අක්කර පහ චිත්‍රපයේ විල්සන් ජයවර්ධන සමග
හැත්තෑව දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය යයි කිවහොත් නිවැරැදි යයි සිතමි. කලාත්මක චිත්‍රපට මෙන්ම ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළ චිත්‍රපට රැසක්ම බිහිවූයේ මේ කාලයේදීය.
එ නිසාම සිනමා නළු නිළියන්ට ජනතා ආකර්ෂණයෙන්ද අඩුවක් නොවීය.
එකල සිංහල චිත්‍රපටයක මංගල දර්ශනයක් පැවැත්වෙද්දී විශේෂයෙන්ම රීගල් සිනමා හල හා ලිබර්ටි යන සිනමාහල් අසල වෙනමම පිරිසක් වූහ. ඒ මංගල දර්ශනයට සහභාගීවන නළුනිළියන් දැක ගැනීමටය.
අදද ඉන්දියාවේ නළු නිළියන් සහභාගි වන මංගල, අවමංගල උත්සව හැම එකකටම නළුනිළියන් දැක ගැනීමට පිරිස රොක් වෙති. සෙනඟ හසුරුවන්නට වෙනමම පොලිස් නිලධාරින් යොදවති. ඉන්දියාවේ තවමත් එසේමය.
ඇතැම් විටෙක සිනමාහල පිටත සිටින මේ සිංහල ප්‍රේක්ෂකයන් නිසා නළුනිළියන්ට එකල සිනමාහලට ඇතුළුවීමට අපහසු වූ අවස්ථාද ඇති නොවූවා නොවේ. සිනමාවේ මේ ආකර්ෂණය නිසා නළුනිළි හා චිත්‍රපට තොරතුරු රැගත් සිනමා සඟරා, පුවත්පත් වලටද ඡායාරූප වලටද විශාල ඉල්ලුමක් තිබුණේය. ඇතැම් සිනමා පුවත්පතක තමන් කැමැති සිනමා නළුවකුගේ හෝ නිළියකගේ ඡායාරූපයක් තිබූ පමණින් එය අලෙවි කර ගැනීමට පහසු විය.
මේ කාලයේ ලංකාවේ සිනමා තාරකා හැම කෙනෙකුම වාගේ එකට එක් කරන අවුරුද්දේ අග එනම් දෙසැම්බර් 31 වැනිදා අපූරු සාදයක් තිබුණේය.
මේ සාදයේ ඡායාරූප තොරතුරු පිටු ගණන් එකල සිනමා පත්තරවල පළවිය. සංගීතය රැඟුම් ආදියෙන් පිරුණු ඒ ආකර්ෂණීය සාදය හැම අවුරුද්දකම සංවිධානය කළේ එකල හැම චිත්‍රපටයකින්ම වාගේ මවගේ චරිතයෙන් අප දුටු ශාන්ති ලේඛාය. ඇය එකල සිනමාවේ සිටි සැම සිනමා නළුවකුගේම නිළියකගේම මව ලෙස රුඟපෑවා යයි සිතමි. ශාන්ති ලේඛාට තම චරිතය රඟපාන්නට එම චිත්‍රපටය කලාත්මක දැයි වාණිජ දැයි ප්‍රශ්නයක් නොවීය. මේ කොයි චිත්‍රපටයේ රඟපෑවත් ඇය දුප්පත් ගැමි මවගේ චරිතයට ප්‍රේක්ෂක ආදරය ලබා ගන්නා ආකාරයෙන් රඟපෑවාය.
ගම්පෙරළිය චිත්‍රපටයේ ගාමිණී, පුණ්‍යා හීන්දෙණිය, ඩේවිඩ් ධර්මකීර්ති සමග
ඇය මවගේ චරිතය කොතරම් චිත්‍රපට ගණනක රඟපෑවාද කියතොත් වරක් මා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මට දැන් අම්මලාගේ චරිතය තිත්තවෙලා කියාය.
“මට මේ අම්මගේ චරිතේ ඒකාකාරියි හැමදාම අම්මා. මේ ක්‍රමය හරි වැරදියි. ඒ වගේම හරිම අවාසියි. සිනමාව පැත්තෙන් බැලුවත් නිළියකගේ පැත්තෙන් බැලුවත් මෙය විශාල අඩුවක්. නිළියක් වුණාම විවිධ චරිත රඟපාන්නට තිබිය යුතුයි. එවිටයි නිළියකගේ දුර්වලකම් වගේම දක්ෂකම් බලාගත හැක්කේ. අපි හරි ආසයි විවිධ චරිත රඟපාන්න. එ්ත් ලැබෙන අවස්ථා අඩුයි” ශාන්ති ලේඛා එදා මා සමඟ කීවාය.
ශාන්ති ලේඛා සිහිපත්වන විට හැම විටෙකම ඇයට එපාවූ අහිංසක අම්මාගේ චරිතයද සිහිපත් වෙයි.
එහෙත් ඇය සැබෑ ජීවිතයේදී ඇඳුම් පැළඳුම් තෝරා ගත්තේ හැසිරුනේ බටහිර පන්නයටය. ඇය මුහුරත් උත්සව ආදී අවස්ථාවලට සහභාගී වූයේ කොණ්ඩය කෙටිවන්නට සකස් කර කලිසමකින් සැරසී බටහිර පන්නයටය. ඇය බොහෝ විටෙක කතා කළේ ඉංග්‍රීසියෙනි. එකල බොහෝ නළු නිළියන් මෙන්ම ශාන්ති ලේඛා ද චතුර ලෙස ඉංග්‍රීසි කතා කළාය.
සැබෑ ජීවිතයේ බටහිර පන්නයට හැඩ ගැසුණු ඇය හැත්තෑව දශකයේදී අවුරුදු ගණනාවකම 31 වැනිදා රාත්‍රිය රඟමින් ගයමින් ගත කළාය.
දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී සාදය එක්වරම නැවතුනේ රුක්මනී දේවියගේ හදිසි අභාවයත් සමගමය. ඇය රුක්මනී වෙනුවෙන් බෙහෙවින් ශෝක වූවාය. 1978 ඔක්තෝබර් 28 වැනිදා සඳුදා ඒ රිය අනතුර බොහෝ දෙනකු කම්පාවට ලක්වූ සිදුවීමක් විය. අවුරුද්ද අන්තිම පාටියට වඩාත්ම සහයෝගයක් දක්වන්නේ ඩේසි අක්කායි. එයා මිය යන්නට දින කීපයකට ඉස්සර මට ටෙලිෆෝක් කළා.
“අනේ කෙල්ලේ අපි මේ පාරත් ඩාන්සින් නයිට් එක හොඳට කරමු. ජීවත්ව ඉන්න ටිකටනේ මේ ඔක්කොම දේවල්.”
“ඒත් මේ ගමන පාටිය කරන්නේ නෑ. අවුරුදු ගණනාවක්ම හැම දෙසැම්බර් 31 වැනිදාම අපි එක්ක විනෝද වුණ ඩේසි අක්කා නැති පාටියකින් වැඩක් තියෙනවාද?” ඇය රුක්මනී දේවියගේ වියෝව ගැන කම්පාවෙන් යුතුව ප්‍රකාශ කළාය. එයින් පසුව මේ සාදය පැවැත්වුණා දැයි මතකයක් නැත.
බටහිර පන්නයට හැඩ ගැසුනු ඉංග්‍රීසි කතා කරන මේ දුප්පත් අම්මාගේ මුල් නාමය රීටා අයිරින් කොයිස්ය. ශාන්ති ලේඛා ලෙස ඇගේ නම වෙනස් කළේ ශාන්ති විරාජ් විසිනි. ඇය එකල නැටුම් ශිල්පිනියක වූවාය.
ඇය මුලින්ම ඩී.ටී. ප්‍රනාන්දුගේ නාට්‍යයක් වූ ශාන්ත ප්‍රභාහි රඟපෑවාය. ඇය ඩොමී ජයවර්ධන, නෝනා සුබෙයිදා ආදීන් සමඟ නැටුම් ශිල්පිනියක ලෙස කටයුතු කළාය.
1929 ජුලි 1 වැනිදා කළුතරදී උපන් ශාන්ති ලේඛා කළුතර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේදී අධ්‍යාපනය හැදෑරුවාය.
රුක්මනී දේවිය මුලින්ම හමුවූ දවස ඇය වරක් සිහිපත් කළේ මෙලෙසිනි.
“එක්දාස් නවසිය හතළිස් ගණන්වලදී කොළඹ ටවුන් හෝල් එකේ සන්දර්ශනයක් පැවැත්වුණා. ඒකට සින්දු කියන්න එඩී, රුක්මනී වගේම තිලකසිරි ප්‍රනාන්දු ආවා. මම ආවේ ශාන්ති විරාජ් සමග නැටුම් ජවනිකාවක් ඉදිරිපත් කරන්නයි.
ඒ කාලේ ජනප්‍රියත්වයෙන් ඉහළම සිටි ඩේසි අක්කා මට මුලින්ම මුණ ගැහුනේ එදායි. ඇත්තටම ඩේසි අක්කා මොන තරම් නිහතමානීද. ඊට කාලයකට පස්සේ ‘දොස්තර’ චිත්‍රපටයේ රඟපාද්දි අපි ආයෙමත් එකට මුණ ගැහුනා. අපි දෙන්නා ඊට පස්සේ චිත්‍රපට සිය ගණනක එකට රඟපාන්න ඇති.”
වයස අවුරුදු 14 ක් තරම කාලයේදී වේදිකාවට සම්බන්ධ වූ ඇය 1953 දි ප්‍රථම වරට “සුජාතා” හි රඟපෑවාය. ඒ ඩොමී ජයවර්ධන සමගය. එය බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපටයක් වූවා සේම ශාන්ති ලේඛා රඟපෑ චරිතය ද වඩාත් කතාබහට ලක්විය.
ඒ සිංහල චිත්‍රපටවල නිළියන් බටහිර පන්නයට නාන ඇඳුමින් සැරසී රඟපාන යුගයක් නොවේ. එහෙත් ඇය ඩොමී ජයවර්ධන සමඟ අද ද ඇසෙන “පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී” ගීතය මුහුදු වෙරළක දර්ශනවලදී ගායනා කළේ කෙටි නාන ඇඳුමකින් සැරසීගෙනය. මෙය එකල සමාජයේ හැටියට ආන්දෝලනාත්මක රඟපෑමකි. එම රඟපෑමෙන් පසුව චිත්‍රපට ගණනාවක රඟපෑ ශාන්ති ලේඛාට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සන්දේශය” චිත්‍රපටයේ ලැබුණේ අපූරු චරිතයකි. ඊට හේතුව වූයේ එහි ඉතිරිව තිබුණේ එම චරිතය පමණක් වීමය.
තරුණ වියේදීම සන්දේශය චිත්‍රපටයේ ඇයට රඟපාන්නට ලැබුණේ මහලු ගැහැනියකගේ චරිතයයි. ඇය ඒ අභියෝගය බාර ගනිමින් රඟපෑවාය.
“සන්දේශය චිත්‍රපටයේ මම ඒ චරිතය රඟපෑවේ ලොකු ආශාවකින්. ඒ චිත්‍රපටය ලොකු වෙනසක් කළා. ඒ වගේම ලෙස්ටර් යටතේ රඟපාන්න ලැබීමත් මට ලොකු සතුටක් වුණා.”
එතැන් සිට අපට බොහෝ විට ඇය දකින්නට ලැබුණේ මවගේ චරිතයෙනි.
ලෙස්ටර්ගේ ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපටයක් වූ “ගම්පෙරලියේ” ඇය මාතර හාමිනේ ලෙස ඩේවිඩ් ධර්මකීර්ති සමග රඟපෑ චරිතය අපට කිසි දිනක අමතක නොවනු ඇත. වාණිජ චිත්‍රපටවල රඟපාමින් සිනමාවට අවතීර්ණ වන ඇය චරිතයක් සියුම්ව නිරූපණය කිරීමට කොතරම් සමත්දැයි “මාතර හාමිනේ” චරිතය නැරඹූ විට සිහිපත් වෙයි.
“දෙවියනි ඔබ කොහිද? චිත්‍රපටයේ මම කටකාර අම්මණ්ඩි කෙනෙක් හැටියට රඟ පෑ චරිතයට හරිම කැමතියි. ඒ චරිතය මට අමුත්තක්. මගේ කට වාචාල කම නිසා මුළු ගමක්ම ගිනි ගන්නවා. මගේ බොරු කේලාම් නිසා පල්ලියේ ස්වාමි දුක් කරදරවලට ලක්වෙනවා. තරුණු ජෝඩුවක් විවිධ වධවලට ලක්වී නින්දා විඳිනවා. මුළු ගමක්ම ශාපයක් වැදිලා වගේ ලෙඩ වෙනවා. මමත් අන්තිමට ලෙඩ වෙනවා. මේ චරිතය හරිම අමුතුයි.”
“සරුංගලේ” හා “සසර” චිත්‍රපටයේ චරිත වලටද ඇය කැමති බව එදා කීවාය.
“මම ‘සසර’ චිත්‍රපටයේ රඟපෑවේ ලන්සි ගැහැනියක් හැටියටයි” ඇය එදා කීවාය.
ශාන්ති ලේඛා වේෂ නිරූපන ශිල්පිනියක ද වෙයි. ඇය මුලින්ම හැඳල විජය චිත්‍රාගාරයට සම්බන්ධ වී ඇත්තේ වේෂ නිරූපණ ශිල්පිනියක ලෙසය.
“මම දීර්ඝ කාලයක් විජය ස්ටුඩියෝ එකේ මේක් අප් ආටිස්ට් කෙනෙක් හැටියට වැඩ කළා. මට චිත්‍රපට දෙක තුනක මේකප් කරන්න ලැබුණා. එ්ත් ඒ ගැන මම උනන්දුවක් දැක්වුවේ නැත්තේ ඒ ජොබ් එකට කට්ටිය ඉන්න නිසා ඒ වැඩේට අත ගහන එක හරි නෑ කියලා හිතුනා” ඇය සම්මුඛ සාකච්ඡාවකදී කීවාය.
හැත්තෑ ගණන්වලදී විජය චිත්‍රාගාරයට යන එන බොහෝ අවස්ථාවලදී ශාන්ති ලේඛා එහි සිටිනු දකින්නට ලැබිණ. එක අතකින් එය අපට පුදුමයක් විය. බොහෝ විටෙක එකල හැදල විජය චිත්‍රාගාරය සිනමාවේ විවිධ ශිල්පීන් එකතු කරන ස්ථානයක් මෙන් විය.
එක් තැනෙක දෙබස් කැවීම්ය. තවත් තැනෙක සංස්කරණ කටයුතුය. තවත් තැනෙක රූ ගත කිරීම්ය. තවත් විටෙක චිත්‍රපටයක පූර්ව දර්ශනයකි. මේ නිසා නළුනිළියන් සංස්කරණ ශිල්පීන් නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් ආදී සිනමාවට සම්බන්ධ බොහෝ පිරිස් හමුවීමට විජය චිත්‍රාගාරය කදිම තැනක් විය.
සිනමාව පිළිබඳ පුවත් සොයන්නටත් විවිධ සිනමා ශිල්පීන් හමුවන්නටත් සිනමාවේ කාර්මික පැත්ත ගැන ඉගෙනීමටත් එකල බොහෝ විට අප ගියේ විජය චිත්‍රාගාරයටය. එහිදී ශාන්ති ලේඛා සමග වචනයක් දෙකක් කතා කරන්නට අපි අමතක නොකළෙමු.
ඒ කාලයේදීම විජය චිත්‍රාගාරයේ තවත් කාමරයක හිටියේ එඩී ජයමාන්නය. ඔහුද කාලයකදී විජය චිත්‍රාගාරයේ තනතුරක් හෙබවූවේය. ඉංග්‍රීසි නවකතාවක් ඇතැතිව නිතරම සිටින එඩී විටෙක ශාන්ති සමග කතා කරමින් පසුවිය.
ශාන්ති ලේඛා නම් දක්ෂතාවෙන් පිරි මේ රංගන ශිල්පිනිය හොඳම සහාය නිළිය ලෙස ද සම්මාන ලබා ඇත.
ඇය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණ කළ ‘පරසතු මල්’ චිත්‍රපටයේ හොඳම සහාය නිළිය ලෙස සරසවි සම්මානයෙන් ද, බිනරමලී, මායුරිගේ කතාව හා රිදී නිම්නය යන චිත්‍රපට වෙනුවෙන් ඇය ජනාධිපති සම්මාන දිනා ඇත.
ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගන ශිල්පියා බෙහෙවින් ප්‍රිය කළ රංගන ශිල්පිනියන් අතර ශාන්ති ලේඛා ද මුල් තැනක් ගනී. ගාමිණී ඇයට කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. රඟපෑයුතු දර්ශනයද ඇයට ඉංග්‍රීසියෙන් පැහැදිළි කරයි.
ගාමිණී ‘මයුරිගේ කතාව’ චිත්‍රපටයේ බොහෝ ජවනිකා රූප ගත කළේ සේන සමරසිංහයන්ගේ රඹුක්කන නිවසකය. එය සේනගේ සහෝදරයාට අයත්ව තිබූ නිවෙසකි. මයුරිගේ කතාවේ දැක්වෙන ගෙය එම නිවසයි.
චංචල රේඛා චිත්‍රපටයේ රූ ගත කරද්දී ශිල්පීන් බොහෝ දෙනකු නැවතී සිටියේ එම නිවසේය.
ගාමිණී සමග සොමී රත්නායක, විණා ජයකොඩි, ශාන්ති ලේඛා, සෝනියා දිසා සහ දමිත් ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනකු එම දර්ශනවල රඟපෑ බව මට මතකය.
මෙහි කැමරා අධ්‍යක්ෂවරයා වූයේ වී වාමදේවන්ය. තම දර්ශන වාරය එනතුරු තරමක් නිදහයේ සිටින ශාන්ති ලේඛා, වීණා, සොමී ඇතුළු පිරිස බොහෝ විට කාලය ගත කළේ විනෝදයෙනි. ශාන්ති ලේඛා සුජාතා චිත්‍රපයේ “පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී” ගීතය ගායනා කළ හැටි මතක් කරමින් සොමී එකල අැයට විහිළු කෙළේය.
ඇයද ඊට මොකක් හෝ විහිළුවක් කර මහා හඬින් සිනහවෙයි.
පැරණි නළුනිළියන් තම පළපුරුද්ද ඔස්සේ තිරයේ ඉදිරිපත් කළ රැඟුම් අදටත් ජීවමානය. ඒවා කලාත්මක චිත්‍රපටවල මෙන්ම වාණිජ චිත්‍රපටවලද වෙනසක් නොවීය. අපේ බොහෝ නළු නිළියෝ සිනමා රඟපෑම් ආයතනවලින් හැදෑරුවෝ නොවෙති. එසේම ඉතාමත් සුළු වෙලාවකින් එම චරිතය තුළ ජීවත්වන්නට ඔවුන් කාලයක් තිස්සේ කළ රංගන පළපුරුද්ද ඉවහල් වෙයි. ශාන්ති ලේඛා ද එවන් නිළියකි.
ශාන්ති ලේඛා චිත්‍රපට 350 කට අධික සංඛ්‍යාවක රඟපා ඇතැයි ගණන් බලා ඇත. එහෙත් ඇයට එය එකල ගණනක් නොවීය.
“එම චිත්‍රපටවල රඟපාලා ලැබුණු පළපුරුද්ද විශාලයි. ඒ අත්දැකීම් එකතු කරලා චිත්‍රපට ගාණනක් හදන්න පුළුවන්. පොත් ගණන් ලියන්න පුළුවන්. මම ආසයි අන්ධ ගැහැණියකගේ චරිතය රඟපාන්න. ඒ වගේම පිස්සියකගේ චරිතයක් රඟපාන්නත් කැමතියි” ඇය කීවේ 1977 දීය. ශාන්ති ලේඛාට එම බලාපොරොත්තුව ඉටුකරගන්නට ලැබුනාදැයි මට හරියටම කිව නොහැකිය.
එකල ඇය පදිංචිව සිටියේ වත්තලය. ඇය බොහෝ සේ සැහැල්ලු ජීවිතයක් ගත කළා සේම ඇය එකල වික්ටර් රත්නායකගේ ගීතවලට බෙහෙවින් ආසා කළාය.
“හරිම ලස්සන සින්දු අනේ... මම හරිම ආසයි. බලන්න තාම වයස 32 යි. එ්ත් මේ තරම් ජනප්‍රියත්වයක්” ඇය එදා කීවාය. එකල වික්ටර්ගේ වයස අවුරුදු 32 ක් විය.
කාලය විසින් සියල්ල වෙනස් කෙරිණ. හැත්තෑ ගණන්වල බැබළුන සිනමාව ක්‍රමයෙන් බිඳ වැටීගෙන ගියේය.
“සියළු සංස්කාරයන් අනිත්‍ය යයි මම අසා තිබෙනවා. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට බව අපේ ආගමේ කියවෙනවා” ශාන්ති ලේඛා මෙසේ පැවසුවේ එදා රුක්මනී දේවියගේ අනපේක්ෂිත මරණය හමුවේ කම්පාවෙමිනි.
සිතූ සේම ශාන්ති වියපත් වූවාය. ඇය සිනමාවෙන් ඈත් වූවාය. ඇය ඉන්පසු වත්තලින් මොරටුවේ ඥාති නිවසකට ආවාය. ඇය ජීවිතයේ අවසන් කාලය ගත කළේ ප්‍රංශයේ පැරිස් නුවරය. 1929 දී උපන් ඇය 2009 මාර්තු 11 වැනිදා පැරීසියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇයට එවිට වයස අවුරුදු 80 කි.
එහෙත් ශාන්ති ලේඛාගේ අම්මා චරිතය තව බොහෝ කාලයක් යනතුරු තිරයෙන් දැකිය හැකි වනු ඇත. ශාන්ති මියයන විට තිරයේ ජය කෙහෙළි නැංවූ ගාමිණි ෆොන්සේකා මෙන්ම විජය ද අප අතරින් වෙන්ව ගොසිනි.
රොඩ්නි විදානපතිරණ