- කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා ය. පිරිමි ක්‍රීඩකයින්ට සාපේක්ෂව කාන්තා ක්‍රීඩිකාවන් මෙහෙය වීම මොන වගේ ද? ඔහු ඒ මෙහෙයවීම කරන්නේ කෙසේ ද ? කාන්තා ක්‍රීඩිකාවන්ගේ විනය හදන්න ඔහු කළ දේ කුමක් ද?
ඩිසිප්ලීන් හෙවත් විනය කියන දේ වසර 36 ක මගේ නාවික හමුදා ජීවිතයෙන්ම ආ දෙයක්. හැබැයි මේ ක්‍රීඩිකාවන්ට මට ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නැහැ. එයාලා හරි දේ හරි විදිහට කරන්න දන්නවා. සාමාන්‍යයෙන් තරග සංචාරයකට හෝ තරගාවලියකට පෙර අපි සාකච්ඡාවක් පවත්වනවා. හැබැයි එහිදී අපි කතා වෙන්නෙ විනය ගැන මාතෘකා කරගෙන නෙවෙයි. සාමාන්‍ය දැනීම ගැන, ලෝකයේ සිදුවීම් ගැන, වගේම සමාජයෙන් අපට ගත හැකි දේ ගැන අපි බොහොම සුහදව දැනුම හා අදහස් බෙදා හදා ගන්නවා. එයාලගේ විනය කියන දේ අද ඊයේ හැදූ දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ තිබූ දෙයක්.
අපි කරන්නෙ එය නැවුම් කිරීමක් විතරයි. රටක් නියෝජනය කරන නිසා ක්‍රීඩා කරද්දී වගේම ඉන් පිටත බාහිර සමාජයේදීත් විනය හරි වැදගත්. අපි හිතමු අපි තරග සංචාරයක් අතරතුරදී නතරවෙලා ඉන්නෙ හෝටල පරිශ්‍රයක කියලා? අඩු තරමින් නාන කාමරයේදී පාවිච්චි කරන සෙරෙප්පු එළියේදී දාන්න බැහැ, ආර්ම් කට් එකක්වත් අඳින්නෙ නැහැ. හොඳයි-නරකයි යනුවෙන් සාපේක්ෂ වු දෙයක් තියෙනවනෙ. හැබැයි හරි-වැරැද්ද කියන දේ සාපේක්ෂ නැහැ. වඩා වැදගත් වෙන්නෙ සවිඥානිකව වැඩ කිරීමයි. මේ කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් ගෙන් බහුතරයක් හමුදා සේවයේ නිරත අය.
ඒ නිසා එයාලා ටීම් එකට එනකොටම විනයක් ඇතිව ඒම නිසා අපට එය වඩා පහසුවක් වී තිබෙනවා. චමරි පවා කාලයක් ක්‍රීකට් ක්‍රීඩා කළේ යුද හමුදා ක්‍රීඩා සමාජයට. මේ විදිහට සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට අපි කියන්නෙ නවක ක්‍රීඩිකාවන් හදා ගෙන ඒ ඔවුන් ලැබූ යහපත් දේ ඔවුනට කියාදෙන්න කියලයි. මොන පළාතෙන්, මොන පාසලෙන් ආවත් විනය හැමෝගෙම එක විදිහට තිබිය යුතුයි. ක්‍රීඩා තරුවක් කියන්නෙ රටක් නියෝජනය කරන නිල නොලත් තානාපති චරිතයකට සමානයි.
ඒ නිසා ඒ අවබෝධය තිබීම ඉතා වැදගත්. ඒ වගේම රටින් රට සංචාරවලට යද්දී අපි ඒ-ඒ රටවල සංස්කෘතීන් ගැන දැන සිටීමත් වැදගත්. එවිට සමාජයක ගරුත්වයෙන් ජීවත්වීම වගේම ඒ ඕනෑම සමාජයකට ගරු කිරීම ආත්මයෙන්ම දැනෙන දෙයක්. ඒ අපි ඒ ගැනත් මේ ක්‍රීඩිකාවන්ට කියා දෙනවා. එයාලා ඇත්තටම ඒ සියල්ල ගැන අවබෝධයෙන් සිටින්නෙ.
සඳුන් ගමගේ