විසුවියස් කඳු පාමුල වැනසුණු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය


ගිනි කන්දෙන් විසිරී ලාවා තුළ පාෂාණ බවට පත් මිනිසුන් සමූහයක්

 

පොම්පෙයි ජනතාව බැතියෙන් සමරන ගිනි දෙවියන්ගේ පාරම්පරික උත්සවය වූ වල්කනාලියා සැමරුමට පසු දින, ක්‍රි.ව. 79 අගෝස්තු 24 වැනි දින, ලෝ දිය උතුරන නිරය නේපල්ස් බොක්ක වෙත කඩා වැදුණේ අනපේක්ෂිත මොහොතකය. ලෝදිය ගලා ආවේ විසුවියස් ගිනි කන්ද පුපුරා යාමෙනි. පොම්පෙයි නගරය විසුවියස් ගිනි කඳුවැටිය සහ ඉතාලියේ නේපල්ස් නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යයට අයත් නගරයකි. පොම්පෙයි දේශයට සුන්දරත්වය, සෞම්‍ය දේශගුණය, සරතැස නිවන සිහිලැල් සුළඟ ගෙන දුන් විසුවියස් කඳු පියස, මෙවන් ඛේදාන්තයක් තමන් වෙත රැගෙන එතැයි එරට වැසියන් කිසි දිනෙක අපේක්ෂා කරන්නට නැත.   


මහා විනාශයක පෙර නිමිති ලෙසින්, විසුවියස් ගිනි ශිඛරය වෙතින් සියුම් ධුමාරයක් නිකුත් වන්නට වූයේ, පුපුරා යාමට සති ගණනාවකට පෙර සිටය. නිරන්තරයෙන් ම ස්ත්‍රිය සහ මීවිත ඇසුරෙන් වින්දනීය දිවි පෙවෙතකට අනුගතව සිටි පොම්පෙයි ජනතාවට, තම ගම් පියස ඉස්මත්තේ පිහිටි විසුවියස් කඳු ශිඛරයෙන් අහසට නිකුත් සියුම් දුමාරය, මරණයේ සෙවනැල්ල දැක ගැනීමට තරම් විරාමයක් නොවූ සෙයකි. මහා විනාශයේ පෙරනිමිති ඔවුන් ඇස ගැසුණේ නම් ඔවුනට ආරක්ෂක ප්‍රදේශයක් කරා යාමට ප්‍රමාණවත් කාලයක් තිබිණි. ක්‍රි.ව. 79 පුපුරා ගිය විසුවියස් කන්ද, ඊට පෙර සියවස් ගණනාවක් පුරා උදාසීනව පැවතීම නිසා, ඒ අවට ජනතාව තුළ මෙම කන්ද තමන්ට තර්ජනයක් නොවන බවට විශ්වාසයක් පැවතීම ද ඔවුනගේ මෙම අකර්මන්‍යතාවට, නොසැලකිල්ලට හේතුවක් වූවා විය හැකිය. 

 
මෙම ප්‍රාග් ඓතිහාසික ව්‍යසනයෙන් විසුවියස් කන්දෙන් සැතපුම් 15 ක් ඇතුළත සෑම ගමක්, නිවසක් හා ගොවිපළක්ම පාහේ විනාශ විය. සරුසාර පොම්පෙයි සහ හර්කියුලේනියම් යන සමෘද්ධිමත් රෝමානු නගර විසුවියස් ශිඛරයේ පිපිරීමෙන් ටොන් දහස් ගණනක අළු හා ගිනියම් වූ ලාවා තට්ටුවලින් වැසී ගියේ ඇසිල්ලකිනි. පොම්පේ හි මිනිස් සංහතිය සහ ගොඩනැගිලි, මංමාවත් ඇතුළු සියලුම භෞතික වස්තූන් අඩි 19 සිට 23 දක්වා ගැඹුරු ලාවා තට්ටුවක් හා අළු තට්ටුවක් යට වැළලී සැඟවී ගොස් තිබූ බව අනාවරණය වූයේ පසුකාලීන පුරා විද්‍යාත්මක කැණීම් තුළිනි.   

 

විසූවියස් ගිනි කන්ද පාමුල පොම්පෙයි නගරයේ නටබුන්

 


නේපල්ස් ආසන්න මුහුදේ නැවක යාත්‍රා කරමින් සිටි ප්ලිනි නම් ලේඛකයා මෙම පිපිරීම සියැසින් දුටුවෙකි. පසු කලෙක මෙම අතිබිහිසුණු අත්දැකීම ඔහු සටහන් කළේ, “දිවියේ කිසි දිනෙක අසා නොමැති දැක නොමැති බියකරු හෙණ පිපිරුම් හඬට වඩා දහස් ගුණයක් ප්‍රබල පිපුරුම් හඬක් සමග විසුවියස් කඳු මුදුනින් යොදුන් ගණන් උසට දැවැන්ත ගිනිදැල් වේගවත්ව අහස තරණය කරනු දුටිමි. චණ්ඩ මාරුතයෙන් එම ගිනි දැල් සමග උතුරන ලාවා, අළු සහ සුවිසල් පාෂාණ කොටස් ගොඩබිම දෙසට වීසිවූයේ කාලතුවක්කු උණ්ඩ නිකුත්වනසුළු ඇදහිය නොහැකි වේගයකිනි.”   


මහ මග ගමන් කරමින් සිටි පිරිස්, නිවාසවල විවිධ කටයුතුවල නියැලී සිටි පවුල්, විවිධ වෘත්තීන්හි යෙදෙමින් සිටි ජනතාව ගිනියම් ලාවා ස්කන්ධයන් තුළ සැඟව ගියේ ඔවුන් විපතට පත්වන අවස්ථාවේ ක්‍රියාකාරීව සිටි ඉරියව් හැඩතලවලින්ම නිර්මිත පාෂාණයක් බවට පත්වෙමිනි.   


නේපල්ස් මුහුදු බොක්ක ආශ්‍රිත මිටියාවතෙහි ඉතාලියෙහි දකුණු දිශාන්තයේ කැම්පනියා ප්‍රදේශය වසා පැතිරී විසුවියස් ශිඛරයේ කේතුවක උස අඩි 4,203 ක් වූ නමුත් සෑම විශාල පිපිරීමකින් පසු එය සැලකිය යුතු ලෙස වෙනස්වීමකට බඳුන් වේ. මිලියන දෙකකට අධික ජනතාවක් විසුවියස් අවට සහ එහි පහළ බෑවුම්වල ජීවත් වූහ. නේපල්ස් බොක්ක වෙරළ තීරයේ කාර්මික නගර සහ උතුරු බෑවුම්වල කුඩා කෘෂිකාර්මික මධ්‍යස්ථාන රාශියක් පිහිටා තිබිණි.   


මිදි වතු සහ පලතුරු වතුවලින් වැසී ගිය විසුවියස් කඳු බෑවුම් ප්‍රදේශය සාරවත් බවින් අනූනව පැවතිණි.   
එහි වගා කෙරෙන මිදිවලින් ලබාගන්නා යුෂයෙන් ලැක්‍රීමා ක්‍රිස්ටි නමින් ලොව සුපතල වයින් නිෂ්පාදනය සිදුවිය. ලැක්‍රීමා ක්‍රිස්ටි යන ලතින් වදනේ අරුත ‘ක්‍රිස්තුස්ගේ කඳුළු’ යන්නයි. 

 
විසුවියස් ගිනි කන්දෙන් විදාරණය වූ තට්ටුවලින් ශතවර්ෂ ගණනාවක් වැසී පැවති පොම්පෙයි දේශය නිවැරදි ලෙසින් හඳුනා ගැනීමට හැකිවූයේ 1763 දී සොයාගත් ‘රී පබ්ලී පොම්පියානෝරම්’ නම් වූ ඓතිහාසික සෙල්ලිපියේ තොරතුරු ආශ්‍රයෙනි.   


නේපල්ස්හි රාජ්‍යත්වයට පත් දොන් කාලෝස්ගේ අනුග්‍රහය යටතේ හමුදා ඉංජිනේරු කාල් වෙබර් 1750 සිට 1764 දක්වා ක්‍රමානුකූල අධ්‍යයනයන් සිදුකර කැණීම් ආරම්භ කරනු ලැබිණි. නගරය ගිනිකඳු අළුවලින් වළලනු ලැබූ බැවින්, වසර දහස් ගණනකට පෙර මුළු නගරයක්ම ගිනි කන්දකින් අතුගා දැමූ බව කිසිවකු දැන සිටියේ නැත. වසර දහස් ගණනක් තිස්සේ පොම්පෙයි මුළු නගරයම තද නින්දක නිමග්නව සිටි සෙයකි.   
කැණීම් කිරීමට පටන් ගන්නා තෙක් පොම්පෙයි බොහෝ දුරට මිනිස් ස්පර්ශයෙන් තොරව පැවතිණි. ලාවා අළු විශ්මිත ලෙස භෞතික දෑ කල් තබාගන්නා ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කර ඇති බව පර්යේෂකයන්ට අවබෝධ විය. එම ලාවා දූවිලි සියල්ලටම යටින්, පොම්පෙයි නිශ්චිතවම අවුරුදු 2000කට පෙර තිබූ ආකාරයටම දැකගත හැකිවිය. එහි ගොඩනැගිලි නොවෙනස්ව පැවතුනි. මිනිස් මළ කඳන් වැටී තිබූ තැන්වල්මය. ඔවුන් එදිනෙදා භාවිත කළ භාණ්ඩ ද ඒ අයුරින්ම විය.   


පොම්පෙයි නගරයෙහි කැණීම් කටයුතු නිරීක්ෂණය පිණිස, 1752 දී එවකට නේප්ල්ස් හි රජුවූ VII චාර්ල්ස් එහි පැමිණි අවස්ථාවක දී පුරාවිද්‍යා කැණීම්වලින් හමුව තිබූ කිරිගරුඬ ප්‍රතිමාව දැක හේ මහත් උදහසට පත්වූ බැව් පැවසේ. හර්කියුලේනියම් ප්‍රදේශයෙන් හමුවූ මෙම කිරිගරුඬ ප්‍රතිමාවෙන් නිරූපිත වූයේ ග්‍රීක සහ රෝම දෙවියෙකු වූ පෑන්, එළු දෙනක සමග මෛථුන්‍යයේ යෙදෙන දර්ශනයකි. චාර්ල්ස් රජු මෙම ප්‍රතිමාව පොදු මහජනතාවගෙන් සඟවා තබන්නටත්, කැණීම් කටයුතු නවතා දමන්නටත් නියෝග කළේය.   
පුරාවිද්‍යා කැණීම් මගින් මතු කරගත් දෑ නිරීක්ෂණයෙන්, ඉපැරණි පොම්පෙයි සමාජයේ ලැදියාව, දෛනික ජීවන රටාව පිළිබඳව චර්යාත්මක පුරාවිද්‍යාව ආශ්‍රයෙන් නිවැරදි පුරෝකථනයක් කිරීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත.   


චර්යාත්මක පුරාවිද්‍යාව (Behavioral Archaeology) යනු ආදි මානවයන්ගේ කලා ශිල්ප, ඔවුන් පරිහරණය කළ, පාරිභෝජනය කළ භෞතික භාණ්ඩයන් ආශ්‍රයෙන් ඔවුන්ගේ හැසිරීම් රටාව විශ්ලේෂණය කර හඳුනාගැනීමේ ක්‍රමවේදයයි. නිවාස, විලා, විනෝදාගාර, ආගමික ස්ථාන සහ එම ස්ථානයන්හි දැකගන්නට ලැබුණු භාණ්ඩ, චිත්‍ර, මූර්ති විශ්ලේෂණය කිරීමෙන් පසුව පුරාවිද්‍යාඥයින් අදහස් දක්වා ඇත්තේ, ඈත අතීතයෙහි පොම්පෙයි නාගරිකයන් දැඩි කාමසුඛල්ලිකානුයෝගී දිවිපෙවෙතකට අනුගත වී සිටි බවකි. පොම්පෙයිහි දැඩි පුරුෂාධිපත්‍යයක් තිබූ බවත්, පුරුෂ ශිෂ්ණය සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස සැලකූ බවත් සනාථ කෙරෙන නටබුන් විශාල සංඛ්‍යාවක් සොයා ගෙන ඇත. මේ හේතු නිසාම ඔවුන් එදිනෙදා භාවිත කෙරෙන පිඟන්, පහන් ආවරණ වන් භාණ්ඩයන්හි ද එම සංකේතය යොදා ගත් අවස්ථා බහුල වශයෙන් දක්නට ඇත. පොම්පෙයිහි රාගික සන්තර්පණය ලද හැකි කේන්ද්‍රස්ථාන ලූපනාරේ ග්‍රෑන්ඩ් ය. එහි අරුත ‘විනෝදජනක නිවහන’ යන්නයි. මෙම නිවාසයන්හි හාත්පස බිත්ති ස්ත්‍රීන්ගේ නිරුවත් සිතුවම්වලින් වැසී තිබිණි. මෙම නිවාසවල දිශාව දැක්වීම සඳහා ඊතල ලෙස නගරයේ වීදිවල යොදා තිබූ පුරුෂ ශිෂ්නයන්ගේ ස්වරූපයේ කැටයම් ද පුරාවිද්‍යාඥයින්ට හමුවිය. තරුණ වහල් කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන ද පොම්පෙයිහි පැවති බව තහවුරු කෙරෙන, බිත්තිවල සිතුවම් කළ ඉපැරණි චිත්‍ර ගණනාවක් ද හමුවී ඇත. බොහෝ කාමරවල භූ දර්ශන සහ වෙනත් පුරාවෘත්ත කලාවන් අතර ස්ත්‍රී පුරුෂ සම්භෝගය දැක්වෙන චිත්‍ර දක්නට ලැබුණි. පොම්පෙයිහි ගොඩනැගිලිවල චිත්‍ර ඇඳීම යුගයේ වාස්තු විද්‍යාත්මක ප්‍රවණතා හැඩගැස්වීමට බෙහෙවින් උපකාරී වූ බව ද සැලකේ.   


යුරෝපා සමාජය, බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ රාජ්‍ය සමයේ සමාජගතව පැවති කාන්තාවකගේ නිරුවත් දෙපතුල් ප්‍රදර්ශනය පවා සදාචාර විරෝධී යැයි සැලකූ සුචරිතවාදී වික්ටෝරියානු හර පද්ධතීන්ට අනුගත දිවි පෙවෙතකට නැඹුරුව සිටියහ. ඔවුහු පොම්පෙයි හි කැණීම්වලින් මතුවූ මෙවන් ශෘංගාරාත්මක ප්‍රතිමා, චිත්‍ර, සංකේත දර්ශනයෙන් ඉමහත් කම්පනයකට පත්වූහ.   


පුරාවිද්‍යා කැණීම් කරගෙන යාමේදී මතුවූ පොම්පෙයි හි අයිසිස් දේවාලය මැනවින් ආරක්ෂා වී තිබිණි. අයිසිස් ඇදහීම ආරම්භ වූයේ පුරාණ ඊජිප්තුවේ දේවතාවියක් ලෙසිනි. ඇය නයිල් ගඟේ ඩෙල්ටාවේ කෘෂිකාර්මික දේවතාවිය ලෙස වන්දනාමානයට පාත්‍රවූ අතර පොම්පෙයි ජනතාව ඇය සොබාදහමේ දේවතාවිය ලෙසින් සලකා පුද පූජා පැවැත්වූහ. විසුවියස් ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේදී පූජකවරු අයිසිස් දේව මාලිගාවේ නිධන් බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර, ඔවුන්ගෙන් එක් අයකුගේ මළ සිරුර සහ ඔහු අත රැඳි රන් භාණ්ඩ ඇසිරූ මල්ලක් දක්නට ලැබිණි.   


අයිසිස් දෙවඟනට අමතරව පොම්පියානුවන් බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කළහ. මූලික වශයෙන් ග්‍රීක රෝම දෙවිවරුන් වන බ්‍රහස්පති (ග්‍රීක සියුස්), ජූනෝ (හේරා), මිනර්වා (ඇතීනා) සහ ඇපලෝ ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී.   


1930 දශකයේ පොම්පෙයි නටබුන් අතුරින් ඉන්දියානු ලක්ෂ්මි දෙවඟනගේ ප්‍රතිමාවට සමාන කුඩා ඇත්දළ ප්‍රතිමාවක් සොයා ගැනිණි. මෙමගින් නිරූපණය වන්නේ සශ්‍රීකත්වය සංකේතවත් කෙරෙන වෘක්ෂ දේවතාවියක බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. මෙම ප්‍රතිමාවේ පැලඳ ඇති ආභරණ රාශිය නොසලකා නිරීක්ෂණය කිරීමේදී, එය බොහෝදුරට නිරුවත් ස්වභාවයක් ගනියි. ක්‍රි.ව. 79 දී විසුවියස් කන්ද විදාරණය වී නගරය වැළලී ගිය අවස්ථාවේ ද මෙම ප්‍රතිමාව පොම්පෙයිහි පැවතීම තුළින් ක්‍රි.ව. 1 වැනි සියවසේ ඉන්දු-රෝම වෙ​ෙළඳ සබඳතා පැවති බැව් තහවුරු වේ.   


ජූලියස් සීසර්ගේ මාමණ්ඩිය වූ ලූසියස් කැල්පර්නියස් පිසෝ සීසොනිනස් විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරෙන ගිනි කන්දේ බෑවුමෙන් අඩක් පමණ ඉහළින් පිහිටි නිවසක් වන විලා ඩී පැපිරි කැණීම්වලදී හමුවූ ආකර්ෂණීය ගොඩනැගිල්ලකි. මෙහි ස්ථාපිතව පැවති පුස්තකාලයෙහි සුරැකී පැවති පැපිරස් ලියවිලි 2000කට ආසන්න ප්‍රමාණයක් ද හමුවිය.   


පෞරාණික රෝමයේ සමාජ, ආර්ථික, ආගමික මෙන්ම විශේෂයෙන්ම මිනිස් වර්ගයාගේ සැඟවුණු චර්යාත්මක හැසිරීම් රටා පිළිබඳව ද අද්විතීය තොරතුරු හැදෑරීමේ මූලාශ්‍රයක් ලෙසින්, පොම්පෙයි හි කැණීම් මගින් අනාවරණය කරගත් තොරතුරු මානව විද්‍යාඥයින්ට අතිශයින්ම වැදගත් වේ.   

 

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්