සැප්තැම්බරයෙන් පසු යුරෝපයට හේමන්ත කාලය උදාවෙයි. කඩින් කඩ ඇද හැළෙන වර්ෂාවෙන් ද දිනෙන් දින ක්‍රමයෙන් ඉහළ යන ශීතලෙන් ද පරිසරය වෙනස් වෙයි.
නොවැම්බර් අග වනවිට ශීතල අධිකය. එහෙත් ලෝකයේ කුඩාම දෙවැනි රාජ්‍යය ලෙස සැලැකෙන ‘මොනකෝ’ හි දේශගුණය ප්‍රසන්නය. අවුරුද්ද පුරාම පවතින ශීතලත්, උණුසුමත් රැඳි ප්‍රසන්න දේශගුණය නිසා සංචාරකයෝ බොහෝ සේ මොනකෝ වෙත ආකර්ෂණය වෙති.
මධ්‍යධරණී මුහුද දේශගුණික ප්‍රසන්න බවට ප්‍රධාන හේතුවයි. මුහුදු සුළඟ සමඟ ඇදී එන ජල වාෂ්ප ගතට සුවයකි.
මොනකෝ ධන කුවේරයන්ගේ රාජ්‍යයක් ලෙස සැලැකෙයි.
එය උතුරෙන්, නැගෙනහිරෙන් හා බටහිරෙන් ප්‍රංශයට මායිම් වෙයි. දකුණෙන් මධ්‍යධරණී මුහුදය.
2020 වනවිට එහි ජනගහනය 39,309ක් ලෙස දැක්වෙයි. එයින් සියයට 30ක්ම කෝටිපතියෝය. දේශ සීමාව කි.මී. 5.47කි.
කුමාරයකු විසින් පාලනය කරනු ලබන මොනකෝ මෙතරම් සෞභාග්‍යමත් රාජ්‍යයක් වී ඇත්තේ දේශපාලන ස්ථාවරභාවය, මුළු අවුරුද්ද පුරා පැවැත්වෙන සුපිරි මෝටර් රථ ධාවන තරග, මෝස්තර නිරූපණ සංදර්ශන, මුහුදු යාත්‍රා තරග ඇතුළු විවිධ සංදර්ශන සැණකෙළි නිසාවෙනි. එමෙන්ම මොනකෝවල බදු අය කිරීම ද ඉතා අඩුය. ව්‍යාපාර ආදියට අය කරන බදු ඉතා පහළ මට්ටමක පවතී.
ඉතාලියේ ලැවෙනෝ සිට අප මේ ගමන් කරන්නේ මේ ධන කුවේරයන්ගේ රාජ්‍යයටය. මෝටර් රථයකින් ලැවෙනෝ සිට පැය පහක පමණ ගමනකි.
ලැවෙනෝ හි හිමෙන් සහ මීදුමෙන් වැසී ගිය කඳු පන්ති සහිත පරිසරය කෙමෙන් වෙනස් වෙමින් එය මධ්‍යධරණී මුහුද හා සමාන්තරව දිවෙන මාර්ගයක ගමන් කරයි.
ශීතල දැනුණ ද ලැවෙනෝ කුඩා නගරයේ තරම් අධික නැත. ඊට හේතුව වන්නට ඇත්තේ මධ්‍යධරණී මුහුද විය යුතුය.
කඳු හෙල් නැති නිසා එක දිගට විහිදුණු මාර්ගය ඔස්සේ රථය ධාවනය කිරීම ද පහසුය.
ගමනේ බොහෝ වේලා යනතුරු වාහනයේ කවුළුවෙන් පෙනෙන්නේ මධ්‍යධරණී මුහුදය. මුහුද අපට කොහොමත් හුරුපුරුදුය. එයින් විටෙක ශ්‍රී ලංකාවේ සිටින බවක් ද හැඟී යයි.
මොනකෝ රාජ්‍යයට ළඟ බව අපට කියාපාන ප්‍රධාන සලකුණ වන්නේ ප්‍රංශයට ඇතුළුවන දේශ සීමාවයි.
ප්‍රංශ දේශ සීමාවේ මාර්ගය දෙපස ඉදිවී ඇති සුවිසල් ප්‍රාකාරය තේජවන්තය. බිම්ගෙයක ආකාරයට මේ සුවිසල් ප්‍රාකාරය ගොඩනගා ඇත. මහාමාර්ගය මැදින් දිවෙයි. එය ශීතලට ගල් වූ විශාල යෝධයකු මෙනි. ඉතාලියට පමණක් වීසා ලබාගෙන ඇති අයකුට ප්‍රංශ දේශ සීමාවේ එම සුවිසල් ප්‍රාකාරය දුටුවිට කිසියම් තිගැස්මක් ඇති වෙයි.
බොහෝ විට දේශ සීමාවල දී පරීක්ෂා කිරීම් සිදුවේ. විශේෂයෙන්ම කළු හමක් ඇති අය ගැන ඔවුහු විමසිලිමත් වෙති.
එහෙත් අපගේ මෝටර් රථය නැවැතුවේ නැත. කිසිදු පරීක්ෂාවක් ද සිදු නොවීය. සුවිසල් ප්‍රාකාරය පසුවන්නට විනාඩි කිහිපයක් ගතවිය.
ඉතාලි - ප්‍රංශ දේශ සීමාව පසුවී පැයක පමණ ගමනකින් පසුව ධන කුවේරයන්ගේ පාරාදීසයට ඇතුළු වීමට අපට හැකිවිය.
මොනකෝ හැලහොල්මනක් නැත. එක දිගටම දිස්වන්නේ මධ්‍යධරණී මුහුදයි. අතරින් පතර කඩසාප්පු ඇති මුහුදු තීරයේ දිගට විහිදුණ විශාල පුවරුවක මුහුදක ඡායාරූපයකි.
ඈත සිට බලනවිට එය සැබෑ මුහුද ද ඩිජිටල් මුුහුදක් ද යන්න එක්වරම පැහැදිලි නොවෙයි. එතැන පසුබිම් වන සේ ඡායාරූපයන් ගතහොත් සැබෑ මුහුදත් සුවිසල් ඡායාරූපයේ ඇති මුහුදත් හඳුනාගත නොහැක.
ඈතින් පෙනෙන්නේ මොනකෝ වරායේ නවතා ඇති මුහුදු යාත්‍රා සමූහයකි. ඇතැම් යාත්‍රා ගමන් කරමින් ඇත. මුහුදු යාත්‍රාවල හඬින් පරිසරය ගිගුම් දෙයි.
මොනකෝ හි මුහුදු යාත්‍රා ව්‍යාපාරය ඉතා ප්‍රකට වූවකි. බොහෝ ධන කුවේරයෝ තම මැඳුරු අසල මුහුදේ තමන්ගේ විශාල මුහුදු යාත්‍රා (කුඩා නැව්) නවතාගෙන සිටිති. මන්ද මොනකෝ හි නෞකා සංදර්ශන පමණක් නොව නෞකා තරග ද පැවැත්වෙන බැවිනි. අපි මෝටර් රථය අතරමඟ නවතා මුහුදු තීරයේ ඇවිදින්නට වීමු.
බොහෝ සාප්පුවල වීදුරු කාමර තුළ ප්‍රදර්ශනයට තබා ඇත්තේ සුපිරි මෝටර් රථය. අධිවේගී මෝටර් රථය. බොහෝ සංචාරකයන් මොනකෝ වෙත එන්නේ පාර දිගේත් ප්‍රදර්ශනාගාරවලදීත් සුපිරි මෝටර් රථ දැක ගැනීමටය.
මොනකෝ යයි කී විටම අපට සිහියට නැගෙන්නේ ද වාර්ෂිකව එහි පැවැත්වෙන ෆෝමියුලා වන් තරගය. එහි ධාවන පථය බොහෝ අනතුරුදායකය. ඇතැම් තැනක මාරක වංගුය. තවත් තැනක බිම්ගෙවල් මෙන් තනා ඇත. නගර මධ්‍යයේ පැවැත්වෙන මේ තරග ලෝක ප්‍රකටය.
ඈතට නෙත් යොමු කළවිට පෙනෙන්නේ නිල්වන් මධ්‍යධරණී මුහුදු වෙරළට යාබදව එහෙත් තරමක් උස කඳු ගැටයක තනා ඇති සුවිශාල මන්දිර පෙළයි.
අනෙක් පසින් දැකගත හැක්කේ මොනකෝ මාලිගයයි. එය ද කඳු ගැටයක් මත පිහිටා ඇති නිසා නගරයේ සිට බැලූවිට පැහැදිලිව දැකගත හැකිය.
මොනකෝ හි පුරවැසියන් අතර ෆෝමියුලා වන් තරගකරු ලුවිස් හැමිල්ටන්, සුප්‍රකට ටෙනිස් තාරකාවක් වන නොවැක් ඩිජෝකොවික්, ටීන් ග්‍රීන් ආර්යාව බොහෝ ප්‍රකටය.
මාලිගය නැරැඹීමට යාමට අප උත්සාහ කළ ද එයට යන මාර්ගය දැනගත නොහැකි වූ නිසා පාරේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික පෙනුමක් ඇති හොඳින් හැඳ පැලඳගත් පුද්ගලයකුගෙන් විමසීමු.
අප සිටියේ ඔහුට ඉංග්‍රීසි භාෂාව අපහසු වේ යැයි සිතාය. මන්ද ප්‍රංශයේ බොහෝ විට ඉංග්‍රීසි භාවිතය අඩු බැවිනි.
එහෙත් ඔහු ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කළේය. ඔහු කීවේ මාලිගය නැරැඹීම සඳහා පා ගමනින් යෑම අපහසු බවත් ඒ සඳහා බස් රථයක නැගී යා යුතු බවත්ය. බැසිය යුතු නැවැතුම ද ඔහු අපට කීවේය.
මොනකෝහි භාවිත වන නිල භාෂාව ප්‍රංශය. ඒ හැරුණු විට මොනගැස්ක් භාෂාව ද ඉතාලි හා ඉංග්‍රීසි ද භාවිත වෙයි. අපි තවත් මඳක් දුර ඇවිදවිත් බස් රථයට නැඟුණෙමු.
මොනකෝහි සුඛෝපභෝගී බස් රථ කිහිපයක්ම ගමන් කෙරේ. මෙහි ප්‍රවේශපත්‍ර ගාස්තුව ලෙස අය කෙරෙන්නේ එකම මුදලකි. කොතැනකට ගියත් මුදල වෙනස් නොවේ.
යුරෝපයේ සහ බොහෝ දියුණු රටවල මෙන් මෙහි ද ප්‍රවේශ පත්‍ර නිකුත් කරනුයේ රියැදුරු විසිනි.
මාලිගය නැරැඹීම සඳහා යයි අප රියැදුරාට පැවැසූ විට ඔහු කඳු ගැටය පාමුල නැවැතුමේ බස් රථය නැවැත්වීය.
එහි පසෙක සැණකෙළියකි. එහෙත් සැණකෙළිය පටන් ගන්නේ සැන්දෑ වරුවේය. දැන් තවමත් දිවා ආහාර වේලාවයි. අපි නිවසින් පිළියෙල කරගෙන ආ සැන්ඩ්විච් ආදිය මුහුදු තීරයේදී කෑමට ගත්තෙමු.
මාලිගය නැරැඹීමට පඩිපෙළ දිගේ ඉහළට නැගිය යුතු විය. තුරු වදුළු මැදින් නැග යා යුතු පඩි ගණන තුන්සියයකට වැඩි යයි සිතමි.
ශීත ඍතුව එළැඹ තිබුණ ද ඉතාලියේ දී මෙන් දැඩි ශීතලක් නොදැනිණි. ඉහළට ශීතලේ ගමන් කිරීමෙන් සිරුර උණුසුම් වන්නට විය.
මාලිගා භූමියේ සංචාරකයෝ පිරී සිටියහ. එය ද එකම සංචාරක පාරාදීසයකි. මොනකෝ හි වත්මන් පාලකයා දෙවැනි ඇල්බට් කුමරුය. ඔහු ඉපදී ඇත්තේ 1958 මාර්තු 14 වැනිදාය. වයස අවුරුදු 62කි. ඔහු මොනකෝ හි තුන්වැනි රේනියර් කුමරුගේ සහ සුප්‍රකට හොලිවුඩ් නිළියක වූ ග්‍රේස් කෙලීගේ එකම පුතුය.
දෙවැනි ඇල්බට් කුමරු ලෝකයේ ධනවත්ම රාජකීයකු ලෙස සැලැකෙයි. ඔහු දකුණු අප්‍රිකානු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාවක වන චාලින් විට්ස්ටොක් සමඟ විවාහ වූයේ 2011 දීය.
මොනකෝ මාලිගය දෙවැනි ඇල්බට් කුමරුගේ නිල නිවහනය. 1191 දී මෙම මාලිගය ඉදිවී ඇත්තේ බලකොටුවක් ලෙසටය. 13 වැනි සියවසේ පටන් එය ග්‍රිමැල්ඩි පවුලේ වාසස්ථානය විය.
19 වැනි, 20 වැනි සියවස්වල දී මේ මාලිගය විචිත්‍රවත් බවේ සංකේතය බවට පත්විය. 1956 දී හොලිවුඩ් නිළි ග්‍රේස් කෙලී මෙම මාලිගාවේ කුමරිය බවට පත්වූ විට එය විචිත්‍රවත් යථාර්ථයක් බවට පත්විය. ඇත්තෙන්ම මොනකෝ මාලිගය පිළිබඳ වෙනම ග්‍රන්ථයක් ලියන්නට තරම් පැරැණි ඉතිහාසයක් තිබේ.
පෞරාණික බවත් එහි ඇති ගෘහ නිර්මාණ ශිල්පයත්, එමෙන්ම එය පිහිටා ඇති ස්ථානයේ දර්ශනීයත්වයත් දැකගනු රිසියෙන් බොහෝ සංචාරකයෝ මාලිගා භූමියේ රැඳී සිටිති.
ධන කුවේරයන් වෙසෙන ඉසුරුමත් රාජ්‍යයක් වුවත් දිවා කාලයේ දී එය පාළු ස්වභාවයක් උසුලයි. මිනිසුන් ඔබමොබ ඇවිද යන්නේ ඉඳහිටය. ඔවුහු ඉතා ආකර්ෂණීය ලෙස හැඳ පැලඳ සිටිති.
ආභරණ, ඇඳුම්, පැලඳුම් පිරි සාප්පු තිබුණ ද ඒවායේ මිලදී ගැනීම් සඳහා බොහෝ දෙනා සහභාගී වන්නේ කාණ්ඩ වශයෙන් නොවේ. ඒවා මිල අධිකය.
මොනකෝ රාජ්‍යයෙහි මොනකෝ අගනගරය වන අතර බොහෝ විට අප අසා ඇති මොන්ටිකාලෝ මොනකෝ හි පරිපාලනමය ප්‍රදේශය ලෙස හැඳින්වේ.
එමෙන්ම මොන්ටිකාලෝ වඩාත්ම ප්‍රකටව ඇත්තේ කැසිනෝ සඳහාය. එමෙන්ම ප්‍රකට සංචාරක හෝටල් රැසක් ඇති ප්‍රදේශයක් වෙයි. එමෙන්ම ලෝකයේ සුප්‍රකට නළු නිළියන් ගැවැසෙන ස්ථානයක් ද වෙයි.
(කොරෝනා වසංගතයට පෙර සහභාගි වූ මෙම සංචාරයට ඉතාලියේ පදිංචි ජනමාධ්‍යවේදී ප්‍රසාද් සම්පත් ජයසිංහ ලබාදුන් අනුග්‍රහය කෘතවේදීව සටහන් කරමු.)
රොඩ්නි විදානපතිරණ