අනේ මාමේ,
මේක කරන්න බෑ මාමේ...
මට මේ බංබුවේ කසාදෙන් වැඩක් නෑ ඕයි...
විකාශය වන ‘පිරිමි ළමයි’ නාට්‍යයේ උක්කු බබා හෙවත් දේවින්ද කියන දෙබසකි ඒ. දේවින්ද හෙවත් උක්කු බබාට ගමේ අය කතා කරන්නේ පුංචි හාමු යනුවෙනි.
මීට පෙර ‘ලලයි ලිලයි ලයි’ නාට්‍යයේ චරිතයක් සමග අපට හමු වූ මේ දක්ෂයාගේ සැබෑ නාමය වන්නේ තීක්ෂණ ශ්‍රී විජේසිංහ ය.
සැබෑ ජීවිතය සංකීර්ණ කර නොගෙන නිදහස් මනසකින් කටයුතු කිරීමේ අරමුණු ඇතිව ජීවිතය ගත කරන තීක්ෂණ, ටිකක් වෙනස් විදිහට හිතන තරුණ රංග ශිල්පියකු ලෙස හඳුන්වන්න පුළුවනි.
“වැඩිය වහිද්දී මට එළියට යන්න ඕනෑ නම් වැස්ස නවත්වන්න උත්සාහ ගන්නේ නැහැ. කුඩයක් අරන් එළියට බහින එක මගේ විදිහයි. වැස්ස කියලා කළ යුතු වැඩේ නවත්වන්නේ නැහැ. කුඩේ අරගෙන ගිහින් හරි ඒ කළ යුතු දේ කරන්න උත්සාහ ගන්නවා.”
මේ විදිහට හිතන පතන තීත්ෂණ එක්ක අපි තව ටිකක් කතා කරමු.
- අපි ඔබට කොහොම ඇමතුවොත් හොඳයි කියලා ද හිතන්නේ? තීක්ෂණ කියන්න ද? තිකා කියන්න ද?
“තීක්ෂණ කියන්න.”
- ගම?
“බොරැල්ල.”
- ඔබ ගැන විස්තර කිව්වොත්?
“අම්මයි, තාත්තයි, මමයි. තාත්තා යුද හමුදා සේවයේ නියැළී සිටියේ, දැන් විශ්‍රාමිකයි. අම්මා සේවය කරන්නේ ද සොයිසා රෝහලේ.”
- කොළඹ උපන්න අයට අපි කියන්නේ කොඩි ගහ යට ඉපදුණු අය කියලනේ. ඉතින් කොඩි ගහ යට උපන්න මේ කොළඹ කොල්ලගේ පොඩි කාලයේදී වූ මතකයන් මොන වගේ ද?
“ගෙදර එකම දරුවා වුණාට මගේ ළමා කාලය හරිම සුන්දරයි. තනිකමක් දැනුණේ නැහැ. හතර වටේම හිටියේ හිතමිත්‍රාදීන් සහ යාළුවෝ. තනියම හැදුණු විදිහක් ඒ නිසා මට දැනුණෙම නැහැ. පිටිපස්සේ ගෙදර අක්කලා දෙන්නයි නංගියි, එහා ගෙදර අයියලා දෙන්නයි නංගියි, ඒ ඔක්කොමලා ළඟ ළඟ සිටි නිසා මට දැනුණෙ මගේම සහෝදර සහෝදරියන් වගේ. ළමා කාලය ගත වුණේ ඒ විදිහටයි.”
- තීක්ෂණගේ අරමුණ වුණේ?
“එහෙම ලොකු ටාගට් තිබුණේ නැහැ. මට පුළුවන් දේ ඒ වෙලාවේ කළා. ලියන්න පුළුවන් වුණාම ලියුවා. රඟපාන්න පුළුවන් වුණාම රඟපාන්න පටන්ගත්තා. ඒ කලා ගමන පටන්ගත්තේ පාසල් වේදිකාවෙන්. ගෙදරින් බලපෑමක් කළෙත් නැහැ. මේ දක්වා ගෙවී ගිය ජීවිතයේ සියලු තෝරා ගැනීම් මගේ. පාසලේ ක්‍රීඩාවලට බෙහෙවින්ම සම්බන්ධව කටයුතු කළා. උසස් පෙළට කළේ වාණිජ විෂයයන්. හැබැයි කොමර්ස් කළාට, වැඩිපුර කාලය ගත කළේ ආර්ට් එක්ක. විවිධ කලා උළෙලවලදී අනිවාර්යයෙන්ම ඒවාට දායක වුණා.”
- පාසල් ගියේ?
“තර්ස්ටන් විද්‍යාලයට.”
- පාසල් ජීවිතයෙන් පස්සේ?
“පත්තරේක ලියන්න පටන්ගත්තා. ඉන් පස්සේ දැන්වීම්කරණයට ඇවිත් වැඩ කළා. ලිවීම එක්ක එය විෂුවල් කරන්න ඕනෑ කොහොම ද කියලා හදාරන්න කලම්බු ෆිල්ම් ස්කූල් එකට ගියා. චිත්‍රපටකරණය ගැන හැදෑරුවෙ එතැනින්. වේදිකාව සහ නාට්‍ය ගැන ඉගෙන ගන්න ගියේ සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් වෙතින්. ඒ ඔක්කොම නිසා තමයි රංගන හා ටෙලි නිර්මාණ කලාවට සමීපව ගමනක් පටන්ගත්තේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේදී සුපුන් රත්නායක එක්ක ‘අඩෝ’ ටෙලිනාට්‍යයේ පිටපත ලියන්න සම්බන්ධ වුණා. ඒ තමයි ටෙලි ගමනේ ආරම්භය. එතැනින් පටන්ගෙන ආ ගමන තමයි මේ. හැබැයි රඟපෑම් පටන්ගත්තේ වේදිකාවෙන්. වේදිකාව කියන්නේ මගේ රංගන අධ්‍යාපනයේ සරසවියයි. අදටත් වේදිකාවේ ඉන්නේ ඒ නිසයි.”
- තීක්ෂණ ඉදිරි ජීවිතය ගත කරන්න සූදානම මේ කලාව එක්ක ද?
“ඔව්. ආර්ට් ෆීල්ඩ් එකේ දිගටම නියැළීම කරාවි. ඒත් ජීවිතේ කිසිම දෙයක් සංකීර්ණ කරගන්නේ නම් නැහැ. සෑම දෙයකටම ලෙහෙසි විසඳුම් තියෙනවා. ඒත් අපි ඔළුව කලබල කරගත්තොත් තමයි ප්‍රශ්න කියන දේ ඇති වෙන්නේ.”
- ආදරයේදීත් සංකීර්ණව හිතන්නේ නැද්ද?
“නැහැ.”
- ඒ කියන්නේ තීක්ෂණගේ ආදරයත් සංකීර්ණ ආදරයක් නොවෙයි?
“ජීවිතේ සංකීර්ණ කර නොගත්තාම ආදරේ එහෙම වෙන්නෙත් නැහැනේ.”
- ප්‍රේමය ගැන හිතන්නේ කොහොම ද?
“පවතින දෙයක් විදිහට. මනුෂ්‍යයකුට ඕනෑම වේලාවකදී ජීවත් වීම වෙනුවෙන් ප්‍රේමය අවශ්‍යයි. හැබැයි එය භෞතික දෙයක් වෙනුවෙන් නොවී, පවතින දෙයක් විය යුතුයි කියලයි මම හිතන්නේ. ප්‍රේමය යනු මානව සබඳතාවක් විතරක් වී එතැනින් එය හමාරයි කියලා මම හිතන්නේ නැහැ.”
- ආදරයේදී ප්‍රේමයේදී මොන විදිහෙ කෙනෙක් ද?
“මගේ ස්වභාවයේදී ඒ ආදරය, ප්‍රේමය වෙනුවෙන් විය යුතු කොටස සිදු වේවි. ඒත් අනෙක් පාර්ශ්වයෙන් එය මොන තත්වයක ද තියෙන්නේ කියන දේ මම අදාළ කරගන්නේ නැහැ. ප්‍රේමය රඳවා ගැනීම උදෙසා කළ යුතුය, ඉටුවිය යුතුය කියන දේ මම කරන්නේ නැහැ. සමාජයේ පිළිගත්ත ස්වභාවයක් තියෙනවානේ. ඒත් මට ආදරය සහ ප්‍රේමයේදී රඳවා තබා ගැනීමට කිසිසේත්ම සමාජය හිතන විදිහේ දේ කරන්නේ නම් නැහැ. ආදරය කියන්නේ සමාජය හිතන දේට වඩා එහා ලොකු තැනක තියෙන දෙයක්.”
සඳුන් ගමගේ