටම විවිධ අහිමිවීම්වලට පුරුදුව සිටි ජෝතිට විචාරක ප්‍රශංසාව හෝ සම්මාන නොලැබීම දරාගන්නට අමුතු ධෛර්යයක් වුවමනා නොවීය.
නැතිබැරිකම් නිසාම හැරිහැටි අධ්‍යාපනයක් ලබා ගන්නට පවා නොහැකි වූ ජෝතිට කුඩා කාලයේ ගීත අසන්නට ගෙදර ගුවන් විදුලි යන්ත්‍රයක් පවා නොවීය.
ඔහු ගීත අසන්නට ගියේ කඩ පොළටය. එහෙත් එහිදී ද ඔහු ලැබුවේ ඇනුම්පද මිසක හිත දිරිමත් කරන වදන් නොවේ.
“මගෙ මුල් ගීතය තැටිගත කළේ දැන් මරදානේ සෙන්ට්‍රල් හෝල් එක (දැන් සෙන්ට්‍රල් සිනමා හලද එතැන නැත) තියෙන තැන තිබූ පොඩි ස්ටූඩියෝ එකක. “බව්ජු බවුරා” චිත්‍රපටයේ තනුවකට ස්ටැන්ලි ඕමාර්ගේ “මගෙ රන් රාජිනී” ගීතය අපි පටිගත කළේ බොහෝම අසතුටුදායක උපකරණ වලින්. මේ ගීතය රේඩියෝ එකට දුන්නට ඒ තරම් ජනප්‍රිය වූවේ නෑ” ඔහු එකල මා සමග කිවේය.
“මේ කාලයේදී මම පුද්ගලික ආයතනයක රුපියල් තිස්හතයි පණහක මාසික පඩියකට රස්සාවක් හොයාගත්තා” ඔහු කීවේ ගායන වෘත්තියෙන් එකල ජීවත්වීමට නොහැකි වූ බවය.
“පොඩි පුතා චිත්‍රපටයට වෙනත් ගායකයකු ගැයූ ගීතයක් හොඳ නෑ කියා මට ඒ ගීතයම ගායනා කරන්න කිව්වෙ සිරිසේන විමලවීර මාස්ටර්ය. මම ඒ ගීතය ගායනා කරන්න ගියේ යාළුවන්ට එහෙම කියලා. බොහොම සතුටෙන් සින්දුව ඉවරවී අන්තිමට විමලවීර මාස්ටර් කිව්වෙ තමුසෙගෙ කටහඬ ගොරෝසු වැඩි නිසා මේ මැෂින් සේරම දෙදරනවා කියලයි. චිත්‍රපටයක සින්දු කියන්න ලැබුණු මගෙ මුල්ම අවස්ථාව නැතිවුණේ ඒ විදියටයි.”
ඊට මාස හත අටකට පසුව සිරිල් පී. අබේරත්න නිසා මට සුරතලී චිත්‍රපටයට ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ ටී.ආර්. පාපාගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ඒ කාලයේ ජනප්‍රියත්වයේ සිටි ධර්මදාස වල්පොල, හරුන් ලන්ත්‍රා, ස්වර්ණා අබේරත්න එක්කත් මම ගීත හතරක් ගායනා කළා. මට එදා රුපියල් 400 ක් ලැබුණා. එදා ඒ ගීතය ගයද්දි ඒ.එම්. රාජා හා ජික්කි මා දිහා බලාහිටියා. එවෙලේ මාව වෙව්ලන්න පටන්ගත්තා.”
ඒ ජෝතිගේ ආරම්භයයි.
1955 දී ප්‍රථම වරට තැටියක් සඳහා ගීතයක් ගායනා කළ ජෝතිට ප්‍රථම වරට හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස සම්මානයක් ලැබෙන්නේ 1983 දීය. ඒ සරත් දසනායක සංගීතවත් කළ මිහිදුම් සිහින චිත්‍රපටයේ “සරාසඳේ” ගීතය වෙනුවෙනි.
ඊළඟට ජෝති හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා ලෙස දෙවැනි වරට හා අවසන් වරට සම්මාන ලබන්නේ 1985 පැවැති සරසවි සම්මාන උළෙලේදීය. ඒ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ “පාළු සුසානේ” ගීතයටය. එහිදී හොඳම ගීත රචකයා ලෙස සම්මාන ලැබුවේද එම ගීතය ලියූ ආචාර්ය අජන්තා රණසිංහය. සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්ගෙනි.
ප්‍රථම වරට තමා සංගීත අධ්‍යක්ෂණය කළ “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයේ පාළු සුසානේ ගීතයට ජෝතිට හා අජන්තාට සම්මාන ලැබුණද සරත් ද අල්විස්ට සම්මානයක් නොවීය.
“සම්මානයක් ගන්න හිතාගෙනද මේ ගීතය නිර්මාණය කළේ?” මම පසුගියදා සරත් ද අල්විස් හමුවූ විට ඇසුවෙමි.
“මොන පිස්සුද සම්මාන ගැන අදහසක්වත් තිබුණේ නෑ. මේ සින්දුව ලියන්න දුන්නෙ අජන්තාට නෙමෙයි, වෙනත් ප්‍රසිද්ධ ගීත රචකයකුට. සාමාන්‍යයෙන් මම කලින්ම කරන්නෙ මෙලඩිය හදල ඒක හම් කරල කැසට් පටයක් යවනවා ගීත රචකයාට. චිත්‍රපටයකට ගන්න සින්දුවක් නිසා අදහස කියනවා. විශේෂයෙන්ම කතා තේමාව. මේ ගීතයත් ඒ විධියට හම් කරල යවල කතා තේමාව ගැනත් මේ ගීතය ගායනා කරන අවස්ථාව ගැනත් ගීත රචකයාට විස්තර කළා.
ඉන් පස්සෙ අපි රෙකෝඩින් වලට දින දාගත්තා. දැන් ජෝතිටත් දිනය වෙලාව සේරම දීලා. රෙකෝඩින් තියෙන්නෙ හෙට නම් අද රෑ තමයි එම ගීත රචකයා මේ තරම් පොඩි තනුවකට ඒ තරම් ලොකු අදහසක් ලියන්න බෑ කියල දැනුම් දුන්නෙ. දැන් ඉතින් මොකද කරන්නෙ? අධ්‍යක්ෂක සුනිල් සෝමයි මමයි පටිගත කිරීම් දාගත්ත දවසේ උදේ හයට අජන්තාව හොයාගෙන ගියා. ගිහින් විස්තරේ කියල උදේ දහයට සින්දුව ඕනෙයි කිව්වා. හම් කරපු ට්‍රැක් එක දීල විස්තරේ කිව්වෙ ගේට්ටුව ළඟ ඉඳගෙන. අජන්තා ට්‍රැක් එක ගත්තෙ ගේට්ටුවට උඩින්.
අජන්තා සින්දුවත් අරගෙන උදේ දහයට ස්ටූඩියෝ එකට එනව කියල පොරොන්දු වුණා. කිව්ව වගේම අජන්තා උදේ දහයට ස්ටූඩියෝ එකට ආවා.
පාළු සුසානේ හදිසියේම ලියාගෙන පටිගත කළේ එහෙමයි. අපි කාටවත් සම්මාන ගැන හැඟීමක් තිබුණෙ නෑ කියල ඒකෙන්ම තේරෙනවනේ. අපිට ඕන කළේ සින්දුව වෙලාවට කරගන්නයි.
සරසවි සම්මාන උත්සවය සංවිධානය වෙමින් පවතින කාලෙ සම්මාන උත්සවේ සංවිධායකවරයෙක් මගෙන් ඇහුව මේ තනුව හින්දි එකක්ද කියලා. මම කිව්වා සම්මානවලදී හැම දෙයක්ම හොයනව නම් මේකත් හොයල බලන්න කියලා. හොඳම ගීතය වුණාට සංගීත අධ්‍යක්ෂණයට මට සම්මාන ලැබුණෙ නෑ. කොහොම හරි සම්මාන උත්සවේ ඉවරවෙලා එනකොට සනත් අයියා (මහාචාර්ය සනත් නන්දසිරි) මට කිව්වා ගායකයා ගීත රචකයා දෙන්නටම හොඳම ගීතයට සම්මාන ලැබුණා. එතකොට තනුවක් සංගීත අධ්‍යක්ෂ කෙනෙක් නැතුවද මේ ගීතය ගායනා කරල තියෙන්නෙ කියල. ඕවයේ හැටි ඔහොම තමයි. කියල අන්තිමට කිව්වා.”
ඔබට දිවුරා කියන්නම්. ප්‍රථම සංගීත අධ්‍යක්ෂණයෙන්ම ජෝතිට දෙවැනි සම්මානය හිමිවූ ගීතය නිර්මාණය කළ සරත් ඉන්පසුව චිත්‍රපට හාරසියයකට පමණ සංගීතය නිර්මාණය කර ඇත.
1985 සිට අද දක්වා ඔහු නිර්මාණය කළ ගී තනු විශේෂයෙන්ම ජෝතිගේ චිත්‍රපට ගීත අද ද අතිශය ජනප්‍රියය.
“අම්මේ ඔබ නිසා” චිත්‍රපටයේ එන සංගීත මඩලේ, නිදි නැති රෑ යාමේ, රුවන් වලා විමානේ (ලතා වල්පොල සමග) “මමයි රජා” චිත්‍රපටයේ විල්ලුද පුංචි දෙපා, ඉපදී ලොවේ “රජ වැඩකාරයෝ” චිත්‍රපටයේ පෙර ජාති ජාති සංසාරේ, “ජය අපටයි” චිත්‍රපටයේ සතුටින් නිදැල්ලේ, දිලි දිලි දිලීසේවි, “ඔබටයි ප්‍රියේ ආදරේ” චිත්‍රපටයේ සාගර ලවැල්ලේ, දිය කිඳුරිය සේ, ආශාවේ ආශාවේ ආදී ගීත කිහිපය ගත්තද සරත්ගේ ජනප්‍රියත්වයට දිය හැකි හොඳම උදාහරණය.
මට කවදාවත් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට සම්මාන ලැබිල නෑ. ජනතා සම්මාන විතරයි සරත් කියයි. සරත් තනු නිර්මාණකරුවකු ලෙස ජීවිතය පටන් ගත්තේ අපූරු ගීතයකිනි. ඒ විශාරද දයාරත්න රණතුංග ගයන “මංගල මධුසමය” යන ගීතයයි. එහි ගීත රචකයා උපාලි ධනවල විතානය.
සරත්ගේ චිත්‍රපට ගී හා සසඳන කල එම ගීතය වෙනස්ම ආකාරයක් ගනී.
“චිත්‍රපටයක සංගීතය අධ්‍යක්ෂණය කරන්න ලැබුණම මුල් තැන දෙන්නෙ මොන පැත්ත ගැනද?”
“කතා තේමාව ගැන. මට ලැබුනු සමහර චිත්‍රපට හින්දි චිත්‍රපටවල කොපි. ඉතින් ඒ වගේ චිත්‍රපටවලට සංගීතය අධ්‍යක්ෂණය කරන කොට ගීත නිර්මාණය කරන කොට එම අධ්‍යක්ෂවරු ඉල්ලන්නෙ හින්දි ටච් එකක් තියෙන ගීත. ඉතින් ඒ අනුව මම ගීත නිර්මාණය කරනවා.”
ජෝතිපාලයන් වරක් පැවසූයේ “එක් උපන්දිනයකදී අමරදේවයන්ගේ සංගීතයට අනුව යුග ගීතයක් ගායනා කළ බවයි.
හරියටම මගේ උපන්දිනය දවසේ අමරදේවයන් සමග නිර්මාණ කටයුත්තකට සහභාගිවීමට ලැබීම විශේෂ සිද්ධියක්. ඒ වාලම්පුරි චිත්‍රපටය සඳහායි” ජෝති එදා කීවේය.
සරත් මුල් යුගයේ වඩාත්ම ජනප්‍රියව සිටියේ සංගීත සංදර්ශන හා පටිගත කිරීම්වලදී විදුලි ඕගනය වාදනය කිරීමේ පරතෙරට පැමිණි ශිල්පියකු වශයෙනි. ඔහු වේදිකාවෙදි විදුලි ඕගනය වාදනය කරන්නේ අහක බලාගෙනය.
පුවරු අතර ඔහුගේ අතැඟිලි දිවයන්නේ ඉතා කඩිසරවය. ඔහු වාදනය කරන්නේ සිතා මතා නොවේ. ස්වර පුවරුව එතරම්ම ඔහුට පුරුදුය.
වේදිකාවකදී එකල ඔහු ඕගනය වාදනය කරන අයුරු බලාසිටීමම විස්මයට කාරණයක් ලෙස මට හැඟිණ.
සුපර් ස්ටාර්ස්, සුපර් සෙට්, ඩයිනමයිට්ස් ආදී ජනප්‍රිය සංගීත කණ්ඩායම් කීපයකම ඔහු එකල කීබෝඩ් වාදකයා ලෙස කටයුතු කළේය.
මුල් කාලයේ ඔහුගේ මුහුණේ ස්වරූපය මෙසේ නොවේ. එකල ඔහු මුහුණ පුරා රැවුලක් වවාගෙන සිටියේ නැත.
ඔහු එකල සංගීත සංදර්ශන වේදිකාවේ කොතරම් කාර්යබහුලව සිටියේද යත් එක් රාත්‍රියක සන්දර්ශනයක් නිමවී පාන්දර නිවස බලා එද්දී ඔහුට නින්ද ගියේය. එවෙලේ ඔහු සිටියේ මෝටර් බයිසිකලය පදිමිනි. මෝටර් සයිකලය නවත්වා තිබූ ලී ලොරියක් ඇතුළට ගියේය. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔහු දීර්ඝ කාලයක් රෝහල් ගතව සිටියේය. ඔහු අනතුරෙන් පසු මුහුණ පුරා රැවුල වවන්නට පටන්ගත්තේය.
සරත්ගේ පවුලේ දූ දරුවන් හත් දෙනෙකි. ඔහු පවුලේ බාලයාය.
ලොකු අක්කා ලීලා අසෝකාය. ඇය ගායිකාවකි. 1948 ප්‍රථම නිදහස් උත්සවයේදී පවා ඇය ජාතික ගීය ගායනා කිරීමට සහභාගිවී ඇත.
“මම පුංචි කාලෙ ලොකු අක්කා අමරදේවයන් සමග ගී ගයන්න යනවා. ඒ කාලෙ ඔහු ඇල්බට් පෙරේරා.
මම අමරදේවයන්ගෙ ගීයක් පටිගත කරන වෙලාවක මම ඒ කාලෙ සරත්ව වඩාගෙනත් තියෙනවා කියලා ඔහු කීවා. මගෙ ලොකු අක්කා සුනිල් සාන්තයන් සමග මෙවන් පිටිසරේ වැනි ගීත වගේම ආනන්ද සමරකෝන් සමගම යුග ගී ගයා තිබෙනවා. හැබැයි එයාගෙ නම කියැවුණේ නෑ. ඒ නිසා අක්කා ගායනා කරන ගීතවලට නම යන්නෙ සුනිල් සාන්ත සමග සහාය ගායිකාව, ආනන්ද සමරකෝන් සමගත් සහාය ගායිකාව කියල විතරයි. ඒ නිසා ලොකු අක්කා ගායිකාවක් හැටියට නමින් ජනප්‍රිය වූයේ නෑ.”
සරත් සංගීතය අධ්‍යක්ෂණය කළ “සිනාසෙන්න රත්තරන්” චිත්‍රපටයේ ගීතයකට 1989 විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන හොඳම ගායිකාව ලෙස සරසවි සම්මාන ලැබුවාය. 1997 දී අජිත් ජිනදාස ගේ “දහඅට ඇඳිරිය” ටෙලිනාට්‍යය සඳහා සරත් හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සුමති සම්මාන ලැබීය. එය අජිත් ජිනදාසගේ ටෙලි නාට්‍යයකි.
සරත් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට අමතරව තනු නිර්මාණ කර ඇති ගීත දහස් ගණනකි. ඒවා අතිශය ජනප්‍රිය ගීතය.
පණ්ඩිත් අමරදේව, අමරසිරි පීරිස්, නිරෝෂා විරාජනී, උරේෂා රවිහාරි, රෝහණ බෝගොඩ, අමරසිරි පීරිස් ආදී ගායක ගායිකා ලැයිස්තුව ඉතා දිගුය.
“සම්මානයෙන් පස්සෙ ජෝති එක්ක මම හුඟක් වැඩ කළා. එදා සම්මානය ගන්න වේදිකාවට නැගපු වෙලේ ජෝතියි අජන්තයි කතාවෙලා තියෙන්නෙ සරත් මේ ස්ටේජ් එකේ ඉන්න ඕනෑ කියලයි. ඔව් ඔහොම තමයි. ඕව වැඩිය ගණන් ගන්න නරකයි. කියල තමයි ජෝතිගෙ අදහස වුණේ” සරත් පැවසුවේ සම්මානයෙන් පස්සෙ ජෝතිගේ අදහස වුණේ මොකද කියා මා ඇසූ විටය.
සරත් විවාහවී සිටින්නේ විජිතා පුෂ්පරාණි සමගය. ඔහුට සුරග හා සම්පත් නමින් පුතුන් දෙදෙනෙකි. සුරංග සිනමාවට සම්බන්ධය.
අද ද ජනප්‍රියත්වයේ ඉහළින් වැජඹෙන ජෝතිගේ අගය වෙනදාටත් වැඩිය දැනෙන්නකි. එදා විචාරකයන්ගේ කෙනෙහිළිකම්වලට ලක්වූ ජෝති ගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුණද ඔහු මුළු ජීවිත කාලයටම හොඳම ගායකයා ලෙස සම්මානය ලැබුවේ දෙවරකි. එහි විශේෂත්වය වන්නේ ඒ සම්මාන ලැබූ ගීත දෙකටම තනු නිර්මාණය කළේ සරත්ලා දෙදෙනකු වීමය. පළමු වැන්නා සරත් දසනායකය, දෙවැනියා සරත් අල්විස්ය. එය කිසි දින ඉතිහාසයෙන් මකා දමනු නොහැකි වනු ඇත.
රොඩ්නි විදානපතිරණ