ජීවිතය වෙනස් කරන අපූරු අවස්ථා එළැඹෙන්නේ කලින් දැනුම් දී නොවේ. එබඳු වෙනස්වීමක් අත්පත් කරගත් කතා නායිකාවක් පසුගියදා අපට හමු වූයේ සමාජමාධ්‍ය තුළිනි. ඇය නමින් යශෝදා සෙව්වන්දියි. මීට සති කිහිපයකට පෙර ඇය බස් රථයක ගායනා කරන මල් ඔංචිල්ලා ගිතයත් සමඟ දුරකථනයකින් වීඩියෝ කළ පුංචි වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තේ ඇයටත් නොදෙනීමය. යශෝදා බස් රථයේ ගයන නවක ගායන ශිල්පිනියක වන හනා ෂෆා ගේ "මල් ඔංචිල්ලා" ගීතය ඇසෙද්දි මගේ මතකයට එවරම නැඟුණේ කෝච්චිවල සින්දු කියා පුංචි වීඩියෝවකින් දෛවය වෙනස් කරගත් ඉන්දියාවේ රාණු මොන්ඩාල්වය. රාණු මොන්ඩාල්ගේ කතාව ඔබ හොඳින් දන්නා කතාවක් මුත් යශෝදාගේ කතාව ඒසේම නොවුණත් මෙය ඊට ආසන්නයෙන් යන කතාවකි. යශෝදා ද ජීවිතේ ගැට ගසාගන්නට කෝච්චිවල බස්වල ගීත ගැයූ සහ තවමත් ගී ගයන තරුණියකි. ඉන්දියාවේ රාණුගේ වගේම ජීවිතේ කණපිට ගැසූ වාසනාවන්තම දින කිහිපයක් යශෝදාටත් උදා විය. මේ ඒ කතාවයි.
“නින්ද නොයෙනා මේ
සඳ නේන හෝරා වේ....
ඒද ඔබ ආයේ..
ළංවී මා ළයේ තුරැලේ
මේ පෙම්මල්දම් ගෙන ආවේ
ළංවී දැන් ඉන්නයි ආයේ...
පෑහේ නම් මේ සංසාරේ
තව නෑනේ කිසිවක් ඕනේ...”
මේ යශෝදා ට වාසනාව ගෙනා ගීයයි...
- හනා ගේ සින්දු බස්වල ලස්සනටම කියන කවුද මේ යශෝදා?
සම්පූර්ණ නම- යශෝදා සෙව්වන්දි
වයස – 21
පදිංචිය- වාද්දුව
මගේ උපන් ගම ගාල්ල උඩුගම. පාසල් ගියේ උඩුගම අලුත්වත්ත පාසලට. උසස් පෙළ වෙනකම් මම අධ්‍යාපනය ලබලා තියෙනවා. මගේ පවුලේ ඉන්නේ අම්මායි තත්තායි අක්කායි නංගියි මල්ලියි.
- යශෝදාට පොඩි කාලේ ඉඳලා ගීත ගායන හැකියාව තිබුණාද ?
ඔව් පොඩි කාලේ ඉඳලා පොඩි ගායන හැකියාවක් තිබුණා. මම සංගීතය සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙනගෙන තියෙනවා. එතැනින් එහාට මට ඉගෙනගන්න ලැබුණේ නැහැ. සංගීතය වෙනම විෂයක් විදිහට හදාරලත් නැහැ.
- බස් වල සින්දු කියන රැකියාව පටන් ගත්තේ කොයි කාලෙ ද?
උසස් පෙළ කරපු ගමන් වගේ වයස 18 දි මම විවාහ වෙනවා. මගේ මහත්තයාගේ නම හර්ෂ ක්‍රිෂාන්ත. මම කතෝලික. මහත්තයා මුණගැහෙන්නේ උඩුගම පල්ලියකට ගිය අවස්ථාවක. අපට අවුරැදු තුනක පුතෙක් ඉන්නවා.
මහත්තයා මේසෙන් වැඩ තමයි කළේ. රස්සාව කරන අතර තුර වෙච්ච අනතුරකින් මහත්තයාගේ අතකුයි කකුලකුයි කැඩුණා. ඊට පස්සේ එයාට බර වැඩ කරන්න බැරි තත්ත්වයක් ආවා. ඒ එක්කම තමයි කොරොනා ආවේ. ඒකත් එක්ක වැඩ නැතිම වුණා. ඊට පස්සේ එන්න එන්න ආර්ථික ප්‍රශ්න වැඩි වුණා. මහත්තයාගේ එක ඇහැක පෙනීමේ ආබාධයකුත් ආවා. මහත්තයාට කුලියක් කරන්නවත් බැරි වීමත් එක්ක අපි ගොඩාක් දුක් වින්දා . මහත්තයාටත් ගීත ගායනා කිරිමේ හැකියාවක් තියෙන නිසා කොච්චියේ සින්දු කියලා කීයක් හරි හොයාගමු කියලා තමයි මහත්තයා පල්ලියේ ගීතිකා කියන රබාන අරන් මුලින්ම සින්දු කියන්න ගියේ.
මිනිස්සු කෙනෙක්ව මනින්නේ බාහිර රූපයෙන් විතරනේ. කට්ටිය මහත්තයාට අනං මනං කියලා තිබුණා බොරු කරන්නේ නැතුව රස්සාවක් කරන්න කියලා. උගුර ලේ රහවෙනකම් සින්දු කිව්වාත් කවුරුත් සල්ලි දිලා තිබුණෙ නෑ. බාහිරින් කාටවත් ආබාධ තත්ත්වයන් තේරෙන්නේ නෑනේ පස්සේ මම මහත්තයාට කිව්වා දරුවත් අරන් මාත් එන්නම් කියලා සින්දු කියන්න යන්න. ඒ විදිහට බස් කෝච්චිවල සින්දු කියන්න පටන් ගත්තේ 2021 විතර. එතකොට දරුවාට මාස 4 ක් වගේ වයස. අවුරුදු එකහමාරක් විතර අපි දෙන්නා මාරුවෙන් මාරුවට සින්දු කිව්වා. මුලින්ම කෝච්චියේ සින්දු කිව්වා ඊට පස්සේ බස් වලත් සින්දු කියන්න පටන් ගත්තා.
මම මුලින්ම කිව්වේ චමත් සංගීත් අයියා යොහානි අක්කාට හදපු මැණිකේ මගේ හිතේ ගීතය. එදා හැමෝම මං කියපු විදිහට ආස වුණා. මං දැක්කා සමහර අය ෆෝන් වලින් වීඩියෝ කරනවා. ඒවා ශෝෂල් මීඩියා වල ගොඩාක් ශෙයා වෙලා තිබුණා. හැමෝම ලස්සනයි කියලා තමයි කියලා තිබුණෙ.
- ඒ විදිහට සින්දු කියපු යශෝදගේ ජීවිතේ වෙනස් වුණේ කොහොම ද?
බස් කෝච්චිවල යද්දි දුන්න සල්ලි සතයක්වත් නාස්ති කරේ නෑ. කෑමට විතරක් වෙන් කරලා අනිත් සල්ලි ඕක්කොම එකතු කරලා JBL එකක් ගත්තා සින්දු කියන්න.
දවසක් මම බස් එකක වර්තමාන ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන හනා ෂෆාගේ මල් ඔංචිල්ලා ගීතය ගායනා කළා. ඒකත් අර වගේම බස් එකේ ඉඳපු අයියා කෙනෙක් වීඩියෝ කරලා සෝෂල් මීඩියා දාලා තිබුණා . ඒ වීඩියෝ එක හිතපු නැති විදිහට වයිරල් වුණා. මගේ ජීවිතේ කණපිට පෙරළෙන්නේ ඒ පුංචි වීඩියෝ එකෙන්.
- චමත් සංගිත්ගේ හමු වීම කොහොම ද සිද්ද වෙන්නේ?
මම බස් එකේ කියන මල් ඔන්චිල්ලා සින්දුවේ වීඩියෝ එක ෂෙයා වෙද්දි චමත් අයියා දැකලා එයා ෂෝෂල් මීඩියාවල මැසේජ් එකක් තියලා තිබුණාලු මාව හොයලා දෙන්න කියලා. ඊට පස්සේ චානක ලියනආරච්චි කියලා අයියා කෙනෙක් හරහා තමයි මට චමත් සංගීත් අයියා එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණේ. මට අයියා කතා කරලා දවස් දෙකකින් වගේ සින්දුව රෙකෝඩ් කරන්න එයාගේ ස්ටූඩියෝ එකට එන්න කියලා කිව්වා.
චමත් අයියා කතා කරලා කිව්වා මං ඔයාගේ වීඩියෝ එකක් දැක්කා බස් එකක සින්දු කියන මං කැමති ඔයාට සින්දුවක් කරලා දෙන්න කියලා. එහෙම කිව්වාම මට ආවේ දරාගන්න බැරි තරම් සතුටක්. බස්වල සින්දු කියපු මට ඒ වගේ අවස්ථාවක් ලැබේවි කියලා නම් කවදාවත් හිතුවේ නැහැ. ජීවත් වෙන්න බස් කෝච්චිවල සින්දු කිව්වා මිසක් ගායිකාවක් වෙන්න සින්දුවක් කරන්න කවදාවත් හීනෙකවත් තිබුණේ නෑ.
මම මියුසික් ස්ටූඩියෝ එකකට ගියෙත් පළමු වතාවට චමත් සංගීත් අයියාගේ මියුසික් සී ස්ටූඩියෝවට. සින්දුවක් වොයිස් කළෙත් පළමු වතාවට. ශනුද්‍රි ප්‍රියසාද් අක්කාගේ "ප්‍රියේ" ගීතය ලියපු තිළිණි එන්. ලියනආරච්චි අක්කා තමයි මම ගායනා කරන " පෙම් මල්දම්" ගීතයත් ලිව්වේ.
මියුසික් වීඩියෝ එකට මගේ මේකප් එක කරලා දුන්නේ නොමිලේ කොට්ටාවේ මෙඩියුසා කියලා සැලොන් (Medusa) එකකින් . සංගීත අධ්‍යක්ෂණය කළේ චමත් සංගීත් අයියා, රූප රචනාව කළේ පුෂ්පිත නිර්මාල් අයියා, ඒ වගේම අැඳුමේ ඉඳලා හැම දේටම උදව් කරලා දුන්නේ චමත් සංගීත් අයියාගේ කණ්ඩායම. සියලු දේ කරේ නොමිලේ. සහයෝගය දීපු ගොඩාක් දෙනා ඉන්නවා මට ඒ අයට ස්තූති කරන්න වචන නෑ. ඒ හැමෝම ආදරේ සිහිපත් කරනවා. මගේ දෛවය වෙනස් කලාට ඒ සියලු දෙනාටම ගොඩාක් පිං .
- ගීතය ප්‍රචාරය වීමෙන් පස්සේ යශෝදාට සංගීත ප්‍රසංගවලට කතා කරලා තියෙනවා ද?
ලබන වසරේ පෙබරවාරි මාසේ තියෙන සංගීත ප්‍රසංගයකට ආරාධනා ලැබිලා තියෙනවා.
- යශෝදා තාම සුපුරුදු රැකියාව කරනව ද?
ඔව් තාම හැමදාමත් සුපුරුදු විදිහට බස් කෝච්චි වල සින්දු කියන්න යනවා. වැඩිපුරම ආස ගායිකාව තමයි ශෂිකා නිසංසලා මහත්මිය. ඇයගේ ගීත ගායනා කරන්න මම ගොඩාක් ආසයි. කවදා හරි දවසක ඇස් දෙකෙන්ම එතුමියව දකින්න ආසයි.
යශෝදාට ශක්තියක් වූ යොවුන් පරපුරේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයකු වන චමත් සංගීත් අවසාන වශයෙන් කියා සිටියේ මෙවැන්නකි,
යශෝදා ගේ හඬ හරිම ලස්සනයි. ඇය ඇගේ හඬ පාවිච්චි කරලා ජීවත් වෙන්න දරන මහන්සිය දැකලා තමයි මට හිතුණේ ඇයගේ හඬට ගැළපෙන ගීතයක් හදලා දෙන්න. ඒක මම බොහොම සතුටින් කරපු වැඩක්. මේ ගීතය රිලීස් කරලා පැය ගාණක් ඇතුළත වයිරල් වෙලා ගොඩාක් ජනප්‍රිය වුණා. ඇයට ලැබුණ ඒ ආදරය ඒ තැන හරියට පාවිච්චි කළොත් ඇයට තවදුරටත් බස්වල සින්දු කියන්න උවමනා වෙන එකක් නැති වෙයි.
නදීශා අතුකෝරළ