වැදි මන්තර බලෙන් වෙඩි 98කින් බේරුණු “දිඹුලාගල හාමුදුරුවෝ”


මේ කියන්නේ කිතලගම සීලාලංකාර හිමියන් ගැනයි


ඝන කැළෑව මැදින් වැටුණු ගුරුපාර දිගේ, දිඹුලාගල විහාරභූමිය වෙත රජයේ ජීප් රථයක් වේගයෙන් අැදී එයි. රියෙන් බට ත්‍රිකුණාමල දිසා ඇමති හා පොළොන්නරුව එවකට මහජන මන්ත්‍රී එච්.ජී.පී. නෙල්සන් මැතිතුමා ඇතුළු රජයේ උසස් නිලධාරීන් පිරිසක්, දිඹුලාගල නාහිමිගේ දෙපා නමස්කාර කළහ. දෙවනුව කෙටි සාකච්ඡාවක් කරන්නට වුණි.   


සැමගේ මුහුණු ප්‍රීතියේත් ජයග්‍රහණයේත් උද්දාමයෙන් එළිය වැටිණි. ටික දිනකින් දැළි පිහිය නුදුටු නාහිමිගේ සුදු රැවුල රැඳි කරුණාබර මුහුණ අව්‍යාජ සිනා රැල්ලකින් දීප්තිමත් විය.   


‘‘ඔව් අපේ මහත්තයෝ. එතුමා එන එක අපට විශාල ආඩම්බරයක්. සිංහල රජ කාලෙන් පස්සේ මෙහාට එන පළමුවෙනි රජතුමා එතුමා තමයි. මේක එතුමාගෙත්, අපෙත් මහා වාසනාවක්!’’  


පසුදින එනම් 1982 ජූනි මස 7 වැනිදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අධිපති මාතර, කිතලගම සීලාලංකාර හාමුදුරුවන් බැහැ දුටුවේය.   
‘‘සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, පොල්කටු නිකාය, බඩකඩුත්තු නිකාය, මේ අමන වචනවලට මම කැමති නෑ මහත්තයෝ. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවේ පොදු ක්‍රමයක්. සාංඝික ක්‍රමයක්. මේ උතුම් ඉගැන්වීමට හින්දුකාරයින්ගේ කුළ බේදෙ අර නිකාය වලින් තහවුරු කරනවා. බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමට අර වචන කොයිතරම් විරුද්ධ ද? මේක බුද්ධාගම වෙන්න බැහැ. අපේ කොල්ලො මේව දැනගෙන තමයි පංසලට නොඑන්නේ. මම කිසිම කෙනෙකුට මහණ වෙන්න කියලා නැහැ. කියන්නෙත් නැහැ. ආවොත් මහණ කරනවා. ලැබෙන මුදල් වලින් ආරාම පන්සල් හදනවා. ඉතිරිවා නිකාය බේදයකින් තොරව දනට දෙනවා. සතයක්වත් බැංකුවල දාන්නේ නෑ. මගේ ක්‍රමේ තමයි, ඕක. ඒක හරිද අපේ මහත්තයෝ?’’   
නැගෙනහිර පළාතේ සිංහල පවුල් 45,000 ක් පදිංචි කරමින් ආරාම 40ක් ඉදිකරමින් (1980 වනවිට) කුළ දරුවන් 265 ක් සසුන් ගත කරමින් මහ වික්‍රමයක් කළ සීලාලංකාර නාහිමියන් එසේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඇසීය.   
‘‘දිඹුලාගල මහ වැද්දා’’ යන සුරතල් නමින් ආමන්ත්‍රණය කළ මේ උදාර සිංහලයා දෙස අභිමානයෙන් බැලූ ජේ.ආර්. තමන් දිඹුලාගල ආ කාරණය ද හාමුදුරුවන්ගේ කණට කෙඳිරුවේ ඔහු තව තවත් ප්‍රීති ප්‍රමෝදයට පත් කරමිනි.   


මනුෂ්‍ය ඝාතක - ප්‍රභාකරන්ගේ අවසානයේ ආරම්භය ‘‘මහවිල්ආරු සොරොව්ව’’ වූවා මෙන්, ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ජනාධිපති පදවිප්‍රාප්තියේ මල් වරුසාවද ‘මාදුරු ඔය ව්‍යාපාරය’යි. පදවි ප්‍රාප්තියෙන් තුන් වසක් යන්නට මත්තෙන් ජේ.ආර්. දිඹුලාගලටම ආවේ, එවැනි ප්‍රාතිහාර්යයක් කරන්නට නම් ප්‍රාදේශීය ජාතික නායකත්වයක දැනුම - වගකීම ඉහළින්ම අත්‍යාවශ්‍ය නිසාය. එය එදා ජේ.ආර්. ආණ්ඩුවේ ප්‍රථම සංවර්ධන ව්‍යාපාරය වේ.   
දිඹුලාගල හිමියන් සාමාන්‍ය හිමිනමක් වශයෙන් පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයට මාතරින් ආවේ 1948 වැනි ඈත යුගයකදීය. එකල ඩී.එස්. සේනානායක කාගම - ඇළහැර - බකමූණ ආදී ප්‍රදේශවල සිංහල ජනපද බිහිකිරීමේ මූලික සංකල්පය රෝපණය කර තිබුණේය. සීලාලංකාර හිමියන්ද එම සමකාලීන යුගයේ දේශපාලන ශක්තියක් ලෙස කටයුතු කළ නිසා, ජේ.ආර්. යළිත් කොළඹ ආවේ උන්වහන්සේට ‘‘නැගෙනහිර - තමන්කඩුව දෙපළාතේ සංඝ නායක පදවිය’’ පිළිබඳ අක්ත පත්‍රයද පිළිගැන්වීමෙන් අනතුරුවය.   
මෙහිදී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ මෙසේ ප්‍රකාශ ක​ළහ.   


‘‘මෙම වටිනා සිද්ධස්ථානය පිළිබඳව මට පළමුවෙන්ම අසන්නට ලැබුණේ 1954දී. වජිරාරාමවාසී මහා සංඝයාද, විශාල දායක පිරිසක්ද කැටුව 1957 දී දිඹුලාගල ආරණ්‍ය දැකබලා දිඹුලාගල අවට අසරණ වැදි ජනතාවටද නන් අයුරින් සංග්‍රහ කොට සතුටු වීමි.   
වග වළසුන්ගේ නිජබිමක් බවට පත්ව තිබූ එම ඓතිහාසික සිද්ධස්ථානය මෑතක් වනතුරු වැද්දන්ගේ දඩබිමක්ව පැවතිණි. සියවස් ගණනාවක් තිස්සේ මිසදිටුවන්ගේ කෙළිබිමක්ද විය. වටිනා පුරා වස්තු විනාශ මුඛයට පත්වෙමින් තිබුණු අවධියක සෞභාග්‍යයෙන් පිරි රුහුණේ සිට මෙහි පැමිණි විල්පිට ආරණ්‍ය සේනාසනාධිපති උඩුපීල්ලේගොඩ පඤ්ඤාලංකාර නාහිමිපාණන්ගේ අග්‍රගණ්‍ය ශිෂ්‍ය රත්නයක් වූ මාතර කිතලගම සීලාලංකාර ආයුෂ්මතුන් වහන්සේගේ අප්‍රතිහත ​ධෛර්්‍යය පෙන්වන කැඩපතක් වන්, ජාතික වූත් ආගමික වූත් සේවාවන් මගේ මවිතය දනවන්නට හේතු විය.’’ 

 
පසු කාලයකදී මඩිහේ හිමියන්ද, සීලාලංකාර හිමියන්ද උතුරු-නැගෙනහිර ජනගහනය වැඩිකිරීමේ ‘‘ධර්ම ප්‍රචාරක’’ කටයුතුවලටද අත ගසා තිබීම ජේ.ආර්. ගේ අමනාපයට හේතු විය. ‘‘වර්ගයා බෝවීම ස්වාභාවිකව සිදුවිය යුතුයි. එය බළහත්කාරයෙන් සිදු කිරීම අනවශ්‍යයයි.’’ ඔහු කීය.   
ඊට ප්‍රතිප්‍රහාරයක් දුන් දිඹුලාගල හිමියෝ, කදුරුවෙල මහජන රැස්වීමකදී​ මෙසේ පැවසූහ.   
‘‘දැන් ඉතින් වළ පයයි, ගොඩ පයයි. සිංහල පවුල් පදිංචි කරනවාට අකමැති නම් දෙන්න නායකත්වය ප්‍රේමදාස මහත්තයට!’’  
ජේ.ආර්. ලංකාවට ජනාධිපති වුවද දිඹුලාගල හිමි බුද්ධ රාජ්‍යයේ බළවතෙක් නිසා, දෙදෙනාම ඇතැම් අවස්ථාවලදී කැත්තට-පොල්ල මෙන් කර-කියා ගත්හ.   
‘‘ඔය හාමුදුරුවෝ නයා වගේ! ආපු ගමන් පරක්කු නොකර ඇතුළට එන්න දෙනවා.’’ ජේ.ආර්. සිය ජනාධිපති මන්දිරයේ නිලධාරීන්ට කියා තිබිණි.   
‘‘දිඹුලාගල මහවැද්දා ඇවිල්ලැයි කියනවා!’’ හාමුදුරුවෝ සැරයටියත් - කුඩයත් පාත්තරයත් රැගෙන පැමිණ නිලධාරීන්ට කියන්නේ එපමණකි.   
1924 දී මාතර කිතලගම උපත ලද (දිඹුලාගල හිමියන්ගේ) ගිහි නම හේවාදූලිගේ චාර්ලිස්ය. මව හා පියා පිළිවෙලින් ගාල්ලගේ සයිනහාමි හා එච්.ඩී. දියෝනිස්ය. ස්ථිර නිවාසයක්වත් නොමැතිව දැනටත් දිඹුලාගල හිමියන්ගේ සහෝදරිය (85 වියැති) එච්.ඩී. රාධිනාහාමි තිහගොඩ වෙසෙන අතර, හිමියන්ගේ බෑණා වන නන්දදාස මදනසිංහ කිතලගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරයි.   


1950 ගණන්වල සිටම දිඹුලාගල හිමියන්ගේ පරපුර ප්‍රබල එජාප ආධාරකරුවන් වන අතර පසු කාලයකදී තමන් වහන්සේට ත්‍රිකුණාමලය දිසා ඇමතිව බොහෝ ආධාර උපකාර කළ එච්.ජී.පී. නෙල්සන් ද මාතර/තංගල්ලෙන් නැගෙනහිර ප්‍රදේශයට පර්යටනය වූවෙකි.   
කුඩා කළ පටන් ඉතා නිදහස් කෙළිලොල් දිවියක් ගත කළ චාර්ලිස් කොලුවා, ඉගෙනීමට කිසිම ආකාරයක උනන්දුවක් දැක්වූයේ නැත. පාසලේ ඩෙස් - පුටු - බැංකු මත දුව - පැනයමින් ක්‍රීඩා කළා මිස ඔහුගේ සිත ධර්මයට තබා අකුරු ශාස්ත්‍රයටවත් ආකර්ශනය වූයේ නැත.   
යම්තම් වයස 12 දී පමණ, වර්ෂ 1936 දී, චාර්ලිස් පන්සලේ ලොකු හාමුදුරුවන් සමඟ වන්දනා ගමනකට එක්වන අතර, මුළු මනින්ම පා ගමනින් මාස ගණනාවක් කලා වූ මෙම චාරිකාව අවසන් වූයේ පොලොන්නරුවෙනි.   
පන්සලක පැවිදිව භික්ෂූන්වහන්සේ කෙනෙකු වන්නට නම් අකුරු ශාස්ත්‍රයද - කියවීම - ලිවීම අත්‍යාවශ්‍ය බව චාර්ලිස් අදහන්නට පටන් ගත්තේ එදාය.   
ඉන්පසු, මාතර අකුරැස්සේ - කුඹුරුපිටිය අතර පිහිටි විල්පිට ආරණ්‍ය සේනාසනයේ (උඩුපීල්ලෙගොඩ පඤ්ඤාලංකාර හිමියන් යටතේ) පැවිදිව, 1948 දී රජරට පොලොන්නරුවට වැඩම කළහ.   


පොලොන්නරුව කඳුරුවෙල ශ්‍රී බුද්ධජයන්ති විහාරස්ථානයට පැමිණි උන්වහන්සේ, ප්‍රදේශවාසීන් විසින් භක්ත්‍යාදරයෙන් පිළිගත් අතර, භාවනානුයෝගීව වාසය කිරීමට පළුගස්දමනට නුදුරු සුසාන භූමියක් තෝරා ගත්හ.   
එහි වූ නුග සෙවනක් යට භාවනාවේ යෙදෙමින් මිනී වළවල් අතර සක්මනේ යෙදෙමින් පිණ්ඩපාතිකව යැපුනාහ.   
ප්‍රදේශය ක්‍රම ක්‍රමයෙන් ජනාවාස වීම නිසා සිය භාවනාවට පළිබෝධ පැමිණියෙන් දිඹුලාගල ප්‍රදේශයට එන්නට කල්පනා කළේය.   
ප්‍රදේශයේ තිබුණු විශාලම වැව වූ ‘හඳපාන්විල’ තරණය කර, දින ගණනක් දන් වේලක් නැතිව තල්කොළ, බතලකොළ, ඕළුගෙඩි වළඳමින් ආ උන්වහන්සේට, කිරි කදක් ගෙනයන ගැමියෙකු හමුවිය. හාමුදුරුවන්ගේ ගිලන් ස්වරූපය ගැන කම්පා වූ ගැමියා කිරිකඳ උන්වහන්සේට පූජා කළෙන්, දිනක් දෙකක් යැපීමට කිරි ප්‍රවේශම් කර ගැනීමෙන් හාමුරුදුරුවෝ හෙමිහිට සොරිවිලට පැමිණියහ.  
ඒ වනවිට එහි සිටියේ කොහොඹ කොළ හා බුරුල්ල කොළ අඳින වැදි ජනතාවයි. ජීවත්වුණේ සතුන් දඩයම් කිරීමෙනි.   
කටකළුවා, දිය පොළඟා, කබර මාපිළා හා නාග මාපිලා වැනි විෂ ඝෝර සර්පයින්ද බහුල මහ මූකලානේ ‘කොටරාගල’ නමැති ස්ථානය තම වාසය සඳහා තෝරා ගනිමින් සීලාලංකාර හිමියන් කලක් එහි එකළාව වාසය කළහ.   
භාවනායෝගීව ගතකරන ජීවිතය තාවකාලිකව නතරකොට සිංහල ජාතිය හා සිංහල බෞද්ධ සමාජය වෙනුවෙන් අමරණීය සේවයක් වහාම ආරම්භ කළ යුතුයැයි සිතුනේ මෙහිදීය.   


ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ද්‍රවිඩ බලය ශීඝ්‍රයෙන් වැඩිවීම හා ඔවුන් රට අභ්‍යන්තරයට වැදී සිංහල ජනතාවට විරුද්ධව සටන් කිරීමත් නිසා, බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දමා විනාශ කරන්නට වූ නිසාත්, සිංහල රජවරුන්ගේ බලය ක්‍රමයෙන් පිරිහීම නිසාත්, අනුරාධපුර රාජධානියේ සිටි ඇතැම් රජවරු පොළොන්නරුවට පැමිණ වාසය කරන්නට වූහ. මේ නිසා සතුරු කරදරවලින් මිදීමට සහ එවැනි අවස්ථාවල විවේක සුවයෙන් ගත කිරීම සඳහා පොලොන්නරුව රජවරුන්ගේ නිවාඩු නිකේතනයක් වූ බව පෙනී යයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොලොන්නරුව රාජධානියක් හැටියටද පරිවර්තනය විය.   
බුද්ධ ධර්ම ව්‍යාප්තිය සඳහා ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කරන ලද බෞද්ධ මධ්‍යස්ථාන අතුරෙන් බෞද්ධ ධර්ම ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් වූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයද එකක් විය. කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාතලේ අළුවිහාරයේදී ත්‍රිපිටක ධර්ම සංගායනාකොට ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසුව, කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ දිඹුලාගලට වැඩම කර පරිනිර්වාණය දක්වාම එහිම වැඩ සිටියහ. උන්වහන්සේගේ පටන් මලියදේව මහරහතන් වහන්සේ දිඹුලාගල වැඩ සිටි අවදියෙන් පසු දිඹුලාගල බෞද්ධ මධ්‍යස්ථානය අන්ධකාරයට පත් වූ බව මහවංශය හෙළි කරයි. ශ්‍රී ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ වශයෙන් සැළකෙන මලියදේව මහරහතන් වහන්සේ දිඹුලාගල විහාරයේ වැඩවිසූ බව සද්ධර්මලංකාරයේ ද සඳහන් වේ. 

 
මෙම ඓතිහාසික පසුබිමේ සිටිමින්, සීලාලංකාර හිමියන් ධර්ම - සමය උදෙසා එළඹි සිටි සිහියෙන් ඉදිරියට ආවද අතෙහි තඹ පිච්චියක්වත් නොතිබිණි.   
ඒ හැරුණුකොට එම වකවානුවේදී දිඹුලාගල, මනම්පිටිය, වැලිකන්ද, අරලගංවිල, යක්කුරේ, ඇල්ලෙවැව යන ගම්වලින් සමන්විත වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ‘එගොඩපත්තුව’ ප්‍රදේශයේ පදිංචි 3000ක් වූ ජනගහණයෙන් සිංහලයින් සිටියේ 8 දෙනෙකි!   
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත්, එය උපයෝගී විය යුත්තේ සුද්දන් සනසන රට හිනස්සන, හෝටල් - කැසිනෝ - අධිවේග අපභ්‍රංශ වලින් නොව, ගොවිතැන - ඵලදාව හා දේශීය නිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් යන ඩඩ්ලි/ඩී.එස්.හා එජාපයේ මූලික දර්ශනය අනුව යැයි උන්වහන්සේ අධිෂ්ඨාන පූර්වකව සිතුවේය.   
එම පළාත්වල සිංහල ජනගහනය වැඩි කළ යුතු යැයිද ජනතාවගේ සිතුම්-පැතුම්වල පවතින ඕලාරික අඳුර විනිවිඳ යා යුතු බවද වැඩිදුරටත් තේරුම් ගත්හ. එතුමන් ගොවිජන ව්‍යාප්ත කරන්නටත් කොළණි ක්‍රමයෙන් වුවද ජනගහණ වර්ධනය ඉස්මතු කරන්නටද පියවර ගත්හ.   
දියබෙදුම, හිඟුරක්ගොඩ, මින්නේරිය, 305, 314, 313, 312, 400 පොලොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ, තඹාල, කවුඩුල්ල, බුද්ධයාය, ඕනෑගම, සෝමාවතිය, පුදුර්, පලුගස්දමන, සේවාගම, තඹලවැව, සත්ව ගොවිපල, පී.එස්. කොළණිය ආදි ගොවි ජනපදවල හා එගොඩපත්තුවේ සිටින බෞද්ධ ජනතාව සීලාලංකාර හිමියන්ගේ වටිනාකම අගය කරන්නේ මෙම දූරදර්ශී අමිළ මෙහෙය නිසාය.   


සීලාලංකාර හිමියෝ සොරිවිල ගමේ ජනතාව යහමග යැවීම සඳහා ගත් උත්සාහය කිසියම් විප්ලවයක් වැන්න. සිංහල පාසලක් ආරම්භ කිරීම නිසා, දරු පරපුරට අකුරු උගනීමට හා මුළුගැන්වීමෙන් තොරව පාසල් ජීවිතය තුළින් සමාජය වෙත යොමුකිරීම පහසු විය. ගතානුගතික හා පාරම්පරික සිරිත්-විරිත්වලට ඇබ්බැහිව සිටි ගම් වැසියන්, එයින් මුදා - යහපත් සිතිවිලි හා සිතුම්-පැතුම් ඔස්සේ හැඩ ගැස්වීය. පාසල් යාමට පෙර වුවද පොල් ගැසීම කෝවිලට යාම ආදී කටයුතුවලට පෙළඹුණු ඔවුන්, කෝවිල් දේවාල හා යක්ෂයින්ට පුද පූජා පවත්වමින් ඉර-හඳ ඇදහීම ආදී නොයෙකුත් ඇදහිලි ක්‍රමවලට කොටු වී සිටියහ.  
මේ අනුව සීලාලංකාර හිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙය හරහා මිල්ලාන, දලුකාන, ගිනිදමන, ඇල්ලෙවැව, අරලගංවිල, අලවකුඹුර, වැලිකන්ද වැනි ගම්මාන පුනරුත්ථාපනය විය.   
ආණ්ඩුවේ සෙනෙහස හෝ කරුණාව දැනෙන්නට පෙර, ලංකාවේ විශාලතම පළාත්පාලන ආයතනය ද වන වර්ග සැතපුම් 550ක් වන - එගොඩපත්තුව - සම්පූර්ණයෙන්ම පාලනය කළේ කිතලගම සීලාලංකාර හිමියන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.   
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක ධුරන්ධර කොළඹ බම්බලපිටියේ වජිරාරාමවාසී විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්වහන්සේ හමු වූ සීලාලංකාර හිමියෝ, කරුණු පැහැදිලි කරදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දායක පිරිස සහල්, රෙදි, පොල් අතු, ගල්ලෑලි ආදිය ලොරි ගණන් ගෙනැවිත් සිංහල මෙන්ම වැදි ජනතාවද අතර බෙදා දුන්නේය.  


එගොඩපත්තුව වනාහි නැගෙනහිර පැත්තෙන් ගලා බසින මහැවලි නදියත්, මඩකළපුව, ත්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රික්කයන්ට සීමා වූ බල ප්‍රදේශයකි. එතෙක් ගම්සභා කොට්ඨාස 13කට සීමා වී තිබූ බලය, කොට්ඨාස 30කට වැඩිකොට අවුරුදු 30 පමණ කාලයක් පළාතේ බලය අල්ලාගෙන සිටි දෙමළ ජාතික සභාපතියන්ගෙන් බේරාගෙන, ප්‍රථම වරට සිංහළ ජාතිකයෙකු ගම්සභාපතිවරයෙකු ලෙස ගෙනාවේද දිඹුලාගල හිමියෝය.   
මේ පියවර සීලාලංකාර හිමියන් දියත්කළ දෙමළ ‘‘නිජ භූමි’’ වල සිංහලයින් පදිංචි කරවීමේ කාර්යය සාර්ථකව කරගෙන යාමට මහත් අනුබලයක් විය.  
එගොඩපත්තුවට සිංහලයකු සභාපතිවරයෙකු කරන්නට පෙර ද්‍රවිඩ ‘‘මොරාලය’’ බිඳීමට හාමුදුරුවන් ගත්තේ කෞටිල්‍යමය උපක්‍රමයන්ය.   
හිටපු සභාපතිවරයා සිය බලයේ ඉඳිද්දී මනම්පිටිය නගරයේ හරක්මස් කඩයක් හා අරක්කු තැබෑරුමක් විවෘත කරන්නට උත්සාහ කිරීමේදී හාමුදුරුවන් ඊට විරුද්ධ විය.   
‘‘මේක අපේ රාජ්ජේ, අපේ පැත්ත අපට ඕන විදියට මිසක් වැඩ කරන්නේ නැහැ’’ යි සභාපති උරුට්ටු ඇල්ලුවේය.   


හොඳින් කී දේට අවනත නොවූ නිසා හාමුදුරුවන් කළේ අතේ තිබුණු ශක්තිමත් කුඩය අමෝරාගෙන මද්දහනේම මහ මග සභාපතිවරයාට තඩි බෑමය.   
ඔහු එයින් භීතියට පත් වූ අතර හාමුදුරුවන්ගෙන් සමාව අයැද හරක්මස් කඩ තැබෑරුම් ඇරීම අවලංගු කර, මනම්පිටියේ සිට පාරක් කපා දීමටත් ආරණ්‍යයට නාන ළිඳක් කපා දීමටත් පොරොන්දු විය. එපමණකින් නොනැවතී ඔහු ආරණ්‍යයට දන් පිළිගන්වන හොඳ බෞද්ධයෙකු වූ බවද පැවසේ.   
‘‘මට නම්බුනාම ඕනෑ නෑ, මට සල්ලි ඕනෑ නෑ. මට හොඳ වටින පට සිවුරු ඕනෑ නෑ, මට අනවශ්‍ය විදියට සැප පහසුකම් ඕනෑ නෑ, මට ඕනෑ මම කරන වැඩවලට හොඳ හිතින් දෙන සහයෝගය විතරයි. වචනයකින් හරි දක්වන සහයෝගය මම අගය කරනවා.’’ උන්වහන්සේ නිතර නිතර පැවසූ සේක.  
‘‘නායක හාමුදුරුවන්ට හැමදාම ඔය විදියට පයින් වඩින එක හරිම අමාරු ඇතිනේ. වාහනයක් ගත්ත නම් මීට වැඩිය වැඩ ටිකක් කරගන්නත් පුළුවන්නේ. මේ ගිනි අව්වට පිච්චි - පිච්චි දූවිලි කාගෙන නායක හාමුදුරුවෝ කරන වැඩ ටික වෙන කෙනෙකුට නම් කරන්න බැහැ. වරක් එජාප ඇමතිවරයෙකු ඉතා නිහතමානීව කීය.   
‘‘මට ජීප් තෑගි කරන්න කීප දෙනෙක් ඇහුවා. කාර් එකක් අරන් දෙන්නත් ඇහුවා. කවුරු නුදුන්නත් මට කාරෙකක් අරගන්න බැරිකමක් නැහැ. මේ පැත්තේ ඔය කාර් - බස් යන්නේ නැති කාලෙත් මම පයින් ගියා. අදත් යනවා. හෙටත් යනවා. මම කරන්නේ දෙන්නේ මිනිසුන්ට ආදර්ශයක්, ඔවුන් යහමගට හරවා ගත්තේ පයින් ඇවිදලා. මම මේ විදියට ගත නොකළාට හොඳට සැප විඳින්න පුළුවන්. ඒ වුණත් මේ ජීවිතයට පත්වුණේ ආශාව අත්ඇරලා සසර කෙටි කරගන්න. ඒ නිසා මගේ සැප විහරණ මේ අහිංසක ජනතාවගේ සැපත වෙනුවෙන් කැප කරනවා. ඊට පිළිතුරු වශයෙන් නායක හිමියන් එසේ පැවසූහ.  


1978 වර්ෂයේ නොවැම්බර් මස 23 වැනි දින රාත්‍රියේ නැගෙනහිර පළාත සුණු - විසුණු කරමින් දහස් ගණනක් මරු මුවට පත්කරමින් හමා ගිය සුළි සුළඟ ලක්වැසියාව ස්වභාව ධර්මය පිළිබඳව භීතියක් ගෙනාවේය.   


මෙම තත්ත්වය යටතේ නොතෙමී යම්තම් හෝ ආරක්ෂාවීමට තිබුණේ දිඹුලාගල පන්සලේ නොකැඩී ඉතිරි වූ ගොඩනැගිලි කීපය පමණි. කඩා වැටී බිම වසාගෙන තිබුණු ගස්කොළන් වලින් සහ වෙනත් සුන් බුන් වලින් පැන - පැන පැදුරකින් වැස්සට ආවරණය වී නායක හිමියෝ වහා - වහා පොලොන්නරුවට වැඩියහ. අතරමගදී දුම්රිය සේවකයෙක් විසින් දුන් වැහිකබාය ඇතිව පා ගමනින්ම දුෂ්කර ගමනක් ගිය නායක හිමියෝ උසස් නිලධාරීන් හමු වී වහාම ආධාර ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.   
නමුත් නිලධාරීන් නීති - රීති ගැන තළු මැරුවා විනා මහජනතාවගේ කුසගින්න හෝ ආරක්ෂාව ගැන නොසිතූහ.   
සුළි සුළඟ නිසා විපතට පත් දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියේ තොග ගබඩාවෙහි ලක්ෂ ගණනාවක් වටිනා ආහාර තොග තෙමී විනාශයට පත්ව තිබෙන හැටි බැලුවේය. කැඳ උගුරක් හෝ නොමැතිව, ක්ලාන්තව ඇද - වැටෙන ජනතාවට කෙසේ හෝ ආහාර ටිකක් සපයා දීමේ ක්‍රමයක් සිතුවේය.   
හාමුදුරුවන් ක්ෂණික සංවිධානයක් ඇති කර ගත්තේය. ඊට පසු දිඹුලාගල සමුපකාරයේ හාල් - පිටි - ලුණු ආදිය වැස්සට තෙමී අපතේ යමින් තිබියදී එම සමිතියේම අය ඒවා දීමට මැලිවෙද්දී ලියවිල්ලක් දී තමන්වහන්සේ ගන්නා බඩුවලට සමිතියට බැරිනම් පෞද්ගලිකව හෝ ගෙවන බව පවසමින් එම බඩු ට්‍රැක්ටරයක පුරවාගෙන පාරට ගෙනවිත් විපතට පත් දහස් ගණනකට රෑ දහවල් නොතකා වතුර බිබී කුසගින්නේම බෙදා දුන්හ. ‘‘අපි මේවා කෑවා නෙවෙයි. දහස් ගණනක් මැරෙන්න යද්දි ඔවුන් ජීවත්කරන්නයි බෙදා දුන්නේ. ගෙවන්න කියනවා නම් ගෙවනවා. නැත්නම් හිරේ යනවා.’’ 

 
සත් වසක සාපය නිමා කරමින් 1977 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙද්දී ප්‍රදේශවාසී ජනතාවගේ ඉතාම උග්‍ර ප්‍රශ්නය වූ වතුර පිළිබඳ තද උවමනාව කියන්නට ජේ.ආර්. ජයවර්ධන හමුවිය. මාදුරුඔය සංවර්ධනය කොට එම අර්බුදයට විසඳුම දිය හැකි බවත් එවකට පොලොන්නරුව එජාප අපේක්ෂක වූ එච්.ජී.පී. නෙල්සන් ඊට ඉතාම සුදුසු මැදිහත්කරු බවත් පෙන්වා දුන් උන්වහන්සේ මාදුරුඔය ඉතිහාසය ගැනත් ජේ.ආර්. ජයවර්ධනයන්ට චිත්තාකර්ශනීයව විස්තර කළෝය.   
‘‘මාදුරුගල’’ නමින් එයට මුලින්ම නම් තැබූයේ විජයබාහු රජතුමා බවත් ඒ අද්දරම ඇති පිඹුරත්තෑව නොහොත් සරනේරු වැවෙන් ද මුළු ප්‍රදේශයම සශ්‍රීක කළ හැකි බවත් සනාථ කළේය. වැවත් - දාගැබත් සංකේතවත් කරමින් මාදුරුඔයට සම්බන්ධ එක කන්දක් වන කන්දෙගම නමැති ස්ථානයේ අඩි 37ක් දිග පිළිමයක්, විශාල දාගැබත්, ගල්කුටි 150 ක්, ළිං - පොකුණු ආදියද පිහිටුවා ඇති බවත් පුරා විද්‍යාඥයෙකු සේ ආනවරණය කළේය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි බලයට පැමිණීමෙන් මාදුරුඔය සංවර්ධනය කළ යුතු යැයි එච්.ජී.පී. නෙල්සන්, ජේ.ආර්. ජයවර්ධනයන්ගෙන් කළ ඉල්ලීම එදා එතුමා ආදරයෙන් පිළිගත්තේය.   
මහවැලි අමාත්‍යාංශයේ කාරුණික මෙන්ම වගකිවයුතු නිරීක්ෂණය දිඹුලාගල සේනාසනයට ලැබී තිබුණු නිසා තරමක ප්‍රවේශමක් තිබුණත් ද්‍රවිඩ ත්‍රස්තවාදීන් හැකි සෑම අවස්ථාවකදීම ගම්වලට කඩා වැදී මිනිසුන් ඝාතනය කර දේපොළ විනාශ කර තවත් විජේවීර කෙනෙකු මෙන් වැඩ පෙන්වන්නට පටන් ගත්තේය.   
මේ නිසා සිය ගණනක් වූ නේවාසික භික්ෂූන් වහන්සේලා ඇතුළු සුළු සේවකයින්ගේත් අඩු-පාඩු නඩත්තු කරගැනීම පිටතින් හැමවිටම බලාපොරොත්තු විය හැකි දෙයක් නොවීය.  
උපතින් ද්‍රවිඩයෙකු වුවත් ‘‘බෞඬසාර’’ නමින් හැඳින්වුණු හාමුදුරුවන්ගේ කැපකරු සමඟ දෙහිඅත්තකණ්ඩියේ පිහිටි ස්වකීය එළවළු වගාවෙන් දාන-මනාදිය පිරිමසා ගත් අතර ත්‍රස්තවාදී අනතුරකින් ආරක්ෂාවීමට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද දී තිබිණි.   


1995 - 5 - 26 දින බෞඬසාර පිළියෙල කළ මෙනේරි කැඳ වළඳා මහවැලි අමාත්‍යංශයෙන් සපයා තිබූ කැබ් රථයෙන් දෙහිඅත්තකණ්ඩිය අක්කර 30 කුඹුරට ගිය නායක හාමුදුරුවන් බලාපොරොත්තු වුණේ, දින දෙකතුනකට අවශ්‍ය එළවළු පටවාගෙන යාමය.   
චන්දරේ අයියා වාහනය පැද වූ අතර බෞඬසාරගේ උදව්වට ඇන්ටන් නමැති කොළුවකු පැමිණ සිටියේය. එදින වනවිට ජනාධිපතිනිය විසින් පන්සලේ ආරක්ෂාව උපසේවා පොලිස් නිලධාරීන් 10 දෙනෙකු දක්වා අඩු කර තිබීම මැෂින් තුවක්කු අමෝරා වෙඩි වරුෂාව එල්ල කළ කොටි හමුදාවට ආශිර්වාදයක් වූවාට සැක නැත.   
බෞඬසාර ඇහැට වෙඩි වැදීමෙන් මිය ගිය අතර පෙරවරු 7.15 ට ආරම්භ වූ මෙම වෙඩි වරුසාවෙන් ඩබල් කැබ් රථයට වෙඩි පහරවල් 98ක් වැදී තිබිණි.   
නමුත් නායක හාමුදුරුවන්ගේ ශරීරියට වෙඩි වැදී නොතිබුනැයි වාර්තා වේ. උන්වහන්සේ අපවත් වූයේ ආයුධයකින් හිසට දුන් පහරකිනි.  
වැදි මන්තර තදින් ගරුකළ උන්වහන්සේගේ ඉණේ ජප කළ යන්තර දෙකක් තිබුණු බවත් එහි බලයෙන් උන්වහන්සේ ආරක්ෂා විනැයි කලින් වැද්දකුව සිටි පසුව මහණ වූ මිල්ලනා හෙවත් යාපා කියා ඇත.   


මෙසේ සසර කළකිරී භාවනාව සඳහා අමුසොහොනක පදිංචි වී දෙවනුව දිඹුලාගල ගල්තලාව මත හිසට ගල් ගෙඩියක් තබාගෙන නිදාගත් අසරණ සරණ සිරි කස්සප කිතලව සීලාලංකාර හිමිපාණෝ තමන්කඩුවෙන් භික්ෂු ගෝලයින් 800ක් සඟ සසුනට දායක කර තිබියදීත් එදා මරුවාට මුහුණ දුන්හ.   


බැංකු ගිණුම්, ඩිරැට්ටර් පට්ටම්, ඔප්පු, තාන්න - මාන්න ඇතුව ජීවත්වන ෆුල් - ෆේෂල් ජනප්‍රිය බුද්ධ පුත්‍රයින්ගේ කිළුටු නාමයන් ඉදිරියේ දිඹුලාගල නාහිමියන්ගේ අව්‍යාජ නාමය තුන් සිංහලයට රතන සූත්‍රයකි! 

 

 

රවිප්‍රසාද් හේරත්