ශ්‍රී ලංකා ජාතික ධජයේ කතාව


මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

 

 

1915 මාර්තු 2 ද‌ා   


එද‌ා 1915 මාර්තු දෙවැනි ද‌ාය. ලංකාව යටත් කර ගැනීමේ ශත සංවත්සරය පිරුණේ එද‌ාය.   


 මාර්තු 2 වැනිද‌ා දිනමිණ පත්‍රය නිකුත් වූයේ අධිරාජ්‍ය විරෝධී ගිනි දැල් අවුළුවමිනි. පෙළ ගැසෙමින් තිබූ නිදහස් සටන් ව්‍යාපාරය පුබුදු කරවමිනි.   
 මුල් පිටුවේ හරි මුදුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහල රජ කිරුළය. ඒ දෙපස සිංහ කොඩි දෙකකි. මේ සිංහ කොඩි දෙක එංගලන්තයේදී ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් සොයා ගන්නා ලද කොඩිය නියම ආකාරයෙන්ම ඒ ඒ පාටින්ම මුද්‍රණය කර තිබිණ.   


 ඒ යටින් එක පැත්තක ‘ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ’ ඡායාරූපය යි. අනික් පැත්තේ අන්තිම සිංහල රජතුමාගේ බිරිඳ වූ ‘චෙන්කත රංගම්මාල්දේවි’ගේ ඡායාරූපයයි.   
ප්‍රධාන ලිපිය ශ්‍රී වික්‍රම රජතුමා ගැනය. ඩී.ජේ.බී.ඩබ්ලිව්. විජේසේකර මහතා එම ලිපිය ලියා තිබිණ. මැද පිටුව වටා මකර තොරණක සටහනකි. එය පාටින් මුද්‍රණය වී තිබිණ. ඒ මැද 1815 උඩරට ගිවිසුමේ සිංහල පරිවර්තනය විය.   


 එතෙක් මහ තැන්වල අච්චාරු බසින් කියවුනු උඩරට ගිවිසුම එද‌ා උදේ ගමේ ගොඩේ කෝපි කඩේ ගැමියෝ සිංහලයෙන් කියවා තේරුම් ගත්හ. සියක් වසරකට පෙර තම රටටත්, ජාතියටත් අත්වූ ඉරණම අසා ‘අනේ අපොයි’ නොකියා විමුක්ති සටන් ඇරැඹීමට තීන්දු කළහ.   


 එද‌ා පත්‍රයේ මැද පිටුවේ විශේෂ කවි පෙළක් විය. එහි එක් කවියක් මෙසේය.   


අපට තිබුණු රජබල සැම ඉවර වුනා   
නොරට දනන්ගෙන් ලක්දිව ගහන වුනා   
 ලකට අදිපතිව මෙම ඉංගිරිස් දනා   
 අදට සියක් අවුරුද්දක් ඉකුත් උනා   


උදේ දහය වන විට පත්‍රය විකිණී ගියේය. දහවල් එකොළහ දොළහ වන විට මහජනයා ලේක්හවුසිය වට කළහ. පත්තර ඉල්ලා සිටියහ. මහජනයා හැසිරවීමට පොලිසිය කැඳවීමට සිදුවිය. මේ සිද්ධිය ඩී.ආර්. විජේවර්ධන මහතා විසින් ලියා ඇති බෝමැඩ විප්ලවය (REVOLT IN THE TEMPLE) පොතේ විස්තර කර ඇත. මෙම පත්‍රය ඊළඟ සෙනසුරාද‌ා යළිත් මුද්‍රණය කරන ලදී.   


අපේ ජාතික කොඩිය සොයා ගැනීමට දැඩි වෙහෙසක් දරා මහා මෙහෙයක් ඉටු කළ ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර්. විජේවර්ධන මහතාගේ වැඩිමහල් දියණිය වන නාලිනී වික්‍රමසිංහ මැතිණිය (රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන්) ‘ඩී.ආර්. විජේවර්ධන චරිතය’ නමැති පොතේ මේ සම්බන්ධයෙන් ලියා ඇති කොටස මෙසේය.   
උපදින්නටත් පෙර බොහෝ දෙනා තුළ ලොකු කුතුහලයක් ඇති කළ කරුණක් නම් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් ලන්ඩන් නුවර චෙල්සා ආරෝග්‍ය ශාලාවේ තිබී ලංකාවේ සිංහ කොඩිය සොයා ගැනීමය. 

 
ම පියාණන් ලන්ඩනයෙන්ම එහි වර්ණ මුද්‍රණ අච්චුවක් සාදවා මෙහි ගෙන්වා ගෙන එය ලංකාව බ්‍රිතානය කිරීටයට යටත් වූ සියවස පිරෙන දවස සිහිවීම පිණිස මුද්‍රණය කර වූ ජාතික අතිරේකයෙහි මහනුවර අන්තිම රජතුමාගේ සහ බිසොවුන් වහන්සේගේ ද ඡායාරූප සහිතව පළ කරවන ලදී.   


ලංකාවේ පුවත්පතක වර්ණ ඡායාරූපයක් පළ වූ ප්‍රථම අවස්ථාව මෙය විය. සිය පියාණන්ගේ හා ඇප්.එච්.ඇම්. කෝබට් මහතාගේ ඡායාරූප දෙකක් සමග මෙම සිංහ කොඩියේ පැරණි මුද්‍රිත පින්තූරයක්ම පියාණන් සිය පුස්තකාලයෙහි එල්ලාගෙන තිබුණේය.

   
ඩබ්ලිව්.ඊ. බැස්ටියන් සහ සමාගමේ ආදි කර්තා ඩබ්ලිව්.ඊ. බැස්ටියන් මහතාත්. ඇම්.ඩී. ගුණසේන සමාගමේ ආදි කර්තෘ ඇම්.ඩී. ගුණසේන මහතාත් සිංහ කොඩිය විශාල වශයෙන් මුද්‍රණය කොට බෙද‌ාහැරීමට විධි විධාන යෙදූහ.   


නිදහස් උද‌ාව   


 ශ්‍රී ලංකාවේ රාජකීය ධජය රටට යළි හඳුන්වා දෙනු ලැබුව ද රටේ නිල ධජය වූයේ බ්‍රිතාන්‍යයයේ යුනියන් ජැක් ධජය යි.   


1915 සිටම නිදහස ලැබෙන තුරු රටේ ජාතික ධජය වශයෙන් සිංහ කොඩිය මහජනයා විසින් නිල නොවන අන්දමට පිළිගන්නා තත්ත්වයක් උද්ගත වී තිබිණි.   
 1942 දී පමණ ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය බාලදක්ෂ කණ්ඩායම කැන්බරා නුවර දී පෙළපාළි දැක්වූයේ සිංහ කොඩිය පෙරටු කොට ගෙනය.   
ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තු ක්‍රමය ලැබූ පසු ප්‍රථම අග්‍රාමාතය ධුරයට පත් ඩී.එස්. සේනානායක මහතා රාජ්‍ය දූත පිරිසක නායකත්වය දරමින් ඉන්දියාවට ගිය ගුවන් යානය ‘විහාර මහාදේවි’ නම් විය. මෙම ගුවන් යානයේ සිංහ කොඩියක් සවිකොට තිබිණි.   


 ලංකා විශ්වවිද්‍යාලයය ආරම්භයේ සිට පාවිච්චි කරන ලද්දේ සිංහ ලාංඡනය යි.   


 ලංකාවේ පැරණි කොඩිය යළි පාවිච්චියට ගැනීම ගැන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුල් අවදියේදී සාකච්ඡා ඇති විය.   
 ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ අවශ්‍යතාව පිළිබඳව 1945 සැප්තැම්බර් මාසයේදී සිය අදහස් පළ කළේය.   


ජයවර්ධන මහතා ‘රජයේ ගොඩනැගිලි අලංකාර කිරීම රජයේ ගබඩාවට පැවරී තිබෙන කාරියකි. යුද්ධ ජයග්‍රහණ උත්සව අවස්ථා දෙකකදීම රජයේ ගබඩා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ගොඩනැගිලි සරසන ලදැයි මම සිතන්නෙමි. කථානායකතුමනි, එහෙත් ලංකාවේ කොඩිය තිබිණි දැයි අප සොයන්නට වූ නමුත් අපගේ ඒ වෑයම නිෂ්ඵල විය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ආද‌ාහන කටයුතු සංවිධානය කැරෙද්දි එකල රජයේ ගබඩා භාරකරු වූ වර්බි මහතාට ද ලංකාවේ පැරණි කොඩිය ගැන මම මතක් කළෙමි.   
මේ රජයේ සැරසිලි හා අලංකාර කිරීම්වලදී මේ කොඩිය මූලික කර නොගැනීමට හේතුවන් ඇති බවක් මට නොපෙනේ. අද මා මැතිසබයට එද්දී (මා කියන්නට යන අන්දමින් රාජ්‍ය සභාවට ඉහළින් ඉංග්‍රීසි කොඩිය ළෙලදීම ගැන (සමහර විට වරද පිළිගනිමින් මහ ලේකම්වරයා සිය හිස සලන්නා සේ මට පෙනේ.) මෙම ස්ථානය මෙම රජ සබය නිශ්චිත වශයෙන්ම ශ්‍රී ලංකාවේ කොඩිය ළෙලදිය යුතු එක් තැනකි.

   
1947 මහ මැතිවරණය අවසන් විය. බ්‍රිතාන්‍ය යටත්විජිත තත්ත්වයෙන් අපේ රට නිදහස් කෙරෙන බව තීන්දු වී තිබිණි.   


 නිදහස් ශ්‍රී ලංකාවට ජාතික කොඩියක් සම්මත කරවා ගැනීමට දැඩි උනන්දුවක් දැක්වූ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා   
 මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ලාංඡනයක, ජාතික ධජයක, ජාතික ගීයක හා ජාතික ඇඳුමක ද අවශ්‍යතාව සාකච්ඡාවට භාජනය වී තිබිණ.   


අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක, පළාත් පාලන හා සෞඛ්‍ය ඇමැති සභානායක ඇස්. ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරු මේ සාකච්ඡාවල මුල් තැනක් ගත්හ.   


ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමා   


කෙසේ වුවද ජාතික කොඩියක අවශ්‍යතාව ගැන මැති සබෙහි ප්‍රශ්න පැන නැගිණි. එවැනි ප්‍රශ්නයකට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාණන් 1947 දෙසැම්බර් 22 වැනිද‌ා දුන් පිළිතුර මෙසේය. ‘මේ කරුණ ගැන ඇමැති මඩුල්ල විසින් කිසිම තීරණයකට තවම එළැඹ නැත. සමහරු ඉංග්‍රීසි කොඩිය ජාතික කොඩිය සේ සලකති. තවත් සමහරු සිංහ කොඩිය ජාතියේ කොඩිය සේ පිළිගනිති.’ 


නිල ධජයක උපත:   


1948 ජනවාරි 16 වැනිද‌ා උදේ රැස් වූ පාර්ලිමේන්තුව දිවා භෝජනය සඳහා විසිර ගොස් යළි දහවල් 1.30 ට රැස්විය.   
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් මැද මඩකලපුව මන්ත්‍රී ඒ. සින්න ලෙබ්බෙ මහතා නැගී සිටියේය.   


‘‘දකුණතින් කඩුවක් අල්ලාගත් සිංහයකු රතුපාට පසුබිමක කහපාටින් පිළිබිඹු වන පරිදි සකස්ව තිබී 1815 සම්මුතියෙන් පසුව එංගලන්තයට ගෙන යන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධජය යළිත් නිදහස් ලංකාවේ නිල කොඩිය වශයෙන් පිළිගත යුතු යයි මේ සභාව අදහස් කරන්නීය. යන යෝජනාව ඉදිරිපත් කළේය.   
මෙම යෝජනාව ලියාදීම පමණක් නොව එය ඉදිරිපත් කිරීමට සින්න ලෙබ්බෙ මහතා පෙළඹවීමද ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් කැරණු බව ප්‍රකට කරුණකි.   
එක දිගට නැඟුනු අත්පොළසන් හඬ මධ්‍යයයේ ඊළඟට මැදකොළඹ පළමු වැනි මන්ත්‍රී කම්කරු හා සමාජ සේවා උප ඇමති තැන්පත් ඒ.ඊ. ගුණසිංහ මහතා නැගී සිටියේය.   
‘‘මම මේ යෝජනාව සතුටින් ස්ථිර කරනවා’’ යැයි පැවසූ ගුණසිංහ මහතා සිංහ කොඩිය නිල කොඩිය වශයෙන් පිළිගැනීමට ඇති යුක්තිසහගත තත්ත්වය ඔප්පු කිරීමට ඉතිහාසයෙන් කරුණු ගෙන හැර දැක්වීය. 

 
මී ළඟට නැගීසිටියේ කන්කසන්තුරේ මන්ත්‍රී ඇස්.ජේ.වී. චෙල්වනායගම් මහතාය. හේ මේ යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කළේය.   
සිංහළයන්ගේ සිංහ කොඩියද, ද්‍රවිඩයන්ගේ නන්දි කොඩියද, මුස්ලිම්වරුන්ගේ අඩ සඳ සහ තරු සහිත කොඩියද රටේ නිල කොඩි වන පරිදි මුල් යෝජනාව සංශෝධනය විය යුතු යැයි හේ පැවසීය.   


මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන මහතා වහාම නැගී සිටිමින් සංශෝධන යෝජනාවට විරුද්ධත්වය පළකොට එය රීති විරෝධී යැයි පැවසීය.   
මේ සංශෝධනයෙන් කියැවෙන්නේ කොඩියේ සැලසුම එහැමපිටින්ම වෙනස් කිරීමයි. මුල් යෝජනාවේ සඳහන් වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කොඩිය ගැනයි. එම සංශෝධන යෝජනාව මුල් යෝජනාවේ අරමුණ වෙනස් කරනවා යයි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.   
වඩුක්කොඩෙයි මන්ත්‍රී කේ. කනගරත්නම් මහතා චෙල්වනායගම් මහතාගේ යෝජනාව ස්ථිර කළ අතර නිල ධජය ගැන අදහස් විමසා බැලීමට කමිටුවක් පත්කරන ලෙස චෙල්වනායගම් මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.   


සංශෝධන යෝජනා:   


යාපනේ මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතාගේද සහයෝගය ඇතිව කෝපායි මන්ත්‍රී සී. වන්නිසිංහම් මහතා ඉදිරිපත් කරන ලද දෙවැනි සංශෝධන යෝජනාවෙන් කිය වුණේ සිංහ කොඩියේ රතු පාට පසුබිමට පඬුකහ, සුදු සහ රතු පාට පටි යෙදිය යුතු බවකි. චාවකච්චේරි මන්ත්‍රී වේලුපිල්ලේ කුමාරස්වාමි මහතා එය ස්ථිර කළේය.   
ඩී.එස්. සේනානායක රජයේ වාණිජ හා වෙළඳ ඇමති පදවිය දැරූ සී. සුන්දරලිංගම් මහතා තවත් සංශෝධනයක් ඉදිරිපත් කළේය.   
සිංහ කොඩියේ රතු පසුබිමේ හරියටම බාගයකට කහ පාට සහ සුදු පාට පටි යෙදිය යුතු බව කියවෙන එම සංශෝධන යෝජනාව බණ්ඩාරවෙල මන්ත්‍රී කේ.වී. නඩරාජා මහතා ස්ථිර කළේය. 

 
එවකට වැල්ලවත්ත, ගල්කිස්ස මන්ත්‍රී පදවිය හෙබ වූ ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා මුල් යෝජනාව ගැනත්, සංශෝධන යෝජනා ගැනත් සිය අදහස් දක්වමින් මේ යෝජනාවල ඇත්තේ ජාතිවාදී ස්වරූපයක්... යැයි පැවසීය.

   
මේ රටේ ජාතික ධජය කුමක් විය යුතුදැයි තෝරා තීන්දු කළ යුත්තේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ යෙදෙන අය විසින්ම බව මා කියා සිටිනවා.   
ජාතික නිදහස උදෙසා අධිරාජ්‍යවාදයට එරෙහිව දැඩි අරගලයක යෙදෙන ජාතියකට හැකිකමක් තිබෙනවා, අයිතියකුත් තිබෙනවා, ඒ අරගලය සංකේතවත් වන පරිද්දෙන් කොඩියක් සකස් කිරීමට.   


ආචාර්ය ද සිල්වා මහතා වේගවත් ලෙස කළ කතාවෙන් පසු හපුතලේ මන්ත්‍රී ජේ.වී. රඹුක්පොත, අම්බලන්ගොඩ මන්ත්‍රී පී. ආතර් ද සොයිසා, කම්කරු හා සමාජ සේවා ඇමති ටී.බී. ජයා, කුරුණෑගල මන්ත්‍රී එච්. ශ්‍රී නිශ්ශංක සහ යාපනේ මන්ත්‍රී පී.ජී. පොන්නම්බලම් යන මහත්වරු මුල් යෝජනාවට හා සංශෝධන යෝජනාවලට පක්ෂවත් විපක්ෂවත් කතා කළහ.   


අවිස්සාවේල්ල මන්ත්‍රී පදවිය හෙබවූ ලංකා සමසමාජ පක්ෂයේ ඩී.පී.ආර්. ගුණවර්ධන (පිලිප් ගුණවර්ධන) මීළඟට වේගවත් කතාවක් කළේය.   


ජාතික ධජ කමිටුව   


අග්‍රාමාත්‍යවරයාගේ කතාවෙන් පසු කල් තැබුණු පාර්ලිමේන්තුව යළිත් රැස්වූයේ 1948 ජනවාරි 27 වැනිදාය.   


එදා සවස 3.30 ට නැගී සිටි අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා නිල කොඩියක් තෝරා ගැනීම පිණිස තමාට උපදෙස් දීමට ජාතික ධජ කමිටුවක් පත් කරන බවත්, ඒ කමිටුවේ ක්‍රියාකිරීම සඳහා පහත සඳහන් අයට ආරාධනා කරන බවත් පැවසීය.   


ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා, ගරු ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මහතා, 

 
ගරු ජේ.ආර්. ජයවර්ධන මහතා   
ගරු ටී.බී. ජයා මහතා   
ගරු ලලිත් අභය රාජපක්ෂ මහතා   
ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා   
සෙනෙට් සභික ඇස්. නඩේසන් මහතා   


ජාතික කොඩියක් තෝරාගැනීම පිළිබඳව ඒ අවස්ථාවේදී උද්ගතවී තිබූ අසීරු ප්‍රශ්නකාරී තත්ත්වයට එය හොඳම පිළියමක් බව කාගේත් පිළිගැනීම විය.      


මතු සම්බන්ධයි...

 

 

උපාලි රූපසිංහ විසිනි