කටක් නෑ: බඩක් නෑ: මොළයක් නෑ
හරිම අමුතු ජීවියකු ගැනයි මේ කතාව. මේ ජීවියා සත්ව විද්‍යාඥයන්ට සැබෑම අබිරහසකි. ප්රහේලිකාවකි. අමුතු ජීවියෙක් යැයි කීවාට මේ ජීවියා ඔබ සිතන විදියේ ජීවියකු නම් නොවෙයි. මේ ජීවියාට කටක් නැත. බඩක් නැත. ඇස් නැත. එසේ වුවත්, කෑම සොයා ගන්න, කෑම ජීර්ණය කරගන්න පුළුවනි. වැදගත්ම කාරණාව නම්, මේ සත්ත්වයාට ‘ඉගෙන ගැනීමට’ හැකියාවක් ඇත. මේ වනවිට පැරිස් සත්ව උද්‍යානයේ ප්‍රදර්ශනයට තබා ඇති මේ ජීවියා නම් කර ඇත්තේ ‘බ්ලොබ්’ යනුවෙනි. මේ ජීවියා කහ පැහැති දිලීරයකි. එසේත් නැතිනම් පුස් වර්ගයකි.
සාමාන්‍යයෙන් අප ජීවීන් වර්ගීකරණය කරන්නේ ගැහැනු සහ පිරිමි ආදී වශයෙනි. එහෙත්, ජීවීහු විශේෂ කීපයක් පමණක් (ගෙඹි විශේෂ සහ මසුන්) ගැහැනු පිරිමි වෙනස් කරගනිමින්, ලිංග විපර්යාසයකට ලක්වෙති. ඒත්, මේ ‘බ්ලොබ්’ ට එකිනෙකට වෙනස් ලිංගික පෙරැළි 720ක් ඇති බව සත්ව විද්‍යාඥයෝ හඳුනා ගනු ලැබ සිටිති. ‘බ්ලොබ්’ ට පාද එසේත් නැතිනම් ගාත්රා නොමැතිව එහෙ මෙහෙ යා හැකිය. කැපුම් තුවාලයක් වුණොත්, ඒ තුවාලය සුව වී කැපුණු කොටස් දෙක යළි එක්වෙයි. මේ වනවිට බ්ලොබ්, ප්‍රංශයේ පැරිස් නුවර සත්වෝද්‍යානයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ නරඹන්නන් මවිත කරමිනි. පැරිස් සත්වෝද්‍යානයට එක්වුණු නවතම සත්වයා මේ බ්ලොබ්ය. පෙනුමින් දිලීරයක් එසේත් නැතිනම් පුස් වර්ගයක් (හතු වැනි) යැයි පෙනුනත්, මේ කුඩා ජීවියා හැසිරෙන්නේ සතකු ලෙසය.
‘බ්ලොබ් කියන්නේ සත්ව ලෝකයේ අබිරහසක්. මොළයක් නැති වුණත් බ්ලොබ්ට ‘ඉගෙන ගැනීමේ’ හැකියාව තිබීම විස්මිතමයි. බ්ලොබ්ලා දෙන්නෙක් එකිනෙකා සමඟ මුසු කළොත්, එක් බ්ලොබ් කෙනෙක් අනෙකාට ඔහු දන්නා දේ, එසේත් නැතිනම් ඔහුගේ දැනුම බෙදා දෙනවා.’ යැයි පැරිස් ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ මහාචාර්ය බෲනෝ ඩේවිඩ් පැහැදිලි කරයි. මෙම කෞතුකාගාරය පැරිස් සත්වෝද්‍යානයේ කොටසකි.
මේ ජීවියා ‘බ්ලොබ්’ නමින් නම් කිරීමට ද හේතුවක් ඇත. 1958 වසරේ තරුණ නළුවකු ලෙස ස්ටීව් මැක්වීන් ප්‍රධාන චරිත නිරූපණය කළ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් හොලිවුඩයේ දිග හැරුණි. මෙම චිත්‍රපටයේ නම ‘බ්ලොබ්’ ය. චිත්‍රපටයේ කතාව පිටසක්වළින් පැමිණෙන ජෙලි වර්ගයක් වැනි ජීවියෙකි. මේ ජීවියා පෙන්සිල්වේනියාවේ කුඩා නගරයක දකින දකින දේ ගිල දමමින්, මහ විනාශයක් සිදු කරයි. පැරිස් විද්‍යාඥයන් මෙම අමුතු ජීවියා බ්ලොබ් යනුවෙන් නම් කළේ එහෙයිනි. චිත්‍රපටයේ බ්ලොබ් සේම, පැරිස් සත්වෝද්‍යානයේ ප්‍රදර්ශනයට තබා ඇති බ්ලොබ් ද ප්රහේලිකාවකි. මේ ජීවියා කුමන වර්ගයකට අයත්දැයි සෙවීමට ජීව විද්‍යාඥයෝ දිවා රෑ වෙහෙසුණාහ. ‘අපි හොඳින්ම දන්නවා බ්ලොබ් ශාකයක් නොවේ. සතකු හෝ දිලීරයක් හෝ නොවේ. පෙනුමින් දිලීරයක් එසේත් නැතිනම් හතු විශේෂයක් බව පෙනුනත් හැසිරෙන්නේ සතකු වගේ. ඒකයි පුදුමය’ යැයි ඩේවිඩ් පැහැදිලි කර තිබේ.
ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි