විජය-කලං ගෝරිය


හැටේ දශකයේදී රැයත් දවාලත් චිත්‍රපටයෙන් රංගනයට පිවිසි අමරසිරි කලංසූරිය අසූවිය සපුරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 20 ද‌ාය ඔහු උපන් අවුරුද්ද 1940. “මගේ වාසගම කලංසූරියම තමයි. එහෙම නැතිව මට වෙන දිග වාසගමක් නෑ. හැබැයි මගෙ බිරිඳ අජන්තාට නම් දිග වාසගමක් තියෙනවා” කලං කියයි.   
කලං මෑතදී අසූවිය සැමරුවද ඔහු බො​හෝ කාලයක් යනතුරු රඟපෑවේ තරුණයන්ගේ හැඟීම්බර චරිතය. බොහෝ විටෙක ඒවා සමාජයේ හරස්කඩක් බඳුවිය.   


ඔහුගේ පුතා දුමින්ද එකල පාසල් යද්දී පුතාගේ පාසල් මිතුරන් ඇතැම්විට කලං ඇමතුවේ කලං අයියා කියාය.   
මට ලැජ්ජත් හිතෙනවා. පුතාගෙ පන්තියෙ සමහර ළමයි මට අයියා කියනකොට දිනක් ඔහු පැවසීය.   
ඔහු විලාසිතා හැටියට කළේ කොණ්ඩය නොපීරා සිටීමය. බොහෝ තරුණයන් එකල කළු කලිසමට සුදු කමිසය අඳින විට කලං සුදු කලිසමට කළු කමිසය ඇන්දේය. කමිසවල අත් ඉරා කපා අලුත් විලාසිතා හැදුවේය. ඔහුගේ ප්‍රියතම විලාසිතාව වූයේ පිළිවෙළකින් තොරව ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමය. එහෙත් එය ඔහුට ලස්සනය.   


මහනුවර ධර්මරාජයේ අධ්‍යාපනය ලැබුවද ඔහුට ඉහළට ඉගෙන ගන්නට නොහැකි වූයේ තාත්තා මියයාමෙන් මතු වූ ආර්ථික ගැටලු නිසාවෙනි. ඒ නිසා කාලයක් ඔහු මහනුවර මල්ලිකා ස්ටුඩියෝහි රැකියාවක් කළේය.   
“මල්ලිකා ස්ටුඩියෝ එකේ ස්ටෝ කීපර් කෙනෙක්වෙලා ඉන්න කාලෙ ඒකේ මුදලාලි මට දවසක් කතා කරල කිව්වා පරණ ෆිල්ම් රෝල් වගයක් තියෙනව අයින් කරන්න කියල. ඔය කාලෙ රංජිත් පෙරේරා ස්ටුඩියෝ එකට එනවා. මම රංජිත්ට මේ ගැන අදහසක් දීල අපි මොනව හරි කරමුද කියල ඇහුවා. ඒ අදහස අනුව තමයි “රැයත් දවාලත්” කෙටි චිත්‍රපටිය පටන් ගත්තෙ.   


බර්ටි ගුණසේකර තමයි කතාව ලිව්වෙ. ඒකෙ මුල් නම ‘‘දෙපත් නයි’’ පස්සෙ තමයි ‘රැයත් දවාලත්’’ කියල වෙනස් කළේ. මමයි අනෝමා වත්තල දෙණියයි තමයි ප්‍රධාන චරිත රඟපෑවෙ.   
කලං මල්ලිකා ඡායාරූප ශාලාවෙන් ඉවත් කළේ ගුටි කෙළියක් නිසාය.   


ගුටි ඇනගැනීමෙන් පසු රැකියාවක් නැති වූ කලං ඔහේ එහෙ මෙහේ ඇවිදින අතර සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවේ නළු නිළියන් තෝරාගන්නා දැන්වීමක් දැක එහි සම්මුඛ පරීක්ෂණයට ලිපියක් දැම්මේය.   
විජය කුමාරතුංග නම් කඩවසම් තරුණයා ඔහුට හමුවන්නේ ‘හන්තානේ කතාව’’ නළු නිළියන් තේරීමේ පරීක්ෂණයේදීය. එද‌ා පටන් හන්තානේ කතාව චිත්‍රපටයේ පමණක් නොව සැබෑ ලෙසද ඔවුහු මිතුරෝ වූහ.   
‘‘විජයව මම මුලින්ම දැක්ක දවසෙ මම විජයට කතා කළේ අයියා කියල. මම හිතුවෙ මට වඩා වැඩිමල් කියල බලන කොට මට වඩා බාලයි”   
“හන්තානෙ කතාවෙ යාළුකම නිසා විජයයි මමයි ඇඳුම් බිස්නස් එකකුත් පටන් ගත්තා. අපි දෙන්න අැඳුම් විකුණනවා’’   


මගේ ඇඳුම් විකිණෙනවා. හැබැයි විජයට දෙන ඇඳුම් විකිණෙන්නෙ නෑ. ආපහු මටම ගෙනත් දෙනවා. එ්ව මට දෙනකොට ටිකක් කිලුටු පාටයි. මට සැක හිතුණා’’   
‘‘මම දවසක් මඟ රැක ඉඳල විජයව අල්ල ගත්තා’’   
‘‘විජය කරන්නෙ මම දෙන ඇඳුම් ඇඳගෙන එහෙ මෙහෙ රෝන්දෙ ගහනවා. ඊට පස්සෙ විකිණුනේ නැහැ කියල ආපහු ගෙනත් දෙනවා ‘‘මෙහෙ දියං මගෙ ඇඳුම් ටික කියල මම එද‌ා විජයට බැණල මම ඇඳුම් ටික ආපහු ඉල්ල ගත්තා’’   


කලං විජය සමග ගෝරි ද‌ා ගත්තේ එසේය.   


වරක් නළු නිළි ක්‍රිකට් තරගයකදී මොකක්දෝ ප්‍රශ්නයක් නිසා ක්‍රිකට් පිත්ත විසිකොට ඔහු යන්න ගියේය. ගාමිණී ෆොන්සේකා පැමිණ ඔහුට යමක් කියනු මුළු රටම එද‌ා දුටුවේ රූපවාහිනියෙනි.   
‘‘වැල්ලෙ තැනූ මාලිගා” චිත්‍රපටය කල්පිටියේ කන්දකුලියේ රූගත කරද්දී හැමද‌ාම විජය කලං ගෝරිය.   
එහෙත් උදේට කලං එන්නේ විජය සමග එකම ජීප් රථයේය. ඇතැම් දිනවලදී ජීප් රථය පදවන්නේද කලංය. විජය සරමකින් හා අත්කොට කමිසයකින් සැරසී සෙරෙප්පු යුවළක් පැලැඳ එද්දී කලං විවිධ විලාසිතාවල ඇඳුම්වලින් සැරසී ඔහුත් සමග එයි.   


විජය හා කලං මේ චිත්‍රපටයේ රඟපෑවේ ධීවර තරුණයන් දෙදෙනකුගේ චරිතය.   
එක් රාත්‍රී දර්ශනයකදී තිබුණේ කලං ඔරුවක නැගී මුහුදු යන දර්ශනයකි. රැල්ල අධික නිසා පසුව ඔරුව කඹවලින් බැඳ පොල් ගසක කඹය ගැට ගසා එම දර්ශන රූගත කෙරිණ.   
මේ සිද්ධියේදී කලං කීවේ දවක විජය සමඟ මෝටර් බයිසිකලයක යද්දී අනතුරට පත් වූ බව එවෙලේ සිහිපත් වූ බවය.   
‘‘මට එද‌ා හොඳටම තුවාල වුණා. විජයත් හොඳටම බය වුණා එද‌ානම්’’   
එය ඇසූ විජය කීවේ   


‘‘මොන බොරුද මටයි තුවාල වුණේ. මූට මොකුත් තුවාලයක් නෑ. ඒ වුණාට අඬනවා. අනේ විජේ මට මොකුත් වෙයිද? මට මොනව හරි වුණොත් මගෙ දරු පවුලට යන කල මොකක්ද කියලා’’ විජය කියන්නේ සිනාසෙමින්.   
‘‘අනේ පලයන් විජේ යන්න බොරු කියන්නෙ නැතිව’’ කලං හරස් කපයි.   
‘‘බොරුද මම කියන්නෙ’’ හැම විටම ප්‍රේමාන්විත ස්වරයකින් කතා කරන විජය කිසිවිටෙක ගෝරියකට ආරාධනා නොකරයි. ‘‘ඔව් උඹ හරි’’ කලං ධීවර ගම්මානය ඇතුළට නොපෙනී යයි.   
තවත් විටෙක කලං විජය හා ඔට්ටු​ෙවන්නේ දේශපාලනය ඈඳාගෙනය. කතාව කෙළවරවන්නේද ගෝරියකිනි.   
අනේ පලයන් බං යන්න උඹ හිතනවද උඹ මන්ත්‍රී වුණාම මම උඹට සර් කියයි කියල. කලං තරමක් සැරට අසයි.   


‘‘මට මොකටද සර් කියන්නෙ. මම උඹට කිව්වද සර් කියන්න කියල’’ විජය පිළිතුරු දෙයි.   
‘‘අනේ පලයන් මම උඹට සර් කියන්නෙ නෑ’’   
ෂූටින් අවසන් වූ විගසම විජය යන්නට යයි. ඒ කාලයේදී ද ඔහු දැඩි උනන්දුවකින් දේශපාලනයේ යෙදුණේය.   
එහෙත් කලං අප සිටිනා නවාතැනේ නවතියි. විමල් කුමාරද කොස්තාගේ මූලිකත්වයෙන් යුතු රාත්‍රී සංගීත සාදය පවත්වන්නේ අපේ නවාතැනේය. ඒ සඳහා යොද‌ා ගැනෙන්නේ රූපගත කිරීම සඳහා ගෙන්වාගත් බෑන්ඩ් කණ්ඩායමකි.   
මාලිනී ෆොන්සේකා, රූබිද මැල්, මියුරි සමරසිංහ, තෙරේසා වීරසිංහ, කලං, කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න, විමල් කුමාරද කොස්තා, ඩී.ආර්. නානායක්කාර, වින්සන්ට් වාස්, කලා අධ්‍යක්ෂ ලයනල් සිල්වා, සහය අධ්‍යක්ෂ හරිශ්චන්ද්‍ර වීරසිංහ, අධ්‍යක්ෂ ෂර්ලි පී. විජේරත්න ආදී මේ සියලු දෙනාම රූගත කිරීම සඳහා උදේට මුහුදු වෙරළට යන්නේ ට්‍රැක්ටරයක ට්‍රේලරයේය.   
මුහුදු වැල්ලේ උඩ පැන පැන යන ටේලරයේ ගමන් කිරීම අපහසු වුවද විනෝදයකි. එහි උදේ කෑම, වතුර කළගෙඩි පමණක් නොව ඩීසල් කෑන්ද පමණක් නොව ඇඳුම් බෑග්ද ඇත. ඒ අතර කලංගේ විශාල ඇඳුම් බෑගයද කැපී පෙනෙයි.   


කලංගෙන් ටිකක් කරදරයකට තිබුණේ නිතරම ඇඳුම් මාරු කිරීමයි. ඒ නිසා ඇහැගහගෙන සිටිය යුතුය. දර්ශනය මැදදී කිසියම් අපහසුබවක් වෙතොත් ඔහු වෙනත් ඇඳුමක් දාගනියි. කල්පිටිය ප්‍රදේශය දැඩි උණුසුමෙන් යුත් නිසා බොහෝ වෙලා එකම ඇඳුමක් ඇඳගෙන සිටීම අපහසුය.   
ඇඳුම් වෙනස් වුණොත් දර්ශන සම්බන්ධතාව නොහොත් ‘‘කොන්ටිනියුට්’’ ගිලිහෙයි. සහාය අධ්‍යක්ෂවරයකු ලෙස චිත්‍රපට රාශියක වැඩ කළ ෂර්ලි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නිසා ‘‘කොන්ටිනියුට්’’ ගියොත් බැණුම් වරුසාවකි. එහෙව් බැණුම් බැන්නත් එක් තැනකදී කොන්ටිනියුට් වැරදුණේය.   
වින්සන්ට් වාස් විජය කුමාරතුංග සමඟ මුහුදු වෙරළේ සිට ධීවර පැල්පතට එන්නේ කෝට් එකක් ඇඳගෙනය. එහෙත් වාස් ගෙට ඇතුළු වන්නේ කෝට් එක නැතිව මේස් බැනියමෙනි. කලං ගැන ඇහැගහගෙන හිටි අපට එද‌ා වැරදුණේය. විජය සමග බොරු රණ්ඩු ඇදගන්නා කලං, අධ්‍යක්ෂ ෂර්ලි සමගද රූගත කිරීමේ අන්තිම දවසේදී ඇත්තටම පැටලුණේය.   


එකලද බොහෝ චිත්‍රපටවලදී ‘ඩිරෙක්ට් සවුන්ඩ්’ නැතහොත් දෙබස් එවෙලේම පටිගත කිරීමේ ක්‍රමය ජනප්‍රියව තිබුණේ නැත. ඊට හේතුව ‘‘ඩිරෙක්ට් සවුන්ඩ්’’ වලදී අනවශ්‍ය ශබ්දද පටිගත වී දෙබස්වලට බාධා පැමිණීමය.   
ඒ නිසා එකලද පසුව දෙබස් පටිගත කිරීම චිත්‍රාගාරයේදී සිදු කෙරිණ. ඒ සඳහා රූපගත කිරීමට මෙන්ම දෙබස් පටිගත කිරීමටද නළු නිළියන්ගෙන් දින වෙන් කරගත යුතුය.   
මාලිනී, විජය, කොස්තා, කලං ආදී නළුනිළියන් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා සිටි ඒ කාලයේ ඔවුන්ගෙන් දින ලබා ගැනීමද අතිශය අමාරුකටයුත්තකි. ඔවුන්ට එතරම් චිත්‍රපට වැඩ කටයුතු තිබිණ.   
දෙබස් පටිගත කිරීමට වෙනමම පිටපතක් සකස් කළ යුතුය. බොහෝ විට ඇතැම් නළු නිළියන් සමඟ රූගත කිරීමේදී දෙබස් වෙනස් වන නිසා එය යළි සටහන්කර ගත යුතුය. නැතහොත් දෙබස් පටිගත කිරීමේදී තොල් චලනය අනුව දෙබස සොයා ගැනීමට කාලය ගතවෙයි.   


කලංගේ දෙබස් උච්චාරණය අමුතුය. එය ඔහුටම ආවේණික වූවකි. බොහෝ විටෙක ඔහු දෙබස් කීමේදී විරාමය තබන තැන් වෙනස්ය. මේ නිසා කලංගේ රූගත කිරීම්වලදී අපි කළේ විශාල කැසට් රෙකෝඩරයක් රැගෙන ඔහුගේ දෙබස් පටිගත කර යළි අසා පිටපත් සටහන් කර ගැනීමය.   
මට මතක විධියට ෂර්ලි හා කලං පැටලුණේ දින ප්‍රශ්නයක් ගැන විය යුතුය. ‘‘උඹගෙ දින ඕනෑ නෑ පුතා. මම කවුරු හරි ද‌ාල ඩබ් කරනවා’’ ෂර්ලි කීවේ තරහිනි. ෂර්ලි එසේ කීවද කලංගේ හඬට වෙනත් හඬක් යෙදූවිට චරිතය කඩා වැටෙයි. අනෙක් කරුණ කලංගේ හඬ ප්‍රේක්ෂකයන්ට පුරුදු නිසා එය අසාර්ථක වෑයමකි. “හා එහෙනම් මං නැතිව කරගනින්” කලං ද කොක්කට හිටියේය.   
“පිස්සුද කැරැක්ටර් එක වැටෙනවා’’ මම කීවෙමි. ෂර්ලි නිහඬව සිටියේය.   
රූගත කිරීමෙන් අනතුරුව දෙබස් පටිගත කිරීම සති දෙකකින් පමණ යොද‌ා ගැනිණ. දැන් කලං නැත.   
විජය, මාලිනී, කොස්තා ඇතුළු පිරිසගේ දෙබස් පටිගත වෙයි. කලංගේ පටිගත කිරීම දිගින් දිගටම ඇදෙයි.   


‘‘මම කලංට කතා කරන්නද?’’ මම ඇසීමි.   
‘‘උඹට පුළුවන්ද? හැබැයි පුතා මම නම් කතා කරන්නෙ නෑ’’   
‘‘කලංව කොහොම හරි ගනිමු’’   
මම කීවෙමි.   
මම කලංට කතා කළෙමි. ඔහු එකල පදිංචිව සිටියේ ගෙලිඔයය. ඒ කාලයේ ජංගම දුරකතන නොවීය.   
ඇයි මහලොකුවට කරගන්නව කිව්වෙ කරගන්න කියපං’’ කලංද හරහට හිටියේය   
‘‘කාව හරි ද‌ාල කරයි. හැබැයි කැරැක්ටර් එක වැටෙනවා’’ මම කිවේමි.   
බෑ මම එන්නෙ නෑ’’   
කීපවරක් පින්සෙන්ඩුවීමෙන් පසු කලං එන්නට එකඟ වූයේය.   
‘‘මම එද‌ාට ‘‘පූජා’’ එකේ ෂූටින් ඉවරවෙලා එන්නම්. මට වාහනයක් එවපන්.   
පූජා රූගත කිරීම්වලින් පසු කලං චිත්‍රාගාරයට රැගෙන ආවේද මා ය.   
ෂර්ලි කතාවක් නැත. කලංද නිහඬය. දෙබස් පටිගත වෙද්දී ෂර්ලි කලංට යමක් කීවේය. කලංද ඊට උත්තර දුන්නේය. එපමණකි. පටිගත කිරීම නිමවිය. ගෝරියද නිමවිය. පටිගත කර යද්දී දෙදෙනාම කතා කර මිතුරු වූහ.   
කලං ඇත්තෙන්ම කරදරකාරී නළුවකු නොවේ. චරිතයකට ඕනෑ විධියට හැඩ ගසා ගත හැකි අපූරු දක්ෂයෙකි.   


ඔහු තිරකතා පිටපත් ඉල්ලා සිටින්නේ නැත. දර්ශනය පැහැදිලිකර දුන් විට සැණෙකින් චරිතයට අවතීර්ණ වීමේ සහජ දක්ෂතාවක් ඔහුට ඇත. ධර්මරාජයේම ශිෂ්‍යයකු වූ ධර්මසේන පතිරාජගේ ක්‍රමයට ඔහු හුරුවූවා විය යුතුයි.   
“අහස් ගව්ව කරනකොට පතීට ස්ක්‍රිප්ට් එකක් තිබුණෙ නෑ” කලං කියයි. පතීද එය සනාථ කර ඇත. පතී කීවේ අහස් ගව්වට නිශ්චිත තිර පිටපතක් නොතිබුණු බවය.   
“මම නළු නිළියන්ට හෝම් වර්ක් කරන්න කලින් තිර කතාව දෙන්නෙ නෑ’’ වැනි අදහසක්ද පතී පළකොට ඇත.   
තිරකතා පිටපතක් තිබුණේ නැතත් කලං තමන්ගේ රඟපෑම දක්ෂ අයුරින් නිරූපණය කරයි.   
‘‘මගෙ සම්මාන රාක්කෙ සම්මාන එකසිය ගණනක් තියෙනවා. හොඳම නළුවා, හොඳම සහාය නළුවා, ජීවිත කාලෙටම එකවරක් ලැබෙන සම්මාන, ජනප්‍රිය සම්මාන, ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, විචාරක සම්මාන’’   


ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රථම රූපවාහිනී නළුවාද කලංය.   
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී සම්මාන උළෙල වූ විජය රූපවාහිනී සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම මාලා නාටකය වූ ඩී.බී. නිහාල් සිංහයන්ගේ දිමුතු මුතු වෙනුවෙන් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ලැබුවේය.   
දැනට කෙටි කලකට පෙර ඔහු දැඩි ලෙස රෝගාතුර විය. ඒ කාලය වන විට මමද ඔහු සමඟ තරමක අමනාපයෙන් පසුවීමි.   
එහෙත් ඔහු දැඩි ලෙස ගිලන් වූ බව ඇසූ විට මගේ හදවත කඩාවැටිණ. මා ඔහු සමග අමනාපයෙන් පසුවීම නිසා ඒ වේදනාව තවත් අධික විය.   
මම ජයවර්ධනපුර  රෝහලට යන විට කලංගේ නහයට බට දමා තිබුණේය. ඔහුට සිහිකල්පනාවක් තිබුණේ නැත. අපහසුවෙන් හුස්ම ගන්නා ලකුණු පමණකි. කලංගේ දියණියත්, පුතු, බෑනා, බිරිඳ සියල්ලන්ම රෝහලේය.   


වෛද්‍යවරුන් කලං ගැන බලාපොරොත්තු අතහැර ගන්නැයි කියා තිබිණ.   
මම බොහෝ වෙලාවක් ඔහු දෙස බලා සිටියෙමි.   
“අන්කල් තාත්ති එක්ක තරහයි කියල තාත්ති හිතේ අමාරුවෙන් හිටියේ. කීපවිටක්ම අපි එක්ක කිව්වා’’ කලං ගේ දියණිය මධුමතී මා සමඟ කීවාය.   
“මොන පිස්සුද? දුව... ඒක මේ කාටවත් කියන්නවත් බැරි තරම් පොඩි සිද්ධියක්’’ එතැන් පටන් දිනපතාම කලංගේ දූ පුතුන්ගේ මොබයිල්වලට විරාමයක් නොවීය. කලං මද සුවය ලබා ගෙදර පැමිණි බව ඇසූ මම නිවසට ඇමතුමක් ගතිමි. මා පුදුමයට පත් කරමින් දුරකථනයට ආවේ කලංය.   
‘‘දැන් හොඳයිද?’’   


‘‘මට ගෙදරින් කිව්වා උඹ මාව බලන්න ආව කියල. බොහොම ස්තුතියි’’   
කලංගේ අමනාපකම් ගෝරි එහෙමය.   
අසූ හැවිරිදි වුවද ඔහු තවමත් කැමති තරුණයකු මෙන් එහෙ මෙහෙ දුව පනින්නටය. ජැන්ඩියට අඳින්න පලඳින්නටය. ඔහුගේ ‘ගෝරි’ ගැන නම් මට මෑතකදී නම් අත්දැකීම් නැත.   
කලංගේ ජනප්‍රිය වූ සිනමා චරිත අතර එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘අපේක්ෂා’’ චිත්‍රපටයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඔහු එහි එඟපෑවේ මාලනී ෆොන්සේකාගේ පෙම්වතා ලෙසය.  
‘‘මට මාලිනී එක්ක ලව් සීන් රඟපාන්න කිව්වම මොකක්ද වගේ හිතුණා. මාලිනීට මගේ තියෙන්නෙ ගෞරවයක්. මම ටිකක් අමාරුවෙන් තමයි ඒ රඟපෑම් කළේ” ඒ අපේක්ෂා ගැන කලංගේ අදහසය.   

 

 

රොඩ්නි විද‌ානපතිරණ