විවේකයට විනෝදයට අතුරු පසක්...


ඊළඟ අංකය   


එක් පිස්සෙක් ළිඳ සමීපයට වී අමුතු ඉරියව්වක සිටිනු දුටු දොස්තර මහතා එදෙසට කිට්ටු කළේය. 
‘‘හයයි හයයි..! හයායි....!’’ පිස්සා ඉවත බලාගෙන තොල් මතුරන්නේය. 


හයයි...? මොනව ද හරමානිස් හය ? දොස්තර ඇසීය. 


ළිං බැම්මේ හිඳ සිටි පිස්සා සිය දකුණතේ මහපට ඇඟිල්ල ළිඳ තුළට යොමු කළේය. ‘‘හයයි !’’ 


‘‘මොනවා හයක් ද?’’ කුතුහලයට පත් දොස්තර මහතා ළිද තුළට එබී බැලීය. පිස්සා එක්වරම දොස්තර මහතාගේ බෙල්ලෙන් අල්ලා ළිඳට තල්ලුකර දැමුවේය. 


මඳ වේලාවකට පසු හරමානිස් ළිං බැම්ම මත තැන්පත් ගතියෙන් හිඳ සිටි​යේය. යළිත් තොල් මැතිරීම ද ආරම්භ විය. 
‘‘හතායි..... හතායි....!!’’ 


බිත්තියේ රහස් 


පිස්සෙක් බිත්තියට කන තබාගෙන සිටිනු දුටු උපස්ථායකයෙක් එතැනට කිට්ටු කළේය. 
‘‘මොකද කරන්නේ?’’ ඔහු පිස්සාගෙන් ඇසීය. 
‘‘ෂ් !’’ පිස්සා මුව මත ඇඟිල්ල තබා. ඇස් කරකවා බිත්තිය පෙන්වීය. 
අනෙක් අතේ දබරඟිල්ලෙන් බිත්තියට දෙවරක් ඇන්නේය. 
‘‘මොකද්ද? මොනව ද ඇහෙන්නේ?’’ 


‘‘ෂ් !’’ පිස්සා යළිත් දබරඟිල්ල මුව මත තබා බිත්තියට ඇඟිල්ලෙන් ඇන්නේය. 
කුතුහලයට පත් උපස්ථායක තැන බිත්තියට කන තබා බැලීය. බොහෝ වේලාවක් සිටි මුත් කිසිම ශබ්දයක් ඔහුට ඇසු​ණේ නැත. 


‘‘කෝ? මොකුත් සද්දයක් නැහැනේ?’’ 
‘‘ඒක තමා !’’ පිස්සා නළල රැළි ගැන්වීය. ‘‘ කිසිම සද්දයක් නෑ !’’ 


දෙවියන්ට ලියුමක් 


එක් පිස්සකුගේ එකම චර්යාව වූයේ පෙත්සම් ලිවීමයි. ජනාධිපතිතුමාගේ සිට සියලුම ප්‍රභුවරුන්ට ඔහු ලිපි ලියා ඇත. ඒවා තැපැල් කරන්නට ඔහු දෙන්නේ දොස්තර මහතා අතටයි. එහෙත් කිසිම දිනෙක ඔහුට පිළිතුරු ලිපියක් නම් ලැබී නැත. 


ඔහු දෙන ලිපි දොස්තර මහතා ගෙදර ගෙන යයි. තම බිරියත් සමඟ කියවා විනෝද වූ පසු ඔහු ඒවා ඉවත දමයි. එක් දිනක් මෙසේ ගෙන ආ ලියුම් අතර අමුතු ලිපිනයක් තිබුණේය. 


කතරගම දෙවියන්, 
නව නගරය, 
කතරගම. 


‘‘සිරිදාස දැන් දෙවියන්ටත් ලියුම් ලියනවා වගෙයි.....’’ සිනාසෙමින් කී දොස්තර මහතා ලිපිය විවර කළේය. බිරිය සිනාසෙමින් සවන් යොමා සිටින අතර ඔහු ලියුම කියවන්නට විය. 
‘‘ගෞරවාදර කතරගම දෙවි හාමුදුරුවන් වෙතටයි. 


මා ඔබ වහන්සේට මේ සැළකර සිටින්නේ අනේ දෙයි හාමුදුරුවනේ මට මේ දිනවල මුදල් අතින් හරි අමාරුයි. පුළුවන්නම් රුපියල් පන්සීයක් කවරෙක දාලා එවන්න. ඔබ වහන්සේට පිං. 


මා නවතිමි. 
මීට යටහත්, 
සිරිදාස’’ 


‘‘පව් අනේ !’’ ලිපිය අසා සිටි දොස්තර බිරිය තෙපලාය. 


දොස්තර මහතා ද මේ ලිපියෙන් හද උණුවී සිටියේය. මේ අහිංසක ඉල්ලීම ඉටුවන තුරු සිරිදාස දැන් බලා සිටී. 
‘‘අපි මෙහෙම කරමු....’’ බිරිය අදහසක් පළ කළාය. ‘‘ ඔය රුපියල් දෙසීයක් විතර කවරෙක දාලා ගිහින් දෙන්න !’’ 


‘‘ඕක දිගටම ගියොත්?’’ 
‘‘ඒක එතකොට බලාගනිමු. මේ සැරේ ඕක දෙමු. පව්නේ !’’ 
පසුදාම දොස්තර මහතා සිරිදාස වෙත පැමිණ රුපියල් දෙසීය සහිත කවරය දුන්නේය.’’ මෙන්න අද නම් සිරිදාසට උත්තරයක් ඇවිත් !’’ 


සිරිදාස සතුටින් ලිපිය ඩැහැ ගත්තේය. දොස්තර මහතා ගිය සැණින් ලිපිය කඩා මුදල් ගැණ බැලීය. 
දත්මිටි කමින් වාට්ටුවට ගිය ඔහු කොළයක් සහ පෑනක් ගෙන ලිපියක් ලියන්නට විය. 
හැරෙන තැපෑලෙන්ම උත්තර එව්වාට ඔබ වහන්සේට ස්තුතියි. ඒත් දෙවි හාමුදුරුවනේ ආයෙත් සල්ලි එවනකොට මේ හොර දොස්තරය අතේ නම් එවන්න එපා. ඔබ වහන්සේ එවු සල්ලිවලින් රුපියල් තුන්සීයකටම මූ ඇනලා. 

 

කලණ මිතුසද