ශ්‍රී ලංකා ජාතික ධජයේ කතාව


 


සිංහලයාගේ ආදීම මුතුන් මිත්තා සිංහයකු බව මහා වංශයේ එන කතා පුවතක සඳහන් වෙයි. අප සතු අගනාම ඉතිහාස ග්‍රන්ථය වූ මහා වංශයේ කීප තැනකම සිංහයා සහ සිංහලයා අතර ඇති සම්බන්ධය දක්වයි.   


සිංහ ලාංඡනය සහිත කොඩිය ඈත අතීතයේ සිටම සිංහලයන්ගේ කොඩිය විය. එය වරින් වර ශ්‍රී ලංකාවේ නොයෙක් රාජධානි සහ ප්‍රදේශයන්හි ද විවිධ කෝරළවල ද රාජකීය කොඩියක් වශයෙන් භාවිතා කරන ලදී.   


 අපේ රටේ අතීතයේ භාවිතා වූ ඇතැම් කාසිවලත්, රාජ්‍ය මුද්‍රාවලත් සිංහ රූපය තිබුණු බව ඉතිහාසයේ සඳහන් වී තිබේ.   
 ක්‍රිස්තු පූර්ව 3 වැනි ශත වර්ෂයේ පෑතිස් රජතුමාගේ රාජකීය ධජය වූයේ සිංහ කොඩියයි. සමකාලීන භාරත මහා අධිරාජයාණන් වූ ධර්මාශෝක බෞද්ධ රාජයා විසින් ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කරවීමේ කථා පුවත භාරතයේ සාංචි චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඩ තොරණෙහි කැටයම් කර තිබේ. මේ කැටයම් අතර සිංහල රාජ වංශයේ රාජ්‍ය සළකුණ වූ සිංහයාගේ රූපය කැපී පෙනෙයි.   


අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල තනවා ඇති මහා විහාරයේ සැලැස්ම සිංහ රූපයට සමාන වෙයි. සිංහලයාගේ කලා හපන්කම් සහ නිර්මාණ දස්කම් ලෝකයාට කියාපාන ජය භූමියක් වූ සීගිරියේ මහ ගල දොරටුව විශාල සිංහ රූපයකි.   


වළගම් අබා රජතුමන් විසින් එළාර-දුටුගැමුණු යුද්ධය ප්‍රදර්ශනය වන පරිද්දෙන් දඹුලු විහාරයේ කර ඇති සිත්තම්වල ගැමුණු සේනාංකයේ දැක්වෙන්නේ ද සිංහ කොඩියයි.   
පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ යුගයේ සිංහ ලාංඡනයට රාජකීය තත්ත්වයක් ලැබී තිබිණි. නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය නිම වී තිබුණේ ද සිංහ රූපයක ආකාරයටය. කෝට්ටේ යුගයේ තුන්වැනි බුවනෙකබාහු රජු හා හයවැනි බුවනෙකබාහු රජු ද සිංහ කොඩිය සහ සිංහ රාජ මුද්‍රාව පාවිච්චි කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඈත අතීතයේ පර්සියාවේත් කේරළයේත් රාජකීය කොඩිය සිංහ ලාංඡනය සහිත වූ බව ඒ පිළිබඳව පැවැත් වූ පර්යේෂණයන්හි දී හෙළි වී තිබේ. පර්සියාවත් ඉන්දියාවත් සිංහලයාගේ පැවැත්මේ ආරම්භය සමඟ ළඟ සම්බන්ධයක් ඇති බවට ඉතිහාසඥයින් විවිධ මත පළ කර ඇති බව ඉහත දැක්වූ කාරණයේදී සිත්හි තබා ගැනීම වැදගත්ය.   
අනුරාධපුර සහ පොළොන්නරු යුගවල නෙළුෑ සඳකඩ පහණවලත්, කොරවක් ගල්වලත් ඉතාම අගනා ලෙස සිංහ රූප කැටයම් කර ඇත.   
මිහින්තලේ සිංහ පොකුණේ ද, පරාක්‍රම මාළිගයේ මණ්ඩප ද්වාරයේ ද සිංහ රූප නෙළා ඇත.   


 සිංහලේ රාජකීය කොඩිය 

 
සිංහලේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1798 සිට 1815 දක්වා පාවිච්චි කළ ‘රාජකීය ධජය’ වූයේ සිංහ කොඩියයි. කොඩියේ හතර කොණේ ශෛලිගත බෝ පත් හතරක් විය.   


 1815 මාර්තු දෙවැනිද‌ා කන්ද උඩරට රාජධානිය යටපත් කර ගනිමින් තුන් සිංහලයම බ්‍රිතාන්‍යයන්ගේ යත් විජිතයක් බවට පත්වූද‌ා මහනුවර මහ මළුවේදී ඉංගිරිසින්ගේ ‘යුනියන් ජැක්’ කොඩිය ඔසවා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් පහත දමන ලද්දේ මේ රාජකීය සිංහ කොඩිය යි.   


උඩරට ගිවිසුම අත්සන් කර හමාර වන්නට පෙර මහනුවර මහමළුවේදී සුදු නායකයන් විසින් ඔසවනු ලැබූ ‘යුනියන් ජැක් ධජය’ ආපසු ගලවා බිම දමා පාගා අත්සන් තබන තුරු මේ සිංහ කොඩිය තුන් සිංහලයේ ධජය යැයි කියමින් වාරියපොල ශ්‍රී සුමංගල නාහිමියන් සුදු යුද භටයන්ගේ තුවක්කු බයිනෙත්තු මැද ඔසවා තබන ලද්දේ මේ සිංහ කොඩිය යි.   


සිංහ ලාංඡනය   


සිංහල රාජ වංශය ඇරඹුනු තැන් සිටම සිංහ ලාංඡනය සිංහලයන්ගේ සංකේත ලාංඡනය වී තිබිණි. 

 
 ජාතික උරුමය සංවිධානයේ නායකයාව සිටි උපාලි සේනානායක මහතා සිංහ ධජය ගැන මෙසේ කියා ඇත.   


‘ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේ සංකේතය වශයෙන් පිළිගත් ධජය හේතුඵල ධර්මයේ හා විමුක්ති මාර්ගයේ න්‍යාය ධර්මයන් ගැබ් වූ සුරතින් අසිපතක් රැගත් සිංහ රූපයක් ප්‍රධාන ලාංඡනය වශයෙන් දක්වයි.   


ශ්‍රී ලංකාව ස්වෛරි භාවයේ හා ස්වාධීනත්වයේ සංකේතය වූ සිංහ කොඩිය සංස්කෘතියෙන් බෞද්ධ වූත්, ආර්ථිකයෙන් සමාජවාදී වූත් පාලන ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වූත් සමාජ නිර්මාණය හඳුන්වන ආරක්ෂාව සලසන මූලධර්මත් ජීවිතය හැඩගස්වන ප්‍රතිපත්ති හා ශික්ෂාත් ගැබ් වූ ප්‍රඥ‌ාව අන්තර්ගත වූවකි.   


 සිංහ කොඩියේ කහ සහ රතු වර්ණ දෙකින් කහ පාටින් හේතුඵල ධර්මයේ හා විමුක්ති මාර්ගයේ න්‍යාය ධර්මය අන්තර් ගත ‘ප්‍රඥ‌ාව’ හඳුන්වයි. රතු පාටින් හැඳින්වෙන්නේ මනුෂ්‍යයාගේ මූලික හැඟීම් සහ ජීව රුධිරයයි.   


සිව් කොණේ බෝ පත් සතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ මනුෂ්‍යයාගේ මූලීක හැඟීම පාලනය කරන බව හඳුන්වයි.   
විශේෂයෙන් දැක්වෙන ආරක්ෂකයා උතුම් තත්ත්වයේ සංකේතය වන අතර ප්‍රඥ‌ාව, වීරත්වය, ශක්තිය සහ විනය යන ගුණාංගයන්ගෙන් සපිරුනු බව පෙන්වයි.   
 සිංහයා දකුණතින් අසිපතක් ගෙන සිටීමෙන් පෙන්වන්නේ ආරක්ෂාව සැම විට සැලසීමට සූද‌ානම් වී සිටීම නමැති යුක්තිසහගත තත්ත්වය යි’   
සිංහලයන්ගේ පැවැත්මේ ආරම්භයේ සිට සිංහ කොඩිය සිංහලයන්ගේම බව ඔප්පු කිරීමට ඉතිහාසයෙන් අවශ්‍ය තරම් කරුණු ගෙනහැර දැක්වුවත්, ලක්දිව කොඩි ගැන පැහැදිලි ප්‍රමාණවත් විස්තරයක් හෙළිවන්නේ ක්‍රිස්තු වර්ෂ 1765 සිට 1778 දක්වා වූ වකවානුවේදීය.   


 මෙකල රජ කළ ‘කීර්ති ශ්‍රී’ රාජසිංහ රජු මහනුවර ශ්‍රී දළද‌ා පෙරහැර පැවැත්වීම ප්‍රති සංවිධානය කොට ප්‍රදේශ විහාර වෙනුවෙන් වෙන වෙනම කොඩි නියම කළේය. 

 
කොඩි විමසුම   


රටකට, රාජ්‍යයකට, ජාතියකට සංකේත අවශ්‍යයය. 

 
ජාතික ධජය එයින් වැදගත් වූවකි.   


ලක්දිව කොඩි ගැන පුළුල් ලෙස සොයා බැලීමට උනන්දුවක් ඇතිවූයේ 1909 න් පසුවය.   


 එකල මෙරට පුරාවිද්‍යා කොමසාරිස් පදවිය දැරූ ඒ.සී. බෙල් මහතාත්, කෞතුකාගාර අධ්‍යක්ෂ පදවිය දැරූ ආචාර්ය ​ජෝශප් පියර්සන් මහතාත් ශ්‍රී ලංකාවේ නිදහස් සටන්කාමීන් වූ රාජනීතිඥ ඊ.ඩබ්. පෙරේරා සහ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක යන ජාති හිතෛෂීන් සමග සමීපව ලක්දිව කොඩි ගැන සොයා බැලීමට දැඩි වෙහෙසක් දැරූහ. මේ විද්වතුන්ගේ මෙහෙයවීමෙන් හා මූලිකත්වයෙන් 1912 නොවැම්බර් මාසයේ ‘ලක්දිව කොඩි විමසුමක්’ මහනුවර කච්චේරියේදී ආරම්භ කෙරිණි. මෙය එකල ඉතාමත් වැදගත් ජාතික මට්ටමේ කටයුත්තක් විය. 

 
 ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා   


රාජධානි කොඩි, පළාත් කොඩි, දිසා කොඩි, විහාර කොඩි, දේවාල කොඩි සහ කෝරළ කොඩි වශයෙන් රටේ තැන තැන තිබූ කොඩි විශාල ගණනක් මෙම විමසුමට ඉදිරිපත් කෙරිණි. උඩරට හා සබරගමුවේ විහාර, පන්සල් හා දේවාලයන්හි සුරක්ෂිතව තුබුණු පැරණි කොඩි මෙයින් විශේෂ තැනක් ගත්තේය. 1795 සිට මෙම විමසුම දක්වා වූ කාලය තුළ ශ්‍රී දළද‌ා පෙරහැර ප්‍රතිසංවිධානය කිරීම යටතේ නියම වූ කොඩි විශාල ගණනක් ද මේ අතර විය.   


මහනුවර ශ්‍රී දළද‌ා මාලිගාව, මල්වතු මහා විහාරය, මහනුවර නාථ දේවාලය, කුණ්ඩසාලේ ගංගාරාමය, සුදුහුම්පොළ ලංකාතිලක විහාරය, ඇම්බැක්කේ දේවාලය, කෑගල්ලේ කුඹල්දිවෙල විහාරය ආදී පූජනීය ස්ථානවලින් හා වෙනත් විහාර පන්සල් දේවාලවලින් ද කොඩි බොහෝ ගණනක් ඉදිරිපත් කෙරිණි.   


රූප සටහන්   


 ඇතැම් කොඩි විවිධ පාටවලින් යුක්ත විය. සත්ව රූපවලින් ද යුක්ත විය. ආයුධ රූප සටහන් ද ඇතුළත් විය. 

 
හංසයා, කොටියා, මොණරා, වලසා, ගිරවා, භෙරුණ්ඩ පක්ෂියා, හස්ති රාජයා, ඇත්කඳ ලිහිණියා සහ සිංහයාද මෙම කොඩිවල සටහන් කර තිබිණි.   
 හතර කෝරළයේ කොඩියේ ‘ඉර හඳ’ විය. කොටියා තුන් කෝරළේ කොඩියේ විය. සත් කෝරළේ කොඩිය ‘සිංහ’ කොඩිය විය.   


 තමන්කඩුවේ, එගොඩපත්තුවේ ඇස්.යූ. කුලසේකරම් පිල්ලේ උඩයාර් තැන කෞරව කුලයේ කොඩිය ද වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ මැතිතුමා සලාගම කුලයේ කොඩිය ද ආචාර්ය ඊ. රොබට්ස් මහතා නවන්දන්න කුලයේ කොඩිය ද මෙම විමසුමට ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් සිද්ධීන් වශයෙන් සැලකිය හැකිය.   
 විමසුමට වැදගත් වන කොඩි රාශියක් උඩරට වලව් පැලැන්තිය සතුව ඇතැයි එය මෙහෙය වූවෝ විශ්වාස කළහ. එහෙත් සිදුවූයේ අනෙකකි. උඩරට වලව් සහ ඒවායේ ප්‍රධානීන් සතු වූ ධජ බොහොමයක් මෙම විමසුමට ඉදිරිපත් නොවිණි. ඔවුන් සතුව තිබූ කොඩි ආරක්ෂා කර නොගැනුම ගැන පරීක්ෂණය මෙහෙය වූවෝ කනගාටුව පළ කළහ. ඇත්තටම එය කනගාටුද‌ායක සිද්ධියක් ද විය.   


 කෙසේ වුව ද විමසුමට ඉදිරිපත් වූ කොඩි බොහෝමයක් ඒවා රැකගෙන සිටි අය රජය වෙත පරිත්‍යාග කළහ. ඇතැම් කොඩිවල ඉතිහාසය හා සටහන් ලබා ගැනීමෙන් පසු ඒවා රැකගෙන සිටි අයටම බාරදෙන ලදී.   


 සිංහලේ කොඩි පිළිබඳව කරුණු විමසුම් එතෙකින් නිම විය. එය ඉතාම සාර්ථක වූවක් බව කාගේත් විවෘත පිළිගැනීම විය. එහෙත් කෞතුකාගාර අධ්‍යක්ෂ ජෝශප් පියර්සන් මහතාත් අධිනීතිඥ ඊ.ඩබ්. පෙරේරා මහතාත් විමැසුමේ ප්‍රතිඵල ගැන එතරම් සතුටකට පත්වූයේ නැත.   


ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිතුමා   


සිංහලය යටත් කරගෙන රටේ සියලු ධන සම්පත් සූරාකමින් සංස්කෘතිය විනාශ කරමින් සිටි බ්‍රිතාන්‍යයන් හට විරුද්ධව නිදහසේ විමුක්තිකාමී සටනේ පදනම වැටීගෙන ආ සමයේ අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිතුමාට මෙම විමැසුමෙන් අවශ්‍ය වූයේ සිංහලයන්ගේ නියම සිංහ කොඩිය සොයා ගැනීමටය. අඩුම ගණනේ නියම සිංහ කොඩියේ හෝ සිංහලේ අන්තිම රජුගේ රාජකීය කොඩිය වූ සිංහ කොඩියේ අනු සටහනක් සොයා ගැනීමටය.   


 අධිරාජ්‍ය විරෝධී අරගලයේ පදනම ඇති කිරීමට සිංහ කොඩිය සොයාගැනීමේ වැදගත්කම පිළිබඳව ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිතුමා ආචාර්ය පියර්සන් උනන්දු කළේය.   


 එතෙර විමැසුම   


 පර්​ෙ‌ය්ෂණ හා විමැසුම් ගණනාවකින් පසුව ආචාර්ය පියර්සන්ගේ ද පුරාවිද්‍යා කොමසාරිස් පදවියේ සිටි ඊ.සී. බෙල් මහතාගේ ද අනුදැනුම උනන්දුව සහ සහයෝගය ඇතිව සිංහලේ රාජකීය සිංහ කොඩිය සෙවීම සඳහා ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා එංගලන්තයට ගියේය. 1815 දී ලක්දිවින් එංගලන්තයට ගෙන ගිය රාජකීය භාණ්ඩ ඇතුළු විවිධ වටිනා දෑ තැන්පත් කර ඇති තැන් සොයා ගොස් හෙතෙම අපේ සිංහ කොඩිය සෙවීය. ආචාර්ය පියර්සන් සහ බෙල් යන මහත්වරුන් සමග නිතර නිතර ලිපි ගනුදෙනු කර ගනිමින් අලුත් අලුත් ආරංචි හෝඩුවා තොරතුරු ලබමින් හෙතෙම අපේ සිංහ කොඩිය සෙවීය. මේ සඳහා ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිතුමා උනන්දු කරවීමට දැඩි වෙහසක් දැරූ අය අතුරින් ලේක්හවුස් ආයතනයේ ආරම්භකයා හා හිමිකරු වූ ඩී.ආර්. විජේවර්ධන මහතා මුල් තැනක් ගනී. විජේවර්ධන මහතා සිය ධනය පවා මේ කාරිය සඳහා නිහඬව වියදම් කළ බව පසුව හෙළි විය.   


ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයාගේ විවිධ ධජ සංකේතයන් තැන්පත් කර තිබුණේ ලන්ඩනයේ ‘වයිට් හෝල්’ හි විශේෂ ස්ථානයකය. සිංහලේ අන්තිම රජුගේ රාජකීය ධජය වූ ‘සිංහ කොඩිය’ ඒ භාණ්ඩ සමඟ ඇති බව සැලවීමෙන් පසු ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා මහත් වෙහෙසක් දරා ඒ ගැන සොයා බැලුවේය. මාස ගණනක් තිස්සේ එකින් එක වෙනම අවුස්සා බැලුවේය. වෑයම නිශ්ඵල විය.   


 ආපසු සිය රට බලා ඒමට නැව් නැගීමට හේ තීන්දු කළේය. තීන්දුව ක්‍රියාත්මක කිරීම ගැන හේ දෙවරක් සිතුවේය. ශ්‍රී ලංකාව හිරු නොබසින කිරීටයේ පූර්ණ යටත් විජිතයක් බවට පත්කර ගැනීමේ කාර්යයට උපහාර දැක්වීමක් වශයෙන් ‘මහ රජ්ජුරුවෝ’ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට තෑගි කරන ලද ධජ සංකේත අතර අපේ රාජකීය සිංහ කොඩිය ඇති බවට ඊ.ඩබ්ලිව් පෙරේරා මහතාට හදිසියේ සැළ විය. හේ වහා ක්‍රියාත්මක විය. 

 
යුද රෝහල   


ලන්ඩන් නුවර ‘චෙල්සි රෝහල’ (CHELSA HOSPITAL) සාමාන්‍ය ජනතාව සඳහා වෙන් වූවක් නොවේ. එය යුද රෝහලකි. හිරු නොබසින අධිරාජ්‍යය තර කිරීම සඳහා දිවි හිමියෙන් රාජ පාක්ෂික භාවයෙන් කැප වීමෙන් ක්‍රියා කොට මරණාසන්න තුවාල ලැබූ යුද්ධ භටයන් හා විශේෂයෙන් සුදු යුද්ධ හමුද‌ා උසස් නිලධාරීහු මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූහ. 

 
මෙම රෝහලේ පණ අදින සුද්දන්ට අන්තිම හුස්ම හෙළීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔවුන්ගේ අතීත වික්‍රම දැක බලා ගැනීමට රෝහලේ අධිකාරීහු අවස්ථාව සලසා දුන්හ. සිය නායකත්වයෙන් යටත්කර ගන්නා ලද රට රාජ්‍යවල ධජ සහ සංකේතයන් දැක බලා ඔවුහු මිය පරලොව ගියහ. චෙල්සි යුද රෝහලේ තැන්පත් කර තිබූ ධජ හා සංකේත ගැන දැඩි විමැසුමක යෙදුණු ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිතුමා එහි තිබී ශ්‍රී ලංකාවට අයත් කොඩි තුනක් සොයා ගත්තේය. ඉන් එකක් සිංහලේ අන්තිම රජුගේ රාජකීය කොඩිය විය. එය සිංහ කොඩියකි. එය උපන් නූපන් සියලු සිංහලයන්ගේ ජයග්‍රාහී කොඩිය විය. මෙම වැදගත් අපූර්ව සිද්ධිය ඊ.ඩබ්ලිව්. පෙරේරා මැතිතුමා විසින් ‘ලංකාවේ ධජ පතාක’ නමැති ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙසේය.   


‘පැරන් බර්ක්, සමර්සෙට් හැරල්ඩ් සහ තවත් ඉංග්‍රීසි ජාතිකයෙකුගේ ද උපකාර ඇතිව යුද ඇඳුම් තැන්පත් කරන ලද ශාලාවෙහි සිංහ කොඩිය පිළිබඳ මුල් ලිපි සොයාගෙන කොළඹ කටුගෙට ද එයින් පිටපත් සැපයීමට මට අවසර දෙන ලදී. එයින් ඉක්බිතිව රාජකීය සිංහල ධජය මා විසින් සොයා ගන්නා ලද්දේ චෙල්සි ගිලන් හලේ ශාලාවක තිබී අහම්බෙනි.’   
‘ස්ටැන්මෝ සාමි හෙවත් සිරිමත් ආතර් ගෝර්ඩන් කුහුල් සිතින් මගේ උනන්දුව වැඩිදියුණු කළ හෙයින් එම ශාලාවෙන් සිංහ කොඩි තුනක්ම සොයා ගැනීමට හැකි විය. එම හලේ එල්බෙමින් තිබුණා වූ වර්ණ ගැන්වුණු පිඟානෙක වූ සටහනෙකින් පෙර කියන ලද බෙනට් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් ‘සිලෝන් ඇන්ඩ් ඉට්ස් කේපබිලිටීස්’ නමින් ලියන ලද ග්‍රන්ථයේ 411 වැනි පිටුවේ සඳහන් කරන ලද පරිදි ම විසින් එම සිංහ කොඩිය සොයා ගන්නා ලද්දේ නැපෝලියන්ගේ ලාංඡනය වූ රාජාලීන් සමග එක්තැන් කොට තිබියදීය.’   
‘එයින් දෙකක් වර්ණ හානියට පත්වීමෙන් තිබිණ. තුන්වැන්න අලුත්වැඩියා කරනු ලැබීමෙන් පසු හඳුනාගත හැකි විය. ඒ කොඩි 1803 අවධියේ කැප්ටන් පොලොක් නම් බ්‍රිතාන්‍යයා විසින් සියතට පත්කර ගන්නා ලදැයි යන සටහනක් සමග වූ දැන්වීම් පුවරුවක් ද විය.’ මේ කොඩි තුනෙන් දෙකක් රාජකීය ධජයේ ආකෘති වූ අතර අනෙක නිසැක අන්දමින්ම මෙතෙක් ලක්දිවෙන් සොයා නොගත හැකි අතපත්තුවේ ලේකම්ගේ කොඩිය වූ බව පැහැදිලිය. මූලික සටහනින් මේ ගත්කරුවා විසින් මේ කොඩි ඇඳගන්නා ලදී. තුන්වැනි කොඩියේ සිත්තම ඔහුගේ ඒ සටහන අනුව ඇඳගන්නා ලද්දෙකි.’ 

 
ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා 

 
 පෙර කී රාජකීය ධජය සවුත්වුඩ් සහ සමාගම මගින් ඩී.ආර්. විජයවර්ධන මහතා උදෙසා වර්ණවත් අන්දමින් මැ පිටපත් කරගන්නා ලදී.   


විජයවර්ධන මෙහෙය   


ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් එංගලන්තයේදී අපේ රාජකීය සිංහ කොඩිය සොයා ගැනීම එවකට ලේක්හවුස් ආයතනයේ අධිපතිව සිටි ඩී.ආර්. විජයවර්ධන මහතාගේ සහ එතුමාගේ සොයුරු ඩී.සී. විජයවර්ධන මහතාගේ ද විශේෂ මෙහෙයවීම යටතේ විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන ලදී. එහෙත් රාජකීය සිංහ කොඩියේ ඡායාරූපයක් හෝ සටහනක් ඒ සමඟම පළ නොවීය.   


මේ රාජකීය සිංහ කොඩිය යළිත් ජාතියට හඳුන්වා දීමේ අවශ්‍යතාව ගැන සහ ඊට සුදුසු මොහොත ගැන ඩී.ආර්. විජයවර්ධන දිගින් දිගට සිතුවේය. අපේ ජාතික හිතෛෂීන් වූ ඇෆ්.ආර්. සේනානායක, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක වැනි විද්වතුන් සමඟ ඒ ගැන නිතර කතාබස් කළේය. ඩී.සී. විජයවර්ධන මහතා සිය සොහොයුරා මේ කාර්යයට තව තවත් උනන්දු කළේය.   


ඊ.ඩබ්ලිව්. පෙරේරා, ජෝශප් පියර්සන් යන මහත්වරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ගේ උපදෙස් යටතේ මෙම රාජකීය සිංහ කොඩිය ඒ අයුරින්ම කොපි කරවා එංගලන්තයේ සිට ගෙන්වා ගැනීමට ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් විධි විධාන යොදන ලදී.   


 1915 පෙබරවාරි 27 වැනිද‌ා උදේ දිනමිණ පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාත්, ඒ මහතාගේ සොහොයුරු ඩී.සී. විජයවර්ධන මහතාත් මෙම රැස්වීමට සහභාගි වූහ.   


මතු සම්බන්ධයි....

 

 

 

උපාලි රූපසිංහ විසිනි