විජය කුමාරතුංගයන් ඝාතනය කර මේ මස 16 වැනිදාට වසර 33ක් සපිරෙයි. එහෙත් ඔහු තවමත් ප්‍රේක්ෂක සිත් තුළ සිහින කුමාරයකු ලෙස ජීවත්වෙයි. සිංහල සිනමාවේ අවසන් තාරකාව විජය බව බොහෝ දෙනකුගේ අදහසයි.
විජය සැමරෙන මේ මොහොතේ ඔහු හා සබැඳි සිදුවීම් සිනමා පටයක මෙන් මා සිත තුළ මැවෙන්නට පටන් ගනී. එකල නිරතුරුවම විජය මට මුණගැසුණේය. චිත්‍රපට රූගත කිරීම්වලදී, දෙබස් පටිගත කිරීම්වලදී, මුහුරත් උත්සව, ප්‍රිය සම්භාෂණ ආදී වශයෙනි.
‘හොඳම නළුවා’ චිත්‍රපටයේ විජය රඟපෑවේ ද්විත්ව චරිතයකි. ඒ විජය ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්ත කරා ළංවෙමින් සිටි කාලයයි.
‘හොඳම නළුවා’ චිත්‍රපටයේ එක් චරිතයක් අපරාධකරුවකු වටා දිවයයි. අනෙක් චරිතය අහිංසකයෙකි. මේ චරිත දෙකම රඟපෑවේ විජය ය.
තම බිරිද මරාදමන අපරාධකරු රඟපාන්නට ආශාවෙන් සිටින තමන් වැනිම රුවෙන් යුතු තරුණයකු දකී. කතාව දිග හැරෙන්නේ එසේය.
චිත්‍රපටයේ එක් දර්ශනයක් රූගත කළේ හැඳල වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදීය. අධ්‍යක්ෂවරයා ෂර්ලි පී. විජේරත්නය. කැමරා අධ්‍යක්ෂ ලලිත් ගුණවර්ධනය. මේ චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණ ජවනිකා සඳහා එකල විජය චිත්‍රාගාරයේ තිබූ මිචෙල් කැමරාව යොදාගත් බව ලලිත් පවසයි.
හෝටලයේ දර්ශනවල රඟපෑවේ විජය, එච්.ආර්. ජෝතිපාල හා එකල චිත්‍රපටවල රැඟුම් ඉදිරිපත් කළ ශ්‍රීමාය.
එය රාත්‍රී සමාජශාලා දර්ශනයක් වුවත් රූගත කිරීම් කළේ දිවා කාලයේය. චිත්‍රපටවල හැටි එහෙමය.
එදා මුළු දවසම විජය රූගත කිරීම්වල යෙදුනේය. එකල ඔහු බොහෝ තරුණ වියේ පසුවිය. විජය කා සමඟත් නිහතමානී ලෙස සිනාසුනේය.
‘රැඟු රැඟු රැඟුමන්’ නම් ගීතය ගයමින් රඟපෑවේ ජෝති ය. මට ඒ දිනය හොදින් මතක ඇත්තේ රූගත කිරීම් අවසානයේ ජෝති හැඳ සිටි කෝට් එක අමතකව දමා යාම නිසාය. පසුව එය මාලිගාවත්ත ඔහුගේ මහල් නිවාසයට යැවිණ.
විජය රාමනායක නිෂ්පාදනය කළ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා’ චිත්‍රපටයේ ගීතමය ජවනිකාවක් රූගත කළේ පේරාදෙණිය මල්වත්තේය. කැමරා අධ්‍යක්ෂවරයා සුමින්ත අමරසිංහය. ගීත ජවනිකාවේ රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙනිය සමඟ මාලිනී ෆොන්සේකාය. විජය රාමනායකගේ කුඩා පුතු තරංගද එම ජවනිකාවේ රඟපෑවේය.
ගීතය ගායනා කළේ විජය කුමාරතුංග සමඟ දමයන්ති ජයසූරිය විසිනි.
ඒ කාලය වනවිට විජය ගයන ගීතයකට රවීන්ද්‍ර රඟපෑ දෙවැනි අවස්ථාව ‘ආරාධනා’ විය. මුලින්ම විජයගේ ගීතයකට රවි රඟපෑවේ ‘ඉන්දුට මල් මිටක්’ චිත්‍රපටයේය.
කෙසේ වෙතත් විජය හදිසියේම දර්ශන තලයට ආවේය. ඔහු දේශපාලන වැඩ කටයුතු සඳහා මහනුවරට ආ නිසා ඔහුගේ හඬින් ගැයෙන ගීතය රූගත කරනු බලන්නටද විජය අමතක නොකළේය.
‘මම චිත්‍රපටයක රඟපාන්න චාන්ස් එකක් ඉල්ල ගන්න ආවා’ විජය එහි සිටි පිරිසට පැවසුවේ සිනාසෙමිනි.
සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණ කළ ‘කිඳුරු කුමාරි’ චිත්‍රපටයේ රූගත කිරීම් නිම වී ත්‍රිකුණාමලයේ සිට ඔහු අප සමඟ ආවේ රාත්‍රී තැපැල් දුම්රියෙනි. ත්‍රිකුණාමලයේ දුම්රිය පොළෙන් රාත්‍රී 8.00 ට පිටත් වන දුම්රිය කොළඹ කොටුවට එනවිට පසුදා උදේ හත පමණ විය. ඒ විජය විවාහ වූ අලුතය. එදිනම රාත්‍රී ඔහුට පැරීසිය බලා යන්නට නියමිතව තිබිණ.
සාමාන්‍යයෙන් ජනප්‍රිය නළුවන් දුම්රියෙන් ගමන් කරන්නට අකැමැති වුවද විජයට එය ගැටලුවක් නොවීය. කොටුව දුම්රිය පොළෙන් බැසගත් විජය එළියට පැමිණ මොරිස් මයිනර් ටැක්සියකින් තලකොටුව පාර බලා ගියේ බොහෝ දෙනා කිසියම් විමතියකින් මෙන් බලා සිටියදීය.
සිනමා ක්‍ෂේත්‍රයේ කිසිවකු චිත්‍රපටයක් නිෂ්පාදනය කළ විට ඔහු මුදල් ඉල්ලන්නට ගියේ නැත. දේශපාලන වශයෙන් ඔහුට පහරදුන් ක්ෂේත්‍රයේම කෙනකුට වුවද ඔහු ගිවිසුම් පත අත්සන් කර දුන්නේ මුදල් නැතිවය.
කල්පිටියේ ‘වැල්ලෙ තැනූ මාලිගා’ රූගත කරද්දී ඔහු අප සමඟ සති තුනකටත් වඩා එක දිගටම රැඳී උන්නේය.
කල්පිටිය වැනි දුෂ්කර ප්‍රදේශයන්හි වුව ඔහු පහසුකම් ඉල්ලා කරදර නොකළේය. කණ්ඩායමේ සහාය ශිල්පීන් කිසිවකුට ඔහු ‘පාට්’ නොදැම්මේය. කල්පිටියේ ඔහු හා ගෙවුණු කාලය ඇත්තෙන්ම සොඳුරුවිය.
1982 දී ජනපතිවරණයේදී ඔහු හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට වැඩ කළේය. එහෙත් දිනුවේ ජේ.ආර්. ජයවර්ධන මහතාය.
විජයට නැක්සලයිට් චෝදනා එල්ලවිය. ඔහු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනිණ. ඔහු බලන්නට බිරිඳ චන්ද්‍රිකා මහත්මියට ද ඉඩ දුන්නේ නැත.
ඒ සඳහා මැදිහත් වූයේ ගාමිණී ෆොන්සේකා ය. ඔහු කෙළින්ම ජේ.ආර්.ට කතා කළේය.
විජය සිරගෙදරින් නිදහස් වූ කාලයේ ඔහු මට හමු වුණේ තලකොටුවේදීය. තරුණයා පුවත්පත පටන් ගන්නට සූදානම්ව සිටි අපි, තලකොටුව වත්තේ විජයගේ නිවසට ගොස් ජීවන්ගේ ඡායාරූප ගනිමින් සිටියෙමු.
විජය එහි පැමිණියේය. ඔහුගේ මුහුණ දුටු මම තිගැස්සී ගියෙමි. ප්‍රේක්ෂකයන් බෙහෙවින් ආදරය කරන අර වශීකෘත මුහුණු හේබා තිබිණ. වෙනදා පිම්බුණු රත්තරන් පාටින් දිලිසුණු කම්මුල් හැකිළී තිබිණි. ඒ මුහුණ කියා පෑවේ සිර මැදිරියේදී ඔහු කෙතරම් පීඩාවට පත්ව සිටියේද යන්නය.
විජයගේ මුහුණේ අප ප්‍රියකරන කඩවසම් පෙනුම දැක ගැනීමට නොහැකි වේ දැයි මම සිතුවෙමි. එහෙත් ටික දිනකින් ඔහු හිටියාටත් වඩා හැඩ විය. සිරගත වූවා කියා ඔහු මෙල්ල කරන්නටද හැකි නොවීය.
මහජන හමුවීම්වලදී ඔහුගේ කතා ලතාව වේගවත් මෙන්ම ආකර්ෂණීය විය.
ගාමිණි ෆොන්සේකාගේ 50 වැනි ඡන්ම දින උත්සවයේදී හොඳම කතාව කළේ විජය කුමාරතුංගය.
කලාකරුවන් එකල වලව්වලට ගත්තේ කුස්සි දොරින් බවත්, ඔවුන්ට තැබුවේ මිටි පුටු බවත් ඒ තත්ත්වය වෙනස් කළේ ගාමිණි බවත් ඔහු කීවේ අත් පොළසන් මධ්‍යයේය.
කාලයක් විජයට රජයේ මාධ්‍ය වාරණයක් පනවා තිබුණේය. කිසිදු මාධ්‍යයකින් ඔහුගේ චිත්‍රපටවලට හෝ සම්මුඛ සාකච්ඡාවලට ප්‍රසිද්ධියක් නොලැබිණ. එයට හොඳම උදාහරණය විජය - චන්ද්‍රිකා විවාහය ය. එය ආකර්ෂණීය පුවතක් වුවද එයට ලැබුණේ ඉතා අඩු ප්‍රසිද්ධියකි.
වරක් විජය මා සමඟ පැවසුවේ සම්මාන උළෙලකදී වඩාත්ම කූපන් සංඛ්‍යාවක් ලබා ඔහු ජනප්‍රිය නළුවා ලෙස තේරුණු බවත් එහෙත් සම්මානය ඔහුට නොදුන් බවත්ය. එහෙත් එතැන් පටන් සියලු බාධක ජය ගනිමින් විජය එක දිගටම ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ලැබුවේය.
පසුකාලයේ සම්මුඛ සාකච්ඡාවලදී ඔහු පොදු ජනතාව අමතක කර හදන චිත්‍රපටවලට දොස් කීවේය. විචාරකයන්ට බැන්නේය. ‘හොද සිනමාවක් හදන්න හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඇති කරන්න මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. ලොකු බුද්ධිමතුන්ට චිත්‍රපට හදන්න කාලය තවම ඇවිත් නෑ.
ලොකු බුද්ධිමතුන්ට ඉංග්‍රීසි චිත්‍රපට සම්භාෂණ ඕනෑ තරම් තියෙනවා. ඒත් පුංචි මිනිහට ඒවා තියෙනවාද?’ ඔහු ඇසුවේය.
‘අපට තියෙන්නෙ ජරා දේශපාලනයත්. ජීවිතේට බඩගින්නෙ නොසිටි, රන්සළු අඳින, මාලිගාවල ජීවත්වෙන, බෙන්ස් කාර්වල යන අය බඩගින්න, වස්ත්‍ර, නිවාස, ප්‍රවාහනය ගැන කතා කරනවා.
මට ජය ලැබුණත් නැතත් කමක් නෑ මේ ගමන එක එල්ලේ ඉදිරියටම යනවා. දිනුවා කියා සතුටු වීමට හෝ පැරදුණා කියා දුක්වීමට හෝ හැකි තත්ත්වයක අප ජීවත්වෙන්නෙ නෑ.’
මේ අසූ ගණන්වල මා සංස්කරණය කළ පුවත්පතකට විජය පළකළ අදහස්ය. ලිපිය ලීවේ පාලිත ලක්ෂ්මන්ය. ඒ ඔහුගේ සම්මුඛ සාකච්ඡා පුවත්පත්වල පළකරන කාලයක් නොවේ. ලිපිය පළවී පුවත්පත පිටවූ විගසම ඔහු මට කතා කර ලිපිය පළකිරීම ගැන ස්තුතිය පළ කළේය.
විජය සිහින කුමරෙකු ලෙස තිරයේ කිරුළු පැලැඳ සිටියද ඔහු බයගුල්ලකු නොවීය. ඔහු ගමන් බිමන් ගියේ තනියෙනි. ඒවාට වේලාවක් අවේලාවක් නොවීය.
මහර ඡන්දය විජයගේ දේශපාලන ජීවිතයට එල්ල කරන ලද මරුපහරක් විය. ඔහුගේ සමීතමයකු එහිදී මිය ගියේය. මුලදී ඡන්ද කීපයකින් විජය ජයග්‍රහණය කළැයි කීවද දෙවැනි වර ගණන් කිරීමේදී ඡන්ද කීපයකින් විජය පැරදුනේය. ඡන්දය ගණින අතරතුර විදුලි බලය ඇනහිටිය බව ප්‍රකට කාරණයකි.
සිය වැඩිමහල් සොහොයුරු සිඩ්නිගේ පුතා වන ජීවන්ට ඔහු දැඩි ලෙස ආදරය කළේය.
ජීවන් හා ෂෙරින් මංගල්‍යය පැවැත්වූවේ කොළඹ හොලිඩේ ඉන් හෝටලයේදීය. බොහෝ කලාකරුවෝ එයට සහභාගී වුහ. එහිදී මනාලියගේ පාර්ශ්වයෙන් සාක්ෂි අත්සන් කළේ එවකට ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාය.
ඒ කාලයේම ජේ.ආර්ටවත් විසඳන්නට නොහැකි වූ උතුරේ ප්‍රශ්නය විසඳීමට විජය උතුරට ගොස් ආ කාලයයි.
විජයගේ දේශපාලන ජීවිතයට කලා ජීවිතයට බොහෝ සේ බලපෑම් කළ ජේ.ආර්. සමග එදා එකම මේසයක කතාබහක යෙදීම බොහෝ දෙනකුට පුදුමයක් විය. ඔවුහු ජීවන්ගේ මංගල්‍යයේදී සෑහෙන වේලාවක් කතා බහේ පසුවූහ. ඉරියව්වලින් පැහැදිලි වූයේ විජයගේ උතුරේ ගමන පිළිබඳ කතාවක් විය යුතු බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී මහජන පක්ෂය පිහිටුවා ගනිමින් විජය-චන්ද්‍රිකා යුවළ රොස්මිඩ් මන්දිරයෙන්ද ඉවත් වී කින්සි පාරේ ගෙයක කුලියට පදිංචිව සිටි යුගයක්ද විය.
සේන සමරසිංහයන් විජය හා චන්ද්‍රලේඛාගේ ගීත කැසට් පටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වූයේ මෙකලය. එහි විජය වෙනුවෙන් එක් ගීතයක් ලිවීමට මට බාර දුන්නේ සරත් දසනායකයන්ය.
එය තනුවට පදමාලාව දැමීමක් විය. මම එක් සැන්දෑවක සරත් අයියා හමුවීමට ගියෙමි.
‘සින්දු ලියල වැඩක් තියෙනවද බං’ ඔහු මට කීවේය. තවත් ටික වේලාවක් කතාවට වැටුණු පසු ‘මම ඉක්මනට යන්න ඕනෑ’යි කීවේමි.
‘ආ වරෙන්’ කී සරත් අයියා කාමරයක රාක්කයක වැනි ස්ථානයක තිබූ සර්පිනාව අතට ගත්තේය. ඒ සමඟම තිබුණු නොටේෂන් කොළ වගයක්ද අතට ගත්තේය. ඉන්පසුව සර්පිනාවට වැඳ, වාදනය කිරීමට පටන් ගත්තේය.
‘දාගනින් මේකට බොරු වචන ටිකක්’
‘මට පෑනක් නෑ’
‘ඇයි බං උඹ පත්තරකාරයෙක් නේද පෑනක් නැද්ද?’ කියමින් ඔහු මට පෑනක් දුන්නේය.
‘කොළේකුත් ඕනෑ’
‘ආ ආ කොළේකුත් නැද්ද?’
‘ලලල ලාලා - ලලල ලාලා ලලේ ලල ලල’ කියමින් ඔහු සර්පිනාව වයයි. මම බොරු වචන ලියා ගනිමි. බොරු වචන දැන් මට අමතකය.
‘ඕකට ගැමි තාලෙ වචන ටිකත් දාගෙන නෙලු එකට අරන් වරෙන්’ කියමින් ඔහු මට දිනයක්ද වේලාවක්ද දුන්නේය.
ලලල ලාලා යන්නට කරඹ යායේ ලවැලි පාරේ ආදී වශයෙන් වචන ටිකක් දමාගත් මම, කී දිනයේ නුගේගොඩ නෙලු ශබ්දාගාරයට ගියෙමි. එවිට රාත්‍රී හතහමාර පමණ විය.
මා යන විටද විජය ගීත පටිගත කිරීමේ යෙදී සිටියේය. නිෂ්පාදක සේන සමරසිංහයන්ද, අධ්‍යක්ෂ සරත් දසනායක, චන්ද්‍රලේඛා විජය අසල වූහ. සරත් අයියා මගේ පදමාලාව පරීක්ෂාකර බලා එය මීටරයට හරියැයි කීවේය.
විජයද ගීතය රැගෙන කියවා බලා ‘ලස්සන වචන ටිකක්’ යැයි පැවසීය.
විජය සංගීතඥයකු නොවූවද ඔහු එක්වරම ඕනෑම තනුවක් ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට හැකි ගායකයෙක්.
මගේ ගීතය පටිගත කිරීම තිබුණේ මහ රෑය. එය අවසන් වනවිට රාත්‍රී එකට කිට්ටුවෙමින් තිබිණ.
මා දැන් දෙමටගොඩ සිරිධම්ම මාවතේ පිහිටි මගේ නවාතැනට යා යුතුය. විජය එකල පදිංචිව සිටියේද කින්සි පාරේ නිසා ඔහු සමඟ කින්සි පාරට ගොස් ත්‍රිරෝද රථයකින් දෙමටගොඩ කරා යන්නට මම තීරණය කළෙමි.
විජය ඊට එක්වරම කැමැත්ත පළ කළේය. මේ කාලය වනවිට විජය ජනප්‍රියත්වයේ ඉහළම තලයේ සිටියද ඔහුට සතුරන්ගෙන්ද අඩුවක් නොවීය. ඔහු ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය රඟපාන්නට නියමිත බව දැනගත් විට ඊට එල්ල වූ විවිධ විවේචනවලින් එය වඩාත් තහවුරු වෙයි. එම විවේචන කොතරම්ද යත් ඒ හරහා ඔහුට පෞද්ගලික ජීවිතයේ සිදුවීම්ද ඈඳා ගනිමින් විවිධ චෝදනා නැගූහ. අවසානයේදී ඔහුට අර්නස්ට් පෝරුතොට පියතුමා ‘ජේසු චරිතය රඟපෑමට සුදුසු එකම නළුවා විජය බව’ කියමින් ලිපියක්ද දුන්නේය.
‘මං ඕනෑනම් ඒ ලියුම ඔයාට පෙන්නන්නම්’ ඔහු මට කීවේය.
ඔහු මැයි දින පෙළපාලියේ යන විට එය චිත්‍රපට දර්ශනයක් තරම් සුන්දර විය. සෙනඟ පිරිවරාගෙන සටන් පාඨ කියමින් යද්දී බොහෝ දෙනා ඔහුගේ ආකර්ෂණී්‍ය රුව දෙස බලා සිටියහ.
විජය ඔහුගේ රුවේ ආකර්ෂණය ගැන දැන සිටියේය. ඒ රුව හමුවේ ඔහුට කිසිවකු කිසිදු කරදරයක් කරනු ඇතැයි ඔහු සිතුවේ නැත. එහෙත් ඔහුටත් නොදැනී ඔහුගේ ඒ ආකර්ෂණයට ද්වේශ කරන පිරිසක්ද බිහි වී සිටින බව විජය විශ්වාස නොකළේය. එදා මහ රෑ විජය හා මා නුගේගොඩ සිට පුංචි බොරැල්ල දක්වා එනවිට පාන්දර එකට පමණ ඇත. මේ කාලය දේශපාලන අවුල් වියවුල්වලින් පිරුණකි.
එක් පැත්තකින් 83 කලබලවලින් පසු කොළඹ අවුල් වී තිබිණ. තවත් පැත්තකින් උතුරේ කලබල ද ක්‍රමයෙන් උණුසුම් වෙමින් පැවතිණ. දකුණේ උණුසුම ද හිස ඔසවමින් පැවතියේය.
විජය මහජන පක්ෂය පිහිටුවා ගැනීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අවුල් සහගත බවක් විය.
මෙවැනි අවුල් සහගත දේශපාලන වාතාවරණයක් මැද මහ රෑ විජය සමග වාහනයක ගමන් කිරීම එක් අතකින් නුවණට හුරු කාරණයක් නොවීය.
මා විජයට කීවේ ඔහුගේ නිවස තිබූ කින්සි පාරෙන් මා බස්සවා යන ලෙසය. එතැන් සිට සුළු මුදලක් ගෙවා මා නැවතී සිටින සිරිධම්ම මාවතේ බෝඩිම වෙත ත්‍රීවිලරයකින් යා හැකිය.
අප නුගේගොඩ සිට ආවේ නාරාහේන්පිට හරහාය. බොහෝ ස්ථානවල පොලිස් පරීක්ෂා කටයුතු සිදුවිය. එන එන වාහනය පොලිසියෙන් පරීක්ෂා කෙරිණ.
එකල විජයගේ වාහනය වූයේ ඩෙලිකා වෑන් රථයකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුවා ඒ දිනවල වෑන් රථයක් තම පරිහරණයට තෝරා ගත්තේ ඇයි දැයි දැන් මට සිතෙයි. එයට වඩා සුඛෝපභෝගී වාහනයක් පරිහරණය කරන්නට ඔහුට අවස්ථාව තිබුණා නොවේද?
විජය ජනප්‍රියම නළුවා ලෙස විශාල මුදලක් අය කළද ඒ මුදල් බොහොමයක් වැය කළේ දේශපාලන කටයුතුවලටය. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවාට වඩා දේශපාලන කටයුතුවල යෙදී අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට ඔහුට සිතුනා වන්නට විය හැකිය.
විජයගේ ඩෙලිකා වෑන් රථයේ වීදුරු අඳුරු කර ඇත. මා සිටියේ ඉදිරිපස අසුනේ විජය සමඟ වාඩිවීය.
බොහෝ තැන්වලදී පොලිසිය විසින් වාහනය නවත්වනු ලබද්දී විජය මට කීවේ අතින් කරකවා වීදුරුව පහත් කරන ලෙසය. එම වාහනයේ ඉබේ ඇරෙන වීඳුරු කවුළු නොවීය.
මා වීදුරුව පහළට දැමූ විගස විජයගේ සොඳුරු මුහුණ එතුලෙන් එබෙයි.
‘ආ සර්... මේ රෑ කොහේද?’ පොලිස් නිලධාරීන් අසන්නේ සැබෑම ආදරයකිනි.
‘දැන් මෙහේද ඉන්නෙ?’ විජය ද වචනයක් දෙකක් ඔවුන් සමඟ කතා කරයි.
මේ අයුරින් පොලිස් බාධක කීපයකම වාහනය නැවැත්වුවද පරීක්ෂා කිරීමක් නොවීය. බොහෝ පොලිස් නිලධාරීන් ඔහු හඳුනා ගැනීම නිසා ලැබුණේ සුහඳතාව පළ කරන ආමන්ත්‍රණය.
කිසිවකු ඔහුට වචනයකින්වත් හානියක් කරන්නේ නැත්නම් මෙතරම් ජනප්‍රියත්වයක් ආකර්ෂණයක් තිබියදී බියවන්නේ කුමකටදැයි විජය සිතුවා වන්නට ඇත.
එදා ඔහු මා කින්සි පාරෙන් බැස්සුවේ නැත.
‘ඔය පොඩ්ඩ මම ඔයාව බෝඩිමටම ගිහින් දාන්නම්’ කියූ ඔහු දෙමටගොඩ සිරිධම්ම මාවත දක්වාම ඒ මහ රෑ මා රැගෙන ආවේය. පාන්දර එකට පමණ මා බස්සවා දෙමටගොඩ මගේ බෝඩිම අසලින් ඔහු වෑන් රථය හරවා ගන්නා තුරු මම බලා සිටියෙමි.
මෙතරම් සතුරු කරදර තිබියදී ඔහු මේ තනියෙන් යන ගමන් සුදුසු නැතැයි මට එවෙලේ සිතිණ. විජය වාහනය හරවාගෙන ආපසු කින්සි පාර කරා යත්ම මගේ සිත අනියත බියකින් පිරෙන්නට විය.
‘මේ යන අතර විජයට කරදරයක් වුණොත්...’ එහෙත් එවන් කරදරයක් එම රාත්‍රියේ සිදුවූයේ නැත.
‘කරඹ යායේ’ ගීතය සිහිපත්වන ඇසෙන හැම විටෙකම විජය ඒ මහා රාත්‍රියේ මා දෙමටගොඩ බෝඩිමට බස්සන්නට ආ ගමන සිහිපත් වෙයි.
එම සිදුවීමෙන් දීර්ඝ කාලයක් යන්නට මත්තෙන් විජය මරා දමනු ලැබූ අසුබ ආරංචිය ආවේය. ඒ 1988 පෙබරවාරි 16 වැනිදා උදය වරුවේ මා කාර්යාලයේ වැඩ කරමින් සිටියදීය.
ඒ සංවේගජනක පුවතින් හැම කෙනෙක්ම මොහොතක් ගල්ගැසී වික්ෂිප්තව සිටි අයුරු මට තවමත් මතකය.
රොඩ්නි විදානපතිරණ