වැව් දිය යට මළ සිරුරක්


මළ මිනිසුන් සමග නොමළ කතා   

 

 

බොහෝ අපරාධකරුවෝ තමන් කළ එක් අපරාධයක් සඟවා ගන්නට තවත් අපරාධ එකක් හෝ කිහිපයක් කරති. අපරාධයක ඇසින් දුටු සාක්ෂි මකා දමන්නට හෝ, දූෂණයක් අපචාරයක් වැනි සිදුවීමකදී නම් එම සිදුවීමට මුහුණ දුන් අයගේ පැමිණිල්ල ඉදිරිපත් වීම වළක්වා ගැනීමට ඝාතන සිදුකරති. එහෙත් අපරාධයක් කළ කිසිවෙකුට සදා කල් සැඟවී සිටීමට නොහැකිය. අපරාධය සිදුකළ සැණින් හෝ මසකට දෙකකට පසුව පමණක් නොව ඇතැම් විට වසර හත අටකට දහයකට පමණ පසුව වුවද අපරාධකරු හෙළිදරව් වීම වැළැක්විය නොහැකිය. මළ සිරුරත් සමගම අපරාධකරු තමන්ට එරෙහි සාක්ෂි රැසක් ඉතිරි කරන්නේය.   


සිරිමල්ගේ මළ සිරුර ද ඝාතකයා ගැන හෝඩුවාවන් රැසක් දරාගෙන සිටියේය. ඝාතනයෙන් දින දෙකක් ඇතුළත සැකකරු පොලිසියේ අත්අඩංගුවට පත්වූයේ ඒ ඉතිරි කරගිය සාක්ෂි විසිනි. සිරිමල්ගේ සිරුර සොයා ගත්තේ දිය යට මඩෙහි ඔබා තිබියදීය. එහෙත් රබර් බෝලයක් දිය යට සඟවා තැබිය නොහැක්කේ යම්සේද මඩෙහි ඔබා තබාවත් සිරිමල්ගේ ඝාතනයේ හෝඩුවාවන් සැඟවිය නොහැකි විය.   


එදා 2013 මාර්තුවේ තිබූ සුන්දර හැන්දෑවකි. සිරිමල්ගේ ගමේ වැව් තාවල්ලට එන කාගේ වුවත් නෙත් සිත් පැහැර ගැනීමට ඉර බැස යන සුන්දර දසුන සමත් විය. වැව් තාවල්ලට පැමිණි ගමේ මැදිවියේ පුද්ගලයෙකුට මත්පැන් ටිකක් මෙතන ඉඳන් තොල ගාන්නට තිබුණා නම් කොයිතරම් හොඳදැයි සිතිණ. එහෙත් තනියෙන් මත්පැන් බීමෙන් කිසි සතුටක් ලැබිය නොහැකි බව ද ඔහුට සිතුණි.   


සිරිමල් දහඅට හැවිරිදි තරුණයෙකි. පාසල් හැරගොස් ගමේ තරුණ කැළට එක්ව සිටි ඔහු දැන් මත්පැන්වලට ඇබ්බැහිව ඇති බව දෙමාපියන්ට ද තරමක් දුරට ඉව වැටී තිබිණ. එහෙත් ඔහු මත්පැන් පානයට වැටී සිටින්නේ කා සමගදැයි ඔවුන් දැන සිටියේ නැත. ගෙදර ඉන්න වෙලාවට සිරිමල් කළේ චිත්‍රපටවල සංයුක්ත තැටි ගෙනවිත් නිවසේදී නැරඹීමය. එයට දෙමාපියන් අනවශ්‍ය ලෙස බලපෑම් නොකළේ මත්පැන් බොන්නට යන පුරුද්ද එයින් හෝ මගහැරේවි යැයි සිතූ නිසා වන්නට ඇත.   


එදා ද සුපුරුදු ලෙස ඔහු චිත්‍රපටයක් බලමින් සිටියේය. හදිසියේම ඔහුට දුරකථන ඇමතුමක් ලැබිණ. “මම ළඟට ගිහින් එන්නම්” යැයි පැවසූ සිරිමල් අම්මාට පවසා සැණින් නිවසෙන් බැහැර වූයේය. හවස ගෙදරින් පිටවූ සිරිමල් රාත්‍රී නවය දහය වනතුරුත් ගෙදරට ආවේ නැත. කවදාවත් මේ විදිහට සිරිමල් නිවසෙන් පිටවී සිට නැති නිසා මාපියෝ කලබල වූහ. සිරිමල් සොයමින් හතර අතේ සොයා ගිය ද ඔහු දුටු කිසිවෙක් නොවීය. 

 
මාපියෝ පොලිසියට පැමිණිලි කරමින් සිය පුතා අතුරුදන්ව ඇතැයි පැවසූහ. අවුරුදු දහඅටක දහනවයක තරුණ දරුවෙකු නිසා ඔහු කොහේ හරි යන්නට ඇතැයි සිතමින් මුල් දිනයේ එතරම් ගණන් නොගෙන සිටියත් දෙවැනි දිනයටත් ඔහු නොපැමිණි නිසා ගමේ අයත් පොලිසියත් එක්ව ගම පුරා සැකකටයුතු හැම තැනක්ම පරීක්ෂා කරනු ලැබීය.   
ගමේ කඩේ මුදලාලි ද මේ පරීක්ෂාවට එක්වුණේ සිරිමල් අතුරුදන් වූ දා සවස තමන්ගේ කඩේට ඇවිත් බයිට් පැකට් එකක් ද අරන් ගියා යැයි පවසමිනි. මෙලෙස තැන තැන සොයමින් යද්දී මුදලාලි හදිසියේම වැව අයිනට ගසාගෙන විත් තිබූ පොලිතීන් කවරයක් දැක නැවතිණ. ඔහු එය අතට ගෙන බැලුවේය.   


‘මේ ජාතියේම බයිට් පැකට් එකක් තමයි සිරිමල් මගෙන් අරන් ගියේ. මෙතනට වෙලා බොද්දි වැවට වැටුණාද දන්නේ නැහැ’ ඔහු අනෙකුන්ට පැවසීය.   


‘ඒ වුණත් බං උගේ මළ කඳවත් මේ වෙනකොට කොතනකින් හරි ගොඩට ගහන්න එපායැ.’   


‘මඩේ එරුණාද කවුද දන්නේ?’   
‘එ්කත් හරි.’   


එසේ පැවසූ පිරිස ඒ ආසන්නයේ කෝටුවලින් ඇන පරීක්ෂා කරන්නට වූහ. එක් අයෙකු අමුතු දෙයක් පයට පෑගුණැයි පැවසූයෙන් කවුරුත් ඒ ස්ථානය පිරික්සා බැලූහ. මිනිස් අතක ඇඟිලි වැනි දෙයක් කෙනෙකුගේ අතට අසුවිය. මඩ කැලතෙද්දී අධික ගඳක් ද වහනය වන්නට විය. ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසු පැමිණ පරීක්ෂා කර බලද්දී මිනිස් සිරුරක් ඇති බව සොයාගත හැකි විය.   


ඒ අනුව අධිකරණ වෛද්‍යවරයා ගෙන්වා මිනිය ගොඩගනු ලැබිණ. සිරුරේ වූ ඇඳුම අනුව ඉදිමී තිබුණ ද මුහුණේ හැඩහුරුකම් අනුව ද මේ තම පුතා සිරිමල් බව ඔහුගේ දෙමාපියන් හඳුනාගත්හ. සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබුවේ මෙය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් ද නැත්නම් දියේ ගිල්වීමට පෙර සිදුකළ ඝාතනයක් ද යන්න සොයාගැනීමටත් ඝාතනයක් නම් එය කෙසේ කවුරුන් විසින් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගැනීමටය.   


සිරුර බාහිරින් පරීක්ෂා කර බැලීමේදි හිසේ පිටුපස පැල්මක් තිබිණ. ඒ අනුව කිසියම් පහරදීමක් සිදුව ඇති බව පැහැදිලිය. එහෙත් මරණයක් සිදුවන්නට තරම් ඒ පහර ප්‍රබල බවක් බැලූ බැල්මට පෙනෙන්නේ නැත. එහෙත් ඒ තුවාලය වූ ස්ථානය තවදුරටත් පරීක්ෂා කර බැලීමකින් තොරව විද්‍යාත්මකව කරුණු පැහැදිලි කළ නොහැකිය. ඒ නිසා අධිකරණ වෛද්‍යවරයා තුවාලය වූ ස්ථානයේ මාංසපේෂී කුඩා දේ විශාල කර බලන කාචයකින් පරීක්ෂා කර බැලුවේය. එවිට මාංශ පේශි එකට සම්බන්ධ කරන පටක දෙපසට ඇදී ගොස් තිබුණ ද එ්වා කැපී වෙන්වී නොතිබෙන බව පැහැදිලි විය. තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා එම ස්ථානයේ මාංශ පේශි කොටසක් කපා වෙන් කරගෙන අන්වීක්ෂීය පරීක්ෂාවට යොමු කළේය. එම පටක කොටසේ කේශනාළිකාවල ලේ සිරවී ගල්වී ඇති අයුරු දැකගත හැකි විය. මෘදුපටකවලට ලේ බැස ඇති අයුරු ද නිරීක්ෂණය විය.   


ඒ අනුව මෙම තුවාලය පොල්ලක් වැනි මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූවක් බව නිගමනය විය. මෙම තුවාලය තියුණු ආයුධයකින් සිදුවූවක් නම් පටක කැපුමේ දෙපසට වෙන පේශී එකිනෙකට සම්බන්ධ වන පටක ද තියුණුව කැපී යා යුතුය. එසේම එහිදී ලේ පිටතට ගලායාමක් සිදුවන නිසා ලේ අනෙකුත් ප්‍රදේශවලට ගලායාමක් හෝ එක තැන ගල්වීමක් සිදුවන්නේ නැත.   


මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු වැව ආසන්නයේ පරීක්ෂා කර බලා පොල්ලක් සොයාගනු ලැබීය. එහෙත් එය මෙම පහරදීමට සම්බන්ධ පොල්ලම ද යන්න තහවුරු කරගැනීමට තවත් සාක්ෂි අවශ්‍ය විය. 

 
ඒ නිසා මරණය සිදුව තිබෙන්නේ මේ පහරදීමෙන් ද නැත්නම් දියේ ගිලීමෙන් ද එසේත් නැත්නම් විෂ ශරීරගත වීමකින් ද යන්න තවදුරටත් නිශ්චය කරගත යුතුව ඇත. ඒ අනුව ඔහුගේ ලේ පරීක්ෂාවට ලක්කරමින් විෂ හා මධ්‍යසාර අඩංගුතාව පිළිබඳ පරීක්ෂා කළේය. එහිදී ඔහුගේ ලේවල විෂ කිසිවක් අඩංගු නොවුණද අධික ලෙස මධ්‍යසාර අඩංගු බව තහවුරු විය. එහෙත් එය ද මරණයක් සිදුකරන්නට තරම් ප්‍රමාණවත් මධ්‍යසාර සාන්ද්‍රණයක් නොවේ. වෙළෙඳසලෙන් ගත් බයිට් පැකට් එක අනුව මෙය දෙදෙනෙක් හෝ කීප දෙනෙක් එක්ව වැව අසල මත්පැන් පානය කරමින් සිටියදී හෝ ඉන් අනතුරුව වූ කිසියමක් සිදුවීමක් බව පැහැදිලි විය. 

 
දැන් ප්‍රශ්නය තිබෙන්නේ දියේ ගිලීමෙන් මරණය සිදුවූවාද යන්න පැහැදිලි කරගැනීමය. 

 
එය නිශ්චිත කරගැනීමට ඔහුගේ සිරුර කපන්නට සිදුවිය. ඔහුගේ ස්වාසනාළයේත්, පෙනහලුවලත්, අමාශයේත් ජලය පිරී තිබීමෙන් මරණය සිදුව තිබෙන්නේ ජලයේ ගිලීමෙන් බව තහවුරු විය. ඝාතනය කිරීමෙන් පසුව දියේ ගිල්වූයේ නම් ඔහුට ජලය පෙවෙන්නේ නැත. හුස්ම ගන්නා නාළවල, පෙනහලුවල ජලය පිරෙන්නට හැකියාවක් නැත. එසේ ජලය පිරෙන්නේ දියට වැටුණ පසුව ද හුස්ම ගැනීමට වෙර දරන අයෙකුගේය. පෙනහලු පටකවලට එක්වන ජලය පෙනහලුවල ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් වායුව හුවමාරු කරන ගර්ත තුළට ඇතුලුවීම නිසා ඒ වායු හුවමාරුව ඇනහිටින තත්ත්වයක් නිර්මාණය වේ. මරණය සිදුවන්නේ එලෙස සිරුරට අවශ්‍ය ඔක්සිජන් වායුව නොලැබීමත් කාබන්ඩයොක්සයිඩ් සිරුරෙන් පිට නොවීමත් නිසාය.   


එසේම මේ ඝාතනය සිදුකර තිබෙන්නේ මේ ස්ථානයේ ජලයේ ගිල්වීමෙන්ම ද යන්න තහවුරු කරගැනීමට දියේ ගිලීසිටි ස්ථානයේ ජල සාම්පලයක් පරීක්ෂා කර එහි පවතින ඩයටම් නමැති ඒකසෛලික එසේම ශාක පිළිබඳව පරීක්ෂා කර බැලුවේ ඉන් අනතුරුවය. පුද්ගලයෙකු පණ පිටින් ජලයට වැටීමේදී පෙනහලු ගර්ත තුළට ඇතුළු වන ජලය වහ වහා රුධිරයට අවශෝෂණය කරගනී. මේ සමඟ ජලයේ තිබෙන ඉතා කුඩා අන්වික්ෂීය මට්ටමේ ඒකසෛලික ශාක වර්ගයක් වන ඩයටම පෙනහලු ගර්ත හරහා රුධිරයට ඇතුළු වී රුධිරය හරහා අස්ථි මිදුළු තුළට ඇතුළු වේ. නරක් වූ මෘත ශරීරයක වුවද ඇටමිදුලු නරක් නොවී පවතී. මේ නිසා දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ ඇටමිදුළු තුළ ඩයටම තිබීම ඔහු දියේ ගිලීමෙන් මිය ගිය බවට පැහැදිලි සාක්ෂියකි. එසේම එක් එක් ජලාශයන්වල දියපහරවල ඩයටම් එකිනෙකට වෙනස් වන නිසා ඔහුගේ සිරුරේ ඇති ඩයටම් අනුව දියේ ගිලී තිබෙන්නේ කුමන ජලාශයක ද යන්න ද තහවුරු කරගත හැකිය. ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීමට සිරිමල්ගේ කකුලේ අස්ථියක් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත යොමු කරනු ලැබිණ. එහිදී ඔහු මේ ස්ථානයේම ජලයේ ගිලී ඇති බවත් මෙය ජලයේ ගිලීමෙන් වූ මරණයක් බවත් තවදුරටත් තහවුරු කෙරිණ.   


ඒ අනුව මෙම මරණය එක්කෝ පහරදීමකින් පසු දියට වැටීමෙන් හෝ පහරදී දියේ ගිල්වීමෙන් වූ මරණයක් බවට සැක කළ හැකි විය.   


මේ අතර පොලිසිය සිරිමල්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කරනු ලැබීය. එහිදී ඔහුට අවසන් වරට ඇමතුම ලබාදුන් ජෝශප් ගැන දැනගත හැකිවිය. ඔහු අවුරුදු හතළිහක පමණ දෙදරු පියෙකි. නිතර වැව් තාවුලේ සිට සිරිමල් සමග මත්පැන් බීමට ඔහු පුරුදුව සිට ඇත. එදින දෙදෙනා සමග එක්ව බීමට ගිය ද හිතේ හැටියට බොන්නට මුදල් තිබුණේ නැත. සිරිමල් වෙරි වී සිටියත් ජෝශප්ට ඒ බීම ප්‍රමාණවත් නැත. ඒ නිසා තව මත්පැන් ටිකක් ගෙනෙන්නට මුදල් දෙන්නැයි ඔහු සිරිමල්ට පැවසීය. එහෙත් ඒ වනවිට ඔහු අම්මාගෙන් ලබාගෙන තිබූ සුළු මුදල ද වැයකර අවසන්ය. ඒ නිසා තමන් ළඟ මුදල් නැතැයි ඔහු පැවසීය.   


“හැමදාම උඹ හදන්නේ මගෙන් බොන්නද යකෝ? මරු සගයෙක්නේ මම එකතු කරගෙන තියෙන්නේ. උඹ අම්මගෙන් බැරි නම් තාත්තාගෙන් හරි ඉල්ලගෙන ඇවිත් මට තව කාලක් ගහන්න සල්ලී දීපන්.”   


ජෝශප් සිරිමල්ගේ ඇඟට කඩාපැන්නේය. මේ බැණ අඬගසා ගැනීම කෙළවර වූයේ අසල තිබූ පොල්ලකින් ජෝශප් සිරිමල්ට දමා ගැසීමෙනි. බීමත්ව සිටි සිරිමල් සිහිසුන්ව ඇද වැටුණේය. බියපත් වූ ජෝශප් ඔහු මිය ගියා යැයි සිතා වැවේ මඩ යට සඟවා කිසිවක් නොවූ පරිදි යන්නට ගියේය.   


ඔහුගෙන් ලබාගත් කටඋත්තර ද පොලිසියෙන් සොයාගෙන තිබූ පොල්ල පහරදීමට යොදාගත් පොල්ලම බවට ජෝශප්ගෙන්ම තහවුරු කරගැනීමෙන් පසු එම සාක්ෂිය ද වෛද්‍ය සාක්ෂි ද පදනම් කරගෙන සිරිමල් ඝාතනයට එරෙහිව ජෝශප්ට නඩු පවරනු ලැබීය.   


හලාවත මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ 

 


මුදිතා දයානන්ද