ලෝකෙන් ටිකක්
‘ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය’ යන නමින් හැඳින්වෙන විස්මිත උපකරණයක් තිබේ. මේ උපකරණය එසේ නැතිනම් යන්ත්‍රය අබිරහසකි. මේ යන්ත්‍රය නිපදවා ඇත්තේ වසර 2100 කට පෙරය. ලොව මුල්ම මෙන්ම ලොව පැරණිතම පරිගණකය ලෙස මෙය සැලකෙයි.
‘ඇන්ටිකිතෙරා’ යන නමින් මෙය හැඳින්වෙන්නේ, ග්‍රීසියේ ‘ඇන්ටිකිතෙරා’ දූපත අසල මුහුදේ ගිලී ගිය නැවකින් මෙම යන්ත්‍රය සොයා ගත් බැවිනි. වසර සිය ගණනක් තිස්සේ මෙම යන්ත්‍රය කුමක්දැයි යන්න අබිරහසක් විය. ඒත් දැන්, මෙහි සුලමුල තේරුම් බේරුම් කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී ඇතැයි පැවැසෙයි.
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය මීට වසර 2100 කට ඉස්සර පුරාණ ග්‍රීකයන් විසින් කළ නිමැවුමක් යැයි විශ්වාස කෙරේ. ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය, හිරු ඇතුළු ග්‍රහලෝක හා ඈත අහසේ වරින් වර දක්නට ලැබෙන විස්මිත දෑ දැක ගන්න අවශ්‍ය කාල වකවානු ගණනය කිරීමට තැනූ නිර්මාණයකි.
ග්‍රීසියට නුදුරින් මුහුදේ ඇන්ටිකිතෙරා දූපත අසල මුහුදේ මුහුදුබත් වූ නැවකින් මෙම විස්මිත උපකරණය සොයා ගත්තේ 1901 වසරේදීය. ඇන්ටිකිතෙරා ඊජියන් මුහුදේ පිහිටි ග්‍රීක දූපතක් වන අතර, මුහුදේ ස්පන්ජි සොයන්න ගිය කිමිදුම්කරුවන්ට රෝම යුගයට අයත් ගිලී ගිය නැවක සුන්බුන් අතරින් මෙම යන්ත්‍රය හමුවිය. .
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය තේරුම් ගැනීමට වසර 100 ක් තිස්සේ විද්‍යාඥයෝ උත්සාහ කළහ. 1901 වසරේ මුහුදු පතුළෙන් මෙය හමුවන විට මෙහි මුහුණත කොටස විනාශ වී තිබුණි. ලෝකඩවලින් නිර්මාණය කර ඇති මෙම ඇන්ටිකිතෙරා උපකරණය හරිහැටි කුමක්දැයි වටහා ගැනීමට නොහැකි එක් හේතුවක් වූයේ එයයි.
දැන් මෙම උපකරණයේ සුලමුල සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී ඇත්තේ, මෙහි ඩිජිටල් අනුරුවක් පරිගණකයෙන් නිර්මාණය කළ බැවිනි. ඩිජිටල් අනුරුව සකසා ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මැදිහත් වෙමිනි.
ඩිජිටල් අනුරුව නිර්මාණය සිදුවී ඇත්තේ ඉතා සුරක්ෂිතව තබා ඇති ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය ස්කෑන් කිරීමෙන් සහ එහි ඇතුළත එක්ස් කිරණ ඡායාරූප ලබා ගැනීමෙනි. එක්ස් කිරණ පිළිබිඹු පමණක් නොව, පුරාණ ග්‍රීක ගණිත විශ්ලේෂණ ක්‍රම ද ඊට යොදා ගත් බව පැවැසෙයි.
දැනට සුරැකී ඉතිරිවී ඇති බාහිර ලක්ෂණ හා ලෝකඩ තහඩුවෙහි කොටා ඇති අකුරු හා රූපවල ශේෂයන් යොදාගෙන එහි මුහුණතෙහි ඇති රටාව අලුතින් නිර්මාණය කිරීමට ද පර්යේෂකයෝ සමත් වූහ. යාන්ත්‍රණය මැද කැටයම් කර ඇත්තේ, පෘථිවිය යැයි ඒ අනුව පැහැදිලි විය. පෘථිවිය වටේට චන්ද්‍රයාගේ කලාවන් යොදා ඇතැයි පැවැසෙයි. ඒ සමඟම සූර්යයාත්, රාශි දොළහත්, බුද, සිකුරු, අඟහරු, බ්‍රහස්පතී හා සෙනසුරු සඳහා වළලුත් යොදා තිබේ.
පර්යේෂණ කණ්ඩායමේ නායකයා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ මහාචාර්ය ටෝනි ෆ්‍රීත් ය. ඔහු ඩිජිටල් ප්‍රතිනිර්මාණය ගැන මාධ්‍ය හමුවේ අදහස් පළ කර ඇත.
‘මේකට ගැළපෙන අනුරුවක් තනන්න ගත් උත්සාහන් අතරින් අපේ අනුරුව තමයි, වඩාත් හොඳින් එහි ඇති බාහිර ලක්ෂණවලට ගැළපෙන්නේ. ඒ වගේ ම එහි යාන්ත්‍රණයේ ඇතුළේ කොටා ඇති විද්‍යාත්මක තොරතුරුවලටත් වඩාත් ගැළපෙන්නේ. සූර්යයාත්, චන්ද්‍රයාත්, අනෙක් ග්‍රහ ලෝකත් මෙහි දක්වා ඇති අයුරු පුරාණ ග්‍රීකයන්ගේ විශිෂ්ටත්වය පිළිබිඹු කරනවා’ යැයි මහාචාර්යවරයා පැහැදිලි කරයි.
යාන්ත්‍රණය ඇතුළත ලොකු කොටසිෆ්‍රැග්මන්ට් ඒ’ ලෙස නම් කර ඇති අතර, ඊට බොයාරිම, කුලුනු හා බ්ලොක් ඇතුළත් වෙයි. ඊළඟට ‘ෆ්‍රැග්මන්ට් ඩී’ කොටසට ප්‍රධාන තැටියක්, දැති 63 ක් ඇති ගියරයක් සහ තවත් තැටියක් අයත් වෙයි.
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය මගින් ග්‍රහලෝකවල චලිතය හා විස්තර තේරුම් ගන්නට පුරාණ ග්‍රීක තාරකා විද්‍යාඥයන්ට හැකි වන්න ඇතැයි විශ්වාස කෙරේ. සූර්යයා ඇතුළු ග්‍රහලෝකවල ගමන්මඟත්, චන්ද්‍රයාගේ කලාවන් හා රාශි චක්‍ර පිහිටා ඇති ආකාරයත් වටහා ගන්නට ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය උදවු වෙන්න ඇතැයි අනුමාන කෙරේ. ඇන්ටිකිතෙරා යාන්ත්‍රණයේ සුලමුල මෙසේ තේරුම් බේරුම් කර ගැනීමට සමත් වුවත්, යාන්ත්‍රණයේ නිර්මාණකරු හෝ නිර්මාණකරුවන් හෝ කවුරුන්දැයි තවමත් අබිරහසකි.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි