සිංහලයන්ට දේශීය නම් හුරු කළ සුදු පූජකතුමා


සාමාන්‍යයෙන් දියස්, සිල්වා, පෙරේරා, සොයිසා, ලිවේරා, සරම්, මැල්, කබ්රාල්, අන්ද්‍රාදි, වැන්දබෝනා, මිරන්ද, අල්විස් ආදී නාම පෘතුගීසි ආදීහු ගිය ගිය කොයි රටවල මිනිසුන්ටත් දෙන ලද නම් වෙති. ඉතා නීච දෙමළුත් මේ නම්වලින් දැන් සිටිති. පරවර, ලංසි, සංකර ආදී නොයෙක් දෙනාට මේ නාම ව්‍යවහාර හෙයින් අප ජාතිය ආර්ය සිංහලය යන බව මේ නම් ඇතිව තිබෙන තුරු බොහෝ දෙනාට අවබෝධ කරවන්ට අමාරුයි.’’  

සිංහල ජාතිය සිය අනන්‍යතාව නැතිකරගෙන, නන්නත්තාරව සිටි 20 වැනි සියවස මුලදී දේශප්‍රේමී ලේඛක පියදාස සිරිසේන මහතා සිය ප්‍රථම නවකථාවේ (1904) වීරයා වූ ජයතිස්සගේ මුවින් මේ අදහස් පළකරවූයේ දේශීය හෙවත් ආර්ය නාම භාවිතයේ වැදගත්කම අවධාරණය කරනු පිණිසය.  

 

අගනුවර වැදගත් බෞද්ධ පවුලක ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ (පසුව අනගාරික ධර්මපාල) පරම විඥානාර්ථ සමාගම ඇරඹුනුදා සිටම එහි කටයුතුවලට සම්බන්ධවී සිටියේය. ඕල්කට්තුමා සමග රට පුරා යමින් එතුමාගේ ඉංග්‍රීසි කථා සිංහලට පරිවර්තනය කරනු ලැබුවේද ඔහු විසිනි. ඕල්කට්තුමාට පෙර මෙරට කිසිවෙකු ගමින් ගමට යමින් සිංහලයන් අවදි නොකළ බැවින් මෙය ඔහුට අමුතුම අත්දැකීමක් විය. මේ ගමන්වලදී ඔහුගේ සිංහල කථිකත්වයද දියුණු විය.


සිංහලයන් විදේශික නාම භාවිතයට පුරුදු වූයේ වසර 350ක පමණ කාලයක් තුළ විදේශික ජාතීන් තුනකගේ පාලනයට යටත් වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම සංස්කෘතික ඛාදනය ඉංග්‍රීසි පාලනය යටතේ ඉතා දරුණු ලෙසින් සිදුවිණි. උපත් ලියාපදිංචි කිරීමත්, දරුවන්ගේ අධ්‍යාපනයත් සම්පූර්ණයෙන්ම මිෂනාරීන්ට අයිතිවීම නිසා ඔවුන්ට හිමිවූයේ අසීමිත බලයකි. සිංහලයන් පහත් ජාතියක් බවත් තමන් මෙහි පැමිණියේ ඔවුන් ශිෂ්ට කිරීමට බවත් මිෂනාරින් පුන පුනා පැවසීම නිසා සිංහල අධ්‍යාත්මය තුළ ඇතිවූයේ හීනමානයකි. මේ නිසා ශිෂ්ට සම්පන්න වීමේ එක් පියවරක් ලෙස ඔවුහු ආර්ය නාම ඉවතලා විදේශිකනාම භාවිතයට පුරුදු වූහ. මෙය බෞද්ධ ක්‍රිස්තියානි භේදයෙන් තොරව සිදුවිය.  


ක්‍රිස්තියානි ප්‍රභූවරයෙකුවූ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමා තම පුතා නම් කළේ තමාගේ නමත්, එදා ලංකාණ්ඩුකාරයාගේ නමත් බද්ධ කරමින් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් නමිනි. බෞද්ධ ප්‍රභූවරයෙකු වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සිය දරුවන් නම් කළේ දොන් ඩේවිඩ්, එඩ්මන්ඩ්, සයිමන් ඇලෙක්සැන්ඩර් හා චාල්ස් අල්විස් යනුවෙනි. සිංහල බෞද්ධයන් අදත් සිය දරුවන්ට නම් යොදන්නේ උපන් වේලාව අනුව බව නොරහසකි. එදා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියනුත්, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියනුත් ඉතා ළඟින් ඇසුරු කළ දොන් කරෝලිස් මුදලිතුමා තම දරුවන්ට නම් යෙදීමේදී මේ ශ්‍රේෂ්ඨ හිමිවරුන්ගේ උපදෙස් විමසුවාට සැක නැත. එසේ නම් මේ දරුවන්ට විදේශික නාමම යෙදීමෙන් පැහැදිලි වන්නේ අපේ ශ්‍රේෂ්ඨ හිමිවරුන්ට පවා ආර්යනාම භාවිතය පිළිබඳ උනන්දුවක් එදා නොවූ බවය. තවත් බෞද්ධ ප්‍රභූවරයෙකුවූ දොන් ස්පේටර් සේනානායක මුදලිතුමා තම දරුවන් නම් කළේ දොන් චාල්ස්, ප්‍රෙඩ්රික් රිචඩ් සහ දොන් ස්ටීවන් යනුවෙනි. විශාකා විද්‍යාලය ජාතියට පූජා කළ බෞද්ධ දානපතිනි ජෙරමියස් දියෙස් මහත්මිය සිය දරුවන් නම් කළේ ආතර් වින්සන්ට්, හැරී සහ එඩ්මන්ඩ් යනුවෙනි. මෙයින් පෙනෙන්නේ 19 වැනි සියවස අග​ෙවන තුරුත් ආර්ය නාම භාවිතයේ වැදගත්කම පිළිබඳ හැඟීමක් ක්‍රිස්තියානි මෙන්ම බෞද්ධ ප්‍රභූන්ටත් නොවූ බවය. ප්‍රභූ පක්ෂය අනුව ගිය සාමාන්‍ය සිංහලයෝද තම දරුවන් විදේශික නාමවලින් සැරසූහ. මෙම තත්ත්වය වෙනස් කිරීමට මුල පිරුවේ පරම විඥානාර්ථවාදියෙකු ලෙස මෙරටට පැමිණි සුදු පූජකතුමෙක් වීම දෛවයේ සරදමක් නොවේද?  


කර්නල් ඕල්කට්තුමාගේ තේරීම  


චාල්ස් වෙබ්ස්ටර් ලෙඩ්බීටර් (1847-1934), ලංකාවට කැඳවාගෙන එනු ලැබුවේ මෙරට නූතන බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියෙකු වූ කර්නල් එච්.ඇස්. ඕල්කට්තුමා (1832-1907) විසිනි. 1880 මැයි 17 වෙනි දින මුල්වරට ලංකාවට පැමිණි එතුමා එදා මෙහි බෞද්ධයන් වැටීසිටි ප්‍රපාතයෙන් ඔවුන් ගොඩගත හැක්කේ බෞද්ධ පාඨශාලා පිහිටුවීමෙන් බව අවබෝධ කළේය. මේ පිළිබඳව බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාව (1956) මෙසේ පවසයි. බෞද්ධයන්ගේ තත්ත්වය නගා සිටුවීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව වටහාගත් එතුමා බෞද්ධ පාඨශාලා පිහිටුවීම සඳහා 1880 ජුනි 17 වෙනි දින පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කළේය. එතුමා ලංකාවට පැමිණි කාලයේ මෙරට තිබුණේ ආධාර ලබන බෞද්ධ පාඨශාලා තුනක් පමණි. එතුමාගේ පුරෝගාමිත්වයෙන් ලංකාවේ නොයෙකුත් පළාත්වල පාඨශාලා පිහිටුවීම බෞද්ධයන්ට පහසු කරුණක් නොවීය. නමුත් පාඨශාලා පිහිටුවීමටත් වඩා අපහසු වූ කාරණය වූයේ ඒවා ලියාපදිංචි කරවීමය. 1883 දී ලියාපදිංචි නොකළ බෞද්ධ පාඨශාලා 402 ක් තිබුණේය. බෞද්ධ පාඨශාලා පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාවේ යොදවන ලද නිලධාරීහු ක්‍රිස්තියානි පාසල්වලට උපකාර කිරීම සඳහා නීතියේ තිබුණ සිදුරුවලින් අවකාශ සෙවුවෝය.  


බෞද්ධ පාඨශාලා පිහිටුවීමේ වැදගත්කම පහදා දීමටත්, ඒ සඳහා ආධාර එකතු කිරීමටත් ඕල්කට්තුමා රට පුරා සංචාරය කළේය. බොහෝ විට එතුමා ගමන් කළේ බර කරත්තයක නැගී කැඩුණු බිඳුණු පාරවල් ඔස්​සේය. ‘‘බුද්ධාගමේ දියුණුවට මගේ ශක්තියද ජීවිතයද පුදමි’’ යන අධිෂ්ඨානයෙන් එදා එතුමා නිරත වුණේ මහත් දුෂ්කර කාර්යයකය. සිංහලයන්ගේ ජාත්‍යාලය නැංවීමටද එතුමා උත්සාහ ගත්තේය. එදා​ බොහෝවිට එතුමා සමග සංචාරය කරමින් එතුමාගේ දේශන සිංහලට පරිවර්තනය කළේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා විසිනි.  


පරම විඥානාර්ථ සමාගමේ කටයුතු සඳහා ඕල්කට්තුමාට වරින්වර විදේශ ගතවීමට සිදුවුණු බැවින් මෙරට කටයුතු නොකඩවා කරගෙන යා හැකි දක්ෂයෙකුගේ අවශ්‍යතාව මතුවිය. මේ එතැන ක්‍රියා කළ ආකාරයයි.  
‘‘මෙරට පරමවිඥානාර්ථ සමාගමේ නායකයන් ඕල්කට්ගේ උපදේශය අනුව කටයුතු කළත් සිංහලයන්වූ ඔවුන්ට බෞද්ධ ජනතාව මුළුමනින්ම එක්සත් කරවීම අපහසු විය. කුලභේදය හා නිකාය භේදය එයට ප්‍රධාන හේතුව විය. වෙනත් කුලයකට අයත් වුවකුගේ නායකත්වය පිළිගැනීම තවත් කුලයක අය සලකන ලද්දේ මදිකමක් ලෙසිනි. භික්ෂු නිකාය පවා කුලභේදය අනුව සකස්වී තිබුණි. අනික් නිකායක පැවිද්දන්ට වඩා තම නිකායේ පැවිද්දන් සිල්වත් බව කියාපෑමට හැම නිකායක්ම උත්සාහ කළේය. මේ නිසා නිසරු වාද විවාද පවා භික්ෂූන් අතර ඇතිවිය. ගිහියෝද නිකාය අනුව බෙදී ගොස් තමන් ගරු කරන නිකායම හුවා දක්වන්ට වූහ.  
මේ තත්ත්වය යටතේ කුලභේදය, නිකාය භේදය නොතකන සුදු ජාතිකයෙකුගේ මග පෙන්වීම අවශ්‍ය බව කර්නල් ඕල්කට් පවා වටහාගෙන සිටියේය. ඔහු තමා වෙනුවෙන් මෙරට නැවතී කටයුතු කිරීමට සුදුසු පුද්ගලයෙකු වශයෙන් ලෙඩ් බීටර් කැඳවාගෙන ආවේ ඒ අදහසිනි. (19 වන සියවසේ ශ්‍රී ලංකාවේ ජාතික ආගමික අරගල - 360 පිටුව)  

 

සී.ඩබ්ලිව්. ලෙඩ් බීටර් එංගලන්තයේ පිටිසර බද දේවස්ථානයක් භාරව සිටි කිතුනු පූජකයෙකි. ගුප්ත විද්‍යාවන් පිළිබඳව උනන්දුවක් දැක්වූ ඔහු ‘ගුප්ත ලෝකය’ (Occult World) නමැති පොත කියවා ප්‍රමෝදයට පත්ව එහි කර්තෘ වූ ඒ.පී. සිනට් සොයා ලන්ඩනයට පැමිණියේය. සිනට් එවකට ලන්ඩනයේ පරම විඥානාර්ථ සමාගමේ උපසභාපතිවරයා විය. සිනට්ගේ ඇසුරින් ලෙඩ්බීටර් පරම විඥානාර්ථවාදියෙකුවී සංගමයේ සාමාජිකත්වයද ලබා ගත්තේය.


ශූඩ්වාදයට නැඹුරු වුනු කිතුනු පූජකතුමා  


සී.ඩබ්ලිව්. ලෙඩ් බීටර් එංගලන්තයේ පිටිසර බද දේවස්ථානයක් භාරව සිටි කිතුනු පූජකයෙකි. ගුප්ත විද්‍යාවන් පිළිබඳව උනන්දුවක් දැක්වූ ඔහු ‘ගුප්ත ලෝකය’ (Occult World) නමැති පොත කියවා ප්‍රමෝදයට පත්ව එහි කර්තෘ වූ ඒ.පී. සිනට් සොයා ලන්ඩනයට පැමිණියේය. සිනට් එවකට ලන්ඩනයේ පරම විඥානාර්ථ සමාගමේ උපසභාපතිවරයා විය. සිනට්ගේ ඇසුරින් ලෙඩ්බීටර් පරම විඥානාර්ථවාදියෙකුවී සංගමයේ සාමාජිකත්වයද ලබා ගත්තේය. පරම විඥානාර්ථ සමාගමේ දෙවැනි බලකණුව වූ එච්.පී. බ්ලැවැට්ස්කි මැතිණිය (1831-1891) ලන්ඩනයේදී හමුවීම ඔහුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් විය. ඇයගේ ප්‍රබල පෞරුෂයත්, පුළුල් ඥාන සම්භාරයත්, සංවාදයේ දැක්වූ විශිෂ්ට හැකියාවත්, කෙළින් කතා කිරීමත් ඔහුගේ සිත් ගත්තේය. ගුප්ත විද්‍යාවන්හි ඇය දැක්වූ නිපුණ බවද ඔහුගේ ගෞරවයට හේතු විය. මේ නිසා එතුමිය සමග 1884 දී ඉන්දියාවට යාමට ද ඔහු එකඟ විය. ඒ ගමනේදී ඔවුන් ගමන් කළ දුම්නැව ලංකාවට පැමිණි අතර කර්නල් ඕල්කට්තුමා ඇතුළු පරම විඥානාර්ථවාදින් විසින් ඔවුන් පිළිගනු ලැබූහ. පසුව බ්ලැවැට්ස්කි මැතිනියගේ මග පෙන්වීමෙන් ඔහු මාලිගාකන්දේ විහාරස්ථානයකදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් තිසරණ සහිත පන්සල් සමාදන්වී බෞද්ධයෙකු බවටද පත්විය. දින දෙකකට පසු කොළඹින් පිටත්වූ ඔවුහු මදුරාසියේ අද්යාර්හි පරම විඥානාර්ථ මූලස්ථානයට පැමිණියහ. මෙහිදී ඔහුට පරම විඥානාර්ථ සමාගමේ කටයුතු ගැන මනා අවබෝධයක් ඇතිවිය. එහි සිටින අතර ඕල්කට්තුමා සමග බුරුමයේද චාරිකාවක යෙදුනු ඔහු 1886 ජනවාරි 31 වෙනිදා එතුමා සමග ලංකාවට පැමිණියේය.  


ලෙඩ්බීටර් මෙහි පැමිණීම ඕල්කට්තුමාට මහත් සහනයක් වූවා සේම බුද්ධාගම වැළඳගත් සුදු පූජකයෙක් තමන්ගේ අයිතිවාසිකම් ලබාදීමට ඉදිරිපත්වීම ගැන බෞද්ධයෝද සතුටු වූහ. ඕල්කට්තුමා ඔහු හඳුන්වා දීම සඳහා කොළඹ හා අවට පන්සල් ගණනාවකටද කැඳවාගෙන ගියේය. මේ ගමන්වලදී ලෙඩ්බීටර් මහජනයා ඇමතූ අතර ඔහුගේ දේශනවලින් විශ්ෂයෙන් කියැවුනේ තමා බුද්ධාගම වැළඳ ගැනීමට හේතුත්, ක්‍රිස්තියානියේ දෝෂ දැක්වීමත්, බෞද්ධයන්ගේ දුර්වලකම් මගහරවා ගත යුතු අන්දමත්ය. බෞද්ධයන් අතර අසමගිය මෙරට බෞද්ධ ප්‍රබෝධයට බාධාවක් බවද ඔහු කීවේය.  


බෞද්ධයෝ එකඟව ආගම දියුණුවට වැඩ කරත්නම් මිෂනාරිස්වරුන්ගෙන් බුද්ධාගමට හානියක් නොමැතියි. එක් එක් කෙනා සමගිවී බුද්ධාගම දියුණුවට ක්‍රියා කරන්ට වටී. මට තිබෙන බාධාව නම් බෞද්ධයන්ගේ එකඟතාව නැතිවීමයි. (සරසවි සඳරැස - 18.3.1886)  


ලෙඩ් බීටර් මෙරටට පැමිණ මාස දෙකකට පසු ඕල්කට්තුමා පරම විඥානාර්ථ සමාගම සතු තම සියලු බලතල හා මුදල් පාලනයේ බලයද ඔහුට පවරා දුන්නේය. මේ නිසා නිදහසේ කටයුතු කරගෙන යාමට ඔහුට අවස්ථාව සැලසුනේය.  


බෞද්ධ අධ්‍යාපන අරමුදල තරකර ගැනීම සඳහා ඕල්කට්තුමා මෙන්ම රටපුරා ගිය ඔහු සෑම තැනකදීම කීවේ බෞද්ධකම මෙන්ම සිංහල කමද රැකගත යුතු බවයි. බෞද්ධයන් විදේශික නාම ගැනීමද, මත්පැන් සහ ගවමස් අනුභවයද අත්හල යුතු බව ඔහු කියා සිටියේය.  


ධර්මපාලතුමා ලෙඩ්බීටර්ගෙන් ලත් ආභාසය  


අගනුවර වැදගත් බෞද්ධ පවුලක ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ (පසුව අනගාරික ධර්මපාල) පරම විඥානාර්ථ සමාගම ඇරඹුනුදා සිටම එහි කටයුතුවලට සම්බන්ධවී සිටියේය. ඕල්කට්තුමා සමග රට පුරා යමින් එතුමාගේ ඉංග්‍රීසි කථා සිංහලට පරිවර්තනය කරනු ලැබුවේද ඔහු විසිනි. ඕල්කට්තුමාට පෙර මෙරට කිසිවෙකු ගමින් ගමට යමින් සිංහලයන් අවදි නොකළ බැවින් මෙය ඔහුට අමුතුම අත්දැකීමක් විය. මේ ගමන්වලදී ඔහුගේ සිංහල කථිකත්වයද දියුණු විය. ඕල්කට්තුමාගේ තීක්ෂණ බුද්ධිය, සංවිධාන ශක්තිය, එඩිතර බව, නායකත්වයේ ලක්ෂණ සහ මහජනයා වෙනුවෙන් කැපවීම වැනි විශිෂ්ට ගුණාංග ඔහුගේ චරිතයට නිරායාසයෙන් එක්විය.  


සී.ඩබ්ලිව්. ලෙඩ් බීටර් මෙරට පරම විඥානාර්ථ සමාගමේ ප්‍රධානත්වය භාර ගැනීමත් සමග දොන් ඩේවිඩ් තරුණයා ඔහු සමග කිට්ටු ආශ්‍රයට පත්විය. ලෙඩ්බීටර් කලින් කිතුනු පූජකයෙක්ව සිටීමත් දොන් ඩේවිඩ් කිතු දහම පිළිබඳ මනා පටුත්වයෙන් සිටීමත්, දෙදෙනා අතර අවබෝධයක් දියුණු කළේය. ලෙඩ්බීටර්ගේ ජීවිත පරිවර්තනයට හේතුවූ සිනට්ගේ ‘ගුප්ත ලෝකය’ (Occult World) කෘතිය පිටකොටුව පුස්ථකාලයෙන් ලබාගෙන කියවීමෙන් තමා මහත් ප්‍රබෝධයට පත්වූ බවත්, ඉන්පසුව තමා බ්ලැවැට්ස්කි මැතිණියට ලියුමක් ලියූ බවත් සිය බාල කාලය සිහිපත් කරමින් ඔහු පවසා ඇත. (Return to Righteousness - Page 701)  
ලෙඩ්බීටර්ගේ ප්‍රධාන කාරිය වූයේ බෞද්ධ පාඨශාලා පිහිටුවා ගැනීම සඳහා බෞද්ධයන් දිරිමත් කිරීම වුවද එහි සැබෑ අරමුණ වූයේ මෙරට බෞද්ධයන්ට හිමි තැන ලබාදීම බව සිරි තිලකසිරි පවසයි.  


1886 වර්ෂයේදී මෙරට බෞද්ධ ප්‍රබෝධය වඩාත් වැඩී ගියේ ලෙඩ්බීටර් නිසා බවත්, වෙහෙස මහන්සි නොබලා දැඩි උද්‍යෝගයකින් කටයුතු කළ ඔහු නිසා පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට මෙන්ම සෙසු බෞද්ධයන්ට අවශ්‍ය නායකත්වයක්ද ලැබුණු බවත් සිරි තිලකසිරි වැඩිදුරටත් පවසයි. (19 වන සියවසේ ශ්‍රී ලංකාවේ ජාතික ආගමික අරගල 374, 376 පිටු) බෞද්ධයන්ට හිමි අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා වෙහෙස මහන්සි නොබලා පසුකාලීනව ධර්මපාලතුමා ගත කළ ජීවිතයට, ලෙඩ් බීටර් කෙතරම් බලපැවැත්වීදැයි සිතා ගත හැක.  
‘සිංහල ජාතිය නැතිදාට බුද්ධාගමක් නැත. බුද්ධාගම නැතිදාට සිංහල ජාතියක් නැත’ යන සුප්‍රකට කියමන ද්‍රවිඩ බුද්ධිමතෙකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්තුමා පැවසීමට බොහෝ කලකට පෙර මෙරට කටයුතු කළ කර්නල් ඕල්කට් සී.ඩබ්ලිව්. ලෙඩ් බීටර් වැනි පරම විඥානාර්ථවාදීහු අවබෝධ කර සිටියහ. බුද්ධාගම මෙන්ම සිංහල ජාතියද ආරක්ෂා කරගත යුතු බව ඔවුන් පුන පුනා කීවේ ඒ නිසාය. අධිරාජ්‍යවාදී පාලනයක් පැවැති එදා ‘සිංහල ජාතිය ආරක්ෂා කිරීම’ වැනි වචන ප්‍රකාශ කිරීමට අපේ මිනිසුන් තුළ වූ බිය නැති කළේ ඕල්කට්, ලෙඩ් බීටර් වැනි සුදු ජාතිකයෝය. පසුකාලීනව ධර්මපාලතුමා සුද්දන් හෙළා දැකීමත්, සුද්දන්ගේ පඹයන් සාදා ඒවාට තලන ලෙස අපේ මිනිසුන්ට කීමත් මේ ආභාසය නිසාම සිදුවූ බව සිතාගත හැක. යළිත් සිරි තිලකසිරිගේ මේ අදහස් විමසමු.  

 

නවසිය විසි ගණන්වලදී මෙරට අධිරාජ්‍ය විරෝධී දේශපාලනයේ යෙදුනු ක්‍රිස්තියානි අධිනීතිඥයෙකු වූ ඩී.ඊ. වික්ටර් කොරෙයා මහතා සිය දරුවන් නම් කළේ සිධාර්ට්, ශ්‍රී රාහුල, ස්වර්ණමාලි, යසෝදරාදේවි, ශ්‍රී වික්‍රම, ශ්‍රී සඟබෝ ආදී වශයෙනි. අද සිංහල නාම භාවිතය බෞද්ධ, ක්‍රිස්තියානු භේදයෙන් තොරව සිදුවේ. එදා සිංහල නම් දැරූ සිංහලයෙකු සොයා ගැනීම දුෂ්කරවූ තරම්ම අද විජාතික නම් ඇති සිංහලයෙකු සොයා ගැනීමද දුෂ්කර වන තරමට මේ ව්‍යාපාරය තහවුරු වී තිබේ.


‘පසු කාලයේදී අනගාරික ධර්මපාල වැනි ජාති හිතෛෂීන් සිංහලයන් විදේශික සිරිත් විරිත්, ඇඳුම් පැළඳුම් අනුකරණය කිරීම හා යුරෝපීය නම්වලින් පෙනී සිටීම තරයේ හෙළා දකින්නට වූයේ ලෙඩ්බීටර් මෙහි වැපුරූ අදහස්වලින් පෝෂණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් විය හැකිය. ලෙඩ්බීටර් මෙරට ගම්දනව් සිසාරමින් පවත්වන ලද කථා බොහෝ විට සිංහලයට නගා ඇත්තේද පසු කළ අනගාරික ධර්මපාල නමින් සිටි තරුණ එච්. ​දොන් ඩේවිඩ් විසින් බවද සැලකිය යුතු කරුණකි.’’  


ආර්ය නාම භාවිතය ඇරඹීම  


යුරෝපීය පාලනයත්, ඔවුන්ගේ ආගමත් නිසා ලංකාවේ විශිෂ්ට සංස්කෘතිය යටපත්වී සිංහලයන් ස්වකීය අනන්‍යතාවයද නැතිකරගෙන සිටි බව පරමවිඥානාර්ථවාදීන්ට පෙනුනි. විදේශික පාලනයෙන් බැට කෑවද ඉන්දියානුවන් සිය දේශික නාම අත්නොහැර සිටියත් ලාංකිකයන් සිය නාම වෙනස් කරගෙන සිටීම ඔවුන්ගේ අප්‍රසාදයට හේතුවිය. රටේ සංස්කෘතිය යථා තත්ත්වයට පත්වීමට නම් යළිත් එම අනන්‍යතාව ඇති කරගත යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.  


ලෙඩ් බීටර්ගේ මූලිකත්වයෙන් ‘ආර්යනාම’ ව්‍යාපාරය ඇරඹුනේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. රටේ විවිධ පළාත්වල සැරිසරමින් ඔහු කළ කථාවලදී මේ බව පෙන්වා දුන් අතර සඳරැස පත්‍රය ඔහුට සහාය දුන්නේය. ලෙඩ්බීටර්ගේ කථා සිංහලට පරිවර්තනය කළාවූත්, සඳරැස පත්‍රය සඳහා මහත්සේ වෙහෙසුනාවූත් දොන් ඩේවිඩ් තරුණයා තුළටද ක්‍රමයෙන් මේ අදහස් කාවදින්නට ඇත.  


1887 අගදී මදුරාසියේ පැවැති පරම විඥානාර්ථ සම්මේලනයට සහභාගිවූ ලෙඩ්බීටර්, පෙරළා පැමිණියේ ගෝපිනාත් නැමැති බ්‍රාහ්මණ පණ්ඩිතයෙකුද සමගය. පරනාම ගැනීම නිසා දේශීය අනන්‍යතාව විනාශවී ඇති බවත්, ආර්ය නාම ගැනීමේ වැදගත්කම ඔහු මහජනයා අමතමින් ප්‍රකාශ කිරීම ලෙඩ්බීටර්ගේ අනුදැනීම අනුව සිදුවුන බව නිසැකය. මේ සම්මේලනයට ලෙඩ්බීටර් සමග ගිය තරුණ දොන් ඩේවිඩ් එහිදී තමා විඳි අකරතැබ්බක් පසුව සඳරැස පත්‍රයෙන් දක්වා ඇත. තම නම නිසා තමාගේ සිංහලකමත් බෞද්ධකමත් එහි සිටි උගතුන්ගේ ප්‍රශ්නයට භාජනවූ බවත්, ‘දොන් ඩේවිඩ්’ යන පරනාමය අත්හැරදමා බෞද්ධ නමක් ගැනීම යෝග්‍ය බවත් ඔවුන් සඳහන් කර ඇත. මෙය ඔහුගේ මනස කෙතරම් පෑරුවාදයත් 1888 ජනවාරි 31 වැනි දින සඳරැස පත්‍රයේ දැන්වීමක් පළ කරමින් ඔහු කියා සිටියේ ඉන් ඉදිරියට තමා ධර්‍මපාල හේවාවිතාරණ ලෙස සිය නම භාවිත කරන බවයි. ඊළඟ දශක හතරේදී මෙරට මහත් ජාතික ආගමික පුනර්ජීවනයක් සිදුකිරීමට වරම් ලබා සිටි මේ මහා පුරුෂයා ලෙඩ් බීටර්ගේ බලපෑමෙන් ස්වයං බෞතීස්මයක් ලැබුවේ එසේය. මින්පසු ආර්යනාම ගැනීමේ උනන්දුවක් ඇතිවුන අතර බොහෝ අය ඒ බව දන්වා සඳරැස පත්‍රයට ලිපි එවා ඇත. පරනම් ගත් අය ‘වල් අලියා, ගොන් තඩියා’ වැන කර්කශ වචනයෙන් ආමන්ත්‍රණය කරමින් ඔවුන් ආර්යනම්වලින් බෞතීස්ම කිරීමේ ව්‍යාපාරය ධර්මපාලතුමා විසින් අරඹන ලද්​දේ මීට පසුවය. ලෙඩ්බීටර් විසින් අරඹා අනගාරික ධර්මපාලතුමා විසින් කරගෙන ගිය මේ ව්‍යාපාරයට බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා සහ පියදාස සිරිසේන මහතාත් මහත්සේ සහාය වූහ. මේ ලිපිය ආරම්භයේදීම දක්වා ඇති ඡේදය, 20 වැනි සියවස මුලදීම සිය පළමු නවකථාවෙන් පියදාස සිරිසේන මහතා සිංහලයන් දැනුවත් කළ අයුරු පෙන්වා දෙයි. මේ යුගයේ ‘සිංහල ජාතිය’ පත්‍රවල ‘ආර්ය නාම ගැනීම’ නමින් කොළමක්ද ඇරඹූ ඔහු එසේ නම් වෙනස් කළ අයගේ විස්තර දක්වා සිටියේය. ලෙඩ්බීටර් 1887 දී ඇරඹූ මේ ව්‍යාපාරය මල් පල දරන්නට වූයේ 20 වැනි සියවසේ දෙවැනි දශකය සමයේදීය.  


නවසිය විසි ගණන්වලදී මෙරට අධිරාජ්‍ය විරෝධී දේශපාලනයේ යෙදුනු ක්‍රිස්තියානි අධිනීතිඥයෙකු වූ ඩී.ඊ. වික්ටර් කොරෙයා මහතා සිය දරුවන් නම් කළේ සිධාර්ට්, ශ්‍රී රාහුල, ස්වර්ණමාලි, යසෝදරාදේවි, ශ්‍රී වික්‍රම, ශ්‍රී සඟබෝ ආදී වශයෙනි. අද සිංහල නාම භාවිතය බෞද්ධ, ක්‍රිස්තියානු භේදයෙන් තොරව සිදුවේ. එදා සිංහල නම් දැරූ සිංහලයෙකු සොයා ගැනීම දුෂ්කරවූ තරම්ම අද විජාතික නම් ඇති සිංහලයෙකු සොයා ගැනීමද දුෂ්කර වන තරමට මේ ව්‍යාපාරය තහවුරු වී තිබේ.  


වයස 87ක්වූ සිය ජීවිත කාලයෙන් ලෙඩ්බීටර් ලංකාවේ ගත කළේ අවුරුදු 5කට අඩු කාලයකි. එහෙත් මේ කෙටි කාලය තුළ බෞද්ධ පාඨශාලා රාශියකුත්, ආනන්ද, ධර්මරාජ, මහින්ද වැනි ප්‍රධාන බෞද්ධ විද්‍යාල තුනකුත්, ඉරිදා දහම් පාසල් පැවැත්වීමත් ආරම්භ කොට ඔහු සිදු කළ සේවයට අදත් අප ඔහුට ණය ගැති වෙමු.  
මේ ලිපිය සකස් කිරීමේදී සිරි තිලකසිරි මහතාගේ 19 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ ජාතික ආගමික අරගල කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

 

 

 

විශේෂඥ වෛද්‍ය 
බී. ජී. ඒ. විද්‍යාතිලක