වසර 61 පෙර මහනුවර ඇසළ පෙරහැරේ අලි කුලප්පුව


යටිනුවර වීදියේදී අලියා බැඳ තැබූ ලයිට් කණුව අවට එදා දසුනක්

 

දිනය 1959 වසරේ අගෝස්තු මස 19 වැනිද‌ාය. මහනුවර ඇසළ පෙරහැරේ අවසාන රන්දෝලි පෙරහැර වෙනද‌ාමෙන් ශ්‍රී දළද‌ා මාලිගාවෙන් නික්ම සන්සුන්ව ඉදිරියට ගමන් කරමින් තිබිණි. දළද‌ා වීදිය ඔස්සේ ගොස් යටිනුවර වීදිය දක්වාම ඉතා සන්සුන්ව ගමන් ගත් පෙරහැර යටිනුවර වීදියට හැරී මද දුරක් ද ගමන් කළේය.  


 දළද‌ා මාලිගාවේ පෙරහැරේ මුලින්ම ගමන් කළේ කොණ්ඩදෙණියේ අලියාය. ඊළඟට ගියේ මාලිගාවේ රාජාය. එදින කරඬුව වැඩම කරනු ලැබුවේ ‘කන්ද‌ා’ ඇතා නිසා මාලිගාවේ රාජා එසේ ගමන් කරනු ලැබිණි. ඉන්පසුව දම්බරාවේ අලියා සිටි අතර සිව්වැනි ස්ථානයේ සිටියේ එච්. බී. උඩුරාවන මහතාට අයත් ‘රාජා’ හස්තියාය. මාලිගාවේ ‘රාජා’ ට අමතරව උඩුරාවන ‘රාජා’ ද පෙරහැරේ ගමන් කළේය. 
 


යටිනුවර වීදියට හැරී මද දුරක් ගමන් ගන්නා විට උඩුරාවන ‘රාජා’ කුමක් හෝ හේතුවකින් කුලප්පු විය. මේ සමග පෙරහැර නරඹමින් සිටි මහ පිරිස හිස් ලූ ලූ අත දිව යන්නට පටන් ගත්හ. මර හඬ නංවමින් මිනිසුන් දිව යන ආකාරය දුටු පෙරහැරේ ගමන් කළ හේවිසිකරුවන්, නැට්ටුවන්, පන්දම්කරුවන් ආදී මෙකී නොකී පිරිස් තම හේවිසි, තම්මැට්ටම් හා ගිනිබෝල මාර්ගය මත දමා දිව යද්දී අලින් කිහිප දෙනකු ද දළද‌ා වීදිය දිගේ ආපසු දුවන්නට විය. යුද්ධ භූමියක සිරිය ගත් මෙම සිදුවීමේදී නගරයේ සිට වැල නොකැඩී රෝහල කරා ඇදෙන ගිලන් රථවලින් රෝහලට ගෙන එනු ලැබුවේ පැගී පොඩි වී ගිය මළකඳන් ය.  


පාලනය කරගත නොහැකි වූ ‘රාජා’ ට වෙඩි තබන්නට තීරණය කළේ ගැනීමට අන් කිසිදු පියවරක් නොමැති අවස්ථාවේදීය. ඒ සඳහා පැමිණියේ මහනුවර පොලිසියේ පොලිස් පරීක්ෂකව සිටි ටී.ජී. කරුණාරත්න මහතා සහ සාජන් බණ්ඩා ය. මේ පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා සිද්ධියෙන් පසුව ඒ පිළිබඳව කළ ප්‍රකාශයයි.  


‘‘ඒ වෙලාවෙ පොලිසියේ සිටි සාජන් බණ්ඩා ද කැටුව රයිෆල් දෙකක් ද රැගෙන මම අලියා කුලප්පු වූ යටිනුවර වීදියේ හන්දියට පැමිණියා. අපි එහි එනවිට අලියා එහි පහන් කණුවේ බැඳ සිටියා. කව්දෝ අලියාගේ දම්වැල ලිහා එය කෙටි කරන්නට පහන් කණුවට ළං කරන්නට උත්සාහ ගත්තා. එවිටම ඒ දෙසට හැරුණ අලියා ඒ තැනැත්තාට පහර දුන්නා. ඔහු දම්වැල බිම දමා එතනින් පැන දිව්වා. ඉන්පසුව අලියා යටිනුවර වීදිය දිගේ මද දුරක් දිවගොස් ආපසු ආවා. මේ අවස්ථාවේ අලියට වෙඩි තබන ලෙස එහි සිටි බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා සිටියා. තවත් සමහරු කිව්වේ වෙඩි තියන්න බැරි නම් ඒ අයට රයිෆලය දෙන්න කියා ඉල්ලුවා. නමුත් මම ඉක්මන් වුණේ නෑ. මම කලබල වී වෙඩි තැබුවා නම් ඒ වෙලාවේ අවට සිටි මිනිසුන් ද මියයන්නට ඉඩ තිබුණා. මම ඉලක්කය ගනිමින් වෙලාව එන තුරු හිටියා. කුරුමානම හොඳ තැනකට ආ පසුව මා අලියට වෙඩි තිබ්බා. වෙඩි කා දිව ගිය අලියා පසුපස ද අපි ලුහුබැන්ද‌ා. පසුව සොයිසා පටුමගේදී ඌ මියගියා.’’  


අලියා මියගිය ස්ථානය පසුව අලි මුඩුක්කුව ලෙස ප්‍රසිද්ධ විය. මියගිය අලියාගේ හිමිකරු වූ එස්.බී. උඩුරාවන මහතා පසුව මෙසේ ප්‍රකාශ කර තිබිණි.  


 ‘‘එද‌ා රාජාව පෙරහැරට රැගෙන ආවේ ගුන්නෑපානේ ඉඳලයි. පෙරහැරට ගෙන ආ යුතු නිසා අලියා බැඳ සිටියේ ගුන්නෑපානේ. එද‌ා පෙරහර ආරම්භයේදී මගේ ඇතා කිසිදු කලබලයක් හෝ චකිතයක් නැතිව පෙරහැරේ ගමන ආරම්භ කළා. මේ වගේ තත්ත්වයකට පත්වීමට තරම් ‘රාජා’ දරුණු තත්ත්වයට පත්වුණේ කුමක් නිසාදැයි මා දන්නේ නෑ. රැස්වී සිටි විශාල සෙනග කෑ කෝ ගැසීම නිසා අලියා කුලප්පු ​ෙවන්නට ඇතැයි හිතනවා.’’  


 එකළ දළද‌ා මාලිගාවේ දියවඩන නිළමේවරයා වූ සී.බී. නුගවෙල මහතා සිද්ධියෙන් පසුව මෙසේ අදහස් දක්වා තිබිණි. පසුගිය 19 වැනිද‌ා පැවැති දළද‌ා මාලිගාවේ ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැරේ මා ගමන් ගත්තා. සිරිත් පරිදි මුලින්ම ගමන් කරන දළද‌ා මාලිගාවේ පෙරහැරේ කරඬුව පිටුපසින් උඩරට නැට්ටුවන් කණ්ඩායම පෙරටු කරගෙන මම ගමන් කළා. පෙරහැර දළද‌ා වීදියට හැරී මුලින් ගිය ඇතුන් දෙදෙනකු පමණ එම වීදියට ඇතුළත් වූ පසුව ඉන් පසුව ගමන් කළ අලියා කුලප්පු වූ බව මට දැනගන්නට ලැබුණා. ‘‘රාජා කුලප්පු වෙලා’’ යැයි කවුදෝ කෑගසනවා මට ඇහුනා.  


 දළද‌ා මාලිගාවට අයත් ‘රාජා’ ද මේ පෙරහැරේ ගමන් කරමින් සිටි නිසා මා හිතුවේ මාලිගාවේ ‘රාජා’ කුලප්පු වී ඇතිය කියා. මගේ හිස ගිනිගත්තා සේ දැනුනා. මාලිගාවේ රාජා කුලප්පු වූවා නම් සිදුවිය හැකි විපාක මම හොඳින් දන්නවා. එද‌ා කරඬුව වැඩම කරවූයේ ‘කන්ද‌ා’ හස්තියා නිසා රාජා එදින නිදහසේ පෙරහැරේ ගමන් කළා. ඒත් පසුව දැනගන්නට ලැබුණා කුලප්පු වී තිබෙන්නේ ‘රාජා’ නැමැති වෙනත් අලියෙකු බව. ඒ මොහොතේ මම තරමක් සැනසීමට පත්වුණා.  

 

 මේ අවස්ථාව ​ෙවනවිට මිනිසුන්ගේ නොසන්සුන් බවත්, කෑකෝ ගැසීමත් ඉදිරිපසින් ඉතා දරුණු ලෙසින් ඇහුණා. අලියෙකු දෙන්නෙකු ආපසු හැරෙන ආකාරය ද දකින්නට ලැබුණා.  


එහෙත් මා ගමන් කළේ මාලිගාවේ පෙරහැරේ අගින්ම නිසා මේ කලබලය සිදුවූ කොටස මට හොඳින් පෙනුණේ නෑ. අලියාගේ කුලප්පුවීම ගැන ආරංචිය දැනගැනීමෙන් මොහොතකට පසුව, පෙර පන්දම් කාරයින් හා නැට්ටුවන් කීප දෙනකු ආපසු දුවනවා මම දැක්කා. ඒ අය අනුගමනය කරමින් පෙරහැරේ ගමන් කළ තවත් බොහෝ දෙනෙක් ඒ මේ අත දුවන්නට වුණා. මගේ ආරක්ෂාවට මගේ අවට සිටි ඇතැමෙක්ද දුවන්නට වුණා. දිවීමට වඩා ධාතු කරඬුව ආරක්ෂා කර ගැනීම මගේ එකම අධිෂ්ඨානය වුණා. මුළුමහත් බෞද්ධ ලෝකයාගේම මුදුන් මල්කඩ වූ සර්වඥධාතු කරඬුව ආරක්ෂා කිරීම මා සතු පරම යුතුකමක් ද වුණා. ධාතු කරඬුව රැගත් කන්දා ඇතා ළඟට මා හනික ගියා. කන්ද‌ාගේ දලය අල්ලාගෙන කලබලය අවසන් වන තුරුම හොඳින් හික්මවා ගත්තා. කෙසේ හෝ අපේ පෙරහැරේ ගාම්භීරත්වයත්, පෞරාණික සිරිත් විරිත් කිසිවක් කඩ නොවීමට වගබලා ගත්තා. අලි කුලප්පුව අවසන් වී පැය දෙකකට පමණ පසුව පෙරහැර නැවතත් සංවිධානය කර නියමිතව තිබූ මාර්ගයේ පෙරහැර ගමන් කරවීමට කටයුතු කළා. බොහෝ දුරක් ගමන් කළ මට අධික වෙහෙසක් දැනුන නිසා මාගේ ස්ථානය හැරිස් රත්වත්තේ මහතාට පැවරුවා. මට අසන්නට ලැබුණු අන්දමට පෙරහැර පිළියෙල කරන්නකුගේ ක්‍රියාවක් කලබලයට මුල් වී තිබුණා. පෙරහැරේ මිනිසුන් හසුරුවමින් යන කෙනෙකු ඇත්​ගොව්වන්ට අතින් තරවටු කර යටිනුවර වීදියේ හන්දියේදී පෙරහැර වමට හරවා ගමන් කරන ලෙස අණකර තිබෙනවා. ​මේ අවස්ථාවේදී සැනෙකින් පසෙකට හැරුණු අලියා ඒ අසල සිටි ඇත්ගොව්වාට පහර දී තිබෙනවා. ඉන් පසුව තවත් කීප දෙනෙකුට ද අලියා පහර දීමට උත්සාහ කර තිබෙනවා. මේ අවස්ථාවේදී ඇත්ගොව්වා එහි පැමිණි නමුත් අලියා මෙල්ල කර ගැනීමට ඔහුට නොහැකි වුණා. අලියා යටිනුවර වීදිය දිගේ යන්නට ද තැත් කර තිබෙනවා. පසුව අලියාගේ කරේ තිබූ දම්වැලක් බිම් දම්මවා ගත් ඇත්ගොව්වා අලියා පහන් කණුවේ බැන්ද‌ා. මේ වනවිට අලියා තරමක සන්සුන් වී සිටි නමුත් අසල සිටි පිරිස කෑ කෝ ගසන්නටත්, නොයෙක් දේ වලින් අලියාට ගහන්නටත් වීම නිසා තත්ත්වය තවත් දරුණු වී තිබෙනවා. එසේ නොවුනා නම් තවත් ඇතුන් දෙදෙනකු එහි ළංකර තිබුණු ඒ අවස්ථාවේ කුලප්පු වූ අලියා හෙමින් අයින් කිරීමට අවස්ථාව තිබුණා.  


 මෙවැනි අලි කුලප්පුවක් මින් පෙර කිසිද‌ාක ඇසළ පෙරහැරේ සිදුවූ බවක් මා අසා නැත. මහ දේවාලයේ මගේ පෙරහරේ ද මීට කලින් කිහිප වතාවක් අලි කුලප්පු ඇතිවූ නමුත් ඒවා දරුණු ​ෙවන්නට පෙර ඒ හැම වතාවකම නතර කර ගන්නට හැකිවුණා.   


මෙම අලි කුලප්පුව නිසා දිව ගිය බොහෝ පිරිස්වලට පෑගී විශාල පිරිසක් මියගියහ. දිනමිණ පුවත්පත 1959 අගෝස්තු 21 දින සිද්ධිය පිළිබඳව මෙසේ වාර්තා කර තිබිණි.  


 ‘අලියෙකු කුලප්පුවෙලා’ යැයි දසතින් හඬ නැගෙත්ම චණ්ඩ මාරුතයෙන් කැළතුණු මහා සාගරයක් සේ හිස් ලූ ලූ අත පැන දුවන්නටත්, මර හඬ තලන්නටත් වූ ජනතාවගේ බිහිසුණු දර්ශනයක් මහා ඝෝෂාවක් යළි සිහිපත් කිරීම පවා අපහසුය.  


පන්දම්කරුවන්, ගිනි පන්දම් බිම දමා දුවද්දී, නැට්ටුවන් බෙරකරුවන් බෙරගෙඩි බිම දමා පැනයද්දී අලි රැළද දළද‌ා වීදිය දිගේ ආපසු දුවන්නට විය. අලි කලබලය යන්තම් යහපත් වෙත්ම ආරෝග්‍ය ශාලාව කරා දිවගිය ඒ මහා රාත්‍රියේ ගොඩ ගසා තිබූ මළ කඳන්වල ශෝකජනක දර්ශනය බැලු බැලූ තැන තවමත් පෙනේ. මහනුවර රෝහලේම සේවය කරන සාත්තු සේවිකාවකගේ මළකඳ ආරෝග්‍ය ශාලාවේ බරාදයේ බිම උඩුකුරුව දමා තිබුණේය. ඇගේ සිරුර දහස් වරක් පමණ පාගා දමා ඇති බව පෙනෙන්නට තිබුණි. දරුවකු තුරුල් කරගත් මවක් දරුවාත් සමග එකට තෙරපී මැරී සිටියාය. වැල නොකැඩී රෝහල වෙත එන ගිලන් රථවලින් කැඩී, පොඩි වී ගිය තුවාලකරුවන් හා මළකඳන් එකට බාමින් තිබුණි.  

 

වෙඩි වැදුනු අලියා ෆියට් කාර් රථයක් මත මැරී වැටී සිටි අයුරු

 


 අවසානයේදී අලියාට වෙඩි තබා හෝ කලබලය පාලනය කිරීමට තීරණය කෙරිණි. එම කාර්ය පැවරී තිබුණේ පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාටය. ජනතාවගේ ආරක්ෂාව පිණිස ඒ මහතා විසින් අලියාට වෙඩි තබන ලදි. තම අලියාට වෙඩි තැබීම පිළිබඳව අලියාගේ හිමිකරු වූ එච්. බී. උඩුරාවන මහතා පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාට එරෙහිව නඩු පැවරුවේය. එහෙත් එම නඩුව ප්‍රතික්ෂේප වූයේ පොලිස් පරීක්ෂකවරයා ජනතා ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් වූ බැවිනි. 

 
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් කොට සැළකූ මෙම පොලිස් පරීක්ෂකවරයා මිය ගියේ ද ජනතාවගේ ආරක්ෂාව සැලසීම පිණිස තම රාජකාරිය ඉටුකරමින් සිටියදීය. ඒ 1971 මාර්තු 06 වැනිද‌ා කැරලිකරුවන් පිරිසක් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේදීය. තානාපති කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට පහර දෙමින් තානාපති කාර්යාලයට ඇතුළත්වීමට උත්සාහ ගත් එම සිද්ධියේදී තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ ජීවිතයත්, තානාපති කාර්යාලයත් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ මෙම පොලිස් නිලධාරියා කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව මියගියේය.  

 

අලි කුලප්පුවෙන් තුවාල ලැබූ අයෙක්

 


 1959 දී සිදුවූ ඇසළ පෙරහර අලි කුලප්පුවෙන් පසුව පෙරහැරේ යන අලින්ගේ පිටුපස පාද දෙක එක්තරා සීමිත දුරකට පමණක් අඩිය තැබිය හැකි අයුරින් බැඳ තැබීම ආරම්භ විය. නිර්වින්දන වෛද්‍යවරුන් ද අලින් පිළිබඳ සෝදිසියෙන් සිටියේ ද ඉන් පසුවය.  


මීට වසර කිහිපයකට පෙරදී ද ඇසළ පෙරහැරේ දෑලේ ගමන් කළ ඇතෙකු යම් සිද්ධියක් නිසා කලබලයට පත්ව දෑල කඩාගෙන ඉවතට දිව ගියේය. එහෙත් කරඩුව වැඩම කළේ නැඳුන්ගමුවේ ‘රාජා’ ය. පැනයන ඇතා දිහා බලමින්ම නැඳුන්ගමුවේ ‘රාජා’ නැවැතී සිටියේ ශාන්ත විලාශයෙනි. යම් ඇතෙකුගේ හෝ අලියෙකුගේ හීලෑවීමේ හා හික්මවා ගැනීමේ තරමත්, පෙරහර නරඹන පිරිසේ හික්මීමත් පෙරහරක මෙවැනි කුලප්පුවක් නිර්මාණය වීමේ තීරණාත්මක සාධකය බව ඉතිහාසය විසින් සනාථ කර තිබේ.  

 

 

දොම්පේ - අජිත් මදුරප්පෙරුම