සබා සහාර්, සිය සැමියට සමුදී, ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාත්, රියැදුරාත් සමඟ රාජකාරි සඳහා නිවසින් පිටත් වූවාය. කිලෝ මීටර් කිහිපයක් දුරින්, කාබුල් අගනුවරට දකුණු දෙසින්, යතුරු පැදි තුනකින් පැමිණි තිදෙනෙක්, සබා සහාර්ගේ මෝටර් රථය හරස් කළහ.
සිදුවන්නේ කුමක්දැයි වැටහෙන්නටත් පෙර, යතුරු පැදිවලින් ආ තිදෙනා සබා සහාර් සහ ඇගේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාට වෙඩි තබන්න විය. ඔවුන් රියැදුරුට අනතුරක් කළේ නැත. යතුරුපැදි ඝාතකයන්ගේ ඉලක්කය පැහැදිලිය. ඔවුන්ගේ ඉලක්කය වූයේ 44 හැවිරිදි සබා සහාර් ය.
සබා සහාර්, ඇෆ්ගනිස්තානයේ ප‍්‍රථම සිනමා අධ්‍යක්ෂවරියයි. ඇෆ්ගනිස්තානුවන්ට වටිනා චරිතයක් නොවුණත්, බටහිර රටවල ඇය ප‍්‍රසිද්ධියට පත්ව සිටී. ඒ ඇගේ සිනමා නිර්මාණවල වූ අපූර්වත්වයයි. බටහිර සිනමාලෝලීන් ට සහ සිනමා විචාරකයන් ට ඇෆ්ගනිස්තානය සහ ඇෆ්ගන් සමාජය විනිවිඳ දැකීමට, සබා සහාර්ගේ යථාර්ථවාදී සිනමාව ඉවහල් විය. සබා සහාර්ගේ සිනමා නිර්මාණ සැබැවින් ම විශිෂ්ටය. ඇය විදෙස් විචාරකයන්ගේ පැසැසුමට ලක් වී ඇත්තේ එහෙයිනි.
සබා සහාර්, සිනමා අධ්‍යක්ෂවරියක පමණක් නොව, චිත‍්‍රපට නිෂ්පාදිකාවකි. නිළියකි. ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියකි. එපමණක් නොව, ඇය පොලිස් නිලධාරිනියක ලෙස පුහුණුව ලැබූ තැනැත්තියක. සබා සහාර් සාම්ප‍්‍රදායික ඇෆ්ගන් මුස්ලිම් කාන්තාවක නොවූවාය. ඇගේ මරණයට හේතුවක් වන්න ඇත්තේ ද එය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
2004 වසරේ දී, සබා සහාර් අධ්‍යක්ෂණය කළ පළමු චිත‍්‍රපටය වන්නේ ‘ද ලෝ’ ය. එය අතිශය සාර්ථක විය. 2010 දී ඇය අධ්‍යක්ෂණය කළ ‘පාසිං ද රේන්බෝව්’ චිත‍්‍රපටය ඇමෙරිකා සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් විය. ඇමෙරිකාවේ චෙල්සා ලලිත කලා විශ්ව විද්‍යාලයේ දී සිනමාව ඉගැන්වීමට කලාත්මක මෙන්ම විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන ‘පාසිං ද රේන්බෝව්’ චිත‍්‍රපටය පාදක කර ගැනෙයි. ඇගේ අවසන් චිත‍්‍රපටය වන්නේ 2011 වසරේ අධ්‍යක්ෂණය කළ ‘කාබුල් ඩ්‍රීම් ෆැක්ටරි’ ය.
ඇෆ්ගනිස්තානයේ ප‍්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ ඇෆ්ගන් තලේබාන් ත‍්‍රස්තවාදීන්ය. කෙසේ නමුත් තලේබාන් ත‍්‍රස්තයන් පවසා ඇත්තේ තමන් සබා සහාර්ගේ ඝාතනයට සම්බන්ධ නොවන බවය. ඇතැම් තලේබාන් ත‍්‍රස්ත කල්ලි සමඟ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානය ද සම්බන්ධ වී සිටී. සබා සහාර්, ඝාතනය සම්බන්ධයෙන් කාබුල් පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒත්, සබා සහාර් ඝාතකයන් සොයා දඬුවම් ලැබේවි ද යන්න සැක සහිතය. ‘එදා ඇය මගෙන් සමුගෙන ගියා. ඇය සඳහටම මා දමා යාවි මා සිතුවේ නැහැ. ඇය ජාත්‍යන්තරය දිනූ තැනැත්තියක්. සැබැවින්ම ඇෆ්ගනිස්තානයට ආඩම්බරයක්.’ යැයි සබාගේ සැමියා අමල් සාකී මාධ්‍ය හමුවේ පැවැසුවේ කඳුළු සලමිනි.
ලූසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි