මරියසෙල් ගුණතිලක ප්‍රවීණ ගායන හා සංගීතවේදිනිය කාලයකට පසුව අලුත් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. මේ ගීතයේ නම Senorina (සිඤ්ඤෝරිනා) මියුසික් වීඩියෝවක් ලෙස දැන් මේ ගීතය එළිදක්වා තිබෙනවා. මරියසෙල් ගායන ශිල්පිනියගේ ඒ අලුත් ගීතය රස විඳින අතරේ එහි සිඤ්ඤෝරිනා ලෙස රංගනයෙන් දායක වී සිටින දුලක්ෂි රාජපක්ෂ එක්ක අපි කතා බහක යෙදෙමු.
කොම්පඤ්ඤවීදියෙ ඒ පරංගි වාඩියේ
කාබෲ අල්මේදා ජිමෙල් රුබෙල් රූ
පෙරේරා ගියේ නැනේ අද කන්තෝරු
වැලන්ටිනා සිඤ්ඤෝරිනා.
මං ජේත්තුකාරි මං කසාද බඳිනවා
මං මෝස්තරකාරී..
අපූරුයි නේද මරියසෙල්ගෙ ඒ ගීතය. මෙහි පද රචනය තරිඳු ගුණවර්ධනගෙනි. සංගීතය දර්ශන වික්‍රමතුංගගෙනි.
- මෙම ගීතයේ සිඤ්ඤෝරිනා ගැන අහන්න කලින් දුලක්ෂි අපට කියන්න ඔබ මොන විදිහෙ කෙනෙක්ද කියලා.?
දුලක්ෂි ෂෙරෝනි රාජපක්ෂ. ඒත් මට හැමෝම කතා කරන්නෙ දුලක්ෂි රාජපක්ෂ කියලයි. ඉතින් මා ගැන කිව්වොත් මම හරි සරලව සහ සුබවාදීව හිතන කෙනෙක්.
- කොහොමද කලා ගමන තෝරා ගත්තෙ? ඒ කියන්නෙ රඟපෑම?
ඉස්සර අපේ අම්මා රඟපාලා තිබුණා. ඉන් පස්සේ අම්මා රූපලාවණ්‍ය ක්ෂේත්රයේ නිරතවෙමින් ඒ අංශයේ උපදේශකවරියක ලෙසත් කටයුතු කළා. ඒ පසුබිම එක්ක තමයි මේ ගමනට අත්තිවාරම වැටුණෙ. අම්මගෙ කලා කටයුතු එක්ක ක්ෂේත්රයේ අයගෙන් පොඩි කාලයේ ඉඳලම මටත් නිර්මාණවලට දායකවෙන්න ඇරයුම් ලැබුණා. ඒත් තාත්තා ඒකට එතරම් කැමති වුණේ නැහැ. පසුකාලීනව මට ගුරුවරියක ලෙස රඟපෑමට ඇරයුමක් ලැබුණා.
සැබෑ ජීවිතයේදීත් එම වෘත්තියේ යෙදී සිටි නිසා එහෙමනම්, ඒ චරිතය විතරක් කරන්න කියලා තාත්තා අවසර දුන්නා. කොහොම වුණත් ඒ විදිහට පටන් ගත්ත ගමන තමයි ඉදිරියට යන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ප්‍රේක්ෂකයන් ගොඩාක් මට ආදරේ කරන්න පටන් ගත්තේ ‘හිත ළඟ හිනැහුණා’ නාට්‍යයේ ‘සේපාලිගෙ චරිතය නිසයි. එය අනුෂ්ක රසාංජන මහතාගේ අධ්‍යක්ෂණයක්.
ඉන් පසුව සිදාදියේ සමනළියෝ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒකෙ නම ආලියා. ඊට පෙර මුලින්ම මම රඟපෑවෙ ‘ඒ හීනය’ නාට්‍යයේ. ඉන්පසුව රාජිනි නාට්‍යයේ රඟපෑවා. ඒ හීනය අධ්‍යක්ෂණය කළ මහත්මයාගේ තවත් අලුත් නාට්‍යයක් වන ‘කිං කැකිල්ලේ’ විකාශයට නියමිතයි.
- දුලක්ෂිගේ ගම?
කුරුණෑගල. කලා කටයුතු නිසාත් වෘත්තියෙන් සංගීත අංශයේ ගුරුවරියක නිසාත් කුරුණෑගල වගේම කොළඹත් ඉන්නවා.
- මොන පාසලේ ද මේ ටීචර් උගන්වන්නෙ?
පාසල් ගුරුවරියක ලෙස වසර හයකට ආසන්න කාලයක් කටයුතු කළා. නමුත් කාර්යබහුලත්වය එක්ක පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වෙලා, බාහිරව තවදුරටත් ගුරුවරියක ලෙස කටයුතු කරනවා. මගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන සංගීත ආයතනයක් තියෙනවා. එහි ශාඛා තුනක් දැනට කුරුණෑගල සහ කඩුවෙල, නුවර ස්ථාපිතයි. ගුරුවරු කීප දෙනෙක් එම ආයතනයේ කටයුතු කරනවා. මම එහි එක් අධ්‍යක්ෂිකාවක්. ඉතින් ඒ විදිහට තමයි මේ දවස්වල කටයුතු කරන්නෙ.
- සංගීත අංශයේ ඔබගෙ විෂය?
බටහිර සංගීතය. උගන්වන්නෙ බටහිර සංගීතයට අදාළවයි. අමතරව අපි පවත්වාගෙන යන සංගීත ආයතනයේ පෙරදිග සංගීතය හඬ පුහුණුව, වාද්‍ය පුහුණුව, විෂය නිර්දේශයට අදාළ කටයුතු ආදි සියල්ල උගන්වනවා. ඒ ඒ අංශවලට අදාල ප්‍රවීණ ගුරුවරු අපේ ආයතනය සතුයි.
- මේ ටීචර්ට ගායනය බැරි ද?
ගයන්න පුළුවනි. ඊට වඩා මට හොඳට පුළුවන් වාදනය.
වාදනය කරන සංගීත භාණ්ඩය
‘පියානෝ’ වාදනය සහ සියලුම ‘සරපුවරු’ වාදනය පුළුවනි. නුදුරේදි එනම් එළැඹෙන පෙබරවාරියේ දි ‘පියානෝ’ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙන්නෙ. ගිය වසරේදීත් ප්‍රසංග කළා. මා යටතේ අපි යටතේ ශිල්ප හදාරන සිසු - සිසුවියන් එක්ක එකතු වෙලා ප්‍රසංගය සංවිධානය කරන්නෙ.
- ‘දුලක්ෂි’ වේදිකාවෙත් රඟපානවා නේද?
පසුගිය දිනවල මා ගැන වැඩිපුර කතා කළේ කෙටි චිත්‍රපටවලට දායක වූ නිසා. ඊට අමතරව අලුත් වේදිකා නාට්‍යයක රංගනයටත් සූදානමින් ඉන්නෙ. කලා කටයුතුවලට අමතරව ලෙක්චර්ස්වලටත් දායක වෙනවා. පාසල් ළමුන්ට උපදේශන කටයුතු එහෙමත් කරනවා.
- දුලක්ෂි විතර ද පවුලේ ඉන්නෙ?
අයියයි, නංගියි, මමයි. අයියා ව්‍යාපාර කටයුතුවල නිරත වෙනවා. නංගී තවම ඉගෙන ගන්නවා.
- දුලක්ෂි කොහොමද ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල්ගෙ, ‘සිඤ්ඤෝරිනාට’ සම්බන්ධ වුණේ?
ඇත්තටම මම මියුසික් වීඩියෝ කරන්නෙ නැහැයි කියන අදහසේ හිටපු කෙනෙක්. මොකද මම වෘත්තීයමය වශයෙන් ගුරුවරියක් නිසා ඒ විදිහෙ තීරණයක හිටියෙ. ඇඳුමක් ඇන්දත්, මට මා ගැන දෙවරක් හිතන්න වෙන්නෙ මගේ වෘත්තිය නිසා.
ඉතින් ඒ විදිහට සිටියදී මරියසෙල් අක්කා කතා කළාම එයාගෙ අලුත්ම ගීතයේ මියුසික් විඩියෝවට මම ඒකට සහභාගි වුණේ හරිම කැමැත්තකින්. ඒ ගීතයත් හරිම ලස්සනයි. මරියසෙල් අක්කා මාව තෝරා ගත්තාට උස ප්‍රශ්න නිසා මගේ උසට සරිලන ශිල්පියකු යෙදා ගැනීමේ ප්රශ්නය ආවා. ඒත් මාවම සිඤ්ඤෝරිනාට ගන්න ඕනෑය කියලා අක්කා කිව්වා.
- මියුසික් විඩියෝව රූගත කිරීම් කරද්දී මරියසෙල් ශිල්පිනියත් ආවාද?
ඔව්, එතුමියගෙන් ලැබුණෙ ලොකු සහයෝගයක්. සිඤ්ඤෝරිනාගෙ - පෙම්වතාට රඟපෑවේ හර්ෂණ බෙත්මගේ. මරියසෙල් මහත්මිය වසර 20කට විතර පසුව අලුත් ගීතයක් කරලා තියෙන්නේ. ගීතය හරිම ලස්සනයි. වගේම මියුසික් වීඩියෝව කරලා තියෙන විදිහ එක්ක අතීතයට යළි ගියාක් මෙන් වූ හැඟීමත් ඇතිවෙන්නෙ.
ඇඳුම් විලාසිතා පෘතුගීසි සමයේ විදිහට නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්. රූගත කිරීම් සිදුකළේ මීගමුවෙ. අශ්වයන් එහෙමත් යොදාගත්තා. පසුතල නිර්මාණ සියල්ලම පෘතුගිසි සමයේ විදියට යොදාගෙන තිබුණෙ.
ඉතින් අපි ෂූට් එකට ගියේ පාන්දර එකට විතර. මේක්අප් සහ හැඩගැන්වීම් සියල්ල හමාර කරලා. උදේම ෂූට් එක පටන් ගත්තා. ඉන්පසුව එක දිගට පහුවදා පාන්දර 3 වෙනකල් ෂූට් එක කළා. මේක්අප් පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපට විවේක ගන්න තරම් කාලයක් තිබුණෙ නැහැ.
හැබැයි හැමෝම හරිම විනෝදයෙන් සතුටින් මහන්සිය නොබලා රූගත කිරීම් ඉවර වෙනකල් දායක වුණා. ෂූට් එක ඉවරවෙලා ආ විගස මම ඇඳට වැටුණා. එක දිගට දවසක්ම නිදාගත්තා. කොහොමහරි දැන් මේ නිර්මාණය දකිද්දි දැනෙන සතුට අපමණයි.
- සිඤ්ඤෝරිනාගේ සැබෑ ආදරය ගැන කියමු ද?
මම තවම පෙම්වතියක් නොවෙයි. තව මට වයස තියෙනවා. හරි කෙනෙක් හමුවුණොත් තව වසර දෙක තුනකින් විතර ඒ ගැන හිතාවි. එහෙම නොවුණොත් මේ විදිහට ඉඳිවි. මම හොයන්නෙ මිල මුදල්, වත් පොහොසත්කම් ඇති කෙනෙකුට වඩා ගතිගුණවලින් පොහොසත් කෙනෙක්.
සඳැල්ලට කලින් වතාවක කිව් විදිහට මේ වතාවෙත් කියන්නේ මම තවම තනිකඩයි කියලයි. විවාහයකදී අවංකකම - විශ්වාසවන්තකම තිබිය යුතුයි. ඒ නිසා ඉක්මන් වෙලා ආදරය කරනවාට වඩා ජීවිතයට හරි කෙනා ලැබෙන තෙක් ඉවසීම වැදගත්. ආදරය කියන්නෙ ලොකු කැපකිරීමක් කළ යුතු දෙයක්. නොගැළපෙන තැන් ගළපාගෙන විශ්වාසවන්තකම රැකගෙන ආදරය කළ හැකි නම් ඒක අරුත්බරයි. තේරුම් ගැනීම තියෙන කෙනෙක් ලැබුණොත් තමයි ආදරය සුන්දර වෙන්නෙ. එය සැබෑම ආදරයක් වෙන්නෙ දෙදෙනා අතර ඇති අවබෝධය මතයි.
සඳුන් ගමගේ