‘නලඟන’ චිත්‍රපටය තිරගත වන්නේ 1960 ජූලි මාසයේ හත් වැනිදා බව දැක්වෙයි. එහි විශේෂයක් වන්නේ චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයෙන් තහනම් වූ ප්‍රථම සිංහල චිත්‍රපටය නලඟන වීමයි.
ඊට හේතුව වූයේ එතෙක් කාලයක් පරමාදර්ශී චරිත රඟපෑ රුක්මණී දේවිය බටහිර පන්නයට ජීන්ස් කලිසම් හැඳ සමාජ ශාලා නලඟනගේ චරිතයක් එහි රඟපෑමයි. එහි එකල චිත්‍රපට පරීක්ෂක මණ්ඩලය පමණක් නොව විවිධ ලේඛකයන්නේ දෝෂ දර්ශනයට ලක්විය.
මාර්ටින් වික්‍රමසිංහ, ජයවිලාල් විලේගොඩ, සිරිල් ඒ. සීලවිමල වැනි ලේඛකයන් හා විචාරකයෝ නලඟන චිත්‍රපටයේ තිබූ මේ ඇතැම් ජවනිකාවලට විරෝධය පෑහ. විශේෂයෙන්ම රුක්මණී දේවියගේ ඇඳුම හා ඇය බාර්වල නටන දර්ශන මේ විවේචනවලට මුල් විය.
කෙසේ හෝ එවකට සිටි සංස්කෘතික අමාත්‍ය බර්නාඩ් අලුවිහාරේ මහතාගේ නිර්දේශය මත නලඟන තිරගත කෙරිණි.
ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න නම් රංගන ශිල්පියා ශූරයා චිත්‍රපටයෙන් වීරයා ලෙස ලබාගත් ජනප්‍රියත්වය වෙනතකට පෙරැළී ගියේද නලඟන චිත්‍රපටයේ රඟපෑමත් සමඟය.
ඇල්ෆ්‍රඩ් නලඟන චිත්‍රපටයේ රඟපෑවේ සමාජ ශාලා හිමිකරුවකු ලෙස දුෂ්ට චරිතයකි. එකල රුක්මණී දේවිය සමාජ ශාලා නලඟන සේ බටහිර ප්‍රේක්ෂකයන්ගෙන් මතු වූ විරෝධය ඇයට විවිධ කරදර කරන අතවර කරන සමාජ ශාලා හිමිකරු විකී ලෙස රඟ පෑ ඇල්ෆ්‍රඩ් ලක්වීම පුදුමයක් නොවේ.
මේ කාලය වන විට සුමනා නම් වූ ඇල්ෆ්‍රඩ්ගේ පෙම්වතියට ද ඇගේ හිතවතුන්ගෙන් මිතුරන්ගෙන් දොස් අහන්නට සිදු විය.
ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න 1929 මාර්තු 25 වැනිදා නාරාහේන්පිටදී අටදෙනකුගෙන් යුත් පවුලක පස්වැනියා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ ජෝකීනු එදිරිමාන්නය. මව ගාල්ලේ කැරලයින්ය. මරදානේ ලෝරන්ස් විද්‍යාලයෙන් හා මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු රජයේ ලිපිකරුවකු ලෙස තම රැකියාව තෝරා ගත්තේය. ඔහු වරාය කොමිෂන් සභාවේද කලක් සේවය කළේය. ඔහු අවසන් වරට සේවය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේය.
ඇල්ෆ්‍රඩ් මුලින්ම සම්බන්ධ වූයේ ගුවන් විදුලි නාට්‍යවලය. ගුවන් විදුලි රඟමඩල, කුරුළු බැද්ද, මොනරතැන්න, යකාගේ වංගුව, සුගන්ධිකා, ගජමුතු ආදී ගුවන් විදුලි නාට්‍ය රැසක් ඒ අතර වෙයි. චිත්‍රපට ප්‍රේක්ෂකයන් තරමටම ඔහුගේ හඬ ගුවන් විදුලි අසන්නන්ටද හුරුපුරුදුය.
ගුවන් විදුලියට එක්වීම නිසා ඔහුට වේදිකා නාට්‍ය රඟපෑමට අවස්ථාවක් ලැබිණ. එකල ටී.බී. ඉලංගරත්නයන් විසින් නිෂ්පාදනය කරන ලද ‘හඳහන’ නාට්‍යයේ ඇල්ෆ්‍රඩ් මුලින්ම රඟපෑවේය. ඉන්පසුව 1953 ඉලංගරත්නයන්ගේම නාට්‍යයක් වූ ‘මන්ත්‍රී හාමුදුරුවෝ’ නාට්‍යයේ වැඩිහිටි මුදලිවරයෙකුගේ චරිතයක් රඟපෑවේය.
ඔහුට මුලින්ම ‘රදල පිළිරුව’ චිත්‍රපටයේ චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබුණද එයට ඉන්දියාවට යාමට නොහැකි වූයේ වරාය කොමිෂන් සභාවේ රැකියාවෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි වීම නිසාය.
ඉන්පසුව ඔහුට දුප්පතාගේ දුක චිත්‍රපටයේ කතෝලික පියනමකගේ චරිතය රඟපෑමට අවස්ථාවක් ලැබුණද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. එහිදී ඔහුට රඟපෑමට ලැබුණේ ‘දුප්පතාගේ දුක’ සමඟ ප්‍රදර්ශනය කළ කෙටි චිත්‍රපටයක් වූ ‘වෙස්සන්තර ජූජක බමුණා’ ලෙසය.
මේ කාලයේදීම පී. වැලිකලගේ ‘කුළුහරක්’ නාට්‍යයේද එකල ඉමහත් ජනප්‍රියත්වයට පත් ‘සිවම්මා ධනපාල’ හා ‘කාලගෝල’ වැනි නාට්‍යවලද ඔහු චරිත නිරූපණය කළේය. ඉන්පසු ඇල්ෆ්‍රඩ් ‘හඳපාන’ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය.
ටී.බී ඉලංගරත්නගේ ‘මන්ත්‍රී හාමුදුරුවෝ’ නාට්‍යයේ රඟපෑම් බලන්නට පැමිණ සිටි සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මහතා ඇල්ෆ්‍රඩ්, ‘ශූරයා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේය.
ඔහු ශූරයා චිත්‍රපටයෙන් එක රැයින්ම ශූරයා බවට පත් විය. එනිසා ඔහු හැඳින්වෙන්නේ සිංහල සිනමාවේ පළමු වැනි ශූරයා යනුවෙනි.
එය සරත් නම් චරිතයකි. ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑවේ රෝහිනී ජයකොඩිය. නැගණිය ලෙස කාන්ති ගුණතුංග චරිත නිරූපණය කළාය.
ශූරයා සටන්, ගැයුම් හා ගීතවළින් යුතු චිත්‍රපටයක් විය. එහි ඇල්ෆ්‍රඩ්ට ගීතමය ජවනිකා තුනකටම රඟපාන්නට අවස්ථාව ලැබිණ.
එවැනි අවස්ථාවක් ප්‍රථම චිත්‍රපටයෙන්ම ලැබීම එක් අතකින් වාසනාවකි.
ශූරයා චිත්‍රපටයේ රඟපෑම සඳහා ඔහුට ඉන්දියාවට යන්නට නිවාඩු අවශ්‍යව තිබිණි. ඒ තුන් මාසයක කාලයක් සඳහාය. එහිදී ද නිවාඩු ප්‍රශ්නය ඇදී ආවේය.
ඔහු කෙළින්ම සොයා ගියේ එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය.
ඇල්ෆ්‍රඩ්ගේ බිරිඳ සුමනා එදිරිමාන්න මහත්මිය පවසන්නේ බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර සිටම ඇල්ෆ්‍රඩ් හඳුනාගෙන තිබූ බවය.
ඒ කාලේ බණ්ඩාරනායක මහත්තයාගේ ‘මාහේනේ රීරි යකා’ වගේ වේදිකා නාට්‍යවල ඇල්ෆ්‍රඩ් රඟපා තිබුණා. ඒ සම්බන්ධකම නිසා බණ්ඩාරනායක මහතා ඇල්ෆ්‍රඩ්ව හොඳට අඳුරනවා. ඇල්ෆ්‍රඩ් එදා ගිහින් තියෙන්නේ නිවාඩු ඉල්ලුම් පත්‍රයත් අරගෙනයි. ඔහු යන විටම බණ්ඩාරනායක මහතා මොකද ඇල්ෆ්‍රඩ් කියා අහල තියෙනවා. විස්තරේ කිව්වම චිත්‍රපට කරන්න ඉන්දියාවට යන්න ඕනේ නෑ ඒව මෙහෙ කරන්න ලෑස්ති කරගන්න. මොකටද අපේ චිත්‍රපට කරන්න ඉන්දියාවට යන්නේ කියලා බණ්ඩාරනායක මහතා කියලා තියෙනවා. ඒ අනුව පසු කාලයේ බණ්ඩාරනායක මහතා සිංහල චිත්‍රපටවලට දේශීයත්වය ලබා දෙන්න බොහෝ දේවල් කරල තියෙනවා” සුමනා මහත්මිය පවසයි.
ඇල්ෆ්‍රඩ්ට ශූරයා චිත්‍රපටයේ රඟපෑමට යෑමට නිවාඩු අනුමත විය. එහෙත් ඉන්දියාවේදී විවිධ ප්‍රශ්න මතු විය.
එකල චිත්‍රපට හැදුනේ සිංහල භාෂාවෙන් නමුදු සිංහල නළු නිළියන්ට කරන්නට තිබුණේ ඉන්දියාවේ දෙමළ, තෙලිගු ආදී චිත්‍රපට බලාගෙන ඒ ඒ නළු නිළියන් රඟපාන ආකාරය අනුකරණය කිරීමය. පැරණි බොහෝ සිංහල චිත්‍රපටවල අපේ නළු නිළියන්ගේ රඟපෑම් දුර්වල වූයේ ඒ නිසාය.
ඇල්ෆ්‍රඩ් මේ අනුකරණය කිරීමට එදා ඉන්දියාවේදී විරුද්ධ වී ඇත. ඒ ගැටුමේදී කේ. ගුණරත්නම් මහතා ඇල්ෆ්‍රඩ්ගේ පැත්ත ගැනීම නිසා ප්‍රශ්නය විසඳිනි. ගුණරත්නම් කියා ඇත්තේ ඇල්ෆ්‍රඩ්ට ඕනෑ හැටියට රඟපාන්න ඉඩ දෙන්න කියාය.
වරක් සුප්‍රකට නළු ප්‍රේම් ජයන්ත් පැවසුවේද එකල සිංහල නළු නිළියන්ට ඉන්දීය නළු නිළියන්ව අනුකරණය කිරීම මිස රඟපාන්නට අවස්ථාවක් නොතිබූ බවය.
ශූරයා චිත්‍රපටය බෙහෙවින් ජනප්‍රිය විය. එහි සුරඹා ලෙස රඟ පෑ සුප්‍රකට නළු ලැඩී රණසිංහගේ හා ඇල්ෆ්‍රඩ් ගේ සටන් ජනිකා බොහෝ ප්‍රේක්ෂකයන් කීපවරක් නැරඹු බව කියැවෙයි.
එකල ඇල්ෆ්‍රඩ්ට වරායේ රැකියාවෙන් ලැබුණු මාසික පඩිය රුපියල් 210කි. නිවාඩු ප්‍රශ්නය ඇදුණු වෙලේ ගුණරත්නම් කියා ඇත්තේ මාසයකට රුපියල් පන්සියය බැගින් ගෙවන්නට රැකියාවෙන් අස්වී සිනමාස් සමාගමට බැඳෙන ලෙසය. එහෙත් ඇල්ෆ්‍රඩ් ඊට අකමැති විය. ඔහු කියා ඇත්තේ විශ්‍රාම වැටුපක් සහිත කරමින් සිටින රැකියාව ඊට වඩා සුරක්ෂිත බවයි.
බොහෝ නළු නිළියන් එකල සිනමාස් සමාගමේ මාසයේ වැටුපට සේවය කළහ. එයට විරුද්ධ වූ තවත් නළුවකු නම් ලැඩී රණසිංහය. ඔහු බොහෝ විට රුපියල් පන්සියයක් දෙන චිත්‍රපටයකට රුපියල් 30,000ක් ඉල්ලා සිටියේය. ඒ ලැඩීගේ මුල්ම චිත්‍රපටය වූ ‘ප්‍රේමතරගයටය’ එහිදී ඔහුට ඉල්ලූ මුදල නොලැබුණද රුපියල් 10,000ක් ලබා ගත හැකි විය. එය එකල හැටියට විශාල මුදලකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාස් සමාගම සමග එක්ව ‘සන්දේශය’ අධ්‍යක්ෂණය කිරීමේදී තම්මිට චරිතය සඳහා ගුණරත්නම් යෝජනා කර ඇත්තේ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නය.
එකල සිනමාස් සමාගමට සම්බන්ධ වී සිටි ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග ආදී බොහෝ නළු නිළියන් සන්දේශය චිත්‍රපටයට යෝජනා කරද්දී ලෙස්ටර් ඊට එකඟ වුවද තම්මිට ගේ චරිතය සඳහා ගාමිණී ෆොන්සේකා අවශ්‍ය බව ඔහු තදින්ම කියා ඇත.
මේ නිසා ලෙස්ටර් හා ගුණරත්නම් අතරේ බොහෝ වාද විවාද කෙරී ඇත. එහෙත් ලෙස්ටර් ගාමිණීවම එම චරිතයට ඉල්ලා සිටියේය. ඇල්ෆ්‍රඩ්ට තම්මිට ගේ චරිතය මග හැරී ගියේ ඒ අයුරිනි.
සිංහල සිනමාවේ ප්‍රථම ශූරයා වූ ඇල්ෆ්‍රඩ් ඉන්පසුව චිත්‍රපට ගණනාවකම චරිත නිරූපණය කළේය. එහෙත් එම චරිත ඇතැම් විට තම වයසට වඩා වැඩිමල් චරිතය.
ඒ අතරින් ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයේ රඟපෑවේ ජීවරාණිගේ පියා ලෙස මහළු චරිතයකි. ‘ආත්ම පූජා’ චිත්‍රපටයේ ඔහු ගාමිණී ෆොන්සේකාගේ පියා ලෙස රඟපෑවේය.
ඔහු යළිත් කතා බහට ලක්වූයේ දාස් මොහොමඩ්ගේ ‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ චිත්‍රපටයේ රඟපෑමෙනි. ඔහු එහි ලිලියන් (සන්ධ්‍යා කුමාරි) ගේ පෙම්වතකු ලෙස රඟපෑවේය. මොහිදින් බෙග් හා මල්ලිකා කහවිට ගයන ‘සිහින ගඟෙහි පිහිනා’ ගීතය ඇතුළත් වන්නේ මහ ‘රෑ හමු වූ ස්ත්‍රිය’ චිත්‍රපටයේය. එය තිරයේදී ගයමින් රඟපාන්නේ ඇල්ෆ්‍රඩ් හා සන්ධ්‍යා විසිනි.
ශූරයා (1957), දෙයියන්ගේ රටේ (1958), වන මල (1960), නලඟන (1960), වීර විජය (1960), අදට වැඩිය හෙට හොඳයි (1963), උඩරට මැණිකේ (1963), ලාදළු (1965) ආදී චිත්‍රපට 22ක් පමණ ඔහු රඟපෑ චිත්‍රපට ලැයිස්තුවේ එයි.
ඔහු රඟපෑ අවසන් චිත්‍රපටය වූයේ 1990 තිරගත වූ ‘ජය ශක්ති’ වේ.
ඒ හැරුණු විට රන්මසු උයන, නවෝදයේ උදා ගිර, කබලෙන් ලිපට ඔහු රඟපෑ ටෙලි නාට්‍ය අතර වෙයි.
ඔහුට බිම්බා, චින්තන, ගයත්‍රී හා ලක්විජය නමින් දූ දරුවන් හතර දෙනෙකි. ඔහු කිසි දිනෙක තම දූ දරුවන් සිනමාවට සම්බන්ධව කරන්නට බලාපොරොත්තු නොවීය.
‘පිපෙන කුමුදු’ චිත්‍රපටයේ රඟපාන්නට එය අධ්‍යක්ෂණය කළ රූබිද මැල් තම බිරිඳ සුමනාට ආරාධනා කිරීමේදී ඇල්ෆ්‍රඩ් ඊට විරුද්ධ වී ඇත. ඒ නිසා රූබි කාලයක් යනතුරුම ඇල්ෆ්‍රඩ් හා අමනාපයෙන් සිට ඇත.
ඔහු තම බිරිඳට කොතරම් ආදරය කළේද යත් ‘ලා දලු’ චිත්‍රපටයේ එක් ආදර ජවනිකාවක රූ ගත කිරීම නරඹන්නට තම බිරිඳ ද කැටුව ගියේය.
‘‘ලා දලු’ චිත්‍රපටයේ රුක්මණී විවාහ වන්නේ නීතිඥයකු සමඟ. නීතිඥයාගේ චරිතය රඟපෑවේ ඇල්ෆ්‍රඩ්. එහි එක ජවනිකාවක තියෙනවා රුක්මණී හා ඇල්ෆ්‍රඩ් නිදන කාමරයේ ඇඳ මත සිටින ජවනිකාවක්. එය නරක දර්ශනයක් නෙවෙයි. රුක්මණීගේ ඔඩොක්කුවේ ඇල්ෆ්‍රඩ් ඔළුව තියාගෙන ඇගේ බෙල්ලේ තියෙන චේන්එක අතගාමින් පොතක් කියවනවා. මේ දර්ශනය කැමරාගත කරන්න ඉස්සර රුක්මණී ඇල්ෆ්‍රඩ්ට කියලා තියෙනවා මාව එක්කගෙන එන්න කියලා.
“මේක චිත්‍රපටයේ දැක්කම නංගිගේ හිත රිදෙන්න පුළුවන්. එක්කගෙන ආවම එයාට තේරෙනවනෙ” රුක්මණී එහෙමයි කියල තියෙන්නේ. ඉතින් ඒ ජවනිකාව රඟපෑම බලන්න ඇල්ෆ්‍රඩ් මාවත් එක්කගෙන ගියා. ඉවර වුණාට පස්සේ රුක්මණී ඇවිත් මාව බදාගෙන “නංගි තරහ නෑනේ. මේක රඟපෑමක් විතරනේ” කියලා කිව්වා.
‘වනමල’ චිත්‍රපටයේ රූගත කිරීම් කාලයේ ඇල්ෆ්‍රඩ් රෝගාතුර වී රෝහල් ගත විය. පසු කල ඔහුගේ බිරඳ වූ සුමනා හමුවූයේ එහිදීය. එකල ඇය පුහුණුවන හෙදියක වූවාය. සුමනාගෙත් ඇල්ෆ්‍රඩ්ගෙත් ආදර කතාව එකල ඡායාරූප සමඟ සිනමා පුවත් පත්වල පළ විය. ඔහු එකල ඒතරමට ජනප්‍රිය නළුවෙකි.
“දවසක් ඇල්ෆ්‍රඩ් මාව ‘ශූරයා’ බලන්න කඩුවෙල විජයන්ති හෝල් එකට එක්ක ගියා. ඒ කාලේ එයාට කාර් එකක් තිබුණේ නෑ. ජේ.එච්. ජයවර්ධනගේ මල්ලිගෙ කාර් එක ඉල්ලගෙන තමයි අපි ගියේ.”
“චිත්‍රපටය පෙන්නද්දී ප්‍රේම ජවනිකා එනකොට මම ඇල්ෆ්‍රඩ්ව කෙනිත්තුවා ඉරිසියාවට” සුමනා මහත්මිය පැවසුවේ හිනැහෙමිනි.
ඇල්ෆ්‍රඩ් සිනමාවට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ලැදිව වැඩ කළේය. ඔහු 1989 දී ශ්‍රීලනිපයෙන් කෝට්ටේ නගර සභාවටද තරග කළද ජය ගන්නට නොහැකි විය.
1966 දේශීය නළු නිළි සංගමයේ උප ලේකම් වූයේ ඇල්ෆ්‍රඩ්ය. එයට මූලිකත්වය දුන්නේ ගාමිණී ෆොන්සේකාය. එහෙත් ගාමිණී ඉන් ඉවත් වූ පසුව ඇල්ෆ්‍රඩ් එහි ලේකම් ධුරය හෙබවූයේය.
1970 දී චිත්‍රපට ඒකාධිකාරයෙන් සිනමාව මුදාගැනීමට ඔහු තවත් නළු නිළියන් සමඟ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේශපාලන වේදිකාවට ගොඩ විය. එහි ප්‍රතිඵලය වූයේ 1972 දී චිත්‍රපට සංස්ථාව පිහිටුවීමය.
2000 වසරේ නොවැම්බර් මස 27 වැනිදා ඇල්ෆ්‍රඩ් රෝගාතුරව සිට මෙලොවින් සමුගත් අතර ඔහු රෝද පුටුවෙන් යන විට පවා තම හිතුවතුන්ගේ විවිධ උත්සව, මංගල අවමංගල වැනි අවස්ථාවලට සහභාගි විය.
මෙම මස 27 වැනිදා ඔහු අභාවප්‍රාප්ත වී වසර 21 ක් සපිරෙන අතර ඒ වෙනුවෙන් අනුස්මරණ උත්සවය දෙසැම්බර් 4 (ඊයේ) චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට නියමිත වූ අතර එහිදී ඇල්ෆ්‍රඩ් ගේ චරිතාපදානය ඇතුළත් ග්‍රන්ථයක් දොරට වැඩීමටද නියමිතය. එය ලියා ඇත්තේ ෂෝන් මැක්සිමස් දිසානායක විසිනි. එදින ශූරයා චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරීමටද නියමිතය.
රොඩ්නි විදානපතිරණ