වසර මිලියන ගණනකට පෙර අඟහරු මත ජීවය තිබිලා?


තරුපිරි අහස

 

2011 නොවැම්බර් මස 26 වැනි දින ප්ලෝරිඩාවේ කැනවරල් තුඩුවෙන් “ඇට්ලස් වී” රොකට්ටුවෙන් අභ්‍යාවකාශ ගත කරන ලද “ක්‍යුරියෝසිටි” රෝවරය 2012 අගෝස්තු 6 වැනි දින අඟහරු ග්‍රහයාගේ ​ගේල් ආවාටය අසල “Aeolis Palus” නම් ප්‍රදේශයට ගොඩ බැස්සවීමෙන් පසු අඟහරු ලොවේ දින 2849 ක් (Sols) ගවේෂණය කරමින් එවන ලද විද්‍යාත්මක විස්තර, ඡායාරූප හා වීඩියෝ දසුන් අනුව අතීතයේදී එහි ජීවින් සිටි බවට තොරතුරු ලැබී ඇත.   


මෑතදී “ක්‍යුරියෝසිටි”රෝවරයෙන් ගන්නා ලද අඟහරු ලොවේ සියලුම ඡායාරූප හා වීඩියෝ දර්ශන නාසා ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අට අතුරින් පෘථිවිය හැරුණ විට ජීවයක් පැවතිය හැකි එකම ග්‍රහලෝකය වන්නේ අඟහරු ග්‍රහයා බව විද්‍යාඥයන්ගේ මතයයි. මේ නිසා දශක කීපයක සිට විද්‍යාඥයින් උත්සාහ කළේ අඟහරු ග්‍රහයා ගවේෂණය කිරීමටයි. (ප්ලූටෝ ග්‍රහයකු ලෙස නොසලකන අතර එය හැඳිවෛන්නේ වාමණ (dwart) ග්‍රහයකු ලෙසය) අඟහරු ග්‍රහයා සූර්යයාගේ සිට කි.මී. මිලියන 227.9 ක් දුරින් පෘථිවිය හා ජුපිටර් ග්‍රහලෝක අතර පිහිටි කක්ෂයක භ්‍රමණය වෙමින් පවතී. අඟහරු ග්‍රහයාගේ ෆෝබොස් හා ඩිමෝස් (Phobos and Deimos) නම් වූ කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකු සිටින අතර මේවා රවුම් හැඩයක් නොගන්නා අව හැඩයකින් යුක්තය.   


නාසා ආයතනය අඟහරු ග්‍රහයා වෙත යානා යැවීමට ප්‍රථම සැලසුම් කළේ චන්ද්‍රිකා මගින් අඟහරු සිතියම් ගත කිරීමත් යානා ගොඩබැස්සවීමට හා ගවේෂණ කටයුතු සඳහා ඉතා වැදගත් හා සුදුසු ස්ථාන තෝරා ගැනීමත්ය. මේ සැලසුම් අනුව 1996 දෙසැම්බර් 4 වැනි දින “පාත් ෆයින්ඩර්” යානය හා සොජෝනර් (sojourner) රෝවරය අඟහරු ග්‍රහයා වෙත යවන ලද අතර 1997 ජුලි 4 වැනි දින අඟහරු ග්‍රහයාගේ “ඇරෙස් වැලිස්” (Ares Vallis) ප්‍රදේශයට ගොඩබස්සවන ලදී. මුලදී මෙම රෝවරයට ගවේෂණය කිරීම සඳහා සැලසුම් කර තිබුණේ සතියක සිට මාසයක කාලයක් සඳහා වුවත් මාස තුනක කාලයක් පුරා අඟහරු මතුපිට ඉතා සාර්ථක ලෙස ගවේෂණය කර තිබුණි. 1997 ඔක්තෝබර් 7 වැනි දින සිට පෘථිවිය හා තිබූ සම්බන්ධතාවය බිඳී ගිය අතර සොජෝනර් රෝවරය අඟහරු පෘෂ්ඨය මත මීටර් 100 ක් දුර ගමන් කර ගවේෂණ තොරතරු හා ඡායාරූප 550 කට වඩා නාසා ආයතනයට එවා තිබුණ අතර පාත්ෆයින්ඩර් යානය විසින් එවන ලද ඡායාරූප 16,500 කට වැඩි විය. එවන ලද තොරතුරු දත්ත මිලියන 2.3 කට වැඩි වූ අතර පාංශු හා පාෂාණ රසායනික සියුම් සෝදිසි කිරීම් 15 කට වඩා විශ්ලේෂණය කර වාර්තා එවා තිබුණි. අඟහරු ග්‍රහයාගේ වායු ගෝලය, කාලගුණය, භූ විද්‍යාව, පාංශු හා පාෂාණවල සංයෝජනය පිළිබඳ තොරතුරු මෙලෙස නාසා ආයතනයට එවීමට සමත් විය.   


2003 ජුලි 07 වැනි දින “ඔපොචුනිටි” හා “ස්පිරිට්” යන ද්විත්ව රොබෝ යානා දෙක නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ අතර 2004 ජනවාරි 03 වැනි දින “ස්පිරිට්” රෝවරය අඟහරු ග්‍රහයාගේ ඛනිජ තැන්පත් වී තිබූ “ගුසෙව්” (Gusev Crater) ආවාටය අසලටත් “ඔපොචුනිටි” රෝවරය ඉන් දින 20 කට පසු එනම් ජනවාරි 24 වැනි දින Meridiani Planum ප්‍රදේශයටත් ගොඩබස්සවන ලදී. මෙම ප්‍රදේශය අතීතයේ දී විශාල ග්‍රහකයක් පතිත වීම නිසා සැදුන ආවාටයක පිහිටි විලක් ලෙස සැලකේ.   


“ඔපොචුනිටි” රෝවරය 2018 ජුනි 10 වැනි දින දක්වා අඟහරු පෘෂ්ඨය ගවේෂණය කළ අතර කි.මී. 45.16 දුර අඟහරු ග්‍රහයා මත ගමන් කර තිබුණි. “ඊගල්” හා “එන්ඩියුරන්ස්” ආවාට ඇතුළු ප්‍රදේශවල කළ ගවේෂණවලදී අතිතයේ අඟහරු ග්‍රහයා තෙතමනයෙන් යුත් භූමියක් වූ බවත් ක්ෂුද්‍ර ජීවීන්ගේ ජීවිත පැවැත්මක් තිබූ බවත් සොයාගෙන ඇත. “ස්පිරිට්” යානය “කොලම්බියා” කඳුකරය අවට ගවේෂණය කළ අතර ලාවා ඝන වීමෙන් සෑදුන පාෂාණ විශ්ලේෂණය කළ අතර විවිධාකාර පාෂාණ වර්ග මෙන්ම උල්කාපාත පතිත වීම්, යමහල් විදාරණය වීම් පිළිබඳ තොරතරු සපයා ඇත. ස්පිරිට් රෝවරය විසින් මූලික රසායනික ද්‍රව්‍යයන්ගෙන් දහගුණයකට වඩා පොහොසත් ඛණිජ සොයාගෙන ඇත. (මැග්නීසියම් හා යකඩ කාබනේට්) මේවා නිර්මාණය වී ඇත්තේ ජලය හොඳින් තිබූ පරිසරයකය. “හෝම් ප්ලේට්” ප්‍රදේශයේදී 90% ක් පිරිසිදු සිලිකා සොයාගෙන ඇත. “ඔපොචුනිටි” රෝවරය ජලයෙහි නිර්මාණය වන “හෙමටයිට්” ඛණිජ ද්‍රව්‍ය සොයාගෙන ඇත. මෙම සියලු පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අඟහරු ග්‍රහයා මත අතීතයේදී ජීවත් වීමට අවශ්‍ය ජලය තිබූ බවයි. ස්පිරිට් රෝවරය ගුසෙව් ආවාටය තරණය කිරීමේදී එක් රෝදයක් අබලන් වූ අතර 2010 මාර්තු 22 න් පසු පෘථිවිය සමග තිබූ සම්බන්ධතාවය අවසන් විය. ඔපොචුනිටි යානයේ සූර්ය පැනලවල දූවිලි බැඳීම නිසා ක්‍රියා විරහිත විය. ඔපොචුනිටි රෝවරයේ මෙහෙයුම් කටයුතු 2019 පෙබරවාරි 13 දින අවසන් වූ බව නාසා ආයතනය පසුව නිවේදනය කළේය.   
2012 අගෝස්තු 6 වැනි දින අඟහරු ග්‍රහයාගේ “ගේල්” ආවාටය අසල “Aeolis Palus” ප්‍රදේශයට ගොඩබැස්ස වූ ක්‍යුරියෝසිටි රෝවරය අඟහරු ග්‍රහයා පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක් නාසා ආයතනයට එවීමට සමත් විය. අතීතයේදී අඟහරු ලොවේ ජලය තිබූ බටවත් ජීවීන්ගේ පැවැත්මක් තිබූ බවටත් පැහැදිලි සාක්ෂි සොයාගැනීමට හැකි වූයේ ක්‍යුරියෝසිටි රොබෝ යානය කළ වැදගත් පර්​ෙ‌ය්ෂණ නිසාය. ක්‍යුරියෝසිටි රෝවරය අති නවීන කැමරා 17 කින් සමන්විත වූ අතර ඉතා පැහැදිලි සමීප දර්ශන මෙන්ම දුරස්ථ ඡායාරූප ගැනීමට ද හැකියාව තිබුණි. ලේසර් කිරණ මගින් නොයෙකුත් පාෂාණ විශ්ලේෂණය කිරීමේ හැකියාවක් අඟහරු පෘෂ්ඨය හාරා පාංශු හා පාෂාණ සාම්පල් ලබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් ක්‍යුරියෝසිටි රොබෝ යානය සතුවිය. මෙම පාංශු හා පාෂාණ විශ්ලේෂණය කිරීම සඳහා ක්‍යුරියෝසිටි රෝවරය අභ්‍යන්තරයේ නවීන විද්‍යාගාරයක් විය. මෙම සියුම් කටයුතු මෙයෙහුම් කළේ නාසා ආයතනයේ සිටය.   


ක්‍යුරියෝසිටි රෝවරයේ මෙහෙයුම් කාලය ලෙස සැලසුම් කර තිබුණේ අඟහරු ලොවේ දින (Sols) 668 ක් වුවද මෙම රොබෝ යානය අඟහරු ලොවේ දින 2849 ක් ගවේෂණය කරමින් 3 ඩී ස්ටීරියෝ වීඩියෝ දසුන්, කළු සුදු ඡායාරූප හා වර්ණ ඡායාරූප විශාල ප්‍රමාණයක් නාසා ආයතනයට එවා තිබුණි. කැලිපෝර්නියානු තාක්ෂණික ආයතනයේ අඟහරු ග්‍රහයා පිිළිබඳ විද්‍යා රසායනාගාරයේ ව්‍යාපෘති විද්‍යාඥ ජෝන් ග්‍රොසින්ගර් (John Grozinger) මෙම ගවේෂණය කරනු ලබන්නේ අඟහරු ලොවේ ජලය සොයා ගැනීමටත් අනාගත මෙහෙයුම් සඳහා දත්ත හා තොරතුරු ලබා ගැනීමටත් බව ප්‍රකාශ කර තිබුණි. විද්‍යාඥයින් සඳහන් කළේ පෘථිවියේ මෙන් ජීවත් වීමට අවශ්‍ය “බෝරොන්” (Boron) මූලද්‍රව්‍ය ක්‍යුරියෝසිටි රෝවරය මගින් අඟහරු ලොවෙන් සොයාගෙන ඇති බවය. මෙම නව සොයා ගැනීම් හා මීට පෙර ගවේෂණය කළ රෝවර් යානා කළ සොයාගැනීම් අනුව අතිතයේදී අඟහරු ග්‍රහයාගේ ජලය තිබූ බව තහවුරු වේ. “ගේල්” ආවාටය අසල ඇති පාංශු හා පාෂාණ ලේසර් කිරණ නිකුත් කර විශ්ලේෂණය කිරීමෙන් ලබා ගත් රසායනික හා ඛණිජමය සාක්ෂි එම අදහස තවදුරටත් සනාථ කරන බව විද්‍යාඥයෝ පවසති. මෙම රොබෝ යානය මෙම ප්‍රදේශයේ තිබූ වියළි ගංගා පතුල්, පැරණි මුහුදු තීර හා ලවන මිශ්‍රිත රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇත. ගේල් ආවාටයේ පිහිටි “මවුන්ට් ෂාප්” (Mount Sharp) කඳු පාමුල ගවේෂණය කිරීමේදී අතීතයේ තිබූ විලක මඩ වශයෙන් තැන්පත් වී ඇති අඩි 1000 ක් ඝනකමින් යුත් අවසාදිත තට්ටුවක් සොයාගෙන ඇත. එතරම් විශාල අවසාදිත ප්‍රමාණයක් තැන්පත් වීමට විෂ්මයජනක ලෙස ජල ප්‍රමාණයක් මෙම වැව් තුළට ගලා යන්නට ඇති බවත් වසර මිලියනයක සිට මිලියන දහයක පමණ කාලයක් ඒ සඳහා උණුසුම් ආර්ද්‍රතාවයෙන් යුතු කාලගුණයක් තිබිය යුතු බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. අවුරුදු බිලියන ගණනකට ඉහත දී ගේල් ආවාටය ජලයෙන් පිරුණු විලක් ලෙස පවතින්නට ඇති බවත් ඔවුහු තවදුරටත් අදහස් දක්වති.   


ක්‍යුරියෝසිටි රෝවරයේ පිහිටි රසායනික විද්‍යාගාරයේ පාෂාණ හා පාංශු විශ්ලේෂණය කරන කණ්ඩායමේ (SAM) ප්‍රධානි “හෙදර් ෆ්‍රෑන්ස්” (Heather Franz) දූවිලි අංශු 13 ක් හා පාෂාණ සාම්පල් විශ්ලේෂණය කිරීමෙන් පසු කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් නැතහොත් CO2 සොයාගෙන ඇත. CO2 යනු එක් කාබන් පරමානු කුඩා අංශුවකට ඔක්සිජන් පරමානු දෙකක් එකතු වීමෙන් සෑදෙන සංයෝගයකි. මෙම CO2 අඟහරු කාලගුණයේ ගුප්ත බවක් ඇති වීමට බලපෑ ප්‍රධාන හේතුව බව ෆ්‍රෑන්ස් පවසයි. අතීතයේ දී අඟහරු වායු ​ගෝලයේ CO2 වායුව වැඩිපුර අඩංගු වීම නිසා පෘථිවියට වඩා වැඩි ඝනත්වයකින් යුක්ත වන්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.   


අඟහරු ග්‍රහයාගේ උත්තර ධ්‍රැවයේ සහ දක්ෂිණ ධ්‍රැවයේ හිමතලා දක්නට ඇත. අඟහරු ග්‍රහයාගේ සෘතු හතරක් ඇති අතර ශීත සෘතුවේදී ධ්‍රැව සහ අඳුරකින් හා දැඩි ශීතලකින් යුක්ත වේ.   


උත්තර ධ්‍රැවයේ ඇති හිම තලාව කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර මිදුන ජලයෙන් මීටරයක පමණ ඝනකමින් යුතු හිම තට්ටුවක් නිර්මාණය වන අතර දක්ෂිණ ධ්‍රැවයේ හිමතලාව මීටර් 8 ක ඝනකමින් යුක්ත වන බව සොයාගෙන ඇත. අහඟරු ග්‍රහයා කර්කශ ශීතලකින් යුක්තය. වායු ගෝලයෙන් 95.32% ඇත්තේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. නයිට්‍රජන් 2.6% ක් ද ආගන් 1.9% ක් ද ඇති අතර ඔක්සිජන් ඇත්තේ 0.174% කි. අඟහරු ග්‍රහයාට උෂ්ණත්වය රඳා පවත්වා ගැනීමේ හැකියාවක් නැති අතර සවස 2 න් පසු ඇත්තේ මඳ ආලෝකයකි. මේ නිසා ක්‍යුරියෝසිටි රෝවරයට ඡායාරූප ගැනීමට හැකි වී ඇත්තේ දිවා කාලයේ සිට සවස 2 වන තුරු පමණය.   


අඟහරු ග්‍රහයා මත උෂ්ණත්වය ෆැරන්හයිට් ඍණ අංශක 80 කි. ගිම්හානයේදී නිරක්ෂය අසල ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 70 ක ඍණ අගයක් ගන්නා අතර ධ්‍රැවාසන්නයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 195 ක ඍණ අගයක් ගන්නා බව වාර්තා වේ. රාත්‍රී කාලයේ පාෂාණ මත තුහීන ඇති වන අතර දිවා කාලයේදී ඒවා වාෂ්ප බවට පත් වේ. අඟහරු ග්‍රහයා මත ආර්ද්‍රතාව 100% ක් පැවතීම අඟහරු ලොව වාසය කිරීම සඳහා වඩාත් යෝග්‍ය ස්ථානයක් කරන බව විද්‍යාඥයන්ගේ මතයයි. අතීතයේදී අඟහරු උණුසුම් හා තෙත් ස්වභාවයෙන් තිබී ඇති බවත් දළ වශයෙන් ගෝලීය උෂ්ණත්වය අනුව ෆැරන්හයිට් අංශක 50 ක අගයකින් යුක්තව තිබෙන්නට ඇති බවත් නාසා ආයතනයේ අඟහරු ගවේෂණ වැඩසටහනේ ප්‍රධාන විද්‍යාඥ “මයිකල් මේයර්” ප්‍රකාශ කර ඇත.   


ක්‍යුරියෝසිටි රෝවරයේ මූලික කාර්යය වී තිබුණේ අතීතයේදී අඟහරු ග්‍රහයා මත ක්ෂුද්‍ර ජීවීන් සිටියේද යන්න පිළිබඳ ඉඟියක් ලබා ගැනීමටත් එහි වාසය කිරීමට තිබූ හැකියාව ගැන පර්​ෙ‌ය්ෂණ කිරීමත්ය. මේ අනුව ක්‍යුරියෝසිටි රොබෝ යානය අතීතයේදී අඟහරු ග්‍රහයා මත ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් වීමට යෝග්‍ය රසායන සංයුතියක් තිබූ බව සොයාගෙන ඇත. ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සල්ෆර්, නයිට්‍රජන්, ඔක්සිජන් පොස්පරස් හා කාබන් වැනි අත්‍යවශ්‍ය රසායනික මූල ද්‍රව්‍යයන් තිබී ඇති බව “යෙ​ලෝනයිෆ් බේ” (Yellowknife Bay) ප්‍රදේශයේ ඇති අවසාදිත පාෂාණ විශ්ලේෂණය කිරීමෙන් සොයාගෙන ඇත. 

 
ක්‍යුරියෝසිටි රෝවරය මගින් නාසා ආයතනයට එවන ලද වීඩියෝ දසුන් හා ඡායාරූපවලින් වසර මිලියන ගණනකට ඉහත දී අඟහරු ග්‍රහයා මත ජීවින් සිටි බවට ප්‍රබල සාක්ෂි හමු වී ඇත. මෙම විඩියෝ දසුන්වල ඉංග්‍රීසි N, A හා F අකුරුවල හැඩය ද රෝමන් ඉලක්කම් 2 3, 7, 9, 10 හා අංක 26 හැඩය ද පාෂාණ මත සටහන් වී ඇති අයුරු දැක ගත හැක. එසේම කාන්තාවකගේ ප්‍රතිමාවක්, හිස් කබල් අස්ථි කොටස් මියගිය සතුන්ගේ ඇට සැකිලිවල ශේෂයන්, විනාශ වූ ගොඩනැගිලි වැනි දෑ සිහිපත් වන රූපරාමු දැක ගත හැකිය.   
එසේම පිරමීඩයක්, නිම්නයක් හරහා ඉහළින් දිය ගෙන යාමට කණු මත ඉදි කළ දිය මඟක් වැනි ලක්ෂණ ද දැක ගත හැක. මේවා ස්වභාවිකව නිර්මාණය වූවාද නැත හොත් වසර බිලියන කාලයකට ඉහත දී අඟහරු ලොවේ වාසය කළ ජීවීන් කොටසක් මේවා නිර්මාණය කළාද? මෙම පැනයට පිළිතුරු දීමට විද්‍යාඥයෝ උත්සාහ කරමින් සිටිති.   
අඟහරු ග්‍රහයා මත විශාල ග්‍රහක පතිතවීම් නිසා සිදු වී ඇති කි.මි. 5 කට වඩා විශාල ආවාට 43,000 ක් හා උල්කාපාත පතිතවීම් නිසා ඇති වූ කුඩා ආවාට මිලියන කාලක් තිබෙන බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මෙලෙස අඟහරු ග්‍රහයා මත ග්‍රහක හා උල්කාපාත විශාල ප්‍රමාණයක් කඩා වැටීමත් යමහල් ක්‍රියාකාරීත්වයක් නිසා අඟහරු මත ජීවින් විනාශ වීමටත් කාලගුණ විපර්යාසයන් ඇතිවීමත් සිදු වන්නට ඇති බව අනුමාන කළ හැක. අඟහරු ග්‍රහයා රතු පැහැයෙන් දිස්වන්නේ අඟහරු පෘෂ්ඨය මත යකඩ මිශ්‍ර වී තිබීම නිසා බව එම විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. අඟහරු ක්‍රියාශීලී ග්‍රහයකු බවත් එහි වායුගෝලය උණුසුම් හා ආර්ද්‍රතාවයෙන් තිබූ අවධියේ පෘථිවියේ ජීවිය හට ගෙන ඇති බවත් විද්‍යාඥයින්ගේ මතයයි. මේ වන විට නාසා ආයතනය අඟහරු ග්‍රහයා වෙත ගගනගාමින් යැවීමට සැලසුම් කරමින් සිටී. එහි යැවෙන ප්‍රථම කණ්ඩායම ලෙස ගගනගාමීන් හතර දෙනෙකු 2025 දී අඟහරු ග්‍රහයා වෙත යැවීමට බලාපොරොත්තු වන අතර ඉන් පසු සෑම වසර දෙකකටම වරක් නව ගගනගාමින් හතර දෙනෙකු බැගින් යැවීමට අපේක්ෂා කරයි. මේ සඳහා පූර්ණ සූදානමක් ලෙස මෙම වසරේ ජුලි 30 වැනි දින “පර්සිවරන්ස්” (Perseverence) රෝවරය හා කුඩා හෙලිකොප්ටර් යානාවක් අඟහරු ග්‍රහයා වෙත යැවීය. පර්සිවරන්ස් රෝවරය හා කුඩා හෙලිකොප්ටරය 2021 පෙබරවාරි 18 වැනි දින අඟහරු ග්‍රහයාගේ “ජෙසීරෝ” ආවාටය අසල ගොඩ බැස්සවීමට නියමිතය. මෙම රොබෝ යානයෙන් හා කුඩා හෙලිකොප්ටර් යානයෙන් අඟහරු ග්‍රහයා මත අතීතයේදී ජීවින් වාසය කළේ ද යන්න පිළිබඳව වැඩිදුර පර්​ෙ‌ය්ෂණ කිරීමටත් පාංශු හා පාෂාණ නියැදි නාසා ආයතනයට එවීමට කටයුතු කිරීමටත් සැලසුම් කර ඇත. ඔක්සිජන් සපයා ගත හැකි ක්‍රමවේදයක් සකසා ගැනීමත් තවත් එක් අපේක්ෂාවක් වී ඇත. අඟහරු ග්‍රහයා වෙත ගගනගාමීන් යැවූ පසු බොහෝ පිරිසක් අඟහරු ලොවේ සංචාරය කිරීමේ අපේක්ෂාවෙන් සිටින බවත් වාර්තා වේ.

 

 

තැපැල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යක්ෂ නිලධාරී පී. ඩබ්ලිව්. ගුණතිලක   
ඡායාරූප හා විස්තර අන්තර්ජාලයෙනි.