- දාසයකුට මරණයේ දී පවා තම ස්වාමියා අතහැර දමා යා නොහැකිය.
- පොම්පෙයි නුවර කැණීම් ඇරඹුණේ වර්ෂ 1748 දී. අද දක්වාම එම කැණීම් සිදු වෙනවා. මියගිය නගරවාසීන් 2000 කගේ 1500 ක සිරුරු දැනට මතුකරගෙන
ක්‍රිස්තු වර්ෂ 79 දී ඉතාලියේ පොම්පෙයි නුවර විසූවියස් ගිනිකන්ද පුපුරා යෑමෙන් සිදු වූ විනාශයේ තරම ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ අවස්ථාවන්හි දී හෙළි වනුයේ සියවස් ගණනාවක් තිස්සේ එම නගරයේ සිදු කරන පුරාවිද්‍යා කැණීම් හේතුවෙනි. එම කැණීම්වලින් තවත් ඛේදනීය තොරතුරු කිහිපයක්ම ඉකුත් දා අනාවරණය වූයේ විසූවියස් ගින් කන්දේ පුපුරා යෑමේ රුදුරු බව තව තවත් තහවුරු කරමිනි.
පුරාණ රෝම නගරයක් වන පොම්පෙයිහි විසූවියස් ගිනිකන්ද පුපුරා යාමෙන් පසු පලා යමින් සිටිය දී මියගිය බවට විශ්වාස කෙරෙන ධනවත් මිනිසෙකුගේ සහ ඔහුගේ දාසයාගේ සිරුරු නගරයෙන් පිටත සිදු කළ කැණීම්වල දී සොයා ගැනීමට පොම්පෙයි පුරා විද්‍යාඥයන් පිරිසක් පසුගියදා සමත් වූවා. විසූවියස් ගිනි කන්දේ සෙවණැල්ල මායිමේ හුන් පොම්පෙයි නගර වැසියන් එක් මොහොතකින් ධූලි ගොඩක් බවට පත් කළ ඒ අතීත ව්‍යසනයේ ඛේදනීය බව තව තවත් සනිටුහන් කරන මෙම සිරුර දෙක නගරයේ තිබූ මහා මන්දිරයකින් සොයා ගෙන ඇත්තේ එම මන්දිරයේ කලක් තිස්සේ කළ කැණීම් වලින් අනතුරුවය.
පුරාවිද්‍යා කැණීම්වල දී අනපේක්ෂිත ලෙස හමු වූ මෙම සිරුරු විසූවියස් ගිනිකන්ද සක්‍රීය වී පිපිරීයාමෙන් බේරීමට තැත් කළ ධනවතකුගේ හා ඔහුගේ දාසයා ලෙස කටයුතු කළ තැනැත්තෙකුගේ වන්නට ඇති බව කැණීම් සිදු කළ පුරාවිද්‍යාඥයන් අනුමාන කරති. දැනට හෙළිවි ඇති පුරාවිද්‍යා කරුණු අනුව පොම්පෙයි නගර වැසියන් පළා යෑම සිදු කර ඇත්තේ විසූවියස් ගිනිකන්දේ අළු සහ දුම ගලා යන්නට ගත් දිනයේ දී බව කියැවේ.
කැණීම් වලින් සොයා ගත් පැරණි මෙම සිරුරු දෙක තිබී ඇත්තේ එක ළඟ ආසන්නයේය. පුරාණ රෝමයේ පැවති රීතියක් වූයේ යම්කිසි දාසයෙකුට මරණයේ දී පවා තම ධනවත් හාම්පුතු අතහැර දමා යා නොහැකි බවටය. 2017 වසරේදීත් මෙම ස්ථානයේදීම කටකලියා දැමූ අශ්වයන් තිදෙනකුගේ නෂ්ටාවශේෂ හමු වූ අතර ඒ අනුව අලුතින් හමු වූ මෙම ධනවතා සහ දාසයා ගිනිකඳු පුපුරා යෑමේ දී අසු පිටින් සිය ජීවිත බේරාගෙන පළා යාමට උත්සාහ කර ඇති බව අදාළ කැණීම්වල නිරත වූ පුරා විද්‍යාඥයෝ අනුමාන කරති.
සොයා ගත් සිරුරු ගල් ගැසී තිබූ අතර, හෙළිවන පුරාවිද්‍යා කරුණු අනුව දාසයා වයස අවුරුදු 18 ත් -25ත් අතර වයසේ පසු වූ අයෙකු ලෙස ද ධනවත් හාම්පුතා වයස අවුරුදු තිහත් හතළිහත් අතර වියේ පසු වූ අයෙකු බවත් කියැවේ. එසේම ධනවතාගේ සිරුරේ ශක්තිමත් අස්ථි තීබි ඇත. දාසයා ලෙස අනුමාන කරන තැනැත්තා රැළි දැමූ කබායකින් සැරසී සිට ඇති අතර ඔහුගේ කශේරුව තෙරපීම් සහිත කුදු අයෙකු බව ද තහවුරු වී ඇත.
කැණීම් උද්‍යානයේ අධ්‍යක්ෂ මැසිමෝ ඔසානා පැවසුවේ මෙම සොයා ගැනීම “සැබවින්ම සුවිශේෂී” එකක් වන බවය. එසේම එරට සංස්කෘතික අමාත්‍ය ඩාරියෝ ෆ්‍රැන්චෙස්චිනි පැවසුවේ අධ්‍යයනය සහ පර්ෙය්ෂණය සඳහා ස්ථානයක් ලෙස පොම්පෙයිහි ඇති වැදගත්කම අවධාරණය කරන බවයි.
උද්‍යාන බලධාරීන් පැවසුවේ ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් කැණීම් කිරීමෙන් මිනිසුන් ගමන් කරන්නේ කොතැනට ද යන්න වග තීරණය කළ හැකි බවයි. මෑත වසරවල දී පොම්පෙයි හි කැණීම් කර සොයාගත් විශ්මය ජනක සොයා ගැනීම් මාලාවක නවතම හෙළිදරව්ව මෙය වේ.
ගල් ගැසුණු සිරුරු සොයාගත් මහා මන්දිරය මේවනවිට පුරාවිද්‍යාඥයන්ගේ වැඩිම අවධානයක් දිනාගත් ස්ථානය බවට පත් වී ඇත. 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී මේ මන්දිරයේම කාමරයකින් කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුර ද සොයා ගැනීමට පොම්පෙයි කැණීම සිදු කරන පුරාවිද්‍යාඥයන් සමත් වූහ. මීට අමතරව ඒම වසරේ මැයි මාසයේදීත් විසූවියස් ගිනිකදු පළමු පිපිරීමෙන් දිවි ගලවා ගත් පුරුෂයෙකුගේ සිරුරක් ද හමු විණි. ඔහුගේ පාද සහ සිරුරේ උඩු කොටස දැවැන්ත ගල් කුට්ටියට හසුව තිබී ඇති බව හෙළිදරව් වූ අතර ගිනි කන්දෙන් නිකුත් වූ විස දුම ආඝ්‍රාණය වීමෙන් මිය යන්නට ඇති බව ද තහවුරු වී ඇත. අවුරුදු තිස් ගණන්වල පසුවන මේ තැනැත්තා සතුව රිදී විස්සක් සහ ලොක් කාසි 2ක් සහිත කුඩා මඩිස්සලයක් ද තිබී ඇත. මේ මුදලේ වටිනාකම වර්තමානය වන විට යුරෝ 500 ක් පමණ වන බව සඳහන් වේ.
වසර 2000කට පමණ ඉහත දී ඉතාලියේ විසූවියස් ගිනිකන්ද පුපුරා යාමෙන් විනාශ වූ පොම්පෙයි නගරයේ සුන්බුන් අතරින් අලුතින් මතුකර ගත් තවත් කැණීමක් වූයේ අවුරුදු 2000ක් පැරණි බිතු සිතුවම් පෙළකි. මේ බිතුසිතුවම් මතුකර ගෙන ඇත්තේ විසූවියස් ගිනි කන්දේ ලාවා හා අළුවලින් වැසුණු පොම්පෙයි නරගයේ නිවෙස්වල නටබුන් අතරිනි.
පසුගියදා මේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන් මෙම බිතු සිතුවම්වල ඡායාරූප රාශියක් මාධ්‍ය වෙත මුදා හැරියේය.
තද රතුපැහැති පසුබිම් මත ඇඳි සර්පයන් මොනරුන් ඇතුළු කුරුල්ලන් මල් ගස් වැල් මෙන්ම සත්ව රූප ද දේව රූප ද ඊට අයත් වන අතර යාඥා කරන අල්තාරය අසල චිත්‍රවලට සරුබවේ සංකේත හැටියට බිත්තර හා පලතුරු ද ඇතුළත් කර ඇත.
පුරාවිද්‍යාඥයන් සඳහන් කරනුයේ මේ සිතුවම්වලින් හෙළිවන්නේ පොම්පෙයි නගරයේ එකල පැවති ධනවතුන්ගේ නිවෙස්වල දෙවියන් ඇදහීමට වෙනම ස්ථාන සකසා ගෙන තිබුණු බවයි. එපමණක් නොව ඒ සිතුවම් ද ඉතා උසස් මට්ටමක පවතින බවයි.
පැරණි රෝමයේ ”ලැරේරියා” යනුවෙන් හැඳින්වුණු මෙම කුඩා දේවස්ථාන ධනවතුන්ගේ නිවාසවල ඉදිරි කොටසේ තනා තිබුණු බව පවසන පුරාවිද්‍යාඥයන් මෙය එකල පැවති සුවිශේෂ වූ සමාජ ලක්ෂණයක් යැයි පවසති
මෙහි කැණීම් භාර පුරාවිද්‍යාඥ මැසිමෝ ඔසන්නා කියන්නේ ”මෙම විස්මිත සොයා ගැනීම ගැන තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි.” මෙහි එන එක චිත්‍රයක සුනඛ හිසක් සහිතව ඇඳි මිනිස් රුවක් පවතින අතර එය ඊජිප්තු දෙවියකුගේ රෝම අනුවර්තනයක් විය හැකි බව ඔවුහු විශ්වාස කරති.
ඉතාලියේ නොත්‍රඩම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වූ ඉන්ග්‍රිඩ් රෝලන්ඩ් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අදහස් පළ කරමින් කියා ඇත්තේ ඒ යුගයේ රෝම ධනවතුන්ගේ නිවාසවල මෙවැනි කුඩා දේවස්ථාන පැවතීම සම්ප්‍රදායක් ව තිබූ බවයි.
ඉතාලියේ විසූවියස් ගිනිකන්ද පුපුරා යාමෙන් නිකුත් වූ යමහල් ලාවා හා අළුවලින් පොම්පෙයි ඔපලොන්ටිස් හා ස්ටැබියේ යන නගර එහි විසු ජනතාව සමග මුළුමනින්ම යට වී විනාශ විය. ඒ හැරෙන්නට වෙරළබඩ නගරයක් වූ හර්ක්‍යුලේනියම් ද මේ බිහිසුණු යමහලේ විදාරණයට ගොදුරු වූ බව ද සඳහන් වේ.
ඉතාලියේ බටහිර වෙරළේ පිහිටි විසූවියස් ගිනිකන්ද යුරෝපා මහාද්වීපයේ ඇති එකම සක්‍රීය යමහල ලෙසත් ලෝක ඉතිහාසයේ පැවති ගිනිකඳු අතරින් භයානකම එකක් ලෙසත් හැඳින්වේ. එදා එය පුපුරා යද්දී ඉන් නිකුත් වූ අළු ලාවා හා ලෝ දිය ඇතුළු යමහල් සුන්බුන් සෙල්සියස් අංශක 500ක් තරම් උෂ්ණත්වයක පැවැතියේය.
එපමණක් නොව ලාවාවලට වඩා ගිනි කන්දෙන් නිකුත් වූ සෙල්සියස් අංශක 1000ක් පමණ අධික උෂ්ණත්වයෙන් යුත් ගිනියම් ඝන වායු ධාරාත් ඒ සමග නිකුත් වූ අළු ඇතුළු ද්‍රව්‍ය පැයට කිලෝමීටර් 700කට අධික වේගයෙන් ගලා ගිය නිසාත් ගිනිකන්ද පුපුරා ගියේ මධ්‍යම රාත්‍රියේ වීමත් නිසා ඊට අසු වූ නගර වැසියන් කිසිවකුටත් බේරීමට හැකියාවක් තිබී නැත.
දින දෙකක් තිස්සේ නොකඩවා සිදුවූ මේ ඛේදවාචකය ඇසින් දුටු වාර්තාවක් 16 වැනි සියවසේ දී සොයා ගනු ලැබුණි.. ඒ වාර්තාව ලියා තිබුණේ එකල පරිපාලකයකු ලෙස සේවය කළ කනිෂ්ට ප්ලිනී නම් කවියා විසිනි. ඔහු මෙය දුර සිට නරඹා තිබේ. ගිනිකන්ද පුපුරායාම වැසියන් කිසිවකු නොදැන සිටි බව එහි සඳහන් වේ.
ගිනි කන්දේ දුමාරයෙන් අහස වැසී ඇඳුරු වී ගිය බවත් ඒ බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් අන්දමන් ද වුණු වැසියන් විලාප දෙමින් පන්දම් එළි රැගෙන හිස් ලූ ලූ අත දිවූ බවත් ඔහුගේ ලේඛනයෙහි දැක්වෙනවා.
ගිනි කන්දෙන් ලාවා හා අළු ගලා ගෙන ගොස් ඇත්තේ පැයට හැතැප්ම 124ක (කිලෝ මීටර් 199ක) පමණ වේගයෙන් යැයි කියවෙනවා.
ඉතාලියේ පොම්පෙයි නුවර මේ නෂ්ඨාවශේෂ සහ සම්පූර්ණ ලෙස සංරක්ෂණය වූ ලාවා සහිත මමි බවට පත් වූ සිරුරු පුරාවිද්‍යාඥයන් විසින් සොයන්නට පටන් ගත්තේ 16 වැනි සියවසේ පටන්ය. ඒ අනුව 1748 වසර් සිට මෙම ඓතිහාසික කැණීම් ආරම්භ වූයේය. ගිනි කන්ද පුපුරා යෑමෙන් මිය ගිය 2000 කට අධික නගර වැසියන්ගෙන් 1500ක ගේ සිරුරු එතැන් පටන් මේ සියවස් ගණනාව පුරා සිදු කළ කැණීම් වල දී හමු වී ඇත.
1748 දී ඇරඹි පොම්පෙයි නගරයේ කැණීම් කොවිඩ් වසංගතය මැද ක්‍රියාත්මක වන්නේද යූරෝ මිලියන එකක් වටිනා ව්‍යාපෘතියක් යටතේය. දැනට සංචාරකයන් සඳහා වසා ඇති මෙම පොම්පෙයි පුරාණ නගර උද්‍යානය සාමාන්‍යයෙන් වසරකට මිලියන 4 ක ජනතාවක් ආකර්ෂණය කරන්නා වූ ලොව ජනප්‍රියම ගමනාන්තයකි.
ගාඩියන් සහ ඉතාලි විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරෙනි...
සටහන
තිළිණි ද සිල්වා