ගාමිණී ෆොන්සේකා හැම විටම පුවත් මැවූවෙකි. ඔහු හා සම්මුඛ සාකච්ඡාවට ගිය විට ඔහු හැම විටම කතා කළේ ආන්දෝලනාත්මකවය. ඔහු හැම විටම හැසිරුණේ විශේෂිත ආකාරයෙනි. එමෙන්ම ගාමිණී ජනතාව අතරට ආවේ ද කලාතුරකිනි.
එහෙත් ජෝ අබේවික්‍රම එසේ නොවීය. ගාමිණිගේ සම්පූර්ණ විරුද්ධ පැත්තය.
ජෝ කතා කළේ අඩුවෙනි. ආන්දෝලනාත්මක අදහස් පළ කළේ ද බොහෝ කලාතුරකිනි. ජනතාව අතර ගත කරන්නට ආවේය.
මුල් කාලයේ ගාමිණී රඟපෑ චිත්‍රපටවල පමණක් නොව විජය රඟපෑ චිත්‍රපටවල ද මිතුරා වූයේ ජෝය. ගාමිණී - විජය කොල්ලාට රගපාන විට විහිළුවට බර මිතුරා වූයේ ජෝය.
එහෙත් මේ සම්බන්ධතා වැඩිකල් පැවතුණේ නැත. ජෝට මේ සහාය චරිතය වහ වී තිබුණේය. ඔහු සීරියස් කැරැක්ටර්ස් නොහොත් ගැඹුරු චරිත නිරූපණය කළ හැකි චරිත සොයා යන්නට විය.
“වෘත්තිය නළුවෙක් විධියට රඟපාද්දී හිතට විරුද්ධ හුඟාක් දේවල් කරන්න සිද්ධ වෙනවා. මෑතදී මං අකැමැති චරිත ප්‍රතික්ෂේප කළා. එහෙම කළාම මොකද දන්නව ද වුණේ. ඒ චිත්‍රපට නිෂ්පාදකවරු අධ්‍යක්‍ෂවරු පරණ යාළුකම් මතක් කරගෙන ඇවිත් ඇවිටිලි කරන්න පටන් ගන්නවා. හිතට විරුද්ධව වුණත් අකැමැති දේවල් කරන්න අපට සිද්ධ වෙනවා.’’
‘‘ ඒ වගේම චරිතයක හොඳ නරක පිළිබඳ ප්‍රශ්නයක් නළුවෙකුට අවශ්‍ය නෑ. නළුවෙකුට මේ දෙකම රඟපෑමක් විතරයි. නළුවෙක් වශයෙන් සාර්ථකත්වයට පත්වෙන්න පුළුවන් මේ දෙපැත්තෙම ජීවත්වෙන්න පුළුවන් වුණොත් විතරයි.’’ ජෝ වරෙක කීවේය.
ජෝ ඇත්තෙන්ම ගැමියෙකු විය.
1927 ජුනි 27 වැනිදා රත්නපුර පැල්මඩුල්ලේ ලෙල්ලොපිටිය ගමේ උපන් ගම්මාන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම තිරය ආක්‍රමණය කළේ ජෝ අබේවික්‍රම නමිනි.
ඔහු ලද සම්මාන රැසකි. හොඳම නළුවා ලෙස සරසවි ජනාධිපති සම්මාන 18ක් පමණ වෙයි. ඒ හැරුණු විට සිංගප්පූරු සිනමා උළෙලේ දී ඔහු ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘පුරහද කළුවර වෙනුවෙන් ද සම්මාන ලැබීය.
ඈත ගමක උපන් ජෝ, සිරිසේන විමලවීරයන් හා සම්බන්ධ වී ගොඩ නගාගත් හැඳුනුම්කම් ඔස්සේ 1955 දී ‘දේවසුන්දරී’ චිත්‍රපටයෙන් සිනමාවට එක්විය ඔහු රඟපෑ චිත්‍රපට 150ක් පමණ වෙයි.
ප්‍රවීණ නළු ටොනි රණසිංහයන්ගේ වර්ග කිරීම අනුව ගාමිණී එකය ජෝ දෙකය තුන්වැනියා ඔහුය.
එහෙත් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ප්‍රථම පුළුල් තිර චිත්‍රපටය වූ වැලිකතරේ විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ ප්‍රවීණ රංගන ශිල්පිණි සුවීනිතා වීරසිංහගේ මතය ගාමිණී- ජෝ රඟපැම් සම කළ නොහැකි බවයි. ‘‘වැලිකතරෙ’’ මම දෙන්න එක්කම රඟපෑවා. ඒ නිසා ඔවුන් රංගවේදීන් හැටියට ඉතාමත් දක්‍ෂයි. එය සම කරන්න බෑ. පොලිස් නිලධාරියාගේ චරිතය ජෝටවත්, ගෝරිංගේ චරිතය ගාමිණීටවත් රඟපාන්න බෑ. විශේෂත්වය එයයි. ‘වැලිකතරේ රඟපෑ පිරිස අතරින් තොරතුරු කිව හැකි පිරිසගෙන් ප්‍රධාන රංගන ශිල්පිනියකට දැනට ඉතිරිව ඉන්නේ මම විතරයි.” සුවිනීතා කීවාය.
මුල් කාලයේ ගාමිණී ජෝ එක්ව රඟපෑමෙන් පමණක් නොව මිත්‍රත්වයෙන් ද කල් ගෙවූ නමුදු පසු කලෙක ගාමිණී- මාලනී, ගාමිණී-විජය මෙන්ම ගාමිණී ජෝද එකට රඟපෑමෙන් වැළකුණහ.
පසුකාලයක දී ගාමිණී - මාලනී එක්ව රඟපෑහ. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේද මාලනීගේ සහභාගිත්වයෙනි අධ්‍යක්‍ෂණය කළේද ගාමිණීය එය ගාමිණී- මාලනී එක්කළ අවසන් චිත්‍රපටය විය. විජය- ගාමිණී එක්ව රඟනොපෑව ද පසු කලෙක වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිෂ්පාදනය කළ ‘සක්විති සුවය’ චිත්‍රපටයෙන් ගාමිණී- විජය එක් වූහ. එහෙත් ගාමිණී-ජෝ එකට රඟපෑ බවක් දැන ගන්නට නැත.
වරක් ගාමිණීගෙන් මේ ප්‍රශ්නය ගැන ඇසු විට ඔහු කීවේ කිසිවකු සමඟ එකට රඟපාන්නේ නැතැයි ඔහු තීරණයක් ගෙන නැති බවය.
‘‘උඹ ගිහින් ඒ ගොල්ලන්ගෙන් අහපන්’’ යැයි ඔහු කීවේය.
එහෙත් ඇතැම් අවස්ථාවල ගාමිණී ජෝ අබේවික්‍රම සමඟ තිබූ මුල් යුගයේ මිත්‍රත්වය ගැන පැවසීය.
‘‘වැලිකතර’’ ජෝ පිළිබඳව වඩාත් කතා කළ චිත්‍රපටයක් විය. එයට හේතුව එය ....... රංගන රටාව, සම්පූර්ණයෙන්ම වෙනස් කළ චිත්‍රපටයක් බැවිනි. ඔහු ‘‘ගෝරිං මුදලාලි’’ වැනි රළු මිනිසකුගේ චරිතයක් හෝ රඟපා නැති බැවිනි.
‘‘වැලිකතර’’ ආචාර්ය තිස්ස අබේසේකරයන් ලියා ඇත්තේ ජෝගේ වීරත්වය ගොඩනැගෙන අයුරින් යැයි තොරතුරු පළවේ. ඇතැම් තොරතුරකට අනුව ජීවිතය පුරා විඳි අපමණ දුක්ගැහැට, දුෂ්කරතා, දරිද්‍රතාව, පීඩනය නිසා ‘ගෝරිං’ වැනි දඩබ්බර නීති විරෝධී කටයුතු කරන මිනිසකුගේ චරිතයක් ගොඩනැගීම තිස්සගේ අභීප්‍රාය වෙතැයි කියැවේ.
තවත් වරෙක කියැවුණේ ‘වැලිකතර’ චිත්‍රපටයේ අවසානය දැන් අප දකින අවසානය නොවේ යන්නයි. ජෝ අතින් ගාමිණි වෙඩිකා මිය යන අයුරින් තිස්ස එය ලියූ බවත් පසුව එය ගාමිණී අතින් ජෝ වෙඩි කන දර්ශනයක් ලෙස අවසන් වූ බවත් කටකතා පළවිය. එහෙත් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් එම අදහස එකල ප්‍රතික්ෂේප කළේය.
එහෙත් ඇතැම් තොරතුරු අනුව කියැවෙන්නේ වැලිකතරේ අවසානය තිරකතාවට වඩා වෙනස් වූ බවය.
ගාමිණී (ඉන්ස්පෙක්ටර් රන්දෙණිය) ජෝට (ගෝරිං මුදලාලි) වෙඩි තබන්නට යාමේ දී ඔහු දුවන්නේ නැති බවත් කෙළින්ම වෙඩි තියන්නට පපුව දෙන බවත් තිරකතාවේ තිබූ බව කියැවේ.
කෙසේ හෝ ‘වැලිකතර’ රූගත කරන කාලය වන විට ගාමිණී හා ජෝ සුහදතාවකින් නොසිටි බව කියැවෙයි. ඇතැම් විට විවිධ උණුසුම් වාග් සංවාද දර්ශන තලයේ ද පුපුරා ගිය අතර නිහාල්සිංහයන්ගේ දක්‍ෂතාව හා උපායශීලිත්වය නිසා චිත්‍රපටය නිමකර ගත් බව තොරතුරු ඇත.
වැලිකතරේ බොහෝ රූගත කිරීම් සිදු වූයේ උතුරු ප්‍රදේශයේය. ගාමිණී කන්කසන්තුරේ නැවති සිටි අතර ජෝ නැවතී සිටියේ අලිමංකඩ ප්‍රදේශයේය. කෙසේ හෝ ගාමිණී තිරයේ දී මුල පටන්ම විවිධ චරිත ඔස්සේ තම තරු ගුණයත් ගැඹුරු චරිත, නිරූපණ හැකියාවක් පෙන්වූ අතර ජෝගේ ප්‍රබල අමුතුම විධියේ චරිත නිරූපණයක් අපට මුල්වරට දැකිය හැකි වන්නේ ‘‘වැලිකතරේ’’දීය. එය වෙනත් නළුවකුට අභිබවා යන්නට බැරි තරම් සාර්ථක චරිත නිරූපණයකි.
ඇතැම් විටෙක යළිත් සුපුරුදු සහාය චරිතයට පණ පොවන්නට ජෝ පසුව අකමැති වූවා විය හැකිය.
ඉන් පසුව ඔහු බොහෝ කලාත්මක හා වාණිජ යයි සම්මත චිත්‍රපටවල චරිත නිරූපණය කෙළේය.
එකල ජෝ අබේවික්‍රම මට බොහෝ විට හමු වූයේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා නම් ජනප්‍රිය නිෂ්පාදක අධ්‍යක්‍ෂවරයාගේ චිත්‍රපටවලදීය. කේ.ඒඩබ්ලිව්. ඔහුගේ බොහෝ චිත්‍රපටවල ඇතැම් දර්ශන රූගත කළේ ඔහුගේ නුගේගොඩ නිවසේදීය. ඔහුගේ කැමරා අධ්‍යක්‍ෂවරයා වූවේ එම්.ඒ. ගෆූර්ය. ජනක හා මංජු, වතුර කරත්තය වැනි ඔහුගේ චිත්‍රපට උදාහරණ වෙයි. ඒ දිනවල චිත්‍රපට අධ්‍යක්‍ෂණය සඳහා අවශ්‍ය කාර්මික පුහුණුවක් ලබා ගැනීම සඳහා මා නිතර කේ.ඒ.ඩබ්ලිව්. හමුවීමට යන අතර ඔහු රූගත කිරීම් අවස්ථාවල දී ඒ සඳහා මට මහත් සේ උදව් උපකාර කළ බව කෘතගුණ පූර්වකව සඳහන් කළ යුතුය. එකල බොහෝ චිත්‍රපටකරුවෝ ආධුනිකයන් කැමරාවට ඇස තබා බලනවාට අකමැති වූහ. එය නොකළ යුත්තක් සේ ඔවුහු සැලකුහ. එවන් කාලයක දී කේ.ඒ.ඩබ්ලිව්. ගෆුර්ට කියා විවිධ කාච දමා ඒඅනුව දර්ශනය වෙනස් වන හැටි කියා දුන්නේය
‘‘ඔන්න බලන්න- ටුවෙන්ටි එයිට් එක දැන්මම වෙනස. ගෆුර් සික්ස්ටීන් එක දාන්න’’ ආදී වශයෙන් කාච මාරුකමින් ඔහු කැමරාවෙන් බලන්නට මට අවස්ථාව ලබා දුන්නේය.
මේ බොහෝ දර්ශනතලවල දී ජෝද සිටියේය.
ජෝ කතා කළේ ඉඳහිටය. වරෙක ඔහු කීවේ පසළොස්වක දිනවල දී ඔහු ඈත ගමක විහාරයකට ගොස් සිල් සමාදන් වී නිදහසේ කාලය ගත කරන බවය.
‘‘කිසිම කරදරයක් නෑ. කොළඹ වගේ කවුරුවත් බලන්න එන්නෙත් නෑ. හුඟක් වෙලාවට මම යන්නෙ ප්‍රසිද්ධියක් නැති ආරණ්‍යයකට. ඒක ලොකු මානසික සහනයක්’’ ඔහු කීවේය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට ඔහු ප්‍රිය කෙළේය. ඔහු වරක් පැල්මඩුල්ල ආසනයෙන් තරග කරන්නට ජේ.ආර්.ගෙන් අවසර ඉල්ලුවේය. ජේ.ආර්. එවකට විරුද්ධ පක්‍ෂයේ නායකයා විය. ජේ.ආර්. කියා ඇත්තේ දේශපාලනය කරන්න ඕනෑ තරම් කට්ටිය හොයා ගන්න පුළුවන් ඒත්. ලංකාවටම ඉන්නේ එක ජෝ අබේවික්‍රම කෙනෙක් පමණයි. ’’ කියාය.
“ජේ.ආර්. මැතිතුමා පැවසූ ඒ අගය කිරීම මම අදත් කෘතගුණ පූර්වකව සිහිපත් කරනවා.’’ ඔහු වරෙක කීවේය
.‘‘මගේ තාත්තා සහතික පත්‍ර තියෙන අග්‍රගණ්‍ය කලාකාරයෙක් නෙමෙයි. ඒත් ගමේ හිටිය දක්‍ෂ කලාකාරයෙක්. කථිකයෙක්, ලේඛකයෙක්, ගායකයෙක්, මට නළුවෙක් හැටියට ඉදිරියට යන්න ධෛර්ය දුන්නෙ තාත්තා. ඒ වගේම තාත්තා කෙනෙකු හැටියට ‘‘අකුරටම යුතුකම් ඉෂ්‍ට කළා’’ තාත්තා ගැන ඔහුගේ ඇගැයීම විය.
පසුකලෙක ජෝගේ නෙත් නොපෙනී යෑමේ ආබාධයකට ඔහු මුහුණ දුන්නේය. එහෙත් ඔහු බොහෝ කලකට පෙර සිටම ඒ පිළිබඳව දැන සිටියේය. ඔහුගේ දෙනෙත සඳහා ප්‍රතිකාර කළේ වෛද්‍ය ආනන්ද රාජාය. වෛද්‍ය ආනන්ද රාජා මේ පිළිබඳව ඔහුට කලින්ම දැනුම් දී තිබුණේය.
පසු කලෙක ජෝ බොහෝ උත්සව අවස්ථාවලට සහභාගි වූවේ කාගේ හෝ වාරුවෙනි. ඒ ඔහුගේ දෘෂ්ටි ආබාධය හේතුවෙනි. එහෙත් ඔහු හැත්තෑ ගණන්වලදී කෙළිදෙලෙන් හැසිරුණේය. වරක් අප ලංගම බස් රථයකින් රූගත කිරීමක් සඳහා රත්නපුර බලා ගියෙමු. බස් රථය කොළඹින් පිටත් වූයේ උදේ පාන්දර පහටය. සම්පූර්ණ දර්ශන ගැනීමම යෙදී තිබුණේ බස් රථය තුළදීය. ඒ ඩෙන්සිල් අබේවර්ධනගේ ‘‘විසි හතර පැය’’ චිත්‍රපටය සඳහාය.
බස් රථය කොළඹ සිට රත්නපුර දක්වා ගමන් කළත් චිත්‍රපටයේ හැටියට එය එන්නේ රත්නපුර සිට ජෝ සහ වින්සන්ට් ප්‍රේමසිරි කොළඹට එන ආකාරයෙනි. වින්සන්ට් ප්‍රේමසිරි යනු ජනප්‍රිය ගායකයෙකි, සංගීතඥයෙකි. ‘‘සීතාවනි ඔබේ හැඩරුව’’ යන ජනප්‍රිය ගීතය ගැයුවේ ඔහුය. එය එකල ගුවන්විදුලියෙන් නිතරම ප්‍රචාරය වූවකි. විසිහතර පැය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා ද වින්සන්ට් ප්‍රේමසිරිය ‘‘විසිහතර පැය’’ චිත්‍රපයේ ඔහු ජෝගේ මිතුරකු ලෙස චරිත නිරූපණය කරයි.
මෙහි කැමරා මෙහෙයවීම සම්මානනීය කැමරා අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් කරුණාරත්නයි. ඒ හැරුණු විට ජයනාත් ගුණවර්ධන, බන්දුල කුරේද රූප ගත කිරීම් කණ්ඩායමට ඇතුළත් වූහ. ඈත ගමක සිට කොළඹ බලා එන නූගත් ගැමියන් ලෙස ජෝ හා වින්සන්ට් මෙහි රඟපෑහ. මේ හැරුණු විට අතිරේක නළු නිළියන් රැසක් ද බස් රථයේ දර්ශනය සඳහා සහභාගි වූහ. බස් රථය තුළ කුඩා ජෙනරේටරයක් ද විය. බස් රථය තුළ දීම සාමාන්‍ය ගැමියන් ලෙස ඇඳුම් මාරු කරගත් ජෝ ගමන ආරම්භයේ සිටම දර්ශනවලට මුහුණ දුන්හ. දර්ශන ගැනීම් සඳහා විදුලි ආලෝකය සැපයූයේ බස් රථය තුළ තිබු ජෙනරේටරයෙනි. වරින් වර ජෝ හා වින්සන්ට් බස්සවා බසයට නගින දර්ශනය ගැණිනි. තවත් වරෙක පාර අයිනේ කුඩා කඳු ගැටයක කැමරාව තබා ගමන් කරන බස් රථය රූප ගත කෙරිණි.
කුරුවිට හන්දියේදී ජෝ හා වින්සන්ට් බස් රථයක් එනතුරු නැවතුමකට වී සිටින දර්ශනයක් රූ ගත විණි. ඔවුහු බිමට බැස සාමාන්‍ය ගැමියන් සේ වෙළ අද්දර පොල් අතු සෙවිළි කළ බස් නවත්වන ස්ථානයට වී උන්හ.
මොහොතකින් අවට සිටි පිරිස ජෝ හා වින්සන්ට් වටකර ගත්හ. සමහරු ජෝගේ මුහුණ අතගාන්නටත්, විවිධ තොරතුරු අසන්නටත් පටන් ගත්හ.
එකල ප්‍රේක්‍ෂකයන් නළු නිළියන්ට කොතරම් ප්‍රිය කළාද යන්නට එය හොඳම උදාහරණයකි. ජෝ බොහෝ විට රූගත කිරීම් වලින් ලද විරාමයක බස් රථයේ දී පැරණි රස කතා කීවේය. තවත් විටෙක වින්සන්ට් සමඟ එකතු වී ගීත ගැයීය. විශේෂත්වයක් වනුයේ ඒ බොහෝ ගීත පැරණි, නිතර නොඇසෙන ගැමි ආරේ ගිත වීමය.
එදින අපි රත්නපුරයට යන විට දහවල් දෙක පමණ විය. දිවා කෑම වේලාවේදීත් ජෝ ලද ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ඉතා ඉහළ විය.
එදා මුළු දවසම රත්නපුර ගමනට ගත විය. ජෝ මුළු දවසම සිටියේ විශේෂයෙන් ධාවනය කරන ලද එම ලංගම බස් රථයේය. මෙය සාමාන්‍ය බස් රථයකි. වායු සමීකරණ ආදී පහසුකම් කිසිවක් එහි නොවීය. පහසුකම් නොලැබූව ද ජෝලාගේ රඟපෑම්වල දී අඩුවක් කියන්නට දෙයක් ඔවුහු ඉතිරි නොකළහ.
අද ද රිදී තිරයේ අමතක කළ නොහැකි තුන්මං හන්දිය, සාරවිට, වැලිකතර, සිංහබාහු බඹරු ඇවිත්, සෙල්දාදු උන්නැහැ ආදී ජෝගේ සම්මානනීය චරිත නිරූපණය ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණයයි.
රොඩ්නි විදානපතිරණ