සමාජයේ හරස්කඩක්
යම්තම් දනිපනි ගා ඇවිදින පොඩිත්තාගේ පටන් වැඩිහිටියන් දක්වා ඇති නොවෙනස් උන්මාදයකි. වාහන උන්මාදය ඔවුහු ළදරු කාලයේදී පවතින ඉල්ලීම් තුරුණුවියේදි සිහින බවට පත් කරගනිමින් කෙසේ හෝ මෝටර් වාහනයක් හිමිකර ගැනීමට උත්සහ දරයි. සතෙන් සතේ ඉතුරු කරගනිමින් වාහනයක් තමා සතු කරගත නොහැකි යැයි සිතෙන අය පවා ණය වී වාහනයක් ගැනීමට උත්සහ කරයි. ඊට වයස් භේද, පන්ති භේද නොමැත. ඇත්තේ රුචි අරුචිකම් ය.
එවන් සිහින උත්සහයන් සැබෑකිරීමේ ඉටු දෙවියන් බඳු පිරිස්ද රට පුරා සුලභය. අතේ ඇති මුදල ගෙවා වසර දෙක තුනේ සිට ඉදිරියට ණය ගෙවීමට පහසුකම් සලසා දීමට තමන් සූදානම් බව පුන පුනා කියන මේ පිරිස ලීසිං හෝ ෆිනෑන්ස් සමාගම්ය. ආදායමට සරිලන අඩු වාරිකයක් මාස්පතා ගෙවමින් වාහනයද පාවිච්චි කරමින් ණය ගෙවීමට පාරිභෝගිකයාට හැකිය. මෙය ඇත්තෙන්ම පාරිභෝගිකයාගේ පැත්තෙන් වාසිදායකය.
ඉටුදෙවියා යම දෙවියා වීම
වාහනය තමන් සතු කරගෙන වැඩි කලක් යෑමට පෙරම ඉටු දෙවියා යම දෙවියා මෙන් පාරිභෝගිකයාට දිස් වේ. ඒ වාරිකයක, දෙකක ගෙවීම් පැහැරහැරීමක් හිතාමතා හෝ වූ විටය. මෙකී සමාගම්වල ඉවසීම පරීක්ෂාවට නොසිතුවත් ණයකරුට තවත් වාරිකයක් ගෙවීම මඟ ඇරුණහොත් අදාළ ණය හිමිකාර, වාහනයේ පරම අයිතිකාර සමාගම අදාළ වාහනය තම වාහන අංගනයට ගෙන්වා ගැනීමට කටයුතු කරයි. ඒ සඳහා ඔවුන් පත්කර ඇති කාණ්ඩය සීසර්වරුන්ය.
සීසර්වරුන්ගේ භූමිකාව
මෙකී සීසර්වරුන්ගේ භූමිකාව සමාජයේ ප්‍රසාදය දිනා ගත්තක් නොව අවමානයට හා දෝෂදර්ශනයට ලක්වූවකි. ඇතැම් විට වාහන හිමියන්ගේත්, සෙස්සන්ගේත් වෛරයට පවා පාත්‍රවන්නකි. සාමාන්‍යයෙන් ලිසිං හෝ ෆිනෑන්ස් සමාගමකට බලයලත් ‘‘වෘත්තීය මට්ටමේ’’ සීසර්වරු හත් අට දෙනෙක් සිටිති. ඔවුන් අදාළ සමාගමෙන් වැටුප්, වරප්‍රසාද හෝ කොමිස් ලබන්නවුන්ය. මේ අයගෙන් ඇතැම් සීසර්වරු සමාගම් තුන හතරක සේවය කරති.
වෘත්තීය මට්ටමේ නොවන ගෝල සීසර්වරු එක් එක් ප්‍රධාන සීසර්වරුන් යටතේ සේවය කරයි.
ඇතැම් විට එක් වෘත්තීය මට්ටමේ සීසර්වරයකු යටතේ අවම ලෙස ගෝලයෝ පස් හය දෙනෙක්වත් සිටිති. අප සමඟ අදහස් දැක්වූ කුලියාපිටිය ප්‍රදේශයේ වෘත්තීය මට්ටමේ සීසර්වරයකු කීවේ, තමන් ‘‘කම්පැණි පහ හයකම සේවය කරන’’ බවය. තවත් සීසර්වරයකු කීවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් සීසර්වරුන් 40 ක් හා ගෝලයන් 200 ක් පමණ සිටින බවය.
මේ අනුව පළපුරුදු සීසර්වරු සෑම කල්බදු සපයන ලීසිං, ෆිනෑන්ස්, බැංකු හෝ මූල්‍ය ආයතනයකම සිටිති. ඔවුන් එම තත්ත්වයට පත්ව ඇත්තේ වසර කිහිපයක සිටම ගෝලයකු ලෙස වැඩ කිරීමෙන් ලද අත්දැකීම් මතය. ‘‘වෘත්තීය මට්ටමේ’’ සීසර්වරයකු වන්නට හැකිවන්නේ එවන් සැළකිය යුතු කාලයක් ලද අත්දැකීම් හා පළපුරුද්ද අදාළ සමාගම්වලින් පිළිගතහොත් පමණි.
වාහනය පැහැර ගැනීමේ පිළිවෙල
කොටින්ම කියතහොත් සීසර්වරයකුගේ රැකියාව වාරික නොගෙවූ වාහනයක් හිමිකරුගෙන් පැහැර ගෙන ගොස් සමාගමේ වාහන අංගණයට භාරදීමයි. මෙය එක්වරම කළ හැක්කක් නොවේ. වාරික ගෙවීම පැහැරහරින ලද අය කොයිවෙලේ හෝ සීස්වරයකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිති. ඒ සඳහා ඔහු සූදානමින්ද සිටී. වාහනය කොටස් කර සැඟවීම, නැතහොත් ඈත ප්‍රදේශයක සඟවා තැබීම, නැතහොත් ලියාපදිංචි අංක මාරුකිරීම, මෙකී නොකී කූට උපක්‍රම ඒ සඳහා හිමිකරුවන් යොදාගැනේ. ඇතැම්විට ආයුධ පවා තියාගත සීසර්වරුන්ට පාඩම් ඉගැන්වීමට එළැඹෙති. මේවා ගැන සීසර්වරුන් දැනුම්වත්ය. ඒ නිසා ඔවුහු ඊට නොදෙවෙනි ලෙස සූදානම් වෙති.
සීසර්වරයා මුලින්ම තමාට ‘‘ඕඩරය’’ ලැබුණු වාහනය ගැන සොයා බැලිය යුතුය. අනතුරුව වාහනය හිමිකරුගෙන් ලබාගැනීමට යන දිනයේ දී අදාළ පොලිස් වසමේ ඒ බව සඳහන් පැමිණිල්ලක් දමා එහි පිටපතක් ගත යුතුය.
එමෙන්ම ඒ සඳහා පොලිස් නිලධාරීන්ගේ සහය අවැසි නම් ලබාගත යුතුය. අවසානයේ වාහනය අංගනයට ගෙන ගිය පසු වාහන ලබාගත් ආකාරය පිළිබඳව යළිත් පැමිණිල්ලක් දැමිය යුතුය. බොහෝවිට සීසර්වරු මෙම දෙවන පැමිණිල්ල දැමීමට උත්සහ නොකරති. ඒ වන විට වාහනය හිමිකර ගෙන අැති නිසා ඔවුහු ඊට උනන්දු නොවෙති.
වාහනය පැහැර ගැනීම නීත්‍යනුකූලද?
වාහනයක් පැහැරගැනීම නීත්‍යනුකූල නැත. ඒ සඳහා ඇත්තේ මුල්‍ය සමාගම් විසින් සකසා ගත් රීති පද්ධතියක් පමණි. පොලිස් පැමිණිල්ලක් දැමුවා කියාවත් ඊට නීතිමය රැකවරණයක් හිමි නැත. නමුත් පොලීසිය පැමිණිල්ල භාරගනී. පිටපත්ද නිකුත් කරයි.
මෙහිදී වාහනය පැහැරගෙන යෑම අනුමත කිරීමක් පොලීසිය නොකරන අතර වාහනය පැහැර ගැනීමෙන් පසු යම් හෙයකින් හිමිකරු විසින් පොලීසියට පැමිණිල්ලක් කළවිට ඔවුහු හිමිකරුගේ පාර්ශ්වය ගනිති. එවිට අදාළ වාහනය අංගනයෙන් ගෙනවිත් පොලිස් භාරයේ තබාගැනේ. ඉන් පසු ඒ පාඩු කටයුතු වලට යොමු කරයි. නඩුව අවසන් වනතුරු හිමිකරුටවත්, සමාගමටවත් වාහනය හිමි නැත.
වාහනයේ ගිවිසුම් කාලය අවසන් වීමට පෙර නඩුව අවසන් වුවහොත් හිමිකරුට සමාගම විසින් වාහනය ලබාදිය යුතුය. හිමිකරු විසින් අදාළ මුදල එකවර ගෙවිය යුතු අතර වාහනය වෙන්දේසි කිරීමට සමාගමට නොහැකිය.
නඩුව අවසන්වනතුරු වාහනය පොලිසියේ හෝ උසාවි බිමේ අව්වට වැස්සට ගොදුරු වෙමින් තිබේ.
මෙතනදී පොලීසියට පැමිණිල්ලක් ලැබුණහොත් තත්ත්වය සමාගමට දරුණුවට බලපාන්නේය. යම් ගෙයකින් අදාළ වාහනය තමා සන්තකයේ තිබියදි මෙවන් ‘කන්ඩිෂන්’ තිබූ බවත් දැන් මේ වනවිට වාහනයේ සීරුම්, තැළුම්, ආදීයෙන් යුක්තව හානි වී ඇති බව හෝ එහි තමාට හිමි මුදල් හා රන් ආභරණ තිබූ බවට හිමිකරු කිවහොත් තවත් තත්ත්වය දරුණුය.
ඒවා නොතිබු බව සමාගම කියනවිට හිමිකරු එය නොපිළගෙන තම දේපළ මිල මුදල්ද සමඟ වාහනය ගත් බවට පොලිසියට පැමිණිලි කරයි. තමාට පහරදී තුවාල කළ බව කිවහොත් තත්ත්වය තවත් දරුණුය.
මෙම අවස්ථාවේදි හිමිකරුවන් අසත්‍ය තොරතුරුද ඒවාට එකතු කිරීම සාමාන්‍යය. මන්දයත් මෙසේ පොලිසිය දක්වා යොමුවන්නේ වාහන පැහැර ගැනීම නීත්‍යනුකුල නොවන බව දන්නා මුදලින් යමක් කමක් කරගත හැකි පුද්ගලයෝ පමණකි. අනිකුත් අය පාඩුවේ සිටිති.
සල්ලිකාරයන්ට සීසර්වරුන් බයද?
සීසර්වරුන් මෙසේ ‘සීස්’ කිරීමට ගන්නේ අහිංසක මිනිසකුගේ යතුරු පැදියක්, ත්‍රීරෝද රියක්, වෑන් රියක්, මෝටර් රථයක් වැනි වාහනයකි. නීතිඥයන්, වෛද්‍යවරුන්, මහා පරිමාණ ධනවතුන්, ව්‍යාපාරිකයන් ගේ වාහන වලට ඔවුහු අත නොතබති. ඔවුන් සමඟ ‘සෙල්ලම් දැමීම ලෙහෙසිනැති බව’’ ඔවුහු දනිති.
මහා පරිමාණයෙන් වාහන මිලට ගන්නා ආයතන හා බස් සමාගම් ගැන සීසර්වරයකු කී කතාවකින් ඒ බව ඔබට පැහැදිලි අවබෝධයක් ගත හැකිය.
‘‘ඔය ප්‍රධාන බස් සමාගම් තියෙනවනේ. ඒ අය බස් 10 කට මැනේජර් කෙනෙක් වගේ දාගෙන ඉන්නේ. ඒකම රියැදුරන්, කාර්මිකයන්, රිය සහයකයන් ලෙස කාණ්ඩ කරලා, තම තමන්ගේ කාණ්ඩයෙන් ඉහළ ආදායම පෙන්වන්න තමයි කණ්ඩායමම උත්සහ කරන්නේ. එහෙම අයට අලුතින් බස් අරන් දෙන්න අයිතිකාරයා කැමතියි. එකපාර බස් 10-15 ගන්න නිසා ෆිනෑන්ස් සමාගමුත් ඒ අයට වාහන දෙන්න කැමති වගේම වාරිකය දෙක ගෙවීම නොකෙරුවා කියලා ගණන් ගන්නෙත් නැහැ.
අවුරුද්දකින් ගිවිසුම අවසන් වෙනවනම් ගොඩක් වෙලාවට බස් අයිතිකාරයා කරන්නේ එකපාර වාරික ටික සේරම ගෙවල දාන එකයි. ඒකත් ගිවිසුම අවසන් වෙන්න දවසක් දෙකක් තියල කරල දෙනවා.
ඒ වගේ අයට වගේම ලෝයර්ස්ලගේ, ඩොක්ටරස්ලගේ වාහන වලටත් අත තියන්න බයයි. ඒ අය ගාව තියෙන්නෙත් මිල අධික වාහන. එ් වගේ ගන්න අය ඒක කොහොම හරි ගෙවනවනේ. අනික එයාල හොඳට නීතිය දන්නවා වගේම අත දිග අරල වියදම් කරන නිසා සීසරලත් බයයි. ලීසිං සමාගමුත් බයයි. ඒ වුණාට අහිංසක මිනිස්සුන්ට එහෙම කරන්න බැරි නිසා ඒවට අත තියනවා. ඕකයි අැත්ත කතාව’’
වාහනයක් පැහැරගන්නේ නම් එහි වටිනාකම අනුව සීසර්වරයාට ගතමනාව ලැබේ. යතුරු පැදියක් නම් අවම ලෙස රුපියල් 15000 ක් වත් සීසර්වරුන්ට ලැබේ. අනිකුත් වාහනවලට ඊට වඩා වැඩිය. ඔහු එම මුදලින් අඩක් හෝ සැලකිය යුතු ප්‍රමාණයක් දෙන බව පවසා ගෝලයන් සොයාගනී.
මෙම ගෝලයන් සීසර්වරයාගේ ‘ගානට’ එකඟ වේ. එය ඇතැම්විට රුපියල් 3000 සිට ඉහළය. ඔත්තුකරුවන් සොයාගත හොත් ඔවුන්ට පවා ගෙවිය යුතුය. වාහනය සමාගමට ගෙනවිත් දැමුවිට පමණක් සමාගම මුදල් ගෙවන නිසා ගෝලයන්ගේ කෑම බීම වියදම් පවා සීසර්වරයා විසින් දරයි.
මෙම ගෝලයන්ද විවිධාකාරය. ඇතැමුන් දෛනික කුලීකරුවන්ය. නැතහොත් රස්තියාදුකාර මදාවි පන්නයේ අයවලුන්ය.
ඇතැමුන් නීති විරෝධි වැඩ කිරීමට නම් දැරූවන්ය. මෙසේ ගන්නා ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ය. ඔවුන්ගෙන් ඇතැමෙක් කීයක් හෝ හොයා ගැනීමේ අරමුණින් සිටින්නන්ය. මෙවන් පුද්ගලයකුට දෙන්නෙකුට වැඩය පවරයි.
ඒ අනුව ඔවුන් වාහනය ඇති තැන්, යනෙන තැන් සොයාගනී. එය දින 10 ක් තුළ උපරිම වශයෙන් කළයුතුය. මන්ද සමාගමක් ප්‍රධාන සීස්වරයාට වැඩය භාරදී සතියක් හමාරක් බලා සිට එය ඉටු නුවුවහොත් වෙනත් සීස්වරයකුට පවරන නිසාය. එම නිසා සීස්වරයා බලන්නේ දින 10 ක් තුළ කෙසේ හෝ එය සාර්ථක කර ගතමනාව සාක්කුවේ දමා ගැනීමටය. ඒ නිසා එසේ වැඩ කළ හැකි අයවලුන්ව ඔහු යොදාගනී.
වාහනය සොයාගත් පසු පැමිණිල්ල දැමිය යුතුය. ඉන් අනතුරුව ‘‘කොළය’’ ඔහු අතට ලැබේ. ගෙවීම් පැහැර හැර ඇති බවට සමාගම දෙන ලියවිලිත්, පැමිණිල්ලේ පිටපතත්, වාහනයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක් එසේත් නැතිනම් ‘වාහනයේ පොතේ පිටපතක්’’ රැගෙන ඔහු ගෝලයන් සමඟ වාහනය ගැනීමට යයි.
ප්‍රධාන සීසර්වරයා සිද්ධියේ නොසිටියි. ඔහු අදාළ සිදුවීමට ආසන්න ප්‍රදේශයක සිය සුඛෝපභෝගී වාහනයේ හෝ සමාගම සැපයූ වාහනයකට වී බලාසිටී. ගෝලයන් වාහනය ළඟට ගොස් හිමිකරුට පැමිණිල්ල හා සමාගම් ලිපිය භාර දී වාහනය රැගෙන ආ යුතුය.
බොහෝ විට මෙම අවස්ථාවේදී වාහනය නිකම්ම දී අත් දෙක බැඳ සිටින්නට වාහනය හිමි පුද්ගලයා සූදානම් නැත. ඔහු සිය සටන් හැකියාව හෝ තමන් සතු ආයුධ පෙන්වා ගෝලයන් බියට පත් කරයි. නැතහොත් පහරදෙයි. ගෝලයන්ද තම අතට ගත මනාව ලබා ගැනීමට සිය ‘ගොදුර’ ඩැහැගැනීමට මාන බලයි.
ඒ සඳහා ඔවුන්ද දවස් ගණනක් කට්ටකා ඇති නම් තත්ත්තවය තවත් බරපතළය. එවිට ඔවුන්ද පහරදීමට, නැතහොත් තුවාල සිදු කිරීමට, බලහත්කාර කමෙන්ම හිමිකරු හෝ රියදුරුව වාහනයෙන් ඇද දමා වාහනය පැහැරගෙන යෑමට උත්සහ කරයි. මෙය බොහෝවිට ක්‍රියාදාම චිත්‍රපටයක සටන් ජවනිකා සිහිකරවන ආකාරයේ සිදුවීම්වලින් ගහණය.
එසේ හිමිකරුව හෝ රියැදුරුව ඉවත් කර වාහනය අතට ගන්නා විට තවකකු ‘‘කොළය’’ හිමිකරුට භාරදෙයි. එය භාර නොදී වාහනය ගෙනයා නොහැක. ඇතැම්විට මෙම සිද්ධිය සිදුවන්නේ මෙකී ආකාරයටම නොවේ.
බොහෝවිට වාහනය හිමිකරු වාහනය නවතා වෙළෙඳ සලකට හෝ යම් තැනකට යනෙනතුරු ඔවුහු රැක සිටිති. එවන් මොහොතක අයෙකුගෙන් සමාගම සතුව ඇති අනික් යතුර හෝ ‘‘ඩුප්ලිකේට්’’ යතුරකින් වාහනය පණ ගන්ව ගන්නා තවත් අයෙකු හිමිකරු අතට ‘කොළය’ භාර දෙයි.
මෙසේ සාමදානයෙන් වාහන පැහැර ගැනීම් සිදුවන්නේ කලාතුරකිනි. අප සමඟ අදහස් දැක් වූ බොහෝ ප්‍රධාන සීස්වරු මෙන්ම ගෝලයෝ මුලදි අකමැත්ත පළකළ අතර පසුව තමන් එළිදරව් නොකරන ලෙස ඉල්ලා මෙම රැකියාවේ ඇති අවදානම, අභියෝග හා බලපෑම් ගැන කීහ. ඔවුන් එසේ පවසනලද සිද්ධි රාශියකින් තෝරාගත් සිදුවීම් කිහිපයක් මෙසේ පෙළගස්වමු.
ලීසිං සමාගමට රහසේ උගස්කළ යතුරු පැදිය සොයාගත් අයුරු
තිදරු මවක වන සීතා කුමාරි යතුරු පැදියක් ගැනීමේ සිහිනයේ කලක සිට පැටලී සිටියද ඇයට ඒ සඳහා අවකාශ නොවීය. මන්ද යත් සතර අතටම ණය ව සිටින පවුලක් ලෙසින් ප්‍රචලිතව සිටීමත් බැංකු හා මුල්‍ය ආයතන වලින් පවා ණය මුදල් නොගෙවා පැහැර හැරීමේ ලේඛන වල නම තිබීමත් ඇයගේ සිහිනයට හරස් විය. එසේ තිබියදීත් ඇය කෙසේ හෝ ඊට සූදානම් වූවාය. ඒ සමෘද්ධි සහනාධාරයට ගත හැකි රු 50000/- ණය මුදලක් ලබාගැනීමෙනි.
ගමේ කණ්ඩායම් ඇපකරුවන් ලවා සහතික කරගත් ඇය ණය මුදල ගෙන ගමේ තවත් හිතවතියකුගෙන් පිහිටක් පැතුවාය. ඒ ඇයට මුල්වී යතුරු පැදිය මිලට ගන්නා ලෙසය.
කපටි සහගත ඉල්ලීමක් වුවත් හිතවතිය ඊට කැමැත්ත දුන්නේ සිය සැමියාටද රහසිනි. ඇයටද තවත් දෙදෙනෙක්ටම නොවඳිනා වැඳුම් දුන් සීතා යතුරු පැදිය නිවසට ගෙනාවාය. ඒ පෙරකී හිතවතියගේ නමට ගැනීමෙනි. මූලිකව රුපියල් 50000 ක් ගෙවමින් ගත් යතුරු පැදියට තවත් වාරික 7-8 කිසිදු කරදරයකින් තොරව ගෙවා දැම්මාය.
පෙදරේරුවකු වන සැමියාට දිනපතා ‘‘වැඩ’’ ලැබෙන නිසා ඇය ඒ ගැන බියක් ඇතිකර නොගෙන සිටියාය. එහෙත් ඇයටත්, සැමියාටත් නොසිතු පරිද්දෙන් වාරික ගෙවීම පැහැර හැරිණි. වාරික තුන ඉක්මවීමට ආසන් තිබිණි. ඇය යතුරු පැදිය ගමෙන් ඈත හිතවතකුගේ නිවසක සඟවා තැබුවාය.
මේ අතර මුදල් පොලියට දෙන මදාවී පුද්ගලයකුට යතුරු පැදිය රුපියල් 30000 කට උගස් කළ ඇය එම යතුරුපැදිය ඔහුට සින්න වීමට ඉඩ හැරියාය. හිඟ වාරිකද සමඟ ඔහුත් වාරික අටක් දහයක් ගෙවා දැම්මේය.
කොටි වල්ගය අල්ලා ගන්නාක් මෙන් වූ මෙම ලීසිං ක්‍රමය අනුව ඔහු පමණක් ඒ වන විට ගෙවා තිබු මුදල රුපියල් ලක්ෂයකට අධිකය. සීතා කුමාරි විසින් මූලික රුපියල් පනස්දහසට අමතරව තවත් රුපියල් හැට දහසක් පමණ ගෙවා තිබුණි. යතුරු පැදියට ගෙවා නිමකරන විට එයට රුපියල් 434,000 ක් පමණ වූ අතර මිලට ගන්නා විට යතුරු පැදියේ සැබෑ වටිනාකම රුපියල් 234,000 ක් පමණ විය.
මේ බව වටහාගත් ඔහු විසින් තමා සන්තකයේ තිබූ උගස්ගත් වෙනත් යතුරු පැදියක අංක තහඩු යොදමින් එය කලක් භාවිත කළේ වාරික අතපසු කරමිනි. මේ අතර ලීසිං සමාගම යතුරු පැදිය මිලට ගත් අයට නඩු පවරන බවට පවා ලිපි ලේඛන එවුවත් සැමියාට රහසේ ඇය ඒවා පුලුස්සා දැමුවාය. යතුරු පැදිය සොයා ගැනීමට සීස්වරුන් කිහිප දෙනෙකු යෙදවූවත් එය අසාර්ථක වූ තැන සමාගමේ තවත් සීස්වරයකුට එය භාරදුණි.
ඔහු පෙර අයට වඩා මදාවි ගති ඇත්තෙකු විය. යතුරු පැදියට අදාළ සියලු තොරතුරු විෂ්ලේශනය කළ ඔහු කදිම උපායක් කල්පනා කරමින් යතුරු පැදිය මිලටගත් අයගේ නිවසට පැමිණ යතුරු පැදිය ලබා දෙන ලෙස කීවේය. ඒ වන විට ඇය සැමියාගේ නමට වෙනත් යතුරු පැදියක් මිලට ගෙන තිබූ අතර ඒ පිළිබඳ තොරතුරු පවා ඔහු සොයාගන තිබුණි. එමෙන්ම පොලිස් නිලධාරියකු වූ සැමියාට පෙරකී යතුරු පැදිය ඇගේ නමට ගත් බව කියන බවට ඔහු තර්ජනය කළේය.
එම තර්ජනයෙන් බියට පත් වූ ඇය සීසර්වරයා කැඳවාගෙන ගොස් අසල්වැසි ගමේ පොලිසියට මුදල් දෙන අයගේ නිවස පෙන්වා එහි යතුරු පැදිය ඇතිබව කීවාය. යතුරු පැදිය එහි තිබී සොයාගත් අතර එම ඔත්තුව ඇය විසින් ලබා දුන්බව එළි නොකිරීමටද සීසර්වරයා එකඟවී තිබුණි.
බස් රියැදුරකුට පහර දී වන්දි ගෙවූ සීසර්වරු
මේ සිදුවීම දෙසතියකට පෙර අනුරාධපුරයෙන් අසන්නට ලැබුණකි. වාහනය බස් රථයකි. ඔහු විදෙස් රැකියාවක් කර සුඛෝපභෝගි බස් රථයක් මිලට ගත්තේ ෆිනෑන්ස් පහසුකම්ද සතිතවය. එහි රියැදුරුද ඔහුමය. වසර කිහිපයක්ම නිසියාකාරව වාරික ගෙවුවද ඉකුත් වාරික දෙක තුනක් මඟ අැරුණේ පෞද්ගලික හේතුවක් මතය.
එහෙත් ඔහු එම මුදල එකවර ගෙවීමට මිතුරන්ගෙන් හා බසයේ ආදායමින්ද මුදල් එකතු කරගනිමින් සිටියේය. මේ අතර බසයේ කොන්දොස්තර තනතුර ලබාදෙන ලෙස ඇවිටිලි කරමින් තරුණයෙක් ඔහු සොයා නිවසටම ආවේය. ඒ තම අසරණ බවද කියා පාමිනි. මෙය දුටු ඔහුගේ පුතා කීවේ නාඳුනන හදිසියේ හමුවන පුද්ගලයන් සේවයට නොගන්නා ලෙසය. එහෙත් ගෝලයාගේ ඇවිටිලි කිරීම හා අසරණ බව නිසා හිත උණු කරගත් ඔහු සිය ගෝලයා ලෙස පෙරකී තරුණයාව බඳවා ගත්තේය. ඒ මෙම සිදුවීම සිදුවන්නට දෙසතියකට පෙරය.
කොන්දොස්තරවරයා සිය බිරිඳට හා නිවසට කතා කිරීමට පවා භාවිත කළේ හිමිකරුගේ දුරකතනයයි. එහෙත් දිනක් කොන්දොස්තරවයා දුරකතනයක් ගෙනවිත් නිතර නිතර ඇමතුම් ගන්නා අයුරුද හේ දුටුවේය.
එදින රාත්‍රියේ බසය නිවස වෙත ගෙනයන අතරතුර මඟ රැක සිටි කිහිප දෙනෙක් හිමිකරුට පහර දුන්හ. ඔහුව බසයෙන් ඉවතට ඇද දමා තවත් පහර දී ඔවුහු බසය ගෙන සමාගම් අංගණයටම ගියහ. පහරදීමෙන් දත් තුනක් අහිමි කරගත් බසයේ හිමිකරු දින කිහිපයක් රෝහල් සිටියේ මුහුණට, හිසට සිදුවූ බරපතළ තුවාල සහිතවය. පසුව පහරදීමට සම්බන්ධ වූ අය හා ප්‍රධාන සීසර්වරයා පොලිස් අත්අඩංගුවට පත්වූහ.
බසයේ හිමිකරුගේ දිනයේ ආදායමද, බසයේ රියැදුරු අසුන යට සඟවා තිබූ රුපියල් 168,000 ක් මුදලක්ද සමග රුපියල් දෙලක්ෂයක මුදලක් අතුරුදහන් බවත් හිමිකරු පොලීසියට පැමිණිලිකර තිබුණි. සඟවා තිබු මුදල ෆිනෑන්ස් ගෙවීමට එකතු කරගත් මුදලය. පුතු කොළඹ ප්‍රදේශයේ සිටින නිසාත්, බිරිඳ විදේශයක සිටින නිසාත් ඔහු මුදල්ද තමා සන්තකයේ තබාගන තිබුණි.
අවසන සිදුවූයේ සිද්ධිය සමථයට පත්වීමය. තමා සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදල ඉල්ලා ඔහු නීති මඟට යොමු වීමට සිටි අතර අලාභයට පත් දත් වෙනුවෙන් වන්දිද ඉල්ලීය. ෆිනෑන්ස් සමාගමේ සීසර්වරයා ඇතුළු අය මුදලින් අඩක් ගෙවීමට කැමැත්ත පළකරත් හිමිකරු එයට එකඟ නොවීය.
අවසන නීති මගට යොමු වුවහොත් බසය තියා වාරිකවත් නොලැබෙන නිසාත්, තුවාල සිදුකිරීම ආදී අනර්ථයන් නිසාත් තමන්ට අවැඩක් වෙතියි සිතු සමාගම් නියෝජිතයන් අදාළ රු 168,000 පමණක් ගෙවීමට එකඟවිය. එයට එකඟ වූ හිමිකරු අදාළ මුදල්ගෙන සිද්ධිය සමථයට පත්කර ගති.
අවසානයේ සියල්ල ඔහුට පැහැදිලිවිය. බසය වාරික ගෙවීම පැහැර හැර ඇති බව දැනගත් නවක කොන්දොස්තරවරයා ඒ බව තමන් කලින් වැඩ කළ සීසර්වරයාට දැනුම්දුන්නේ එමගින් තමන්ටත් රුපියල් දහ පහළොස්දහසක් ලැබේයැයි යන අදිටනිනි. හිමිකරුට පහරදෙනවිට ඔහු නුදුටුවාසේ ඉවත බලා පැත්තකටවී සිටියේය. බසය අතුරුපාරවල යන වේලාව සීස්වරුන් අතට පත්කර තිබුණේද ඔහු විසිනි.
මේ වනවිට හිමිකරු තමන්ට පහරදුන් කුලියට වැඩකළ තිදෙනා සොයමින් වෙහෙසෙන්නේ ඔවුන්ට ‘‘පෝරියල් එකක්’’ දීමටය. ගෝලයා සම්බන්ධවද තමන් ක්‍රියා කරන බව ඔහු අප සමඟ කියා සිටියේය.
මෙම සිදුවීමට මුහුණ දුන් ප්‍රධාන සීසර්වරයාට සිදුවූයේ තම අතින් ගෝලයන්ට හා පණිවුඩකරුවන්ට මුදල් ගෙවීමටය. එපමණක් නොව හිමිකරු ඉල්ලු මුදලද ගෙවීමටද සිදුවිය. ඒ මේ රැකියාවේ හැටිය. එයට වඩා වැඩි මුදලක් හිමිකරු ඉල්ලුවේ නම් එයද ගෙවීමට සිදුවනු නිසැකය.
බෙල්ලට කැති පහරක් කෑමට ගොස් බේරුණු අයුරු
වාරික ගෙවීම මුලසිටම පැහැර හරින ලද යතුරු පැදියක් සොයමින් කිහිපවරක්ම සීසර්වරුන් සෙව්වද පල රහිත විය. හිමිකරු තබා යතුරු පැදියවත් ඔවුන්ට සොයාගත නොහැකි විය. දින 10 ඉක්ම වූ පසු වෙනත් සීසර්වරයකුට එම ‘‘ඕඩරය’’ ලැබුණු අතර ඔහු විසින් කුලියට ගත් සීසර්වරුන් දෙදෙනෙකුට එම කාර්යය පැවරුවේය. ඒ සැඟවූ යතුරු පැදිය කෙසේ හෝ සොයාගත අංගනයට ගෙනෙන ලෙස ඔවුන්ට උපදෙස්ද ලබාදුණි. වාහනය ගෙන ගියොත් දෙදෙනාටම රුපියල් 7500 ක් ලැබේ. එය සමව බෙදා ගත යුතු නිසා දෙදෙනා පමණක් එම කාර්යයට යෑමට කතිකා කරගත්හ.
යතුරු පැදිය හිමිකාර අයද තරමක මදාවි පන්නයේ අයෙකු වූ අතර ඔහු යතුරු පැදිය කොටස්වලට ගලවා නිවෙසේත් මිතුරන්ගේ නිවෙස්වලත් සඟවා තබා තිබුණි. දින කීපයක් නිවස ගැන ඔත්තු බැලු දෙදෙනා කිසිවෙක් නැති මොහොතක නිවසට ගොස් විපරම් කර බැලුවත් යතුරුපැදියේ කිසිදු සලකුණත් නොවූ නිසා නිවසේ තිබූ වෙනත් යතුරු පැදියක් හිලව්වට ගෙන යෑමට තීරණය කළහ. එය එන්ජිම ක්‍රියාත්මක නොවන නිසා නිවසේ තිබුණකි. ඔවුන් එය තල්ලු කරගෙන කිලෝමීටර දෙක තුනක්ම ගොස් සඟවා තබා සීස්වරයාට ඒ බව කියා ඇත.
තම පියාට අයත් යතුරු පැදිය පැහැරගෙන ගොස් ඇති බව දැනගත් හිමිකාර පුතු එදින එම ප්‍රදේශයේ සැරි සැරූ සිස්වරුන් ගැන සොයා බලා ඇත. මේ පැහැර ගැනීම පිළිබඳව හිමිකරුගේ මවද මොහොතකින් දැනගත් අතර ඇය පුතුට තර්ජනය කරමින් කියා ඇත්තේ ‘‘යතුරු පැදිය ගෙනවිත් දමන ලෙසය’’ එයද එසේ මෙසේ තර්ජනයක් නොවේ. අවසන පුතු විසින් අදාළ සීසර්වරුන් කවුදැයි සොයා ගත් අතර ඔවුන්ට ඇමතුමක්දී ‘වහාම යතුරු පැදිය ආපසු ගෙනියන ලෙස’’ තර්ජනය කළේ තම සුපුරුදු මදාවිකමද ඉස්මතු කරමිනි.
ඔහුගේ හැටි දන්නා සස්වරයා මෙයට කිසිත් නොකියා පෙර කී කුලීකරුවන් දෙදෙනා ලවාම යතුරු පැදිය නිවසට යැවීය. හිමිකරුගේ මව දොරටුව අසල රැඳී සිට තිබූ තැනින්ම යතුරු පැදිය ගබනා ලෙස කීවේ දරදඬුවිලසිනි. එයටත් බියපත් වූ සීසර්වරුන් දෙදෙනා එය තිබූ තැනම රඳවා තැබුවා පමණි. එ් අසලම රැඳීසිටි හිමිකරුගේ මව එක්වරම ඒ අසලම නොපෙනෙන සේ රඳවා තිබූ පොල් කැත්තක් ගෙන අසලම සිටි අයගේ බෙල්ලට කෙටීමට එසවූවාය.
එසැණින් අනතුර වටහාගත් ඔහු බිමට නැවී මරහඬ දුණි. මේ අතර අනිකා දුව පලාගිය අතර සිද්ධිය බලන්නට අසල්වාසීහු රැස්වූහ. මේ අතර කැති පහර එල්ලවීමට ගිය අය මරහඬ දෙමින් වඳිමින් ‘මරන්න එපා අපට කීව දේ අපි කළේ’’ යැයි කියමින් ඉල්ලමින් සිටියේය. ගම්මුන්ගේ තර්ජන ගර්ජන මැද ඔහු ජීවිතය යදිමින් පලා ගියේය.
පිරවුම්හලට ඉන්ධන ගැනීමට ගිය ත්‍රීරෝද රිය සීස් කළ හැටි
මෙම සිදුවීමට මුහුණදුන් පුද්ගලයා අපි ධම්මික ලෙස හඳුන්වමු. ධම්මික කලක් වෘත්තීය මට්ටමේ සීසර්වරයකු ලෙස සේවය කර ඉන් ඉවත් වූවෙකි. සීසර්වරයකු වීමට පෙර සිටම ඔහු ත්‍රීරෝදරථ රියැදුරකු ලෙසද සේවය කරමින් ඇත. සීසර් තනතුරින් ඉවත් වූ පසු ප්‍රියන්ත පරණ රිය විකුණා දමා අලුතින් ත්‍රීරෝද රියක් ගත්තේ තමන් සේවය කළ ෆිනෑන්ස් සමාගම මගිනි. දෛවයේ සරදමකට මෙන් ප්‍රියන්තටද වාරික කිහිපයක් ගෙවීම මග අැරිණි. ඔහුට තම වාහනයද උස්සනු ඇතැයි ඉව වැටිණි. එහෙත් තමන් සේවය කළ ස්ථානය නිසාත්, තම පැරණි හිතවතුන් සිටි නිසාත් එසේ නෙවෙතියි ද යන සිතිවිල්ලෙන් ඔහු සිටියේය.
දිනක් ත්‍රීරෝද රථ ගාලේ සිටි වෙනත් සගයකු ත්‍රීරෝද රිය ඉල්ලා සිටියේ තම ත්‍රීවිලරයේ ඉන්ධන ඉවර වී ඇති බව කියා පිරවුම්හලට යෑමටය. කිසිදු සැකයක් ඇතිකර නොගත් ධම්මික සිය ත්‍රීවිලරය මිතුරාට ලබා දුන්නේය. මිතුරා එය ගෙනගොස් ලබාදී තිබුණේ සීසර්වරයකුටය.
ඒ වනතුරු මිතුරා ගැන හීනයකිනිදු සැකයක් ඇති කර නොගත් ධම්මිකට සිදු වූයේ කුමක්දැයි අදහාගත නොහැකිව සිටියදී ඔහුට යමක් සිහිවිය. ඒ කලකට පෙර එම මිතුරා තමාත් සමඟ ඇති කරගත් කෝන්තරයකට මෙසේ සිදුකර ඇති බවය.
කෙසේ වෙතත් මිතුරා සමඟ කෝප වී පලක් නොමැති බව තේරුම්ගත් ධම්මික වහ වහා ක්‍රියාත්මක වී තම ත්‍රීරෝදරියේ ඒ වන විට තිබූ මුදල් හා රන් ආභරණ සොයා අදාළ වාහන අංගණයට ගියේය. මුදල් අතුරුදන්ය. සීස්වරයාවත් ඔහුගේ ගෝලයන්වත් මුදල්වල වගකීම ගත්තේ නැත.
ඒ නිසාම ඔහු නීතියේ පිහිට පැතීය. මේ වන විට ත්‍රීරෝද රිය පොලිස් ස්ථානය භාරයේය. නඩු කටයුතු නිමවන තෙක් ධම්මිකටවත්, ෆිනෑන්ස් සමාගමටවත් වාහනය හිමි වන්නේ නැත. වාහනයේ ගිවිසුම් කාලයට පෙර නඩුව අවසන් වුවහොත් එදිනම සියලුම මුදල් ගෙවා වාහනය හිමිකර ගැනීම ඔහුගේ අපේක්ෂාවයි. මේ වන විට ඔහු වෙනත් ත්‍රීරෝද රියක් දෛනික කුලියට ගෙන සේවය කරන්නේ ජීවිකාව සඳහාය.
ඒ එක් සිදුවීමකි. මේ තවත් සිද්ධියකි.
දැලිපිහි පහරින් බරපතළ තුවාල ලැබූ අයුරු
වරක් සීසර්වරයකු පැහැර ගත්තේ ‘හයිකාර’’ කම්වලට ප්‍රචලිත අයකුගේ පවුලෙ වෙනත් අයකුගේ වාහනයකි. රියැදුරාට පහරදී වාහනය ගෙන ගිය අයුරු අසා පෙර කී ‘චණ්ඩි මහතා’ උරණවිය. ඔහු ගෝලයින් දමා වාහනය ‘ඉස්සූ අය’ ගැන සොයා බැලුවේය.
දිනක් වැවක් සමීපයේ මදුවිත තොලගාමින් සීසර්වරුන් පිරිසක් සිටින බවට ඔත්තුවක් ලැබිණ. චණ්ඩි තෙමේද ගෝලයන් රැගෙන එහි ගිය අතර සියලු දෙනාටම හොඳ හැටි පහරදී තිබුණි. එක් අයෙකුට මැහුම් 30-40 දැමීමට සිදුවන තරම් තුවාල වී තිබුණි. ඔහු සීසර්වරයකුගේ ගෝලයකු විය. පෙර කී චණ්ඩි තෙමේගේ ඥාතියාට තුවාල වන්නට ගසා තිබුණේ ඔහුය. ඔහු රෝහල්ගත කළත් නීතියෙන් සරණක් නොලැබිණි.
ඒ මෙම රැකියාවේ ඇති අවදානම ගැන එක් උදාහරණයකි. එවන් තුවාල ලැබීමේ පහරදීමේ සිදුවීම්වලට ඕනෑ තරම් මුහුණ දුන් සීසර්ලාද අපට මුණ ගැසිණි. අපට තොරතුරු ලැබුණු තවත් සීසර්වරයකු සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවා තිබුණි. ඔහු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ අයකි. කලකට පෙර ‘සීස්’ කරන ලද වාහනයක් නිසා ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූවේ තතුදත් අය කියති.
අප මෙසේ එළිදරව් කරන ලද්දේ සමාජයේ පිළිගැනීමට ලක් වුණු තවත් එක් රැකියාවක නිරත අයවලුන්ගේ අත්දැකීම් හා රැකියාවේ ස්වභාවයයි. ඔවුන් හරිද වැරැදිද යන්න ගැන විමසීම අප කාර්යය නුවු අතර ඔවුන්ද මෙම සමාජයේ තවත් එබඳු මිනිසුන් කොටසක් පමණක් බව කිව යුතුය.
පුෂ්පා වීරසේකර