ලෞකික - ලෝකෝත්තර සැප ලබන මග


ධර්ම ගවේෂී

මෙතෙක් අප විසින් සම්පාදනය කළ ලිපි පෙළ අධ්‍යයනය කළ ඔබට සරණාගමනය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ඇතැයි සිතන්නෙමු. සරණාගමනය පිළිබඳව ඉගෙනගනු ලබන අයෙකු අනතුරුව සරණාගමන විභාවනාව පිළිබඳව දැනගත යුතුය. සරණාගමන විභාවනාව නම් සරණාගමනයෙහි භේදාභේදය, ඵලය, යා යුතු බව පිළිබඳව දැනගැනීමයි. සරණාගමනයට පත්වන අයෙකු විසින් දැනගත යුතුම තවත් විශේෂ කරුණක් වශයෙන් මෙය හැඳින්විය හැක. සරණාගමනයට පත්වූ අයෙකුගේ සරණාගමනය බිඳීම ආකාර දෙකකින් වේ. එනම් සාවද්‍යක සරණාගමනය හා අනවද්‍ය සරණාගමනයෙනි. සාවද්‍යය සරණාගමනය අන‍්‍ය ශාස්තෘන් වහන්සේ කෙනෙකුන් සරණයාමෙන් හෝ අන්‍ය ආකාරයන්ගේ පැවතීම හේතුවෙන් සිදු වේ. අනවද්‍ය සරණාගමනය කාලක්‍රියාවෙන් හෙවත් මෙම ජීවිතයේදී මරණයට පත්වීමෙන් සිදු වේ. මෙසේ ඉහත දැක්වූ ආකාරයෙන් පෘථග්ජන සත්වයාගේ සරණාගමනය බිඳී යන ප්‍රධාන හේතු දෙකක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට තිබේ. මෙම ආකාරයන් ආර්යන් වහන්සේලා කෙරෙහි නොයෙදෙන අතර ආර්ය්‍ය භූමියට නොපැමිණි පෘථග්ජනයන් කෙරෙහිම දක්නට ලැබෙන්නකි. පෘථග්ජන සත්වයාගේ සාංසාරික ස්වභාවයන් අතුරෙන් එක ලක්ෂණයක් නම් අන්‍ය ශාස්තෘන් වහන්සේලාගේ මුහුණ බැලීමයි. එනම් සම්මා සම්බුද්ධ ශාසනයෙහි බුදුරජාණන් වහන්සේ සරණ ගොස් එම ශාසනයෙන් පිහිටක් ලබාගැනීම පසෙක ලා වෙනත් වෙනත් අන්‍ය ශාස්තෘන් වහන්සේලාගෙන් පිහිටක් බලාපොරොත්තු වෙමින් කටයුතු කිරීමට උත්සාහවත් වීමයි.   


මේ කාරණය නිසා බුද්ධ ශාසනයෙහි යමෙක් සරණාගමනයට පත්වීද එම සරණාගමනය භේදනය වීමට හේතු කාරණා සැකසේ. එසේම යමෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ආකාරයට විරුද්ධව කටයුතු කරන්නේද එම හේතුව නිසාත් සරණාගමනය භේදනය වේ. යමෙකුට බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ පිළිබඳව අනවබෝධයක් වේද ඒ හේතුවෙනුත්, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව සැක කිරීමෙනුත්, නොදැකීමෙනුත්, මිත්‍යාව ඥානයෙන් යුක්ත වීමත්, අනාදරයෙන් සේවනය කිරීමත් නිසා මෙම තත්වය ඇතිවේ. මේ සඳහා වටිනා උදාහරණ රාශියක් ත්‍රිපිටකයෙහි දක්නට ලැබෙන අතර සුනක්ඛත්ත තෙරුන් වහන්සේගේ සාසනය හැර යෑම මෙහිදී දැක්විය හැක. සුනක්ඛත්ත තෙරුන් අප බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායකයෙකු නොමැති කාලයෙහි උපස්ථාන කළ එක් භික්ෂුවකි.  


 උන්වහන්සේ තමන්ට භාග්‍යවතුන් වහන්සේ විසින් ඉර්ධි ප්‍රතිහාර්ය නොදැක්වූයේ යැයිද ලෝකධාතුව හටගත් ආකාරය දේශනා නොකළේයැයිද තමන්ට දිබ්බ සෝතය උපදවා ගැනීමට කමටහන් ලබා නොදුන් බවද කියමින් හේතු කාරණා රහිතවම දෝෂාරෝපණය කොට නිගන්ඨ ශාසනයෙහි ශ්‍රාවකයෙකු බවට පත්වූ ආකාරය සුනක්ඛත්ත සූත්‍රය, මහා සීහනාද සූත්‍ර වැනි සූත්‍ර දේශනාවන්හි විස්තර කොට තිබේ. අන්‍ය ශාස්තෘන් වහන්සේලා හමුවෙහි නිවන් මග සෙවීමත්, බුදුගුණ පිළිබඳව අවිශ්වාසයත්, මන්දප්‍රඥා සහිතයෙකු වීමත්, ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයෙකු වීමත්, ප්‍රතිවේධ ශාසනයෙහි නොයෙදීමත් ආදී විවිධ කරුණු බලපෑමෙන් සුනක්ඛත්ත තෙරුන් උපැවිදි වී නිගන්ඨ ශ්‍රාවකයෙකුව සරණාගමනය නැතිකර ගැනීමෙන් අනතුරුව කල්පයක් පැසෙන අවීචි මහා නරකයෙහි උපන්නේය. යමෙකුට සසර විමුක්තියට මෙන්ම සුවපත් සසර ගමනක් පිණිස සරණාගමනය එතරම් වටිනාකමක් ගෙන දෙන්නේය. එම සරණාගමනය අහිමිකර ගැනීමත් තුනුරුවන්ට නිග්‍රහ කිරීමත් මහත් කටුක තියුණු විපාක ගෙන දීමටත් සමත් වන්නේය. බෞද්ධ අබෞද්ධ සියල්ලෝ මේ කාරණය පිළිබඳව මනාව පිහිටිය යුතුමය. අනවබෝධය නිදහසට විකල්පයක් නොවන්නේය. 

 
පෘථග්ජන සත්වයාගේ සරණාගමනය මරණයෙන් අවසන් වන අතර ආර්ය භූමියට පත් ආර්යයන් වහන්සේලාගේ සරණාගමනය එසේ නොවේ. අනතුරු භවගාමීත්වය පිණිසද පවතී. යම් භවයක උන්වහන්සේලාගේ ස්කන්ධ පරිනිර්වාණය වේද ඒතාක්ම මාර්ගඵල ලාභීන්ගේ සරණාගමනය භේදනය නොවේ. සසර විමුක්තිය කෙළවර කොට පවතී.   


 ආර්යයන් වහන්සේලාගේ අනවකාශ ලක්ෂණ විග්‍රහ කරන අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අට්ඨාන පාළියෙහි එන කරුණු විසි අටෙහි ආර්ය භූමියට පත් ආර්යන් වහන්සේ කවර හේතුවක් නිමිති කොටගෙන හෝ අන්‍ය ශාස්තෘන් වහන්සේ කෙනෙකුන් සරණ නොයන්නේය, එනමුත් පෘථග්ජන සත්වයා ඕනෑම අවස්ථාවකදී අන්‍ය ශාස්තෘන් වහන්සේ කෙනෙකුන් සරණයා හැක්කේය’ යනුවෙන් දේශනා කර ඇත. සාවද්‍ය සරණාගමනය තුළ සරණාගමනය බිඳීමද සරණාගමනය කිලිටි වීමද අනිෂ්ට ප්‍රතිඵල ගෙන දේ. අනවද්‍ය සරණාගමනය අවිපාක වන බැවින් නොබිඳුණු බැවින් ඒකාන්ත වශයෙන්ම ඉෂ්ට කාන්ත මනාප සැප ආනිසංස ලබා දේ.  


 මහාසමය සූත්‍ර දේශනාවේ සඳහන් වන ‘යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං, පහාය මානුසං දේහං දේවකායා පරිපූරෙස්සන්ති’ යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියේද ඔවුහු අපායගාමී නොවන්නේය, මානුෂීය කය අත්හැර මියපරලොව යෑමෙන් අනතුරුව දේව නිකායන්හි උත්පත්තිය ලබන්නේය යනුවෙන් දේශිතය. බුදුරජාණන් වහන්සේ යන යමෙක් වේද උන්වහන්සේ සරණ යා යුතුය යන අදහස ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යන ප්‍රකාශයෙන් ගම්‍ය වේ. බුදුරජාණන් වහන්සේම මට සරණයි, පිහිටයි. සියලු‍ දුක් නැසූ බැවින්ද සියලු‍ දුක් නසන ප්‍රතිපදාව දේශනා කරන බැවින්ද උන්වහන්සේ සේවනය කරමි, භජනය කරමි යන අර්ථයෙන් යමෙක් භාග්‍යවතුන් වහන්සේ සරණ යා යුතුය.   


මහත් ශ්‍රද්ධාවෙන් හා බුදුරජාණන් වහන්සේ තමන් අභිමුව සම්මුඛීභාවයෙන් වැඩවෙසෙන බව සිතෙහි තබාගෙන සරණාගමනයට පැමිණීමෙන් මහත් ආනිසංස ලැබේ. මෙවැනි ආනිසංස ලැබූ උතුමන්ගේ කථා වස්තූන් රාශියක් අපදාන පාළියෙහි සඳහන් කර ඇත. සුමංගල තෙරුන් වහන්සේගේ අපදානයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිකරගත් ශ්‍රද්ධාවෙන් ලබාගත් ආනිසංස පැහැදිලි කරගත හැක.   


දෙවි මිනිසුන් අතර උත්තම භාවයට පත්වූ අත්ථදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මෙම තෙරුන් වහන්සේ වෘක්ෂ දේවතාවෙකුව උත්පත්තිය ලබා සිටියේය. දිනක් උදෑසනම අත්ථදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී බුද්ධ කාය සම්පත්තිය පිලිදැඟු‍ම් කරණු පිණිස උන්වහන්සේ වැඩමකොට සිටින විහාරය අසල පිහිටි පොකුණක් සමීපයට වැඩම කළ සේක. එසේ වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ ශරීරය පිලිදැඟු‍ම් කොට පැන් වළඳා පොකුණු තීරයට වැඩම කොට තමන් වහන්සේගේ හඳනය හැඳ ශ්‍රී බුද්ධ දේහය මඳ පවනින් වියැළෙන්නට ඉඩහරිමින් වැඩහුන් සේක. එම පොකුණ සමීපයෙහි වූ ගසක වෘක්ෂන දේවතාවෙකුව උපත ලබා සිටි මම උන්වහන්සේගේ ශරීරයෙන් නික්මෙන කිණිහිරියා පුෂ්පයන්ගේ වර්ණයෙන් යුතු පැහැයෙන් මාගේ දිව්‍ය විමානය නැහැවී යනු දැක පිටතට පැමිණියෙමි. පැමිණ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මාගේ සිතෙහි හටගත් මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදජනක සිතින් මහත් හඬින් යුක්තවම අත්පොළසන් දුන්නෙමි. නැටුම් ගැයුම් වාදනයෙන් උන්වහන්සේට මහා පූජාවන් කළෙමි. මෙසේ කරන ලද පුණ්‍ය කර්මයේ ආනිසංස වශයෙන් නැවත උපදනා දිව්‍ය මනුෂ්‍ය උපතක් වේද ඒ සෑම අවස්ථාවකම සියලු‍ දෙවි මිනිසුන් ආයුෂයෙන්ද වර්ණයෙන්ද බලයෙන්ද සැපයෙන්ද ප්‍රඥාවෙන්ද යසසින්ද පරිවාර සම්පත්තියෙන්ද ඉක්මවා සිටියෙමි.   


 ‘නමෝ තේ පුරිසාජඤ්ඤ   
නමෝ තේ පුරිසුත්තම,   
 අත්තානං තෝසයිත්වාන   
පරේ තෝසේසි ත්වං මුනේ’   


පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා! පුරුෂෝත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා! සර්වඥයන් වහන්ස ඔබ වහන්සේ තමන් වහන්සේද සතුටට පත්වෙමින් අන්‍යයන්ද සතුටට පත් කරවන සේක.   


මානාවූ සීලාදී ගුණස්කන්ධයෙන් යුක්ත වූ උන්වහන්සේට ප්‍රසාදජනක සිතින් යුක්තවම නමස්කාර කොට උපස්ථාන කොට උන්වහන්සේ පිරිවරා සිට කළාවූ එම පිනෙන් තුසිත දෙව්ලොව ප්‍රතිසන්ධිය ලැබුවෙමි. මෙයින් මහා කල්ප එක්දහස් හයසියයකට පෙර කරන ලද පුණ්‍යකර්මයේ විපාකයක් ලෙස ඒක චින්තීත නමින් යුක්ත සක්විති රජවරුන් අතරින් එක් අයෙකු ලෙස උපත ලැබුවෙමි. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙහි එම පිනෙහි ආනිසංස වශයෙන් මහරහත් භාවයට පත්වීමි. සතර පටිසම්භිදා, අෂ්ට විමොක්ෂයෝද අධිගමනය කරන ලදී. අභිඥාවෝ සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් සිදුකරන ලදී යනුවෙන් දේශනා කරන ලදී.   


දුතිය සරණාගමණීය තෙරුන්ගේ අපදානහිද සරණාගමනය පිළිබඳව වැදගත් විස්තරයක් සඳහන් වේ. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට මහා කල්ප ලක්ෂයකට පෙර ලෝකයට අනුකම්පාවෙන් පහළ වූ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා මහානුභාව සම්පන්න දෙවිවරුන් දෙදෙනෙකු අතර මහා යුද්ධයක් වූහ. ගණනය කළ නොහැකි තරම් දෙවියෝ යුධ පිණිස පෙරමුණට රැස් වූහ. මහා ඝෝෂාවක් විය. එම යුධ පිටියට ලෝක සත්වයින් කෙරෙහි මහා කරුණාවෙන් වැඩම කළ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ඝන අන්ධකාරයක් ප්‍රථමයෙන් මැවූ සේක. එම අන්ධකාරය දුටු දෙවියෝ මහත් බියට සන්ත්‍රාසයට පත් වූහ. අනතුරුව එම දෙවි පිරිසට තමන් වහන්සේ දර්ශනය කළ භාග්‍යවතුන් වහන්සේ සියලු‍ දෙනා දමනය කළ සේක. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දුටු සියලු‍ දේවතාවෝ තමන්ගේ අත්වල තිබූ සියලු‍ම ආයුධ බිම දැමූහ. බොහෝ සතුටට පත්වූ දේවතාවෝ බුදුරජාණන් වහන්සේ දෙසට නමස්කාර කරමින් සිටියහ. බුදුරජාණන් වහන්සේ අපට මෙසේ ධර්මය දේශනා කළ සේක. 

 
පදුට්ඨචිත්තෝ මනුජෝ   
ඒක පාණං විහේඨයං   
තේන චිත්තප්පදෝසේන   
අපායං උපපජ්ජතී   


‘දූෂණය වූ සිතින් එකම ප්‍රාණියෙකු හෝ නසන්නේද එසේ දූෂණය වූ සිත් ඇති ඔවුහු අපායෙහි උපත ලබන්නේය‘ යනුවෙන් දේශනා කළ එම වචනය අසා විශ්මයට පත් එම සත්වයෝ සරණාගමනයට පැමිණියහ. සියලු‍ සත්වයන් අපායෙන් ගොඩගත් බුදුරජාණන් වහන්සේ දෙවියන් බලා සිටියදීම උතුරු දිශාභිමුඛව වැඩම කළ සේක. තාදී ගුණයෙන් යුක්ත වූ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුව සරණයාමෙන් යම් පිනක් සිදුකර ගත්තේද එම පින් බලයෙන් මහා කල්ප ලක්ෂණයක් යන තෙක් සතර අපායෙහි නූපන්නෙමි. තිස්දහස් වන කල්පයෙහි දුන්දුභී නමින් හඳුන්වනු ලැබූ සක්විති රජවරුන්ගෙන් අයෙකු වීමි. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙහි එම පිනෙහි ආනිසංස වශයෙන් මහරහත් භාවයට පත්වීමි. සතර පටිසම්භිදා, අෂ්ට විමොක්ෂයෝද අධිගමනය කරන ලදී. අභිඥාවෝ සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් සිදුකරන ලදී යනුවෙන් දේශනා කරන ලදී.   
මෙම ධර්ම කාරණාවන් පිළිබඳව සලකා බැලීමෙන් අපට යමෙකු බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ නම් එම පුද්ගලයාට කොතරම් ලෞකික ලෝකෝත්තර වශයෙන් පිහිටක් ළඟාකරගත හැකි වන්නේ දැයි ඔබට පැහැදිලි වනු ඇත. එම නිසා සියලු‍ දෙනාම මහත් ගෞරවයෙන් ආදරයෙන් ගුණ දැන පැහැදීමෙන් යුක්තවම බුදුරජාණන් වහන්සේ සරණ යා යුතුය. මීළඟ ලිපි මගින් අප ඔබට ධර්ම රතනය හා සංඝ රතනය සරණ යෑමෙන් ළඟාකරගත හැකි ආනිසංස පිළිබඳව කියා දීමට බලාපොරොත්තු වන අතර මෙම ධර්ම කාරණා ඔබ සියලු‍ දෙනාටම ධ්‍යාන මාර්ගඵල අවබෝධයටම උපනිශ්‍රය වේවායි! මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.