ගමක නම හැදුණු හැටි
රාවණ පරපුරෙන් පැවත එන විශ්ව බ්‍රාහ්මණ, විශ්වකර්ම, සුද්ධ සූරියවංශ, යක්හෙළ නමින් හඳුන්වනු ලබන මෙම නවන්දන්නා වංශිකයින් වන ජන කොටස ශ්‍රී ලංකාවේ ස්වදේශිකයෝ වෙති. රාවණ යුගයෙන් ඇරඹි මෙරට පාලන තන්ත්‍රය අනුරාධපුර යුගයේ පමණක් මෙම පරපුරේ රජවරුන් අවුරුදු 1500 ක් පමණ රජකම් කර ඇත. පාලන හැකියාව පමණක් නොව, විශ්ව කර්මයන් වූ මොවුන් මෙහි පමණක් නොව, විදෙස් රටවල ද සංවර්ධනය කිරීමේලා විශාල වශයෙන් දායක වී ඇත. රාවණ රජතුමා මෙන්ම කම්මල්කරුවෙකු වූ මහා කාලසේන රජතුමා ඊට කදිම නිදසුනකි. මෙම නවන්දන්නා අය නොසිටියේ නම් අද ශ්‍රී ලංකාවේ සංස්කෘතියක් කියා පෙන්වීමට දෙයක් නොමැති තරම්ය.
ඉහත සඳහන් මෙම පරපුරේ නිර්මාණ හා රට ජාතිය වෙනුවෙන් කරන ලද අභිමානවත් සේවාවන් රජවරුන් විසින් අගය කර එවකට උසස් පටබැඳි නාමයන්, තනතුරු, නින්දගම්, සන්නස් ලබාදෙමින් සංග්‍රහ කිරීම ඒ ඒ ක්ෂේත්‍රවල අයගේත්, කලාවේත් අභිවෘද්ධියට හේතු විය. මේවා ඔවුන්ට නිරන්තරයෙන්ම ලැබෙන ඒවාය. ඒ සඳහා රදළයින්ට මෙන් ගතු කේලම් කීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නැත. හෙට්ටිපොළට නුදුරු හම් තිහක් මානා යකදාව සෑදූ බව පැවසෙන ගිරාතලානට සම්බන්ධ හංතිහව කුඩා කුළු ගෙඩිය තිබූ ස්ථානය වන කුඩකලව මහ කුළු ගෙඩිය තිබූ ස්ථානය මහහොලව ගිරාතලාන ආචාරිගම ආදිය වයඹ පළාතේ විශාල වශයෙන් කර්මාන්ත පුරවරයන් තිබූ බව සනාථ කරන ග්‍රාම නාමයන්ගෙන් කිහිපයකි. අදටත් මෙම ප්‍රදේශයේ යබොර හා යපස් විශාල වශයෙන් හමුවෙමින් පවතී.
1920 පමණ ලංකා මැණීමේ දී මැන සාදන ලද 1717 1/2 අවසන් ගම් සිතියමේ පවා ගිරාතලාන ආචාරිගම යනුවෙන් සඳහන් මෙම ග්‍රාමය ඉහත සඳහන් ලෙස සන්නසකින් පිදුම් ලැබූවකි. ඒ ගැන කියවෙන හා දැනට ඉතිරි වී ඇති කවි පද කීපයකි මේ.
මාවත් මහවැලි ගංගාවට බැස මැදලා දත් පොඩි මුව ලීලා
ගාලත් කුම්කුම චන්දන පිණිදිය සුවඳ සඳුන් සියොගත ලීලා
බැඳලා රන්පටි ඉසලා තොප්පිය සුද්ද වර්ණයෙන් සැරසීලා
ශ්‍රීමත් සිංහල විශ්කම් නන්දන ගිරාතලානට ගොඩ බැසලා
දුලා තෙදැති මහිමේ කල් වරමින් රණ කෙල එන ලෙස නැවට උනේ
වලාකුළු සේ සමනල ගල දකිමින් අයුරු බලාගෙන මෙතෙර උනේ
ලොලා වඩන බුවනෙක බා නිරිඳුට රත්ත්‍රන් ගිරවා දැක්ක තැනේ
විශ්කම් නන්දන පටබැඳි මුත්තට කීර්ති උතුම් සන්නස ලැබුනේ
තනා සොඳ ගිරවෙකු කතාවට
ගොතා රනින් සැට්ටය දාලා ඔහුට
කතා කෙරෙව්වේ සූරිය මහ රජුට
එදා ලැබුණි විශ්කම් නන්දන නමට
මැතිවරණ අවස්ථාවන් හිදී ඡන්ද හිමි නාම ලේඛනයේ අනෙක් නම් අතර ඉහත පරපුරේ ශ්‍රීමත් සිංහල විශ්කම් නන්දන පටබැඳි මුහන්දිරම්ලාගේ යන මෙම ගරු ගාම්භීර නාමය මහ හයියෙන් කීමෙන් ඔවුන් ලැබූයේ ලොකු සතුටකි.
මෙම සන්නස වටා ගෙතුන සත්‍ය සිද්ධියක් පිළිබඳව විශේෂයෙන් මෙහි සඳහන් කළ යුතුය. ගිරාතලාන ආචාරිගමේ උතුරින් හා බස්නාහිරින් කොටස් දෙකක් වෙනත් කුලවතුන් දෙපිරිසකට පරිත්‍යාග කර ඇත.
බස්නාහිරින් කෑල්ලක් දුන් කොටස කෑලියාව නමින් ගමක් බවටද පත්විය. මේ නිසා ඔවුහු ගිරාතාලන ආචාරිගම අයට තමන් කරන සේවාවන්ට සතුටින් තුටු පඬුරු ලැබුණොත් විනා ඒ සඳහා මෙම ආචාරිගම අයගෙන් ඉල්ලීමක් නොකළහ. මෙම ඥාතීන්ම වෙසෙන ගිරාතාලන නමින් තවත් ගමක් අනුරාධපුර ප්‍රදේශයේ ද විය. එක්තරා ඥාතියෙක් මෙහි සිට එම ගමට පදිංචියට යන විට මෙම සන්නසද රැගෙන ගොස් ඇත. ටික කලකට පසුව උතුරු කොටසේ පදිංචි අය ආචාරිගම අයට හොරෙන් එම සන්නස ගෙන ඒමට අනුරාධපුර ගිරාතලාන කරා ගොස් ඇත. ඒ වන විට මෙම සන්නස තිබී ඇත්තේ නවන්දන්නා පරපුරේම වයෝවෘද්ධ අන්ධ මවක් සතුවය. ඇය පැමිණි පිරිසෙන් එක් අයෙකු තමා ළඟට කැඳවා ඔහුගේ අත සිඹ මුන් අපේ එවුන් නෙමේ, මුන්ට කෙහෙල් කොළවල කන්ඩ දීපල්ලා යනුවෙන් කියා සන්නස නොදී ඔවුන් ආපසු එවා ඇත. ඒ අනුව තම ගෝත්‍රයේ අයව ලේ සුවඳින් හඳුනා ගැනීමේ හැකියාවක් ද නවන්දන්නා කුලවතුන් තුළ ඇති බව පැහැදිලි වේ.
ඉහත කවි පදවලින් කියවෙන රත්ත්‍රන් කර්මාන්තය පමණක් නොව චිත්‍ර ශිල්පීන්, ගල් වඩුවන්, බුද්ධිමතුන්, ලේඛකයින් වැනි අය එදා මෙන් අදත් මෙම ග්‍රාමයේ නැත්තේ නොවේ. ගිරාතලාන ඔරුගල් සෑ රජමහා විහාරයේ පෙති පිළිම වන්දනා කරන්නෙකුට එදා මෙහි ජීවත් වූ එම්.එම්. මේනිස් චිත්‍ර හා මූර්ති ශිල්පියාගේ දක්ෂකම් මොනවට පැහැදිලිවේ. අද එම ශිල්පීය පරපුරේ ඉතිරිව ඇත්තේ කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී යූ.එන්. මුහන්දිරම් මහතාත්, ඔහුගේ පුත් ප්‍රියදේව මහතාත් පමණි. මෙම විහාරස්ථානයේ අවුරුදු 100 ටත් වඩා පැරණි පහන් ටැඹ ඩබ්ලිව්.එන්.පී.එම්. වීරසිංහ මහතාගේ කදිම නිර්මාණයකි. විහාරයේ ඇති කළුගල් උළුවහු දෙක, ඉදිරිපිට ඇති ගල්කටාරම් පමණක් නොව මුන්නේශ්වරම කළුගල් සිවිලිම සහිත දෙවොල යන දර්ශනීය නිර්මාණයන් මෙම ග්‍රාමයේ විසූ අපි ආදරයට කියන සාදත්තා ගේ සුවිශේෂී නිර්මාණයන්ය. ඔහුගේ බොහෝ නිර්මාණයන් අදටත් ගමේ නිවෙස්වල සිහිවටන වශයෙන් සුරක්ෂිතව පවතී. මෙහි පමණක් නොව යාබද බඩල්ගම හි ද මෙම පරපුරේ අය ජීවත් වෙති. අද දිවයිනටම අවශ්‍ය මායිම් ගල් සපයන්නේ ද මේ අය විසිනි.
ජාඇල බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය වෛද්‍ය ජයසිංහ මහතා 1900 පමණ වන විට ලංකාවේ විසූ ප්‍රසිද්ධම බටහිර වෛද්‍යවරයෙකි. එතුමාට ගිරාතලාන, තාරාම්පිටියෙහි යාළුවාගේ වත්ත නම් විශාල ඉඩමක් විය. මෙයට එතුමා නිතරම ගමන් කළේ ඥාතියෙකු සමඟය. ඔහු ප්‍රථම සිංහල අගවිනිසුරු තනතුර හෙබවූ ශ්‍රීමත් තෝමස් එඩ්වඩ් ද සම්පායෝ තුමාගේ ද ඥාතියෙකු වන කුලීගොඩ තම උපන් ගම බව පවසන මනික්කු ආචාරිගේ මැන්දිරිස්හාමි නම් විය. ඔහුගේ පියා රත්ත්‍රන් කර්මාන්තයේ හා මැණික් ව්‍යාපාරයේ යෙදුන ඉසන්හාමි නම් වේ. මැන්දිරිස්හාමි මහතා නව ක්ෂේත්‍රයන් සොයා යන විශිෂ්ටතම කාර්මික ශිල්පියෙකි. ඔහු තම උරුම ඉඩකඩම් ගැන ද නොතකා ගිරාතලාන ආචාරිගම ශ්‍රීමත් සිංහල විශ්කම් නන්දන පටබැඳි මුහන්දිරම්ලාගේ මේනුවා නාච්චිරේ යන කුල කාන්තාව සමඟ විවාහ වී මෙහිම පදිංචි විය. වයඹ තිබූ විශාල කර්මාන්ත පුරවරය ගැන අසා ඇති ඔහු ඒ අනුව යමින් තම සොහොයුරු නිකුලස්හාමි මහතා ද ගෙන්වාගෙන ගිරාතලානට සම්බන්ධ හංතිහව සේවකයින් 40 කින් පමණ සමන්විත කම්මලක් ආරම්භ කර ඇත. මෙම කම්මලේ සේවක පිරිසේ ආහාරය සඳහා පමණක් දින පහකට හාල් මිටියක් පමණ වැයවූ බවක් පැවසේ. එකල හාල් මිටියක් යනු හාල් සේරු අසූවකි. එකල මෙය වයඹ විශාලම කම්මල බවට පත්විය. මෙහි නිපදවූ දුනු කරත්ත, රේස් කරත්ත ආදිය අද ලාන්සර් කාර් මෙන් විය.
අද මෙන් නොව ඉන්ධන වියදමක් නැති පරිසරයට හිත කර මේවා එකල රජයේ සේවයේ නිල වාහන වශයෙන් ද පාවිච්චි කර ඇත. එය ආදර්ශයකි. අනෙක් සහෝදර පිරිස ද මෙහි විත් නොයෙක් කර්මාන්තවල යෙදී ඇත. ඔවුන්ගේ උපන් ගම හරිහැටි දැනගැනීමට නොහැකිව දූ දරුවන් ඒ ගැන විමසමින් සිටිති. එම්.ඒ. නිකුලස්හාමි මහතාට එවකට පැවති වංසගත උණක් සෑදී අසනීප විය. මේ අතර භාරගත් වැඩ නියමිත දිනයකට දීමට තිබුණ බැවින් ඉක්මණින් සුවවීමේ අදහසින් බෙහෙත් වැඩිපුර ගැනීම නිසා 1945 වසරේ දී ඔහු මිය ගියේය. තම ශිල්පයට ඔහුගේ තිබුණ ආදරය මින් මොනවට පැහැදිලි වේ. නිකුලස්හාමි මහතාට අයත් ඉඩමක් මේ කිට්ටුව පවතී. එම්.ඒ. මැන්දිරිස් හාමි මහතා ද 1972.10.28 දින මියයන ලදී. මේ අනුව දක්ෂ ශිල්පීන් දෙදෙනෙක් ප්‍රදේශයට අහිමි විය. ප්‍රදේශය පුරා එම කම්මලෙන් නැගුණ හඬ අද ඇසෙන්නේ නැත. නමුත් එම ඥාති පිරිස සහ ගෝලයන්, ගෝලයන්ගේ ගෝලයන් සිය දහස් ගණනක් එම අඩි පාරේ යමින් මෙම කර්මාන්ත පුරවරය රැක ගැනීමට ඉමහත් වෙර වීරියක් දරති. මෙම කම්මල ආරම්භ කිරීමට ප්‍රථම ගිරාතලානට සම්බන්ධ කෙවිටිය හි සුළු කාලයක් කම්මල පවත්වාගෙන ගොස් ඇත. මේ නිසා එය කෙවිටිය ආචාරිගම බවට ද ඉතිහාසයට එක්විය.
කුරුණෑගල හලාවත මාර්ගයේ ගමන් කරන විට හෙට්ටිපොල පසුකර කිලෝමීටරයකට පමණ ඉදිරියෙන් ගිරාතලාන ආචාරිගම (දැනට ගිරාතලාන දකුණ) හමුවේ. එම මාර්ගයේ සිට වම්පසට විහිදී යන මාර්ගයෙන් හා එහි අතුරු මාර්ගයෙන් ගම තුළට පිවිසිය හැක. වැව් දෙකකින් හා මනරම් වෙල් යායකින් වටවූ ඥාතීන්ගේ නිවාස 75 කින් පමණ සමන්විත මෙය සුන්දර ගම්මානයකි. මැන්දිරිස්හාමි මහතාගේ පැමිණීමත් සමග මෙම ගම පමණක් නොව වයඹ කර්මාන්ත පුරවරයට අවුරුදු දහස් ගණනක් නොපැවති තවත් ආලෝකයක් එකතු වූ බවක් කීවොත් නිවැරදිය. ගිරාතලාන ගමේ සමිති සමාගම් ඇතිකර සමාජ වැඩවල බොහෝ යෙදී ඇත්තේ ද මෙම පරපුරේ අයවලුන්ය. මෙහි බොහෝ තොරතුරු ඇතුළත් ශ්‍රී ලංකාවේ යක්හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය කෘතියේ මේ ගමේ මෑතක දී එනම්, 1972 දී එම්.ඒ. කරුණාරත්න තුමා විසින් ආරම්භ කර අද ගම් කීපයකට සෙත සැලසෙන ගිරාතලාන දකුණ එක්සත් අවමංගල්‍යාධාර සමිතිය ගැන සඳහන් වීම ඊට කදිම නිදසුනකි. බොහෝ දෙනෙක් එය නොදන්නවා විය හැක.
එම්.ඒ. කරුණාරත්න තුමා මැන්දිරිස්හාමි මහතාගේ පුතෙකි. ඔහු එංගලන්තයේ රාජකීය චිත්‍ර සංගමයේ සම්මාන පවා ලැබූ හොඳ චිත්‍ර ශිල්පියෙකි, කලාකරුවෙකි. අප දන්නා කාලයේ පටන් ඥාතීන්ට ආදරය කරන එතුමා ඥාතීන්ගේ මඟුල් මඩු, මඟුල් පෝරු නොමිලයේ සෑදීම කළේ ද එතුමා විසිනි. මෙනේරී හේන වැවට පාරක් තවත් පාරවල්, විදුලිය ලබා ගැනීමට ඉඩකඩ, පොදු ළිඳකට ඉඩම් පරිත්‍යාග කිරීම් සිදුකර ඇත. මෙසේ වෙනත් ගම්මානවලට ද සේවාවන් සිදුකර ඇත. එදා තෝරගල්ලට හෙට්ටිපොල හෝ තුත්තිරිපිටිගමින් ලියුම් නොබෙදන යුගයක ලියුම් බෙදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම, නුගවැල හන්දියේ තිබූ පට්ටි මධ්‍යස්ථානය ඉවත් කර ඒ වෙනුවට ගොවිජන සේවා වැනි කාර්යාල ඇති කිරීමට උනන්දු කිරීම මේ එවැනි ගම්මාන කීපයක් පමණි. ශ්‍රී ලංකා ශිෂ්‍යෝපකාර සමිතියේ දියුණුවට බොහෝ කටයුතු කළ එම්.ඒ. කරුණාරත්නතුමා විස්කම් තිළිණ සම්මාන පවා ලබා විශ්වවිද්‍යාලවලට සමත් දරුවන් 30 කට පමණ ශිෂ්‍යෝපකාර සමිතිය මගින් ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කර ඇත.
2006.07.23 දින මෙම ගමෙහි එම සමිතියේ ශාඛාවක් පවා එතුමා විසින් ආරම්භ කරන ලදී. එය මෙම ගමෙහි මෑතක දී වූ ඓතිහාසික සුවිශේෂිම සිදුවීම විය. මේ නිසා ගම තව තවත් ආලෝකමත් විය. මෙය දිවයිනේ හොඳම ශාඛාව බවට ද පත්විය. මෙවන් ගම්මානවලට තව තවත් සේවය කිරීමට ශ්‍රී ලංකා ශිෂ්‍යෝපකාර සමිතියට ශක්තිය ධෛර්ය ලැබේවායි එහි 83 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ ඉත සිතින් ප්‍රාර්ථනය කර සිටිමු.
මෙහි එන තොරතුරු බොහොමයක් ශ්‍රී ලංකා ශිෂ්‍යෝපකාර සමිතියේ සමරු කළඹ හා එම ලේඛනවලිනි.
ඒ.එන්. නාරායන,
බණ්ඩාර කොස්වත්ත
බණ්ඩාර කොස්වත්ත