ක්‍රි.ව. 1815 මාර්තු මස 02 දින මහනුවර මගුල් මඩුවේදී අත්සන් කරන ලද සිංහල-ඉංග්‍රීසි ගිවිසුමෙන් ශ්‍රී ලංකාව එංගලන්තයේ III වෙනි ජෝර්ජ් මහ රජතුමාගේ යටත් විජිතයක් ලෙසට ප්‍රකාශ කරන ලදී. මේ නිසා උඩරට පාලන ක්‍රමයේ වෙනස්කම් රාශියක් ඇති විය. උඩරට රදළවරුන්ට අවශ්‍යව තිබුණේ නායක්කාර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා ඉංග්‍රීසීන්ගේ උදව්වෙන් නැවතත් සිංහල රාජවංශයක් ඇති කිරීමටයි. ඒකාධිපති පාලකයාගෙන් උඩරට වැසියන් මුදාගැනීමට උඩරට ආක්‍රමණය කරන බව පැවසූ නිසා බාධාවකින් තොරව ඉංග්‍රීසි හමුදා වලට මහනුවරට ඇතුළු වීමට හැකි විය.
එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීන් ශ්‍රී ලාංකිකයෙකු යළිත් රජ බවට පත් කිරීමට කටයුතු නොකළහ. ඇහැලේපොළ අදහස් කළේ ඉංග්‍රීසීන්ගේ සහායෙන් තමා රජු වීමටය. එහෙත් ඇහැලේපොළ ප්‍රමුඛ උඩරට රදළවරු තැබූ බලාපොරොත්තු එකක්වත් ඉටුවූයේ නැත. එසේම ඔවුන් බලාපොරොත්තු වූ පරිදි බ්‍රිතාන්‍යයන්ගෙන් ඔවුන්ට ගරු බුහුමන්, තාන්න මාන්න, පුදසත්කාර කිසිවක් නොලැබුණි. ඔවුන්ගේ තත්ත්වය උසස් නොවුණා පමණක් නොව පෙර තිබූ තත්ත්වයද නැතිව ගියේය. මේ නිසා ඇල්ලූ අත්තත් පයගැසූ අත්තත් දෙකම නැතිව ගිය මහනුවර රදළවරු තමන් කරගත් මෝඩකම ගැන පසුතැවිලි වූහ. ශත වර්ෂ ගණනාවක් රාජකීය පාලනයට පුරුදුව සිටි රදළවරු එය අතුරුදන් වීම ගැන කලකිරුණහ.
එංගලන්තයේ සිටි III ජෝජ් රජුට දෘශ්‍යමාන රජෙකුගේ තැන ගැනීමට නොහැකි විය. සිංහල රාජ සභාවට හිමි වූ තේජානුකූල උත්සව පුද සිරිත් දැන් නැතිවිය. මහනුවර වැසියන්ට වුවමනා වූයේ බැහැදැකිය හැකි රජෙකි. සිය දුක් ගැනවිලි කියා පා වැඳ වැටී තීන්දු ලබා ගැනීමට ඔවුන්ට රජෙකු අවශ්‍ය විය. එතෙර සිටින රජෙකුට කෙසේ ලංකාව පාලනය කළ හැකිදැයි ඔවුන්ට වටහාගත නොහැකි විය. දේශීය ආණ්ඩුක්‍රමයේ තැන ගත් විදේශීය ආණ්ඩුක්‍රමය වැසියන්ට මහත් ගැටලුවක් විය. නියෝජිතයන් මඟින් ගෙන ගිය නව පාලන ක්‍රමය ගැන මහනුවර වැසියන් තුළ කිසිම වැටහීමක් නොවූයේය.
එසේම භික්ෂු සංඝයාද බ්‍රිතාන්‍ය පාලනය ගැන කලකිරීමට පත් වූහ. ක්‍රිස්තියානු ආණ්ඩුවක් මහනුවර බලයට පත්වීම බුද්ධාගමට මහත් හිංසාවක් ලෙස භික්ෂූහු සැලකූහ. 1815 උඩරට ගිවිසුමෙන් බුද්ධාගමට හිමි තැන ආරක්ෂා කරන බවට බ්‍රිතාන්‍යයන් පොරොන්දු වුවත් එසේ කළේ හදපත්ලෙන්ම එම ආගම කෙරෙහි භක්තියකින් නොව බලය තහවුරු කර ගැනීමටය. එහෙයින් බෞද්ධ රජෙකුගෙන් ඉටු වූ සේවය ඔවුන්ගෙන් බුදධාගමට ඉටු නොවීය. මේ නිසා බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීමේ මගක් ගැන භික්ෂු සංඝයාද කල්පනා කළහ.
මහනුවර රජුන් දවසද ඌව - වෙල්ලස්ස මහනුවර රාජධානියෙහි හුදකලා ප්‍රදේශයක් ලෙසින් පැවැතිණි. රජුගේ පාලනය මෙම ප්‍රදේශ කෙරෙහි බලපෑවේ ඉතා සුළු වශයෙනි. එහෙත් එහි වැසියෝ දැඩි රාජපාක්ෂිකයෝ වූහ. 1815 ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ වැසියන් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැගී නොසිටි නමුත් මෙම ප්‍රදේශ නියමාකාරයෙන් යටත් නොවීය. එහෙත් බ්‍රිතාන්‍ය හේවායෝ වැසියන්ගේ දේපළ කොල්ල කෑහ. ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නොහැකි වූ නිසා ගම්මුලාදෑනීහු කෝපයට පත් වූහ. ඌවේ ඇති වූ මෙම නොසංසුන්කමට හේතු සොයා බැලීමට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඌවේ සංචාරයකද යෙදුනේය. එම සංචාරයෙන් පසු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය මහ රජුගේ ලේකම්වරයා වූ “බැතර්ස්ට්” වංශාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙසේ සඳහන් කොට ඇත.
“මහා මාන්‍ය වංශාධිපති තුමණි”. ඌව සහ වෙල්ලස්ස මෙම දිවයිනේ ධාන්‍යාගාරය යයි කිව හැක. මෙය විසිතුරු උද්‍යානයකි. මෙම ප්‍රදේශයේ වැවෙන ධාන්‍ය සහ අන්‍ය බෝග වර්ග වලින් මුළු දිවයිනම ස්වයංපෝෂිත කරන්නට හැකි වෙනවා පමණක් නොව දකුණු ඉන්දියාවටද අවශ්‍ය ධාන්‍ය මෙම ප්‍රදේශයෙන් ලබාගත හැක යනුවෙනි.
ඌව සහ වෙල්ලස්ස යෝනක ජනයා බ්‍රිතාන්‍යයන්ට ලැදි වූහ. වෙරළබඩ ප්‍රදේශ සමඟ ගෙන ගිය ලුණු සහ රෙදි වෙෙළදාම සම්පූර්ණයෙන්ම පැවැතියේ යෝනකයන් අතය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ කාලයේ ඔවුන්ගේ කාර්ය වූයේ රජුගේ ගබඩාවට බඩු ඇදීමය. මේ නිසා “මැදිගේ” දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් සමන්විත විය. එහෙත් මැදිගේ (මඩිගේ) ලේකම් වූයේ සිංහලයෙකි. යෝනකයන් සුළු මුලාදෑනි තනතුරු දරණ ලද නමුත් ඔවුන් ප්‍රදේශයේ දිසාවේ සහ අන් ප්‍රධානීන්ගේ පාලනයට යටත් වූහ. මේ නිසා ඔවුන් ගෙන ගිය බඩු සිංහල ප්‍රධානීන් කැමති මිලකට ගන්නා ලද අතර සමහර විටෙක නොමිලයේද ගත්හ. මෙයින් අප්‍රසාදයට පත්ව සිටි යෝනකයන් ඔවුන්ට ද මුහන්දිරම් තනතුරක් ලබාදෙන ලෙස බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා “හජ්ජි” නම් අයෙක් වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කළේය. මෙය සිංහලයන් කුපිත කරවන සිද්ධියක් විය. මුස්ලිම්වරුන්ද තමන්ට අත් වූ බලයෙන් ප්‍රමුදිත වූවා හු සිංහල අධිපතිවරුන්ට පෙර මෙන් සැලකිලි නොකළහ.
කරුණු මෙසේ තිබිය දී ඌව පළාතට අයත් රුහුණු කතරගම දේවාලයේ දී අපූරු සිදුවීමක් සිදුවිය. එනම්, සිංහල රාජවංශයට උරුමකම් කියාගෙන ඉදිරිපත් වූ විල්බාවේ නම් අයෙක් “දොරේසාමි” නමින් රාජ්‍යත්වයෙන් අභිෂේක කිරීමය. මෙම අවස්ථාවට කිවුලේගෙදර මොහොට්ටාල, ඇපලෝගම මොහොට්ටාල, බූටාවේ රටේරාල ඇතුළු ඌවේ නායකයෝ කීප දෙනෙක්ම සහභාගී වූහ. මෙම සිද්ධිය ආරංචි වූ ඌව උප රෙසිඩන්ට් වරයා වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් කැරලි නායකයා අල්ලාගෙන එන ලෙස “හජ්ජි” මුහන්දිරම් පිටත්කොට යැවීය. ඔහුට මුණගැසුණේ බූටාවේ රටේරාල ඇතුළු පිරිසය. හජ්ජි මුහන්දිරම් අල්ලා ගත් බූටාවේ ඇතුළු පිරිස ඔහු දොරේසාමි වෙත ඉදිරිපත් කරන ලදුව ජීවිතක්ෂයට පත් කරන ලදී.
මේ පුවත සැලවූ විල්සන් මහතා ‘‘ලෙප්ටිනන් නිව්මන්’ යටතෙහි වූ මැලේ භට හමුදාවක් සමග සතුරා ඇල්ලීමට තෙමේම පිටත් විය. ඔහු කැරලිකරුවන් සමග සාකච්ඡා කිරීමට උත්සාහ කළ නමුත් එයින් පලක් නොවීය. බිබිල මැදගම කිට්ටුව ඊතනවත්ත දේවාලය අසලදී ඔහුද කැරලිකරුවන්ගේ ඊතල පහරකට ලක් විය මෙයින් වඩාත් කුපිත වූ බ්‍රිතාන්‍ය පාලකයෝ කැරැල්ල මැඩීමට වහා පියවර ගත්හ. ආදායම් කොමසාරිස් වූ සයිමන් සෝවර්ස් මහතා විල්සන්ගේ තැන ගැනීමට බදුල්ලට පිටත් කර හරින ලදී.
කැරැල්ල මැඩලීමට වලපනේ දිසාව වූ කොබ්බෑකඩුව වෙල්ලස්සේ දිසාව වූ මිල්ලෑව ඌවේ දිසාව වූ කැප්පෙටිපොළ ඔවුනොවුන්ගේ දිසාවලට පිටත් කර හරින ලදී. මොල්ලිගොඩ සිය දිසාව වූ හතර කෝරලයට ගිය අතර බ්‍රිතාන්‍යයෝ කොළඹින් ආධාර ඉල්ලා යැවූහ. මේ අතර කැරලිකරුවෝ වනයෙහි සැඟවී සිට ඉංග්‍රීසි හමුදාවලට දැඩි ලෙස පහර දෙන්නට පටන් ගත්හ. වෙල්ලස්සේ හට ගත් මෙම කැරැල්ල ලැව්ගින්නක් ලෙස පැතිරි ගියේය. මෙය සංවිධානයක් නොමැතිව හටගත් එකක් වුවද බ්‍රිතාන්‍යයන් කෙරෙහි රටවැසියන් තුළ පැවැති විරුද්ධත්වය නිසා එය ඉතා දරුණු අතට හැරුණේය. ඌවට යමින් සිටි කැප්පෙටිපොළ මගදී මුණගැසුණ බූටෑවේ රටේ රාලගේ කරුණු දැක්වීමෙන් පසු කැප්පෙටිපොළ තමා සමඟ ගිය ඉංග්‍රීසි සෙබළුන් හා ආයුධ ආපසු එවා ඔහු ගොස් කැරැල්ලේ නායකත්වය ගත්තේය. මේ නිසා ප්‍රධාන රදලවරු බොහෝ දෙනෙක් කැරැල්ලට එක් වූයෙන් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහත් භීතියට පත්විය.
මොල්ලිගොඩ හැරුණු විට අන් සියලු රදළවරු කැරැල්ලට සහාය දුන්හ. කැප්පෙටිපොළ, මඩුගල්ලේ, පිළිමතලව්වේ, ඇල්ලේපොළ ආදීහු ඉන් ප්‍රමුඛ වූහ. බ්‍රිතාන්‍යයෝ ඌව වෙල්ලස්ස අත්හැර දැමීමට පවා සාකච්ඡා කළහ. එහෙත් බැතර්ස්ට් වංශාධිපතිවරයා බ්‍රවුන්රිග්ට දන්වා සිටියේ මොන හේතුවක් නිසා හෝ උඩරට පෙදෙස් අත්හැර නොදමන ලෙසයි. එසේ අත්හැර දැමුවහොත් එය අනෙක් ඉංග්‍රීසි යටත් විජිත වලටත් බලපෑ හැකි බව සඳහන් කළ හෙතෙම කැරැල්ල මැඩපැවැත්වීමට යුද්ධ නීතිය ප්‍රකාශ කොට දරුණු මර්දනයක් ක්‍රියාත්මක කරන ලෙස දැන්වීය.
මේ අනුව 1818 පෙබරවාරි 21 වන දින මුළු උඩරට පුරා යුද්ධ නීතිය පනවන ලද ඉංග්‍රීසීහු ඌව වෙල්ලස්සේ වයස 18 වැඩි සියලු පිරිමින් මරා දැමීමටත් ගෙවල් දොරවල් ගිනිබත් කිරීමටත් අස්වැන්න සම්පූර්ණයෙන් විනාශ කිරීමටත්, කොස් දෙල්, පොල් ආදී ගස් විනාශ කිරීමටත්, ඇළ දොළ වැව් අමුණු කඩා විනාශ කිරීමටත්, ගව එළු කුකුළු මත්ස්‍ය ආදී සියලු සතුන් නැති කරන්නටත් නියම කොට ඒ සඳහා හමුදා මෙහෙය වීය. එසේම කැරලි නායකයන්ගේ දේපොළ රාජසන්තක කළ රජය කැප්පෙටිපොළ, මඩුගල්ලේ, කිවුලේගෙදර, ඇල්ලේපොළ යන ප්‍රධාන කැරලි නායකයන් අල්ලා දුන් කෙනෙකුට රන් පගෝදි 500 සිට 1000 දක්වා විටිනා තෑගි දෙන බවට ද රාජඥාවක් නිකුත් කළේය.
මේ අතරතුර කැරලිකරුවන් අතර ද භේදයක් හට ගැනුණි. දොරේසාමි රාජවංශිකයෙකු නොවන බව පලවිය. එය සත්‍යයක් බව දැනගත් විට රදළවරු ඔහු හා විරුද්ධ විය. මේ නිසා 1818 ඔක්තෝබර් වන විට කැරැල්ල දුර්වල අතට හැරී තිබුණි. කැප්පෙටිපොළ සොයමින් ඉංග්‍රීසි සේනා මුළු උඩරට දෙවනත් කළහ. කැප්පෙටිපොළ, පිළිමතලව්වේ හා මඩුගල්ලේ යන කැරලි නායකයෝ අනුරාධපුර දෙසට පලා ගියහ. නමුත් වෙඩි වැදුන සිංහලයෙකුගෙන් ලබා ගත් ඔත්තුවක් අනුව පරවහගම නිවසක සැඟවී සිටි කැප්පෙටිපොළ සහ පිළිමතලව්වේ අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. මඩුගල්ලේ එතැනින් පලාගිය නමුත් පසුව අත්අඩංගුවට ගැණුනි. කැප්පෙටිපොළ ඇල්ලීමට ගිය “කපිතාන් ඕනිල්” ඉදිරියට ගිය කැප්පෙටිපොළ ඔහුට අත දී “මම තමා කැප්පෙටිපොළ” යයි අභීත ලෙස පළ කරමින් සිරකරුවෙකු බවට පත් විය.
1818 නොවැම්බර් 13 වනි දින කැප්පෙටිපොළට විරුද්ධව පැවරූ නඩුව විභාග විය. නඩු තීන්දුව අනුව නොවැම්බර් 26 දින ඔහුගේ හිස ගසා දැමීමට නියම විය. එදින සිදුවීම් බොහෝ ප්‍රචලිත නිසා මෙහි සඳහන් නොකරමි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙවුලුම් කෑ සිංහලේ ප්‍රථම විමුක්ති අරගලය මෙසේ නිමවිය.
විජේරත්න අතුරුපාන