වයඹ පළාතේ පළමු ජනපදය


පසුගිය සතියෙන්


එම සටනේදී කඩු ප්‍රහාරයකට ලක්වී සිටියත් සතුරන් පරාජය කළ හෙයින් විජයබා රජුගෙන් ගම්වරයක් සම්මානයක් පිරිනමන ලදී. කුලවතා නවයක රජගෙට කරන සේවාකම්ද කාරියසේකර මෞර්යට පවරා දසගම් නායකත්වයට උසස් කරන ලදී. සේනාපති තනතුරක්ද පිරිනමා රාජධානියේ නැගෙනහිර කඩවත ලෙසට නම්කර දෙවොල් කඩුල්ල මායාදුනු සේනාව නවතන ලදී.   


කාලිංග මාඝ ආක්‍රමණය නිසා පොළොන්නරුවෙන් බැහැර වී ගිය උගත් වියත් මහතෙරවරු අතර ගලතුරුමූළ (සේලන්නරමූල) ගණදෙටු සංසරක්ෂිත මාහිමියන් ශිෂ්‍ය සුමංගල තෙරසාමීන් ප්‍රධාන දස නමක් මීවැව කඩවත ආරක්‍ෂක මායාදුනු සේනාංකයෙන් විමසා කාරියසේකර සෙන්පතිගේ අනුග්‍රහයෙන් මහසෙන් රජු කරවූ සෙලගුමඩ විහාරයේ නේවාසික වූහ. තුන්වැනි විජයබාහු රජුද රාජ්‍ය නිලධාරින් සමග පැමිණ සියලු විහාරාංග සම්පූර්ණ කර මනරම් ආරණ්‍යයක් බවට පත්කර පූජා කරන ලදී. උන්වහන්සේලාට සුවාසු දහසක් ධර්මස්කන්ධයට අයත් ග්‍රන්ථ සම්පාදනය කරන ලෙසට ආරාධනා කර සියලු පත්‍ය පහසුකම්ද සපයන ලෙසට ශීලා ලේඛනයක්ද පිහිටුවන ලදී. 

 

 

විජයබා කුමරු අභිෂේක නොලබාම මේ සියලු කාර්යන් සිදුකළ බව පැහැදිලි වන්නේ. එතුමා දෙවනුව සුමංගල හිමියන් වෙත පැමිණ සංඝරක්‍ෂිත හිමියන් කොහේදැයි විමසා ජම්බුද්වීපයෙන් වැඩමවා ගෙන, දඹදෙණිය අගනුවර, පිහිටුවන ලද විජසුන්දරාරාම විහාරයේ නවතා දළදා වහන්සේ භාරව සිටි වාචිස්සර හිමියන්ද ගෙන්වා, කොත්මලේ සඟවා තැබූ දළදා වහන්සේ දෙක දඹදෙණියට පුද පෙරහරින් වැඩම කරවා සියලු භික්ෂූන්ට හා මහජනතාවට ප්‍රදර්ශනය කර අභිෂේක උත්සවය පැවැත්වීය. සංඝරක්‍ෂිත හිමියන්ට සංඝරාජ ධුරය (මහාසාවි) පිරිනමා පිරිබණද පිහිටුවන ලදී. එහි භික්‍ෂූන්ට පමණක් නොව රාජ කුමාරවරුන්ට ද භාෂා සාහිත්‍ය අධ්‍යාපනය ලබාදෙන ලදී. 

   
යාපහුවේ 1 වැනි බුවනෙකබාහු රජුගේ පුත් දෙවැනි බුවනෙකබාහු තුන්වන පැරකුම්බා කුමරු පරාජය කර දළදා වහන්සේ ගෙන කුරුණෑගලට පැමිණ රාජධානිය පිහිටුවිය. කඩවත් රාජධානියේ ආරක්ෂාවට කඩවත් දහසක් ඇතිකර මීවැව මධුවාපි කඩවත කුරුණෑගල රාජධානියේ බටහිර කඩවත බවට පත්කර, ගලේ බණ්ඩාර දේවාලයක්ද කරවීය. දේවාලයේ පුද සත්කාර පැවැත්වීමට කලුගමුව ගමේ රාජ්‍ය බදු නිදහස් කර පවරණ ලදී. දේවාලයේ හා සේලන්තර මූල විහාරයේ සේවා කරන ලෙසට කුලසේකර දසරාජට පවරණ ලදී. ඔහුට සෙනෙවිරත් තනතුර දී කඩවත ආරක්‍ෂාවේ යොදන ලදී.   


දෙවන බුවනෙකබාහු රජුගේ පුත් හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු 1302 දී කුරුණෑගල රාජ්‍යත්වයට පත්විය. එතුමන් අභිෂේක කර වර්ෂයකට පසුව “බෝදාමාපාණන්” ඇති කළ වියවුල නිසා මධුවාපියේ ගණ දෙටු අනෝමදස්සි තෙරසාමින් ප්‍රධාන හික්‍ෂූන් වහන්සේලා මලය රටට වැඩම කළහ. නාගල මහරතන තෙරුන් වහන්සේ මැදවල විහාරයේ වැඩසිටි හෙයින් වසර දෙකක් එහි සිට පසුව මීවැව විහාරස්ථානයට ආපසු පැමිණ තිබේ. අනතුරුව මීවැව විහාරස්ථානයේ ගණදෙවු බවට පත්වූයේ උන්වහන්සේගේ ශිෂ්‍ය දීපංකර තෙරසාමින්ය. කුරුණෑගල හතරවන පැරකුම්බා රජතුමා චෝල දේශයෙන් පැමිණි භාෂා විශාරද අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් පාලි ජාතක දේශනා අසා පැහැදී උන්වහන්සේ රාජ ගුරු තනතුරේ තබා ජාතකට්ඨ කථාව සිංහලට නැගීමේ උත්සාහයක නිරත වුණි. 

 
වීරසිංහ ප්‍රතිරාජ ඇමැති හා පරාක්‍රම ඇමැතිතුමන් ඇතුළු විසිදෙනකුගෙන් යුත් මණ්ඩලයක් පත්කර මේධංකර තෙරසාවින් හා විල්ගම්මුල තෙරුන් ප්‍රධාන වියත් පත් අටගණයේ මහ තෙරුවරු හා ගෘහස්ථ පණ්ඩිත ජනයාද ඇතුළත් වන මණ්ඩලයට රාජ මාලිගය අසල විවිත්‍ර මණ්ඩපයක් කරවා ආහාර පාන පහසුකම් සලසා වැටුප්ද ගෙවා වසර තුනකින් සිංහල පන්සිය පනස් ජාතක පොත් වහන්සේ රචනා කරවන ලදී. මෙහිදී මධුවාපියේ සේලන්තර මූල විහාරයේ ගණදෙටු දීපංකර හිමියන්ද පර්වර්තන මණ්ඩලයට ඇතුළත් වූ හෙයින් රන් පන්හිඳක් මෙන්ම රන් නියනක්ද ත්‍යාග වශයෙන් පිරිනමා ගණේගොඩ ග්‍රාමය හා බැඳිගමුව යන ගම් පූජාකර ශිලා ලේඛනයක් පිහිටුවන ලදී.   


5 වැනි විජයබාහු රජුගේ පුත් 4 බුවනෙකබාහු ගම්පළ රාජධානියක් පිහිටුවා ගත් පසුද මධුවාපියේ සේලන්තර මූලායතනය පැවතුණි. පසුව බුවනෙකබාහු කුමරුගේ සොහොයුරු පරාක්‍රමබාහු ඈපා කුමරු ගම්පල රාජ්‍යය ලබා දැදිගම රාජධානිය කරගත් අතර මධුවාපි විහාරයේ සේලන්තර මූලායතනයේ පතිත්වය ලැබූ මෛත්‍රීය හිමි හා සංඝරක්‍ෂිත හිමිවරු ගම්පළ හා දැදිගම වාසය කළහ. එනිසා මධුවාපි විහාරයේ භික්ෂු වාසයෙන් තොරවිය.   


මෙහිදී මීවැවේ දසගම් මුදලි කාරියසේකර වීරසිංහ රාජපක්‍ෂ මුදලිතුමා දසගම් වාසීන් සමඟ රන්පන්හිඳ රන්නිය ඇතුළු වටිනා භාණ්ඩ ධාතු පෙති පද්ම සුරක්‍ෂිතව තබා ආරක්ෂා කරන ලදී.   


මේ අතර කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු ත්‍රීසිංහලය එක්සේසත් කිරීමේදී වන්නියාර්වරුන් සමඟ සටන් කර යටත් කරගැනීමේදී මීවැව ගබඩා ගමෙහි දසගම් මුදලි ශ්‍රී බෝධිවංශ කාරියසේකර දේවසිංහ යුද්ධයේදී උපකාර කළ හෙයින් කුලසේකර සෙනෙවියාට ජයකොඩි දසරාජ නම පටබැඳි සහෝදර දේවසිංහට පතිරාජ යන නම ලබාදුනි. විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා නොසිටි හෙයින්, පැපිලියානේ සුනෙත්‍රා මහා දේවින් වෙනුවෙන් ඉදි කළ පිරිවෙන් විහාරස්ථානයේ ගලතුරුමූල මංගල මහතෙරුන්ට ආරාධනා කර සිල්වත් ධර්මධර තෙර නමක් සමග පස්නමක් තෝරා ත්‍රිපිටක ධර්මය ලියමින් සිටි කොංඩඤ්ඤ තෙර නමින් ප්‍රධාන පස්නමක් මීවැවට එවන ලදී. පැපිලියාන විහාරයේ පොත්ගුලට පොත් ලිවීම කරන ලෙසත් විහාර ගුරු ශිෂ්‍ය පරපුරට අයත්වන ලෙසටත් සන්නස් ලියා පවරණ ලදී. බු.ව. 2030 වැන්නේදී කොංඩඤ්ඤ තෙරුන් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍ය අනුරුද්ධ තෙර සාමින් මීවැව අවලෝකන පබ්බත විහාරයේ ගණදෙටු බවට පත්වූහ. වීර පරාක්‍රමබාහු රජුගේ පුත් ධර්ම පරාක්‍රමබාහු බු.ව. 2038 දී කෝට්ටේ රාජ්‍යත්වයට පත්විය.   
එම අවදියේ බු.ව. 2048 වැනි වර්ෂයේදී පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේය. ධර්ම පරාක්‍රමබාහු රජුගේ සොහොයුරු මැණික්කඩවර රාජසිංහ හා ශක්‍රායුධ යන කුමාරවරුන්ගේ පුත් මායාදුන්නේ බණ්ඩාරට රජවාසලට අයත් මීවැව ගබඩා නින්දගම ඔහුට පවරා දුනි. දෙවිනුවර ශක්‍රායුධ කුමරු විජයබා නමින් කෝට්ටේ රජවිය. අවලෝකන පබ්බත විහාරයේ අනුරුද්ධ තෙර සාමීන්ගෙන් පසුව ශිෂ්‍ය සංඝරක්‍ෂිත මීවැව වැඩසිටියදී බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර, මායාදුන්නේ බණ්ඩාර යන කුමාරවරු කෝට්ටේ විජයබා රජ මාළිගය වටකොට රජු ඝාතනය කළේය. බුවනෙකබාහු කෝට්ටේ ද රයිගම් බණ්ඩාර රයිගම් පුරයේ ද මායාදුන්නේ කුමරු සීතාවක රාජ්‍යය පිහිටුවා ගත්තේය.   


මහනුවර යුගය දක්වාම වීවැව ජනපදය ප්‍රමුඛ පෙළේ ජනපදයක් ලෙස විරාජමාන විය.


වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනැමීමෙන් පසු තුන්වැනි ශිෂ්‍යයා ලෙස සලකන ලද්දේ ගිනිගත්පිටියේ සංඝරක්‍ෂිත හිමියන්ය. හත් කෝරළයේ ශාසන ව්‍යාප්තිය ඇතිකරලීම සඳහා උන්වහන්සේට සාමණේර අවස්ථාවේදීම පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බලත සහිත සන්නස් පත්‍රයක් පිරිනමන ලදී. වයඹ පළාතේ සියලුම සාමණේර හික්‍ෂූන් මැද්දෙපොළ වේරමුනේ විහාරය යවා නියමකන්දේ පිරිවෙණට සමාන භික්‍ෂු පුහුණු ආයතනයක් බවට පත් කෙරුණි. සහෝදර දීපංකර හිමියන්ද සහාය කරගෙන උදාර සායනික සේවයක් කර කැලණි විහාරය පවා ප්‍රතිසංස්කරණය කෙරුණි.   


මේ නිසා මීවැව විහාරස්ථානය 12 වැනි සියවස දඹදෙණිය රාජධානි සමයේ ගලතුරුමුල සංඝරක්ෂිත හිමියන් 8 වැනි විජයබා දෙවැනි පැරකුම්බා රජවරුන්ට අනුග්‍රහ දක්වා සිදුකළ සේවයට සමාන උදාර ශාසනික සේවාවක් 17 වන සියවසදී මේ දෙවැනි සංඝරක්‍ෂිත හිමියන්ගෙන් සිදු වුණා.   


මීවැව විත්තාපොත දෙවැනිවර සංස්කරණය කළ සන්දනගෙම සිද්ධාර්ථ හිමියන් සටහන් කරන පරිදි මහනුවර සියලු රජවරුන් මීවැව නින්දගම රජවරුන්ට අය බදු ගෙවන ලද නින්දගමක් ලෙසට පැවතුන අතර ගුප්ත කුමරුගේ පරපුර විවිධ තනතුරු ලබමින් වාසලට සේවාවන් සපයා තිබේ. පුවක්ගොල්ලේ දහනකගෙදර මොට්ටාලගෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රන් රිදී වරාගත් කස්ථාන ආදී සඟවා තැබුණ භාණ්ඩ රජු අත්අඩංගුවට ගත් පසු බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පැහැරගෙන තිබේ. 

 
මෙහිදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දෝලාවෙන් කොළඹට ගෙනයන අතර මීවැව නතර කර මීවැව ජනපදයේ ​මෞර්ය වංශික ප්‍රභූවරු 1819 වන විට ව්‍යාප්ත වී සිටි අයුරු පැහැදිලි වන්නේ රජුගේ ප්‍රකාශයෙනි.   
පුවක්ගොල්ලේ දහනකගෙදර මැණික්රාල මොට්ටාලට පවසන්නේ “අයියේ උඹේ වැඩිමාලු සහෝදරා පුවක්ගොල්ලේ දහනකගෙදර කලිගුරාල මම විශ්වාසවන්තව සිට පිළිමතලව්වේ හා රත්වත්තේට එකතුවී මට හදිකළ නිසා හිස ගසා දැම්මා”   


උඹලා එක්නැලිගොඩ වගේ හදි කළේ නෑ. උඹලා යහතින් ජීවත් වෙයල්ලා මිස් පස්සේ සිංහලේ රජ කෙනෙක්ද, මං නෑදෑයන්ට මගේ සලකපු කවුඩුලුන්නේ මොට්ටාල කන්දෙගෙදර මොට්ටාල හුරුක්ගමුවේ යක්කාවිට උඩුමුල්ලේ හංවැල්ලේ මුහමලේ මිරිහන්පිටියේ කිරිමැටියේ එකගිවත්තේ කලුන්දෑවේ ඔබේ නෑදෑයෝ මට හදි කරන්න උපකාර කළා.   


1815 පසුව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් බවට පත්වූ පසු මීවැව ජනපදයත් විහාරස්ථානයත් සුදු පාලකයන්ගේ අනුග්‍රහයක් නොමැතිව තනතුරු පදවි කිසිවක් නොදී විනාශ වී යාමට ඉඩ හැරිය අතර 1848 මාතලේ කැරැල්ලට සහයෝගය දුන් සියලු ප්‍රභූවරුන් ඝාතනය කර ඔවුන්ගෙන් ඔප්පු පවා පැහැර ගත් අතර භික්‍ෂූන් වහන්සේලා හා වටිනා විහාරස්ථාන ද විනාශ කර දමන ලදී. අපේ ඉපැරණි ජනපද සමග සියලු උරුමයන්ද විනාශ කර දමන ලදී.

 

 

ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක
පන්නල සුමේධ හිමි