ස්ත්‍රියක් වෙනුවෙන් සිය ආගම වෙනස් කළ අයෙකු එදා සිටි ප්‍රකට ලේඛක පියදාස සිරිසේන මහතා විසින් හඳුන්වනු ලැබුවේ ‘ස්ත්‍රියානි’ වූවෙකු ලෙසිනි. සිංහල ජාතිය සහ බුද්ධාගම වළපල්ලට යමින් තිබුණා වූත්, තමන් බෞද්ධ බව ප්‍රසිද්ධියේ පිළිගැනීමට මැලිවූ බොහෝ බෞද්ධයන් සිටියාවූත් එදා ‘ස්ත්‍රියානි වූ’ බෞද්ධයන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවීය. එවැනි අවිචාර සමයක මෙරට සිටි විශාලම ධන කුවේරයා තම දියණියක් විවාහ කරදීමට නම් ආගම වෙනස් කළ යුතු බවට ගෙන ආ යෝජනාව තරුණ ආතර් ද සිල්වා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම බොහෝ දෙනකුගේ මවිතයට හේතුවිය.
චාල්ස් හෙන්රි ද සොයිසා, එදා මෙරට සිටි විශාලම ධනවතාය. ඔහු මහා පරිත්‍යාගශීලියෙකුද විය. කොළඹ පැරැණි ඇස් රෝහල ද, සොයිසා කාන්තා රෝහල, ලුනාව රෝහල, මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලය ආදිය ඔහුගේ ත්‍යාගවන්ත භාවය පිළිබඳ අමරණීය සිහිවටනයෝය. එදා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වෙනුවෙන් ඔහු පැවැත්වූ භෝජන සංග්‍රහය සුරංගනා කතාවක් සිහිපත් කරවන්නකි. ද සොයිසා වටරවුමේ පිහිටුවා ඇති පිළිරුව ඔහුගේ ප්‍රතාපවත් බව මැනවින් පිළිබිඹු කරයි.
එසේ සකල ඓශ්චර්යයෙන් බැබළුණු සොයිසා මහ සිටාණන්ට දූවරුන් කිහිප දෙනෙක් වූහ. පිටරට විභාග සමත්ව පැමිණ සිටි තරුණ ආතර් ද සිල්වා ගැන ඔහුට දැන ගන්නට ලැබුණි. විශාල දෑවැද්දක් සමඟ තම දියණියක් මේ තරුණයාට විවාහ කරදීමට අදහස් කළ සිටුතුමා ඔහු ගැන සොයා බැලීමට තම දරුවන්ට සිංහල උගන්වන ගුරුන්නාන්සේට බාර කළේය. එහෙත් ආතර් බෞද්ධයකු බව දැන ගන්නට ලැබීම සිටුතුමාගේ කණස්සල්ලට හේතුවිය. ධනයෙන් කළ නොහැකි දෙයක් නැති බව විශ්වාස කළ සිටුතුමා ආතර් තමා හමුවට කැඳවූයේය.
‘ආතර්! උඹ බුද්ධාගම්කාරයෙක්ය කියන්නේ?’ හෙතෙම ප්‍රශ්න කළේය.
‘ඔව්’
‘උඹ වහාම ආගම වෙනස් කරන්න ඕනෑ. ක්‍රිස්තියානියට එන්නට ඕනෑ’
‘ඒ මොකටද?’
‘මගේ දුව ගැන උඹේ අදහසක් තියෙනවා නම් බුද්ධාගම අත්අරින්න ඕනෑ’
‘නෑ නෑ මං ඒ අදහස අත් අරින්නම්. බුද්ධාගම අත් අරින්නේ නැහැ’ යි කියමින් ආතර් ද සිල්වා මහතා මේ මහ සිටාණන්ටත් ඔහුගේ මහත් ධනස්කන්ධයටත් පිටුපා යන්නට ගියේය.
මේ සිද්ධිය, එදා මොරටුවේ සිටි බෞද්ධ ධනවතෙකු වූ ශ්‍රී චන්ද්‍රසේකර මුදලිතුමාගේ කණ වැටුණි. එතුමා ආතර් තමා හමුවට කැඳවූයේය.
‘සොයිසා උඹට බුද්ධාගම අත් හරින්නෙයි කිව්වා නේද ආතර්?’ යයි බොහෝ දුරට ඇතිවුණු කටෝපකථනයකින් පසුව මුදලිතුමන් පවසා ‘ගෑණියෙක් ගන්න ආගම අත් අරින්න ඕනෑද?’ යි අසමින් මොහොතක් කල්පනා කළේය. කල්පනාකොට
‘කිටී’ යයි ආමන්ත්‍රණය කළේය.
මේ සමඟම උස්වූ මහත්වූ කාලවර්ණ පුෂ්ටිමත් දේහයක් ඇතිව සිටි තරුණියක එහි පැමිණියාය.
‘මේ මගේ බාල දුව කිටී’ යයි තම දුවණිය හඳුන්වාදී ‘ආතර්’ උඹ මේ ළමයා බඳින්න කැමැතිදැ?’යි ඇසුවේය.
‘කැමැතියි’ සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත්, බෞද්ධ අධ්‍යාපනයටත් ලංකාවේ දේශපාලන නිදහසටත් මහෝපකාරී වූ ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතාගේත් එම මහත්මියගේත් යුග්ම ජීවිතයට මුල පිරුණේ මේ මොහොතේදීය.
රසාවදානය ශ්‍රාවස්ති මන්දිරය
සුදු පාලන සමයේදී යුරෝපීය ගොඩනැගිල්ලකට අනුව වොක්ර් සමාගම මගින් ඉදිකරනු ලැබූ මේ විශාල ගොඩනැගිල්ල ශ්‍රී චන්ද්‍රසේකර මුදලි මාමණ්ඩියගෙන් ආතර් ද සිල්වා දොස්තර බෑණාට ලැබුණු විශාල දෑවැද්දේ කොටසකි. රමණීය මාලිගාවක් වැනි මේ ගොඩනැගිල්ල දකින සිංහලයෙකුට අද වුවද ඇති වන්නේ ප්‍රීතියකි. අභිමානයකි. 1913 දී මෙයට ගෙවැදුණුදා එහි විශාල උත්සවයක් විය. රැස්ව සිටි පිරිස අතරෙහි යම් නොසන්සුන්තාවයක් තිබෙනු එහි සිටි පත්‍ර කතෘවරයෙකුවූ ඇම්.සී.එප්. පෙරේරා මහතා දුටුවේය. උත්සවයට පැමිණ සිටි ද සිල්වා මැතිණියගේ ඥාතීන් නිවසේ උඩුමාලයේද, ද සිල්වා මහතාගේ ඥාතීන් පහළ මාලයේද අසුන් ගන්වා සිටීම මෙයට හේතුව බව දුටු ඔහුගේ කවි සිත ක්‍රියාත්මක විය. අඟුරු කැටයක් සොයාගත් ඔහු බිත්තියක මේ කවිය ලීවේය.
අඹුවගේ නෑ දනන් දමලා උඩුමා ලේ
වාහෙගෙ නෑ දනන් දැම්මා පාතා ලේ
මෙහෙමට කළා නම් වැඩපළ හැම කා ලේ
කොහොමට දරුන් ලබනෙද ගොන් වෙදරා ලේ
ඇම්.සී.ඇප්. පෙරේරා මහතා, ආතර් ද සිල්වා මහතාට අයත් වූ ‘සිහල සමය’ පත්‍රයේ කුවරයා විය. රසිකයෙකු වූ ආතර් ද සිල්වා මහතාද මේ කව රස විඳින්නට ඇති බවට සැක නැත්තේ එය ලියූ පෙරේරා මහතාගේ පඩිය රුපියල් 25න් වැඩි කළ බැවිනි.
රැකියාවට සමුදීම
වරක් ලෝක චාරිකාවට පසු ලංකාවට පැමිණි ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා මාලිගාකන්ද විහාරයේදී දේශනයක් කරමින් සිටියේය. ජාතික ආගමික කටයුතු කෙරෙහි විශාල උනන්දුවක් දැක්වූ ආතර් ද සිල්වා මහතාද මෙයට සහභාගි විය. ධර්මපාලතුමාගේ මස්සිනා වූ නීතිඥ ජේකබ් මුණසිංහ මහතාද එහි සිටියේය. කවදත් සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරැසුණු මුණසිංහ මහතා සමච්චලයට ලක් කිරීමෙන් පසු එතුමාගේ විචාරාක්ෂිය යොමුවුණේ ආතර් ද සිල්වා මහතා කෙරෙහිය. නිතරම එතුමාගේ මුවඟ තිබුණු වල් අලියා, ගොන් තඩියා වැනි වචන ගල් වරුසාවක් මෙන් පහත්වීමට වැඩි වෙලාවක් ගත නොවුණි.
‘මේ බලාපල්ලා! මේ වල් අලියා දිහා බලාපල්ලා! මේ ගොන් තඩියාට සල්ලි පනම් තියෙනවා. සැප සම්පත් තියෙනවා. ගෙදර දොර තියෙනවා. දූ දරුවෙක් නෑ. ඒත් මේ ගොන්තඩියා කරන රස්සාව! දවස ගානෙ මසට මරන්නට හරක් පාස් කරනවා. ගෙරි පාස් කරනවා. ගොන් පාස් කරනවා. ගොන් වෙදා!’ යයි අනගාරිකයෝ පවසා යළිත් ආතර් ද සිල්වා මහතා දෙස බලා ‘ඇයි වල් අලියෝ’! ඔය ගොන් වෙදකම අත් නාරින්නේ?’ යයි සංවේග ස්වරයෙන් විමසුවේය.
ධර්මපාල තුමා කෙරෙහි වූ ගෞරවයත් භක්තියත් නිසාම කරබාගෙන ගෙදර ගිය සිල්වා මහතා මුලින්ම කළේ පශූ වෛද්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියවිල්ලක් නගර සභාවට යැවීමය.
පාණ්ඩිත්‍යය
නිදහස් අධ්‍යාපනයෙන් වසර 80ක්ද නිදහස ලැබීමෙන් වසර 72ක්ද ගතවී ඇතත් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ජ්‍යෙෂ්ඨයවත් සමත් නැති බවට ළඟදී අසන්නට ලැබුණි. හරවත් කතාවක් පාර්ලිමේන්තුවෙන් අසන්නට නොලැබෙන තරම්ය. එහෙත් එදා පරාධීන යුගයේ බොහෝ මන්ත්‍රීවරු ධනයෙන් මෙන්ම උගත්කමින්ද ආඨ්‍ය වූහ. ඔවුන් අතර ඩබ්ලිව්. ආතර් ද සිල්වා සහ ඩී.බී. ජයතිලක යන නාම ඉහළින්ම සිටී. ආගම, භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය, පුරාවිද්‍යාව වැනි විෂයයන් රාශියක දැනුම් සම්භාරයක් මේ ශ්‍රේෂ්ඨයන් දෙදෙනාටම තිබුණු බව පෙනේ. ආතර් ද සිල්වා මහතා සතුව පැවැති දැනුම් සම්භාරය පිළිබඳව මේ එක් උදාහරණයකි.
නවසිය විසි හයේදී ආනන්ද විද්‍යාලයේ පැවැති සිංහල ශාස්ත්‍රීය සම්මේලනයේ එක් සභාවාරයක ප්‍රධාන කාර්යය වූයේ එවකට ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුව සිටි අම්බලන්ගොඩ නන්දිසේන වෙද මහතාගේ ශාස්ත්‍රීය ලිපියක් කියවීමය. එය ධන්වන්තරී ඉසිවරයා පිළිබඳව ලියැවුණකි. රැස්වීමේ මුලසුන දැරීමට නියමිතව සිටියේ පූජ්‍ය පැළෑණේ වජිරඤාණ මහ නාහිමියන් වුවද උන්වහන්සේට එහි වැඩම කළ නොහැකි විය. මැතිසබයේ රැස්වීමකට යන අතර එහි ගොඩ වැදුණු ආතර් ද සිල්වා මහතාට මුලසුන භාර ගැනීමට සිදුවිය. නන්දිසේන වෙද මහතා ලිපිය කියැවීමෙන් පසුව එවකට සිටි කීර්තිමත් ආයුර්වේද විශාරදයෝ කිහිප දෙනෙක් එය විවේචනය කළහ. එහෙත් හොඳම පිළිතුරු කතාව කළේ ආතර් ද සිල්වා මහතා විසිනි. ස්වකීය මතකයෙන් සකු සිලෝ සාධක කොට ගනිමින් එදා එතුමා පැවැත්වූ දේශනයෙන් සභාව ප්‍රමෝදයට පත්වූ බව සඳහන්වේ.
1928 දී මීරිගම කොළොන්ගස්යායේ පැවැති සිංහල ශාස්ත්‍රීය සම්මේලනයේ මුලසුන දැරුවේද සිල්වා මහතාය. ඩී.බී. ජයතිලක, ඩබ්ලිව්.ඇප්. ගුණවර්ධන, කුමාරතුංග මුනිදාස, ගෞරවණීය තියඩෝර්, ජී. පෙරේරා වැනි උගතුන් සහභාගි වූ මෙහි ප්‍රධාන දේශනය කළේ ද සිල්වා මහතා විසිනි. ‘පෙරදිග රටවල වර්තමාන ශාස්ත්‍රෝන්නතිය’ නම් වූ එතුමාගේ ලිපිය කියවීමෙන් පසුව එයට ස්තුති පළ කරමින් කතා කළ පණ්ඩිත ඩබ්ලිව්.ඇප්. ගුණවර්ධන වාසල මුදලිතුමා ලිපිය සාරවත් වුවත් සිංහල භාෂාවත්, ජාතියත් ද්‍රවිඩ පවුලට අයත් බව නොකීම ලිපියේ අඩුවක් බව කීය. ඩී.බී. ජයතිලක සහ පියදස සිරිසේන මහතුන් මෙයට පිළිතුරු දීමෙන් පසු ගුණවර්ධන පඬිතුමා නිහඬ විය.
එදා සාහිත්‍ය සම්මේලනයේ මුලසුන දරමින් කටයුතු කළ ආතර් ද සිල්වා මහතා මහා කවි ආනන්ද රාජකරුණා මහතාගේ ඇගයීමට ලක්වූයේ මෙසේය.
පෝසත් බවට ඉහළින් පෙනෙන ලෙස සුබේ
බෝසත් ගුණය මතුවී පෙනෙන අද ඉබේ
මේ පත් මුලසුනට ගරු මැතිඳු ලක් ගැබේ
සාවත්තියෙහි සරසවි පහළව වැජඹේ
ප්‍රතිවාදීන් මෙල්ල කිරීම
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා අනුස්මරණය කිරීමට කුමක් කළ යුතු දැයි සාකච්ඡා කිරීම සඳහා වරක් පැවැති බෞද්ධ මහා සභාවක මුලසුන දැරුවේ ආතර් ද සිල්වා මහතායි. එතුමා අනුස්මරණය කරනු සඳහා අගනුවර විහාරස්ථානයක් ගොඩනැඟිය යුතු බව කී පිරිසක්ද, අනාථ නිවාසයක් පිහිටුවිය යුතු යයි කියූ පිරිසක්ද වශයෙන් දෙපක්ෂයක් ඇතිවිය. අවසානයේදී අනාථ නිවාසයක් පිහිටුවීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. මීළඟට සිදුවූ දේ හේමපාල මුනිදාස මහතාගේ රසබර වදනින්ම මෙසේ දක්වමු.
‘මේ සමගම සභා ගැබෙන් පැන නැගුණේ කෑගල්ලේ ඩිංගිරි අප්පුහාමි මුදලාලිය. ධර්මපාල හිමියන් සිහිවීම උදෙසා විහාරස්ථානයක් ඉදිකිරීම පිණිස විශාල සම්මාදම් මුදලක් පරිත්‍යාග කොට සිටි මේ මුදලාලි මුලසුන දෙස රවා බැලුවේය.
‘මොකක්ද තීන්දුව? විහාරස්ථානයක්ද? අනාථ මඩමක්දැ’යි මුදලාලි කෝපයෙන් විමසුවේය.
‘අනාථ මඩමක්! ඇයි කණ ඇහෙන්නේ නැද්ද?’යි මුලසුන කීවේය.
‘අනාථ මඩමක්? එහෙනං මං ඒ යෝජනාවට’
‘යෝජනාව ගැන කතා කරන්න බැහැ. යෝජනාව සම්මත වෙලා ඉවරයි’
‘එහෙනම් මේ සභාවේ බෞද්ධ මහජනයාට කතා කරන්න බලයක් නැද්ද?’යි ඩිංගිරි අප්පුහාමි මුදලාලි මෙහිදී කෝපයෙන් ප්‍රශ්න කළේය.
ඔය බෞද්ධ මහා ජනයාද? වාඩි වෙනවා! වාඩි වෙනවා! අනිත් යෝජනාව!’ යයි ආතර් ද සිල්වා මහතා කීවේය.
ඩිංගිරි අප්පුහාමි මෙහිදී කළේ වාඩිවීම නොවේ. වාඩිවී සිටි පුටුව පස්සට තල්ලු කර දමා කුඩය අතට ගෙන දොරටුව කරා ගොස් ආපසු හැරී මුලසුන දෙස ගිනි පුළිඟු විහිදෙන බැල්මක් හෙළා නික්ම යාමය.
‘බෞද්ධ මහා ජනයා ගියා. දැන් දෙවෙනි යෝජනාව!’ යයි ආතර් ද සිල්වා මහතා පැවැසුවේය.
සභාවක කටයුතු කඩා කප්පල් කිරීමට වෙර දැරූ ගැටවරයින් පිරිසකට එතුමා දුන් අවවාදයයි මේ!
‘කම්මැලි කොල්ලනේ
කොළපත අතට රැගෙනේ
පළය වූ හිඟමනේ
තොපට නැත මෙහි වැඩක් ඉතිනේ.’
ශ්‍රාවස්ති වෙල්යාය
1918 දී සහල් දුෂ්කරතාවයෙන් ලක් වැසියන් පෙළෙත්දී එතුමා සිය වියදමෙන් අනුරාධපුරය සහ තලාව අතර අක්කර දෙදහසක භූමියක් අස්වැද්දුවේය. එවකට උන් ලංකාණ්ඩුකාරතුමා හමුවේදී රිදී නගුලකින් නැකතට හාමින් මේ මහා කෙත්යාය ලක්වැසියාගේ ප්‍රයෝජනය සඳහා වගාකරවීම එතුමා ආරම්භ කළේය. ගොවි පවුල් 150ක් පමණ මෙයින් රැකුණි. ආර්ථික වශයෙන් මෙය පාඩුගෙන දුන් බැවින් මෙය නතර කිරීමට හිතවත්තු උපදෙස් දුන්හ. එහෙත් ඉන් සිදුවන සේවය සලකා එතුමා එය දිගටම කරගෙන ගියේය.
ජාතික ඇඳුම ජනප්‍රිය කරවීම
1922 දී ආනන්ද විදුහල්පති කුලරත්න මහතා රෙද්ද සහ බැනියම මෙරටට ලාභදායී හා පහසු ඇඳුමක් ලෙස ඉදිරිපත් කළ අවස්ථාවේදී එතුමා ඊට සහාය දුන්නේය. 1931 දෙවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැති මණ්ඩල ඡායාරූපයක එතුමාත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාත්, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් මේ ඇඳුමින් සැරැසී සිටිනු පෙනේ.
මේ ලිපිය සම්පාදනයේදී වියත් ලේඛක හේමපාල මුනිදාස මහතාගේ ‘රසාවදානය’ ප්‍රයෝජනවත් විය.
විශේෂඥ වෛද්‍ය
බී.ජී.ඒ. විද්‍යාතිලක විසිනි.